Sunday 28 April 2024

අවරගිර මුදුනින්- නිශ්ශංක දිද්දෙනිය

  



අවරගිර මුදුනින්- නිශ්ශංක දිද්දෙනිය

මේ කැසට් පටය මවිසින් සිය වතාවක් පමණ අසා ඇතැයි සිතමි.  එක්දහස් නවසිය අසූ ගණන්වල පමණ නිකුත් වූ මෙම කැසට් පටයේ අඩංගු ගීත ගැන ආචාරය සුනිල් විජේසිරිවර්ධන කළ විචාරය මට තවමත් මතකය. දිගාගේ හඬේ ඇති සුගායනීය බවෙහි විශිෂ්ඨත්වය ඔහු එහි සඳහන් කර තිබුණි. වසර හතළිහක් පමණ තිස්සේ මේ ගී මා පිනවා ඇත. සුනිල් ආරියරත්න විසින් රචිත මෙහි සඳහන් 'සීත ගඟුල වී කතරට ගැලුවාය" මා බොහෝ සේ කැමති මව් ගුණ ගීතයකි. දිගාට නිසි පදමාලාවක් තෝරා ගැනීමේ සාහිත්‍ය විඥානයත්, තනුව හා සංගීතය වටහා ගැනීමේ ස්වර ඥානයත් මනාව පිහිටා ඇත. සරච්චන්ද්‍රයන් බිහිකළ දක්ෂම සිසුවා ඔහු යයි මම සිතමි. එසේ වන කළ  මේවා මෙසේ නොවී නම් තමා පුදුමය.

Tuesday 2 April 2024

ඩෙර්සු උසාලා : අග්නිදිග සියැටල්

 ''මේ භූමිය අප ඔබට විකුණන්නේ නැත්නම් ඔබගේ සුදු මිනිසුන් ඔබගේ තුවක්කු අමෝරාගෙන පැමිණ අපගේ භූමිය උදුරා ගන්නා බව අපි දනිමු. නිල් අහසත්, පොළොවේ උණුසුමත් විකිණීම හෝ මිලදී ගැනීම හෝ සඳහා වූ ඔබගේ යෝජනාව අපට නුහුරුය.''


සියැටල් එසේ පවසන විට ඩෙර්ෂු තමාට මුදල් අවශ්‍ය නැති බවත් මුදල් වලින් තමාට කළ හැකි දෙයක් නැති බවත් පවසයි.

'' සුළගේ නැවුම් බව හෝ ජලයේ කාන්තිය අපට අයිති නොවේ නම්, ඒවා මිළ කිරීමට හෝ ඒවා මිලදී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නැත."

 සියටැල් එසේ පවසද්දී ඩෙර්සු කපිතාන්ගේ නිවසට වතුර ගෙනවිත් විකුණන වතුරකාරයාට දොස් පවරන්නේ

''සොබාදහම නොමිලේ දෙන දෙය තමුසේ ඒවා විකුණන නම් නරක මිනිහෙක් " බව පවසමිනි.

සියටැල් ජනාදරයට පත්වෙන්නේ ඇමෙරිකාවේ උපන් නිසා ද? ධනවාදයට මෙන් ම එහි විරුද්ධාභාෂය ද ඇත්තේ ඇමෙරිකාවේ නිසා ද?  ඇමරිකාව ලෝකය වන විට, ඉන් බැහැර ඉතිරි භූමිතලය ලෝකයනේ බැහැර කොටසක් වන නිසා ද?

 ඩෙර්සු උසාලා, අකිරෝ කුරසෝවා විසින් එක්දහස් නවසිය  හැත්තෑ තුනේ දී අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියකි. ඩෙර්සු, සියටැල් මෙන් ජන සමූහයක හෝ ගෝත්‍රයක නායකයා නොවේ. එහෙත් සමස්ත උසුරි වනගත කඳුකරයේ ම සොබා දහම විසින් පත් කළ භාරකරුවා වැන්න. ගහකොළ සතා සීපාවා සමඟ සහයෝගයෙන් දිවිසැරිය ගෙවන්නෙකි. ඩෙර්සු පිළිපදින්නේ තමා අයත් මිනිස් සමාජයේ ආචාර ධර්ම නොව, සොබා දහම විසින් ඔහුට දැන වූ හෝ කියාදුන් ආචාර ධර්මයන් ය.

"මෙහෙ ඔබට ඉඩක් නෑ. සමහර විට අනතුරක් වෙන්නත් පුළුවනි. ඒ හින්දා ඔබ මෙතනින් යන්න."
 ව්‍යාඝ්‍රයාගෙන් ඉල්ලා සිටින විට සතා එතැනින් නික්මී වෙනතක යයි.
 ගංගාව මහ පොළොව අපිරිසිදු කරන විට තරාතිරම හා අනෙකාගේ බලය නොතකා දොස් පවරයි.

ඩෙර්සුට ව්‍යාඝ්‍රයා, මුවා, ගෝනා, වලහා හෝ කොටියා පමණක් නොව කුහුඹුවා ද මීයා ද සත්වයන් ය.  සොබාදහමෙන් පැවරුණු භාරකාරත්වයට අනුව, ඩෙර්සු ඒ සියල්ලගේ ම ආරක්ෂකයා ය. ඩෙර්සු අකුරු දන්නේ නැත. තමාගේ වයස දන්නේ නැත. ශීලාචාරයයි කියන මනුෂ්‍ය සමාජයේ කිසිවක් දන්නේ නැත. ඉර පෑයීම පදනම් කරගෙන යා යුතු ගමනේ දුර කියන්නට දන්නේ ය. කාලයාගේ ඇවෑමෙන් තමා මුහුණ දුන් හෝ දුටු දේ ඇසුරෙන් තම වයස අනුමාන කළ හැකිය. එහෙයින් ම ඔහුට ඇත්තේ තමා පදනම් කරගත් ඉලක්ක නොව, සිදුවන්නේ ඉලක්ක රහිතව සොබා දහමේ කොටසක්ව ජීවත් වීම පමණකි.

සියටැල් අධිනිශ්චය වූවාට, ඩෙර්සු හෝ අපේ තිසාහාමිලා ජාත්‍යන්තර සමාජයේ අධිනිශ්චය වන්නේ නැත. අපේ තිසාහාමි හාමි, සියටැල් ජෝර්ජ් වොෂිංන්ටන් සමග ගැටුණා සේ, බලවත් ගාමිණී දිසානායක  සමග ගැටුණේය. ඒ වනවාසී පුරවැසියාගේ හඬ යටපත් කර දැමෙන්නේ දේශපාලකයන් එවැනි අව වරප්‍රසාදිත භූමි පුත්‍රයන්ගෙන් දොස් ඇසීම ඔවුන්ගේ අනාගත දේශපාලන ක්‍රියාකාරිත්වයට අහිතකර නිසා ය. දේශපාලකයෝ සුදු ඇන්දාට අර වනවාසී තිසාහාමි ඇන්දේ අමුඩ කෙටියකි.
ඩෙර්සුත්, කපිතාන් අර්සෙනියෙව් ( Captain Arsenyev) ත් අතර  වෙනස තිසාහාමි හා ගාමිණී දිසානායකට වඩා වෙනස්ය. ඩෙර්සුට හා අර්සෙනියෙව්ට ළගන්නා සම්බන්ධයක් ඇතිකර ගැනීමේ සංහිඳියාවක් තිබුණාට අපේ ලාංකික දෙපලට එවැන්නක් නැත. 

ලෝකයේ බොහෝ රටවල සියටැල්, ඩෙර්සූ තිසාහාමි වැනි වන වාසී පුරවැසියෝ ස්වභාවධර්මයේ අණසකට අවනත ව එහි සිහි කැඳවීම් අනුව වැඩ කරමින් ජීවත්ව සිට ඇත. ඒවා ඒ භූමි තුළ විරාපදානයන් විය හැකිය. පරිසර යුක්තිකයනට පමණක් නොව, පරිසරය වනසන්නන්ට ද සිය හෘද පරීක්ෂාවකට ඔවුන් නිදර්ශනයන් වෙති. ඇමෙරිකානු හැමදේ ම මෙන් ම ඇමරිකානු භූමියේ උපන් නිසා ම සියටැල් ද ලෝ ප්‍රකට වී ඇත. එය ම කෙනෙකුට නිදහස් ධනවාදයේ යහගුණයක් ලෙස ද අවශ්‍ය නම් ගත හැකිය.

'ඩෙර්සු උසාලා' චිත්‍රපටය, 1973 අධ්‍යක්ෂණය කෙරුණු  රුසියානු -ජපන් හවුල් නිෂ්පාදනයකි. සම්භාව්‍ය සිනමා අධ්‍යක්ෂ අකිරෝ කුරසෝවාගේ අධ්‍යක්ෂණයකි. ලෝක සම්භාව්‍ය සිනමාවේ හැත්තෑව දශකයේ රිද්මය හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඔබට ඒ සඳහා මා හැකි කවුළුවක් ඩෙර්සු උසාලා චිත්‍රපටයෙන් විවර කෙරේ. එයින් විධාරණය කෙරෙන පුරුෂාර්ථ පද්ධතිය පමණක් නොව සිනමා ශෛලියේ විශේෂතා ද ඔබට එමගින් හඳුනා ගත හැකිය.

මෙම චිත්‍රපටය මා පළමුවරට නැරඹුවේ මීට වසර හතළිහකට පමණ පෙර අපේ පාසල් සමයේ ය. අපේ පාසලේ 'සිනෙරු කලා සංසදයට' 'චිත්‍රපටි සමිති සම්මේලනයෙන් ලැබුණු ආරාධනයක් අනුව අප දහ දොළොස් දෙනෙකුගේ පමණ පිරිවරක් නොදන්නා කොළඹ ගොස් පදනම් ආයතනයේ දී අපිි ඩෙර්සු උසාලා නැරඹීමු. එදා මට ඉතිරි වූයේ ඉතා ගැඹුරු දෙයක් සහිත රමණීය චිත්‍රපටයක් ගැන අදහසක් පමණි. ගෙවී ගිය හතළිස් වසර පුරා මෙම චිත්‍රපටිය දැනුම් තේරුම් ඇති වැඩිහිටි රසිකයෙකු  ලෙස නැවත නැරඹීමට මට තිබුණේ නොතිත් ආශාවකි. නොබෝදා මට නැවත එය හමු වූයේ යූ ටියුබය තුලිනි. ප්‍රතිසංස්කරණය කර ඇති නිසා දෝ චිත්‍රපටයේ රස වින්දනයට බාධාකාරී තාක්ෂණික දෝෂ එහි ඇත්තේ නැත.
''මං ඒක බලල තියනවා. මං ඒක කියවලා තියෙනවා'' ආදී වශයෙන් අප අප ම සතුටු කරගන්නෙමු. එහෙත් නරඹා තියෙන සිනමාවක, නාට්‍යයක, කියවා තිබෙන පොතක, අසා තිබෙන සංගීතයක, අපට වැටහෙන දේ, අපට දැනෙන දේ, කාලයට හා කාලයාගේ ඇවෑමෙන් අපට ලැබෙන දැනුමට හා අත්දැකීම්වලට සාපේක්ෂය.

ඩෙර්සු උසාලා චිත්‍රපටය නරඹා හමාර වූ එදා මට ගෙන ආවේ කුමක් හෝ මහා ලස්සන හා සානුකම්පිත හැඟීමකි. කියවෙන සිනමා කෘතියක් යන්නට අද ඒ චිත්‍රපටය ම වෙනත් බරසාර කියවීමකට ලක් කිරීමට මට හැකි විය. එදා මමත් අද මමත් රස වින්දනාත්මක ලෝකයට දෙදෙනෙකි.

ඩෙර්සු මහා  පෞරුෂයකි. වනගත පෙදෙසකට යළි අපි යන විටෙක ඔහු සමග වනය ගනුදෙනු කළ ආකාරය අපට සිහිපත් වනු නිසැකය.

ඩෙර්සුගේ මඟ පෙන්වීම යටතේ කපිතාන් අර්සෙනියෙව් ප්‍රමුඛ පිරිස Shlotovo වනගත ප්‍රදේශයේ භූ විෂමතා සමීක්ෂණය මැනවින් අවසන් කරති. හිම කුණාටු වලින්, ගංවතුරෙන්, වන සතුන්ගෙන්, සමීක්ෂණ කණ්ඩායමට වන හානි වළක්වා ගැනීමට ඩෙර්සු නම් අත්දැකීම් බහුල හුදකලා සියැටෙල් සමත්වේ. එමෙන්ම ඒ බර අඩි තබමින් ගමන් කරන ඩෙර්සුලාගේ ගමන, ඔහුගේ හැසිරීම, වනගත ප්‍රේමය, අපේ ම තිසාහාමි හෝ අපේ ම පැරණි ගම්වල සොබා දහම සමග සහකම්පනීය සබඳතාවක් පැවැත්වූ වැඩිහිටියන් ගැන වෙහෙසීමට අපට බලකරයි.

අපේ ම පාසල් වියට ඩෙර්සු අප කැඳවාගෙන යන්නේ ඩෙර්සු උසාලා නැරඹූ පිරිවර මතක් වීම නිසාය. ඔවුන් අද කොහේද? සමහරු මිය පරලොව ගොසිනි. සමහරු ලෙඩ රෝග වලට ගොදුරුව එක්තැන් වෙලාය. සමහරු ලෝකයේ හතර දිග් භාගයේ විසිරී ඇත. ඩෙර්සුට මෙන් අපට දැන් සිටින තැන අතහැර ආපසු නිජබිමට යා නොහැකිය. ගියහොත් වෙන්නේ ඩෙර්සුට වූ දේමය.