Tuesday 31 October 2023

OMG නැරඹුවෙමි.


''


අධ්‍යාපන විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුළු කරනවාට එරෙහිවූවන් පුටුවකට ගැට ගසා හෝ මෙම චිත්‍රපටය පෙන්විය යුතුයයි '' යන හැඳින්වීම සහිත ෆේස් බුක් සටහනක් දුටිමි. සැබවින්ම එසේ කළ හැකි නම් මැනවි යයි මගේ ශත දෙකද ඒ රුවන් වැකිය ලියූ මිතුරාගේ කැටයට දමමි. දිනකට දහහත් දෙනෙක් අපචාරයට ලක්වන සමාජයක තවදුරටත් ලිංගිකත්වය දේව රහසක්ව තබා ගන්නේ නම් අපේ සමාජයට පැපිලියානේ දෙවියන්ගේ පිහිටය.

ආගමම අපචාරයේ යොදවන සඟුන් නිරුපද්‍රිත සමාජයක විය නොහැක්කේ මොනවාද? 

 හැඟීම්බර ආගමික භක්තියක් සහිත ඉන්දියානු සමාජයේ මෙවැනි චිත්‍රපටයක් තැනීමම හා එය ජනප්‍රිය වීමම එක අතකට 

පුදුමයකි. දෙවියන් බැතිමතුන් අනුමත නොකරන ආකාරයට කලාකෘතියකට වස්තු විෂය වීමම සිනමාහල් පුලුස්සා දමන තරම් බිහිසුණු අතීතයක් හිමි රටක OMG නිපදවීමම ඉන්දියාව ගොස් ඇති දුර කියාපාන්නකි. ඉන්දියානු ගගනගාමියෙකු සඳ තරණය කරන වටපිටාවක ඉන්දියානු සිනමාව මෙතරම් දුරක් පැමිණීම සමගාමීව සිදුවන්නකි. 

ලිංගිකත්වය තවදුරටත් රහසක් වේ නම් ඒ රහස් කාමරය තුල බාල පරපුරද අපචාරයට ලක්විය හැකිය. මේ පණිවිඩය ඇතුලු ලිංගික අධ්‍යාපනය කුඩා දරුවාගේ සිට ගණිකාව දක්වා වන හිංසනයන් මෙහිදී සාකච්ඡා කෙරේ. එහිදී ශිව දෙවියන්ම  ප්‍රධාන චරිතයක් බවට පත්කරමින් මෙම සද් පණිවිඩය සමාජයට ගෙන යාමට චිත්‍රපටයේ නිර්මාතෘවරු සමත් වෙති. ශිව දෙවියන්ගේ චරිතය නිරෑපණය කරන අකේෂ් කුමාර් හා පීඩාවට පත් දරුවාගේ පියා ලෙස (කන්ති) පංකජ් ත්‍රිපති කරන රංගනය අපූරුය. දැවැන්ත මූලධනයක් (ඉන්දියානු රුපියල් මිලියන 500ක්) යොදා ගනිමින් මෙවැනි අභියෝගාත්මක හා ප්‍රගතිශීලිී චිත්‍රපටයක් බිහිකිරීමම ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය ගුණාත්මකව කෙතරම් වැඩී ඇත්දැයි යන්නද අපට පසක් කරවයි.

අම්පිටියේ සුමන නම් භික්ෂුවක් දෙමළුන් කෑලි කපන බවට වහසි බස් දොඩමින් නිරුපද්‍රිතව සිටින, සිදුහත් උපත පිළිබඳව යථාර්තයට පටහැනි දේ හාස්‍යමය ලෙස පෙන්වාදෙන නිවේදිකාව හිරේ විලංගුවේ වට්ටන, අර්ධ නැමති කෙටිකතාවක් ලියූ ශක්තික සත්කුමාර අවුරුද්දකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ තබන අප වැනි සමාජයක සිට OMG නරඹනවා යන්නම වෙනම දෙයකි. 

මෙම අගනා චිත්‍රපටය තැනූ අමිත් රායිට ස්තුති වේවා.

(OMG නෙට්ෆ්ලික්ස්හි ඇත.)