Thursday, 26 December 2024

ඇනා කැරනිනා

 


අද නත්තල් දිනයේ 'ඇනා කැරනිනා' කෘතිය කියවා අවසන් කෙළෙමි. පොත් බොහෝ ගණනක් කියවීමේ පිපාසය තිබූ මීට වසර හතළිහකට පමණ කාලයේ මෙම නවකතාව කියවීමෙන් නොලද රසයක් මම දැන් ලැබීමි. ජීවිතයේ අත්දැකීම් බහුල මේ වැඩිහිටි ජීවිතයේ එම කියවීම තමා වෙත පිවිස තමාම යළි කියවා ගැනීමට හැකියාව ලබා දුන්නා සේය. පොතක් ජීවිතයේ විවිධ අවධිවලදී කියවන විට දැනෙන වෙනස් ආශ්වාදය අත්විඳ බලන ලෙස මම ඔබට ඇරයුම් කරමි.
ලෝකයේ විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතාවක් ලෙස ඇනා කැරනිනා සම්භාවනාවට පත්වේ. එය මානව හැසිරීම් පිළිබඳ බහු විධ පැතිමාන උගන්වන සරසවියක් බඳුය. ඇනා කැරනිනා නවකතාවේ සියළුම චරිත 19 වන සියවසේ රැසියානු ප්‍රභූ තන්ත්‍රයට අයත් වූවෝ වෙති. ඒ ප්‍රජාව ඇසුරෙන් මුළු මිනිස් සංහතියේ මානව හැසිරීම පිළිබඳ දැනගැනීමට කවුළුවක් තැනීමට ටොල්ස්ටෝයි සමත්වේ. බොහෝ දෙනා පවසන්නේ මෙහි ලෙවින්ගේ චරිතය ටොල්ස්ටෝයි තමාගේම ජීවිතය ඇසුරින් තනාගත් බවයි. ඔහු සාරධාර්මික හා සත්‍යගරුක හා දාර්ශනික එළඹුමකින් තමාගේ අභ්‍යන්තරයත් තමා අවට ලෝකයත් බලන්නටද තැත් කරයි. ජීවිතයේ සාරත්වය මෙන්ම අසාරත්වයත් එක්වර භුක්ති විඳිමින් සතුට හා සංතාපය එකවර අත්විඳියි.
මේ සියළු චරිත සම්මිශ්‍රණයෙන් පූර්ව විප්ලවීය රුසියාවේ සමාජය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි. ඇනා, රොයින්ස්කි, ඔබිලොවින්ස්කි, ඩොලී, කිටී, ලෙවින්, කැරනින් මහතා ආදි සියළු චරිත තනි තනිව ගෙන බැලුවහොත් ඒ චරිත වැඩිගණනක් විසින් ප්‍රකට කරන චර්යාවන් තනි අපටද ආගන්තුක නැත. ඇනා බලාපොරොත්තු වන ප්‍්රෙමය ඔස්සේ වන විමුක්තිය බොහෝ ගැහැණුන්ට පොදුය. පළමු ආකර්ශණයෙන් සිය ජීවිත රසායනය වෙනස් කරගෙන සියලු මානව ධර්මතා එයට යටපත් කරමින් රොයින්ස්කි ගත් පියවරයන් සම්මතය එක විදිහකටත් සම්මතය අබිබවා ගිය මානව හැඟීම් තව විධියකටත් විනිශ්චයට ලක්කරයි.
ඇනා කැරනිනා ටොල්ස්ටෝයි අතින් ලියවෙන්නේ 1873-1875 කාලයේය. ඒ තරම් දුරාතීතයක ලියවුණු කෘතියක් සියවස් එක හමාරකට පසුවත් ලොව ඉහළම කෘතියක් ලෙස සම්භාවනාවට පත්වේ.
එක්දහස් නවසිය අෂූ ගණන්වල රාවය සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් සඳහා මම කිවියර පී. මලල්ගොඩයන් මුණගැසුණෙමි. එම නිවසේ ඇනා කැරනිනාගේ විශාල ආලේඛ්‍ය චිත්‍රයක් බිත්තියේ එල්ලා තිබුණි. ඒ අපූරු සිතුවම ඔහු ගෙනවිත් තිබුණේ සෝවියට් රුසියාවෙනි. ඇනා කැරනිනා නවකතාව මෙවර කියවන විට ඇනාගේ රූපය මසිත සකස්වුණේම යටකී ආලේඛ්‍ය චිත්‍රය ඇසුරිනි. දැනුත් එසේමය.

*මාරියා ගාර්ටුන්ග් (Maria Gartung)
සුන්දරත්වයෙන් හා බුද්ධියෙන් අනූන, එවකට උසස් සමාජයේ ප්‍රසිද්ධියට පත්ව සිටි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ දියණිය වන මාරියා ගාර්ටුන්ග් , ඇනා කැරනිනා චරිතය නිර්මාණය කරගැනීමට ටොල්ස්ටෝයි විසින් උපයෝගී කරගත් බව පැවසේ.

මානව ආධයාත්මය පිළිබඳ විශ්වවිද්‍යාලය...ඇනා කැරනිනා....
-----------
ඇලෙක්සි ඇලෙක්සැන්ඩ්‍රියෙව්
ඔබ නිවැරැදිය
ඒ මහා කරුණාවට
ආගමක් තැනිය හැකි‍ය.
ගල් හිතක් යැයි කියූ උදවිය
එය ගෙ!රවයෙන් පිරුණු ‍ හිත
වෙඩරු පිඩක් යැයි හිතන විට
ඇනා ගල් ගැසුණු විදිහටම
ඔය ඔක්කොම ගල් ගැසේවි..ලැජ්ජා වේවි
මරණය යහපතැයි සිතාවි. 
See less

Wednesday, 18 December 2024

පියාසර සමය- ඉතිහාසය අමතක නොවණු පිණිස


 


චන්ද‍්‍රරත්න බණ්ඩාරගේ අලුත්ම නවකතාවේ නාමය වන ‘පියාසර සමය’ ගැන ඉතාම සරලව අර්ථ ගන්වන්නේ නම් ‘පියාසැරීමේ කාලය’ (නැතහොත් පලායාමේ කාලය ලෙස වුවද ) ගතහැකිය. එය තමන් විඳි අත්දැකීම් ආඛ්‍යානය සමඟ සම්බන්ධ කරන්නට පාඨකයාට අවකාශයක් පිරිනමන, සිතුවිලි අවුළුවනසුලූ, නවකතාවකි. එයට පදනම් වන්නේ, ශ‍්‍රී ලාංකිකයින් ලෙස අප සජීවීව අත්විඳි, ඉතා නුදුරු අතීතයේ සමාජ දේශපාලන යථාර්ථයන්ය. රචකයාගේ පූර්ව කෘතිය වූ ‘පේ‍්‍රමානිශංස’ අදාළ වසරේදී, හොඳම නවකතාව උදෙසා ‘ස්වර්ණ පුස්තක’ සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හා ගොඩගේ සම්මානය දිනාගති. පසුගිය සැප්තැම්බරයේදී (2024) එළි දුටු ‘පියාසර සමය’ ‘පේ‍්‍රමානිශංස’ සමඟ තේමා සාම්‍යයක් දරන අතර ශ‍්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීම් ඇසුරු කරගනිමින් ප‍්‍රබන්ධ කෙරී ඇත. කෙසේ වුව, වැදගත් කරුණ වන්නේ විප‍්‍රවාසීන්ගේ සාහිත්‍ය නිර්මාණ ශානරයට එය එක්කරන දායකත්වයයි.

ප‍්‍රබන්ධකරුවා ප‍්‍රධාන චරිත දෙකක් නිර්මාණය කරමින්, එම චරිත ඔස්සේ ජීවිතයේ යම් යම් ඉසව් පිළිබඳ අවලෝකනයක් ගෙන එයි.

චමත් යනු ‘අරගලය’ තුළ සක‍්‍රිය වීම හේතුවෙන් රටින් පලා යන්නට සිදුවීම මත, සරණාගතයෙකු ලෙස කැනඩාවට ඇතුළු වූ තරුණ උපාධිධරයෙකි. ඕනෑම මොහොතක සිදුවිය හැකිව තිබූ අත්අඩංගුවට ගැනීමෙන් ගැලවීමට, රටින් පිටවීමට ඔහුට බල කෙරුණු බව කතාවෙන් කියවේ. ඔහු අසීරුවෙන් මුදල් සොයා ගන්නේ තම මවගේ ගැඹුරු ඇල්මකට ලක්ව තිබුණු පාරම්පරික ඉඩමක් උගසට තැබීමෙනි. මිලංකා, සිය විවාහය නිසා මෙන්ම, ශ‍්‍රී ලාංකේය දේශපාලනයේ බලපෑම් සහගත තැනැත්තියක වූ සිය මව නිසා නිල දේශපාලන බැඳීම් සහිත වූවද, නිදහස් මතධාරී විශ්වවිද්‍යාල ආචාර්යවරියකි. සිය සැමියා වන පුෂ්පේ දූෂිත දේශපාලනඥයෙකුව සිටියදී හදිසියේ පැන නඟින දේශපාලන උද්ගතයන් හේතුවෙන් මිලංකාද ශ‍්‍රී ලංකාවෙන් පිටවන්නීය. පිටුවහල් ජීවිතයේ තත්ත්වයන් මෙන්ම, කෙනෙකු විප‍්‍රවාසී ජනකණ්ඩායමක (ඩයසපෝරාවක) කොටස්කරුවෙකු වන අයුරුද, මෙම චරිත දෙකේ අත්දැකීම් තුළින් නවකතාව කියාපායි. තවද විප‍්‍රවාසී සාහිත්‍යයට පොදු ‘අවශෝෂණය වීම’ නැතහොත් ‘සමානත්වයට පත්වීම’ බඳු තේමාවක්ද නවකතාවෙන් විදාරණය කෙරෙන්නේ , එම චරිත නව ජීවිතවලට හුරුපුරුදු වන ආකාරයන් විමසමිනි.

මිලංකා හා චමත් එන්නේ වෙනස් සමාජ පරිසර දෙකකින් වන අතර, කතුවරයා ඔවුන් තුළින් ශ‍්‍රී ලංකාවේ සමාජ දේශපාලනික සංදර්භයේ යම් අංශයන් ගවේෂණය කරයි. කෘතියේ ආඛ්‍යානය සාවධාන ස්වභාවයේ පවතිමින් චරිත ගැඹුරක් සහිතව ගොඩනැගෙන අතර කතුවරයා ඔවුන් ජීවිතයට ගෙන එන්නේ සියුම් තතු ඔස්සේ ඔවුන්ව යථාරූපී වීමට ඉඩහරිමිනි.

චමත් ලාබාල වියේදීම, වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙකු වූ සිය පියාගෙන් ලද ආභාසය ඇත්තෙකි. එනිසා ඔහු ශිෂ්‍ය ව්‍යාපාරවල නියැලූණා සේම ‘අරගලයේද’ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරයි. අත්අඩංගුවට පත් වුණු හා හිරිහැරයට ලක්වුණු, චමත් බඳු, ක‍්‍රියාකාරිකයන් ගැන කතාවේ විස්තර කෙරේ. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයේ මෙම සමය පිළිබඳ පසුබිම් කතාවක් ප‍්‍රබන්ධයෙන් කියැවෙන අතර, ලෙහෙසියෙන් නිරීක්ෂණය නොවන නිශ්චිත මූලයන් අනාවරණය කරන්නට ප‍්‍රයත්න දැරේ.

මිලංකා තම පියා කවුදැයි නොදන්නා දැරියක වූ අතර, තම මව වූ ලැටීෂියා විජේවික‍්‍රම පමණක් දැන සිටි ඇය, යම් පමණකට රැකවරණය හා වරප‍්‍රසාද සහිත ජීවිතයක් ලබා සිට ඇත. ආරම්භයේදී ඇය කවුරුත් දන්නා, කාගේත් ආදරය දිනූ, විශ්වවිද්‍යාල විද්වතියකි. මිලංකාගේ චරිතය ප‍්‍රවේශමෙන් ගොඩනැංවෙන අතර චන්ද්‍රරත්න බණ්ඩාර, ඔහුගේ පෙර නවකතාවේ දී පාඨකයින්ට හමු වූ රූපයේ, බුද්ධියේ හා ශක්තියේ සුසංයෝගයක් වූ ස්ත‍්‍රී පරමාදර්ශය මෙහිදී ද නිර්මාණය කරයි. මිලංකා, සිය පුද්ගලිකත්වය හා තමන්ට පිළිගත නොහැකි දෙයට විරුද්ධවීමට තිබූ හැකියාවක් මත, පුෂ්පේට තද බල ප‍්‍රතිවිරෝධයක් දක්වයි. සැබැවින්ම ඇයගේ අසම්මත ගුණය, පාඨකයාට නවකතාව අවබෝධ කරගැනීමට බලපාන රූපකයක් බවට පත්වෙයි. කෙසේ වෙතත් ඇය උපරිම ලෙසම ප‍්‍රතිපත්ති මතම පදනම්වන්නියකි.

විජේවික‍්‍රම මහත්මිය ගුප්ත චරිතයකි. ඇගේ චරිතය හැඩගැසී තිබුණේ ‘හෙටේරා’ (්‍Hetaera) මාදිලියටය. හෙටේරා යනු පුරාණ ග‍්‍රීසියේ පෙරික්ලීස් :ඡුැරසජකැි* නම් රාජ්‍ය නායකයාට කාමාස්වාදය හා සතුට, සහනය සැපයූ ඉහළ පංතියේ පේ‍්‍රමනීය විලාසිනියක ආකාරයටය. ඇස්පේසියා (්Pericles) පෙරික්ලීස්ගේ ප‍්‍රියතම සහයිකාව වූ බවත් ඇය පුරාණ ඇතැන්සයේ රන් යුගයේ ඉහළින්ම බලපෑම් සහගතව සිටි බවත් කියැවේ. විජේවික‍්‍රම මහත්මියද විස්තර කෙරෙන්නේ, දේශපාලන භූමියේ මෙහෙයවීම්, වෙනස් කිරීම් කළ විශ්වාසවන්ත, බලගතු ගැහැනියක ලෙසිනි. එහෙයින් ඇයද පැරණි ග‍්‍රීක හෙටේරාවන් සේම. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගමනට අදාළව වැදගත් භූමිකාවක් පණගන්වන්නීය.

පුෂ්පේ මෑතකාලීන දේශපාලනඥයාගේ සංකේතයයි. බැබළුමක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකුගේ තත්ත්වයේ සිට අපේක්ෂා සහගතව ගොඩනැගුණු හෙතෙම අප දන්නා අශෝභන, දූෂිත, ප‍්‍රතිපත්ති විරහිත, සාමාන්‍ය දේශපාලනඥයාගේ මාදිලියට රූපාන්තරණය වන්නේ වේගයෙනි. අහිංසක ඇරඹුමක් සහිත වූ ඔහු හැඩ වැඩ ගන්වා, කල එළි බස්වන්නේ දේශපාලන රණබිමේ බලවන්තියක වූ විජේවික‍්‍රම මහත්මියයි. අරමුණු සහගතව හා සැලකිල්ලෙන් යුතුව චරිත හඳුන්වාදීම හැරුණු විට, චන්ද්‍රරත්න බණ්ඩාරගේ ලේඛනයේ සිත්ගන්නාසුලූ ලකුණක් නම් සත්‍ය චරිත හා සිද්ධි ප‍්‍රබන්ධයට සංයෝජනය කිරීමයි. වත්මන් පරපුර විසින් අමතක කරන ලද බ්‍රෙස්ගර්ඩල් (Bracegirdle) හා බාබරා සන්සෝනි (Babara Sansoni) ඇතුළු බොහෝ පුද්ගලයින් ගැන සඳහන් වන අතර, කලාකරුවන්ට දිරිය හා උපකාරය සැලසූ අයෙකු ලෙස ඔවුන’තර ප‍්‍රකට, සමාජයේ ආදරයට බෙහෙවින් පාත‍්‍ර වූ හැරල්ඞ් පීරිස් වැනි අයෙකුට ප‍්‍රබන්ධය තුළට එන්නට ඉඩහසර සැලසෙනුයේ නවකතාව පාඨකයාට සැබෑ හා සජීවී අත්දැකීමක් කරවමිනි. එයට අමතරව කතාකරුවා ආගමික, සාහිත්‍යයික, ඓතිහාසික, කලාත්මක හා සංස්කෘතික තේමාවන්, පාඨයන් කෘතියට මුසු කරන්නේ, පාඨකයින්ට ඒවා නිරායාසව විඳින්නට අවකාශ සලසමිනි.
කියුබා සංචාරය ආරම්භය දක්වා මෙන්ම එම සංචාර කාලය විස්තර කෙරෙන අවස්ථාවලදී පාඨකයා, කතාව හා බැඳී සිටින්නට පෙලඹෙන්නේ, යුතු හෙයින්ම එහි ලා සඳහන් කෙරෙන කලා හා සාහිත්‍යයික කාරණා නිසාවෙනි. ජෝසේ මාටි හා ඔහු නමින් ඉදිකෙරුණු ස්මාරකය, එහි පසුබිම් කතාව ආදිය මෙතනට එන්නේ කතාවේ ආකෘතිය තුළ වැදගත්කමක් අත්කරගන්නා සේ ස්ථානගත වෙමිනි. ෆී‍්‍රඩා කාලෝ, ට්‍රොට්ස්කි මෙන්ම දියාගෝ රිවෙයිරා ද සඳහන් වන්නේය. පාඨකයාට කියුබාව හා අපේ මව්රට අතර සමාන්තරයන් මඟ හැර යා නොහැක්කේ දෙරටම බලගතු රටවල කිවිසුමකින් පවා පීඩා විඳින හෙයිනි.
සමස්තයක් ලෙස නවකතාව විෂයයකට අදාළ කලාත්මක අවශ්‍යතාවක් සපුරමින් තෘප්තිකර කියවීමක් පිරිනමන අතර උපදේශාත්මක අරමුණක් ඉටුකරගන්නා බවද පෙනේ. මැතිවරණයක් හෙට අනිද්දා පැවැත්වෙන* අතර සාමාන්‍ය මිනිසාගේ දේශපාලන සාක්ෂරතාව ඌන යැයි කියැවෙනු ඇසේ. එහෙත්, එසේ නම් කාලීන දේශපාලනඥයාගේ තත්ත්වය කෙසේදැයි යමෙකු අසන්නට ඉඩ තිබේ. නාමයෝජනා ලැබීමටවත් ඔවුනට උපකාර වන යමක් වෙත්ද? ජාල සමරේ යනුවෙන් හඳුන්වනු ලැබූ අයෙකුගෙන්, මගේ ඡුන්දය පිළිබඳ ඉල්ලීමක් කරමින් මටද කෙටි පණිවිඩයක් ලැබිණි. නවකතාව මඟින් නිරුවත් කෙරෙන ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ එක් පැත්තක් එසේය. එසේ හෙයින් අපට කළ හැක්කේ, පාඨකයාගේ ඇස් ඇරවීමේ යුතුකම ඉටුකරන කෘතිය නිසි වේලාවට එළිදැක්වීම පිළිබඳ ලේඛකයාට සුබ පැතීම පමණකි.

* මෙම ලිපිය මැතිවරණයට පෙර ලියැවුණකි.
අශන්ති ඒකනායක
ඉංග‍්‍රීසි උපදේශක
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(අශාන්ති ඉංග‍්‍රීසි බසින් ලියා Colombo telegraph හි පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ දේ.වි.ගාල්ලගේ)

Monday, 9 December 2024

තවදුරටත් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ අජිත් තිලකසේන


 

වගාඩම්බර, පුහු මානය, තමාම උත්කර්ෂයට නංවාගැනීම ආදි භයංකර ක්ලේෂයන් නොමැති, මා දකින ප්‍රමුඛම සාහිත්‍යවේදියා එතුමාය. අප වැනි පුහු දුන් උදවියට ඒ මුනිවර හැසිරීමට අලගු තැබීමටවත් නොහැකි බව පැවසීම මේ මොහොතේ එතුමන්ට කෙරෙන පුංචි පූජෝපාහාරයක්ම වේවා. ආත්මගත කිසියම් ගැඹුරු වේදිතයන් සාහිත්‍යයෙන් මිස අන් අයුරකින් ප්‍රකාශ කිරීමට නොහැකි බව ඔහුට අවබෝධ වූවා විය හැකිය. එසේ නිකුත්කොට ලබන ප්‍රමෝදය ඔහුගේ නිර්මාණ අරමුණ වියහැකිය. සැබෑ සාහිත්‍යකරුවාට ඒ ලබන ප්‍රමෝදය සම්මාන ඇගයීම් ආදියට දෙවෙනි නොවේ.
එක්දහස් නවසිය අසූගණන්වල මුල්භාගයේ ඔහුගේ දේශනයක පිටපතක් (විනෝදයයි වින්දනයයි?) කියවීමෙන් පසු ඔහුගේ සාහිත්‍යය හා සාහිත්‍ය දර්ශනය දශක හතරක් පමණ තිස්සේ ලැදිව හදාරමි. නිර්මාණකරණයේදී අපගේ නිර්මාණ උල්පත් සිඳී යන විට එය නැවත උපදවා ගැනීමට තිලකසේනයන්ගේ කෙටිකතාවක් ,කවියක් කියවීම සෑහේ. ඒ තරම්ම ඒවා බලපෑම් සහගත නිර්මාණයන්ය.
ඔහු තම නිර්මාණ සඳහා ඇගයීම් සම්මාන ආදිය ප්‍රතික්ෂේප කරන්නේ කිසිවකට විරෝධය පෑමට නොවේ. සම්මාන ආදිය ගැන එතුමා අවමන් කළ බවක්ද මා අසා නැත.

රුහුණු විශ්වවිද්‍යාලයෙන් අජිත් තිලකසේනයන්ට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමට තීරණය කිරීම අගය කළ යුතු දෙයක් බව අපගේ හැඟීමයි. සාමාන්‍යයෙන් මා දන්නා තරමින් විශ්වවිද්‍යාලයකින්  යම් ඇගයීමක් කිරීමට තීරණය කරන්නේ අදාළ තැනැත්තාගේ සේවාවේ තරම සළකා පළමුව ඔහුගේ කැමැත්ත අකමැත්ත විමසා නොවේ. පුද්ගලයාගේ කැමැත්ත ඊට අදාළ නොවේ. ඉනික්බිති කැමති නම් එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔහුට අයත් කාර්යයකි.
ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා මහතා පළමුවරට තේරී පත්වී මසක් ඇතුළත නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරිනැමුණි. එය පිළිගනිමින් ඔහු පැවසුවේ 'තමා තවමත් ලෝක සාමය වෙනුවෙන් කළේ කුමක්දැයි නෙදෙන්නා බවය. එම සම්මානයට තමා සුදුස්සෙකු වූයේ කෙසේදැයි නොදන්නා බවය." ඉන් ඇඟවෙන්නේ ඔබාමාගෙන් විමසීමක් නොකරම සම්මානයට නිර්දේශ කළ බව නොවේද?
තිලකසේන මහතා ඔහුට ලැබුණු සම්මාන ආචාර්ය උපාධිය පිළිගත්තත් නොගත්තත් එවැන්නක් පිරිනැමීමට තීරණය කිරීමෙන්  එකී විශ්වවිද්‍යාලය ගෞරවයට පත්වන්නේය. ඒ විශ්වවිද්‍යාලයත් ලංකාවේ සෙසු විශ්වවිද්‍යාලත් පසුතැවිය යුත්තේ තිලකසේන මහතාට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමට මීට පෙර ඉදිරිපත් නොවීම ගැනය. 

Wednesday, 27 November 2024

මනුෂ්‍යත්වය ඉහළ දැමීම

 


 දේ.වි.ගාල්ලගේ විසින් පරිවර්තිත ලිපි එකතුවක් 'මනුෂ්‍යත්වය ඉහළ දැමීම' මැයෙන් යුතුව සරසවි ප්‍රකාශනයක් ලෙස දැන් නිකුත්ව තිබේ. එහි සඳහන් ලිපි සියල්ලම පාහේ (නැතහොත් වැඩි ගණනක්) අපගේ එදිනෙදා ජීවිතයේ ගැඹුරු අවධානයකට ලක්විය යුතු , එහෙත් එසේ නොවන ඉසව් හා සංසිද්ධි කෙරේ විමසුම් ඇස යොමු කරයි. මා අද උදෑසන එකී කෘතිය කියවීමේ දී ඇසගැසුණු ලිපියකි, මැතිව් බෙයාර්ඩ් (කැන්බරාහි නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය) රචිත 'තාක්ෂණය අප ගිලගැනීම වළක්වන්නට අප 'තාක්ෂණ ප්‍රඥාව' වර්ධනය කළ යුතුය යන ලිපිය.

බෙයාර්ඩ් තාක්ෂණයේ අන්ත දෙකක් හඳුනා ගනී. ඒ තාක්ෂණ භීතිය හා තාක්ෂණ ප්‍රීතිය යනුවෙනි.ඔහු එය වැඩිදුරටත් විස්තර කරන්නේ 'තාක්ෂණ භීතියෙන් පෙළෙන්නෝ මෝඩ ලෙස හැසිරෙන පැකිළෙන්නන් වන අතර, තාක්ෂණය ලෝකයේ අවසානය ගෙන එනු ඇතැයි කනස්සළු වෙති. තාක්ෂණ ප්‍රීතිය විඳින්නෝ, තාක්ෂණයෙන් කළ හැකි දෑ ගැන අන්ධ ලෙස සර්ව සුබවාදී වෙත්.'

බෙයාර්ඩ් මෙලෙස යෝජනා කරයි.

'අපේ යුගයේ ඉහළම සදාචාර අභියෝගවලින් එකක් නම් , තාක්ෂණ භීතිය හා තාක්ෂණ ප්‍රීතිය යන කාණ්ඩ දෙක අතර මැද යමක් සොයාගැනීමය. 'තාක්ෂණ ප්‍රඥාව" ට සමානවන යමක් සොයාගැනුම අපට අවශ්‍යය.'

'සදාචාරවත් තාක්ෂණය, ලොව ධනාත්මක වෙනසක් කරා (අවම වශයෙන් තව තවත් ගැටලු නිර්මාණය නොකර) ගෙන යායුතු යැයි සෑම පාරශ්වයක්ම එකග" වෙයි.

දේ.වි. තම කෘතියෙහි උපුටා පළකර ඇත්තේ සාරවත්කමින් අනූන කෙටි ලිපියකි. එහෙත් අද පොදුවේ ජීවිතවලට බලපාන දැවැන්ත ඉසව්වකි. ලංකාව ඩිජිටල් අනාගතයක් සඳහා රාජ්‍ය ප්‍රමුඛතාවයෙන් යුතුව අරඅඳින මේ වකවානුවේ පොදු මහජන සිතීමක් සඳහා පාදක කරගත හැක්කක් ලෙස මැතිව් බෙයාර්ඩ්ගේ මෙම ලිපිය සළකමි.

Tuesday, 26 November 2024

Pedro Paramo නවකතාව, එහි පරිවර්තනය හා චිත්‍රපට




Juan Rulfo විසින් ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත Pedro Paramo නවකතාව ධර්මසේන පතිරාජයන් විසින් එනමින්ම සිංහලට පරිවර්තනය කළේය. එම කෘතිය පතිරාජයන් විසින් මවෙත පිරිනැමුවේ මහනුවර සිව්මහල් රථගාලේ දී ය. එම පරිවර්තන කෘතිය මාසතු මාහැඟි ධනසම්පත් අතරින් එකකි. එම කෘතිය කියවා ලද නිර්මාණ ආශ්වාදයෙන් මා එකල අලුත් නවකතාවකට මුලපිරීමි. එය තව වසර කිහිපයකින් සමහර විට ප්‍රකාශයට පත්කෙරෙණු ඇත.

පතිරාජයන්ගේ පරිවර්තන රටාව කෘතියේ සංදර්භයට අනුකූල වූවකි. එමෙන්ම සිනමාකරුවෙකු ලෙස ඔහුගේ රූපන හැකියාව මෙම පරිවර්තන කාර්යයේදී උපයෝගී කරගෙන ඇත.

පේද්රෝ පරාමෝ කෘතියට පෙරවදනක් සපයන ගාමිණී වියන්ගොඩ මෙලෙස සටහන් කරයි. 

''අපේ භෞතික වටපිටාව පිළිබඳ විස්තරයක් වෙනුවට දෘෂ්‍ය අනුරුවක් අපට දුන් එකම මෙක්සිකානු නවකතාකරුවා හුවාන් රැල්ෆෝය. "

-මෙක්සිකානු කිවිවර ඔක්තාවියෝ පාස්

''සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ ධර්මසේන පතිරාජ මීට පෙර සාහිත්‍ය පරිවර්තනයකට අතගසා ඇති බවක් අසා නැති මට , ඔහු හුවාන් රැල්ෆෝගේ 'පේද්රෝ පරාමෝ සිංහලට පරිවර්තනය කරන බව දැනගත් විට එකවිටම සිහියට නැගුණේ ඉහත සඳහන් කරුණු සමුදායයි. හුවාන් රැල්ෆෝ සතු ඒ සුවිශේෂී ප්‍රතිභාව විසින් , ඔහුගේ නිර්මාණ කැටිකරන ප්‍රවේගයට සමානුපාතිකව එය දෘෂ්‍ය කාව්‍යයක් බවටද පත්කෙරෙන නිසා 'පේද්රෝ පරාමෝ' තුළ නිමැවෙන ඒ අපූරු දෘෂ්‍ය ලෝකය පතිරාජ වැනි වම් ඉවුරේ සිනමාකරුවෙකු ඇස ගැසීම, ඔක්තාවියෝ පාස් සඳහන් කළ ප්‍රකාශයට අත්‍යන්තයෙන්ම සමපාත වෙයි.'

 -ගාමිණී වියන්ගොඩ පේද්රෝ පරාමෝ කෘතියේ පෙරවදන


දැන්  Rodrigo Prieto විසින් අධ්‍යක්ෂනය කරන ලද Pedro Paramo චිත්‍රපටය Netflix හි ඔබට නැරඹීමට හැකිය. යථාව හා මායාව අතර දිගහැරෙන අතරම අතීතය හා වර්තමානයත් භෞතිකය හා මායාවත් අතර විසල් පදාසයක දිගහැරෙන මෙම නවකතාවේ අනු වියමන (චිත්‍රපටය) දොන් පේද්රෝගේ ආධිපත්‍යයට යටත්ව සියලු සදාචාරයන් අහිමි වූ දූවිලි බවට පත් මිනිසුන්ගේ ඛේදවාචකය මලානික තානයකින් අපට ඉදිරිපත් කෙරේ.

ච්ත්‍රපටය නරඹා නැවත පතිරාජගේ කෘතිය කියවන විට එය නවමු කියවීමක් බවට පත්වේ. හුවාන් රැල්ෆෝගේ මුල් නවකතාව නැවත නැවත යටි පෙළවල් මතුකර දෙනවා යැයි කියනු ලැබේ. ඒ  ගුණයම පතිරාජගේ පරිවර්තනයේද ඇතැයි මට සිතේ.