Saturday, 9 June 2018

මෙහෙවර නිමා කළ සෝමවීර සේනානායකගේ යශෝරාවය







  
       සෝමවීර සේනානායක අප හැර යාමේ පුවත මවෙත බොහෝ සංවේගය දැනවීය. මගේ ජීවිතයේ ලැබූ ලොකුම ජයග‍්‍රහණයක් වූ ඞී.ආර්. විජේවර්ධන අනුස්මරණ ප‍්‍රදානය වන සපු මල නවකතාව වෙනුවෙන් ලැබූ අවස්ථාවේ ජුරියේ සභාපති වූයේ සේනානායකයන් ය. එතැන් සිට ඔහු සමග මම ගෞරවාන්විත මිත‍්‍ර ගනුදෙනුවක යෙදුනෙමි.
    සිංහල භාෂාව, එහි පදරුත්, එහි ඇති මටසිළුටු බව, ඒ ඇසුරින් කළ නිර්මාණ ආදිය ඇසුරින් ගොඩනැගුණු යහපත් ‘සිංහලයා’ යනු මෙවැන්නැකු යයි සදා නිම කළ ප‍්‍රතිරූපයක් මා වෙත ඇත. ඒ ප‍්‍රතිරූපයට ගැලපෙන මිනිසුන් කෙරේ යම් ළබැඳියාවක් ඉබේම හට ගනී. සෝමවීර සේනානායක ඒ ප‍්‍රතිරූපයට කදිමට ගැලපුන මිනිසෙකි.
   ඔහු යහපත වෙනුවෙන් පෙනී සිටියේ ය. යහපත ප‍්‍රවර්ධනය සඳහා තම ශක්ති ප‍්‍රමාණයෙන් වෙහෙස වූවේ ය. සිංහල භාෂාව සාහිත්‍ය සතු මෙවලම් උපයෝගී කරගෙන සිය දිවිය පුරා සේනානායක වෙහෙස වූයේ ඒ සත් කාර්යය උදෙසා ය. ඒ වෙහෙසේ මහ`ගු ඵල හා අස්වනු මහජනතාවට ලැබුණි.
   සේනානායක පොදු සමාජයේ මේ වෙමින් පවතින වින්නැහිය දුටුවේ තමා අයත් සමාජය යහපතට නැඹුරු සංස්කෘතික විඥානයෙන් බැහැර වීම නිසා සිදු වූවක් ලෙසිනි. එම අවබෝධයට අනුව යමින් ඔහු සිය නිර්මාණ වලින් උත්සාහ කළේ තමාගේ රසික ජනයා ඒ සංස්කෘතික විඥානය වෙත නැවත සමීප කරවීමටය. පළි`ගු මැණිකේ ටෙලි නළුවෙන් ආරම්භ කළ ඒ සත් ව්‍යායාමය ඔහුගේ දැවැන්ත නිර්මාණ වපසරිය පුරා විහිද ගියේය.
  සේනානායකයන් ලිව්වේ ද, කතා බහ කළේ ද සිංහල වචනවල මහා බලය ගැන විශ්වාෂයෙනි. මා විශ්වාස කරන පරිදි සුගතපාල ද සිල්වාට  පමණක් දෙවෙනි වූ පසුව  හොඳම දෙබස් රචකයා සෝමවීර සේනානායකයන්ය.
  සේනානායකයනි ඔබට සුබ ගමන්.
                                                                   චන්ද්‍රරත්න බණ්ඩාර

Friday, 8 June 2018

රාජකීය විවාහය හා සමාජ විපරිණාමය


බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් අප රට මුළුමනින්ම සිය අණසකට ගත්තේ 1815 මාර්තු දෙවනදා උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමගය. අපට වූ සන්තෑසියම ආසියාව අපි‍්‍රකාව ආදී මහද්වීපවල බොහෝ රටවලට හා  ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය වැනි රටවලටත් සිදු විය. බි‍්‍රතාන්‍යයන් විසින් වැඩුන සංස්කෘතීන් බිමට පාගා දැමීමක් මේ බොහෝ රටවලදී, විශේෂයෙන්  අපි‍්‍රකාවේදී සිදුවිය. රටවල් බි‍්‍රතාන්‍යයන්ගේ අභිමතය පරිදි එතෙක් ඒ රටවල තිබුණු ස්වභාවික යථානුරූපී බෙදීම් නොසලකා නැවත බෙදීම හේතුවෙන් අදටත් පවත්නා අඛණ්ඩ සිවිල් හා රටවල් රටවල් අතර අරගල නිර්මාණය විය. තමන්ගේම දේශපාලනික යථාර්ථයන්ට අනුකූලව නිමවී තිබුණු සාම්ප‍්‍රදායික ආගම් වෙනුවට කි‍්‍රස්තියානිය ඔවුන් මත බලෙන් එබ්බවූහ. මේ සියවස් දෙකකට පෙරාතුව බි‍්‍රතාන්‍ය ලෝකයා හමුවේ හැසිරීමේ ස්වරූපයයි.
එහෙත් ලෝක යුද්ධ දෙක අතර කාල පරාසයේ යුරෝපයේ සිදුවූ වෙනස්කම්ද 1917 දී ඇති වූ රුසියානු විප්ලවයද ආදී හේතු කොටගෙන යුරෝපීය ජාතීන් විශේෂයෙන් බි‍්‍රතාන්‍යයන්ට තමන් අනුගමනය කළ කි‍්‍රයාකලාපයන් පිළිබඳ නැවත හිතා බලන්නට සිදු විය. විශේෂයෙන් හිට්ලර් සපැමිණීමත් සමග වූ ඉතිහාසගත මානව ඛේදවාචකය තුළ පව් පටිසන් දෙන්නාක් මෙන් බි‍්‍රතාන්‍යයන්ට තමන්ගේ ජීවිත ඇල්ම තුළින්ම ලෝකය දෙස බලන්නට සිදු විය. යුරෝපයෙන් බැහැර රටවලට ආධිපත්‍යය හිමිකර ගෙන තිබූ  යුරෝපාකරයම පාහේ හිට්ලර්ගේ බිහිසුණු කි‍්‍රයා නිසා විපතටත් අස්ථාවරත්වයටත් පත්විය.
නිල සංඛ්‍යා ලේඛන අනුව මිලියන 1.8ක මිනිසුන්  පළවන ලෝක යුද්ධය නිසාත් මිලියන 80 ක ජනගහණයක් දෙවන ලෝක යුද්ධය නිසා ඝාතනය විය.්  මේ සා විනාෂයත් සමග ‘තමන්ගේ ජීවිත තුළින් අනෙකාගේ ජීවිත  දෙස සානුකම්පිතව’ බැලීමේ පරමාදර්ශයන් යුරෝපයේ බිහි විය. මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියා වැඩ සටහන් , ජනවාර්ගික සමානතා වැනි සංකල්ප යුරෝපයේ උපන්නේ එකී ප‍්‍රායෝගීක සිදුවීම් හේතුවෙනි.
ලෝක යුද්ධ දෙකකට පෙරාතුව බි‍්‍රතාන්‍යයෝ අපට හුරු කළේ අසමානතාවය සහිත ජීවන පිළිවෙත්ය. සැබැවින්ම එය අප රටේ තිබූ පුරාතන වැඩවසම් ක‍්‍රමයට සාකල්‍යයෙන්ම සමාන විය. එක්කෝ ඊටත් වැඩිය.
එහෙත් අද වන විට සියලූ තත්වයන් වෙනස් වී හෝ වෙනස්ව යමින් පවතී. එංගලන්ත ක‍්‍රමයේ සාරාර්ථයන් ගැබ්වූ ලන්ඩන් නුවරට මීට වසරකට පෙර මුස්ලිම් නගරාධිපතිවරයෙකු තේරී පත් විය. අද කළු සුදු බව හෝ වෙනත් වාර්ගික බෙදීම් වෙනුවට හැකියාව, අවංකකම, සේවයට ලැදි බව නායකත්ව ගුණාංග ආදී කාරණා බි‍්‍රතාන්‍යයේ තනතුරුවලට වැදගත් වෙමින් පවතී. 1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේදී බි‍්‍රතාන්‍ය ජාතික දිසාපතිවරයෙකු වූ පී‍්‍රමන් නැමැත්තෙකු මහජන ඡුන්දයෙන් තේරී මන්ත‍්‍රණ සභාවට ගියේය. අද රනිල් ජයවර්ධන නම් සිංහලයෙකු බි‍්‍රතාන්‍යයේ පෙඩරල් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස සුදු ජාතිකයන්ගේ ඡුන්දයෙන් තේරී පත්ව සිටී.
මේ සියලූ සිදුවීම්වලට ඉහළින් බි‍්‍රතාන්‍යයේ අද තත්ත්වය තේරුම් ගැනීමට ඇති හොඳම නිදර්ශකය වන්නේ එළිසබත් මහරැුජිනගේ දෙවන මුනුබුරා වන හැරී කුමරු අපි‍්‍රකාවේ සිට ඇමරිකාවට සංක‍්‍රමණය වූ වහල් පරම්පරාවක මාතෘ උරුමයක්ද, වැඩි ප‍්‍රභූත්වයක් නැති ඇමරිකානු මෙක්සිකානු සම්භවයක් සහිත පීතෘ උරුමයක්ද සහිත මීගන් මේකල් සමග රාජකීය විවාහයකින් බැඳීමයි. ඒ විවාහය පිළිබඳ රාජකීයයෝ අසතුටෙන් පසුවනවා විය හැකියි. එහෙත් බි‍්‍රතාන්‍යයේ පුද්ගල නිදහස පිළිබඳව වන මතවාදයන්ගේ ආශිර්වාදය අභිබවා යාමට ඒ රාජකීය අසතුටට නොහැකි විය.
මීගන් මේකල් හැරී කුමරුට වඩා තුන් අවුරුද්දකින් වැඩි මහල්ය. අනෙක් අතට ඈ කලින් දික්කසාදයකට  හිමිකම් කිවූ වැන්දඹුවකි. ඇගේ සම්භවය යට කී ආකාරය. පැරණි මිනුම් දඬු අනුව නම් බකිංහැම් මාළිගයේ පස් පෑගිය නොහැකි තරම් එකියකි. එහෙත් මේකල් ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියයි. එමෙන්ම බුද්ධිමත්ය. අපමණ සමාජශීලීය. ධනයද, බලයද, උරුමයද සහිත හැරී කුමරුට මේ මානව ලෝකයේ ලබාගත නොහැකි දෙයක් නැති තරම්ය. යට කී කිසිදු දෙයක් ඔහුට අලූත් දේවල් නොවේ. එහෙත් මීගන් මේකල් හැරී කුමරු උදෙසා අලූත් දෙයක් ලබා දීමට සමත් විය. ඒ ආදරය හා නැවුම් පේ‍්‍රමයක උණුසුමයි. ඒ හරහා වූ මානව බන්ධනයට සමස්ථ රජ පවුලටත්, බි‍්‍රතාන්‍ය සමාජයටත් අවනත වීමට සිදු විය. ඒ අවනතවීම සියවසක් පුරා යුරෝපයේ මානව සමාජයේ වූ විපරිනාමයේ උච්චතම අවස්ථාවයි. මේ සිදුවීම් සන්ථතිය සලකා බලන විට හෙට දවසේ මේ රජ පවුල තුලත් යුරෝපා සමාජයේත් කුමකින් කුමක් සිදු නොවනු ඇද්ද?
ගොවිගම කුලයට අයත් නොවූ රෙජිනෝල්ඞ් කුරේ මහතා ජනාධිපතිවරයා විසින් මධ්‍ය පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කළ පසු එය පිළිගැනීමට සියම් නිකායික මහානාහිමිවරු අකමැති වූයෙන් ජනාධිපතිවරයාගේ පත්කිරීම අවලංගු කොට කුරේ යළිත් යාපනයට යැවීමට සිදු විය. මිට පෙරාතුව ගාමිණී රාජපක්ෂ නැමති ගොවිගම කුලයේ නොවන නීතිඥයා මධ්‍යම පළාත් මහ ඇමති ධුරයට පත් කළ විට යට කී උභය විහාරයෙන් පැමිණි විරෝධතා සැලකිල්ලට ගෙන එකී පත් කිරිම අවලංගු කිරීමට එදා රජයට සිදු විය. ඒ වෙනුවට මහඇමතිවරයා ලෙස පත් වූයේ ඩබ්.එච්.පී.බී. දිසානායක මහතාය.
මේ ජාති වශයෙන් වන මහා බෙදීමට අමතරව කුල ආගම් වශයෙන් වන බෙදීම්වලට කෙටි උදාහරණය. කලාව, කී‍්‍රඩාව, සමාජ විද්‍යාව, දේශපාලන හා විද්‍යාත්මක සොයා ගැනීම් විසින් යළි යළිත් මානවයා දක්ෂතා  හා ගුණ යහපත්කම් විසින් නිර්නය කරන ලෝක සමාජයක අප ජාතිය කුල මල හරහා තවත් ගැඹුරට බෙදී යමින් සිටිමු. ඒ උදෙසා ලේ වගුරුවන්ට සූදානමින් සිටිමු. සංවර්ධනයේ සියලූ ජයග‍්‍රහණයන්, දරුවන්ගේ අනාගතය මේ නිරර්ථක බෙදීම් උදෙසා බිලිදෙන්නට සූදානම් ආත්ම ඝාතකයන් වීමට කැමැත්තෙමු.
හැරී කුමරු රාජකීය පවුලේ සිටින කඩවසම්ම කී‍්‍රඩාශීලීම චමත්කාර ජනකම මිනිසාය. පේ‍්‍රමය හා ආදරය උදෙසා ඔහු තැබූ නිර්භීත පියවර ලෝක ඉතිහාසයේ ප‍්‍රගතිශීලී පිම්මකි. බි‍්‍රතාන්‍ය රජ පවුලේ  ඕනෑ තරම් හිතුවක්කාරයන් සිටියෝය.  දෙවන විවාහය උදෙසා තමන් ගත් තීරණයක් වෙනුවෙන් කතෝලික දහම අතහැරි අටවැනි හෙන්රි රජු එවැන්නෙකි. එහෙත් ඒවා ඉතිහාසගත අහම්බයන්ය. එහෙත් හැරී කුමරුගේ විවාහය සිදුවන්නේ එවැනි දේ අවශ්‍ය කරන ලෝක වටපිටාවකය. එවැනි දේ සිදුවන වටපිටාවකය.


Wednesday, 6 June 2018

මැතිවරණ පෝස්ටර්





හෙට (ජූනි 7) කැනඩාවේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වේ. ඒ ගැන උනන්දු වන්නෙකුට හැර මැතිවරණයක් තියෙන බවක්වත් හඳුනා ගත නොහැකි තරමට සියල්ල සාමකාමීව හා ජන ජීවිත අවුල් නොකර සිදුවේ. පක්ෂ නායකයෝ එකවිට පැමිණ වාද විවාද කර ගනිති. ඒවා නරඹන ඡන්ද දායකයෝ එම අත්දැකීම්ද ඒ කියවෙන අදහස්ද උපයෝගී කරගෙන ඡන්දය පාවිච්චි කරති. අප ජීවත්වන ඔන්ටාරියෝ ප්‍රාන්තය ලංකාව මෙන් 24 ගුණයක්ද මහා බ්‍රිතාන්‍ය මෙන් 4 ගුණයක්ද විශාල වූවකි. ජනගහණය මිලියන 13.6කි. මේ දැක්වෙන්නේ ප්‍රසිද්ධ මංසන්ධියක එක ආසනයක ප්‍රධාන පක්ෂවල අපේකෂකයන් එක තැන සිය ප්‍රචාරක පුවරු සවි කොට තිබූ අයුරුය. හෙට ඡන්දයෙන් පසුව සියලු අපේක්ෂකයෝ ඒ පුවරු ගලවාගෙන ගොස් සුරක්ෂිතව තබා ගන්නේ බැරිවෙලාවත් ලබන සැරෙත් ඉල්ලන්නට සිදු වුවහොත් කියාය. එසේ නැතත් ඔවුන් ඒවා ගලවාගෙන යායුතුමය. නැත්නම් දිනපතා දඩයකට යටත් වීමට සිදුවේ.

Friday, 11 May 2018

මායා මාවත





          මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු පෙළ මුද්‍රණයේ පිදුම වශයෙන්  සිය දියණිය තම පෙම්වතා සමග වහංව ගිය පසු ලියූ දෙ-කව සිංහල කාව්‍ය ක්ෂේත‍්‍රයේ උසස් තැනක ලා සැලකේ.


        ඒ රිද්මය හා ඒ ශෝක රසයම ගැබ්වුණු කවි කිහිපයක් පිදුමක් වශයෙන් නැවත දුටුවේ සුනිල් සරත් පෙරේරා ලියූ මායා මාවත නම් වූ සිය ස්මරණ කෘතියේය.


බිරිඳ වෙසින්
මා වෙත ආ දේවතාවියේ
අනියත නියත බව පෙන්නා
ඔබ මැකී ගියේ


ගිරි කුළ හැපී දෙකඩව යයි        සඳම`ඩල
නිසලව සුසුම්ලයි කළුවර          තුරු වදුල
දෙකොපුල තෙමා රූරා එයි      ඇස කඳුළ
නිවසේ කැදැල්ලේ නො ඇසේ පිය තෙපළ


බත් දුන් කුරුලූ ලේනුන් විත්    වැට දිගට
දුක් ගන්නා බිසව් සොයනේ      ගේ අවට
ඔබතින් වැවූ කඩුපුල් මල්      පිපෙන විට
සිහිලල සුළ`ග දැවටී යයි           සුවඳ වට


අවදිව ඇසැර ලොව දකිනා              වෙලාවේ
උදයෙම මවෙත තේ උගුරක්           ගෙනාවේ
ඔබ ගැන නිබඳ සිහිවන               කල්පනාවේ
මොහොතින් මොහොත ළතැවෙමි හුදකලාවේ




      සුනිලූන්ගේ පියඹ වූ සරෝජිනී ඉලංගංගතිලක (පසුව පෙරේරා) මැතිණියට මේ කවි පෙළින් වහනය වන සියලූ ගුණ සුවඳ පිහිටා තිබිණ. මාතු භාර්යාවක ලෙස හැඳින්විය හැකි ඈ දරුවන්ට හොඳම මවක්, අපට හොඳම සහෝදරියක් වූවා ය. මුදු ගුණයෙන් ද සානුකම්පිත හදවතින් ද යුතු වූ ඈ වැන්නියක අහිමිවීම වහා සසලවන හදක් ඇති සුනිලූන්ට දරා ගැනීමට අපහසුවීම අරුමයක් නොවේ.


      කොළඹින් දුර බැහැර මහනුවර ජීවත් වූ මට කොළඹ හැටි කියා දුන් හා කොළඹ ජීවිතයට රැුකවරණය දුන් පවුලක් වේ නම් ඒ සුනිලූන්ගේ පවුලයි. මගේ එකල  ලිපිනය වූයේද ඒ නිවසමය. ඒ 133 මායා මාවත ම ය.


     සවස් යාමයේ නොවරදවා මා හා ඇතැම් විට පියසේන ගුණතිලකයන් සමග  ඒ නිවසට ගොඩ වන මට සුනිලූන් හමුවට එන වියතුන්  දැක ගැනීමටත් අල්ලාප සල්ලාපයේ යෙදීමටත් වාසනාව ලැබිණ. අමරදේව, මහාචාර්ය ජේ.බී හා විමල් දිසානායක, පණ්ඩිත අශෝක කරුණාරත්න, සයිමන් නවගත්තේගම (පණ්ඩුකාභය නිෂ්පාදනය අවධියේ) චන්ද්‍ර ගුණසේකර, බර්නාඞ් සොයිසා, බැටී වීරකොන් ,දයා හා අනුලා රණවීර,  ආදී වියත්හු හා ජනපි‍්‍රය පුද්ගලයෝ ඒ අතර වූවා මට මතක ය.


    මා රාවය පුවත්පත හා සම්බන්ධ කළේද සුනිලූන් විසිනි.


       සුනිලූන් කොළඹ ඉපදුනු ගමට පෙම්බැඳි වියතෙකි. ගැමි ලියක වූ සරෝජනී අක්කාට දැක්වූ අකලංක පේ‍්‍රමය ඈ ජනිත ගම් පියසට ද ඒ ඇසුරෙන් සමස්ත ලාංකීය ගමට ද ඔහු පෙම් කලා යයි සිතමි. ගැමියන් වූ අපට වඩා ගම පිළිබඳ අපූර්වත්වයකින් සුනිලූන් දකින්නේ ඔහු සිය ජීවිතය පුරවාලූ සරෝජිනී අක්කාට දක්වන පේ‍්‍රමයේ කොටසක් ලෙසිනැයි මට සිතේ.   ‘‘ඈත එපිට ගම්මානෙන් මතුවන’’, ‘‘මේ මහකන්ද දුටුවා’’ වැනි විශිස්ට ගී ඒ සඳහා උදාහරණ වෙති.


      සිය උපන් නිවස පිහිටා ඇති කොළඹ කිරුළපන මායා මාවත කේන්ද්‍ර කරගනිමින් ඔහු විහිදුවාලන අත්දැකීම් හා ස්මරණ විවරණය පරිනත කලාකරුවකුගේ පමණක් නොව විද්වතකුගේ ස්වරූපය කියා පායි. ඒ නිවසට වසර ගණනාවක් ආගිය කෙනෙකු ලෙසත්, ඔවුන්ගේ සතුට පිරීතිරී ගිය කුටුම්භය දුටු කෙනෙකු ලෙසත්, ඒ නිවසින් රැුකවරණය ලැබූ කෙනෙකු ලෙසත්, මායා මාවත කෘතියෙහි මට සාමාන්‍ය පාඨකයකුට වඩා සමීප බවක් දැනේ.


      සුනිලූන් අපූර්ව වූ කවියෙකි.  ගීත රචකයෙකි. පරිනත භාෂා පේ‍්‍රමියෙකි.  විසල් දේශපාලන සංස්කෘතික සමාජ වටපිටාවක අත්දැකීම් බහුල වූ, ඒවා සිය නිර්මාණ විෂයෙහි සංයමයෙන් පරිහරණය කළ හා කරන අයෙකි.


       සුනිලූන් විසින් තමන් අවට ලෝකය සංයමයෙන් යුතුව ඥානනය කළ අයුරු ‘මායා මාවත’ අපට කියා පායි. සරච්චන්ද්‍රයන්ගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ තිස්ස අබේසේකරයන්ගේ ‘අයාලේ ගිය සිතක සටහන්’ සිරිලාල් කොඩිකාරගේ ‘දියවැලක් ඔස්සේ’ වැනි උසස් ගනයේ ස්වකීය ජීවන අත්දැකීම් ඇතුළත් කෘති පෙළෙහි ඒ උසස් ගුණයන් එසේම රැුඳුණු කෘතියක් ලෙස ‘මායා මාවත’ සැලකිය හැකිය.


      ‘මායා මාවත’ කෘතිය මගේ වයස විසි ගණන්වල ජීවිතයේ ඇතැම් ස්පර්ෂ කලාපයන් යළි මතක් කර දෙන කෘතියකි. සුනිලූන් මට හොඳ ජීවන පූර්වාදර්ශයක් විය. ඒ දෙපළම මට හමුවූ මහා ගුණවත්  මිනිසුන් වූහ. අපගේ ස්මරණ කලාපයේ මිහිරෙන් පුරවාලූ ජීවන අත්දැකීම් මේ දෙපළ ඇසුරෙන් මට ලැබුණි. සුනිල් විසින් රචිත සිය ජීවන අත්දැකීම් සමුදාය තුළ ඔහුගේ සංයමයෙන් යුතු ජීවන විලාසය ගැබ්ව ඇතැයි සිතේ. මේ කෘතියේ ඇතැම් පරිච්ෙඡ්ද ඇසුරෙන් මතු වන සිය පියඹ සමග එක්ව ගිය ගමන් බිමන්වල සෝකී ස්මරණ, ඔහුගේ බලවත් වත්මන් ශෝකී හුදකලාව මට පසක් වේ.




චන්ද‍්‍රරත්න බණ්ඩාර

Tuesday, 1 May 2018

යුගයක අවසන් බදාදා



        ආගමික බලයෙන් තොරව කිසිදු සංස්කෘතියක් බිහිවී හෝ වර්ධනය  වී හෝ නොමැති බව වරෙක ටී .එස් එලියට් පවසා ඇත. එය ඇත්තක් යයි මමද විශ්වාෂ කරමි.
          බුදු දහම ලංකාවේ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය නිර්මාණයේ දි වැදගත් කාර්යභාරයක් සිදුකොට ඇත. විශේෂයෙන් විසිවෙනි සියවසට පෙරාතුව ඒ කාර්යය එසේම සිදුවිය. විශේෂයෙන් ලංකාවේ දී මිනිසා ශිෂ්ටාචාරගත කිරීමේ හා සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමේ දී ආගමේ කාර්යය කලාව වෙතට පවරා ගැනීම සිදු වූයේ බොහෝ ප‍්‍රමාද වීය. ආගමේ ඉගැන්වීම්වලට යටත් විනයගත රාමුවක ප‍්‍රාථමික ස්වරූපයෙන්  චිත‍්‍ර, නර්තනය, වැනි දෑ තිබුණු නමුත් සංගීතය හා අනෙකුත් වීධිමත් කලාවන් තිබුනේම නැති තරම්ය. එහෙත් මාර්ටින් වික‍්‍රමසිංහ (සාහිත්‍යය) , සරච්චන්ද්‍ර (නාට්‍ය) , ලෙස්ටර් (සිනමාව), චිත‍්‍රසේන (නර්තනය), අමරදේව (සංගීතය) යන පුරෝගාමින් විසින් විසිවන සියවසේදී ආගම පදනම් වූ කලාව ජීවිතය පදනම් වූ කලාවක් බවට පත්කීරීමේ පරිවර්තනීය කාර්යය ආරම්භ කළේය. ඔවුන් විසින් සිංහල සංස්කෘතියේ පුලූල් පරිධියක උසස් කලාව පැතිරවීය. ඊළ`ග පරම්පරාවන්ට ඒ මග යාමට මං පෙත් විවර කර දුන්නෝය.
           මේ ලියන අද බදාදා (2008-05-02) එක්තරා සම්භාව්‍ය පුරෝගාමී යුගයක අවසන් දිනය ලෙස සැලකීම උචිත යයි සිතමි. ලෙස්ටර්ගේ මරණය සටහන් කරන්නේ ඒ පුරෝගාමී පරපුරේ අවසන්  සිහරජු අහිමිවීමය.
        ආගම විසින් අත්පත් කරගෙන තිබූ සංස්කෘතික අවකාෂයට කලාව කැඳවාගෙන ආ පුරෝගාමීන් ඔවුන්ය. අද ලෙස්ටර් පරමායුෂ ගෙවා නික්ම යන්නේ ,යළිත් ඒ අපූර්ව සංස්කෘතික අවකාෂයට ආගම පැමිණිය හැකි රුදුරුම වේෂයෙන් පැමිණ හදි කරමින් සිටින අවධියකය.
       මේ පුරෝගාමී කලාකරුවන් බිහිවන්නට පෙර යුගයේ ආගම, ආගමික කලාවකට හා දැනුම පද්ධතියකට පිටුබලය විය. අහෙත් අද ආගම ආත්මාර්ථකාමී ලෙස ආගමේම අභිවෘද්ධිය පමණක් සඳහා මෙහෙයවෙමින්, ඒ සඳහා අනෙකුත් සියලූ බේදයන් අවුස්සමින් ඉතාම හිංසක මුහුණුවරක් ගනිමින් සිටී. ලෙස්ටර් නික්ම යන්නේ මෙවන් දුර්දාන්ත පරිසරයකිනි.
ලෙස්ටර්ගේ සිනමාව ගොගොල්ගේ හිමකබාය ලෙස වත්මන් කලාකරුවන් විසින් දකී. එය සැබෑවකි. එහෙත් ආගමික කලාවක් ජීවිතය උදෙසා පෙනී සිටින කලාවක් බවට පත්කිරීමේ පරිවර්තනීය  කාර්යය කළ සාර්ථක ආකාරය හැදෑරීම වත්මන් කලාකරුවන්ගේ (විශේෂයෙන් සිනමා කරුවන්ගේ) යුතුකමකි. අර්බුදය වාර්තා කිරීමෙන් හා එය විවරණය කිරීමෙන් පමණක් පොදු සංස්කෘතියේ කලාවට හිමිවිය යුතු විශාල ඉඩ යළි ලබාගත නොහැකිය. සිනමාවේදීනි යලි මුලට ගොස් ලෙස්ටර්ගේ මෙහෙවර හරි තැනින් අල්ලා ගන්න.
චන්ද්‍රරත්න බන්ඩාර

Sunday, 15 April 2018

තුමිදු

තුමිදුගේ පියා මගේ මිත්‍රයෙකු විය. ජයසේන දොඩන්තැන්නයන් සිය පුත් තුමිදු ගැන එක්දහස් නවසිය අනූහය වගේ කාලයක මහත් ආඩම්බරයෙන් කතාකළ බව මට මතකය. පිය සිහින සැබෑ කළ පුතෙකු ලෙස තුමිදු හැඳින්විය හැකිය. මේ තුමිඳු මට හමු වු පළමු අවස්ථාවයි. ඒ මගේ නවකතාව 'වලාකුළු බැම්ම' ඇසුරින් තැනෙන සිනමා පටයේ මුහුරත් උළෙල දාය. (දිනය 2018 මාර්තු 14) එදා මම තාත්තා හා මගේ ඇසුර ගැන තුමිදු හා කතා බස් කෙළෙමි. ඊට දින දෙකකට පසුව මම රාජකීය අාසියාතික සමිතියේ සමුළුවකට සහභාගි වුනෙමි. මම විශ්වාෂ කරන පරිදි ලංකාවේ අදටත් පවතින විද්වත්ම සංගමය රාජකීය ආසියාතික සංගමයයි. එදා එක් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේ තුමිදුය. තුමිදු පිය සිහින සැබෑ කළ දයාබර පුතෙකු ලෙස හැඳින්වීම නිවැරදි නොවේද?


Friday, 5 January 2018

භාවනාව

https://www.youtube.com/watch?v=Ix3yMWjjA0w


විදර්ශනා භාවනාව බුදු දහමේ වටිනා අංගයක් බව ඕෂෝ කියා තිබේ. ඇමෙර්කාවේ ඔහුගේ ආශ්‍රමයන් හි මේ බාවනා විධික්‍රමය පුහුණු කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබුණි. බටහිර සමාජයට විදර්ශනා භාවනාව හඳුන්වා දීමට ඕෂෝ මෙන්ම බෙෳද්ධ භික්ෂූන් වන තිචිනාත් හං වැනි මහායානික භික්ෂුන් විශාල මෙහෙයක් සිදු කොට ඇත. එළඹ සිටි සිහිය ලබා ගැනීමට මගක් ලෙස විදර්ශනාව ප්‍රගණ කරන්නයයි මා පෙළඹ වූයේ එකී විෂය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් සහිත මා මිතුරැ සම්පත් දිසානායකයන්ය . ඔහු මට සංගීතය භාවනා මාර්ගයක් ලෙසද හඳුන්වා දුන්නේය. සෙන් බුදු දහමේ හා ටිබෙටියනු වජ්‍රයානික බුදු දහමේ මේ සඳහා උපකාර කරගත හැකි සංගීතාංග බොහොමයකි. යූටියුබ් හි මේවා සිය ගණනක් සංගෘහිතය. ඉස්ලාම් දහමේ සුෆී නිකාය භාවනාව හා සංගීතයට විශේෂ තැනක් දෙන්නේය. එහි භාවනානු සංගීතය බෞද්ධ මහායානික සංගීතයට සමානයයි මට සිතේ. මා නිතර භාවිතා කරන සුෆී සංගීත රචනයක් පහත දැක්වේ. නුවර පෙරහැර කාලයේ කඳු නිම්න සිසාරා මගේ උපන් ගමට ඇසෙන බෙර දවුල් හොරණෑ මිශ්‍රිත නාද මාලාවක් මේ සුෆී සංගීත රචනය තුළ ඇසෙතැයි මට සිතේ.