Wednesday 12 September 2018

බියපත්ය ඒ දෑස් ......ඔබ නිසා









කළඹන්නට හැකි නම්
සම්මත හංසවිල
කළඹනු ඇත
හංසයන්ටත් නොදෙවෙනිව


පිපෙන්නට හැකි නම්
ඔවුන් තැනූ පාත්තිවල
නොපිපී නොසිටිනු ඇත
ඒ මල් කැකුළු


අඩක් අඳ ඔබ දෙනෙත්
සුවපත් වූ දිනෙක පෙනේවි
ඔවුන්ද ලෝකය ලස්සන කර ඇති බව
වෙනත් විදිහකට
වෙනත් ලතාවකට


වර්ණවත්ය ඔවුන්ගේ සිහින
බියපත්ය ඒ දෑස් ......ඔබ නිසා


චිරාත් කාලයක් පුරා
ආ ශිෂ්ටාචාර ගමනේ
මග හැලුනි ඔවුන්ගේ චේෂ්ඨා


හැලූ කඳුළු බලයක්ව -හැලූ සුසුම් සුළඟක්ව
නිරුද්ධවූ ප්‍රාණ පොදවල් බලයක්ව
පුපුරයි තැනින් තැන
දිල්ලියේ මෙන්

Wednesday 5 September 2018

හයවෙනි දශකය ඉක්මවන්නට තවත් අවුරුද්දක් ඉතිරිව ඇත



හයවෙනි දශකය ඉක්මවන්නට තවත් අවුරුද්දක් ඉතිරිව ඇත. පුරා විද්‍යාව විෂයයක් වශයෙන් හැදෑරූ නිසාම ඒ ඉක්ම ගිය දැවැන්ත කාලයේ ආදරය- කරුණාව- ප්‍රේමය -වෛරය -ඊර්ෂ්‍යාව ගලා ආ තැන් ගවේෂනාත්මකව විමසීමට මට හැකියාව ලැබිණ. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇති බව මම සම්ප්‍රදායිකව උගත්තේ මගේ උත්පත්ති උරුමයවූ බුදු දහමෙනි. එහෙත් එය ගැඹුරින් උගත්තේ පුරාවිද්‍යාව තුලිනි. මගේ ජීවිතය මේ දීර්ඝ කාලය පැමිණියේ කවර තරමේ නාට්‍යාකාර ගමනක්ද? අත් දැකීම් අැසුරින් ලබාගත් දැනුම බොහෝය. මහනුවරින් සැතපුම් 12ක් ඈත පිටිසර ගමක සිට ටොරොන්ටෝව දක්වා ආ ගමන තුල හමුවූ දුෂ්ඨ හා ස්නේහවන්ත චරිතයෝ බොහෝය. උන්ගේ දුෂ්ටකම් හා උන්ගේ ස්නේහවන්තකම් තරාදියක ලා සංසංදනය නොකරමි. ඒ වෙනුවට මා සිතන්නේ ඒ සියල්ලම මගේ ජීවිතයේ වටිනා ගැඹුර නිර්මාණයට දායක වූ බවය. අනතා පරිමිත මේ දිගු ගමනේදී හමුවූ දේශපාලන- විද්වත් -කලාකාමී -චණ්ඩ -ප්‍රේමවන්ත චරිත බොහෝය.