වටිනාකම් සහිත රටක් පැතූ ගුණදාස අමරසේකර
ගුණදාස අමරසේකර නොබෝදා (නොවැම්බර් 12 වන දා) සිය අනූඑක් වැනි උපන්දිනය පසු කළේය. විසිවන සියවස ආලෝකමත් කිරීමට ඔහු කළ මෙහෙවරද “විසි එක්වන සියවස බොඳ කිරීමට ඔහු දැරූ දායකත්වය ද සලකා බලන විට එකම මිනිසෙකු සියවස් දෙකක එකිනෙකට පරස්පර කාර්යයන් දෙකක් කෙසේ කෙළේ ද යන්න සලකා බැලීම වටී.
ඔහුගේ සුවිසල් මෙහෙවරෙහි ශේෂ පත්‍රය සලකා බැලීමේදී අමරසේකරයන් යනු අපේ රටේ මහා උපතකි. ඔහු පෞද්ගලිකව ගත් කළ මගේ ලෝකයේද වීරයෙකි. ඔහු පාදා දුන් සාහිත්‍ය විලාසය වනාහි චමත්කාරජනක වූ ගැඹුරු වූ ද හෘදයංගම වූ ද එකකි. මා වඩාත් ආශ්වාදය ලද සිංහල නවකතා දෙක වනාහි අමරසේකරයන්ගේ “ගන්ධබ්බ ආපදානය” හා “එක්තරා ප්‍රේම කතාවක්” යන කෘතීන්ය. ප්‍රේමය සංස්කෘතික මිනිසා විනිවිදින ආකාරය පිළිබඳව “ගන්ධබ්බ ආපදානය” තරම් හෘදයංගම ලිවීමක් එදා මෙදාතුර සිංහල නවකතාවේ බිහිව නැතැයි මට සිතේ. ඒ කෘතිය මට පූජනීය වන්නේ එයින් ආශ්වාදනය ලබමින් මා නවකතා ලිවීමට පිවිසීමයි. මගේ “මෙරු” නවකතාව වනාහි මා ගන්ධබ්බ අපදානය කියවීමෙන් ලත් කලාත්මක ආස්වාදයේ නිර්මාණාත්මක ප්‍රතිඵලයකි.
අමරසේකරයන් ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්තේ පූර්ණ ගැමි පරිසරයක ග්‍රාමීය ප්‍රභූ පවුලක උපන් අයෙකි. එතැන් සිට ඔහු ලංකාවේ ගම, අර්ධ නගරය, මහා නගරය, අවසානයේ ලන්ඩන් දක්වාම ගමන් කළ දීර්ඝ ගමනේදී ඔහු දැනුවත් වූ ආකාරය අමරසේකරයන්ගේ අපදානය විමසීමේදී සලකා බැලිය යුත්තේය. පූර්ණ සංස්කෘතික මිනිසකු බිහි වීමට අවශ්‍ය සියල්ල ඔහුගේ දීර්ඝ ගමනේදී ඔහුට ලැබුණි. තමා අයත් කුලය, ජාතිය, ආගම, උගත් පාසල ආදී වාර්ගික කොටුපවුරුවලින් මිදී ඔහු ලබාගත් දැනුමට හා හෘද සාක්ෂ්‍යයට එකඟව හැසිරීමට අවශ්‍ය සමාජ භාවයක් ඔහු සතුවිය. ඔහුගේ ලියවිලිවල දැකිය හැකි ප්‍රධානම කරුණ නම් අවංක බවයි. ඒ අවංක බව ලබන්නේ හීනමානයෙන් තොර පූර්ණ මිනිසා වෙතිනි. ඔහුගේ ලියවිලිවල භාෂාව වනාහි ලෙයින් මසින් පිරුණු පණ ගැහෙන එකක් වන්නේ එය ඔහුගේ හදවතේ භාෂාව ද වූ හෙයිනි .
‘ප්‍රේමයේ සත්‍ය කතාව’ හා ‘එක් අසත්‍ය කතාවක්’ යන දෙඈඳුතු නවකතාව සිංහල යථාර්ථවාදී නවකතාවේ උසස්ම කෘති අතර වන බව මගේ හැඟීමයි. ඔහු සතු ප්‍රඥා සම්පන්න බවින් ඒ නවකතාවට අදාළව සමකාලීන සමාජය විවරණය කරන්නේ ඔහුගේ අවංක හදවතේ භාෂාවෙනි. ලංකාවේ යථාර්ථවාදී නවකතාව ‘ප්‍රේමයේ සත්‍ය කතාව’ නැවැත්වූ තැනින් පටන් ගත්තා නම් සිංහල නවකතාවට මීට වඩා හොඳ කලදසාවක් යන බව මගේ හැඟීමයි.
ගුණදාස අමරසේකරයන් මට මුණ ගැසෙන්නේ මා පාසල් යන අවධියේ අප පාසලේ දේශනයකට පැමිණුනු දිනයකය. එය 1980 තරම් ඈත දිනයකි. ඒ වන විටත් සමසමාජ පාක්ෂිකයෙකු වූ මට කොළඹ කේන්ද්‍ර කරගත් සංස්කෘතික සමාජයේ දොර ඇරෙන්නෙ එදාය. අමරසේකරයන් සමග එදා අප පාසලට පැමිණි ඔහුගේ මිතුරෙකු වූ පියසේන ගුණතිලක හඳුනාගන්නේත් ඒ නිසා මගේ ජීවිතයට වැඩදායී සංස්කෘතික හා පෞද්ගලික ජීවිතයේ අනුශාසකයෙකු ලැබෙන්නේත් ඒ හමුව නිසාය. ගුණතිලක මහතා හමුවීමට එතුමාගේ නිවසට පැමිණෙන ගුණදාස අමරසේකරයන් ඔවුනොවුන් කතාබහ කළ දේවල් මම අසා සිට ඇත්තෙමි. එදානම් ගුණදාස අමරසේකරයන් මෙවන් දේශපාලනික අන්තයකට ගමන් කරනු ඇතැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි.
ගුණදාස අමරසේකර වැනි සමාජයීය වශයෙන් සවිඥානක උගතුන්ට චකිතයක් නැතුව රැඳී සිටිය හැකි දේශපාලන පක්ෂයක් වශයෙන් ලංකා සමසමාජ පක්ෂය එදා ගොඩනැගී තිබුණේය. ආචාර්ය සරත් අමුණුගම සිය ‘අන්තිම සටන’ කෘතියේ පවසන්නාක් මෙන් ඇන්. ඇම්, කොල්වින්, ලෙස්ලි, බර්නාඞ්, යන නායක මණ්ඩලය තරම් කෘතහස්ත දැනුමැති නායකත්ව මණ්ඩලයක් ලෝකයේ අන් කිසිදු රටක දේශපාලන පක්ෂයකට නොසිටියේය. එය සත්‍යයක් හෝ අර්ධ සත්‍යයක් වේවා, දැනුම හා සංවාදය පදනම් වූ දේශපාලන පක්ෂයක් ලෙස සමසමාජ පක්ෂය වැඩී තිබුණු බව එම ප්‍රකාශයෙන් කියැවේ. අමරසේකරයන් වැනි සමාජ සවිඥානක උගතෙකු ඒ කෙරෙහි ආකර්ෂණය වීම, ඔහු හුදකලා බුද්ධිමතෙකු, කලාකරුවෙකු, වෘත්තිකයකු, වීමෙන් එහා ගිය මහා මිනිසකු වීමට බලපෑවේය.
1978 අගෝස්තු මාසයේ මියගිය ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ වියොවෙන් තැවෙන අමරසේකරයන් මෙසේ ලියයි.
“පවිටුනි, තමා උදරය පිරුමෙන් වසන
තොපමය නිගා දෙන සත මිනිසත් සසුන
කළ පව් සමා කරනුව දැන්වත් ඉතින
දණ බිම ඔබා ගොස් වඳු ඒ මුනි පතුල”
ගුණදාස අමරසේකර
(උපුටා ගැනීම, කවිය. 1979.8.20)
මේ කියන්නේ ලංකාවට මාක්ස්වාදය හඳුන්වා දුන් පුරෝගාමී නායකයකු, තමන් අද පතන සාරධාර්මික බෞද්ධ සමාජයේ ප්‍රමුඛතමයාගේ (බුදුන් වහන්සේගේ) මට්ටමට අමරසේකරයන් විසින් ඔසවා තැබූ ආකාරයයි. එහෙත් පසුව ඔහු ලංකාවේ මාක්ස්වාදය හිස නැති කවන්ධයත් ලෙස හැඳින්වීය. නමුත් කැපවුණු පාක්ෂිකයෙකු හෝ දේශපාලනඥයෙකු නොවූ අමරසේකරයන් සමසමාජ පක්ෂයේ පරිහානිගත සමයත් සමග හුදකලා බවට පත්වේ.
ලංකාවේ අනෙක් ප්‍රාඥයකුට නොමැති තරම් වන වෙනස්වීමට අමරසේකරයන්ට ඇති පුළුවන්කම අප වැනි සිතන්නන් ගේ නරකටද, ජාතිකවාදීන්ගේ (ජාතිවාදීන්ගේ) හොඳට ද සිටියේය.
අප දන්නා අමරසේකරයන් කුලවාදය, ආගම්වාදය, ජාතිවාදය, පාසල් වාදය ආදි කොටු පවුරු දැඩිව ගත්තෙකු නොවේ. එහෙත් ඔහු වටිනාකම් සහිත රටක් අවංකවම ප්‍රාර්ථනා කරන්නෙකි. ලංකා සමසමාජ පක්ෂයේ ස්වර්ණමය යුගයේ දී එහි සිටි ප්‍රතාපවත් හා අවංක නායකයන් සමග ඒ දේශපාලන ව්‍යාපාරයට තමා පතන වටිනාකම් සහිත රට හෝ අවම වශයෙන් ඒ සඳහා වන අඛණ්ඩ ක්‍රියාවලියක අත්තිවාරම හෝ දැමිය හැකි වේ යැයි අමරසේකරයන් සිතන්නට ඇත. එහෙත් එය ඉටු නොවුණි. අනතුරුව මේ රටේ ගැමි උගත් දරුවන්ගේ නැගී සිටීමේ අවංක ප්‍රයත්නය පිළිබඳ අධිතක්සේරුවක් අමරසේකරයන් විසින් ඇති කර ගත්තේය. වරෙක ඔහු පුවත්පතකට ලිපියක් සපයමින් ‘ඬේලිනිවුස් පුවත්පතෙන් ලංකාව දුටු මෙරට මැද පන්තියට ඒ තුලින් ඔවුන් දුටු රටට වඩා වෙනත් රටක් යථාර්ථය පවතින්නේ යැයි මේ තරුණයන් පෙන්වා දුන්” බව පැවසීය.
ලෙයින් හා යකඩින් මර්දනය වුනු ජවිපෙ දෙවන තරුණ කැරැල්ලෙන් පසු වඩාත් ජාතිකවාදය වෙත නැඹුරු වූ අමරසේකරයන් අද සිටින වනාන්තරය දක්වා පැමිණ සිටී.
මහාචාර්ය නලින් ද සිල්වා සහ දොස්තර ගුණදාස අමරසේකර දෙපල මවිසින් හඳුනාගන්නේ එකම ජාතිකවාදී කඳවුරක නායකයන් හෝ අනුශාසකයන් දෙදෙනෙකුට වඩා ජාතිකවාදී කඳවුරු දෙකක එකිනෙකට වෙනස් නායකයන් හෝ අනුශාසකයන් දෙදෙනෙකු ලෙසිනි. ඒ දෙදෙනාම තමන් පෙනී සිටින ව්‍යාපෘතියට අවංක බව විශ්වාස කරමි. ඒත් මට අනුව නම් වඩාත් හෘදයංගම මිනිසා අමරසේකරයන්ය.
අමරසේකරයන්ගේ ජීවිතයේ පිරී ඇත්තේ ඔහු පවසන ගැමි පුරුෂාර්තයන්ගෙන් නොව නාගරික මධ්‍යම පාන්තික පුරුෂාර්ථ වලින් බව මගේ අදහසයි. ඔහුගේ සමීප මිතුරකු හා මගේද මිතුරෙකු මා සමග පැවසුවේ අමරසේකරයන් දැනට සේවය කරන කදවුර විසින් ඔජ වඩන බොහෝ කාරණා අමරසේකරයන් විසින් අනුමත නොකරන බවයි. ශ්‍රී ලාංකික භික්ෂුවගේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ බලවත් විවේචනයක් ඔහුට ඇති බව මගේ මිතුරා මා සමග පැවසීය. ඔහුගේ පැරණි සමකාලීන සමාජ ක්‍රියාකාරී මිතුරන්ට ඔහු නතර වී ඇති තැන පිළිබඳව ඇත්තේ සංවේගයකි. එහෙත් ඔවුන් සියල්ලම එකහෙලා පවසන්නේ අමරසේකරයන් කවර තරම් මජර වටපිටාවක් සමග පයුරු පාසානයන් පැවැත්වූවා වුවත් යහපත් මිනිසකු ලෙස නාම ගැන්විය හැකි පුද්ගල භාවයන්ට හානියක් නොකරගත් බවයි. එයම මහා පුරුෂ ලක්ෂණයකි
අඟුටුමිට්ටන් දහස් ගණනකගේ අත්පුඩි වලින් සන්තෝෂ වෙන ගලිවරයකු ලෙස මේ දැවැන්ත පරිණත වයස්ගත මිනිසාට ගත කරන්නට සිදුවීම අප තේරුම් ගත යුත්තේ ඔහුගේ අර්බුදයක් පමණක් ලෙස නොව ‘වටිනාකම් සහිත රටක්’ පැතූ අවංක බුද්ධිමතෙකු ඛේදවාචකයක් කරා ඇදගෙන ගිය සමාජ ව්‍යාපාරයන්ගේ ස්වරූපයය.
‘ප්‍රේමයේ සත්‍ය කතාවෙන්’ කූටප්‍රාප්තියට පත් විශ්වීය අගයකින් යුක්තවූ ඔහුගේ නවකතාව, කෙටිකතාව, කවිය වනාහි අවංක හෘදසාක්ෂියකින් මෙහෙයවුනු ශිල්පීය නිපුණතාවයෙන් අගතැන්පත් ලංකාවේ නූතන සාහිත්‍යයේ අසමසම කෘතිීන්ය. එවැනි අපාර්ශික විවෘත දැක්මක් ඒ තරමට අත්පත් කර ගැනීමට අද තබා එදා පරපුරේ කිසිවකුටවත් නොහැකි වූ බව මගේ හැඟීමය.ි ඒ සාර්ථක නිර්මාණ කාර්යයට ඔහුගේ එකල දැක්ම හා මහාපුරුෂ ඇසුර ආදී සියල්ලම බලපෑවේය.
සිය කැමැත්තෙන් තමා දැවැන්තයෙකු කළ ඒ අපාර්ශික විවෘත දැක්මට සමුදුන් අමරසේකරයෝ සැක සංකා සහිත අඟුටුමිටි පිරිවරට ගැලපෙන සාහිත්‍ය ව්‍යාපාරයකට පිවිසෙයි. ‘ගමනක මුලින්’ ඇරඹෙන ඒ අවගමන ඔහු අත්පත්කරගෙන සිටි විශිෂ්ටතාවයන් තමා විසින්ම හකුලා තැබූ අයුරු ශෝචනීයය.
එහෙත් සාහිත්‍ය හා සමාජ ව්‍යාපාරවල යෙදෙන අපට මේ දැවැන්තයා අමතක කළ නොහැකිය. ඔහුගේ හද බස තේරුම් ගැනීම, කෘතියට අවංක වීම යන කාරණා ඔහුගේ ගමනේ මැදට ගොස් අප තේරුම් ගත යුතුය. නිර්මාණය වනාහී බුද්ධිමය කටයුත්තක් බවද ඔහු අපට පසක් කළේ ය.
“ වටිනාකම් සහිත රටක්” පැතූ මේ අවංක දැවැන්තයාට චිර ජීවනය පතමි.
-චන්ද්‍රරත්න බණ්ඩාර
2020 නොවැම්බර් 20 දින රාවය පුවත්පතේ පළවිය.