The Raspberry Moon
රාස්ප්බෙරි සඳත්* දැන් බොහෝ වියපත්ය.
නමුදු, සුපුරුදු ජවයෙන් මුදාලයි තවමත් සඳ රැස් දහරා
ඉදී බෙරි වුණු බෙරි ඵල ගිලිහී වැටෙයි
නටුවට නැති හෙයින්
ඒවා දරාගන්නට සවියක්.
බෙරි පඳුරු යාය මැද
වියපත් මහල්ලෙක් සිය කූඩය පුරවයි
ඔහුගේ නිරුවත් පිට මතට
පතිතවේ ගන හිරු රැස්
මහලු දෙනෙතින් ගලා යයි කඳුළු රැල්ලක්.
මහලු සිත පාව යයි දුරාතීතයට
තරුණ මදයෙන් ඔද්දල්ව
ආත්මාර්තයෙන් ඔද වැඩුණු යුගයට
මංමුලාවෙයි ඔහු
මග නොදැන, පටලැවිලි සහගත ඒ යුගයේ
පෘථිවි දෙව් මවට
බැතියෙන් පුදා දුම්කොල*
නැවතත් බිම හොත් පළතුරෙන්
පැස පුරවන්නට වෙහෙසෙයි හෙතෙම.
රාස්ප්බෙරි සඳත් බොහෝ වියපත්ය
නමුදු, සුපුරුදු ජවයෙන් මුදාලයි සිය සඳ රැස් දහරා
Albert Dumont :ඇල්බට් ඩුමොන්ට්, කවියෙක්, කතන්දරකාරයෙක්, කථිකයෙක් සහ ඇල්ගොන්කින් ජනවර්ගයට අයත් සාම්ප්‍රදායික ආධ්‍යාත්මික ගුරුවරයෙකි. ඔහු සාම්ප්‍රදායික ඇල්ගොන්කින් ප්‍රදේශයේ උපත ලැබීය.
*රාස්ප්බෙරි සඳ යනුවෙන් උතුරු ඇමරිකානු ආදිවාසීන් විසින් හඳුන්වන්නේ ජූලි මස පායන පාණ්ඩු පැහැති චන්ද්‍රයාටය. Ojibwa නම් ආදිවාසී භාෂාවෙන් 'Miskomini Giizis' ලෙස හැඳින්වේ. රාස්ප්බෙරි පළතුර හොඳින් ඉදී ඵලබරවන ගිම්හානයේ මැද භාගයද මෙමගින් සනිටුහන් වේ. ආධ්‍යාත්මික දෘෂ්ටි කෝනයකින් බලන කල මෘදු බව, කරුණාව, චිත්තවේගීය සුවය, අරබයා වන ඔවුන්ගේ සංස්කෘතික ඉගැන්වීම් මෙම කාලය හා බැඳී පවතී.
*බොහෝ උතුරු ඇමරිකානු ආදිවාසී සංස්කෘතීන්හි දුම්කොළ යනු පූජනීය ඖෂධ හතරෙන් එකකි. (ඖෂධ හතර;දුම්කොල, මින්චි, දේවදාර හා ස්වීට්ග්රාස් ( Sweetgrass යනු දිගු, සිනිඳු පත්‍ර සහිත සුවඳවත් තෘණ වර්ගයකි.එමගින් සාමය, සුවය, පවිත්‍රකරණය සහ ජීවිතයේ අන්තර් සම්බන්ධිතභාවය නියෝජනය කෙරේ.) පොළොව මත දුම්කොළ තැබීම යනු ගෞරවය,කෘතඥතාව,සහ ප්‍රති උපකාර දැක්වීමකි.
See less
Shared post

No comments:
Post a Comment