Friday, 3 August 2018
මහනුවර;අපේ හදබිම
මහනුවර;අපේ හදබිම
දළදා මාළිගය , සතරදේවාලය , ශාන්ත පාවුලු හා මීරක්කම් පල්ලි, මල්වතු විහාරය වැනි අපූරු ගෘහ නිර්මාණශීලිත්වයකින් යුත් ප්‍රෞඩ ආගමික ගොඩනැගිලි සුදුසු තැන්හි පිහිටුවා තිබුණි. කවර තරමේ විවේචන තිබුණත් මහනුවර වැව ලෝකයේ ලස්සනම වැවක් ලෙස නගරය අලංකාර කළේය. වැව රවුම යනු ලෝකයේ හොඳම වර්ගයේ වෝකිං පාත් එකකි. ඒ වටා ගමන් කරන්නෙකුට ප්‍රසන්න හැඟීම් සමුදායක් සිත් සතන් වලට එකතු කරයි. පසුකාලීනව ඉදිවූ කාර්ගිල්ස්, වෝකර්ස්, එලිපන්ට් හවුස් යන ගොඩනැගිලිත් , රජගෙදර,ශාන්ත සිල්වෙස්ටර් විදුහල, කච්චේරිය,පොදු වෙළඳ පොල පවා මහනුවර ප්‍රෞඩත්වය නොබින්දේය.
පසු කාලීනව මහනුවර අනුබද්ධ නගරය වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් , මහවැලි ගඟේ ජල ප්‍රවාහය සේ දැනුම ප්‍රවාහයක් නගරය කරා ගලා ආවේය. එදා බේක් හවුස් කොරිඩෝවේ ශාන්ත අන්තෝනි රඟහලේ රඟ දැක්වෙන වේදිකා නාට්‍යවල එල්.ටී.ඩිසයිනර්ස් නිර්මාණය කළ සිල්ස්ක්‍රීන් පෝස්ටර් පිළිවෙළට තබා තිබුණි. ඩෙවෝන් , ලියෝන්ස්, සිල්වඩේල් ආදී හෝටල්ද එසේම අඩු වැඩි වශයෙන් එදා සංස්කෘතික ප්‍රචාරයට ඉඩ හසර සලසා දුන්නේය.
බේක් හවුස්, ඩෙවෝන් ,සිල්වඩේල් , ආදි හෝටල්වල තේ එකක් තොල ගාමින්ද, ග්‍රීන් කැෆේ ,වික්ටරි ආදි අවන්හල්වල මධුවිතක් තොල ගාමින්ද දේශපාලන සංස්කෘතික සංවාද පැවැත්වුණි. පත්තිනි දේවාලය අසල දේව වීදිය පුරා සමසමාජ ව්‍යාපාරයත් .කොටුගොඩැල්ල වීදිය මුල් හරියේ කොමියුනිස්ට් පක්ෂයත්, බේක් හවුස් ,ඩෙවෝන් අසල වැටවල්වල නව සමසමාජ.විකොස, විරෝධ කණ්ඩායමුත් සිය සංවාද භූමි බවට පත් කර ගත්හ. කොළඹ කේන්ද්‍රීය සංස්කෘතික වීරයෝ ඉතා උනන්දුවෙන් නුවර පැමිණ ඒ සංවාද අප හමුවේද සිදු කෙරිණි.
එහෙත් බලයට හා ධනයට ලොල්වූ දේශපාලකයන්ට ඒ සියලු වටිනාකම් නොවැටහුණේය. ඔවුන්ට වටිනා කම් ලෙස දැනුණේ නුවර බිම් කඩවල්වල මිල වටිනාකම් ගැන පමණි. අද මහනුවර පුරවා ඇති පෙට්ටි කඩ වැනි සාප්පු ඒ බඩජාරි කමේ නිරූපනයන්ය.
සුදුසුම එක නොවූවත් මනා ගෘහ නිර්මාණ ශිල්පයකින් යුත් උසාවි සංකීර්ණයකින් විලියම් ගොපල්ලව මාවතේ ඉදි කරන විට , ඒ පාර දිගේ ඇති අනෙකුත් ගෘහ නිර්මාණ සංස්කෘතික නගරයකට ගැලපෙන සේ ගොඩ නැගීමට නගර නිර්මාණ විශේෂඥයන්ගේ සහය ලබා ගත යුතුව තිබිණි.
එදා අපේ සංස්කෘතික ජීවිතය සැනසූ මහවැලි ගඟ අසබඩ ශාන්ත අන්තෝනි රඟහල හා ඒ අවට පරිශ්‍රයට අද පෙට්ටි කඩ වැනි ස්ථිර ගොඩනැගිලි විසින් කර ඇති හානිය ඔබම ගොස් බලා ගන්න.
තට්ටු ගණනක මහා සාප්පු සංකීර්ණ තුන හතරක් මහනුවර ඉදිකොට ඒවාට පාරිභෝගික සමාජය හුරු කරවීමෙන් මහනුවර අනන්‍යතා ලක්ෂණ ආරක්ෂා කර ගත හැකිව තිබිණ. එය සාර්ථක උපක්‍රමයක් බවට ඇති හොඳම උදාහරණය කැන්ඩි සිටි සෙන්ටර්ය.එහෙත් දේශපාලකයෝද ඔවුන්ගේ වන්දි භට්ටයෝද තම හිස් මොළ ඒ සඳහා වෙහෙසවා නැත.
දැන් අප නුවර කියා යන්නේ තවත් අප්‍රසන්න කොළඹකටය.(පිටකොටුවකටය)
Subscribe to:
Post Comments (Atom)
හ්ම්ම්
ReplyDelete