පුඤ්චි බණ්ඩාර සන්නස්ගල විසින් සංග්‍රහ කරන ලද 'සිංහල සාහිත්‍යවංශය' කෘතිය මේ කොරෝනා සමයේ ගෙවන ගුහාගත ජීවිතයේ දෛනික කියවීම් අතර එකකි. බොහෝ පොත් කියවා හමාර කිරීමේ පිපාසයෙන් පෙළුනු යෞවන සමයේ මේ සාර ග්‍රන්ථය කියවා ඇතත් එහි මහිමාව ඒ හැටියෙන් අවබෝධ කරගැනීමට ඒ කියවීම ප්‍රමාණවත් නොවීය. මේ පොත කියවන අතර අප අතරින් වියෝවූ ධර්මසේන පතිරාජයන් පැරණි කලාවන් ගැන ලියූ සටහනක් මගේ මතකයට ආවේය.
' කාර්ය සාධන කලාවන් වැඩවසම් යුගය හා බැඳී පැවති අන්දම මිනිස් වෙසින් අපට පෙන්වන ප්‍රබලතම ප්‍රකාශනයක් වූයේ නිත්තවෙල ගුණයා, සුරඹා, හීන්බබා ධර්මසිරි ඇතුළු පාරම්පරික නැට්ටුවන්ය. ඔවුන්ගේ රංගන තමන් ජීවත්වූ යුගයේ අන්තර්ගතයෙන් වියෝ කරනු ලැබුවද අපේම පාරම්පරික කලා තාක්ෂණයේ සූක්ෂමතාව,සංවේදිතාව සැබෑ උරුමයන් ලෙසින් අප වෙත ප්‍රදානය කරන රූපනයන්ය."
-මනෝ රංග තීර්තකයා 185 පිට
සංස්කරණය - බණ්ඩාර ඇහැලියගොඩ
පතිරාජයන් පැරණි නර්තන කලාවන් ගැන කරන තක්සේරුව හා පැරණි සාහිත්‍යයට හා චිත්‍ර ශිල්පයට ද අදාළය. දේශපාලකයන්ගේ හා භික්ෂූන්ගේ කලාත්මක නොවන කාර්යයන් සඳහා පාරම්පරික නර්තනය තවමත් පාවිච්චි වෙතත් ඒ විෂය තුළ එහි වර්ධනයක් වී නැති අතරම එකී කලාකරුවා කුල හා වෙනත් ආකාරවලින් අවමානයට ලක්කර ඇත.
සම්භාව්‍ය පැරණි සාහිත්‍යයට ලැබී ඇත්තේ ඊටත් වඩා ශෝචනීය ඉරණමකි. එකී සාහිත්‍ය ධාරාව රස විඳීමට රසිකයා නූතන සාහිත්‍ය රසවිඳින රසිකයාට වඩා එකී විෂය කෙරේ ඇල්මක්ද යම් පුහුණුවක්ද තිබිය යුතුය. එහෙත් මේ විප්‍රකාරී සමාජය තුළ එවැන්නෙක් බිහිවෙන්නේ නැත. පැරණි සාහිත්‍යයට නර්තනයට මෙන් උපයෝගී වටිනාකමක්ද ඒ හැටියට නැත.
'සිංහල සාහිත්‍යවංශය' අනුරාධපුරපුර යුගයේ සිට කොළඹ යුගය තෙක් සාහිත්‍ය කෘති පිළිබඳ වංශාවලියකි. මෙහි කතුවරයා මේ ශතවර්ශාධිකකාලයක් තිස්සේ ලියවුණු කෘති සියල්ල මැනවින් පරිශීලනය කර ඇතුවා පමණක් නොව එකිනෙක සංසංදනාත්මකව විමසීමට තරම් සමත්වී ඇත.
මේ කෘතිය මුද්‍රණය සඳහා දේශපාලකයන් පිටුපස යන්නට වූ කතාන්තරය සැකෙවින් මේ කෘතියෙහි කතෘ සටහනෙහි බහා ඇත.
මේ මහා ග්‍රන්ථය අපගේ සාහිත්‍ය උරුමය වෙත හෙලන ආලෝක ධාරාව සුළුපටු නොවේ. එහෙත් අපගේ පෞරාණික මහා සාහිත්‍ය උරුමය දැක බලාගැනීමට සමත් සමාජයක් හා රාජ්‍ය තන්ත්‍රයක් නැතිවීම කණගාටුදායකය.
අධ්‍යාපන විෂය මාලාවෙන් සාහිත්‍ය විෂය ධාරාව ඉවත්කිරීම මේ අතීත කලාකෘති සමාජයට අහිමිකිරීමේ එක් ආරම්භයකි. වර්තමානයේ සෑම මසකම එක් සිකුරාදාවක් ජනාධිපතිතුමා විසින් භික්ෂූන් වහන්සේලාට වෙන්කර දී ඇත්තේ රටේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේලාගේ උපදෙස් ගැනීමට විය යුතුය. එහෙත් උන්වහන්සේලා භාෂාව හා සාහිත්‍ය කලාවන්ගේ පිරිහීම ගැනවත් ඒවා නගා සිටුවීම ගැනවත් ජනාධිපතිතුමාට උපදෙස් නොදෙන බව නම් සහතිකය.
'සිංහල සාහිත්‍යවංශය' වනාහි ගෙවී ගිය සියවසේ බිහිවූ විශිෂ්ටතම සාහිත්‍ය වංශාවලිය බව මගේ හැඟීමයි.පැරණි සිංහල සාහිත්‍ය කෘති කිසිවක් නොකියවන්නෙක් වුවත් අතීත සිංහල සාහිත්‍යයේ රුව ගුණ මෙසේ යයි හඳුනා ගැනීමට මේ කෘතිය ප්‍රමාණවත්ය.
බටහිර සමාජය පොදුවේ බටහිරට අදාළ අතීත සාහිත්‍ය කෘති විවිධ ස්වරූපයන්ගෙන් වර්තමානය වෙත ගෙනවිත් පවත්නා සජීවී කලා ව්‍යාපාරයේ වැදගත් ස්ථානයක පිහිටුවා ඒවා යාවත්කාලීන කර ඇත. ඒවා පොදු ලෝක උරුමයේ කොටස් බවට පත්කිරීමට කටයුතු කර ඇත. ලෝක ජනතාවම බටහිර සාහිත්‍යයේ සාර්ථක කොටස්කරුවන් වී ඇත්තේ එහෙයිනි.
එහෙත් අප නම් දැනුවත්වම අපේ පැරණි සාහිත්‍ය උරුමය අපගේ මතක ලෝකයෙන් පවා බැහැර කරමින් සිටී.
-චන්ද්‍රරත්න බණ්ඩාර
No comments:
Post a Comment