Sunday, 5 March 2023

පුරවරක මතක

 





මේ පිංතුරවල තියෙන්නේ තවමත් පණගැහෙන දේශපාලන හා සංස්කෘතික නිජබිමක සජීවිී නටබුන්. මහනුවර කොටුගොඩැල්ල වීදියත් දළදා වීදියත් ආරම්භ වන මංසන්ධිය සමීපයේ පිහිටි මේ දෙබිච්චිය මැදින් ගොස් තරප්පු පේලියකින් ගොඩ වී පිවිසෙන කාමර දෙකක වම් ඉවුරේ ධාරා දෙකක දේශපාලන ව්‍යාපාර දෙකක් ක්‍රියාත්මක වුණා. වම්පැත්තේ කාමරයේ සවිකර තිබුණු 'පොදු සේවක සංගමය ' මට තාම මතකයි. එම කාමරයේ ප්‍රධානියා වෘත්තීය සමිති නායක ජයරත්න මලියගොඩ. කොමියුනිස්ට් පක්ෂය ඇසුරේ දේශපාලනය ආරම්භකොට එතැනින් ඉවත්ව පොදු සේවක සංගමය පිහිටුවාගෙන වෘත්තීය සමිති ව්‍යාපාරය ඉතා කුඩා කර්මාන්ත ශාලා හා වැඩපොළවල් දක්වා ව්‍යාප්ත කළ නිර්මාණාත්මක මිනිසෙක්. අප පාසල් සිසුන් වූ එක්දහස් නවසිය හැත්තෑ ගණන් අගභාගයේ මේ දෙබිච්චිය තුලින් මේ දේශපාලන කාර්යාලයට පිවිසුණු චරිත කිහිපයක් අප දැක තිබෙනවා. ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ආචාර්ය සුදර්ශන් සෙනවිරත්න මට මතක දෙදෙනෙක්. ඉතා කෙසඟ හැමවේලාවේම කුඩයක් අතින්ගත් තැනැත්තෙක් සිය සුන්දර පෙම්වතිය සමග මේ දෙබිච්චිය දිගේ අර කාමරයට යනවා. ඒ ආචාර්ය දයාන් ජයතිලක . එකළ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.ඔවුන්ගේ දේශපාලන සංවිධානය වූ 'සමාජ අධ්‍යයන කවයේ " මූලස්ථානය වූයේත් මේ මලියගොඩගේ කාමරය. මේ සියල්ලම යන්නේ සිය දේශපාලන ව්‍යාපාරයේ සාකච්ඡාවලට. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේවත් නැති තරම් විශාල ජෝෂප් ස්ටාලින්ගේ ඡායාරෑපයක් එහි සවිකර තිබුණා මට මතකයි. ඒ මා ලංකාවේ දී හෝ පිටරටකදී දුටු විශාලම ස්ටාලින් පිංතුරයයි. 

අනෙක් කාමරය නිල කොමියුනිස්ට් පක්ෂයට අයත්ය. රංජිත් විජේසිංහ, රාජා උස්වැටකෙයියාව වැනි සහෝදරවරු නිසා අපි එහි ගියෙමු. සොල්දර කාමරයක් වූ එය චාල්ස් ඩිකන්ස්ගේ නවකතාවල මධ්‍යකාලීන නිවසක පැහැය මකාලූයේ නිරන්තරව එතැන සිදුවූ සජීවී සංවාද හා සහෘදයින්ගේ යාම් ඊම් නිසාය.


නගරයට ආවොත් ගොඩවුනු තැනක් වූ එහි හැදෙන තේ කෝප්පයේ අල්ලපු කැෂමාරා හෝටලයේ හෝ අසබඩ ක්වීන්ස් හෝටලයේ තේ එකට වඩා මතකාවලියේ රැඳුනු රසයක්  තිබුණි. විකල්ප පත්තර හැම එකක්ම තිබුණු ඒ සොල්දර කාමරයේ කතා වූයේත් විකල්ප දේවල්මය. ළමා හා  තරුණ වියද පසුකොට මැදියම් වියද ගෙවා දමමින් සිටින අපට මේ සොල්දර ගෙදර මහනුවර නගරයේ අපූරු පුරවර සංකේතයකි.

1977 දී ජේ.ආර්.ජයවර්ධන ලංකා සමාජය උඩු යටිකුරු කොට සමාජයේ එතෙක් පැවති චලනයේ ස්වරූපය වේග රිද්මයකට පරිවර්තනය කළේය. ඒ පරිවර්තනයේ පළමු අනිටු විපාක විඳින්නට සිදුවූයේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයටය. හිතින් හිතාගන්නට බැරි බුද්ධිමය මහිමාවක් පෙන්වූ කොමියුනිස්ට් - සමසමාජ දෙපක්ෂයේම නායකයන් සහමුලින්ම පාර්ලිමේන්තුවෙන් පන්නා දැමුණි.  


එතැන් සිට 'ඊළඟට කරන්නේ කුමක්ද?' යන උභතෝකෝටිකය හමුවේ පැරණි වාමාංශය දිනෙන් දින ඔත්පල විය.

ඒ ඔත්පලවීම තිබියදීත් මහනුවර කොමියුනිස්ට් පක්ෂයේ හා සමසමාජ පක්ෂයේ නායකයෝ සිය ශක්ති ප්‍රමාණයෙන් සිය ව්‍යාපාරය රැකගත්හ.

මේ සොල්දර ගොඩනැගිල්ලේ දකුණුපස කාමරය ඒ වාමාංශය රැඳුනු එක තැනකි. රාජපක්ෂ ආවේශය වැළඳුනු කොමියුනිස්ට් සමසමාජ නායකයෝ තවදුරටත් සිය පක්ෂ ඒ තුළ විමුක්තිය සොයද්දී මේ කාමර වැසියෝ එයින් මිදී විකල්ප මාවත් සොයන්නට විය.

අවසානයේ මෙහි ඒකමිතිය බිඳීගොස් පරවාද ඉවසන වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුවක් ගත් කාමරයක් බවට පත්විය. මෙහි ආගිය ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විය. රාජා උස්වැටකෙයියාව එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන තැන දක්වාම දකුණු ඉවුරට සමීප විය. එහෙත් ඔහුගේ ගැඹුරු අතීතය ලියැවී ඇත්තේ රතුපාටින් නිසා රාජා තවමත් නුවරුන්ට වාමාංශිකයෙකි. රංජිත් සහෝදරයා සිය කඳවුර මාරු නොකළ නමුත් වාම දේශපාලන උභතෝකෝටිකයක සිරවී සිටින සෙයකි. ඒවායේ වාස්තවිකත්වය විමසීමට මෙසේ දුර සිට බැරිය.


සොල්දර මහලේ දකුණු කාමරයේ අණසක පැතිරවූ මලියගොඩ සහෝදරයා මියයාමත් සමග ඒ කාමරයේ වාමාංශික බව අතුරුදහන් වී දැන් තේ කඩයක් බවට පත්වී තිබේ.


මම තවමත් මහනුවර නගරයට යන සෑම දිනයකම මේ ඩිකන්සියානු සොල්දර ගෙදර දකුණුපස කාමරයට යමි. දැන් එහි බොහෝ විට සිටින්නේ අප නාදුනන සහෝදරයින්ය. විටින් විට කෝරලේගෙදර තිලකේ, නිහාල් හෙට්ටිආරච්චි වැනි තවමත් අල්ලාගෙන සිටින වාමාංශිකයින් මුණගැසේ. විජය නන්දන සහෝදරයාද නුවරට පැමිණි විට මේ කාමරයට ගොඩවෙන බව මා සමග පවසා ඇත. මේ කාමරයට පැමිණෙන සියල්ලන්ම පාහේ යම් දේශපාලනයක නිරත වුවන් බව මගේ අවබෝධයයි. එදා නම් ඒ සියල්ලන්ම පාහේ කොමියුනිස්ට්වාදීන් වූහ. අද එසේ නොවේ. දකුන,වම,  යන ධාරාවන් දෙකම නියෝජනය කරන්නෝ එහි එති.යති. එහෙත් මේ භූමියේ එදා මෙදා තුර රැකගත් ආචාර ධර්මයක් වේ. ඒ ජාතිවාදයට එහි ඉඩක් නැතිකමයි.

අදටත් අප එහි යන අරමුණ වෙන්නේ රංජිත් විජේසිංහ හෝ රාජා උස්වැටකෙයියාව සහෝදරයන් මුණගැසීමය. මෑත අවුරුදු පහ හය පමණ කාලය තුල එහි ගිය කිසි දිනෙක අර පැරණි රස තේ කෝප්පය ලැබුණේ නැත. එහෙත් තවම එහි විකල්ප පත්තර තිබේ. තේ බීම සඳහා එතැන සිටින රාජා හෝ රංජිත්ද කැටුව පහළ බේක්හවුසියට හෝ ක්වීන්ස් හෝටලයට යන්නෙමු. සියල්ල වෙනස් වි ඇතත් ගොඩනැගිල්ලේ හැඩයත්,රාජා, රංජිත්, කෝරලේගෙදර ආදීන්ගේ තරුණ ස්වරූපයත්  වෙනස්ව නැත. සමහරවිට ඒ සියල්ලටම ඇත්තේ වාමාංශික හෘද සාක්ෂියක් නිසා විය හැකිය.


Sunday, 26 February 2023

Lunana: A Yak in the classroo



''ලෝකයේ සතුටින්ම ජීවත්වෙන මිනිස්සු ඉන්න රට මේක. රට අතහැරලා යන්න හදන ඔබ ඒ ගැන නැවත වරක් හිතන්න.''


මේ ආකාර ප්‍රකාශයක් තරුණ ගුරුවරයෙකුට කියන්නේ ලෝකයේ වඩාත්ම දුෂ්කර පලාතේ ,එනම් භූතානයේ  Lunana ගම්මානයේ අත්දැකීම් සපිරි ගම්නායකයා වන Asha විසින්. තමාටම කියාගන්නා ලෙස සෙමෙන් කොඳුරන මෙම වැකිය මෙම චිත්‍රපටයේ මා සිත්ගත් බලපෑම් සහගතම වැකියයි. රට හැර දමා යන්නට පොළඹවන සාධක බහුල ශ්‍රීලාංකික අපට, සමෘද්ධිමත් බව පිළිබඳ භෞතික බොහෝ දේ අහිමි භූතානයේ අති දුෂ්කර ගම්මානයක මිනිසුන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ ප්‍රාර්ථනා සියල්ල සිය රට තුළදීම ඉටුකරගන්නට වෑයම් කරන්නේ කෙසේද? මා වටහාගත් දෙය නම් අපේක්ෂා භංගත්වය දුප්පත්කමට වඩා පීඩාවක්ව මිනිසාට දැනෙන බවයි. භූතානයේ තිබෙන්නේ දුප්පත්කමයි. අපිට ඇත්තේ අපේක්ෂාභංගත්වයයි. සමස්ත ජනගහණය 422 ක් වැනි කුඩා සංඛ්‍යාවක් ජීවත්වෙන  Lunana හි දස දෙනෙකුට පමණ නොවැඩි පාසල් සිසුන් ඒ දුගී පාසලේ ඉගෙනුම ලබයි. 

තිම්පු අගනගර වැසි බටහිර සිරිත් විරිත් කෙරේ ලොල් නව යොවුන් තරුණයෙකු වන Uyanga පුහුණුවන ගුරුවරයෙකි. සංගීත ශිල්පියෙකු ලෙසද හපන්කම් දක්වන ඔහුගේ බලාපොරොත්තුව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී බටහිර සංගීත ශිල්පියෙකු ලෙස සිය අනාගත ජීවිතය ගත කිරීමය. එහෙත් සිය මිත්තණියගේ ඉල්ලීමට එකඟව ඔස්ට්‍රේලියාවට යාමට වීසා ලැබෙන තෙක් පස්අවුරුදු පුහුණුවේ අවසාන වසරේ ඉගැන්වීමේ කටයුතු සඳහා Lunana වට යයි. ඉතා අපුලෙන් හා අකමැත්තෙන් ලොව දුෂ්කරම ගම්මානයේ දුෂ්කරම පාසල කරා යන්නේ ඔහුගේ ඔස්ට්‍රේලියානු සිහිනය එසේම තිබියදීමය . ඒ ගම්මානයේදී එහි ජීවත්වෙන උනන්දු සහගත වැඩිහිටියන්ගේ හා දරුවන්ගේ අනුසාරයෙන් ඒ පරිසරයටත් ඒ මිනිසුන්ටත් එහි පවත්නා භෞතික හා පාරභෞතික හැම දේමත් ඔහු අවබෝධ කරගන්නටත් ඒවාට ආදරය කරන්නටත් පෙළඹේ.

(මෙහි කතා තේමාව අයත් විකිපීඩියා ලින්කුව අමුනා ඇත.) 


මිනිස් ආදරය හා පරිසරය ඇසුරෙන් ඔහු පෙලූ අපුල සහ අකමැත්ත පහව ගොස් මේ කඳුකර දුෂ්කර ගම්මානයේ සෑමදේටම ලෙන්ගතුවේ. ඒ අතරින් එහි ජන සංගීතය හා ගායනා ද ඔහුගේ සිත් ගනී.


සීත කාලය එළඹේ. ඔහුට ඔස්ට්‍රේලියාවට යාමට වීසාද ලැබේ. Uyanga ආපසු යයි. ඔහු නැවත අපට හමුවන්නේ ඔස්ට්‍රේලියාවේ අවන්හලක ගී ගයන දර්ශනයකිනි. (සම්පූර්ණ කතාව විකිපීඩියා ලින්කුවෙන් කියවන්න)

ජීවිතයේ පරමාර්ථය කුමක්ද? සතුට යනු කුමක්ද? මිනිසාට ජීවත් වීමට කොපමණ භෞතික දේවල් ප්‍රමාණයක් අවශ්‍යද?

ඒ අප මිනිසුන් වශයෙන් විසඳුම් සොයන හා ගැටගැසී ඇති ප්‍රශ්න ටිකයි. Lunana චිත්‍රපටය මේ ගැටලු අප හිතන තරම් ගැටලුකාරීද යන්න හිතන්නට අප පොළඹවයි.

ලෝකයේ පාසලක් පිහිටා ඇති දුෂ්කරම ගම්මානය ඇත්තේ භූතානයේය. එහෙත් ලොව සතුටින්ම වෙසෙන ජනගහණයක් සිටින්නේද එම රටේය. චිත්‍රපටයේ තේමාවම මේ සංකීර්ණ උභතෝකොටිකයයි. 

මෙම චිත්‍රපටය  නෙට්ෆිලික්ස් මගින් නැරඹිය හැකිය. 

https://en.wikipedia.org/wiki/Lunana:_A_Yak_in_the_Classroom

Friday, 23 December 2022

ලෝකයේ හරි මැද

 දසදහස් ගණනක් පොත් අතර

තිබෙන්නට ඇත පෙම්පතක්

කවුරු හෝ කවියෙකු ලියූ

අපට හරියටම ගැලපෙන


මග අයුරු නොදැන මුත් 

මග අයුරු දැන වගේ ආ ගමන

එක තැනක හමු වී

තතනද්දි කියන්නට යම් දෙයක් 

සිතුවමට අධිපති දෙවියා 

කඩා වැදී එතැනට

ඇන්දේය සිතුවමක්  

දෙව්ලොවේ වර්ණයෙන්

දැන් ඒ සිතුවම ඔබ අබිබවා තොසිනි.

සාරි ඇන්දත් ඔසරි ඇන්දත් ගවුම් ඇන්දත්

නිරුවතින් හිටියත්

සැමකල්හි ඔබ සිටින්නේ 

දෙවියන් ඇන්ද වූ ඇඳුම් ඇඳගෙන


ඒ කවි පොත තිබුණු බිම්කඩ

සිතුවම ඇන්ද බිම්කඩ

වෙනස් විදිහේ මදහසක් මෝදුවුනු බිම්කඩ

කාලයේ වේගය ගැන අමනාප වු බිම්කඩ

නව බිජුවට වපුල බිම්කඩ

අතපත් නොවූ කවිපොත

සොයන්නට එන්න හිතෙන බිම්කඩ

පැදකුණු කළ වග සැලව

ඒ පැරණි මදහසම යළි මෝදු විය මා ව



Tuesday, 20 December 2022

හැරලානන්දය


 


අපේ යුගයේ ලයනල් වෙන්ඩ්ට් ලෙස හැඳින්විය හැකි හැරල්ඩ් පීරිසුන්ගේ උපන් දිනය අදට යෙදී ඇත. නියමුවකු, මගපෙන්වන්නෙකු ලෙස ඔහු මා ඇතුලු බොහෝ පිරිසකට පිහිට වී ඇත. උදව්පදව් කිරීමේ හැරල්ඩ්ගේ විලාසය ඔහුටම ආවේණික විචිත්‍ර එකකි. ඔහුගේ මිතුරු වළල්ලට අයත් හැම දෙනෙකුගේ ම  දිනපතා ම පාහේ දුක සැප සොයා බැලීමේ අපූරු පුරුද්දක් ඔහු සතුව ඇත. 

ශ්‍රී ලංකාවේ චිත්‍ර හා  මූර්ති කලාවේ අභිවෘද්ධිය උදෙසා හැරල්ඩ් විසින් කරන ලද මෙහෙවර ඒ සඳහා ම පිහිටුවා ඇති ආයතනයකටවත් කිසිසේත් ම දෙවෙනි නොවේ. දයානන්ද ගුණවර්ධන සුගතපාල ද සිල්වා ගුණසේන ගලප්පත්ති ආදි සිංහල නාට්‍ය කලාවේ ස්වර්ණ ම ය යුගයේ නාට්‍යකරුවන්ගේ නිර්මාණ පිටුපස හැරල්ඩ්ගේ සෙවනැල්ල තිරසරව තිබූ බව දන්නෝ දනිති. නර්තනය සාහිත්‍යාදී අනෙකුත් කලාවන් කෙරේ ද ඔහුගෙන් ලැබුණේ අනගි සහයකි.

මා හැරල්ඩ් පීරිසුන් හඳුනාගන්නේ මගේ වැඩිහිටි ම්ත්‍රයෙකු වූ දිවංගත පියසේන ගුණතිලක මාර්ගයෙනි. මා ඔහුට වඩාත් සමීප වෙන්නේ ජගත් වීරසිංහගේ කාංසාව චිත්‍ර ප්‍රදර්ශනයට වෙහෙස මහන්සිවූ 1992 පමණ ඈත යුගයක සිටය. ඊටත් පෙර 1987-89 භීම සමයේ දිවි ගලවා ගැනීමට ඔහුගේ මැදිහත් වී ම මට උපකාර විය.

හැරල්ඩ්ගේ මෙහෙවර අළලා මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය කොට ප්‍රකාශයට පත්කරන ලද 'හැරලානන්දය' කෘතිය අද නිකුත්වෙන බව දැනගන්නට තිබේ. එවැන්නකට සැලකිය යුතු මට්ටමකින් මහාචාර්ය චන්ද්‍රජීවට සහයක් දැක්වීමට මම දිවයිනේ නොසිටී ම ගැන මට මහත් සංතාපයක් ඇත. 

හැරල්ඩ් පීරිසුන් වනාහි මගේ උත්තුංග කළණ මිතුරෙකි. 'විශ්වාසා පරමා ඥාති' යන සාකල්‍යයෙන් ම සත්‍ය බුදුවදන සැබෑකළ මිතුරෙකි. ඔහු වැන්නෙකු මගේ මිත්‍ර පර්ශදය තුළ සිටීම ජීවත් වීමට වැදගත් අරුතක් ගෙන දෙන බව කිව යුතුය.

හැරල්ඩ් පීරිසුනි ඔබට චිරං ජයතු! 

Thursday, 15 December 2022

සංවේදී සම්මානයක්.

 




මගේ ජීවිත ලාලසාවන් හා ආත්මීයත්වයන් මගේ නිර්මාණ තුල ගැබ්ව තිබේ. එහෙත් අතීත නිර්මාණ හා සසඳා බලන කළ ඒ සියල්ල වැඩි ප්‍රතිශතයකින් ගැබ් වූයේ  මගේ මෑතකාලීන නිර්මාණය වූ 'ප්‍රේමානිශංස' තුළ ය. එය මට නැවත වරක් ජීවිතය මුණගැස්ස වූ අතර වැඩකරන්නට නව අවකාශයක් තනා දුන්නේය. නව මිතුරන්,ආදරණීයයන් හා නව රසික ජන සමූහයක් ප්‍රේමානිශංස මවෙත මුණගැස්සවී ය. වඩාත් ම විචිත්‍ර හා සංවේදී ම කාරණය වන්නේ ප්‍රේමානිශංස තුලින් සිය ජීවිතය නැවත විවරණය කරගන්නට වෑයම් කළ සහෘද සහෘදිනියන් රැසකගේ ඒ උත්සාහයන් මවෙත දැනගන්නට සැලැස්වීම ය. 

මේ සියලු සංතුෂ්ටිය දනවන කාරණා මෙතරම් ඉක්මනින් සාක්ෂාත් වූයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හා ස්වර්ණ පුස්තක සම්මාන ද්වය ප්‍රේමානිශංස වෙත පිරිනැමීමත් සමග ය. ඒ සම්මාන ද්වයෙන් ලැබුණු සතුටේ රැස්වළලු නිමා වී ඒවායේ අගය පමණක් ස්ථාවර වෙමින් තිබිය දී ඊයේ දින (දෙසැ.15)  හොඳ ම නවකතාව සඳහා වූ ගොඩගේ ජාතික සම්මානය ප්‍රේමානිශංස වෙත ලැබීම කෘතියට නව අගයක් එකතු වීමක් පමණක් නොව නිවී යමින් තිබුණු රැස් වළල්ල යළි දැල්වීමක් හා සමානය. 

මේ කෘතියේ නිර්මාණ අක්ෂය මා වුවත් මෙය සමූහ ශ්‍රම දායකත්වයක ප්‍රථිපලයකි. සංස්කරණ කටයුතු සඳහා දායක වූ රවි චන්ද්‍රලාල්, සම්පත් දිසානායක මූලාස්‍ර සපයා දීමෙන් සහාය වූ පූජ්‍ය මිස්සක කමලසිරි හිමි, යසන්ත නවරත්න, ජයලත් සමරක්කොඩි ආදීන් ද සිය පර්යේෂණ හා කලා කෘති මගින් උකහා ගත් දැනුම සපයා දුන් ආචාර්ය කුමාරි ජයවර්ධන හා සිනමාවේදී සෙනාල් සෂීදරන් , පර්යේෂක නන්දන වීරරත්න, සාහිත්‍යවේ දී හෂාන් රන්දික ඩයස් ප්‍රකාශනයේ වපසරිය පුළුල් කිරීම උදෙසා මා යොමුකළ මනෝරම වීරසිංහ, නිමල් ඒකනායක ආදීන් ද ඇතුළත් සුවිසල් සද්ජන සමූහයක් ගොඩගේ සම්මානයෙන් නැවත දැල්වූණු ප්‍රමෝදයට හිමිකම් කියයි.


ගොඩගේ සම්මානයේ නිර්මාතෘ එස්.ගොඩගේ සිරිමතුන් ය. ඔහුගේ දැවැන්ත හදවතේ අකලංක බවට මෙම සම්මාන උළෙලේ සිය මැදිහත්වීමේ ස්වරූපය කියාපායි. තමාගේ ම ප්‍රකාශන ආයතනයෙන් ප්‍රකාශිත විශිෂ්ට කෘති තිබිය දී පවා (ඇතැම් කෘති විශිෂ්ටම කෘති ලෙස අන් සම්මාන උළෙලයන්හි දී සම්මානිත විය) එතුමා විනිශ්චය මණ්ඩලයේ තීරණයට මුළුමනින්ම එකඟ වී ඇති බව ප්‍රේමානිශංස සම්මානයට පාත්‍ර වීමෙන්ම කියා පායි. ඒ වෙනුවෙන් මම ගොඩගේ මැතිඳුන්ට ප්‍රණාමය පුද කරමි. එමෙන් ම  'සම්මාන උළෙලක් සංවිධානය කිරීම' නම් වූ අති දුෂ්කර කටයුත්තට නායකත්වය දුන් අප හිතවත් අනුරසිරි හෙට්ටිගේ සොයුරාට ද සුහද සිතින් ස්තුති කරමි. 

ජීවිතය යනු ජයග්‍රහණයන්ගේ ද පරාජයන්ගේ ද ඓක්‍යයයි. එය මැදහත් ලෙස ගන්නට නම් අප තපසට යායුතුව තිබේ. එහෙත් ආදරය , ප්‍රේමය හා හිතමිතුරු ඇසුර ආදී ක්ලේෂයන් සමග ම ජීවිතය නිමා කරන්නට ඉටාගෙන සිටින මට ගොඩගේ සම්මානය ද ඇතුලු අනෙකුත් ඇගයීම් මගේ ක්ලේෂයෝ තව තවත් වර්ණවත් කළේ ය. ලස්සන කළේ ය.

Monday, 22 August 2022

'ප්‍රේමානිශංස' ඔබට ජන්ම දින තිළිණයක් වේවා!



 "යම් තැනෙක,

බිතු සිතුවමක් පතුරු ගලවා වැටේ ද,

යම් තැනෙක,

 ‍සිත්තමක අවසාන ජීවය නැතිව යනතුරු

එහි ශෝභාව අඩු වී යයි ද,

එහෙත් ඒ හැම මොහොතක ම

පීඩා විඳින්නෙක් ඇත.

ඔහුගේ පැතුම,

සෑම කැබැල්ලක් ම

බිත්තියෙහි යළි අලවා සිටුවා

සෑම වර්ණයක් ම

බදාමයෙන් නොගැලවේවා කියායි.

බූරුවෙකුගේ පා පහරින් මැරී යන සිංහයෙකු පරිද්දෙන්

එහි සිටින්නේ

පුරාණ කලා විශාරදයෙකුගේ 

දැදුරු වූ උදාර ආත්මයයි."

     දෙගල්දොරුව විහාරයේ සිතුවම් ප්‍රතිසංස්කරණ ශිල්පියෙකුගේ නොසැලකිල්ල ගැන ඉහළ නිලධාරියෙකුට ආනන්ද කුමාරස්වාමි විසින් කළ පැමිණිල්ලේ කොටසක පරිවර්තනයකි ඉහතින් දැක්වෙන්නේ......


වීර වික්‍රමාන්විත ඔබේ වීර චාරිකාව,දෙගල්දොරුව ආස්‍රිත අපේ ගම් පියසවල් සිසාරා කෙරුණකි. ඔබ මට ආවේශ වූයේ කවදා දැ යි මට මතක් කළ හැකිය. ඒ ' උඩරට ප්‍රධානීන්ට විවෘත ලිපියක්' මැයෙන් වූ ලිපිය කියවූ දා සිටය. ඒ කුමාර දිෂ්ඨිය මගේ සාහිත්‍ය හා අධ්‍යාපනික ජීවිතය කැළැඹීය. අසූ ගණන්වල ඔබේ ලේ නෑකම් සහිත මී මිනිපිරියක් අපේ සේ්වාස්ථානයට එංගලන්තයේ සිට ඉගිල්ලී ආවාය. සමසක් පමණ කෙටි කාලයක් අප සියල්ල වෙත සුන්දර මතක රැසක් ඉතිරි කරමින් ආපසු කොහේදෝ ඉගිල්ලී ගියාය.

'ප්‍රේමානිශංස' හි 'නිරූ' නිරූපනයට ඇගේ ගති ලක්ෂණ ද මවෙත තරමක් බලපෑවේය.

ආනන්ද කුමාරස්වාමි නැමැති ඔබ ගැන මට විශේෂයෙන් කියා දුන් කෙනෙක් නැත. එහෙත් ඔබ මගේ ලෝකයේ සදා ආලෝකිත පහන් ටැඹකි. ඒ ආලෝකය 'ප්‍රේමානිශංස' ලිවීමට මවෙත ආවේෂය සැපයී ය.

අද ඔබගේ 145 වන ජන්ම දිනයයි. 'ප්‍රේමානිශංස' ඔබට ජන්ම දින තිළිණයක් වේවා!


Wednesday, 17 August 2022

උදම් රළ


 

හැම අඳුරක් ම

ආලෝකයක් වුණු කාලයක්


සඳ හිරු නොපායන මුත් 

ආලෝකය පිරී ඉතිරුණු කාලයක්


සඳවත නිදි ගන්නා පැයේ දී

ඔබ මුදුන් වී අහස් කුසට

පාළොස්වක සඳක් සේ පෑයූ අයුරු මගෙ ලොවට,

අනන්තව අහස් කුස විසුළ තරු

ඕපාදූප නොසොයන්නට

නොමග යවා නිදි ගන්වා


ඔබ සඳ රැස් දහරක් සේ එවූ

සුසුම් රැළි දිය වී 

දිය කඳුරක් වී

ඒ දිය කඳුර -ඇලක් දොලක්, ගඟක් සමුදුරක් වී

කෙලවර මා වෙළාගත් 

සුනාමියක් (උදම් රළ පහරක්) මැවූ හැටි

මා ඉන් හෙම්බත් වූ හැටි

ඔබ නොනවත්වා මා වෙළා ගත් හැටි

ඒ වියරුව සඟවා සුපුරුදු ලයාන්විත සිනාව පෑ හැටි

ඒ උදම් රළ පහරට ඉඩ දී 

කැමැත්තෙන් එයට බිලි වූ හැටි

සැමරුම් නැති ඒ සුනාමියට

දැන් වසර ........