Sunday 13 December 2020

මුලු හදින් මම ඇයට පෙම් කොට

https://www.youtube.com/watch?v=oAsjq7LhRho&fbclid=IwAR2dSuNgy5VW3YnxV8uiJU-jGkEQzYw7Gm0Ap_LnTRVHaift9loyZGNHqwU 


https://www.youtube.com/watch?v=FZPohAuNBC8

මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙම් -නාරද දිසාසේකරයන් ගායනා කරන මෙම ගීතය මුල්වරට ප්‍රකාශයට පත් වූයේ එක්දහස් නවසිය පනස් ගණන් මැද භාගයේදී යැයි සඳහන්වේ. ළමා වියේ සිට මේ දක්වා  මෙම ගීතය අපගේ ජීවිතය පුරාවටම නොනස්නා රසාස්වාදයක් ලබාදුන් නිර්මාණයකි. මේ ගීතය වරක් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පැවති ප්‍රසංගයකදී පෙු්ක්ෂක ඉල්ලීම මත දහදොලොස් වතාවත් ගායනා කරන්නට සිදුවූ පුවතක් මා අසා ඇත. ආදර විරහයකින් තැවෙන එක් පුද්ගලයෙකු මේ ගීතය ප්‍රචාරය වූ ගුවන් විදුලි යන්ත්‍රය පොරවකින් ගසා දෙකට පැලූ බවක් අසා ඇත්තෙමි. එදා මෙදා තුර  අංගොඩ මානසික රෝහලේ මානසික රෝගීන් වැඩියෙන්ම මිමිනූ ගීතය මෙය බවද කියවේ. 


මෙම ගීතයේ පදවැල දෙස බලන්න.


මුළු හදින් මම ඇයට පෙම් කොට

අනාගත පෙම් සිහින මැව්වෙමි

මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට

අයිති වුණු හැටි බලා දුක් වෙමි .



නිසංසල තැනකට වෙලා

හඩන මගෙ ඇස් දෙක දෙස බලා

කියන්නකෝ දෙවියනේ මේ දුක්

කොහොම ඉන්නද ඉවසලා

කොහොම ඉන්නද ඉවසලා


මගේ අත ගෙන කනට ළං වී

අනේ සුදු මම ආදරේ යැයි

කියන්නට සිතුනේ ඇයිද සුදු

නොසිතුවෙද මට දුක් ලැබේයැයි

නොසිතුවෙද මට දුක් ලැබේයැයි



නිදැල්ලේ තුරුලට වෙලා

රහස් එක එක කොඳුරලා

සිනාසුණු හැටි මතක් වෙනකොට

කොහොම ඉන්නද ඉවසලා

කොහොම ඉන්නද ඉවසලා


එදා රෑ ගං ඉවුර අසබඩ

සුපුන් සඳ පායන වෙලාවක

කතා කී හැටි මතක් වෙනකොට

දුක දැනෙයි පවතින අපායක


මෙහෙම ලෝකෙක ඉපදිලා

සිතෙහි අදහස් සුන් වෙලා

මා උපන්නේ දුක් විදින්නද

දුක් කඳුළු මැද තනිවෙලා

දුක් කඳුළු මැද තනිවෙලා


මුළු හදින් මම ඇයට පෙම් කොට


නාරද දිසාසේකර යම් හෙයකින් මෙම පදවැල ගීතයක්ව නොගයා ලියවිල්ලක් ලෙස ඔබ අතට පත් වී නම් ඔබට  ප්‍රේම විරහයෙන් ආතුරවූ පෙම්වතෙකුගේ සැබෑ ලසොව දැනවෙන ප්‍රකාශනයක් විනා ගී පදමාලාවක් යැයි සමහර විට ඔබට නොසිතෙනු ඇත. එහෙත් මෙම පදමාලාව ගීතයක්ව අකාලික රස මවන සොඳුරු මානව හදවත් තුල ලැගුම්ගත් ගීතයක් වූයේ කෙසේද? එය එසේ වූයේ දිසාසේකරයන් සතු මුකේෂ්ගේ හඬට සමීප ශෝකි ගායනාව හා කුලරත්න තෙන්නකෝන් ගේ ගායනාවට අනුප්‍රාණය සැපයූ සංගීත රචනාවද? ලාංකීය සමාජයේ ප්‍රේමනීය අත්දැකීම් ඇත්තන් සසල කළ මේ ගීතය අවර ගනයේ ගීතයක් යයි එදා මෙදා තුර කිසිවෙකු කියන්නේ නැත.

මෙහි පද ලෙස ඇත්තේ ආලවට්ටන් නැති සැබෑ සෘජු ප්‍රකාශනයකි. එහෙත් මෙය අපූර්ව ගීතයක් වූයේ කෙසේද? කිසිදු තර්කයකින් ඒ එසේ වන්නේ කෙසේද කියා පහදා දීමට මට නොහැකි වුවත් මගේ වඩාත්ම ප්‍රිය වූ ගීත 10 අතර   මෙම ගීතය පවතී. 

අැතැම් විට බොහෝ දෙනාට ජීවිතයේ සැබෑ අත්දැකීම් සමග මේ තරම් සමපාත වී එම හැඟීමම යළි තමා වෙත සම්ප්‍රේෂණය කරන ගිීත ඇත්නම් ඒ අතළොස්සකැයි සිතමි. ඇතැම් විට මේ ගී නිර්මාණය මේ තරම් හෘදයංගම වන්නේ මෙම ගීතයේ නිර්මාතෘවරුන්ටත් මේ අත්දැකීමම තිබුණු නිසා විය හැකිය. එය අසා දැන ගන්නට ගීතයේ පද රචකයා වු එඩ්මන් ජයසූරියවත් ගායක නාරද දිසාසේකරයන්වත් සංගීත රචක කුලරත්න තෙන්නකෝන්වත් අද අප අතර නැත.


'මුලු හදින් මම ඇයට පෙම් කොට' තරම්ම නැතත් මේ කාංසාවම අත්දුටු ගීතයක් මේ නොබෝදා මම අැසීමි.  එහි පද රචිකාව ආචාර්ය සුනන්දා ප්‍රේමසිරිය. සංගීතය අනුරාධ අබේසිංහ ගෙනි. ගායනය හසිත ගනේගමය. 


'විසල් නෙක තුරු මුදුන් පරයමින් නැගී එන

හන්තාන කඳු අරා ලසෝ ලැව් ගිනි අතුල

රිදුම් දී නික්ම යන වියෝවක අකුණු සර

සෙනෙහසේ විඩාබර අවසාන හුස්ම පොද


 හරිත පැහැ තණ පලස් පුරා හැඳි පිණි සේල

දවා දිය කර හරින චණ්ඩ වූ හිරුගෙ තෙද

තැවී පෙම් කුසුම් සොඳ සුසුම් සැඩ කිරණ වැද

සෙනෙහසේ විඩාබර අවසාන හුස්ම පොද


ගං දෑල ඉවුරු වැද තැලී පොඩිවී විසුළ

පියුම් පෙති ගසා යයි සිඳලමින් පෙන කැටිති

සැඩ පහරෙ මදින් මද දියව යයි අතීතය

සෙනෙහසේ විඩාබර අවසාන හුස්ම පොද


මෙම පදවැලෙන් ගීතයක් බිහිව නොමැති වීනම් රචනාවක් ලෙස ගතහොත් මට නම් මෙම පබැඳුම වඩාත් සමීප වෙන්නේ ගීත රචනාවකට වඩා කවියකටය. එහෙත් උචිත තනුවක් විසින් විසින් හසුරුවන ලදුව උචිත ගායනයක් මේ පදවැලට සම්මුඛ වී අප තුල සොඳුරු හා වේදනාබර කාංසාවක් ඇති කරන්නට සමත්ව ඇත. 

ගීත රචනාවක හා ගීතයක බහුවිධ ස්වරූප හඳුනා ගැනීමට මෙම පැරණි සහ අලුත් ගීත දෙක අපූරු උදාහරණ වේ යැයි මම සිතමි. එකී ගීත දෙක සහ නාරද දිසාසේකර වෙනුවෙන් ප්‍රචාරයවූ වැඩ සටහනක් මේ සමග අමුණා ඇත.

Thursday 10 December 2020

වටිනාකම් සහිත රටක් පැතූ ගුණදාස අමරසේකර


 වටිනාකම් සහිත රටක් පැතූ ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර නොබෝදා (නොවැම්බර් 12 වන දා) සිය අනූඑක් වැනි උපන්දිනය පසු කළේය. විසිවන සියවස ආලෝකමත් කිරීමට ඔහු කළ මෙහෙවරද  “විසි එක්වන සියවස බොඳ කිරීමට ඔහු දැරූ දායකත්වය ද සලකා බලන විට එකම මිනිසෙකු සියවස් දෙකක එකිනෙකට පරස්පර කාර්යයන් දෙකක් කෙසේ කෙළේ ද යන්න සලකා බැලීම වටී.

 ඔහුගේ සුවිසල් මෙහෙවරෙහි  ශේෂ පත්‍රය සලකා බැලීමේදී අමරසේකරයන් යනු අපේ රටේ මහා උපතකි. ඔහු පෞද්ගලිකව ගත් කළ මගේ ලෝකයේද වීරයෙකි. ඔහු පාදා දුන් සාහිත්‍ය විලාසය වනාහි චමත්කාරජනක වූ ගැඹුරු වූ ද  හෘදයංගම වූ ද එකකි. මා වඩාත් ආශ්වාදය ලද සිංහල නවකතා දෙක වනාහි අමරසේකරයන්ගේ “ගන්ධබ්බ ආපදානය” හා “එක්තරා ප්‍රේම කතාවක්” යන කෘතීන්ය. ප්‍රේමය සංස්කෘතික මිනිසා විනිවිදින ආකාරය පිළිබඳව “ගන්ධබ්බ ආපදානය” තරම් හෘදයංගම ලිවීමක් එදා මෙදාතුර සිංහල නවකතාවේ බිහිව නැතැයි මට සිතේ. ඒ කෘතිය මට පූජනීය වන්නේ එයින් ආශ්වාදනය ලබමින් මා නවකතා ලිවීමට පිවිසීමයි. මගේ “මෙරු” නවකතාව වනාහි මා ගන්ධබ්බ අපදානය කියවීමෙන් ලත් කලාත්මක ආස්වාදයේ නිර්මාණාත්මක ප්‍රතිඵලයකි. 

 අමරසේකරයන් ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්තේ පූර්ණ ගැමි පරිසරයක ග්‍රාමීය ප්‍රභූ පවුලක උපන් අයෙකි. එතැන් සිට ඔහු ලංකාවේ ගම, අර්ධ නගරය, මහා නගරය, අවසානයේ ලන්ඩන් දක්වාම ගමන් කළ දීර්ඝ ගමනේදී ඔහු දැනුවත් වූ ආකාරය අමරසේකරයන්ගේ අපදානය විමසීමේදී සලකා බැලිය යුත්තේය. පූර්ණ සංස්කෘතික මිනිසකු බිහි වීමට අවශ්‍ය සියල්ල ඔහුගේ දීර්ඝ ගමනේදී ඔහුට ලැබුණි. තමා අයත් කුලය, ජාතිය, ආගම, උගත් පාසල ආදී වාර්ගික කොටුපවුරුවලින් මිදී ඔහු ලබාගත් දැනුමට හා හෘද සාක්ෂ්‍යයට එකඟව හැසිරීමට අවශ්‍ය සමාජ භාවයක් ඔහු සතුවිය. ඔහුගේ ලියවිලිවල දැකිය හැකි ප්‍රධානම කරුණ නම් අවංක බවයි. ඒ අවංක බව ලබන්නේ හීනමානයෙන් තොර පූර්ණ මිනිසා වෙතිනි. ඔහුගේ ලියවිලිවල භාෂාව වනාහි ලෙයින් මසින් පිරුණු පණ ගැහෙන එකක් වන්නේ එය ඔහුගේ හදවතේ භාෂාව ද වූ හෙයිනි . 

‘ප්‍රේමයේ සත්‍ය කතාව’ හා ‘එක් අසත්‍ය කතාවක්’ යන දෙඈඳුතු නවකතාව සිංහල යථාර්ථවාදී නවකතාවේ උසස්ම කෘති අතර වන බව මගේ හැඟීමයි. ඔහු සතු ප්‍රඥා සම්පන්න බවින් ඒ නවකතාවට අදාළව සමකාලීන සමාජය විවරණය කරන්නේ ඔහුගේ අවංක හදවතේ භාෂාවෙනි. ලංකාවේ යථාර්ථවාදී නවකතාව ‘ප්‍රේමයේ සත්‍ය කතාව’ නැවැත්වූ තැනින් පටන් ගත්තා නම් සිංහල නවකතාවට මීට වඩා හොඳ කලදසාවක් යන බව මගේ හැඟීමයි.

 ගුණදාස අමරසේකරයන් මට මුණ ගැසෙන්නේ මා පාසල් යන අවධියේ අප පාසලේ දේශනයකට පැමිණුනු දිනයකය. එය 1980 තරම් ඈත දිනයකි. ඒ වන විටත් සමසමාජ පාක්ෂිකයෙකු වූ මට කොළඹ කේන්ද්‍ර කරගත් සංස්කෘතික සමාජයේ  දොර ඇරෙන්නෙ එදාය. අමරසේකරයන් සමග එදා අප පාසලට පැමිණි ඔහුගේ මිතුරෙකු වූ පියසේන ගුණතිලක හඳුනාගන්නේත් ඒ නිසා මගේ ජීවිතයට වැඩදායී සංස්කෘතික හා පෞද්ගලික ජීවිතයේ අනුශාසකයෙකු ලැබෙන්නේත් ඒ හමුව නිසාය. ගුණතිලක මහතා හමුවීමට එතුමාගේ නිවසට පැමිණෙන ගුණදාස අමරසේකරයන් ඔවුනොවුන් කතාබහ කළ දේවල් මම අසා සිට ඇත්තෙමි. එදානම් ගුණදාස අමරසේකරයන් මෙවන් දේශපාලනික අන්තයකට ගමන් කරනු ඇතැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. 

 ගුණදාස අමරසේකර වැනි සමාජයීය වශයෙන් සවිඥානක උගතුන්ට චකිතයක් නැතුව රැඳී සිටිය හැකි දේශපාලන පක්ෂයක් වශයෙන් ලංකා සමසමාජ පක්ෂය එදා ගොඩනැගී තිබුණේය. ආචාර්ය සරත් අමුණුගම සිය ‘අන්තිම සටන’ කෘතියේ පවසන්නාක් මෙන් ඇන්. ඇම්, කොල්වින්, ලෙස්ලි, බර්නාඞ්, යන නායක මණ්ඩලය තරම් කෘතහස්ත දැනුමැති නායකත්ව මණ්ඩලයක් ලෝකයේ අන් කිසිදු රටක දේශපාලන පක්ෂයකට නොසිටියේය. එය සත්‍යයක් හෝ අර්ධ සත්‍යයක් වේවා, දැනුම හා සංවාදය පදනම් වූ දේශපාලන පක්ෂයක් ලෙස සමසමාජ පක්ෂය වැඩී තිබුණු බව එම ප්‍රකාශයෙන් කියැවේ. අමරසේකරයන් වැනි සමාජ සවිඥානක උගතෙකු ඒ කෙරෙහි ආකර්ෂණය වීම, ඔහු හුදකලා බුද්ධිමතෙකු, කලාකරුවෙකු, වෘත්තිකයකු, වීමෙන් එහා ගිය මහා මිනිසකු වීමට බලපෑවේය. 

 1978 අගෝස්තු මාසයේ මියගිය ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ වියොවෙන් තැවෙන අමරසේකරයන් මෙසේ ලියයි.

“පවිටුනි, තමා උදරය පිරුමෙන්       වසන

 තොපමය නිගා දෙන  සත මිනිසත්  සසුන

කළ පව් සමා කරනුව දැන්වත්         ඉතින

දණ බිම ඔබා ගොස් වඳු ඒ මුනි       පතුල”

ගුණදාස අමරසේකර

(උපුටා ගැනීම, කවිය. 1979.8.20)

  මේ කියන්නේ ලංකාවට මාක්ස්වාදය හඳුන්වා දුන් පුරෝගාමී නායකයකු, තමන් අද පතන සාරධාර්මික බෞද්ධ සමාජයේ ප්‍රමුඛතමයාගේ (බුදුන් වහන්සේගේ) මට්ටමට අමරසේකරයන් විසින් ඔසවා තැබූ ආකාරයයි.  එහෙත් පසුව ඔහු ලංකාවේ මාක්ස්වාදය හිස නැති කවන්ධයත් ලෙස හැඳින්වීය. නමුත් කැපවුණු පාක්ෂිකයෙකු හෝ දේශපාලනඥයෙකු නොවූ අමරසේකරයන් සමසමාජ පක්ෂයේ පරිහානිගත සමයත් සමග හුදකලා බවට පත්වේ.

 ලංකාවේ අනෙක් ප්‍රාඥයකුට නොමැති තරම් වන වෙනස්වීමට අමරසේකරයන්ට ඇති පුළුවන්කම අප වැනි සිතන්නන් ගේ නරකටද, ජාතිකවාදීන්ගේ (ජාතිවාදීන්ගේ) හොඳට ද සිටියේය. 

අප දන්නා අමරසේකරයන් කුලවාදය, ආගම්වාදය, ජාතිවාදය, පාසල් වාදය ආදි කොටු පවුරු දැඩිව ගත්තෙකු නොවේ. එහෙත් ඔහු වටිනාකම් සහිත රටක් අවංකවම ප්‍රාර්ථනා කරන්නෙකි. ලංකා සමසමාජ පක්ෂයේ ස්වර්ණමය යුගයේ දී එහි සිටි ප්‍රතාපවත් හා අවංක නායකයන් සමග ඒ දේශපාලන ව්‍යාපාරයට තමා පතන වටිනාකම් සහිත රට හෝ අවම වශයෙන් ඒ සඳහා වන අඛණ්ඩ ක්‍රියාවලියක අත්තිවාරම හෝ දැමිය හැකි වේ යැයි අමරසේකරයන් සිතන්නට ඇත. එහෙත් එය ඉටු නොවුණි. අනතුරුව මේ රටේ ගැමි උගත් දරුවන්ගේ නැගී සිටීමේ අවංක ප්‍රයත්නය පිළිබඳ අධිතක්සේරුවක් අමරසේකරයන් විසින් ඇති කර ගත්තේය. වරෙක ඔහු පුවත්පතකට ලිපියක් සපයමින් ‘ඬේලිනිවුස් පුවත්පතෙන් ලංකාව දුටු මෙරට මැද පන්තියට ඒ තුලින් ඔවුන් දුටු රටට වඩා වෙනත් රටක් යථාර්ථය පවතින්නේ යැයි මේ තරුණයන් පෙන්වා දුන්” බව පැවසීය. 

ලෙයින් හා යකඩින් මර්දනය වුනු ජවිපෙ දෙවන තරුණ කැරැල්ලෙන් පසු වඩාත් ජාතිකවාදය වෙත නැඹුරු වූ අමරසේකරයන් අද සිටින වනාන්තරය දක්වා පැමිණ සිටී.

 මහාචාර්ය නලින් ද සිල්වා සහ දොස්තර ගුණදාස අමරසේකර දෙපල මවිසින් හඳුනාගන්නේ එකම ජාතිකවාදී කඳවුරක නායකයන් හෝ අනුශාසකයන් දෙදෙනෙකුට වඩා ජාතිකවාදී කඳවුරු දෙකක එකිනෙකට වෙනස් නායකයන් හෝ  අනුශාසකයන් දෙදෙනෙකු ලෙසිනි. ඒ දෙදෙනාම තමන් පෙනී සිටින ව්‍යාපෘතියට අවංක බව විශ්වාස කරමි. ඒත් මට අනුව නම් වඩාත් හෘදයංගම මිනිසා අමරසේකරයන්ය.

 අමරසේකරයන්ගේ ජීවිතයේ පිරී ඇත්තේ ඔහු පවසන ගැමි පුරුෂාර්තයන්ගෙන් නොව නාගරික මධ්‍යම පාන්තික පුරුෂාර්ථ වලින් බව මගේ අදහසයි. ඔහුගේ සමීප මිතුරකු හා මගේද මිතුරෙකු මා සමග පැවසුවේ  අමරසේකරයන් දැනට සේවය කරන කදවුර විසින් ඔජ වඩන බොහෝ කාරණා අමරසේකරයන් විසින් අනුමත නොකරන බවයි.  ශ්‍රී ලාංකික භික්ෂුවගේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ බලවත් විවේචනයක් ඔහුට ඇති බව මගේ මිතුරා මා සමග පැවසීය. ඔහුගේ පැරණි සමකාලීන සමාජ ක්‍රියාකාරී මිතුරන්ට ඔහු නතර වී ඇති තැන පිළිබඳව ඇත්තේ සංවේගයකි. එහෙත් ඔවුන් සියල්ලම එකහෙලා පවසන්නේ අමරසේකරයන් කවර තරම් මජර වටපිටාවක් සමග පයුරු පාසානයන් පැවැත්වූවා වුවත්  යහපත් මිනිසකු ලෙස නාම ගැන්විය හැකි පුද්ගල භාවයන්ට හානියක් නොකරගත් බවයි. එයම මහා පුරුෂ ලක්ෂණයකි

අඟුටුමිට්ටන් දහස් ගණනකගේ අත්පුඩි වලින් සන්තෝෂ වෙන ගලිවරයකු ලෙස මේ දැවැන්ත පරිණත වයස්ගත මිනිසාට ගත කරන්නට සිදුවීම අප තේරුම් ගත යුත්තේ ඔහුගේ අර්බුදයක් පමණක් ලෙස නොව  ‘වටිනාකම් සහිත රටක්’ පැතූ අවංක බුද්ධිමතෙකු ඛේදවාචකයක් කරා ඇදගෙන ගිය සමාජ ව්‍යාපාරයන්ගේ ස්වරූපයය. 

‘ප්‍රේමයේ සත්‍ය කතාවෙන්’ කූටප්‍රාප්තියට පත් විශ්වීය අගයකින් යුක්තවූ ඔහුගේ නවකතාව, කෙටිකතාව, කවිය වනාහි අවංක හෘදසාක්ෂියකින් මෙහෙයවුනු ශිල්පීය නිපුණතාවයෙන් අගතැන්පත් ලංකාවේ නූතන සාහිත්‍යයේ අසමසම කෘතිීන්ය. එවැනි අපාර්ශික විවෘත දැක්මක් ඒ තරමට අත්පත් කර ගැනීමට අද තබා එදා  පරපුරේ කිසිවකුටවත් නොහැකි වූ බව මගේ හැඟීමය.ි ඒ සාර්ථක නිර්මාණ කාර්යයට ඔහුගේ එකල දැක්ම හා මහාපුරුෂ ඇසුර ආදී සියල්ලම බලපෑවේය.

 සිය කැමැත්තෙන් තමා දැවැන්තයෙකු කළ ඒ අපාර්ශික විවෘත දැක්මට සමුදුන් අමරසේකරයෝ සැක සංකා සහිත අඟුටුමිටි පිරිවරට ගැලපෙන සාහිත්‍ය ව්‍යාපාරයකට පිවිසෙයි. ‘ගමනක මුලින්’ ඇරඹෙන ඒ අවගමන ඔහු අත්පත්කරගෙන සිටි විශිෂ්ටතාවයන්  තමා විසින්ම හකුලා තැබූ අයුරු ශෝචනීයය. 

එහෙත් සාහිත්‍ය හා සමාජ ව්‍යාපාරවල යෙදෙන අපට මේ දැවැන්තයා අමතක කළ නොහැකිය. ඔහුගේ හද බස තේරුම් ගැනීම,  කෘතියට අවංක වීම යන කාරණා ඔහුගේ ගමනේ මැදට ගොස් අප තේරුම් ගත යුතුය. නිර්මාණය වනාහී බුද්ධිමය කටයුත්තක් බවද ඔහු අපට පසක් කළේ ය.

“ වටිනාකම් සහිත රටක්” පැතූ මේ අවංක දැවැන්තයාට චිර ජීවනය පතමි.

-චන්ද්‍රරත්න බණ්ඩාර


2020 නොවැම්බර් 20 දින රාවය පුවත්පතේ පළවිය.


ලක්දිව පුරාතන වාරිමාර්ග



 

ලක්දිව පුරාතන වාරිමාර්ග
ආර් එල් බ්රෝහියර් ගේ මාහැඟි කෘතිය ancian irrigation works of ceylon එහි සිංහල පරිවර්තන කාණ්ඩ 5 කින් යුක්ත ව වරින් වර මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් එක්දහස් නවසිය තිස් ගණන් වල මුලදී පමණ පළවිය.
මෙහි කොටස් කිහිපයක් අභාවප්රාප්ත මලල්ගොඩ බන්දුතිලක මහතා සතුව තිබිණ. ඉතිරි කොටස් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තිබී සොයා ගැනීමට හැකි විය. මේ වන විටත් මහවැලි අධිකාරිය විසින් බ්රෝහියර් මහතාගේ ඉංග්රීසි මුල් කෘතිය එක්දහස් නවසිය අසූගණන්වල නැවත පළ කරන ලදුව එයට අපමණ යහපත් ප්රතිඵල ලැබෙමින් තිබිණි.
මෙහි සිංහල කොටස් සියල්ලම එක් කොට තනි කෘතියක් ලෙස ප්රකාශයට පත් කිරීමට මවිසින් යෝජනා කළ විට එය ඵල රහිත වෑයමක් වෙතැයි බොහෝ දෙනාගේ මෙන්ම මලල්ගොඩ බන්ධුතිලක මහතාගේ ද අදහස විය. එහෙත් මා ඒ සඳහා තවදුරටත් වෙහෙසුනෙමි. අවසානයේ එවකට මහවැලි අමාත්යවරයා වූ මෛත්රීපාල සිරිසේන මහතා ඒ සඳහා අනුමැතිය දුන්නේ ය. මගේ සංස්කරණයකින් යුතුව එම කෘතිය 2001 වසරේදී ලේක්හවුස් ආයතන මුද්රණාලයේ මුද්රණය වෙමින් තිබියදී පැවති ආණ්ඩුව බිඳ වැටුණේය. ශ්රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව ආණ්ඩු මාරුවකදී පැරණි පාලනයේ ව්යාපෘතිවලට වන ස්වභාවික ගැහැට 'ලක්දිව පුරාතන වාරිමාර්ග' කෘතියටද අත්විය. වසරකට අධික කාලයක් මුද්රණ කටයුතු නැවතී එය ලේක්හවුස් මුද්රණාලයේ හමස් පෙට්ටියට වැටී තිබිණි.
මෙසේ සිටින විට අභිනව විෂයභාර ඇමතිවරයා ලෙස පැමිණි ගාමිණි ජයවික්රම පෙරේරා මහතා හමුවීමට මට ලැබුණු ඉතා කුඩා අවසරයකින් එතුමාට මෙම කෘතියේ අද තත්වය පැහැදිලි කිරීමට අවස්ථාව ලැබිණි. එතුමාගේ අවසරයද ලදුව යළි මුද්රණ කටයුතු ඇරඹී 2002 මැයි මස 17 වන දින කෘතිය දොරටු වැඩුණි.
එදා ඓතිහාසික දිනයකි. පොතේ කතුවර බ්රෝහියර් මහතාගේ මිණිබිරිය වූ ඩැල්රීන් බ්රෝහියර් මැතිණිය හා පොතේ සිංහල පරිවර්තකයා වූ එල්.පියසේන මහතාගේ දියණිය වූ ශ්රීමා දිසානායක මැතිනිය සමසුන් ගත් උත්සවයකදී මහවැලි කේන්ද්රයේ දී 'ලක්දිව පුරාතන වාරිමාර්ග' සම්පූර්ණ කෘතිය ප්රකාශයට පත්විය.
මේ ගැන අද මට ලියන්නට සිත් වූයේ ජැක්සන් ඇන්තනි අධ්යක්ෂනය කළ ගග දිගේ වාර්තා වැඩ සටහන් මාලාවේ මේ කෘතිය නිතර පරිශීලනය වනු දැක ඒ ගැන සංතෝෂයෙනි.
ලක්දිව පුරාතන වාරිමාර්ග කෘතිය සංස්කරණය කිරීමට ලැබීම මගේ ජීවිතයේ ලද මහත් භාග්යයක් ලෙස සලකමි. ඒ සඳහා මවෙත සහයවූ සුධීමතුන් සියලුම දෙනාට දහඅට වසරකට පසුවත් මම ස්තුති වන්ත වෙමි.
මෙහි පහත පළවන්නේ 1934 දී මෙහි සිංහල පරිවර්තනයේ පළමු කාණ්ඩයට එවකට ගොවිකම් සහ ඉඩම් අමාත්ය ඩී.ඇස් සේනානායක මහතා විසින් ලියන ලද පෙරවදනයි. එදා දේශපාලකයන් මෙවැනි ශාස්ත්රීය කටයුතු කෙරේ දැක්වූ ආකල්පය වටහා ගැනීමට මෙම පෙරවදන මහෝපකාරීවනු ඇතැයි සිතමි.
-චන්ද්රරත්න බණ්ඩාර
ප්රාරම්භය
ලංකාවේ අතීතය ගැන අප දන්නා කරුණු වලින් විශාල කොටසක් ආණ්ඩුවේ පාලක සහ කාර්මික දෙපාර්තමේන්තුවල නියුක්තව සිටි නිලධාරීන් විසින් රැස් කරන්නට යෙදුණු බව නොයෙක් තැන්වල සඳහන් වී තිබේ. ආන්ඩුවේ නිලධාරීන්ට අස්ථානයේ දෝෂාරෝපණය කරන්නේ යැයි චෝදනා ලැබ සිටින මම ද ඉහත කී සත්යය තව වරක් සඳහන් කිරීමට ප්රීති වෙමි.
මෙම නිලධාරීන් කෙරෙහි අපි ණයගැත්තෝ වෙම්හ. පඩි කෑමෙන් හෝ පඩි සම්බ කිරීමෙන් තෘප්තියට නොපැමිණියා වු මේ නිලධාරීහු ස්වකීය තනතුරුවල නියුක්ත ව සිටීමෙන් ලැබූ සෑම අවස්ථාවලින්ම ප්රයෝජන ගනිමින් පුරාතන දේවල් ගැන වග විභාග කර බැලූහ. එසේ වගවිභාගකර රැස් කරන්නට යෙදුණු කරුණු රාශියක් ඒ නැතිවී ගොස් තිබෙන ශිෂ්ටාචාරය අනාවරණය කිරීමට බෙහෙවින් ප්රයෝජනවත් වේ.
නිලධාරීන් විසින් නොයෙක් අවස්ථාවල ප්රකාශයට පමුණුවන්නට යෙදුනු ග්රන්ථයන් හැර ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල තබා තිබෙන පොත් පත් වලින් ද අගනා කරුණු රාශියක් රැස් කිරීමට පුළුවන් වන්නේ යැයි මම විශ්වාස කරමි. අවුරුදු පනහකට පමණ පෙර රාජකීය ආසියාතික සමිතියේ රැස්වීමකදී වරක් එහි මූලාසනයට පත් සිටි ආර්.එස් කොපල්ටන් දේවගැතිතුමා ආන්ඩුවේ නිලධාරීන්ගේ දිනපොත් බැලීමට සමිතියේ සාමාජිකයන්ට අවශ්ය අවකාශ ලබා දීම ගැන ආණ්ඩුකාරතුමාට ස්තුති කළේය. ශාස්ත්රීය කරුණු පිළිබඳ සාකච්ඡාවලදී මේ දින පොත් වලින් බොහෝ ප්රයෝජන ලැබෙන බවද එතුමන් විසින් විසින් සඳහන් කොට ඇත.
අපේ රටේ පුරාතන ශිෂ්ටාචාරය ගැන සොයා බැලීමට බලාපොරොත්තු වන්නන්ට ප්රයෝජනවත් විය හැකි කාරණා රාශියක් මේ මැනීම් දෙපාර්තමේන්තුවේ පොත්පත්වල සඳහන් වී තිබෙන බව මට දැනගන්නට ලැබී තිබේ. තවද ඉහත කාලවල මැනීම් දෙපාර්තමේන්තුවේ නියුක්තව සිටි උද්යෝගයවත් නිලධාරීන් අනුගමනය කරන බ්රෝහියර් මහතා වැන්නෙකු මේ ග්රන්ථය සම්පාදනය කිරීමට ඉදිරිපත් වීම මහත් වාසනාවකි. පුද්ගලික වශයෙන් නොයෙක් වෙහෙස මහන්සි දරා ඒ මහතා මේ ග්රන්ථය සම්පාදනය කිරීමට ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ යුතුව තිබේ.
මහජනයා ඉදිරියේ තබනු ලබන මේ ග්රන්ථයට ඉතා මෑතදී සොයා ගන්නට යෙදුන කරුණු රාශියක් ද අධික මිල නිසා දුර්ලභ වූ පොත්වල පමණක් දක්නට ලැබෙන කරුණු රාශියක්ද අඩංගු වී තිබෙත්. පුරාතන වාරිමාර්ගයන් පිළිබඳ කරුණු නොයෙක් තැන්වලින් රැස්කොට ප්රබෝධජනක ආකාරයට බ්රෝහියර් මහතා මෙහි දක්වයි. තවද සර් හෙන්රි වෝඩ් උතුමාණන් වහන්සේගේ සවිස්තර වාර්තා වලින් උපුටා නොයෙක් දේවල් මේ ග්රන්ථයේ දක්වා තිබීම අපේ විශේෂ සතුටට කාරණයක් වේ.
අප රටවාසීන්ගේ ආදරය යම් ආණ්ඩුකාරයෙකුට හිමිවිය යුතු නම් සර් හෙන්රි වෝඩ් උතුමාණන් වහන්සේට එය නිසැකයෙන්ම හිමි විය යුතුයි. පාටකල කන්නාඩිවලින් නොව ස්වකීය නෙත් යුවලින්ම රට පරීක්ෂාකර බලමින් තමාට ආණ්ඩු කිරීමට නියම වූ මනුෂ්යයන්ගේ තත්ත්වය නියම දේශපාලන විභාග කර බැලූ මෙතුමෝ තමන්ට පෙර සිටි ආණ්ඩුකාරයන් ගේ නොසැලකීම නිසා විනාශ මුඛයට පත්ව තිබූ ගොවි කර්මාන්තය දැක ශෝකයට පත් වූහ. බ්රිතාන්ය ආණ්ඩුව රටේ ආදායමින් සැලකිය යුතු කොටසක් කිසි කලෙකවත් පුරාතන කර්මාන්තයන් ප්රකෘතිමත් කරවීමට නොයෙදූ බව ද දේශගුනය නිසා අතිශයින්ම උවමනාවූ මේ වාරිමාර්ගයන් ප්රකෘතිමත් කිරීම මෙන් සිංහලයන්ගේ සිත් තුළට කාවදින අන් කිසිවක් නැති බව ද මෙතුමාට මනා ලෙස අවබෝධ වූයෙන් නිසරු ප්රදේශයන් සාරත්වයෙන් බැබළවීම පරමාර්ථකොට ඇති ක්රියාපටිපාටියක් ආරම්භ කළහ. වර්තමානයේ දක්නට තිබෙන වාරිමාර්ග පිළිබඳ සෑම කටයුත්තක්ම උතුමාණන් වහන්සේගේ ව්යාපාරය නිසා ඇති වූයේ යැයි සලකන්නට පුළුවන.
පුරාතන විශ්මය ජනක කර්මාන්තයන් කෙරෙහි අප රටවාසීන්ගේ යොමු කිරීම මේ ග්රන්ථය ප්රසිද්ධියට පැමිණිවීමේ මුල් අදහස වේ.
විශාල රාජ්යයන් පමණක් දියුණුව තිබෙන වර්තමාන කාලයේ කුඩා ජාතීන් විසින් ලොවට සලසා තිබෙන සෙත අමතක කර දැමීමට ඉඩ තිබේ. මේ කුඩා ජාතීහු ද ලොවට තව වරක් සෙතක් සැලසීමට අසමර්ථවන්නාක්මෙන් මන්දෝත්සාහී වෙත් . අපේ පුරාතණ මහඟු කර්මාන්තයන් ගැන දැනගන්නට ලැබීම මේ දුර්වල ගති නැති කර දැමීමට එකම මාර්ගය වේ.
විශාල රාජ්යයන් පමණක් දියුණුව තිබෙන වර්තමාන කාලයේ කුඩා ජාතීන් විසින් ලොවට සලසා තිබෙන සෙත අමතක කර දැමීමට ඉඩ තිබේ. මේ කුඩා ජාතීහුද ලොවට තවවරක් සේවය සැපයීමට අසමර්තවන්නාක් මෙන් මන්දෝත්සාහී වෙත්. අපේ පුරාතන මහගු කර්මාන්තයන් ගැන දැන ගන්ට ලැබීම මේ දුර්වල ගති නැතිකර දැමීමට එකම මාර්ගය වේ.
ඝන යාර 17 කෝටියක් පමණ විශාල වූ වෑකණ්ඩියක් අපට දක්නට තිබේ නම්, එවැනි වෑකණ්ඩියක් සෑදීමට දැන් කාලේ මුදලින් පවුම් 1,300,000 ක් පමණ වුවමනා වේ නම්, ඒ මුදලින් හැතැප්ම 120ක් දිග රේල් පාරක් එන්ගලන්තයේ දී සාදන්නට පුළුවන් වේ නම්, තවද එවෙනි වෑ කණ්ඩි එකක් පමණක් නොව බොහෝ ගණනක් දක්නට තිබේ නම්, නූතන ශිල්ප විශේෂඥයෙක් 'මා නියුක්තව සිටි රක්ෂාව නිසා පුරාණ කර්මාන්තයන් ගැන ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බැලීමට අවකාශ ලැබුණන් මේ මහඟු කර්මාන්තයන් සෑදූ ශිල්පීන්ගේ ඥානය සහ කාර්යක්ෂම භාවය කෙරෙහි දැක්විය යුතු ගෞරවය නොසගවා ප්රකාශ කරමි යයි කියා තිබේ නම්, තව ද මේ කර්මාන්ත වල සාවද්ය වශයෙන් සලකනු ලැබූ යැයි යම් යම් ස්ථානයන් ද නිරවද්ය බවත් ආදීම ශිල්පීන්ගේ අදහස් වරදවා තේරුම් ගැනීමෙන් ඒ ඒ තැන් සාවද්ය වශයෙන් පෙනී ගිය බවත් පසු කාලයක දක්නට ලැබුනේ නම්, මේ වාරිමාර්ග සෑදීමට උවමනා වූ විශාල ජන සංඛ්යාව මිසර දේශයේ පිරමීඩ්ස් සෑදීමේ දී ඇතිවූ මහජනත තාඩනපීඩනාදියෙන් තොරව පොදු යහපත උදෙසාම ඇති කරවන්නට යෙදුන කටයුතු පිළිවෙළකින් ලබාගන්ට යෙදුනේ නම්, එසේම අපේ පරිහානිය ඇති වූයේ ''අප ජන සමාජයට අත්තිවාරමක් වූ විධිවිධානයන් බිඳහැර පොදු යහපතට අදාළ වන කර්මාන්තවලදී ජන සමාජයේ ඒකාබද්ධ වීර්යය යෙදවීමේ පිළිවෙත් විනාශ කර දැමූ කරුණුවලින් බවත් අපි කල්පනා කරමු නම්, කල්පනා කරමින්ම නැවත නැවතත් අතීතය ආදර්ශයට කොට ගනිමු නම්, අනාගතය ගැන කනස්සල්ල වීමට අපට කරුණක් නැත.
අපි අපේ මුතුන්මිත්තන් කෙරෙහි පැවති ප්රබලකම් හා දුබලකම් වලින් සමන්විත වම්හ. ඒ දුබලකම් නැතිකර දමා ප්රබලකම සුරක්ෂිත කිරීමට කාලය තවම ඉකුත්ව නොගියේ යැයි මම තරයේ විශ්වාස කරමි.
මේ සිංහල පරිවර්තනය කළ ශාස්ත්රාචාර්ය එල්.පියසේන මහතාට ද ඊට ආධාර කළ ආචාර්ය ජී.පී.මලලසේකර මහතාට ද මම ස්තූතිවන්ත වෙමි.
ඩී.ඇස්. සේනානායක
ගොවිකම් සහ ඉඩම් පිළිබඳ අමාත්යතැන
වර්ෂය 1934 ක් වූ නොවැම්බර් මස 25 වැනි දින

Tuesday 1 December 2020

කිරි කොකුනි, ඔබේ පියාපත් මට දෙන්න.


 

'කිරි කොකුනි, ඔබේ පියාපත් මට දෙන්න.

මම බොහෝ ඈතට පියාසර නොකරමි.

ලයිතෑන් නිම්නය වටා එක්වරක් පමණක් පියාඹා

මම නැවත එන්නෙමි.'

  -Tsangyang Gyatso


6 වන දළයි ලාමා ලෙස එම පදවියට පත් Tsangyang Gyatso තුමා හදිසියේම දළයිලාමා ලෙස සිටියදීම අතුරුදහන් විය. එවකට විසිතුන් හැවිරිදි භද්‍ර යෞවනයේ සිටි මෙතුමන් කවියෙකු බවද තිබ්බත ඉතිහාසය කියයි. මේ ශුද්ධවූ නරවරයා තරුණියක හා ප්‍රේම පාෂයේ බැඳී ඈ හා පලා ගිය බව ඇතැම් ඉතිහාසඥයන් පවසයි. 1 වන දළයි ලාමා තුමාගේ සිට 13 වන දලයි ලාමා තෙක් දළයි ලාමාවරුන්ගේ ප්‍රතිමා ලාසාවේ, තිබ්බත අගනුවර පිහිටා ඇති පොටාලා මාළිගාවේ පිහිටුවා ඇතත් Tsangyang Gyatso තුමාගේ ප්‍රතිමාවක් එහි පිහිටුවා නැත. බොහෝ බැතිමත් තිබ්බත බෞද්ධයෝ මෙතුමාගේ නම සඳහන් කිරීමටවත් අකමැති වෙති. මේ එතුමන් රචිත පද්‍යයක අනුවාදයකි. Tsangyang Gyatso තුමා 1683 ජන්මලාභය ලබා 1706 දී 6 වන දළයි ලාමා ලෙස අතුරුදන් විය.

 -චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday 19 November 2020

ප්‍රියත් ලියනගේ සොයුරා පිළිබඳව මෙලෙසද කියවිය හැකිය.

අප මිතුරු ප්‍රියත් ලියනගේ අප අතහැර යන්නේ සංකේතිය වශයෙන් වැදගත් දිනයකය. 'පරිසර යුක්ති කේන්ද්‍රය' නම් වූ සංවිධානයක් විසින් පැවරූ නඩුවකින් විල්පත්තු වන සංහාරය කළා යයි කියන රිෂාඩ් බදුර්දීන් පරාජය වූ දිනය ප්‍රියත් මියගිය දිනය යි. 

 'විල්පත්තු වන විනාශය' යනු හුදු පරිසර ගැටළුවක් ම නොවන බව වටහා ගැනීමට අපේ නැණවත් ප්‍රගතිශීලී මිතුරන්ටද නොහැකිවීම මට පුදුමයට කරුණකි. 

 ප්‍රියත් ලියනගේ තිරරචනය ලියූ, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ඉර මැදියම' චිත්‍රපටයට තේමාව වූයේ එල්ටීටීය විසින් මන්නාරමේ සිය වාසභූමි වලින් එළවා දැමූ මුස්ලිම් පීඩිතයන්ගේ ජීවිතයි. මේ කරුණම පුතියවන් රාසයියා විසින් අධ්‍යක්ෂණය කළ Otrai panani maram චිත්‍රපටයේද මතුකොට ඇත. 

 පසුගිය වසරේ (2019) සැප්තැම්බරයේ  මමත් මිතුරන් දෙදෙනකු සමග විල්පත්තු වනෝද්‍යානය මැදින් යාපනයට ගියේ ඔය කියන වන විනාශයේ ඇත්ත නැත්ත බලා ගැනීමේ කුතුහලයෙන් ද යුතුවය. විල්පත්තු වනෝද්‍යානය මායිමෙන් ඔබ්බේ පිහිටි මේ සාකච්ඡාවට බඳුන් වූ ප්‍රදේශය කලින් මුස්ලිම්වරුන් පදිංචිව සිටි  ජනාවාසයකි. යුද්ධයේ මුල් කාලයේම එල්.ටී.ටී.ඊ.ය විසින් මෙගම් වාසීන් පැය විසිහතරක් ඇතුලත මෙම ජනාවාසයෙන් පළවා හරින ලදී. පසුව කාලයක් අතහැර දමන ලද මෙම ජනාවාසය කරාත් ඝනවනය පැතිර ගොස් ඇත.රිෂාඩ් බදුර්දීන් එදා මේ ආණ්ඩුවේ න්‍යායාචාර්යවරයාගේද සහයෝගයෙන්   සෞදි රජයේ ආධාර ඇතුව ඔය කියන බෝවූ වනාන්තරය කපා නව නිවාස ඉදි කළේය. එක නිවාසයක් සඳහා ලක්ෂ 40ක පමණ මුදලක් ලැබුණු බවත් ඉන් ලක්ෂ තිහක් පමණ යටි මඩි  ගැසුණු බවත් ලක්ෂ 10 කින්  අද එහි තිබෙන නිවාස හැදුනු බවත් කියැවේ. මිනිස් වාසයකට අදාළ බොහෝ අවශ්‍යතා නොපිරුණු මේ නිවාසවල ජීවත් වනවාට වඩා අනාථ කඳවුරේ ජීවිතය ඊට වඩා යහපතැයි අපට කීවේ එහිදී හමුවූ මාතාවකි. බෙලෙක් තහඩු සෙවිලි කළ ඒ ජනාවාසයේ තිබූ තේ කඩයකින් තේ බිව් අපට ඒ කඩය වුව කියා පෑවේ එහි වාසය කරන මිනිසුන්ගේ පීඩිත භාවයයි.පළාතට තිබූ එකම තේ කඩය එය බව අපි  දුටුවෙමු. 

 මුස්ලිම්වරුන් වශයෙන් අප දකින්නේ වෙළෙඳ තරඟයේ යෙදී සිටින මුදලාලි මුස්ලිම්වරු හා සහරාන් පන්නයේ ආගමික  උමතුවෙන් යුත් මුස්ලිම්වරුන් ය. එහෙත් එදා වේල සරි කර ගැනීමේ මගක් නොමැති ඒ මදිවාට ජාතික පීඩනයේද ගොදුරු බවට පත් මුස්ලිම්වරු අපේ රටේ ඕනෑ තරම් සිටිති. එවැනි මුස්ලිම්වරු දැක බලා ගැනීමට වුවමනා නම් මන්නාරම් දිස්ත්‍රික්කයේ ඔය කියන ඊනියා විල්පත්තු උද්‍යානය කපා ඉදිකළ ජනාවාසයේ මුස්ලිම්වරු සොයා යන්න.

මේ පීඩිතයන්ගේ කතාව කිසිදු ප්‍රගතිශීලි පක්ෂයක් තමන්ගේ න්‍යාය පත්‍රයට  ඇතුළු කර නොගන්නේ, බලය ලැබීමෙන් පසු ඉටු කරනු යුක්ති ලැයිස්තුවට ඒ ගැටළුව ඇතුළු ඇතුළු කර ඇති හෙයින් විය යුතුය. 

මේ ගැටලුව ගැන සැබෑව රූපවාහිනී සංවාදයක පවසනු මා අසා ඇත්තේ ආචාර්ය නිර්මාල් දේවසිරි පමණකි. තවත් අය ඒ ගැන උනන්දු වූවා විය හැකි වුවත්  මා ඒවා අසා හෝ දැක නැත. 

 1996 චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සාම ක්‍රියාවලිය ගෙන ඒමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ කථිකාචාර්ය හස්බුල්ලා මහතා එම ක්‍රියාවලියට සහයෝගය දෙන විට මේ මුස්ලිම් අසරණයන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කළ අයුරු මට මතකය. ඔහු මන්නාරමේ උපන් මුස්ලිම්වරයෙකි.

පරිසර යුක්ති මහත්වරුන්ට විල්පත්තුවට යුක්තිය පැතූ ආකාරයෙන්ම ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් විනාශයටත්, සෝමාවතී වනාන්තර විනාසයටත්, සිංහරාජයේ වන විනාශයටත් එරෙහිව උසාවි ගොස් යුක්තිය ඉෂ්ට කරගැනීමටත් මෙම නඩු තීන්දුවම පූර්වාදර්ශයක් කරගත හැකිය.

රිෂාඩ් බදුර්දීන් ගණන් නොඋස්සා ආරාධනා ලැබුණු පළමු වාරයේ ම විසි වන සංශෝධනයට ඡන්දය දුන්නා නම් සියල්ල මෙසේ නොවන්නටත් ඉඩ තිබුණි. 

 පරිසරය ආරක්ෂණ ක්‍රියාවලියට වුවද සැඟවුණු දේශපාලන න්‍යායපත්‍රයක් ඇතැයි යන්නට කදිම උදාහරණයකි මේ  විල්පත්තු සිද්ධිය.

මේ නඩු තීන්දුවට හෝ විල්පත්තු වන විනාශයට හෝ ප්‍රියත්ගේ සම්බන්ධයක් නැතත් පීඩිත ජනකොටසකගේ විලාපය කල් ඇතුව දුටු මගේ මිතුරාට සුභ ගමන් පතමි.  

 දුරින් හෝ ඉහලින් සිටින විට ඇතුලේ සිටිනවාට වඩා සමහර දේ හොඳින් දැකිය හැකිය. එසේ දුටු කෙනෙකි ප්‍රියත්.
 
-චන්ද්‍රරත්න බණ්ඩාර.

Saturday 7 November 2020

ඇමෙරිකානු සිහිනය යළි දකින්නට........

ඇමෙරිකානු ඉතිහාසයේ වසර හතරක පීලි පැනීමක් යළි නිසි මගට පැමිණ තිබේ. එහෙත් ට්‍රම්ප් පාලනය නිමා වන්නේ එක්සත් ඇමෙරිකානු ජාතිය හරි මැදින් දෙකට බෙදමිනි. ඇමරිකාව පිලිබඳ එතෙක් තිබූ චිත්‍රය බලවත් ලෙස බොඳ කරමිනි. ලෝකයේ බොහෝ මිනිසුන්ට ඇති ඇමරිකානු සිහිනය අර්බුදයට යවමිනි. ජනමාධ්‍ය එකරොත්තට ඔහුට විරුද්ධ වෙද්දී, තරුණයන් ශිෂ්‍යයන් වෘත්තීය වේදීන් එක රොත්තට විරුද්ධ වෙද්දීත් ඔහු පාලන බලයට පැමිණීමත් ඔහුගේ පාලනය වසර හතරක් පුරාවට පැවැත්මත් විග්‍රහ කරගතහැක්කේ නලින්ද සිල්වාගේ විග්‍රහයන් අනුව බව ට්‍රම්ප්ට ඡන්දය දුන් මගේ් මිතුරෙකු පැවසීය. ඔහු රාවණාද , නලින්ද සිල්වාද එකසේ විශ්වාෂ කරන හිතහොඳ මිතුරෙකි. ඇමෙරිකාවේ ඉතිහාසය වසර දෙසිය ගණනක් වුවත් ඒ දෙසිය ගණන තුල වසර 2500ක දේවල් ගොඩනගා ගැනීමට වලිකන ස්වොත්තමවාදීන්ගේ ප්‍රමාණය ට්‍රම්ප්ට ලැබුණු ඡන්ද ප්‍රමාණය කියාපායි. රජෙක් වගේ නායකයන් පැතීම අපවැනි රටවලට පමණක් නොව ඇමරිකාව වැනි රටවලට පවා බෝවුණු රෝගයක් බව ට්‍රම්ප්ට වැටුණු ජනප්‍රිය ඡන්ද ප්‍රමාණය අපට තවදුරටත් පෙන්වා දෙයි. රිපබ්ලිකන් පක්ෂය හා ඩිමොක්‍රටික් පක්ෂය ලෝකයේ දියුණුම දේශපාලන පක්ෂ දෙක බව මගේ හැඟීමය. එම පක්ෂ දෙකට ඇමෙරිකානු ඉතිහාසයේ සියලු නව ගොඩනැගීම් විග්‍රහ කර ගැනීමට හැකිවිය. වෘත්තිකයන්ගේ හා සියලු සමාජ තරාතිරම්වල පාක්ෂිකයන් සංචිතයක් තනා ගැනීමටත් එම පක්ෂ සමත්වූ අතර ඔවුන්ගේ පොදු අදහස පක්ෂයේ හැඩරුව හා ගුණය බවට පත්විය. එමෙන්ම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂ යාන්ත්‍රණයන්හි වැදගත්ම ගුණාංගය විය.පක්ෂ දෙකටම තමන්ගේම වූ බුද්ධිමතුන් සංචිතයක් සිටින අතර ප්‍රතිපත්ති සම්පාදනයේදී ඔවුන් තීරණාත්මක වේ. එහෙත් ට්‍රම්ප් බලයට පැමිණියේ මේ යාන්ත්‍රණයනට පිටතිනි. විශේෂයෙන් රිපබ්ලිකන් පක්ෂ යාන්ත්‍රණයම අර්බුදයට යවමින්ය. ට්‍රම්ප්ගේ පරාජය වඩාත් සතුට දනවනු ඇත්තේ සැබෑ රිපබ්ලිකානුවන්ට බව මගේ විශ්වාෂයයි. කමලා හැරිස්ගේ ජයග්‍රහණය බොහෝ සම්ප්‍රදායික ඉන්දියානුවන්ට අසතුට දනවන කාරණයකි. ඒ ගොඩට බහුතර ඇමෙරිකානු ලාංකිකයන්ද එකතුවී සිටී. ඒ ඇයට දකුණු ආසියාතික උරුමයක් ඇතත් ඇය ඇමෙරිකාවේ උපන්නියක නිසාය. අපේ අයට නම් ඇය කොටින්ට සහයෝගය දේවි යන පූර්ව නිගමනය නිසාය. කෙසේ වෙතත් අපට පූර්ව නිගමන දිය නොහැකිය. එනමුත් වසර හතලිස් අටක අඛංඩ සෙනෙට් ධුරයක් දරණ ජෝ බයිඩන් හා විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකාවක වන කමලා හැරිස්ට ඇමෙරිකාව එතෙක් අත්පත් කරගත් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තුවාල කරන වර්ගයේ තීරණ ගැනීමට පෙළඹෙනු ඇතැයි සිතිය නොහැකිය. චන්ද්‍රරත්න බණ්ඩාර

Wednesday 7 October 2020

ධර්මසිරිට කරන උපන් දින සුබපැතුමෙන් ඔබ්බට.....

ධර්මසිරිට කරන උපන් දින සුබපැතුමෙන් ඔබ්බට..... ලෙස්ටර් නම් වූ සිනමා වංශකතා පරිච්ඡේදයෙන් ඔබ්බේ ඇරඹෙන ඊළඟ පරිච්ඡේදයට සිනමා කරුවන් තිදෙනෙකුගේ නම් ඇතුලත් විය. ඉන් එක් නමකි ධර්මසිරි බණ්ඩාරනායක. පතීගේ සතුරෝ කෙටි චිත්‍රපටයෙන් පටන්ගෙන අහස්ගව්ව,බඹරු ඇවිත්, හා පාරදිගේ දක්වා වූ සිනමා චාරිකාව සැබවින්ම එතෙක් සිංහල සිනමාවේ ස්වරූපය සෘජුකෝණිකව වෙනස් කළේය. එකළ ප්‍රකට සිනමා විචාරකයෙකු වූ එල්.ඕ.ද සිල්වා කියන පරිදි එතෙක් පවුල විෂය කරගත් සිනමාව පතී ඉන් බැහැරට ගෙනාවේය. ධර්මසිරි වසර 30කින් මෙපිට වෘත්තාන්ත සිනමා කෘතියක් නිර්මාණය කොට නොමැත. එහෙත් සිනමා වංශකතාවේ ධර්මසිරිට තැනක් ඇත්තා සේම දියුණු රසික ප්‍රජාව ඔහු පුරෝගාමී සිනමා කරුවෙකු ලෙසද සලකයි. මගේ අදහසේ හැටියට ධර්මේගේ හංසවිලක් ඔහුගේ ප්‍රශස්තම සිනමා කෘතියයි. එහෙත් එය පතීගේ පූර්වෝක්ත සිනමා කෘති මෙන් සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයෙන් පසු යුගය නියෝජනය කරන්නේද? එසේ නැත්නම් එය ලෙස්ටර්ගේ දෙලොවක් අතර වැනි චිත්‍රපටයක කලාත්මක දිගුවක්ද? මා විශ්වාෂ කරන ආකාරයට පතීගේ සිනමා භාවිතය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකීමට අදාළ මිනුම් දඬු සම්පාදනය කළේ එකළ පැවති ප්‍රබල සිනමා විචාරයයි. විශෙෂයෙන් සුචරිත ගම්ලත් හා පියසීලී විජේගුනසිංහගේ පුරෝගාමී විචාර මෙහෙවරයි. මින් පිබිදුනු දැන උගත් විචාරකයන් ඒ කෘති අරබයා විචාර ක්ෂේත්‍රයට පිසිසුණේය. ධර්මසිරිගේ ප්‍රමුඛ සිනමා කෘති දෙකම මේ විචාර ආනුභාවයට ලක්විණි. විශේෂයෙන් තුන්වන යාමය අරබයා වූ සුචරිතගේ හා පියශීලීගෙ පරස්පර ආස්තාන දෙක චිත්‍රපටය කෙරේ රසිකයන්ගේ බරපතල අවධානයට හේතු විය. එහෙත් මේ යුගයෙන් පසු සිනමා විචාරය පමණක් නොව සමස්ථයක් වශයෙන් කලා විචාරයම බිඳ වැටුණි. එහෙත් වඩාත් දියුණු සිනමා කෘති එදා මෙදා තුර බිහිවිය. ජාතයන්තර සම්මාන හැරුණු කොට අත්‍යාවශ්‍ය සිනමා විචාරයක් හරහා ප්‍රේක්ෂක යාකිරීමක් මේ පසුකාලීන අගනා කෘති වෙනුවෙන් සිදු නොවීය. යම් පමණකට ප්‍රසන්නගේ හා හඳගමගේ සිනමාවට විචාරක සහායක් ලැබුණත් අනෙක් වැදගත් සිනමා කෘති බොහෝ ගණනකට ඒ අවස්ථාව නොලැබුණි. ධර්මසිරි ඒ අතින් වාසනාවන්තයෙකි. ඒ ඔහුගේ සිනමා ආගමනය විචාර කලාවක් පැවති යුගයක සිදුවීමය.

Wednesday 2 September 2020

මහාචාර්ය පී.බී.මීගස්කුඹුර මහතාගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය

මහාචාර්ය පී.බී.මීගස්කුඹුර මහතාගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය ගැන එතුමාගේ ශිෂ්‍ය භික්ෂූන් තිදෙනෙකු විසින් සම්පාදනය කරන ලදුව විදර්ශන ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත්කරන කළ පී බී මීගස්කුඹුර ලේඛනාවලි කෘතිය එළිදක්වන උළෙලේ දී එතුමන් කළ සංවේදී කතාව අසමින් මෙය ලියැවිණි. එතුමා මෙතරම් කායික දුබල ව සිටීම මට මහත් සංවේගදායක කාරණයකි. එහෙත් එතුමාගේ නිරෝගී මතකය හා ජීවන දර්ශනය කිසිදු ලෙසකින් දුබල වී නොමැති බව මේ කෙටි දේශනයම දෙස් දේ .. එතුමා අපේ පවුලේ ගෞරවනීය හිතවතෙකි. එකළ කොළඹ-නුවර යනෙන වාරයක් පාසා පොල්ගහමුල එතුමාගේ නිවසට ගොඩ වී යාමේ පුරුද්දක් තිබිණ. එතුමන් විසින් රචිත' සිරිලක වැදිජන පුරාණය' 'මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය' තෝමස් බන්ඩල් විසින් රචිත mask නමැති කෘතියේ වෙස්මුහුණු නැමැති පරිවර්තනය යන කෘතීන්හි ප්‍රකාශකයා වූයේ ද මම ය. (මගේ පිනිදිය ප්‍රකාශන ආයතනය) එතුමාගේ කතාවේදී තමාගේ ජීවන පිළිවෙත මේ යැයි පැවසීමට උදාහරණ කොට දැක්වූ " ''අක්‍රෝධ මාරෝග්‍ය ජිතෙන්ද්‍රියත්වං දයාක්ෂමා සර්ව ජනප්‍රියත්වං නිර්ලෝභි දාතා භය ශෝක මූර්තෙක් ඥානක්ප්‍රබේදා දශ ලක්ෂණානි'' ශ්ලෝකයේ සඳහන් ගුණ සමුදායම ඔහුගේ ගුරු ජීවිතයේ දීත් පෞද්ගලික ජීවිතයේදීත් එත්‍රමා විසින් පවත්වාගෙන ගියේය. ලංකාවේ ශ්‍රාස්ත්‍රීය සමාජය මේ තරමින් හෝ පැවැත්මට හා ලංකාවේ විශ්ව විද්‍යාල වල තත්වය මේ තරමින් හෝ රැකීමට මීගස්කුඹුර මහතා වැනි ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් ගේ සමස්ත වෘත්තිය ජීවිතය විසින් ලබාදුන් සම්ප්‍රදානයන් මහත්සේ බලපෑවේය. විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ කල්ලි කණ්ඩායම් ලෙස බෙදීම, ගුරුවරුන්ගේ විනය පිරිහීම, පර්යේෂණ කාර්යයේ උනන්දු නොවීම ගැන එක්දාස් නවසිය අනූ ගණන් වල ම පාහේ එතුමා කතා කළේ කනස්සල්ලෙනි. එතුමාගේ සාස්ත්‍රීය ලිපි මාලාව මෙසේ පළ කිරීම පිළිබඳව එහි සංස්කාරකවරුන් වන දඹුල්ලේ සුධම්ම, පිටතලාවේ විමලසාර, අපරැක්කේ සිරිසුධම්ම හිමිවරුන්ටත්,ප්‍රකාශක ජනක ඉනිමංකඩ සොයුරාටත් ස්තුතිවන්ත වෙමි. මහාචාර්ය ගනනාත ඔබේසේකර, ආරිය රාජකරුණා, කේ.එන්.ඕ.ධර්මදාස හා ජේ.බී. දිසානායකයන් වැනි වියතුන් කිහිප දෙනාගේත් කෘති මේ ආකාරයට සම්පාදනය වේ නම් ඒ මහඟු සේවාවකි. මහාචාර්ය මීගස්කුඹුර මහතාගේ කෘතියට ලැබුණු පාඨක ප්‍රතිචාරය ම යහපත් වීම ඔබව දිරිමත් කරනු ඇතැයි සිතමි. සිය සම්පූර්ණ ශාස්ත්‍රවන්න ජීවිතයේ දී අබැටක අවමනක් ලැබෙන අකටයුත්තක් නොකළ මේ විශිෂ්ට ගුරුදෙවියාට දීර්ඝායු ලැබේවා. -චන්ද්‍රරත්න බණ්ඩාර

Wednesday 12 August 2020

දම්මික ගංගානාත් දිසානායක

සුබ ගමන් කීවේ ඔහොම ගමනකට නොවේ ඔබ නිසොල්මන්ව සිටී සිත දැඩිකරගෙන ආශ්වාස ප්‍රශ්වාස පවා නොකර ඔබගේ තීරනය අනිවාර්යය. ලෝකයේ ජරා මරණ හෝ වෙනස් නොවන නියත ධර්මතාවකි එය. තව කල් දැම්මත් හරි කවදා හරි යන්න එපායැ? මොකටද කල් දාලා . ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්. මළගිය ඇත්තෝහි එහෙම තිබුණට ඇත්ත ලෝකෙදි එහෙම වෙන එක දරා ගන්න බෑ. මගේ කලා ජීවිතයට බලපෑ පරමාදර්ශ කීපයක් තිබුණා. ඉන් පළමු වැන්නා දම්මික වෙන්න ඇති. ධර්මරාජ හොස්ටල් එකේ සමකාලීන සිසුන් වුනු අපිට එක්තරා ශිෂ්‍ය ගුරුවරයෙක් දමිමික. ඒ කාලෙ බතික් කමිස නැගල යන කාලෙ.. දම්මික ඇන්දෙම බතික්.. ඒ කාලෙ කෙසඟ කොල්ලෙක් වුනු දම්මික අවරෝහණ විදිහට ලස්සණ වුනු කෙනෙක්. (වයස යන්න යන්න ලස්සණ වුනු කෙනෙක්) සති අන්ත නේවාසිකාගාර විවිධ ප්‍රසංගයේ මහගුරා දම්මික. කෙසඟ සිරුරින් යුතුව විශාල සිතාරයක් වයනු අපි බලා සිටියේ යම් ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමකින්). විටෙක තබ්ලාව.. දමිත රාජපක්ෂ ...රත්නසූරිය..එච්.ජී.ආර් රණසිංහ වගේ සාමාජිකයො වෙලා හිටිය නේවාසිකාගාර සංගීත කණ්ඩායමක් තිබුණා...ඒකෙ නම ගොබ්ලින්ස් (මල පෙරේතයෝ) ඒ කෙ සංගීත භාණ්ඩෙකට තිබුණෙ දම්මිකගෙ තබ්ලාව විතරයි. අනිත් වාද්‍ය භාණ්ඩ ටින් බෙලෙක්ක. කණ්ඩායම් නායකයත් දම්මික. දම්මික නිශ්පාදනය කරපු නාට්‍යයක නොබෝදා අප අතරින් වියෝවුණු දමිත ගමමහගේට රඟපෑවා.. මම ගම දියණිය... ඒ කාලෙ විද්‍යා විෂයයන් කිරීම පිස්සුවක් වෙච්ච කාලෙ අති දක්ෂ ශිෂ්‍යයෙක් වුණු දම්මික තෝරා ගත්තෙ කලා විෂයයන්. ඒ තෝරා ගැනීම සාර්ථක කර ගත්ත ඔහු ලංකාවෙ අග්‍රගන්‍ය කලා විද්වතෙක් වුණා. සති අන්තයේ ඔහුගේ පියා විමලනාත් දිසානායක ඔහු බලන්න නේවාසිකාගාරයට එනවා. වැඩි පත්තර නොතිබුණු ඒ කාලයේ සිළුමිණ පත්තරේ විශේසාංග කතෘ කියන්නෙ විශාල ජන ආකර්ෂනයක්. එහෙව් තාත්තා කෙනෙක්ගෙ බපුතෙක් විදිහට වෙනම බැබලීමකුත් දම්මිකට තිබුණා. දම්මික පස්සෙ කාලෙ හොඳ යූ.ඇන්.පී. කාරයෙක් වුනාට පාසල් ජීවිතේ දී ආක්‍රමණශීලී ශ්‍රී ලංකා කාරයෙක්. මම රටින් පිටවීමට පෙර දවසේ දම්මික මත්තේගොඩ කොත්තු කඩේකදි හම්බ වුණා. දමිත ගියා...ඒ පස්සෙ දම්මිකත් ගියා..පෙරහැර ගෙවදින්නට පටන් අරං... සොහොයුරාණෙනි....යළි හමුවෙමු. චන්ද්‍රරත්න බණ්ඩාර

Tuesday 21 July 2020

මහා පින්කඳය

නිදිගැට පිසදා
ජීවිතය ඇහැරෙන වෙලාවෙම
ඔබ නිදා ගත්තා
තුරුලු සෙවනක
මහපොළොව  තුරුළු කරගෙන

මග නොමග කියාදෙන්නට
ඔබ නොමැති සඳ
සිත්පිත් නොමැති අහස් කුස
මහ මුරුගසන් වැහි එව්වා.
වලාකුළු දෙබෑකර හිරු ඇවිත්
නවදැලි හේන් පිච්චෙන
ඉඩෝරය එව්වා

අසුරු සැනක්ද ....කල්පයක්ද නොදනිමි
ගෙවීගිය කාලය

එහෙත් ඔබ සජීවිය
අමරණීයය
මහා පින්කඳය
අම්මා

දසමාසේ උරේකත්වා
පෝසේෂි වුද්ධිකාරණං
ආයුදීඝං වස්ස සතං
මාතුපාදං නමාමි....

චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday 2 July 2020

දේශපාලන අර්බුදය Match fixing හා වීරයන් පාවාදීම.






       එළඹෙන ඔක්තෝම්බර් මාසයේ  ඩොලර් බිලියනයක විදේශ ණය පොලී වශයෙන් ගෙවන්නට තිබේ. එළඹෙන දෙසැම්බරය වන විට ඩොලර් බිලියන තුනහමාරක් ණය වාරික වශයෙන් ගෙවන්නට තිබේ. පසුගිය පාලනය හමාර වන විට භාණ්ඩාගාරයේ ඉතිරිව තිබුණු මිලියන් හත හමාරක මුදල ගෙවී ගිය මාස කිහිපය ඇතුළත බිලියන තුන හමාර දක්වා සිඳී ගොසිනි. උද්ධමනයක් අත ළඟ ය. මේ තත්ත්වයට පත්වූ සිම්බාබ්වේ වැනි රටවල් පාන් ගෙඩියක් ගැනීමට මල්ලක් පුරවා තුට්ටුවක් නොවටින සිම්බාබ්වේ ඩොලර් ගෙන යායුතුය. එවන් තත්ත්වයක් තුළ අනෙකුත් සියලු වටිනාකම් පිරිහී කුස පුරවා ගැනීම ඇතුළු නොමැරී ජීවත් වීම වැනි කාරණයකට මිනිස් හැසිරීම අවප්‍රමාණ වන බව ඉතිහාසය අපට කියයි.

       පසුගිය ඔලිම්පික් උළෙලේ පදක්කම් කිසිවක් දිනාගත නොහැකි වූ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඒ හේතුවෙන් එවක පාලකයා වූ මුගාබේගේ අණින්  සිර ගත කළ බවක් මා කියවා ඇත.  දේශපාලනය විසින් බඩගින්න නිවා ගැනීම දක්වා මනුෂ්‍ය ජීවිතය ඌනනය කළ සමාජයක ලෝක ක්‍රීඩා ජයග්‍රහණ යනු කවර අරුමයක්ද?

       ලංකාවේ අනාගත අර්බුදයේ තරම දන්නේ ඡන්දදායක මහජනතාව වත් , දේශපාලනය අගමුල නොදන්නා පැවිද්දන්වත් නොව  රට කරවන  දේශපාලකයන්ය. අනෙකුත් දේශපාලන වියතුන්ය. එළඹෙන අර්බුදය ජය ගැනීමට මේ පාලක පන්තියට විසඳුමක් නැති අතර තිබුනත් සිය ආත්මාර්ථ අභිලාෂයන්  ඒ සඳහා කැපකිරීමක් කිරීමට ඉඩ දෙන්නේ නැත.

       ලෝක පූජිත මහා යතිවරයාණන් වූ දලයිලාමා තුමාට දළදා මාලිගාව හා ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට මෙහි සැපැත්වීමට ඉඩ නොදෙන්නේ චීනයේ බලපෑමට බියෙනි.  චීනයට ඇති ගැතිකම උන්ගෙන් අසාධාරණ පොලියට ගත් ණය කන්දරාව නිසා උපන් එකකි.


      ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වය සඳහා තරඟයේ දී සංගක්කාර ඉදිරිපත් වුවහොත් එම අවස්ථාව ඉන්දියාවට ලබාගැනීමට බාධාවකි. සංගක්කාර විසින් එකී තනතුර සදහා අවශ්‍ය සුදුසුකම් මනාව පෙන්වා ඇත. match-fixing ගැන කුරිරු කබ්බෙකු ලවා කියවා මේ අවුල ඇතිකර ඇත්තේ ආණ්ඩුවමය.
 
      ලෝක සමාජය හමුවේ ලංකාව මෑත ඉතිහාසයේ කතාබහට ලක් වුණේ ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක් නිසාය. එකක් එඑල්ටීටීඊය සමග වූ තිස් අවුරුදු යුද්ධයයි. දෙවැන්න ලෝක කුසලානය ලබාගත් හා ඉන් පසුව උසස් තැනක තිබුනූ ලංකාවේ ක්‍රිකට්ය. මේ සැලසුම් සහගතව මේ පාලකයන් දැනුවත්ව ගරහන්නේ ,හිතාමතා  අපහාසයට ලක් කරන්නේ පරිහානිගත ලංකාවට කීර්තිය ගෙනා විශිෂ්ට වීරයන් පිරිසකටය .


     ඒ වීරයන්  බිලි දෙන්නේ ඉන්දියාවෙන් ගත් ණය කන්දරාව යළි ඉල්ලා සිටියහොත් ඇතිවන අර්බුදය කල් දමා ගැනීමට ය .


      අපේ භික්ෂු සමාජයේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි වැනි භික්ෂු උතුමන් දැන්  නැත. වෛද්‍ය ක්ෂේත්‍රයේ සේනක බිබිලේ, කාලෝ ෆොන්සේකා වැනි මානව හිතාදරයන් නැත. කුලසිංහ ,රේ ජයවර්ධන වැනි විශිෂ්ට ඉංජිනේරුවන් නැත .සරච්චන්ද්‍ර වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැත. විජය කුමාරතුංග, ජෝතිපාල වැනි පොදුජන වීරයන් නැත. අවිවාදිත පොදුජන වීරයන් ඉන්නේ ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ගේ පමණි.  මේ බිලිදෙන්නේ අරවින්දලාගේ, සංගක්කාරලාගේ, මහේල ලාගේ කීර්තිය පමණක් නොව ඔවුන් නිසා සන්තෝස වන මහා ජනතාවගේ ප්‍රාර්ථනාවනුත්ය.
-චන්ද්‍රරත්න බණ්ඩාර

Saturday 30 May 2020

මාර්ෂල් පෙරේරා







          1964 ලංකා සමසමාජයෙන් වෙන්වූ එඩ්මන්ඩ් සමරක්කොඩි ඇතුලු කණ්ඩායම හා එක්වී දේශපාලනයට පිවිසි මාර්ෂල් පෙරේරා බොහෝ කාලයක් තිරසර මාක්ස්වාදියකු ලෙස කටයුතු කළේය. (ඔහු කෙලෙස ආණ්ඩුකාරයෙකු වූවාදැයි නොදනිමි. )1960 පමණ ජැක් කොතලාවලලා සමසමාජ පක්ෂයෙන් බදුල්ල ආසනය ජයග්‍රහණය කරන විට එහි පිටුපස සිටි යෝධ මිනිස්සු අතර ඹාෂල් පෙරේරාද විය.


          ප්‍රේමදාස පාලන සමයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බදුල්ල රැස්වීමට ගිය අප දිවා ආහාරයට ඔහුගේ පුත් ඩිලාන්ගේ ආරාධනයෙන් මාර්ෂල් පෙරේරාගේ ගෙදරට ගියෙමු.  එවිට අපේ එක් සහභාගිකයෙකු වූ ලූෂන් රාජකරුණානායක ඩිලාන්ගෙන් 'තාත්තා කෝ' කියා ඇසුවේය. ''ආ එයා අර පස්දෙනෙක් ඉන්න පක්ෂෙ මධ්‍යම කාරක සභා රැස්වීමට කොළඹ ගිහින් ' සිය අපහාස උපහාස ගැබ්වූ ස්වරයෙන් කීවේය. එදා ඩිලාන් බදුල්ල දිසිත්‍රික්කයේ මහජන පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ලූෂන් කාටත් ඇහෙන්නට තාත්තාගේ අගය හා අවංකකම ඩිලාන්ට කියා දෙන විට ඔහුගේ මුහුණට වූ විපරියාසය මට තවමත් මතකය.


         දේශපාලන රේඛාවේ එකිනෙකට පටහැනි අන්ත දෙකකින් දේශපාලනය පටන් ගත් පිය පුතුන් පසුකලෙක එකම මධ්‍යස්ත ලක්ෂ්‍යයකදී හමුවීම කියාපාන එක සත්‍යයක් ඇත. ඒ මාෂල් පෙරේරා වැනි දෘඩතර අවංක මිනිසෙකුට වුවද මේ ජරාජීර්ණ දේශපාලනය තුළ සිය ප්‍රගුණ කළ පරමාදර්ෂ රැකගෙන පැවැත්ම උගහට බවයි. ඒ කෙසේ වෙතත් මා විශ්වාස කරන්නේ  මාෂල් ඔහුගේ පුත්‍රයා තරම් සිය හෘද සාක්ෂිය විනාෂ නොකරගත් බවයි.
ජේෂ්ඨ සහෝදරයාණෙනි ඔබගේ ශ්‍රේෂ්ඨ අතීතයට ආචාර කරමි.
-චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday 21 May 2020

ලාල්









'ජීවිතය ප්‍රභාතයකි
අත්නොහැරිය යුතු සුයාමයකි
සුන්දර අසුන්දර දෑ බෝ තිබෙන
වනස්පති සෙවනකි
උකටලී නොවනු විඳින්නට, දිනාගන්නට
වන අසිරිය ඇතුළු අනෙකුත් සිරි අසිරි'


කිවිඳ, ඔබ අකුරු ගලපමින් හෙමි හෙමින්
සන්සුන් තානයකින්
කියූ වග මතක්වේ


කිවිඳ,
ඔබෙ කවිය හරි මිහිරියි
පදරුත්  අනේකයි.....අනෝමයි...


වසන්තයට පසු සිසිරය එන බවත්
එසිසිරය තුල පවා
වසන්තයට නොදෙවෙනි ලස්සණක් ඇති බවත්
නිතර කී බව මතක්වෙයි.


ඔබ සියොළඟ දිවෙන කවිතාව
නොනැසී තිබේවා බෝ කල්


කෝමලිනී, ඔබට කියමි
රැඳෙන්න ඔහු අස
උදාකර දෙන්න තව තවත්
අපූර්ව වූ කවි ලකුණු


-චන්ද්‍රරත්න බණ්ඩාර

Sunday 17 May 2020

ජන ගී මාලය








          සිංහල කලාව ජාත්‍යන්තරයට ගෙනයාමට පෙර  එය අයත් ජනයාගේ ජීවිතයේ කොටසක් බවට යළිත් පත්කළ යුතුය. එසේ නොමැතිව එය කෙසේවත් ජාත්‍යන්තරයට ගෙනගිය නොහැකිය. නුතන කලාවට අයත් රිද්මයන් සියල්ල උකහාගන්නේ බටහිර කලාවෙන් බව පෙනේ. රත්න ශ්‍රී විජේසිංහ නම් කවියා දක්ෂතම ගීත රචකයෙකු බවට පරිනාමය වන්නේ ඔහු පැරණි කලාවේ රිද්මය ඇතුලු සියල්ල මැනවින් තම ගීතයේ උපාං'ග බවට  පත්කරගත් නිසා යයි මට සිතේ. මේ තරම් බරසාරව පැරණි සාහිත්‍යාංග ගීතයට යොමු කරගත් සමකාලීන ගීත රචකයෙකු නැති තරම්ය. එවැනි උත්සාහයන් කිහිපයක් හැරුණු කොට අපගේ උරුමයට අයත් වස්තු විෂයයන්, රටාවන්,හා ශ්‍රැතීන් නොතකා හැරේ.
    
          1977 න් ඇරඹුණු නව ලිබරල් වාදයේ ගොදුරක් බවට පත්වුණු සංස්කෘතිය නම් කලාපයට අයත් සියල්ල එහි ෙඑතිහාසික විකාෂනයේ පෙකෙනිවැලින් පරිපූර්ණ වශයෙන්ම කඩා දමා ඇත.
බ්‍රිතාන්‍ය පාලන යුගයේදී පවා දේශීය කලාවට අදාළ සියලු දේ සංරක්ෂණය කරමින් ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කළේය. (තම රටවලට ගෙනගිය පෞරාණික සංස්කෘතික දේපල පවා කෞතුකාගාරවල තැන්පත්කරමින් ඒවා අදටත් ආරක්ෂා කරයි. ) පූර්ව නිදහස් යුගයේ දේශීය ජනයා හා බෞද්ධ භික්ෂූන් තම සංස්කෘති්ියට අදාළ බොහෝ දේ වැඩිවර්ධනයට දායක වූයේ අධිරාජ්‍යවාදීන්ගේ සංස්කෘතිය කෙරේ වු සහනශීලී ප්‍රතිපත්තිය නිසාය.


         සර් ජේම්ස්පීර්ස් වැනි බ්‍රිතාන්‍ය පාලනයේ අනුග්‍රහලත් ප්‍රභූවරයාගේ පුතනුවන් වු දේවාර් සූරියසේන වැන්නෙකු පවා දේශීය වන්නම්, ජන ගී, ආදිය කෙරේ වූ කැපවීම හේතුවෙන් සිය ජීවිතයේ ප්‍රධාන අරමුණු පවා දෙවනකොට තැකීය. ඒ සා විශාල කැපකිරීමකට ඔහුට පෙළඹීමක් ඇතිවූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී ය.
ධනය ඉපයීමම පරමය කොටගත් නව ලිබරල්වාදී සමාජයේ සංවේදී සියල්ල විනාෂවීම ස්වාභාවිකය. (ලංකා කෞතුකාගාරයේ සිදුවූ කඩු සොරකම් වැනි දේ බලන්න.)  අනතුරුව ඒ සියල්ල වෙනත් හැඩතලයන් ගෙන ලිබරල් ධනවාදයේම සහචර උපාංග වීම අප අද ඇස්පනා පිට දකිමු.අද දවසේ බුදු දහම , සංස්කෘතිය ඇතුළු සියල්ල පෙන්වා දෙන්නේ ඒ ගොරතර සත්‍යයයි.  (මේ සමග ඇති මහාචාර්්‍ය සසංක පෙරේරාගේ වීඩියෝවද නරඹන්න.)


         ජනගී මාලය නැමති මෙම තරුණයන්ගේ වෑයම කියාපාන්නේ රාජ්‍යයේද සහයෝගය නොමැතිව නටබුන් අතරින් උරුමය සොයා යාමට දරණ උදාර උත්සාහයකි. මෙවැනි උත්සාහයන් තවත් තිබේ. ප්‍රධාන ජනමාධ්‍ය මේවාට තැනක් දෙන්නේද නැත.


    -චන්ද්‍රරත්න බණ්ඩාර

Saturday 2 May 2020

සිංහල සාහිත්‍යවංශය







                පුඤ්චි බණ්ඩාර සන්නස්ගල විසින් සංග්‍රහ කරන ලද 'සිංහල සාහිත්‍යවංශය' කෘතිය මේ කොරෝනා සමයේ ගෙවන ගුහාගත ජීවිතයේ දෛනික කියවීම් අතර එකකි. බොහෝ පොත් කියවා හමාර කිරීමේ පිපාසයෙන් පෙළුනු යෞවන සමයේ මේ සාර ග්‍රන්ථය කියවා ඇතත් එහි මහිමාව ඒ හැටියෙන් අවබෝධ කරගැනීමට ඒ කියවීම ප්‍රමාණවත් නොවීය. මේ පොත කියවන අතර අප අතරින් වියෝවූ ධර්මසේන පතිරාජයන් පැරණි කලාවන් ගැන ලියූ සටහනක් මගේ මතකයට ආවේය.

           ' කාර්ය සාධන කලාවන්  වැඩවසම් යුගය හා බැඳී පැවති අන්දම මිනිස් වෙසින් අපට පෙන්වන ප්‍රබලතම ප්‍රකාශනයක් වූයේ නිත්තවෙල ගුණයා, සුරඹා, හීන්බබා ධර්මසිරි ඇතුළු පාරම්පරික නැට්ටුවන්ය. ඔවුන්ගේ රංගන තමන් ජීවත්වූ යුගයේ අන්තර්ගතයෙන් වියෝ කරනු ලැබුවද අපේම පාරම්පරික කලා තාක්ෂණයේ සූක්ෂමතාව,සංවේදිතාව සැබෑ උරුමයන් ලෙසින් අප වෙත ප්‍රදානය කරන රූපනයන්ය."
                                                                         -මනෝ රංග තීර්තකයා 185 පිට
                                                                           සංස්කරණය - බණ්ඩාර ඇහැලියගොඩ

          
               පතිරාජයන් පැරණි නර්තන කලාවන් ගැන කරන තක්සේරුව හා පැරණි සාහිත්‍යයට හා චිත්‍ර ශිල්පයට ද අදාළය. දේශපාලකයන්ගේ හා භික්ෂූන්ගේ කලාත්මක නොවන කාර්යයන් සඳහා පාරම්පරික නර්තනය තවමත්  පාවිච්චි වෙතත් ඒ විෂය තුළ එහි වර්ධනයක් වී නැති අතරම එකී කලාකරුවා කුල හා වෙනත් ආකාරවලින් අවමානයට ලක්කර ඇත.
           
             සම්භාව්‍ය පැරණි සාහිත්‍යයට ලැබී ඇත්තේ ඊටත් වඩා ශෝචනීය ඉරණමකි. එකී සාහිත්‍ය ධාරාව රස විඳීමට  රසිකයා නූතන සාහිත්‍ය රසවිඳින රසිකයාට වඩා එකී විෂය කෙරේ ඇල්මක්ද යම් පුහුණුවක්ද තිබිය යුතුය. එහෙත් මේ විප්‍රකාරී සමාජය තුළ එවැන්නෙක් බිහිවෙන්නේ නැත. පැරණි සාහිත්‍යයට නර්තනයට මෙන් උපයෝගී වටිනාකමක්ද ඒ හැටියට නැත.


          'සිංහල සාහිත්‍යවංශය' අනුරාධපුරපුර යුගයේ සිට කොළඹ යුගය තෙක් සාහිත්‍ය කෘති පිළිබඳ වංශාවලියකි. මෙහි කතුවරයා මේ ශතවර්ශාධිකකාලයක් තිස්සේ ලියවුණු කෘති සියල්ල මැනවින් පරිශීලනය කර ඇතුවා පමණක් නොව එකිනෙක සංසංදනාත්මකව විමසීමට තරම් සමත්වී ඇත.
     
         මේ කෘතිය මුද්‍රණය සඳහා දේශපාලකයන් පිටුපස යන්නට වූ කතාන්තරය සැකෙවින් මේ කෘතියෙහි කතෘ සටහනෙහි බහා ඇත.


         මේ මහා ග්‍රන්ථය අපගේ සාහිත්‍ය උරුමය වෙත හෙලන ආලෝක ධාරාව සුළුපටු නොවේ.  එහෙත් අපගේ පෞරාණික මහා සාහිත්‍ය උරුමය දැක බලාගැනීමට සමත් සමාජයක් හා රාජ්‍ය තන්ත්‍රයක් නැතිවීම කණගාටුදායකය.


       අධ්‍යාපන විෂය මාලාවෙන් සාහිත්‍ය විෂය ධාරාව ඉවත්කිරීම මේ අතීත කලාකෘති සමාජයට අහිමිකිරීමේ එක් ආරම්භයකි. වර්තමානයේ සෑම මසකම එක් සිකුරාදාවක් ජනාධිපතිතුමා විසින් භික්ෂූන් වහන්සේලාට වෙන්කර දී ඇත්තේ රටේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේලාගේ උපදෙස් ගැනීමට විය යුතුය. එහෙත් උන්වහන්සේලා භාෂාව හා සාහිත්‍ය කලාවන්ගේ පිරිහීම ගැනවත් ඒවා නගා සිටුවීම ගැනවත් ජනාධිපතිතුමාට උපදෙස් නොදෙන බව නම් සහතිකය.


         'සිංහල සාහිත්‍යවංශය' වනාහි ගෙවී ගිය සියවසේ බිහිවූ විශිෂ්ටතම සාහිත්‍ය වංශාවලිය බව මගේ හැඟීමයි.පැරණි සිංහල සාහිත්‍ය කෘති කිසිවක් නොකියවන්නෙක් වුවත් අතීත සිංහල සාහිත්‍යයේ රුව ගුණ මෙසේ යයි හඳුනා ගැනීමට මේ කෘතිය ප්‍රමාණවත්ය.


        බටහිර සමාජය පොදුවේ බටහිරට අදාළ අතීත සාහිත්‍ය කෘති විවිධ ස්වරූපයන්ගෙන් වර්තමානය වෙත ගෙනවිත් පවත්නා සජීවී කලා ව්‍යාපාරයේ වැදගත් ස්ථානයක පිහිටුවා ඒවා යාවත්කාලීන කර ඇත. ඒවා පොදු  ලෝක උරුමයේ කොටස් බවට පත්කිරීමට කටයුතු කර ඇත. ලෝක ජනතාවම බටහිර සාහිත්‍යයේ සාර්ථක කොටස්කරුවන් වී ඇත්තේ එහෙයිනි.


         එහෙත් අප නම් දැනුවත්වම අපේ පැරණි සාහිත්‍ය උරුමය අපගේ මතක ලෝකයෙන් පවා බැහැර කරමින් සිටී.
   
                                                                                          -චන්ද්‍රරත්න බණ්ඩාර

Monday 13 April 2020

ඩඩ්ලි සේනානායක ගුණානුස්මරණය වෙනුවෙන්




                  මේ ලියන අද ඩඩ්ලි සේනානායක හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මරණ දිනයයි. පශ්චාත් නිදහස් යුගයේ බිහි වූ යහපත් රාජ්‍ය නායකයා ද නීතියේ ආධිපත්‍ය කෙරෙහි විශ්වාසය තැබූ හොඳම නායකයකුද ලෙස ඩඩ්ලි සේනානායක මහතා කැපී පෙනේ. ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව අභ්‍යාස කළේය. 1953 හර්තාලයේදී මුල්ඔය වත්තේ කම්කරුවකු වූ කන්දසාමි සහෝදරයා පොලිස් වෙඩි පහරකින් මිය ගියේය .ඒ මරණයෙන් ඉක්බිති රැස්වූ පළමු පාර්ලිමේන්තුවේදී කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන් සහෝදරයා වේගවත් කතාවක් කරමින් එසමයේ අගමැතිවරයා වූ ඩඩ්ලි සේනානායක හැඳින්වූයේ මිනීමරුවෙකු ලෙසය.  එහිදී සේනානායක  මහතා සංවේදී වෙමින් කඳුළු සැලූ බව පාර්ලිමේන්තු ඉතිහාසය සටහන් වේ. ඉනික්බිතිව ඔහු සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් පවා ඉවත් විය.
 මේ කොරෝනා සමයේ ලොක්ඩවුන් වී සිටින හෙයින් බොහෝ වැඩ රාජකාරි බහුල උදවිය නිදහසේ එක්තැන්වී සිටිති. එසේ  සිටින අප මිත්‍ර ලාල් විජේනායකයන් පැවසූ ඩඩ්ලි ගැන කතාවකි මේ.
1960-65 රජයේ විපක්ෂනායකවරයා වූයේ ඩඩ්ලි සේනානායක මහතාය.  ලාල් විජේනායක මහතා එවකට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු විය. එදවස ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් දේශනයකට පැමිණි ඩඩ්ලි සේනානායක මහතා විශ්වවිද්‍යාල කලාගාරයේ දී සිය දේශනය පැවැත්වීමට සූදානම් විය. එහෙත් දේශනය සිදු වන අතරතුර ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක බාධාකාරී ඝෝෂාවන් නිසා එතුමාට සිය කටයුත්ත නිසි පිලිවලට කිරීමට නොහැකිව දේශනය අතර මැද නවතා දැමීමට සංවිධායකයන්ට සිදුවිය . ඉක්බිති කලාගාරයේ පසුපස දොරෙන් ආරක්ෂිතව සේනානායක මහතා ඉවතට ගෙන යාමට සංවිධායකයන්ට උවමනා වුවත් එතුමා ස්ව අභිමතය පරිදි ශිෂ්‍යයන් සමගම ඉදිරිපස දොරින් පිටවී යාමට පැමිණියේය . එහිදී විරෝධතා දැක්වූ සිසුන්ගේ කායික හිංසනයන්ට (රහස් පෙදෙස මිරිකීම ආදී) ලක්වීමට එතුමාට සිදුවිය.
මෙම  අශෝභන සිදුවීම  ආරංචි වූ එවකට උපකුලපති සර් නිකුලස් ආටිගල වහා එතනට පැමිණියේ කෝපයෙන් ගැහෙමින් ය. සර් නිකුලස් ආටිගල සේනානායක මහතාගේ හිතවතෙක් ද  ඥාතියෙක් ද විය. සර් නිකුලස් වහාම ක්‍රියාත්මක වෙමින් හිංසන ක්‍රියාවේ යෙදුණු ශිෂ්‍යයන් තිස් ගණනකගේ පන්ති තහනම් කොට දඬුවම් පමුනුවන ලදී.  විශ්වවිද්‍යාල  අවසන් විභාගයට මුහුණ දීමට සිටි විජය වික්‍රමරත්න පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ කොටකදෙනිය ආදීන්ද මේ පන්ති තහනමට ලක්වූ හිෂ්‍යයන් අතර සිටියා්ය.
 මේ උද්ගතවූ තත්වය ගැන කලබලයට පත් ශිෂ්‍ය සංගමය පන්ති තහනමට ලක්වූ සිසුන්ට සමාව දෙන්නැයි ඉල්ලා සිටියත් සර් නිකුලස් ආටිගල එම ඉල්ලීම කිසිසේත්ම කනකට නොගත්තේය.
අවසන එකල විශ්වවිද්‍යාලයේ සමසමාජ,කොමියුනිස්ට්,මහජන එක්සත් පෙරමුණු  ශිෂ්‍ය නායකයන් විපක්ෂ නායකවරයා හමුවී පන්ති තහනමට ලක්වූවන්ට සමාව දෙන ලෙස ඉල්ලා සිටීමේ බලාපොරොත්තුවෙන් කොළඹ ගියේය. සේනානායක මහතා සමග සබඳතාවක් සකසා ගැනීමේ අරමුණින් පළමුව ශිෂ්‍ය නායකයන් තිදෙනා ගියේ කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සම සමාජ පක්ෂ කාර්යාලයටයි. ඒ සමසමාජ නායක ඇන් ඇම් සහෝදරයාගේ පිහිට බලාපොරෝත්තුවෙනි.  ශිෂ්‍ය නියෝජිතයන් කාරණය පැහැදිලි කරනවාත් සමගම කෝපයට පත් ඇන්.ඇම්. ' විශ්වවිද්‍යාලයකට පැමිණ දේශපාලන නායකයෙකුට නිදහසේ තම අදහස් දැක්වීමට ඉඩ නොදීම මොනතරම් අශෝභන දැයි පවසා ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත.  බලාපොරොත්තු කඩවූ  සිසුන් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය නියෝජිතයාගේ මෙහෙයවීමෙන් කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට ගොස් පක්ෂයේ ලේකම් පීටර් කේනමන් මහතා හමුවී තිබේ. එහිදීද ශිෂ්‍ය නායකයන් වෙත ලැබුණු උත්තරය ඇන්.ඇම්ගේ  උත්තරයට දෙවැනි නොවීය.  බලාපොරොත්තු කඩනොකරගත් සිසුන් තිදෙනා අවසාන උත්සාහය ලෙස පාර්ලිමේන්තුවේදී තෙමේම විපක්ෂනායකවරයා හමුවීමට උත්සාහයක් ගත්තෝය.  අද මෙන් නොව මහජන ගැලරියට බාධාවකින් තොරව මහජනයාට නිදහසේ  යාමට හැකි යුගයකි ඒ.  පාර්ලිමේන්තුවේ තේ විවේකයට සභාව කල්තබන විට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා විපක්ෂ නායකවරයාට කාරණය සැලකොට සහනයක් ලබා ගැනීම ශිෂ්‍යයන්ගේ අරමුණ විය.  ඒ සඳහා කල් මරමින් සිටි සිසුන් යලිත්වරක් දුටු ඇන්.ඇම්. ම මැදිහත්වී ඩඩ්ලිට කාරණය පවසා ශිෂ්‍යයන්ට එතුමන්ව මුණගැස්වීය.
සිදුවු හිරිහැරය තමාට විනෝදයක් වූ බව පැවසූ සේනානායක මහතා එවේලේම සර් නිකුලස්ට කතාකොට අදාළ හිෂ්‍යයන්ට එවැනි දඬුවමක් නොදෙන ලෙස ඉල්ලා සිටියේලු. එහෙත් එවේලේ සිසුන් තිදෙනා අමතා සේනානායක මහතා පවසා ඇත්තේ 'තවත් කිසිකෙුට මෙලෙස අතවර කොට ලැබෙන දඬුවමින් බේරා ගැනීමට තමා හමුවට නොඑන' ලෙසයි. විශ්වවිද්‍යාලය යනු කාගේත් අදහස්වලට ඉඩක් ලබාදිය යුතු තැනක් නොවේදැයි එතුමා හිෂ්‍යයන්ගෙන් විමසා ඇත.
පසුවදා සිට පංති තහනමට ලක්වූ සිසුන්ගේ දඬුවම සර් නිකුලස් ආටිගල උපකුලපතිවරයා විසින් ඉවත් කොට තිබේ.
ඩඩ්ලිගේ මෙවැනි සංවේදී ගුණාංග සමාජය විසින් වටහා ගත් බව ඔහුගේ මරණය වෙනුවෙන් ගොනුවූ මහජන හෝකයෙන් සැබෑවටම සනාත විය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ යහපත් ගුණාංග අගයමින් ඒ අනුව සිය දේශපාලන ජීවිතය පවත්වාගෙන ගිය හොඳ පාර්ලිමේන්තුවාදියෙකි ඩඩ්ලි සේනානායක මහතා. එතුමා තරම් හොඳ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු මෙරට බිහිවූයේ නැති බව මගේ අදහසයි.

Saturday 11 April 2020

කොරෝනාවෙන් පසු ලෝකය






         මේ ලියන අද පරණ අවුරුදු දිනයයි. වෙනදා ලංකාවේ අපේ ඇත්තෝ පරණ අවුරුදු දා හැසුරුණු විදිහට නෙවෙයි අද හැසිරෙන්නෙ. නගර වශයෙන්, ගම් වශයෙන්, නිවෙස් වශයෙන් ලොක්ඩවුන් වෙලා. අපි නොතකා හැරිය ජීවිතයට අදාල සංස්කෘතික නියාමනයන් හේතුවෙන් මේ ලොක්ඩවුන් ජීවිතයට අර්ථයක් සොයාගැනීමේ අපහසුව විවිධාකාර වේශයන්ගෙන් ආරංචි වශයෙන් සමාජයේ පැතිරෙනවා. ප්‍රේමයෙන් ඔබ්බේ විවාහ ජීවිතය තුල අවුරුද්දකින් දෙකකින් එහාට අතීතයේ එක්කල ස්නේහයට පැවැත්මක් නොමැතිව ලතවෙනවා. ගෘහස්ත ප්‍රචංඩත්වය වැඩිවීම ඒ සඳහා හොඳ උදාහරණයක්.


          අපගේ සංස්කෘතික ක්‍රියාධරයන් සිය සක්‍රිය ජීවිතයේදී අපේක්ෂාවන් වෙත හඹා යාම තවදුරටත් පුරුදු වේගයෙන් කළ නොහැකි අරුම පුදුම විරාමයක් ගත කරමින් සිටින්නේ. තමාගේ පැරණි පිංතූර, තමා සන්තක පොත පතෙහි පිංතූර,පලකරමින් තම ජීවිත මතක නිස්කලංක මනසකින් සටහන් කරමින් මේ ලොක්ඩවුන් ජීවිතය ගෙවා දමනවා. තමන්ගේ සක්‍රිය ජීවිතයේ වැඩකට නොගත් නමුත්  සිය ආත්මය තුල  'අහිංසකකම' සුරැකිව පවතින බවට මේ සියල්ල හොඳ උදාහරණ. මට හිතෙන විදිහට කොරෝනාවෙන් පසු අපට විවෘතවන නව ලෝකයට මේ යාවත්කාලීන කරගන්නා අහිංසකකම පුයෝජනවත් වේවි.


            මේ ලොක්ඩවුන් සමයේ අපේ අතීතයේ සුන්දර තැන් සොය සොයා සුමුදු ලෙස පිරිමදිමින් ඇතුලට හැරුනු ජීවිතයක් ගතකරන අතරේ වෛරසයම වාසියක් කරගනිමින් අපේ රට නව දේශපාලන රටාවකට දැනුවත් පිඹුරුපතක් සැකසෙමින් තිබෙනවා. ඒ සඳහා පදනම් දේශපාලන බලවේගයේ මතවාදී ආයුධ ගබඩාව පන්සල්වල හෝ වෙනත් තැනෙක ස්ව කැමැත්තෙන් ලොක්ඩවුන් වී සිටිනවා.බලය ලබාගන්නා තෙක් පමණක් ප්‍රයෝජනවත් වූ ඒ වාචාල දේශප්‍රේමී උසිගැන්වීම් බලය ලබාගත් දේශපාලන ප්‍රවාහයකට තවදුරටත් වැදගත් නැති 'වැඩ අලකරන" බලවේගයක් පමණයි.
  
            එකිනෙකා කාකොටා ගනිමින් අසපු, සමන්ත්‍රභද්‍රලා අවසන් වශයෙන් සිය අනුගාමී මහ සෙනගට ඒත්තු  ගැන්වූයේ එක දෙයක්. ඒ එක දෙය දේශපාලනිකව ශක්තිමත් වි බලය බවට පත්වී තිබෙනවා.
කොරෝනා වෛරසය අස්සේ ලොක්ඩවුන් වූ ජීවිත ආණ්ඩුවේ හා ආණ්ඩුවට ලැදි මාධ්‍ය ඔස්සේ පමණක් තොරතුරු ලබාගනිමින් සිටියදී තවමත් පවතින දුබල ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂන පවා මිරිකා හරින අධිපතිවාදයක්  ඒ පිඹුරු පත්හි සැකසෙමින්  පවතිනවා.


          කැපවීමෙන්  දේශපානීක නොවූ එහෙත් සිය සිය සංස්කෘතික ජීවිතයේ කොටසක් ලෙස දේශපාලනයට සංනව්දී වූ පිරිස්වලට අප ආරධනා කරන්නේ ලංකාව තුල සිදුවන මෙම නව පෙලගැසීම් ගැන  සංවේදී වන ලෙසයි.


කථිකාචාර්ය සුමිත් චාමින්දයන් විස්තර කරන'කොරෝනාවෙන් පසු අපට හමුවන අනාගත ලෝකය' මේ සියලු තත්වයන් බැරෑරුම්ව හඳුනාගතහැකි අගනා ලිපියක්. එය පහත ලිංකුවෙන් කියවන්න.
https://agamya.lk/blog/9139-2020-04-11-10-57-49?fbclid=IwAR3zCnGh7fXbyHGFFj_0TmKnULp2Ta5ZTyLEBj-QCje_VOqL19cfM-bZEj0

Tuesday 24 March 2020

ආචාර්ය නිරිමාල් රංජිත් දේවසිරි

නිර්මාල් මම දන්නේ 80 දශකයෙ මුල් භාගයෙ ඉඳං. එකට කාපු බීපු නිදා ගත්ත අතීතයක් අපට තිබුණා. කිසිම මතවාදයක වැඩිකලක් එල්බ නොගත් ඔහු අත්හදා බැලීම සඳහා හෝ විශ්වාස කරන නිසා කිසිදු අවදානමක් නොතකා සංවිධාන සමග අත්වැල් බැඳ ගත්තා.ඔහු දැන් තබන පේස් බුක් සටහනුත් ඇතුලුව ඔහු ලියු ලිපි එකතුව මැනවින් පරීක්ෂා කළහොත් ඔහු යමක් සොයා යන්නෙක් මිස යමක් සොයා ගත්තෙක් නොවන බව පෙනේවි. දැන් ඔහු සිටින්නේ බෝසතුන් ආලාරකාලාම , උද්දකරාම පුත්ත ගෙනුත් හෙම්බත් වී තමන්ම සත්‍යය හොයන අවධියට සැපත්වූ බෝසතුන් වගේ. මට නම් වැටහෙන්නේ ඔහු බෝසතුන් මෙන් අජපල් නුග රුක අසලම  සිටිනවා විනා බුදු කෙනෙකු ලෙස එතනින් නැගිටගත නොහැකි බවයි. මක් නිසාද යත් ඔහු 'පරම සත්‍යය' ඔහු කිසිදාක සොයා නොගන්නා නිසාය. ඔහු තමන් අතීතයේ  හරි යයි සිතූ තැනක යලි අත නොහැර එතනම  නැවතී සිට තමන්ගේ කුණක් කිලුටක් නැති ආචාර්ය උපාධියද  උපයෝගී කරගෙන එයම නිවැරදි යයි ඒ ඇසුරින් තවතවත් ප්‍රවාද ගොඩ නැගුවා නම් නිර්මාල් දැවැන්ත උගතෙකු ලෙස බුහුමන් ලබනවා මෙන්ම දැවැන්ත ධනවතෙකුද වනවා නිසැකය.


එහෙත් සිය ඇත්ත විෂය වන ඉතිහාසය අරබයා නම් නිර්මාල්ට ඉහත කරුණු අදාළ නැත. මෙතෙක් අප මත පැවරුණු ලාංකීය ඉතිහාසය පුරෝකතනය කිරීමේ කඩඉමකට සමාජයක් වශයෙන් අපි පැමිණි සිටිමු. ඉන්දියානු ඉතිහාසය නැවත ලිවීමේ දී රොමිලා තාපර් වැන්නන් පුරෝගාමී වූ ඒ කටයුත්තට නායකත්වය ගත හැකි ඉතිහාසඥයා ආචාර්ය නිරිමාල් රංජිත් දේවසිරි යයි මම සිතමි. ඒ සඳහා ඔහුට ඇති සුදුසුකමට හොඳම සාක්ෂිය ඔහුගේ ලිපි සරණියක් රැගත් 'ලංකාවේ ඉතිහාසයඃ දෟෂ්ටිවාදී විචාරයක්' කෘතියයි. එහෙත් ඔහු අනවශ්‍ය වාද විවාදවල , සාහිත්‍ය ජූරි සභාවල කල් ගත කරමින් කාලය නාස්ති කිරීම නවත්වා  තමන්ට හිමි කටයුත්ත කිරීමට හිත යොමුවීම අපේ වාසනාව හෝ අවාසනාව මත රඳා පවතී.

Saturday 21 March 2020

කොරෝනා කාලේ හුදකලාව





         ජීවිතයේ අනෙක් සගයා වූ මරණය කඩුල්ල පනිමින් සිටී. මේ ගතවෙන නිමේෂය වනාහි ජීවිතය හා මරණය අතර දුරේ මධ්‍ය ලක්ෂ්‍යයෙන් ඔබ්බේ පිහිටි මරණය දිසාවට ලෝක ප්‍රජාව කිට්ටු වෙමින් සිටින සමයකි. පන්සල් පල්ලි වසා දමමින් දෙවියන් නිරෝධායනයට යවා ඇත. මෝඩකම හා තක්කඩිකම එකට මිශ්‍ර වූ පූජකයන් සිරීපාද කන්ද මරණයේ ගොල්ගොතාවක් කර ඇත්තේ අපේ ශිෂ්ටත්වය යළි ප්‍රශ්න කරමිනි.දැන් පෙනෙන හැටියට අපේ රටේ මිනිස්සු ජීවිතය ගැනවත් මරණය ගැනවත් ඒ හැටි වද නොවෙමින් තමා ගිලී සිටින ආශාවේම ගොදුරු බවට පත්වන සැටියකි. ලෝක යුද්ධයේදි ලෝකයම මර උගුලකට දැක්කවීමට දායක වූ ඉතාලිය ඊට 75 වසරකට පසුව ඒ දායකත්වයට එරෙහි වූ අහිංසක මිනිස්සු මරණයේ දොරටුවෙන් ඇතුලු වෙමින් සිටී.මරන බය දැනෙන මොහොතේ ජීවිත ආහාව දුක් විඳින හැටි මා අත් දැක්කේ 87-89 යුගයේදීය.ඒ දුර්දාන්ත තෙවසරට දායක වූ දෙගොල්ලෝම අද ජීවිතය වෙනුවෙන් පෙනී සිටී.


             වසා දැමූ නගරයක දොස්තර බර්නාඩ් රියෝ වසංගත ආසාදිතයන් වෙනුවෙන් පෙනී සිටිමින් පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ අරගලයට සහාය වන ලෙසයි. ඔහුට එය නොලැබුණි. මහාමාරිය නවකතාවේ තත්වයන් ලංකාවට සාකල්‍යයෙන්ම සැසඳෙන සැටියකි. ඇල්බෙයා කැමූ වැනි පරිපූර්ණ ලේඛකයෝ තුන් කල් දැක්කේ මීට දශක හතකට පමණ පෙරය.


            මහාමාරිය කියවූ අප එවැනි ව්‍යසන ඉතිහාසයට පමණක් හිමියයි සිතුවෙමු. කොලරාව, එබෝලා, සාර්ස් කලාපීය වශයෙන් පැමිණ මිනිසාගේ ප්‍රඥාවේ මහිමයට හසුවී පසුබැස ගියේය. එහෙත් මිනිසාගේ ප්‍රඥා මහිමය අවධි වන්නට පෙරම කොරෝනා ලෝකය අත්පත් කරගෙන හමාරය.


             මැලේරියාවෙන් පසු ඇති වූ වසංගත වැඩි හරියක් මිනිසා විසින් සොබා දහමේ ක්‍රියා කලාපයට ඇහුන්කම් නොදීමේ හා මිනිසාගේ ඉවක් බවක් නැති ආශාවේ අසීමාන්තික අන්තයට ළඟාවීමේ ප්‍රථිපලයකි.
ජීවිතයේ හා මරණයේ පරිමාව දෙකම නොහඳුනන මිනිස්සු තමා ගිලී සිටින ආශාවේ පරිමානයට සෞඛ්‍ය නීති  නොපිළිපදිති.

Monday 13 January 2020

මනෝ:රංගන විෂය අලුතෙන් ලියූ 'ගැමි දරුවා'






පේරාදෙණිය සමකාලීන විද්‍යාර්ථීන් අතරින් පැන නැඟුණු 'ගැමි දරුවෝ" නම් සංවිධානයක මනෝද උද්යෝගිමත් සාමාජිකයෙකු විය. මනෝ වැනි පිටිසරින් පැමිණි දරුවෝ මේ සංවිධානයේ අනෙකුත් සාමාජිකයන් වූහ. ඒ 'ගැමිකම' ඒ විශේෂ කුලකයේ අනන්‍යතාව විය.
සමකාලීන නාට්‍යකරුවන් අතරින් පැනනැඟුණු '80 කණ්ඩායම' නම් සංවිධානයේ ද මනෝ උද්‍යෝගිමත් සාමාජිකයෙකු විය. 80 දශකයේ නාට්‍ය පුනරුදයේ ලොකු භූමිකාවක් 80 කණ්ඩායම ඉටු කළේය. උද්‍යා්ගයකිනුත් නව දැක්මකිනුත් යුත් මෙම සංවිධානයේ සාමාජිකයන් මිස නායකයන් නොසිටියේය.80 කණ්ඩායම මගින් නිෂ්පාදිත නාට්‍යයක් වේදිකාතරණයට පෙර මෙහි සාමාජිකයන්ගේ විචාරයට භාජනය වී සංස්කරණය වීම සුලබ සිදුවීමකි.බොහෝවිට නාට්‍යයේ නම පවා සංස්කරණයට භාජනය විය. 'සොල්දර ගෙදර' සිහින සාප්පුව වන්නේත්, පියා සහ පුතා 'පුත්‍ර සමාගම' වන්නේත් ඒ සාමුහික වෑයමේ ප්‍රථිපල ලෙසිනි. මේ සාමූහික ශික්ෂණයක්  යටතේ නිෂ්පාදනය වූ 80 කණ්ඩායමේ නාට්‍ය බොහොමයක් ප්‍රේක්ෂක -විචාරක ප්‍රතිචාර සමෝසේ ලැබූ අද දක්වාමත් යළි යළි නිශ්පාදනය වන නාට්‍යයන් බවට පත්ව තිබේ.
මනෝ යනු ස්වකීය අනූපම ප්‍රතිභාවෙන්ද විවිධාකාර ශාස්ත්‍රීය කුලකයන්ගේ ඇසුරෙන්ද සුවිශේෂී ශාස්ත්‍රවන්තයන්ගේ ඇසුරින්ද සමෝසේ පෝෂණය ලැබූ අප්‍රමාන කලාකරුවෙකි. අනේකාකාර විලෝපයන්ගෙන් අද මෙන් විනාශ නොවූ එහෙයින් 'ගැමිකම' ලෙස යමක් මනාව හඳුනාගත හැකි සමයක නුවරඑළියේ හඟුරන්කෙත ,දෙහිපේ පසුගිය සියවසේ මැද භාගයේ උපත ලද මනෝ ඒ මන්දාරම්පුර කඳුකරයෙන් බැස පේරාදෙණිය, කොළඹ මෙට්රොපොලිටනය හා අනතුරුව ලෝකය පුරා ඇවිද යමින් උකහා ගත් දැනුම සම්භාරය දැනුවත්ව සිය රංගනය උදෙසාත් සිය අනෙකුත් නිර්මාණ උදෙසාත් යොදා ගත්තේය. මනෝ සිය දීර්ඝ තීර්ථ යාත්‍රාවේ දී උකහාගත් හා ලැදිව හැදෑරූ සියල්ල ශාස්ත්‍රීය ලෙස ගොනුකොට ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගත්තේය. මන්දාරම්පුර ප්‍රත්‍යන්ත ගම්මානයකින් බැස ආ කුලෑටි යෞවනයා සිය දිවිසැරිය නිමකරන විට උකහා වර්ධනය කරගත් දැනුම ද, අප්‍රමාණ ප්‍රතිභාව ද  සහිත අසමසම රංගධරයෙකු ද තත් විෂයයෙහිලා අසමසම ශාස්ත්‍රවන්තයෙකු ද විය.
80 දශකයේ අග භාගයේ ආරම්භ වූ ලාංකීය සමාජයේ දේශපාලන සංස්කෘතික සමාජ හා දේශපාලනික බිඳ වැටීමේ අනියත ප්‍රථිපලයක් ලෙස දිවයින පුරා රඟහල් බොහෝ ගණනක් වැසී ගියේය. වේදිකාවන්හි දුඹුටු හා මකුළුදැල් බැඳිනි. එහෙත් මනෝ එයින් උකටලී නොවී වසරකට හෝ දෙකකට වරක් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එසේ නැත්නම් නාට්‍යයේ තරම මිස නාට්‍යකරුවාගේ තරම නොබලා අනෙකෙකුගේ නාට්‍යයකට රංගනයෙන් දායක වෙමින් රටපුරා ගියේය.
මනෝගේ රංගනය ඔස්සේ ප්‍රහර්ශයට පත් නොවුනු සිංහලයෙකු ඇත්නම් ඒ අතළොස්සකි. මනෝගේ සමුගැන්මෙන් හිස්වන වේදිකාව තුළ පවා අනාගතයේ දී මනෝ පතුරුවාලූ සුවඳ විහිදෙනු ඇත.
දශක තුනහමාරක් පමණ තිස්සේ මනෝගේ විචිත්‍ර මිත්‍රත්වයේ ගුණ සුවඳ විඳි අපට ඔහුගේ කායික හැර යාම අපගේ වැඩිහිටි ජීවිත කාංසාවෙන් බර කරන බව නම් ස්ථිරය.
-චන්ද්‍රරත්න බණ්ඩාර