Wednesday, 24 June 2026

70 දශකය තවමත් ජීවමානය...තරුණය...

 




 




\


මා මේ දිනවල තෝරා බේරාගෙන සවන්දෙන්නේ චන්ද්රරත්න මානවසිංහගේ ගේය පද සහිත ගීතය. ඒ ගීත රචනා සඳහා භාවිත බසෙහි විදග්ධබව හා බුහුටිබවේ සංකලනය කිසිවකුට දෙවෙනි වන්නේ නැතැයි මට සිතේ. මානවසිංහ 60 දශකය ආලෝකවත් කළ ප්රමුඛ ගීත රචකයාය. භාෂාව කෙලෙසීම පාපයක් ලෙස සැලකූ එසමයේ භාෂාව පදනම් කරගෙන ලේඛනයේ යෙදුණු සියල්ලෝම පාහේ සිංහල බස නොකෙළසීමට වග බලා ගත්හ. මානවසිංහ ප්රමුඛ 60 දශකයේ ගීත රචකයෝ බොහෝ දෙනෙකු සිංහලයේ ගැබ්වුණු ධ්වනි ගුණය හා ගීතවත් බව මැනවින් යොදා ගනිමින් සිය නිර්මාණ කාර්යයෙහි යෙදුණා යයි මම සිතමි.
60 දශකයේ ගීත රචනා අරබයා වූ මේ සද් ගුණය 70 දශකයටත්, යම් දුරකට අසූව දශකයටත් බලපෑවේය. මට මෙම කාරණා මෙනෙහි වූයේ පසුගිය 20 වන සෙනසුරාදා මෙහි පැවැත්වුණු වෙනස් ආරක සංගීත ප්රසංගයක් නැරඹීමට අවස්ථාව ලැබුණු හෙයිනි. එය 60 දශකයේ හෝ 70 දශකයේ බසෙහි ලාවණ්ය ගුණය නිරූපණයට මනා උදාහරණ නොවුණත් බස නොකෙලසූ එහි ධ්වනි ගුණය නිරූපිත, එමෙන්ම සංගීතයේ සරල මධුර බව කැටිවුණු ගීතාවලියක් විය.
ඒ ප්රසංගය නම් කර තිබුණේ '70's Legends' ලෙසිනි. ප්රචාරක විධීන්ගේද තිබුණේ ඒ යුගයට සරිලන හැඩයකි. ශිල්පීන් ලෙස පැමිණියේ ඇනෙස්ලි මාලේවන, ඉන්ද්රානි පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි නියෝජනය කරමින් පවන් මල්ලවාරච්චි හා කොරීන් අල්මේදාය. මෑත ඉතිහාසයේ ටොරොන්ටෝ නුවරට මෙවැනි සංගීත ප්රසංගයකට සහභාගි වූ සැලකිය යුතු තරම් විශාල රසික පිරිස 70' Legends ප්රසංගයට සහභාගි වී යැයි සිතේ.
මෙම ප්රසංගයේ ප්රමුඛ ගායක ගායිකා දෙපළ වන ඇනස්ලි හා ඉන්ද්රානි බොහෝ සෙයින් අබල දුබලව සිටි අතර වේදිකාවට පැමිණියේද ආපසු ගියේද සහායකයින්ගේ ආධාරයෙනි. එහෙත් ඔවුන් වේදිකාව අපූරුවට හැඩ කළහ. ගායන හැකියාවට වයස හෝ දුබල බව කිසිදු බලපෑමක් කර තිබුණේද නැත. ඔවුන් සියලු ගීත ගායනා කළේ මතකයෙනි. තුන් වෙනුවට ගායනය සඳහා පැමිණි පවන් මල්ලවාරච්චි 'මධු මල ලෙස මුදු' ගීතය ගැයීම සඳහා දුරකතන තිරය භාවිතා කිරීමට අවසර පතමින් පැවසුවේ, ''මට වයස විසි අටයි. සිංදුව මතක නෑ. ඒත් අර අයට හැත්තෑ පහ පැනලා. ඒත් ඔක්කොම සිංදු කිව්වෙ මතකයෙන්. කොහොමද ඒ කාලෙ බඩු වැඩකරන හැටි?" යනුවෙනි. යුග දෙකක කැපවීමේ වෙනස පවන්ගේ එකී ප්රකාශයේ සඳහන් වෙතැයි සිතමි.
මා මුලින් සඳහන් කළ 60 දශකයේදී චන්ද්රරත්න මානවසිංහ, අමරදේව, සුනිල් ශාන්ත ආදි සියල්ල විසින් උද්දීප්තිමත් කළ සිංහල ගීතයේ ආනුභාවය හැත්තෑව අසූව දශකවල සරල ගීතයට හා කණ්ඩායම් ගීතයට පවා බලපා ඇතැයි සිතේ.


Tuesday, 9 June 2026

ආචාර්ය එම්.යූ.ඒ.තෙන්නකෝන්



 



එම්.යූ.ඒ.තෙන්නකෝන් විද්වතා සමඟ ටී.ඇම්.ජී. චන්ද්‍රසේකර පවත්වන මේ සාකච්ඡාව හැකි සෑම අයෙක්ම නරඹන ලෙස මා ඉල්ලා සිටින්නේ ඉතා ඕනෑකමෙනි. 

ගමෙන් කොළඹටත්, කොළඹින් ටොරොන්ටෝවටත් පැමිණි ගමනේදී මා ගෙන ආ ග්‍රන්ථ ත්‍රිත්වයකි.

1. නියඟය හා ගොවියා- එම්.යූ.ඒ.තෙන්නකෝන්

2.සිවුර සහ නඟුල - රණවීර ගුණවර්ධන

3.සොක්කන් ලොක්කන් වූ වගයි- කුමාරි ජයවර්ධන

ලංකා සමාජයේ ගතිකයන් සෑහෙන ප්‍රමාණයක් වටහා ගැනීමට මේ කෘති මට උපකාර  විය.

අද උදැසන අවදි වූ විටම ඇස ගැසුණු ආචාර්ය තෙන්නකෝන් සමග ටී.ඇම්.ජී. කළ සාකච්ඡාව දවස අර්ථවත් කරන්නට බොහෝ සෙයින් නියමිතය. ඒ එතුමාගේ වඩාත්ම සාකච්ඡාවට බඳුන්වූ' නියඟය හා ගොවියා' කෘතිය පළමු වරට කියවූ දා සිට විවර වුණු නව ලෝකය මෙනෙහි කරන්නට එමඟින් හැකිවීමය. 'නියඟය හා ගොවියා" කෘතිය කියවූ පසුව මම ඔහුගේ දේශන පැවැත්වූ බොහෝ තැන්වලට ගොස් අසා සිටියෙමි. මහවැලි නිලධාරීන් හා ගොවීන් පුහුණු කරන සැසිවාරවලදී මම එකී කෘතියෙන් කරුණු උපුටා ගත්තෙමි. කොටින්ම කියන්නේ නම් එවැනි දේශන පැවැත්වීම සඳහා ආත්ම ශක්තිය වඩවා ගැනීමට මට මෙම කෘතිය බෙහෙවින් උපකාර විය. පසු කලෙක මගේ යෝජනාවක් අනුව මහවැලි කේන්ද්‍රය සංවිධානය කරන ලද වාර්ෂික 'මෛත්‍රීපාල සේනානායක අනුස්මරණ දේශන' මාලාවේ පළමු දේශකයා ලෙස තෝරා ගනු ලැබුවේද ආචාර්ය තෙන්නකෝන්ය. 


දේශප්‍රේමියා යන්න පසුකාලීනව දේශපාලකයන් හා ජාතිවාදීන් විසින් තොරොම්බල් නොකරන්නට ආචාර්ය තෙන්නකෝන් පමණක් නොව ආචාර්ය ජයවර්ධන හා ආචාර්ය ගුණවර්ධනද එවැනි අභිවාදනයකට සුදුස්සෝය.

ටී.ඇම්.ජී.කරන මෙවැනි සාරවත් වැඩසටහන් අද අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. ජාතික නාලිකා මෙවැනි වැඩසටහන් ගැන අවධානයෙන් තොරය.

මෙම වැඩසටහනේ ආචාර්ය තෙන්නකෝන් පවසන චිත්‍රය සහිත මා සතු වත්කමක්ව පවතින 'නියඟය හා ගොවියා' කෘතියේ කවරය මෙසේ දක්වමි.

පහත ඇති ලින්කුවෙන් ටී.ඇම්.ජී.චන්ද්‍රසේකර,  ආචාර්ය තෙන්නකෝන්  සමග පවත්වන සාකච්ඡාව නැරඹිය හැකිය.