Wednesday 19 April 2023

නිර් භීත වැඩක්....එක අතකට අහිංසක හා අවංක වෑයමක්.


තමාම ප්රබන්ධ විෂය බවට පත්කරගනිමින් ලියා ඇති විෂ්ණු වාසුගේ රස්තියාදු මතක සංචිතය 'සිම්පල් සයිමන්' නම් වේ. තමාගේම ජීවිත සත්යය ප්රබන්ධයකට ආසන්න තරම් ඇතැම් විට ඊටත් වඩා රමණීය වියමනකි එදිරිවීර සරච්චන්ද්රයන්ගේ 'පිං ඇති වරමක් දෙන්නේ' ස්ව චරිතාපදාන කෘතිය. තමාම තමාගෙන් බැහැරට ගෙන ගෙවී ගිය ජීවිතයේ හොඳ නරක විමසීමට සැලකිය යුතු ආත්ම ශක්තියක් මෙන්ම නිර් භීත බවක් කතෘකයාට තිබිය යුතුය. කමලා දාස් සිය ස්ව චරිතාපදානයේ සිය සැමියාට අමතරව පෙම් කළ අන් පිරිමි ගැන ලියා ඇත. ඒ නිසා කොංග්රස් පක්ෂයේ ප්රබල දේශපාලනඥයෙකු වූ සිය පුතණුවන්ට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවූ බව කියනු ලැබේ. එහෙත් ඇය ඒ හේතුවෙන් තමා ලියූ දේවල් ඉවත් කර ගත්තේවත් පාඨකයින්ගෙන් සමාව ඉල්ලා සිටියේවත් නැත. පසු කාලයක ඇය ස්වකීය හින්දු ආගම වෙනුවට සුෆී දහම වැළඳ ගත් අතර ඊටත් ටික කලකට පසු එයද අත්හැර දැමුවාය.
සරච්චන්ද්රයන් හා කමලා දාස් සිහිපත් වුණේ සිම්පල් සයිමන් ලියන විෂ්ණුගේ නිර්භීත බවට තව උදාහරණ ඇවැසි වූ නිසාය. අප (කපිල , චූලා, විෂ්ණු හා මම) 1981-1983 පමණ කාලයේ සාමුහිකව නිර්මාණ ජීවිතයකට ආරම්භක පියවරයන් තබන සමයේමත් ඔහුගේ අභිලාෂයන් ටිකක් අමුතු ඒවා විය. ඒ අමුතු මිනිහා ඇල්බෙයා කැමූගේ අමුතු මිනිහා මෙන් පිටස්තරයෙකු නොවී සාමාන්ය මිනිසෙකු සැරි නොසරින තරම් කලාපවල සැරි සරමින් අපූර්ව අත්දැකීම් හරි හම්බ කරගත් බව අපි දැන සිටියෙමු. එහෙත් ඒවායේ ප්රමාණය හා ආකාරය දැනගන්නේ සිම්පල් සයිමන් කෘතිය මගිනි. බොහිමියානු ජීවිතයක් ගතකරන්නට අපටත් ඇත්නම් යන්න අප වැනි බොහෝ දෙනෙකුට මතුවෙන සිතුවිල්ලකි. එහෙත් සම්ප්රදායික ජීවිතයක් ගතකරමින් දෙවන ජීවිතයක් ලෙස බොහීමියානු ජීවිතයක් ගතකළ නොහැකිය. ඒ තෝරා ගැනීම අරබයා අපට වන්දි ගෙවන්නට සිදුවන්නේ අපගේ සම්ප්රදායික ජීවිතයෙනි.
විෂ්ණු එ් වන්දිය ගෙවූ කෙනෙකි. සම්ප්රදායට යට නොවී සිය ආත්මය ඉල්ලා සිටින දිවිපෙවත තෝරාගත් ඔහු එහි ජයකෙහෙළි නැංවූ අයුරු හා ඉන් විඳි අතීත සුවය හා වර්තමාන සුවය අපට මෙම කෘතිය මගින් විස්තර කරයි.
කිසිදු භාෂා නියරක නොපිහිටා හැඟීම්වල ඇණවුම අනුව සකස් වූ භාෂාවක් ඔහු නිෂ්පාදනය කරගෙන ඇත. එය ඉතා මනරම්ය. මෙම කෘතියේ බරට එම රමණීය භාෂා විලාසය එකතුකර ඇති ප්රමාණය සුළුපටු නොවේ.විෂ්ණු මෙම කෘතියෙන් උත්තර භාරතීය සංගීතය 'සියල්ලම' යයි සිතන සමාජයකට කර්ණාටක සංගීතයේ රුව ගුණ පෙන්වා ඒ කලා නිධානයේ වපසරිය හා ගැඹුර පෙන්වා දෙයි. එය අපටත් සහභාගි විය හැකි සහානුභූති අත්දැකීමක් බවට පත්කරන්නේ සිය මනරම් භාෂාව ඇසුරින් ගොඩනගන විස්තර රටාව මගිනි.
මිනිසුන්ගේ ලෙන්ගතුකම්වල දිශානතීන් විවිධාකාරය. ඒ විවිධාකාරය පිළිගැනීම දියුණුවේ පමණක් නොව ශිෂ්ටත්වයේ අංගයකි. ඒ ලෙන්ගතුකම් ඔහු නඩත්තු කරන ජීවිතයේ ආත්මය වන්නාසේම අරුතද එයම වන්නේය. ඒ බව තමාම උදාහරණකොට විෂ්ණු සමාජයට පෙන්වයි.

අපිද සාපේක්ෂ වශයෙන් අභිලාෂ ඔස්සේ ජීවිතයේ දුර ගමන් ගිය උදවිය වෙමු. එහෙත් ඒ සැතපුම් ගනනිණි. එහෙත් විෂ්ණු සිය අභිලාෂ ඔස්සේ ගිය දුර මැනිය හැක්කේ යොදුන් ගණනිනි. එවැනි දුරක් යා හැක්කේ බොහිමියානුවෙකුටම පමණකි. 

Monday 17 April 2023

නිමේෂයක්...එහෙත් එයද දිගුය.



සිත් ගගන දෙදරවන

අකල් සමයක පුපුරා ගිය

හෙණ හඬකි

ඝන අඳුරු අහස්කුස

හතර අත එළිය රේඛා මවාලූ.


ගිලී ඇති අඳුරේ තරම

පසක්කළ විදුලි රේඛාවකි.


හෝංපොලක් සදිසි

ගැඹුරු නිහඬබව

පසක් කරවන

ඇතිව නැතිව ගිය 

හෙණ හඬකි.

 

Saturday 1 April 2023

කලං- කලංසූරිය -අමරසිරි කලංසූරිය


 රූපවාහිනියවත් අන්තර්ජාලයවත් නොතිබුනු සමයක අපේ ගැටවර විය ගෙවී ගියේය. එකල සිනමා නළුවා හා නිළිය යනු අධිනිශ්චය වූ චරිතයන්ය. කඩවසම් බව හා රූමත් බව පිළිබඳ යෙදුම් හා උදාහරණ සැකසී තිබුණේ ඔවුන් වටාය. අපේ කාලයේ විජය හා ගාමිණීත් මාලනී ෆොන්සේකාත් එවැනි වරලත් චරිතයෝය. අපේ යුගයට පෙර ආනන්ද ජයරත්න සන්ධ්‍යාකුමාරි වැන්නෝ ඒ වරලත් තත්වයන් හිමිකරගෙන සිටින්නට ඇතැයි සිතමි. එහෙත් ඒ කිසිවකු අපේ මට්ටමට කපා මසා ගන්නට බැරි දැවැන්තයෝ වූහ. ඒ නිසාම අපට සිදුවූයේම කිසියම් වීරාභිවාදනයකින් යුතුව අත්පුඩිතලමින් ඔවුන්ගේ රඟපෑම් දෙස බලාසිටින්නටය. මාලනී අයිති ගාමිනීට හෝ විජයට මිස අපට නොවේ යයි අපි දැන සිටියෙමු. ඒ ඔවුන් තරම් අප කඩවසම් නොවූ හා ආදරවන්තයන් නොවූ නිසාය. එහෙයින්ම ඔවුන් වීරයන් මිස අපේ අය නොවූහ. විජය දේශපාලනයට පැමිණි පසුව වුවද ඔහු වීරයෙකු මිස 'මම' හෝ 'අප' වැන්නෙක් වී යැයි නොසිතමි.

මට නම් සිනමාවේදී පළමුවරට 'මම' හෝ 'අප' වැන්නෙක් දකින්නේ අමරසිරි කලංසූරියගෙනි. ඔහු බොහෝ සංඛ්‍යාවක් චිත්‍රපටවල රඟපෑවේ නැති නමුත් ඒ රංගනයන් සියල්ලම තුල ඒ ජීවී මිනිසා සිටියේය. දක්ෂ සැට්ටරෙකු සේ ධර්මසේන පතිරාජයන් කලංසූරියව ඔහුගේ ජීවාත්මය මතුකොට සිනමාවට ගෙනාවේය. කලංසූරියට ආසන්න විය හැකි කීපදෙනෙකු සිංහල සිනමාවට ආවත් ඒ කිසිවෙකුට ඔහුට සමවන්නට බැරිවිය. ඔහු මහපොලොව සමග ගැටෙන ලාංකික තරුණයාගේ සමීපතම ප්‍රතිරූපය විය.

 

ඒ  කලං ගැන මගේ සාමාන්‍ය කියවීමයි.


ඔහු අපගේ පෞද්ගලික ජීවිතවලට කෙසේ බලපෑවේද?


ඔහු අපේ පාසලේ හැට ගණන්වල ඉගෙනගත් ශිෂ්‍යයෙකි. සැලකිය යුතු ඉතිහාසයක් තිබීම, උසස් තනතුරු ලාභීන් ඒ පාසලින් බිහිවීම ආදි අනෙක් පාසල්වලටත් පොදු කාරණා මට නම් අපේ පාසල සම්බන්ධව එතරම් හැඟීමක් දනවන කාරණා නොවේ. එහෙත් අපේ ජීවිත ආර සකස් කර ගැනීමට ඒ පාසලින් වූ මෙහෙය කවරේද යන කාරණය එම පාසල කෙරේ මගේ කෘතගුණය වඩවයි. විද්‍යා සිසුන් වූ අපට කලාවේ ආනුභාවය කියාදුන් දෑවැන්තයින් රැසකගේ බලපෑම අපේ පාසලින් අපට ලැබුණේය.  විද්‍යාවෙන් අසාර්ථක වීමටත් කලාවේ නිම්වළල්ලට ඇතුලු වීමටත් ඒ ආනුභාවය බලපෑවේය. විද්‍යාඥයන් නොවී කලාකරුවන් වීම ජීවිතයේ අවසන් ඉනිම්වල සෙල්ලම් කරමින් සිටින අපට (උදා; මම ,පුෂ්පා, චතුර ආදීන්)  ඒ හැටි අවාසියකුත් වී නැති බව අපසු හැරී බලන විට පෙනේ. 

 

ඒ ආනුභාව සම්පන්න දැවැන්තයන් අතර කෙනෙකි අමරසිරි කලංසූරිය. ඒ දැවැන්තයින්ගේ ප්‍රමුඛයා ධර්මසේන පතිරාජයන්ය. වසර හතලිහක් ඉක්මවීත් ධර්මරාජ මතකමාත්‍ර ඉතිහාසයේ රැවිදෙන 'සිනෙරු කලා සංසදය' බිහිවන්නේ මේ දැවැන්තයින් අපවෙත හෙලනු ලැබූ ආනුභාවයේ ප්‍රභාවෙනි. (කැරළිකරුවන්ගේ ඉතිහාසය නිල ඉතිහාස පොතේ ලියවෙන්නේ නැත.) ඝන ගෝත්‍ර සමාජයේ මියගිය මතක සාංකාව ඔස්සේ බුදුන් වහන්සේ සංඝ සමාජය තැනූ බව සුචරිත ගම්ලතුන් පවසයි. ඒ ආකාරයටම  වසර පහලොවකට පසුව සිනෙරුවේ මතක ඔස්සේ 'ධර්මරාජ කලා සංසදය" උපදියි. එදා සිනෙරුවේ බාහිර අනුශාසකයින් වූයේ  පතිරාජ , කලංසූරිය හා දයා තෙන්නකෝන්ය. ඊට වසර පහළොවකට පසුව ධර්මරාජ කලා සංසදය පැවැත්වූ 'කලා උළෙලේ" දී ධර්මරාජ ප්‍රසාද ප්‍රණාමයෙන් ඔවුන් පුද ලැබීය.


දෙවෙනි අරක්කු උගුර බිව්වේ කලංසූරියගෙනි.


මගේත් ධමිමික මාභරනගේත් සංස්කාරකත්වයෙන් හා පුෂ්පානන්ද ඒකනායක වැනි හිතවතුන්ගේ ශ්‍රම දායකත්වයෙනුත් '  වින්දන' සඟරාව සැකසුවෙමි. මුදල් හිඟපාඩුවී සිටි විටෙක ඒ සඳහා කිසිදාක නොපියවූ ණය දුන්නේ කලංගේ මයිඉන් සාප්පුවේ ලාච්චුවෙනි. එක් දිනක් මමත් ධම්මිකත්  තවත් ණයක් ඉල්ලන්නට කලංගේ කිංස්වුඩ් විද්‍යාලය ඉදිරිපිට නිවසට ගියේ රාත්‍රියකය. ඔහුගේ නිවසට ගොඩවන විට කැපී පෙනෙන තැනක හමුදා බූට් සපත්තුවක් එල්ලා තිබේ. ඒ ඇයි දැයි ඇසූ විට කලං පැවසුවේ තමන්ගේ සොල්දාදු ජීවිතය මතක්වන්නට එය එසේ එල්ලා තැබූ බවයි. එදා අපට රුපියල් පනහක ( වසර 1979 හෝ  1980) චෙක් එකක් ලැබුණි. අපට අවශ්‍ය වූයේත් එවැනි මුදලකි. චෙක් එකත් ලැබී රෑ බෝ වීත් තවත් අප තාවර වනු දැක 'උඹලට බොන්න ඕනැද? ඒකනේ ඔය තව ඉන්නෙ' කියා ගෙතුලට   ගොස් මි.ග්‍රෑම් 50 ක පමණ ප්‍රමාණයක් අරක්කු වීදුරු දෙකකට අයිස් හා සෝඩාද දමා අපට ගෙනවිත් දුන්නේය. එදා ඔහුගේ හමුදා ජීවිතය ගැන තව විස්තර පැවසුවා මට මතකය. ඒ ජීවිතයේ දෙවනවර බිව් අරක්කු උගුරයි.

එකල කවර තරමේ ජනප්‍රිය පුද්ගලයෙකු වී සිටියත් පාසල සංවිධානය කළ Cross country දිවීමට ක්‍රීඩකයෙකු ලෙස ඔහු සහභාගි විය. මහා ක්‍රිකට් තරඟයේ උද්යෝගිමත් නරඹන්නෙකු විය.

කලං නම් ඒ බලපෑම් සහගත තරුණයා අසූ වයස් පිරීත් තරුණයෙකු ලෙසම අප හැර ගොසිනි.

අපේ ජීවිතවලට වර්ණයක් එකතු කළ ඔබට සුබ ගමන්!