Saturday 25 September 2021

හේමන්ත අරුණසිරිගේ ඡායාරූපමය සාක්ෂරතාවයේ ගැඹුර


 ගාර්ෂියා ලෝකාගේ නාට්‍යයක් ඇසුරෙන් තැනුනු 'නියගලා ප්‍රේමය' නාට්‍යයේ පූරකගේ භූමිකාව රංග භූමිය මත දිග හැරෙන මොහොත, හේමන්ත අරුණසිරි ඡායාරූප වේදියා ඔහුගේ රූපමය පරිකල්පනය ඔස්සේ අපට ප්‍රදානය කරන අයුරු වටහා ගැනීමට මේ සමග ඇති ඡායාරූපය පමණක් වුව ප්‍රමාණවත් ය.  මම 'නියගලා ප්‍රේමය' නාට්‍යය නරඹා නැත. බලන්නට අවස්ථාවක් ලැබේදැයි පවා සැක සහිතය. එහෙත් එම නාට්‍ය නොනැරඹීම අඩුවක්ව මගේ රසාත්මක අවකාෂය කනස්සලු කරන්නට මේ ඡායාරූපය පොළඹවයි.

හේමන්ත ඉතා දියුණු ඡායාරූප ශිල්පියෙකි. ඒ දියුණුව වනාහි ශිල්පීය බවෙහි  මෙන්ම කලාත්මක බවෙහි මනා සුසංයෝගයකි.

මනා ආලෝකකරණයෙන් පිරිපුන් රංග භූමිය මත රඟන සඳ ට පැවරූ පූරක භූමිකාවට පණ දෙන නිළියකි. හේමන්ත විසින් ඇගේ රංගනය ඡායාරූපමය අවකාෂයක රඳවමින් නාට්‍යයෙන් බැහැරට ගෙන ගොස් නව ආත්මයක් ලබා දෙයි. එය වනාහි අවස්ථාව ඡායාරූපයට නැගීමට සපුරා වෙනස් කාර්යයකි. ඇයගේ පයෝධර යුග්මයට පහතින් සමරූපී සෙවැනැලි යුග්මය වෙත අපේ  අවධානය පළමුව ලක්වේ. එතැන් සිට අපගේ ඡායාරූප හා චිත්‍ර පිළිබඳ දැනුම ඇසුරින් අප සතුවූ යම් භාවමය රසයකින් යුතුව අප සමස්ත චිත්‍රය අපගේ පිනවුම් උපකරණයක් එසේ නැත්නම් වස්තුවක් බවට පත්වේ.


හේමන්තගේ ඡායාරූප බහුතරයක් තුළ ශිල්පීය ගුණය හා කවිත්වය (කලාත්මක ගුණය ලෙස මා කලින් හැඳින් වූ දෙයට සුදුසුම වචනය මෙය විය යුතුය.) පරෙස්සමට මුසුවු පීදිමක් නැත්තම් පරිපාකයක් දක්නට තිබේ. 

මේ කොරෝනා සමයේ වැඩි වශයෙනුත් ඊට මද කලකට පෙර පවා තමන්ගේ හෝ අනුන්ගේ ඡායාරූපයක් වෙනුවෙන් හේමන්ත ලියන කවිය ඔස්සේ අපගේ සිත යොමු කළහොත් ඔහුගේ ඡායාරූපමය සාක්ෂරතාවයේ   විපුලත්වය සොයා ගැනීමට හැකිය. ඔහුගේ කාව්‍යමය චින්තාවන් විසින් අනුප්‍රාණය ලබන ඡායාරූපමය ඇස මෙවන් නිර්මාණ වලට පාදක හේතු වන්නේ යයි මට සිතේ.

හේමන්තගේ ඡායාරූප ලෝකයට යා යුතුය. ඒ සඳහා කවර ක්‍රමවේද පාවිච්චි කළ යුතු දැයි මම නොදනිමි. එහෙත් ඒ ගැන සොයාබැලීමට මටද සිතේ. 

-චන්ද්‍රරත්න බණ්ඩාර 

Wednesday 22 September 2021

කලියුගය ද?..යුගාන්තය ද?



දහම මියගිහින්

ප්‍රජාතන්ත්‍රවාදයත් එහෙමයි.

මිනිසත් කමේ අහු කොන් ටිකක් විතරක්

සැරිසරනවා තැන් තැන්වල

නැවත උපතක් සොයමින්...


හෙට කියන දිනය 

අද දවසේ පරාවර්තනයක් නොවේවා..


හෙට කියන දවස 

අද දවසේ ප්‍රති පක්ෂයම වේවා!


බවුන් වඩන්නට පාමුලක් නොවන තාක් කල්

බෝ ගසක් මිස බෝ මැඩක් නොවේ ඒ ගස.


අටලෝ දහම නොදන්නා

කරුණා ගුණය ඖෂධයක් සේ නොගන්නා

 වෙද දුරෙක් සිටිය හැකිද?


යකදුරෙක් වෙදදුරෙක් වූ ලෝකයක 

දහම මිය යනවාමයි..

ඉනික්බිති හැම යහපත් දේම 

රෝගී වෙනවාමයි.




Tuesday 21 September 2021

එහෙත් හෙට සිට?


 

ඒ තුමුල කඳු මුදුනත

ජීවිතය නම් වූ මහ පදාසය

සාරාංශ කොට තබා 

ගව් ගනන් පහළට පැමිණියෙමි.


ඒ කන්ද,

සිරීපාදයටත් වඩා

පිදුරුතලාගලටත් වඩා

අපේ ගම් පියස මායිම් වෙන

බොල්ගොඩ, දූල්ලෑව කඳුවලටත් වඩා උස්

මහාමේරුවේ සොහොයුරෙකු වැන්න.


ඒ සාරාංශය තුළ 

දරු පෙමද, එකිනෙක ගැහැණුන්ට හා පිරිමින්ට දැක් වු

ආදරයේ ස්වරූපයන් ද,

එකිනෙක සමීපව තැන්පත් කෙළෙමි.

අමතක වීමකින්දෝ 

සාරාංශය තුළ,

 ජීවත්වීමට ඇවැසි

සියල්ල ළඟ ළඟින් 

තැන්පත් කොට පහළට පැමිණියෙමි.


ඉතින්,

ගමන් වෙහෙසට අද දවස වෙන් කරමි.


එහෙත්,

හෙට සිට?


චිත්‍රපටය නැරඹීමේ ආශ්වාදමය සාරාංශය)

Thursday 16 September 2021

ඔහු පිය මනින ශබ්දය


 

ඔහු පිය මනින ශබ්දය ඇසෙන තුරු මම බෙහෙවින් වෙහෙසට පත්ව සිටියෙමි. සිව් දශකයක් ගෙවී ගොසිනුත් ඒ පියවර තබන හඬ මට දැන් වාගේ මතකය. ඇතැම් විට ඒ මතකය මගේ මරණ මංචකය තෙක් ම ඇතැම් විට ඉන් එහාටත්........? ඒ පියවර මනින පුද්ගලයා රැගෙන එන්නේ මා සොයන ජීවිතය බව මම දැන සිටියෙමි. දොරකඩට පැමිණ ඔහුගේ වසඟකාරී සිනාව ලෝබකමින් යුතුව මුදා හරින විට මං තැවුල් ගත්තෙමි. ඒ සිනාව තුළ තිබුනේ අනුකම්පාව කෙළෙහිගුණ වැනි මනුස්ස ගුණ මිස ප්‍රේමය නොවේ යයි මට සිතේ. ඔහු මා ළඟින් වාඩිවී ඔහු ඉස්සර වෙන තුරු මම බලා සිටියෙමි. එතෙක් මගේ හද බිතෙහි පටල පිලිස්සුම් සුවඳ මට දැනී මම බියපත් වී මි. එහෙත් ඔහු ඉස්සර වූයේ නැත. 

මම ආදරයෙන් මුසපත් වි ඇති බවත් එයම මා මරණය කරා ඉක්මනින් ගෙන යනු ඇති බවත් පැවසීමි. එවිට ඔහු තැති නොගත්තේ ය. පෙර පරිදිම සිය ආත්ම ධනයක් වු වසඟකාරී සිනාවෙන් බිඳක් පෑවේය. ඔහු වෙතින් හමා ආ දේශීය  සබන් සුවඳක් ඔහුගේ ආත්මීය සුවඳ ලෙස අනන්‍ය වී මා මුසපත් කළේය. 

මා මෙන්ම බොහෝ දෙනා මේ මිනිසාට වසඟ වෙන බව මම දැන සිටියෙමි. එවිට ඇති වූ ඔහු කෙරේ ඇති වන ලෝබකම මට දරා ගත නොහැකි තරම් ය. ඔහු කෙරේ වන මගේ උමතුව වටහා නොගන්නා කුරිරුකම මේ මලක් වන් සිතක් ඇති සාරධාර්මික මිනිසා පවත්වාගෙන යන්නේ කෙසේද?

මගේ ගර්වය පසෙකලා මම ඔහුගේ දකුනු අත ගෙන මගේ හදවත ඇති පැත්තේ තබා ගත්තේ ඔහුට මගේ හද රිදුම් හඬ ඇසෙන්නට සැලැස්විය යුතුය යන එවේලේ පැන නැඟුනු අනියත හැඟීම නිසාය.

ඒ අත ගොරෝසුය. එහෙත් ඔහු සියුමැලිය. ඔහුගේ උපන් උරුමයක් වූ රන්වන් පැහැය අව්වේ වැඩ කිරීමෙන් දීප්තිය අඩුවී ඇත. මහපොළොව සමග පොර බදන මොහු කාරණා තේරුම් ගන්නා විලාසය අරුමැසිය දනවයි. 

-නොකී කතාවක්

I was very tired until I heard the sound of his footsteps. Four decades later, I still remember the sound of those steps. Maybe that memory lasts until my deathbed, maybe even beyond that ........? I knew that the person measuring that step would bring the life I was looking for. I sighed as he came to the door and greedily released his seductive smile. I think that smile was a human quality like compassion, not love. He sat next to me and I waited for him to get ahead. Until then, I could feel the burning smell of the film on my heart wall and I was scared. But he was not before.
I told him that I was in love and that it would soon lead me to death. Then he did not panic. As before, he smirked at his self-possessed smirk. The scent of local soap wafted from him, identifying as his subjective scent, engulfed me.
I knew that many like me were addicted to this man. The lust for him that ensued was too much for me to bear. How can this flower-like-minded moral man maintain the cruelty of not understanding my madness towards him?
Aside from my pride I took his right hand and held it to the side of my heart because of the erratic feeling that arose at the time that I should make him hear my heartbreaking voice.
That hand is rough. But he is subtle. His birthright, the golden hue, has diminished in brightness from working in the sun. The way he wrestles with the earth and understands things is amazing.
-Noki story