Saturday 20 October 2018

තනි මිනිහෙකුට වුවද ඉතිහාසය වෙනස් කළ හැකිය.

ගම්උදා භූමියක ගී ගයමින් සිටි අවස්ථාවක ජෝතිපාල මිය ගියේය. ඒ වන විට ප්‍රබුද්ධ ලෙස හැඳින්වුණු සමාජයේ අධිපති තීරුව විසින් ජෝතිපාල වැදගත් කලාත්මක සමාජයන් වෙත වැද්ද නොගත යුතු කෙනෙකු යයි මතයක් තිබිණි. 1980 දී පමණ නුවර බෝගම්බර පිටියේ පැවති ඇසළ මේලා සැණකෙළියේදී ජෝතිපාල ගී ගායනා කරන්නට පැමිණි විට නරඹන්නන් අතර සිටි පිරිස් නොනවත්වා ඔහුට හූ කියූ අයුරු මට තවමත් මතක තියේ. අප වුවද එකළ අපේ මතාන්තර අනුව ඒ 'හූව' අනුමත කළා විය හැකිය. නමුත් ජෝතිගේ මරණය, අප අයත් නොවූ ඔහුගේ විශාල ශ්‍රාවක සමාජයට දැවැන්ත ශෝකයක් ගෙන දුන්නේය.
මීටත් ටික කලකට පසුව දිවයින පුවත්පතට 'ඇද වැටුණු සංස්කෘතික බල කණුව' මැයෙන් ආචාර්ය සරත් අමුණුගම ලිපියක් ලිවීය. ප්‍රබුද්ධ යයි හැඳින්වුණු  සමාජයෙන් පළමුවරට ජෝතිපාල ඇගයුනේද, ඔහුගේ බලවත් සමාජ නියෝජනය ගැන ධනාත්මකව බැලුවේද ඒ ලිපියෙන් පසුවය. ආචාර්ය ජයදේව උයන්ගොඩද ඒ මතයට සහාය දක්වමින් දිවයිනටම දෙවන ලිපියක් ලිවීය.
කොටින්ම ආචාර්ය අමුණුගමයන්ගේ බලවත් ලිපිය කලාවේ ප්‍රබුද්ධ/පීචං බෙදීම්වල මායිම් ඉර නැවත ප්‍රශ්න කරන තැනට සමාජයම පත් කළේය. ජෝති නැවත සොයා යාමේ ගමනට කේමදාස මාස්ටර්ද එක් විය. කේමදාසයන්ගේ ප්‍රසංගවල නිදර්ශන ගායනා සඳහා ජෝති මෙන් ගී ගායනා කළ හැකි අනුර එදිරිසිංහ නම් අපූරු තරුණයෙකු  සොායා ගත්තේය.
ජෝතිපාල මැනවින් අවබෝධ කර නොගත් සමාජ බන්ධනයේ කඩ ඇණය ගැලවූයේ ආචාර්ය අමුණුගමයන්ය. එතැන් සිට වසර හතළිහක පමණ කාලයක් තිස්සේ ජෝතිපාල යශෝරාවය සමාජයේ ස්ථාවර දෙයක් බවට පත් විය. මේ මහා වික්‍රමය කළ තනි මිනිසා ආචාර්ය සරත් අමුණුගමය.

Sunday 14 October 2018

Frantz









Ernst Lubitsch  ගේ Broken Lullaby නවකතාව ඇසුරින් Francois Ozon ප‍්‍රංශ හා ජර්මන් භාෂාවලින් නිමැවී ඇති Frantz  චිත‍්‍රපටය යුද  වින්දිත සිනමාවේ අග‍්‍රගණ්‍ය ඵලයක් විය හැකි, කලාත්මක බවේ සීමාවන්ට අපූරුවට ළඟාවෙන, මනුෂ්‍යත්වයේ ආලෝකය තව තවත් දල්වාලන සැබෑම කලාකෘතියක් ලෙස Frantz  මගේ පිළිගැනීමය.
ඈන් පළමුවන ලෝක යුද්ධයේදී මරණයට පත්වූ Frantz නම් වූ සිය පෙම්වතා අහිමිවීමේ වියෝ දුකින් පෙළෙන යෞවනියකි. ඈ ජර්මානු ජාතියට අයත් ය. ජර්මානු ජාතික වෛද්‍යවරයකු වූ මාමා සහ නැන්දණිය සමග වෙසෙන ඈ හැකි සෑම අවස්ථාවක ම සිය පෙම්වතාගේ යැයි සිතන සොහොන් බිම වෙත ගොස් මල් කළඹ තබයි. වෛද්‍යවරයෙකු වුවද ප‍්‍රංශ රෝගීන්ට ප‍්‍රතිකාර නොකිරීමේ ප‍්‍රතිපත්තියක සිටින්නේ තම පුතා මරා දැමූ ජාතියට දක්වන වෛරයක් වශයෙනි.
යම් දිනක තම පෙම්වතාගේ සොහොන් බිමට මල් කළඹක් තැබීමට යන ඇන්ට අමුත්තකු පැමිණ එම සොහොනටම මල් කළඹක් තබා යන අයුරු දක්නට ලැබේ. ඒ ප‍්‍රාන්ට්ස්ගේ (ඈන්ගේ මියගිය පෙම්වතා) හිත මිතුරකු ලෙස පෙනී සිටින ප‍්‍රංශ ජාතික සොල්දාදුවකු වූ ඇන්ඩි‍්‍රියාන් ය. ඔහු ප‍්‍රාන්ටාස්ගේ දෙමාපියන් ද හමුව තමා ප‍්‍රාන්ටාස්ගේ මිතුරකු ලෙස පෙනී සිටී. එහෙත් පසුව ඈන් හා ඇත්ත හෙළි කරන ඇන්ඩි‍්‍රියාන් තමා අතින් ප‍්‍රාන්ට්ස් මියගිය බව පවසයි. ඒ මරණය නිරපරාද මරණයක් බව තේරුම් ගන්නා ඇන්ඩි‍්‍රියාන්  ඒ සමගම ඈන්ට ප‍්‍රාන්ට්ස් විසින් ලියා තැබූ ලිපියක් ද හමුවේ. එයින් වඩාත් කම්පනයට පත්වන ඇන්ඩ‍්‍රියාන් සියල්ලන්ගෙන් සමාව ගැනීමේ අටියෙනි  මෙහි පැමිණ ඇත්තේ.
සිය පුත‍්‍රයාගේ වියෝවෙන් දුක්වන ප‍්‍රාන්ට්ස්ගේ දෙමාපියන් මිතුරු වෙසින් පෙනී සිටින ඇන්ඩි‍්‍රියාන්ගෙන්  සැනසෙන බව දකින ඈන් ඒ සතුට විනාශ කිරීමට අකමැතිවේ. එහෙත් තම පෙම්වතා මරා දැමුවේ ඇන්ඩි‍්‍රියාන් යයි  නොකියා සිටීමට ද අමාරු ය. එහෙයින් ඒ රහස තමා සමගම වලලා දැමිය යුතු යයි සිතා ඇය සියදිවි නසා ගැනීමට ද තැත් කරයි. එහෙත් කිසිවකු ඇය බේරා ගනී. අනතුරුව ප‍්‍රාන්ට්ස්ගේ දෙමාපියන්ගේ සංතෝෂය වෙනුවෙන් ඇය ඇන්ඩි‍්‍රියානා  සමග විවාහ වීමට ද එකඟ වේ.
 Frantz ආත්ම පරිත්‍යාගයන්ගේ වටිනාකම් පිළිබඳව හොඳම උදාහරණ ගණනාවක් කැටි කරන කලා කෘතියකි. පසුතැවීම ජීවිතයේ වෛරය තුරන් කරයි. මනුෂ්‍යයන් අතර නිරර්ථක වර්ගවාදය  අභිබවා කරුණා ආලෝකයේ අගය අපේ ආත්මයන් තුළට ම ඇතුළු කරයි. ඒක රේඛීය නොවන එහෙත් තර්කානුකූල පෙල ගැසීම් සහිත මනුෂ්‍ය ජීවිතය එකිනෙකාට දයාව දැක්වීම හරහා කෙතරම් අර්ථවත් කළ හැකිද?
 Frantz  යහපත් මිනිසුන් තුළ සැඟවී පවත්නා අනේකවිධ මනු ගුණ ඉස්මත්තට ගෙන පෙන්වන අපූරු චිත‍්‍රපටයකි. ප‍්‍රධාන කතාව ගලා යන්නේ කළුසුදු වෙනි. එක්දහස් අටසිය ගණන්වල ජන ජීවිතය වඩාත් සජීවී කිරීම සඳහා විය හැකිය ඒ. වර්ණ රූප රාමු අවධාරණයන් හා විශේෂතා දැක්වීමටය. ඒ යුගයේ රිද්මය අපූරුවට අපට පෙන්වා දෙයි.
 නූතන කලාවේ අග‍්‍ර ඵලයක් වූ සිනමාව මනුෂ්‍යත්වය හා යහපත වෙනුවෙන් පෙනී සිටින අයුරු කෙතරම්  විචිත‍්‍රද?
මිනිත්තු113ක  ධාවන කාලයකින් යුත් Frantz 2016  ලක්ශම්බර්ග් හිදී පළමු ප‍්‍රදර්ශනය අරඹා ඇත. Pierre Niney    (ඇන්ඩ‍්‍රියාන්)  Paula Beer (ඈන්)  ප‍්‍රධාන චරිත නිරූපණය කරයි.