Friday 23 December 2022

ලෝකයේ හරි මැද

 දසදහස් ගණනක් පොත් අතර

තිබෙන්නට ඇත පෙම්පතක්

කවුරු හෝ කවියෙකු ලියූ

අපට හරියටම ගැලපෙන


මග අයුරු නොදැන මුත් 

මග අයුරු දැන වගේ ආ ගමන

එක තැනක හමු වී

තතනද්දි කියන්නට යම් දෙයක් 

සිතුවමට අධිපති දෙවියා 

කඩා වැදී එතැනට

ඇන්දේය සිතුවමක්  

දෙව්ලොවේ වර්ණයෙන්

දැන් ඒ සිතුවම ඔබ අබිබවා තොසිනි.

සාරි ඇන්දත් ඔසරි ඇන්දත් ගවුම් ඇන්දත්

නිරුවතින් හිටියත්

සැමකල්හි ඔබ සිටින්නේ 

දෙවියන් ඇන්ද වූ ඇඳුම් ඇඳගෙන


ඒ කවි පොත තිබුණු බිම්කඩ

සිතුවම ඇන්ද බිම්කඩ

වෙනස් විදිහේ මදහසක් මෝදුවුනු බිම්කඩ

කාලයේ වේගය ගැන අමනාප වු බිම්කඩ

නව බිජුවට වපුල බිම්කඩ

අතපත් නොවූ කවිපොත

සොයන්නට එන්න හිතෙන බිම්කඩ

පැදකුණු කළ වග සැලව

ඒ පැරණි මදහසම යළි මෝදු විය මා ව



Tuesday 20 December 2022

හැරලානන්දය


 


අපේ යුගයේ ලයනල් වෙන්ඩ්ට් ලෙස හැඳින්විය හැකි හැරල්ඩ් පීරිසුන්ගේ උපන් දිනය අදට යෙදී ඇත. නියමුවකු, මගපෙන්වන්නෙකු ලෙස ඔහු මා ඇතුලු බොහෝ පිරිසකට පිහිට වී ඇත. උදව්පදව් කිරීමේ හැරල්ඩ්ගේ විලාසය ඔහුටම ආවේණික විචිත්‍ර එකකි. ඔහුගේ මිතුරු වළල්ලට අයත් හැම දෙනෙකුගේ ම  දිනපතා ම පාහේ දුක සැප සොයා බැලීමේ අපූරු පුරුද්දක් ඔහු සතුව ඇත. 

ශ්‍රී ලංකාවේ චිත්‍ර හා  මූර්ති කලාවේ අභිවෘද්ධිය උදෙසා හැරල්ඩ් විසින් කරන ලද මෙහෙවර ඒ සඳහා ම පිහිටුවා ඇති ආයතනයකටවත් කිසිසේත් ම දෙවෙනි නොවේ. දයානන්ද ගුණවර්ධන සුගතපාල ද සිල්වා ගුණසේන ගලප්පත්ති ආදි සිංහල නාට්‍ය කලාවේ ස්වර්ණ ම ය යුගයේ නාට්‍යකරුවන්ගේ නිර්මාණ පිටුපස හැරල්ඩ්ගේ සෙවනැල්ල තිරසරව තිබූ බව දන්නෝ දනිති. නර්තනය සාහිත්‍යාදී අනෙකුත් කලාවන් කෙරේ ද ඔහුගෙන් ලැබුණේ අනගි සහයකි.

මා හැරල්ඩ් පීරිසුන් හඳුනාගන්නේ මගේ වැඩිහිටි ම්ත්‍රයෙකු වූ දිවංගත පියසේන ගුණතිලක මාර්ගයෙනි. මා ඔහුට වඩාත් සමීප වෙන්නේ ජගත් වීරසිංහගේ කාංසාව චිත්‍ර ප්‍රදර්ශනයට වෙහෙස මහන්සිවූ 1992 පමණ ඈත යුගයක සිටය. ඊටත් පෙර 1987-89 භීම සමයේ දිවි ගලවා ගැනීමට ඔහුගේ මැදිහත් වී ම මට උපකාර විය.

හැරල්ඩ්ගේ මෙහෙවර අළලා මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය කොට ප්‍රකාශයට පත්කරන ලද 'හැරලානන්දය' කෘතිය අද නිකුත්වෙන බව දැනගන්නට තිබේ. එවැන්නකට සැලකිය යුතු මට්ටමකින් මහාචාර්ය චන්ද්‍රජීවට සහයක් දැක්වීමට මම දිවයිනේ නොසිටී ම ගැන මට මහත් සංතාපයක් ඇත. 

හැරල්ඩ් පීරිසුන් වනාහි මගේ උත්තුංග කළණ මිතුරෙකි. 'විශ්වාසා පරමා ඥාති' යන සාකල්‍යයෙන් ම සත්‍ය බුදුවදන සැබෑකළ මිතුරෙකි. ඔහු වැන්නෙකු මගේ මිත්‍ර පර්ශදය තුළ සිටීම ජීවත් වීමට වැදගත් අරුතක් ගෙන දෙන බව කිව යුතුය.

හැරල්ඩ් පීරිසුනි ඔබට චිරං ජයතු! 

Thursday 15 December 2022

සංවේදී සම්මානයක්.

 




මගේ ජීවිත ලාලසාවන් හා ආත්මීයත්වයන් මගේ නිර්මාණ තුල ගැබ්ව තිබේ. එහෙත් අතීත නිර්මාණ හා සසඳා බලන කළ ඒ සියල්ල වැඩි ප්‍රතිශතයකින් ගැබ් වූයේ  මගේ මෑතකාලීන නිර්මාණය වූ 'ප්‍රේමානිශංස' තුළ ය. එය මට නැවත වරක් ජීවිතය මුණගැස්ස වූ අතර වැඩකරන්නට නව අවකාශයක් තනා දුන්නේය. නව මිතුරන්,ආදරණීයයන් හා නව රසික ජන සමූහයක් ප්‍රේමානිශංස මවෙත මුණගැස්සවී ය. වඩාත් ම විචිත්‍ර හා සංවේදී ම කාරණය වන්නේ ප්‍රේමානිශංස තුලින් සිය ජීවිතය නැවත විවරණය කරගන්නට වෑයම් කළ සහෘද සහෘදිනියන් රැසකගේ ඒ උත්සාහයන් මවෙත දැනගන්නට සැලැස්වීම ය. 

මේ සියලු සංතුෂ්ටිය දනවන කාරණා මෙතරම් ඉක්මනින් සාක්ෂාත් වූයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හා ස්වර්ණ පුස්තක සම්මාන ද්වය ප්‍රේමානිශංස වෙත පිරිනැමීමත් සමග ය. ඒ සම්මාන ද්වයෙන් ලැබුණු සතුටේ රැස්වළලු නිමා වී ඒවායේ අගය පමණක් ස්ථාවර වෙමින් තිබිය දී ඊයේ දින (දෙසැ.15)  හොඳ ම නවකතාව සඳහා වූ ගොඩගේ ජාතික සම්මානය ප්‍රේමානිශංස වෙත ලැබීම කෘතියට නව අගයක් එකතු වීමක් පමණක් නොව නිවී යමින් තිබුණු රැස් වළල්ල යළි දැල්වීමක් හා සමානය. 

මේ කෘතියේ නිර්මාණ අක්ෂය මා වුවත් මෙය සමූහ ශ්‍රම දායකත්වයක ප්‍රථිපලයකි. සංස්කරණ කටයුතු සඳහා දායක වූ රවි චන්ද්‍රලාල්, සම්පත් දිසානායක මූලාස්‍ර සපයා දීමෙන් සහාය වූ පූජ්‍ය මිස්සක කමලසිරි හිමි, යසන්ත නවරත්න, ජයලත් සමරක්කොඩි ආදීන් ද සිය පර්යේෂණ හා කලා කෘති මගින් උකහා ගත් දැනුම සපයා දුන් ආචාර්ය කුමාරි ජයවර්ධන හා සිනමාවේදී සෙනාල් සෂීදරන් , පර්යේෂක නන්දන වීරරත්න, සාහිත්‍යවේ දී හෂාන් රන්දික ඩයස් ප්‍රකාශනයේ වපසරිය පුළුල් කිරීම උදෙසා මා යොමුකළ මනෝරම වීරසිංහ, නිමල් ඒකනායක ආදීන් ද ඇතුළත් සුවිසල් සද්ජන සමූහයක් ගොඩගේ සම්මානයෙන් නැවත දැල්වූණු ප්‍රමෝදයට හිමිකම් කියයි.


ගොඩගේ සම්මානයේ නිර්මාතෘ එස්.ගොඩගේ සිරිමතුන් ය. ඔහුගේ දැවැන්ත හදවතේ අකලංක බවට මෙම සම්මාන උළෙලේ සිය මැදිහත්වීමේ ස්වරූපය කියාපායි. තමාගේ ම ප්‍රකාශන ආයතනයෙන් ප්‍රකාශිත විශිෂ්ට කෘති තිබිය දී පවා (ඇතැම් කෘති විශිෂ්ටම කෘති ලෙස අන් සම්මාන උළෙලයන්හි දී සම්මානිත විය) එතුමා විනිශ්චය මණ්ඩලයේ තීරණයට මුළුමනින්ම එකඟ වී ඇති බව ප්‍රේමානිශංස සම්මානයට පාත්‍ර වීමෙන්ම කියා පායි. ඒ වෙනුවෙන් මම ගොඩගේ මැතිඳුන්ට ප්‍රණාමය පුද කරමි. එමෙන් ම  'සම්මාන උළෙලක් සංවිධානය කිරීම' නම් වූ අති දුෂ්කර කටයුත්තට නායකත්වය දුන් අප හිතවත් අනුරසිරි හෙට්ටිගේ සොයුරාට ද සුහද සිතින් ස්තුති කරමි. 

ජීවිතය යනු ජයග්‍රහණයන්ගේ ද පරාජයන්ගේ ද ඓක්‍යයයි. එය මැදහත් ලෙස ගන්නට නම් අප තපසට යායුතුව තිබේ. එහෙත් ආදරය , ප්‍රේමය හා හිතමිතුරු ඇසුර ආදී ක්ලේෂයන් සමග ම ජීවිතය නිමා කරන්නට ඉටාගෙන සිටින මට ගොඩගේ සම්මානය ද ඇතුලු අනෙකුත් ඇගයීම් මගේ ක්ලේෂයෝ තව තවත් වර්ණවත් කළේ ය. ලස්සන කළේ ය.

Monday 22 August 2022

'ප්‍රේමානිශංස' ඔබට ජන්ම දින තිළිණයක් වේවා!



 "යම් තැනෙක,

බිතු සිතුවමක් පතුරු ගලවා වැටේ ද,

යම් තැනෙක,

 ‍සිත්තමක අවසාන ජීවය නැතිව යනතුරු

එහි ශෝභාව අඩු වී යයි ද,

එහෙත් ඒ හැම මොහොතක ම

පීඩා විඳින්නෙක් ඇත.

ඔහුගේ පැතුම,

සෑම කැබැල්ලක් ම

බිත්තියෙහි යළි අලවා සිටුවා

සෑම වර්ණයක් ම

බදාමයෙන් නොගැලවේවා කියායි.

බූරුවෙකුගේ පා පහරින් මැරී යන සිංහයෙකු පරිද්දෙන්

එහි සිටින්නේ

පුරාණ කලා විශාරදයෙකුගේ 

දැදුරු වූ උදාර ආත්මයයි."

     දෙගල්දොරුව විහාරයේ සිතුවම් ප්‍රතිසංස්කරණ ශිල්පියෙකුගේ නොසැලකිල්ල ගැන ඉහළ නිලධාරියෙකුට ආනන්ද කුමාරස්වාමි විසින් කළ පැමිණිල්ලේ කොටසක පරිවර්තනයකි ඉහතින් දැක්වෙන්නේ......


වීර වික්‍රමාන්විත ඔබේ වීර චාරිකාව,දෙගල්දොරුව ආස්‍රිත අපේ ගම් පියසවල් සිසාරා කෙරුණකි. ඔබ මට ආවේශ වූයේ කවදා දැ යි මට මතක් කළ හැකිය. ඒ ' උඩරට ප්‍රධානීන්ට විවෘත ලිපියක්' මැයෙන් වූ ලිපිය කියවූ දා සිටය. ඒ කුමාර දිෂ්ඨිය මගේ සාහිත්‍ය හා අධ්‍යාපනික ජීවිතය කැළැඹීය. අසූ ගණන්වල ඔබේ ලේ නෑකම් සහිත මී මිනිපිරියක් අපේ සේ්වාස්ථානයට එංගලන්තයේ සිට ඉගිල්ලී ආවාය. සමසක් පමණ කෙටි කාලයක් අප සියල්ල වෙත සුන්දර මතක රැසක් ඉතිරි කරමින් ආපසු කොහේදෝ ඉගිල්ලී ගියාය.

'ප්‍රේමානිශංස' හි 'නිරූ' නිරූපනයට ඇගේ ගති ලක්ෂණ ද මවෙත තරමක් බලපෑවේය.

ආනන්ද කුමාරස්වාමි නැමැති ඔබ ගැන මට විශේෂයෙන් කියා දුන් කෙනෙක් නැත. එහෙත් ඔබ මගේ ලෝකයේ සදා ආලෝකිත පහන් ටැඹකි. ඒ ආලෝකය 'ප්‍රේමානිශංස' ලිවීමට මවෙත ආවේෂය සැපයී ය.

අද ඔබගේ 145 වන ජන්ම දිනයයි. 'ප්‍රේමානිශංස' ඔබට ජන්ම දින තිළිණයක් වේවා!


Wednesday 17 August 2022

උදම් රළ


 

හැම අඳුරක් ම

ආලෝකයක් වුණු කාලයක්


සඳ හිරු නොපායන මුත් 

ආලෝකය පිරී ඉතිරුණු කාලයක්


සඳවත නිදි ගන්නා පැයේ දී

ඔබ මුදුන් වී අහස් කුසට

පාළොස්වක සඳක් සේ පෑයූ අයුරු මගෙ ලොවට,

අනන්තව අහස් කුස විසුළ තරු

ඕපාදූප නොසොයන්නට

නොමග යවා නිදි ගන්වා


ඔබ සඳ රැස් දහරක් සේ එවූ

සුසුම් රැළි දිය වී 

දිය කඳුරක් වී

ඒ දිය කඳුර -ඇලක් දොලක්, ගඟක් සමුදුරක් වී

කෙලවර මා වෙළාගත් 

සුනාමියක් (උදම් රළ පහරක්) මැවූ හැටි

මා ඉන් හෙම්බත් වූ හැටි

ඔබ නොනවත්වා මා වෙළා ගත් හැටි

ඒ වියරුව සඟවා සුපුරුදු ලයාන්විත සිනාව පෑ හැටි

ඒ උදම් රළ පහරට ඉඩ දී 

කැමැත්තෙන් එයට බිලි වූ හැටි

සැමරුම් නැති ඒ සුනාමියට

දැන් වසර ........

Wednesday 27 July 2022

දැවැන්ත පරමාදර්ශී සිහිනයක් පසුපස හඹාගිය දැවැන්ත මිනිසා: ඔහු මගේ ලෝකයේ දැවැන්ත වීරයෙක්


        මා ලද ජීවිත භාග්‍යයන් අතර ට්‍රොට්ස්කිවාදී දේශපාලනයට යම් කලකටවත් ජීවිතය මුසු කිරීමට හැකිවීම එකකි. මට දේශපාලන වක්තෘවරු මුණගැසුණේ මාක්ස්වාදයේ එකී ධාරාව තුළිනි. ඉන් එක් අයෙක් සිය පරමාදර්ශී දිවිසැරිය ඊයේ නිමකළේය. ඒ සදාදරණීය විජේ ඩයස් සහෝදරයාය. 

    ඔහුගේ රළු පරළු බව තුලින් මතුවූ පැහැබර බව මතුවූයේ සාරදර්ශී සිය සිහිනය යථාර්ථයක් කරගතහැකියයි සිතූ නිසා විය හැකිය. පියසීලි සහ විජේ ඩයස් යුවල වනාහි අනෙකුන්ගේ සිත් පහන් කරවන තරම් ආනුභාව සම්පන්න එකතුවීමකි.

     හෘද සාක්ෂිය ඒ හැටියටම ප්‍රකාශ කරමින් කෙනෙකුට පුළුල් සමාජ අවකාශයක පැවතිය නොහැකිය. එහෙත් සමාන හෘද සාක්ෂියක් ඇත්තවුන්ගේ සාමූහිකයක් තනා ගනිමින් නිරුපද්‍රිතව සිය හෘද සාක්ෂිය අවදි කළ හැකිය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (දැන් සමාජවාදී සමානතා පක්ෂය ) එවැන්නකි. බුදුන්ගේ සංඝ සමාජය ද එවැන්නකි.

      විජේ ඩයස් මා අවසන් වරට දුටු ආශ්වාදනීය ම මාක්ස්වාදී කතිකයාය. සිය දැනුම සම්භාරයට යට නොවුණු සිය කටවහර (උදා: කම්මුතුයි වැනි) සිය කතිකත්වය වඩාත් ආකර්ශණීය කළේය. මා දන්නා තරමින් ට්‍රොට්ස්කිවාදය හා ස්ටැලින්වාදය අතර වෙනස තේරුම් යන ආකාරයට කියා දුන් බලගතුම කතිකයා ඔහුය.

      අපේ යොවුන් විය හා තරුණ විය අර්ථ පූර්ණ කළ දැවැන්තයින් අතර විජේ ඩයස් ඉදිරියෙන් ම සිටී. ඔහු සිය ව්‍යාපාරය වෙනුවෙන් සිතාගන්නට බැරි තරම් ජීවිත පරිත්‍යාගයන් කළේය. දරුවන්ට අප කියා දිය යුත්තේ මෙවැනි මිනිසුන්ගේ පරිත්‍යාගයන්ගෙන් පිරුණු  ජීවිත ගැනයි.


ප්‍රිය සහෝදරය ඔබට සුබගමන්!

 

Sunday 15 May 2022

මග අයුරු දෙස ආපසු හැරී බලමි.

 




'මගිය,

ඔබ එළඹ සිටි සිහියෙන් දැ යි 

විමසිලිමත් වෙන්න.'


වහන්ස,

මා මෙහෙයවූ උතුම් ම දම් පදය එයයි..

එය එසේ නොවී නම් 

මා සුන්බත් වී බොහෝ කල් ය.


සමිඳ, මා ඔබ දකින්නේ,

'උසය. හීන්දෑරිය,නොසැලෙන සේක.

අල්ප වූ ආහාර ඇති සේක, කිසි දෙයක නො ඇලෙති, වන වැද බවුන් වඩති, ලොබලිය ලියලවන වස්තූන්හි අපේක්ෂා හැරපියා සිංහයෙතු මෙන් හුදකලාව හැසිරෙති.' ‍

                       (සුත්තනිපාත)

 ලෙසිනි. 

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් නොවෙමි.


උත්පත්තියෙන් ම මට ලැබුණු දායාදය ඔබ වහන්සේ ය. 

ඔබ වහන්සේගේ දහමය.

මේ ජීවන ගමන් මගේ පිටමං නොකළ අතළොස්ස අතර

ඔබ වහන්සේ ඉහළින් ම වැඩ වාසය කරයි.


-චන්ද්‍රරත්න බණ්ඩාර


Monday 7 March 2022

නොසරුප් සිතුවිලි 1


 

''ජීවිතය අවාරයේ පලගත් රස පලතුරක් වැන්න. නොකල්හි පල ගැනීම නිසා අව්ව වැස්සෙනුත් වෙනත් පරිසර සාධක වලිනුත් කරදර සිදුවේ. ඇස ගැසෙන උන්ගෙන් බේරී සිටීමට සිදුවේ. මම මතකයට ආ ළඟම මිතුරන් දහ දෙනෙකුගේ ජීවිත තතු විමංසනය කළෙමි. ඔවුන් මරණය දක්වාම විඳවන කුමක් හෝ ගැටළුවකින් පීඩා විඳියි. කිසියම් ශරීරාබාධයක්, දරුවෙකුගේ හෝ එවැනි සමීපතමයෙකුගේ ගැටළුවක්, දිළිඳුකම වැනි සමාජයීය හේතුවක් අධ්‍යාපනයේ අඩුවක්, විවාහයේ අර්බුදයක් හෝ මොකක් හෝ දෙයකින් පීඩා විඳියි. ආගම් ශාස්තෘවරුන් කළේ මේ පීඩිත මනුෂ්‍යයාට යම් ඉමක් නිර්මාණය කරමින් එතනින් එහාට මෙකී පීඩාවන්ගෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීමයි. එය  කිසිදු භෞතිකවාදියෙකුට කළ නොහැකි වික්‍රමයකි.''

Monday 21 February 2022

ජීවිතය යනු නිර්වචන විරහිත වෙන දෙයක්.

 




දුරාතීතේ එක් සමයක

නොසන්සුන් මිනිස් හදක

දරා ගන්නට බැරි තරම් වෙහෙස

මම තවම සමරමි.


කෙසේ ගොඩ වී ද ඒ නිම්නයෙන්

මේ නිම්නයට

මෙනෙහි කරමින් නිස්කලංක රාත්‍රීවල.


ඒ යොවුන් සන්නාහය පැළඳගෙන

නැවත යන විට

ඒ රුදුරු බිම් කඩට

එතැන මා පෙර නුදුටු අරුමැසි මල් පිපී ඇත.

ඔබ කැමති සුවඳ හමමින්.


එදා මා පෙලූ වෙහෙසකර මුහුණුවර වෙනුවට

සීතල හදකින් ගලා එන

ලතෙත් බව පිරි මුහුණුවරකි එය.


එදා රතු පාටට තිත් වැටී දිදුල ඒ

රෝගී සඳ පලුව

සුපුරුදු චමත්කාරයටත් වැඩි දෙයක් වගුරුවමින්

පුරා සඳ සේ පැමිණ සිටියා සමීපයටම.


-චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday 17 February 2022

මකුලොලුව මෙහෙවර


 

ඩබ්ලිව්.බී. මකුලොලුව මහතාගේ ශත සාංවත්සරික උපන්දිනය අදට(2022 සැප්තැම්බර් 17) දිනට යෙදී ඇත. සැබෑ දේශමාමකත්වයක් පිළිබඳ පූර්ණ අත්පොතක් බඳු ඔහුගේ දිවිසැරිය නුවණැසින් විමසීම සකලාංගයන්ගෙන්ම විනාෂයේ මුව දොරට පැමිණ ඇති අද දවසේ ඉතා වැදගත් යයි මම සිතමි. අම්මාගේ හඬින්ම නෙලුම් කවි අසන්නට පුලුවන් වූ , ගෙයි ඉදිරිපිට රජමහා වෙහෙරේ වාර්ෂික සූවිසි විවරණ පුජාවේ නර්තන ගායන ලීලා දවස් හතක් පුරා වාර්ෂිකව රසවිඳි මට ජන සංගීතයේ සම්භාව්‍ය මුහුණුවර මුණ ගැසෙන්නේ ගුවන්විදුලියේ මියැසිය හා සී.ද එස්.කුලතිලක වැනි බහුශ්‍රෘතයන්ගේ වැඩ සටහන් ඔස්සේය. පසුකාලීනව මකුලොලුව ශූරීන්ගේ දෙපානෝ යූ ටියුබ් පිටපතක් බැලූවිට එහි ගැබ් වූ සංගීත හා නර්තන සංකලනයෙන් පමණක් නොව එහි අන්තර්ගතය හෙබියාවූ මානව සංහිඳියාවෙන් මම විශ්මයට පත්වීමි. පළමුවරට මකුලොලුව ශූරීන්ගේ දිවිසැරිය හා මෙහෙවර පිළිබඳ මා දැන ගත්තේ මගේ දීර්ඝකාලීන කොළඹ නවාතැන වූ පියසේන ගුණතිලක නිවසට පැමිණි සෝමබන්ධු රවිබන්ධු විද්‍යාපති පියපුතුන්, චිත්‍රසේන, චන්ද්‍ර ගුණසේකර, පියසේන ද කොස්තා, උපාලි වනසිංහ , දයා රණවීර , දයානන්ද ගුණවර්ධන ආදී මහා මිනිසුන් ඇසුරෙනි. එදා මං ඒ හෘදයංගම සම්භාෂණ අසා සිටි ශ්‍රාවකයෙකු පමණක් වීමි. සැබැවින්ම මගේ ළමා වියේ ජන ගී හා ජන රංගය පිළිබඳ අත්දැකීම නව ඉසව්වක් වෙත මගේ රසඥතාවය නංවාලීමට මෙම සම්භාෂණ බෙහෙවින් වැදගත් විය. මකුලොලුව මෙහෙවර පසුකාලීනව නව පරම්පරාවන්ට නොපැවරීම අපේ සංස්කෘතික අබ්බගාත බවේ එක් හේතු කාරකයකි. මකුලොලුව මෙහෙවරෙහි දැවැන්ත සහායකයෙකු වූ රෝහණ බැද්දගේ වියත්මග රැස්වීමක තම අගනා ගීතයක් විරුද්ධ දේශපාලන චරිතවලට එරෙහි වචන එකතු කොට හාස්‍යය සඳහා ගයද්දී මට සිතුනේ පිළිසරණක් නැති මකුලොලුව මෙහෙවර රජ ඇඳුම් පිටින්ම අසරණව සිටින අයුරකි. ප්‍රබල කලාත්මක දැනුම පිටුපස ප්‍රබල පෞරුෂයක් තිබුණහොත් පමණක් ඔහු කරන කාර්්‍යය සාර්ථක ඉමක් කරා ගෙන ගිය හැකිය. අනෙකුත් ජන සංගීත පර්යේෂකයන් අබිබවා මකුලොලුව මෙහෙවර කැපී පෙනෙන්නේ එහෙයිනි. ඔහු ජන සංගීතය විෂයෙහි පමණක් නොව අනෙකුන් කලාවන් පිළිබඳ බහු පාර්ශ්වීය දැනුමකින් හෙබියේ විය. ඔහු ඉංග්‍රීසි ඇතුලු ඉන්දියානු භාෂා කිහිපයක් දැන සිටියේය. රාගධාරි සංගීතය රබීන්ද්‍ර සංගීතය, කථකලි හා මනිපුරි නර්ථනය හා එස්රාජ් හා සිතාර් වාදනය එතුමන් ශාන්ති නිකේතනයෙන් උගත්තේය. ඒ රංගම ගුණමලා හා නිත්තවෙල ගුණයාගෙන් උගත් සිංහල පාරම්පරික නර්තනයට අමතරවය. ඔහු විසින් පරිපාලකයෙකු ලෙස ජන සංගීතය හා ජන නර්තනය මෙරටෙහි ව්‍යාප්ත කිරීමට දරන ලද වෙහෙස සුළුපටු නොවේ. එදා මෙදා තුර ජන ගි ය පිළබඳ ව ලියවුණු විශිෂ්ටම හා පුරෝගාමී පර්යේෂණ කෘතිය මකුලොලුව මහතා විසින් ලියන ලද 'හෙළ ගී මග' යයි මම විශ්වාෂ කරමි. මකුලොලුව මහතාගේ ජන්ම ශත සංවත්සරය එළඹෙන්නේ ජාතික යයි කියන සෑම දෙයමත්, විශේෂයෙන් එහි අශ්පර්ෂණීය උරුමයන් විකාරයට පත් කිරීම මගිනුත් විනාෂ වූ අවධියකය. දේශීයත්වයට හා ජාතිකත්වයට දරා ගත නොහැකි තරම් 'ජාතික චින්තනය' වැනි න්‍යායන් ගොඩ නැගීම මගින් එයට උරුම සරලත්වය පිටමං කෙරිණි. මකුලොලුව, සරච්චන්ද්‍ර දයානන්ද ගුණවර්ධන ආදීන් විසින් මහජන සම්ප්‍රදාය තුල තිබුණු යම් දෙයක් කලාත්මක හා සංස්කෘතික අරුතකින් මතු කොට ජන ගීය, ජන සංගීතය ,ජන කලාවන් ආදි වශයෙන් පොදු කලාත්මක නිර්මාණ වේදය තුලට ඇතුලත් කෙරිණි. ඒ සරල එහෙත් ජනවිඥානය අරා සිටි ජන කලාවන්ට ජාතිවාදයේ කටුවක් සවි කිරීම මගින් ඒ කටුව තුල හිරවී හුස්ම පොදක් නැතිව ඒවා මියෑදෙමින් තිබේ. එයට හුස්ම පොදක් දිය හැකි මකුලොලුව වැනි වෙදදුරන් අද නැත. අද අපේ ගම්වල ජන කලාවන්ට අයත් කිසිවක් සජීවීව නැත. ගුවන් විදුලිලිය වැනි තැන්වලවත් ඒ ගැන උනන්දුවක් නැත. ජාතික උරැමයන් රකිනවා යැයි කියන ඇත්තෝ රජගෙදර අවට සැරිසරති.


Friday 21 January 2022

චතුර ජයතිලක


මට චන්දරේ නමින් ඇමතූ ලෙන්ගතුම මිනිසුන්ගෙන් කෙනෙකි චතුර. පැරණි,සාපේක්ෂව සහනශීලී යුගය නිමා වී මේ ගිනි කන යුගයේ ආරම්භය දුටුවේ අප දෙදෙනා එකටය. මා එසේ කියන්නේ  77 මැතිවරණ ප්‍රතිඵල ඇසුවේ චතුරත් මාත් අපේ ගෙදර සිට එකට නිසාය. 

චතුරගේ ලොකු අයියා ජීවන් මා සමසමාජ දේශපාලනයට ඇද දැමූ අයගෙන් කෙනෙකි. ඔහු චතුර මෙන්ම අමුතුම මිනිසෙකි. දේශපාලන හේතු නිසා පාසල් ගණනාවකින් දොට්ට වැටුණු ඔහු මට හමු වූයේ අපේ ගම් පළාතේ පිහිටි තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ කරමින් සිටියදීය. ඔහු එදවසත් චේන් ස්මෝකර් කෙනෙකි. ඇන්.ඇම්.ලා සමගත් ඔහු කතා කළේ ඉංග්‍රීසියෙනි. පාසල් අවධියේම පක්ෂ නායකයන් සමග වාද කිරීමට තරම් දේශපාලන දැනුමකින් සන්නද්ධ වූවෙක් ඔහු. මගේ පාසල් ජීවිතයේ දුටු බහුශ්‍රැතම පාසල් ශිෂ්‍යයා ජීවන්ය.

චතුරගේ ඊළඟ අයියා ප්‍රගාශ් ද උතුරන්න දක්ෂකම් තිබූ මනා පෞරුෂත්වයක් නඩත්තු කළ කෙසඟ මිනිසෙකි. ඔහු අපේ පාසල වූ ධර්මරාජයට ආවේ මාතලේ විද්‍යා විද්‍යාලයේ සිටය. ඔහු අපේ පාසල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළේය. ප්‍රගාශ් මට පළමු වරට පරාක්‍රම කොඩිතුවක්කුගේ කවිපොතක් හා බුද්ධදාස ගලප්පත්තිගේ 'දෙදෙනාම දියණියෝ' කෘතිය ලබා දී ඒවා ගැන කියා දුන්නේය. මට මතක විදිහට මා පළමුව අත පත් නූතන කවි පොත් ඒවා විය යුතුය. ඔහු ලංකාව බිහිකළ විශිෂ්ඨතම ප්‍රචාරක නිර්මාණ වේදියෙක් බව මගේ හැඟීමයි.


ඒ දෙදෙනාම අකල්හි වියෝ විය. 


චතුර හා අප අතර වූයේ නාටකීය සබඳතාවයකි. අප දෙදෙනාම එකට දේශපාලනය ආරම්භ කළෙමු. මට චතුර ගැන හිතෙන්නේ ඔහු 'කොන්සර්වේටිව් වාමාංශිකයෙකු' ලෙසිනි. 1978 දී  සමසමාජ පක්ෂය අතහැර නව සමසමාජ පක්ෂයට යන්නට මට කෙතෙක් ඕනෑකමක් තිබුණත් චතුරගේ විරෝධය නිසා එසේ නොගියෙමි. එසේ නොයාම ගැන අද මට ඇත්තේ සංතෝෂයකි.

චතුර පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය. විවාද කණ්ඩායමේ ද නායකයා විය. ප්‍රබුද්ධ නම් වූ සඟරාවේ කතුවරයා ද විය. පාසල් ජීවිතය නිමා වී අපි වෙන්ව ගියෙමු. යළි අපි හමුවන්නේ ඊට වසර පහළොවකට පමණ පසු දවසක මගේ සේවා ස්ථානයේ දී ය. ඒ සිරස ටැලන්ට් පැක්ටරි ආයතනයේ නායකයා වශයෙනි. ඔහුගේ විවාහ මංගල්‍යයේ ඇරයුම් ලැබූ සීමිත මිතුරන් අතර මමද විය. ඒ විවාහය ඉතා වාසනාවන්ත එකක්ව යහපත්ව ගෙවෙන බව දනිමි.

අපි එක්ව ජීවිතයේ වටිනාකම් ගැන සාකච්ඡා කළ අයුරු මට මතක් කරමි. ඒවා මට බොහෝ සෙයින් වැදගත් විය. චතුරද සිය අයියලා මෙන්ම යහපත් වටිනාකම් නඩත්තු කරමින් දිවිසැරිය ගෙවා දමන බව මම දනිමි. චතුර ඔබට සුබ උපන් දිනයක්ද යහපත් අනාගතයක් ද වේවා.

-චන්ද්‍රරත්න බණ්ඩාර


Friday 14 January 2022

නවාට උපන් දින තෑග්ගක්....


 ඒ 87-89 භීෂණ සමයයි. මම සේවය කළේ මාර්ග ආයතනයේය. නවා කොමර්ෂල් කොම්පැණියේ සේවය කළේය. බොහෝ විට අපි දෙදෙන එක්ව බස් රථයක නැගී වැඩට ගියෙමු.

එහෙත් එදා දේශප්‍රේමී ව්‍යාපාරය පැනවූ ඇඳිරි නීතියට යටත් දවසක් විය.

එදා බස් රථ ධාවනය වූයේ නැත. එහෙත් අප දෙදෙනාම වැඩට යා යුතුය. එවැනි දිනෙක සාමාන්‍යයෙන් කරන්නේ පාරට ඇවිත් යන හැම වාහනයකටම අත දිගු කිරීමයි. දන්නා අඳුනන කෙනෙක් වෙතොත් වාහනය නවතා අපට ප්‍රවාහන පහසුකම් සලසයි. එදාද වාහනයක් එසේ අප ඉදිරියේ නැවතුනේය. ඒ මහාචාර්ය නලින් ද සිල්වාගේ වාහනයයි. ඉදිරිපස අසුනේ මහාචාර්ය නලින් සමඟ වත්මන් පාර්ලිමේන්තු මංත්‍රී ගෙවිඳු කුමාරණතුංග ද විය. වාහනයට නැගි වේලේ සිට මහාචාරය නලින් මාව වාදයකට පොළඹවා ගන්නට උත්සාහ කළේය. ගෙවිඳු ඔහුට සහාය විය. ඔහුගේ වාහනයේ යන හෙයින් සෑහෙන දුරක් යන තෙක් මම මහාචාර්ය නලින් කියන දෙයක් අසා සිටියා විනා වචනයක්වත් කතා නොකෙළෙමි.

එහෙත් අපේ සේවා ආයතනයේ ප්‍රධානියා ගැන එතුමන් කී බොරුවක් 'නෑ සර් ඒක නම් බොරු' කීවා පමණකි.

වාහනය පැත්තකට කර නැවැත්වීය.

'හ්ම්..වාහනෙන් බහිනවා. බැහැලා ඕනෑ එකක යනවා' කීය.

ඒ නුගේගොඩ අනුලා විද්‍යාලය අසලිනි.

අපි තවත් පැය භාගයක් පමණ එතන සිටි අතර පැමිණි ලංගම බස් රථයක එල්ලී වැඩට ගියෙමු.

ඒත් අපි තවමත් මහාචාර්ය නලින් ද සිල්වා බුද්ධිමය සමාජයේ සිටිය යුතු චින්තකයෙකු ලෙස පිළිගනිමු.