Tuesday 2 April 2024

ඩෙර්සු උසාලා : අග්නිදිග සියැටල්

 ''මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් ඔබගේ තුවක්කු අමෝරාගෙන පැමිණ අපගේ භූමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත්, පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම හෝ සඳහා වූ ඔබගේ යෝජනාව අපට නුහුරුය.''


සියැටල් එසේ පවසන විට ඩෙර්ෂු තමාට මුදල් අවශ්‍ය නැති බවත් මුදල් වලින් තමාට කළ හැකි දෙයක් නැති බවත් පවසයි.

'' සුළගේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම්, ඒවා මිළ කිරීමට හෝ ඒවා මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත."

 සියටැල් එසේ පවසද්දී ඩෙර්සු කපිතාන්ගේ නිවසට වතුර ගෙනවිත් විකුණන වතුරකාරයාට දොස් පවරන්නේ

''සොබාදහම නොමිලේ දෙන දෙය තමුසේ ඒවා විකුණන නම් නරක මිනිහෙක් " බව පවසමිනි.

සියටැල් ජනාදරයට පත්වෙන්නේ ඇමෙරිකාවේ උපන් නිසා ද? ධනවාදයට මෙන් ම එහි විරුද්ධාභාෂය ද ඇත්තේ ඇමෙරිකාවේ නිසා ද?  ඇමරිකාව ලෝකය වන විට, ඉන් බැහැර ඉතිරි භූමිතලය ලෝකයනේ බැහැර කොටසක් වන නිසා ද?

 ඩෙර්සු උසාලා, අකිරෝ කුරසෝවා විසින් එක්දහස් නවසිය  හැත්තෑ තුනේ දී අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියකි. ඩෙර්සු, සියටැල් මෙන් ජන සමූහයක හෝ ගෝත්‍රයක නායකයා නොවේ. එහෙත් සමස්ත උසුරි වනගත කඳුකරයේ ම සොබා දහම විසින් පත් කළ භාරකරුවා වැන්න. ගහකොළ සතා සීපාවා සමඟ සහයෝගයෙන් දිවිසැරිය ගෙවන්නෙකි. ඩෙර්සු පිළිපදින්නේ තමා අයත් මිනිස් සමාජයේ ආචාර ධර්ම නොව, සොබා දහම විසින් ඔහුට දැන වූ හෝ කියාදුන් ආචාර ධර්මයන් ය.

"මෙහෙ ඔබට ඉඩක් නෑ. සමහර විට අනතුරක් වෙන්නත් පුළුවනි. ඒ හින්දා ඔබ මෙතනින් යන්න."
 ව්‍යාඝ්‍රයාගෙන් ඉල්ලා සිටින විට සතා එතැනින් නික්මී වෙනතක යයි.
 ගංගාව මහ පොළොව අපිරිසිදු කරන විට තරාතිරම හා අනෙකාගේ බලය නොතකා දොස් පවරයි.

ඩෙර්සුට ව්‍යාඝ්‍රයා, මුවා, ගෝනා, වලහා හෝ කොටියා පමණක් නොව කුහුඹුවා ද මීයා ද සත්වයන් ය.  සොබාදහමෙන් පැවරුණු භාරකාරත්වයට අනුව, ඩෙර්සු ඒ සියල්ලගේ ම ආරක්ෂකයා ය. ඩෙර්සු අකුරු දන්නේ නැත. තමාගේ වයස දන්නේ නැත. ශීලාචාරයයි කියන මනුෂ්‍ය සමාජයේ කිසිවක් දන්නේ නැත. ඉර පෑයීම පදනම් කරගෙන යා යුතු ගමනේ දුර කියන්නට දන්නේ ය. කාලයාගේ ඇවෑමෙන් තමා මුහුණ දුන් හෝ දුටු දේ ඇසුරෙන් තම වයස අනුමාන කළ හැකිය. එහෙයින් ම ඔහුට ඇත්තේ තමා පදනම් කරගත් ඉලක්ක නොව, සිදුවන්නේ ඉලක්ක රහිතව සොබා දහමේ කොටසක්ව ජීවත් වීම පමණකි.

සියටැල් අධිනිශ්චය වූවාට, ඩෙර්සු හෝ අපේ තිසාහාමිලා ජාත්‍යන්තර සමාජයේ අධිනිශ්චය වන්නේ නැත. අපේ තිසාහාමි හාමි, සියටැල් ජෝර්ජ් වොෂිංන්ටන් සමග ගැටුණා සේ, බලවත් ගාමිණී දිසානායක  සමග ගැටුණේය. ඒ වනවාසී පුරවැසියාගේ හඬ යටපත් කර දැමෙන්නේ දේශපාලකයන් එවැනි අව වරප්‍රසාදිත භූමි පුත්‍රයන්ගෙන් දොස් ඇසීම ඔවුන්ගේ අනාගත දේශපාලන ක්‍රියාකාරිත්වයට අහිතකර නිසා ය. දේශපාලකයෝ සුදු ඇන්දාට අර වනවාසී තිසාහාමි ඇන්දේ අමුඩ කෙටියකි.
ඩෙර්සුත්, කපිතාන් අර්සෙනියෙව් ( Captain Arsenyev) ත් අතර  වෙනස තිසාහාමි හා ගාමිණී දිසානායකට වඩා වෙනස්ය. ඩෙර්සුට හා අර්සෙනියෙව්ට ළගන්නා සම්බන්ධයක් ඇතිකර ගැනීමේ සංහිඳියාවක් තිබුණාට අපේ ලාංකික දෙපලට එවැන්නක් නැත. 

ලෝකයේ බොහෝ රටවල සියටැල්, ඩෙර්සූ තිසාහාමි වැනි වන වාසී පුරවැසියෝ ස්වභාවධර්මයේ අණසකට අවනත ව එහි සිහි කැඳවීම් අනුව වැඩ කරමින් ජීවත්ව සිට ඇත. ඒවා ඒ භූමි තුළ විරාපදානයන් විය හැකිය. පරිසර යුක්තිකයනට පමණක් නොව, පරිසරය වනසන්නන්ට ද සිය හෘද පරීක්ෂාවකට ඔවුන් නිදර්ශනයන් වෙති. ඇමෙරිකානු හැමදේ ම මෙන් ම ඇමරිකානු භූමියේ උපන් නිසා ම සියටැල් ද ලෝ ප්‍රකට වී ඇත. එය ම කෙනෙකුට නිදහස් ධනවාදයේ යහගුණයක් ලෙස ද අවශ්‍ය නම් ගත හැකිය.

'ඩෙර්සු උසාලා' චිත්‍රපටය, 1973 අධ්‍යක්ෂණය කෙරුණු  රුසියානු -ජපන් හවුල් නිෂ්පාදනයකි. සම්භාව්‍ය සිනමා අධ්‍යක්ෂ අකිරෝ කුරසෝවාගේ අධ්‍යක්ෂණයකි. ලෝක සම්භාව්‍ය සිනමාවේ හැත්තෑව දශකයේ රිද්මය හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඔබට ඒ සඳහා මා හැකි කවුළුවක් ඩෙර්සු උසාලා චිත්‍රපටයෙන් විවර කෙරේ. එයින් විධාරණය කෙරෙන පුරුෂාර්ථ පද්ධතිය පමණක් නොව සිනමා ශෛලියේ විශේෂතා ද ඔබට එමගින් හඳුනා ගත හැකිය.

මෙම චිත්‍රපටය මා පළමුවරට නැරඹුවේ මීට වසර හතළිහකට පමණ පෙර අපේ පාසල් සමයේ ය. අපේ පාසලේ 'සිනෙරු කලා සංසදයට' 'චිත්‍රපටි සමිති සම්මේලනයෙන් ලැබුණු ආරාධනයක් අනුව අප දහ දොළොස් දෙනෙකුගේ පමණ පිරිවරක් නොදන්නා කොළඹ ගොස් පදනම් ආයතනයේ දී අපිි ඩෙර්සු උසාලා නැරඹීමු. එදා මට ඉතිරි වූයේ ඉතා ගැඹුරු දෙයක් සහිත රමණීය චිත්‍රපටයක් ගැන අදහසක් පමණි. ගෙවී ගිය හතළිස් වසර පුරා මෙම චිත්‍රපටිය දැනුම් තේරුම් ඇති වැඩිහිටි රසිකයෙකු  ලෙස නැවත නැරඹීමට මට තිබුණේ නොතිත් ආශාවකි. නොබෝදා මට නැවත එය හමු වූයේ යූ ටියුබය තුලිනි. ප්‍රතිසංස්කරණය කර ඇති නිසා දෝ චිත්‍රපටයේ රස වින්දනයට බාධාකාරී තාක්ෂණික දෝෂ එහි ඇත්තේ නැත.
''මං ඒක බලල තියනවා. මං ඒක කියවලා තියෙනවා'' ආදී වශයෙන් අප අප ම සතුටු කරගන්නෙමු. එහෙත් නරඹා තියෙන සිනමාවක, නාට්‍යයක, කියවා තිබෙන පොතක, අසා තිබෙන සංගීතයක, අපට වැටහෙන දේ, අපට දැනෙන දේ, කාලයට හා කාලයාගේ ඇවෑමෙන් අපට ලැබෙන දැනුමට හා අත්දැකීම්වලට සාපේක්ෂය.

ඩෙර්සු උසාලා චිත්‍රපටය නරඹා හමාර වූ එදා මට ගෙන ආවේ කුමක් හෝ මහා ලස්සන හා සානුකම්පිත හැඟීමකි. කියවෙන සිනමා කෘතියක් යන්නට අද ඒ චිත්‍රපටය ම වෙනත් බරසාර කියවීමකට ලක් කිරීමට මට හැකි විය. එදා මමත් අද මමත් රස වින්දනාත්මක ලෝකයට දෙදෙනෙකි.

ඩෙර්සු මහා  පෞරුෂයකි. වනගත පෙදෙසකට යළි අපි යන විටෙක ඔහු සමග වනය ගනුදෙනු කළ ආකාරය අපට සිහිපත් වනු නිසැකය.

ඩෙර්සුගේ මඟ පෙන්වීම යටතේ කපිතාන් අර්සෙනියෙව් ප්‍රමුඛ පිරිස Shlotovo වනගත ප්‍රදේශයේ භූ විෂමතා සමීක්ෂණය මැනවින් අවසන් කරති. හිම කුණාටු වලින්, ගංවතුරෙන්, වන සතුන්ගෙන්, සමීක්ෂණ කණ්ඩායමට වන හානි වළක්වා ගැනීමට ඩෙර්සු නම් අත්දැකීම් බහුල හුදකලා සියැටෙල් සමත්වේ. එමෙන්ම ඒ බර අඩි තබමින් ගමන් කරන ඩෙර්සුලාගේ ගමන, ඔහුගේ හැසිරීම, වනගත ප්‍රේමය, අපේ ම තිසාහාමි හෝ අපේ ම පැරණි ගම්වල සොබා දහම සමග සහකම්පනීය සබඳතාවක් පැවැත්වූ වැඩිහිටියන් ගැන වෙහෙසීමට අපට බලකරයි.

අපේ ම පාසල් වියට ඩෙර්සු අප කැඳවාගෙන යන්නේ ඩෙර්සු උසාලා නැරඹූ පිරිවර මතක් වීම නිසාය. ඔවුන් අද කොහේද? සමහරු මිය පරලොව ගොසිනි. සමහරු ලෙඩ රෝග වලට ගොදුරුව එක්තැන් වෙලාය. සමහරු ලෝකයේ හතර දිග් භාගයේ විසිරී ඇත. ඩෙර්සුට මෙන් අපට දැන් සිටින තැන අතහැර ආපසු නිජබිමට යා නොහැකිය. ගියහොත් වෙන්නේ ඩෙර්සුට වූ දේමය. 

Tuesday 9 January 2024

ජගත්ලාගේ රහස් කියන කඳු සහ කාංසාව


රහස් කියන කඳු චිත‍්‍රපටයට පෙර මා නැරඹුවේ එකී චිත‍්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූ ප‍්‍රදීප් චන්ද්‍රසිරිගේ Whispering Mountain නම් වූ චිත‍්‍ර ප‍්‍රදර්ශනයයි. රහස් කියන කඳු තේමා පාඨය වූ Whispering Mountain (වැළපෙන/කොඳුරන කඳු) නමින් වූ ඒ ප‍්‍රදර්ශනය නැරඹීම හා චිත‍්‍රයෙන් චිත‍්‍රය ගැන ප‍්‍රදීප්, ජගත් වීරසිංහ ආදීන් සමග වූ කතාබහ ඉනික්බිති චිත‍්‍රපටය නැරඹීම සඳහා වූ ප‍්‍රවේශ දොරටුවක් විය. එක් විචාරිකාවක්  සඳහන් කර ඇති ආකාරයට රහස් කියන කඳු කෲර කාව්‍යයකි. රුසියානු යුක්රේන  යුද්ධයේත්, ලෝකයේ ධනවාදී කඳවුරේ ආශිර්වාදයෙන් ගාසා තීරයේ ඊශ‍්‍රායල් ජාතිකවාදින් විසින් මරා දමන මිනිසුන්ගේත් දිනපතා මිනී ගණන් කරන වටපිටාවක රහස් කියන කඳු චිත‍්‍රපටය වනාහි අපේම පපුතලය මතම කෙරුණු හා එයම පුනරුච්චාරනය වීමට ඉඩ ඇති කෲර ඝාතන රංගයන් පිළිබඳ අපේ ඇස් කන් අරවයි. 

1992 දී පමණ ජගත් වීරසිංහ සිය කාංසාව චිත‍්‍ර ප‍්‍රදර්ශනයෙන් චිත‍්‍ර කලාවේ හැරවුම් ලක්ෂ්‍යය සලකුණු කළා සේ ජගත් මනුවර්ණ ඊට වසර තිහකට පසුව සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකණු කරයි. දෙදෙනාම ජගත්ලා වීම කවර ලෙස තේරුම් ගන්නද? ස්වාභාවික නොවන සෑම මරණයකටම දේශපාලනයක් ඇත. ශ‍්‍රී ලංකා වාසී අපගේ ඝාතන සංස්කෘතියේ උච්චතමය කාලය අනුව වසර තිහකි. එයට මහා පරිමාණ සිවිල් යුද්ධ දෙකක් ඇතුළත් විය. 87-89 කාලයේ යුද්ධ දෙකම එකට සමපාත විය. මදි පාඩුවට මිනිසුන් මරන්නට අතිරේක ඉන්දීය හමුදාවෝ උතුරට පැමිණියහ. දකුණේ මදිපාඩුවට කහ බළල්ලූ, කළු බළල්ලූ ආදී පැරා මිලිටරි ලීග බිහි විය. අපේ ජාතිකත්වය ආගම ගලා ගියේ සමාජ අනුමැතියක් ද සහිත මේ ඝාතන අටල්ල තුළිනි. ඒ කුරිරු යුගය නිර්මාණයට පුරවැසි සමාජයක් ලෙස අපේ දායකත්වය දැන් අපට අමතක වී ඇත. ඒ අමතකය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජනවරම විසින්ම විනාශකාරී පාලනයක්  තෝරා ගැනීමට මේ වසර තිහ හතළිහ තිස්සේම අපව පෙළඹ වී ය.



ජගත් වීරසිංහගේ කාසංව ප‍්‍රදර්ශනයේ ඝාතකයා හා ගොදුර ලේ වැකි නිර්මිතයක් (කෲර කාව්‍යයක්* ලෙස චිත‍්‍ර කලා සමාජයේ නිම් වළල්ල පුළුල් කළේය. ඒ ජගත්මය පාසලේ ශිෂ්‍යයෙකු වූ ප‍්‍රදීප් චන්ද්‍රසිරි චිත‍්‍රපටයේ ආත්මයට මැදිහත්වීම දෛවෝපගතය.

මීට දශක දෙක හමාරකට පෙරාතුව ඝාතකයන් විසින් අතුරුදහන් කරන නිරපරාද දරුවෝ දහතුන් දෙනෙකු සොයමින් ඇඹිලිපිටියේ මාපියවරුන්ගේ සංවිධානය හමුවෙමින් ගත කළ අතීතය රහස් කියන කඳු බලන විට මට සිහිපත් විය. ඒ දෙමාපියන්ගේ ඉල්ලීම මත ඇඹිලිපිටියේත් කෝට්ටේ පාර්ලිමේන්තු පිවිසුම් දොරටුවේත් තැනවුන අහිංසකයන්ගේ ආරම දෙකින් ප‍්‍රධානතම එක වූ පාර්ලිමේන්තු පිවිසුම් දොරටුවේ ඉදිකළ ස්මාරකය සුනු විසුනු කොට ඒ මත්තේ තැණුනු විනෝද උයනකි. 

මාගේ වැටහීම අනුව අහිංසකයන්ගේ ආරාමය විවෘත කරන්නට නියමිතව සිටියේ නුදුරු දිනෙක ලංකාවට පැමිණීමට නියමිතව සිටි නෙල්සන් මැන්ඩෙලා අතිනි. එහෙත් එළඹෙන ප‍්‍රාදේශීය සභා මැතිවරණයකට වාසි සහගත වන සේ ඊට පෙරාතුව එය විවෘත කළේ එකළ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ විසිනි. ඊට දශකයකට පසුව එය කඩා සුනු විසුණු කළේත් ඔහු පාලන සමයේ ඔහුගේම සොහොයුරාගේ අණ යටතේ මහින්ද රාජපක්ෂගේම අනුමැතියෙනි.

මේ සිදුවීම වනාහී කෲර රංගයක අනුපාන නොවේද? රහස් කියන කඳු සිනමා කෘතියේ  සරත් කොතලාවල රංග නිරූපණය මට මතකයට නැගෙන්නේ දරුවන් දහතුන් දෙනාගේ ඝාතක හමුදා වෘත්තිකයන් අතර  ඔවුන්ට උඩගෙඩි දුන් ඇඹිලිපිටිය විදුහලේ විදුහල්පතිවරයාය. ජාතික ඇඳුම් ඇඟලා ගුරු වෘත්තියේ නියැලූන ඔහුට ඝාතක සහායකයෙකු (මකරාක්ෂයෙකු) වීම කවර තරම් සරල කාරණයක් වී ද?

ධර්මසේන පතිරාජ අහස්ගව්ව චිත‍්‍රපටය තැනීම ප‍්‍රවීණ චිත‍්‍රපට විචාරක එල්. ඕ.ඩී සිල්වා හැඳින්වූයේ සිනමා කැමරාව පවුලෙන් පිටතට රැුගෙන ගිය පළමු චිත‍්‍රපටය ලෙසයි. රහස් කියන කඳු පතිරාජ හෙළිකර දුන් විප්ලවිය මාවතේ අග‍්‍රතම ඵලය ලෙස මම විශ්වාස කරමි.

නාමල් ජයසිංහ හා ජගත් මනුවර්ණ දෙදෙනා ලියූ තිරපිටපත කියවීමට මහත් ආශාවක් මට තිබේ. තිරනාටකයට නිමැවුම්කරුවන්ගේ පුරවැසිමය පසුතැවිල්ල හා මේ ඝාතන සංස්කෘතියෙන් විමුක්තිය ලැබීමට ඔවුනට ඇති අභිලාෂය විසින් කඳුවලට, මිනී නහවන වතුරට, නිහඬ බවට ආදී සජීවි අජීවී දේවලට හා සිදුවීම් අතර අන්තරයන්ට පවා ප‍්‍රාණය කවා ඇත. දේශපාලනික චිත‍්‍රපටයක් වශයෙන් පමණක් නොව කලාකෘතියක් වශයෙන් මා අගයන උසස්ම දෙයක් මෙහි ඇත. ඇරඹුමක් හා අවසානයක් නැති මේ සිනමාපටය තමන්ගේ අත්දැකීම් හා සංවේදනා ඇසුරෙන් රසිකයාටද පරිකල්පනය කර ගැනීමට තබා ඇති ඉඩ හසරයි ඒ. එය එලෙස කියවා ගනිමින් සිටින බව පසුගිය කාලයේ රසික සමාජය ඇසුරු කිරීමෙන් මට දැනගත හැකි විය.

මට 87-89 කාලය මතකය. සන්නද්ධ දෙපිරිසකට මැදිවෙමින් හා මරණයට සමීප අවස්ථා මග හරිමින් ගෙවූ ඒ ජීවිතයට වර්ණයක් තිබිණි. ආර්ද්‍රතාවයක් තිබිණි. එකල්හි හිරු ද විවර වීමට බියෙන් මෙන් අඳුරු වලාකුළුවලට මුවාවී සිය මෙහෙවර ඉටු කළේය. සිනා පොදක් නැති මුහුණු එහෙ මෙහෙ යනු එනු දුටුවෙමු. බෝධි වෘක්ෂයන් අතර මහජන රැුස්වීමකට මෙන් මිනිසුන් පැන් කලගෙඩි සහිතව වෙලාවක් අවේලාවක් නැතිව රැුස් කෑහ. වගේ වගක් නැති රහස් කියන කඳු හි භික්ෂුව මෙන් භික්ෂුහු කරුමයට සියල්ල බැර කරමින් වින්දිතයන් මෝහනයට පත් කළෝය.

දායකයන්ගේ, ජාවාරම්කාරයන්ගේ හා තමාගේමත් යටි මඩිගහ ගත්තවුන්ගේ ධනයෙන්, අනාගතයටත් ඉඩ තබා ඉදිවන විහාර ගොඩනැගිල්ලේ සැටලිම භික්ෂුව තරම්ම ප‍්‍රබල චරිතයකි. ආගම වනාහි ශිෂ්ටාචාරමය සොයා ගැනීමකි. එයට දේශපාලනයට මෙන්ම මූලධර්ම ඇත. රහස් කියන කඳු අතර දේශපාලනය මෙන්ම ආගමද පිරිහෙලී ඇත. ඇවිලෙන සැටලිම දෙපැත්තේ මූලධර්ම පිරිහුනු ආගමත් (තරුණ භික්ෂුව) මූලධාර්මික ආගමත් (වයස්ගත භික්ෂුවත්* සිටී. ආගමේ මූලධර්ම රැුකීමට බැරිව පරමාර්ත අහිමිවීමේ ශෝකයෙන් පෙලෙන වයස්ගත භික්ෂුව මානසික රෝගියෙකු ලෙස හංවඩු ගසා ඇත. 

නිල හමුදා නායකයෙකුගේ මෙහෙයවීම යටතේ කි‍්‍රයාත්මක පැරා මිලිටරි ලීගයක් විය හැකි ඝාතන කඳවුර ලංකාවේ සමාජ දේශපාලන දේහයේම සංකේතයකි. හෘද සාක්ෂිය පුංචි කරගත් කඳවුරු නායකයා සිය යුක්තිය පිළිබඳ අදහස මතුපිටට කැඳවන්නේ ද ඝාතනයේම සහායටය. ඔහු වනාහි පුංචි ලංකාවක බහුරූපි වෙස් ගතහැකි නායකයෙකි. එහි මහා පරිමාණය වනාහි ලංකාවමය. එහි නායකයන්මය.

මම නැවත ආපස්සට යමි. ජගත් වීරසිංහගේ කාංසාව චිත‍්‍ර ප‍්‍රදර්ශනය හා ප‍්‍රදීප් චන්ද්‍රසිරිගේ උයසිචැරසබට ඵදමබඒසබ  යන තිස් වසරක කාලාන්තරයක් තුළ බිහිවුණු චිත‍්‍ර ප‍්‍රදර්ශන දෙකම අත් නොහැර යන ඝාතන සංස්කෘතියක කාංසාව කියාපායි. කාංසාවේ එක ස්වරූපයක් නම් නැවතත් එය ආපසු ඒ යැයි යන බලාපොරොත්තුවයි. අපි වනාහි කාංසාවක් නඩත්තු කරමින් සිටින ජාතියකි. මේ චිත‍්‍ර ප‍්‍රදර්ශන දෙකත් රහස් කියන කඳු චිත‍්‍රපටයත් එකම මූලයක් දරන්නේය. ප‍්‍රදීප්ගේ කඳු සමස්තය පුරා රක්ත වර්ණ රුධිර නාලිකා දිවෙන්නේය.

වැඩිහිටි අපගේ ඝාතන මතකයන් එයට අනුගත වීම විසින්ම අමතක කර දමා ඇත්තෙමු. එහෙව් සමාජ අවකාශයක අපගේ පසු පරම්පරාවන්ට අයත්  මේ තරුණ නිර්මාණකරුවන් අතින් ලේ ,කිරි,වතුර  ඕනෑම එකක් උඩින් ගැලූවත් අකම්පිතව සිටින අපගේ වැඩිහිටි කළුගල රිදවා ඇත. අනාගතයේ වෙනසක් වීමට නියමිතව තිබියදීත් එසේ නොවන්නේ නම් එසේ වන්නේ කලාකෘතිවලින්වත් රිදවන්නට බැරි මේ වැඩිහිටි කළුගල් නිසාමය.

රහස් කියන කඳු ශී‍්‍ර ලාංකික ජාතියේ හෘද සාක්ෂියට අමතා ඇත. සාමාන්‍යයෙන් විදේශයක පදිංචියට ගිය කළ හෘද සාක්ෂිය ඇහැරෙන්නේය.  ඕස්ටේ‍්‍රලියාවේදී රහස් කියන කඳු සාර්ථක වන්නේ ඒ ඇහැරුණු හෘද සාක්ෂිය කවරාකාරදැයි පහදා දෙන හෙයිනි.

රහස් කියන කඳු පුළුල් අර්ථයෙන්ම දේශපාලන චිත‍්‍රපටයකි. එය ප‍්‍රදර්ශනය වන්නේ දේශපාලනික වශයෙන් ඓතිහාසික අරුතින්ම අවදි වූ සමාජයකය. අරගලය යනු ඒ අවදිවීමේ වර්ණවත් නිරූපණයයි. එය ප‍්‍රංශ විප්ලවයට හා 1917 විප්ලවයට පාර කැපූ අසාර්ථක 1905 රුසියානු කැරැුල්ලට සමගාමීය. එය ජාතිවාදය වෙනුවට නිර්ජාතිවාදය සමාජ ගත කළේය. සාම නාශක භික්ෂුව පන්සලේ ඇතුළු ගුහාවට දැක්කූහ. දේශපාලකයන්ගේ රැුස් වළල්ල සැලකිය යුතු මට්ටමකින් අහිමි කළේය. එවැනි වර්ණවත් පරිසරයක රහස් කියන කඳු පැමිණීම හා එය සාර්ථකවීම වනාහී අරගලයේ රැුස් දසත තවමත් ආලෝක කරන්නේය යන්නට ජීවමාන සාක්ෂියකි.

චන්ද්‍රරත්න බණ්ඩාර

(මෙම ලිපිය මුල්වරට පළවූයේ 2024 ජනවාරි 07 අනිද්දා පත්‍රයේය.)