Wednesday 27 July 2022

දැවැන්ත පරමාදර්ශී සිහිනයක් පසුපස හඹාගිය දැවැන්ත මිනිසා: ඔහු මගේ ලෝකයේ දැවැන්ත වීරයෙක්


        මා ලද ජීවිත භාග්‍යයන් අතර ට්‍රොට්ස්කිවාදී දේශපාලනයට යම් කලකටවත් ජීවිතය මුසු කිරීමට හැකිවීම එකකි. මට දේශපාලන වක්තෘවරු මුණගැසුණේ මාක්ස්වාදයේ එකී ධාරාව තුළිනි. ඉන් එක් අයෙක් සිය පරමාදර්ශී දිවිසැරිය ඊයේ නිමකළේය. ඒ සදාදරණීය විජේ ඩයස් සහෝදරයාය. 

    ඔහුගේ රළු පරළු බව තුලින් මතුවූ පැහැබර බව මතුවූයේ සාරදර්ශී සිය සිහිනය යථාර්ථයක් කරගතහැකියයි සිතූ නිසා විය හැකිය. පියසීලි සහ විජේ ඩයස් යුවල වනාහි අනෙකුන්ගේ සිත් පහන් කරවන තරම් ආනුභාව සම්පන්න එකතුවීමකි.

     හෘද සාක්ෂිය ඒ හැටියටම ප්‍රකාශ කරමින් කෙනෙකුට පුළුල් සමාජ අවකාශයක පැවතිය නොහැකිය. එහෙත් සමාන හෘද සාක්ෂියක් ඇත්තවුන්ගේ සාමූහිකයක් තනා ගනිමින් නිරුපද්‍රිතව සිය හෘද සාක්ෂිය අවදි කළ හැකිය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (දැන් සමාජවාදී සමානතා පක්ෂය ) එවැන්නකි. බුදුන්ගේ සංඝ සමාජය ද එවැන්නකි.

      විජේ ඩයස් මා අවසන් වරට දුටු ආශ්වාදනීය ම මාක්ස්වාදී කතිකයාය. සිය දැනුම සම්භාරයට යට නොවුණු සිය කටවහර (උදා: කම්මුතුයි වැනි) සිය කතිකත්වය වඩාත් ආකර්ශණීය කළේය. මා දන්නා තරමින් ට්‍රොට්ස්කිවාදය හා ස්ටැලින්වාදය අතර වෙනස තේරුම් යන ආකාරයට කියා දුන් බලගතුම කතිකයා ඔහුය.

      අපේ යොවුන් විය හා තරුණ විය අර්ථ පූර්ණ කළ දැවැන්තයින් අතර විජේ ඩයස් ඉදිරියෙන් ම සිටී. ඔහු සිය ව්‍යාපාරය වෙනුවෙන් සිතාගන්නට බැරි තරම් ජීවිත පරිත්‍යාගයන් කළේය. දරුවන්ට අප කියා දිය යුත්තේ මෙවැනි මිනිසුන්ගේ පරිත්‍යාගයන්ගෙන් පිරුණු  ජීවිත ගැනයි.


ප්‍රිය සහෝදරය ඔබට සුබගමන්!

 

1 comment:

  1. විජේ සහෝදරය, කිර්ති සහෝදරයාගෙන් පසු ට්‍රොස්කි වාදී දේශපාලනය තුල මාදුටු දැවැන්තම යුගපුරුෂයා ඔබය.මගේ සැම චිත්‍ර ප්‍රදර්ශනයක්ම නැරඹීමට පැමිණි ඔබ තුල තිබු කලාත්මක දැක්ම ඔබගේ දේශපාලන දක්ම මෙන්ම අති විශිෂ්ට ය.
    1970වසරේ දිනක කොම්පන්ච ව්විදියේ දීත් ඉන්පසු ගාල්ලේ නගරශා ලාවේදීත් කල ඔබගේ චතුර වාග්ප්‍රහාර මට අදමෙන් මතකය.
    ඔබගේ පව්ලේ සැමටත් ඔබගේ අනෙකුත් සමීපතමයන් වෙතත් මාගේ හර්දයන්ගම සංවේගය පලකරසිටිමි.

    ReplyDelete