Wednesday 13 September 2023

චූලා

 



අවදානමක් බාරගැනීමට ඇති බැරි පුළුවන්කම් ඔහුගේ 

/ඇයගේ ජීවිත විලාසය තීන්දු කරන්නේය යන්න මා විශ්වාෂ කරන දෙයකි. අවදානමක් බාරගැනීමට අසමත් සමාජ දේශපාලනික ක්‍රියාකාරිකයන්ගෙන් තමා ව්‍යාවෘත ක්ෂේත්‍රයට ඒ හැටි දායකත්වයක් නොලැබෙන්නේය. දේශපාලන ක්ෂේත්‍රයේ දී වමේ ක්‍රියාධරයෝ එදත් අදත් අඩු වැඩි වශයෙන් අවදානමක් බාරගැනීමට සූදානම්ව ඒ ධාරාව තෝරාගත් උදවිය ලෙස මම සලකමි.. 

චූලානන්ද සමරනායක දේශපාලනය උදෙසා අවදානමක් බාරගත් ඒ නිසාම අනේක අයුරින් ශාරීරිකවමත් වදහිංසාවලට ලක්වූවෙකි.

71/89 අරගල නිසා මාරාන්තිකව වදහිංසාවට ලක්වීම නිසාම  නැවත එවැනි අන්තරාවන්ට මුහුණ නොදීම උදෙසා ඇතමුන් නිහඬ හෝ ඇතැම් විට තපස්වර ජීවිත විලාසයක් තෝරා ගනිති.

එහෙත් චූලා එසේ නොවී නිර්භය හා සත්‍යගරුක බව ජීවිතයේ අරුත ලෙස වටහා ගෙන එය ම ප්‍රගුණ කරන්නේ යැයි මට සිතේ.

මම එවැනි නිර්භීත මිනිසෙකු නොවන නිසාම චූලා නම් සහෘදයාගේ ජීවිතයට වඩාත් ගරු කරමි. 

චූලා, අර්ථදායී අනාගතයක්  වෙනුවෙන් වෙහෙසෙන ඔබට දීර්ඝායු  වේවා!

Friday 8 September 2023

හද සක් චාරිකා / Heart Chakra

 


මා සුමිතුරන් වන සම්පත් දිසානායක හා ආචාර්ය ප්‍රමෝද් කඳනාරච්චි සුසංයෝගයෙන් බිහිවූ Heart Chakra නවකතාවේ සිංහල පරිවර්තනය -හද සක් චාරිකා- අද මවෙත තැපෑලෙන් ලැබුණි. එහි පරිවර්තිකාව සුනේත්‍රා අලුත්දුන්න සාහිත්‍ය වේදිනියයි. එය ලැබුණු අද දිනම පොත කියවන්නට ආරම්භ කළේ දිගු කලක් තිස්සේ මේ කෘතිය ගැන සම්පත් සහ ප්‍රමෝද් සමග කතා බහෙන් ඇතිවූ කුතුහලය නිසාමය. 


සම්පත් හා ප්‍රමෝද් ලෝකය ඥානනය කරන්නේ පරස්පර ආකාර දෙකකිනි. ඒ ආකාර දෙකට සම්ප්‍රයුක්තයක් සොයා ගැනීම යනු දුෂ්කර මෙන්ම විචිත්‍ර ක්‍රියාන්විතයකි. ඒ සම්ප්‍රයුක්තය හරියට ඒ දෙදෙනාට මැදි වූ මං වගේය. මම ලෝකය ඥානනය කරන්නට වඩා කැමති ප්‍රමෝද් මෙන් භෞතික තාර්කිකත්වයක මං පෙත් ඔස්සේය. එහෙත් වසරකට වරක් සම්පත් පැමිණ මසකට ආසන්න කාලයක් අප සමග නතර වී නව දැනුමකින් මාව පෝෂණය කර ආපසු යයි. ඒ යන විට ඔහු එන විට සිටි මම තරමක් වෙනස් වී ඇතැයි සෑම වසරකම මට සිතේ. 


පාසල් ජීවිතයේ සිට කලාව, දේශපාලනය, විශ්වාෂ පද්ධතීන් ,අභ්‍යාවකාෂය ජනාවාස කිරීම දක්වා බොහෝ දේ ඒ කාලය තුල අපි සාකච්ඡා කරමු. සම්පත්ගේ පුවත් දැනුම අති විශාල එකකි. ඒවා ඔහු විග්‍රහ කරන්නේ ප්‍රමෝද් මෙන් භෞතිකවාදී ආකාරයකට නොවේ. කොහොමත් මේ දෙයාකාර දැනුම ගබඩා දෙක වඩා හොඳින් කිවහොත් පරස්පර දාර්ශනිකත්වයන් දෙක සාර්ථක සම්ප්‍රයුක්තයක් සොයා ගෙන ඇත.  ඒ Heart Chakra  නවකතාවය. සුනේත්‍රා අලුත්දුන්න මහත්මිය සිය අගනා බස් වහරින් සිංහල පාඨකයාට ඒ අපූරු නවකතාව ගෙනවිත් ඇත.

මෙම කෘතිය සිංහල පාඨක සමාජය මැනවින් වැළඳ ගනු ඇතැයි මම විශ්වාෂ කරමි.

-චන්ද්‍රරත්න බණ්ඩාර 

Wednesday 6 September 2023

කපිල කුමාර කාලිංග මධුර මතක....




ජීවිතයෙන් හැත්තෑ වසරක්ද වෘත්තිීය කලාකරුවෙකු ලෙස පනස් වසරක්ද ගෙවා දමන කපිල කුමාර කාලිංග දිවි වියමන සමරන 'මධුර මතක' එළඹෙන සැප්තැම්බර් 9වනදා බණ්ඩාරනායක සමරු රඟහලේ දී මුලුගැන්වේ.


 එය ඔහුට මෙන්ම යම් අයුරකින් ඔහුගෙන් අනුප්‍රාණය ලැබූ අපට ද වැදගත් සැමරුමකි. කපිල මට/අපට  තුන් ආකාරයකට හමුවෙයි. ඒ අපේ පාසලේ වැඩිහිටි ආදිශිෂ්‍යයෙකු, මහනුවරින් බිහි වූ දීප්තිමත් බහුශ්‍රැත කලාකරුවෙකු සහ තමන්ටම අනන්‍ය කලා භාවිතාවක් නඩත්තු කළ ශ්‍රී ලාංකික කලාකරුවෙකු ලෙසිනි. මේ තුන් ආකාරයෙන්ම ඔහු අපට බලපෑම් සහගත විය. ප්‍රැන්සිස් කාලිංග නම් වූ ඔහුගේ කීර්තිමත් පියා චිත්‍රඥයෙකු ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බුහුමනට ලක්වූවෙකි. ඔහු සතු සුවිසල් පුස්තකාලය අප දැක ඇත්තෙමු. සංවිධිත ලෙස කලාව සඳහා ප්‍රවිශ්ට වීමට ඔහුගේ පියා මෙන්ම මේ පුස්තකාලය ද කපිලට හේතුවන්නට ඇතැයි මට සිතේ.

අප පාසල් වියේ දී කඩවසම් තරුණ කපිල නගරයේ දී අපට හමුවන්නේ අත රැඳු පොත් දෙකක් සමගය. ඒ බොහෝ විට මහනුවර ඩී.ඇස්. සේනානායක මහජන පුස්තකාලයෙන් ගත් පොත්ය. මා අසා ඇති පරිදි  කපිල එකී පුස්තකාලයේ ආරම්භක සාමාජිකයන් පස් දෙනාගෙන් කෙනෙකි. ඒ පුස්තකාලයේ සාමාජිකයෙකු වීමට මගේ ආශාව වර්ධනය කළේ ද ඔහු විසිනි. එහෙයින් මගේ කියවීමේ ආශාව දැල්වූ කෙනෙකි කපිල කුමාර කාලිංගයෝ.

කපිල මට පාසලේ දී ශිෂ්‍යයෙකු ලෙස හමු වී නැත. එහෙත් ධර්මසේන පතිරාජලාගේ අවධියෙන් පසු පාසලෙන් බිහිවූ විශිෂ්ඨම සාහිත්‍යධරයා ලෙස කපිල පිළිබඳ මතකයක් පාසල විසින් නඩත්තු කරමින් තිබිණි. අපට අනුප්‍රාණය සැපයූවේ ඒ මතකයයි. අප විසින් 'සිනෙරු කලා සංසදය' නමින් සිනමාව ප්‍රධාන කරගත් කලා සංගමයක් ආරම්භ කළ පසු කපිල රචනා කළ 'සොල්දර ගෙදර' නාට්‍ය පිටපත සංසදයේ වැඩක් ලෙස නිශ්පාදනය කරන්නට බලාපොරොත්තු වුවත් පුහුණුවීම් පවා කෙරෙමින් තිබිය දී මූල්‍ය හෝ වෙනයම් නොහැකියාවක් නිසා එය වැළකී ගියේය. එහෙත් පසුකාලීනව වැඩිවර්ධනය කළ ඒ පිටපත නීල් අලස් විසින් 'සිහින සාප්පුව' ලෙසින් නිශ්පාදනය කෙරිණි. ඒ නාට්‍ය නිශ්පාදනය කරගැනීමට අපට වූ නොහැකියාව ඒ පිටපතට වාසනාවක් ගෙනාවා යයි මට සිතේ.

කපිල යනු අබිබවනය නොකළ හැකි අනන්‍යතා ගුණ සහිත සාහිත්‍යධරයෙකි. ඔහුගේ කෙටිකතා විශාල ප්‍රමාණය, නෙළුම්පොකුණ නාට්‍යය, පියැසි කවුළුව නවකතාව, ගුවන් විදුලි රඟමඬලයන් සහ  ඔහු රචනා කළ ගීත වැඩි ගණනක් කපිල සන්නාමයට සාක්ෂි වනු ඇත.  කවර ලයක් ඒ කෘති තුළ කපිල විසින් පවත්වාගෙන ගියේ ද යන්න හඳුන්වා දීමේ නිශ්චිත ශාස්ත්‍රීය බහුශ්‍රෘත භාවයක් මා සතුව නැත. ඔහු තෝරා ගන්නා බොහීමියානු චරිත බොහීමියානු අන්දර බොහීමියානු භාෂාවකින් කරන වියමන තවෙකෙකුට අත්පත්කර ගනු නොහැකිය යන්න මගේ අදහසයි. 

නාවිකයින්, ජේත්තුකාර එහෙත් පරිහානියට පත් සිය අතීත ශ්රී විභූතිය නඩත්තු කරන ඉංග්රීසි උගත් බර්ගර්වරු, විශ්රාමික රජයේ සේවකයන්, ආදිය ඔහුගේ නවකතා කෙටිකතා ගුවන් විදුලි රඟමඬල ආදියේ පාත්ර වර්ගයාය. ඔහුගේ ගීත බොහෝ ගනනක ප්රේමය තරම්ම මෘදු ලෙස බස හසුරුවයි. ඒ ගීතවත් බස මද පවනක් සේ අපව වෙලා ගනී.
ඔහු අධ්යක්ෂනය කරමින් නිශ්පාදනය කළ රයිනෝසිරස් , ඔහු රචනා කොට නිමල් ඒකනායක විසින් නිෂ්පාදනය කළ 'උක්දඬු ගින්න' මා දුටු කපිලගේ නාට්යමය නිපුනතාවයන්ය.
ද්වි භාෂා උගතෙකු ලෙසත් අඛණ්ඩව කියවීමෙන් හා හැදෑරීමෙන් ඔප මට්ටම් වූ නිර්මාණ ප්රතිභාවකින් ද යුත් කපිල කුමාර කාලිංග අඩ සියවසක් තිස්සේ ශ්රී ලාංකික කලාවට කළ මෙහෙවර අගයන මේ මොහොතේ මම ඔහුට සුබ පතමි.