Sunday, 29 June 2025

විශ්ණු වාසු ගැන මගේ සත දෙක...



මගේ නිර්මාණ ජීවිතයේ සමාරම්භක මිතුරෙක් වන විශ්ණු වාසුගේ Made in India කෘතිය දොරට වැඩීමේ අපූරු (පෙර නොවූ විරූ) උත්සවයේ විශේෂ අවස්ථා දුරු රටක සිට සමාජ මාධ්ය අවකාශය ඔස්සේ නැරඹීමි. එයට සහභාගි වූවන්ගෙන් ඒ ගැන වැඩිමනත් තොරතුරු ද දැනගතිමි.
විශ්ණු කිසිවෙකුට අභියෝග කළ නොහැකි බ්රෑන්ඩ් එකක් බවට පත්වෙමින් තිබේ. ඒ සදහා ඔහු තනාගෙන ඇති ඔහුටම අනන්ය අවකාශය දෙස විශ්මිතව බලා සිටිනවා හැර අපට එයට අභියෝග කළ නොහැකිය. වයසින් මුහුකුරා යාමේදී ඔහු දේවල් දෙස බලන ආකාරය 'අත්හැරීමේ මූලධර්මය" මත පදනම්ව ඇතැයි මට සිතේ. එය එසේ යැයි ඔහු සමාජය ඉදිරියේ විවෘතව පවසන ආකාරය වැඩිහිටි අධ්යාපනයට එක්කරන්නේ නව මානයකි.
'සිම්පල් සයිමන්" 'සාරි අඳින පිරිමි' 'Made in India' කෘති ත්රිත්වය මෙරට සමාජය වැළඳගත් ආකාරය අපේ රටේ තවමත් සහකම්පන ගුණය සජීවී බව පෙන්වන මාහැඟි උදාහරණයෝය. අප සතු නිර්මාණ ශක්තිය වැය කරන්නට හිතෙන්නේ එවැනි නොමැරුණු සමාජයකටය. ස්ත්රී පුරුෂ සමාජභාවී ගැටළුව අවධානය යොමුකරමින් ඒ ගැන නිර්භයව අදහස් පළකළ/කරන පළමු සාහිත්යවේදියා බවට විෂ්ණු වාසු පත්වෙයි. ඒ පිළිබඳ සමාජයේ සාදර පිළිගැන්ම තවත් එවැනි සාහිත්යකරණයකට අවතීර්ණ වීමකට සිතමින් සිටින ලේඛකයින් දිරිගන්වයි.
විෂ්ණු වාසුට තම විද්යාලයේ (මහනුවර කිංග්ස්වුඩි විද්යාලය) ආදි කතෘ දිනයදා ප්රධාන ආරාධිතයා වෙමින් ප්රධාන දේශනය පැවැත්වීමට ලද ආරාධනය කවදා හෝ ඔහුට නොබෙල් ත්යාගය ලැබුණහොත් ඊට පමණක් දෙවෙනි වන්නෙකැයි මට සිතේ
එහිම සහෝදර පාසල වන මගේ පාසලේ විෂ්ණු වාසු ආදි ශිෂ්යයෙකු වී නම් ඔහුට කවදාවත් එවැනි අවස්ථාවක් නොලැබෙන බව මගේ හැඟීමය. බාහිරින් ලැබෙන මේ ප්රශංසාව කිංස්වුඩ් විද්යාලය විසින් අත්පත් කරගන්නේ එය පිහිටවූ නැකත හොඳ නිසා නොව එකී පාසල් ප්රජාව,නවීකාරක ගුණයෙන් පොහොසත් නිසාය.
මම, චූලාභය, කපිල එම්. ගමගේ හා විෂ්නු වාසු සාහිත්යට පිවිසීමේ නිල සටහන තබන්නේ 'අසික්කිතයාගේ සිහිනය' කුඩා කෘතිය නිර්මාණය කිරීමත් සමඟය. අප සිව්දෙනා පාසල් තුනකය. අපට අපගේම ඊට පෙර වූ සාහිත්ය භාවිතයන් තිබිණි. එහෙත් නගර මධ්යයේ තැනෙක නිතර අප හමුවී ඇසුරු කිරීම හරහා ඉස්මත්තට පැමිණි 'නිරායාස කිසියම් දෙයක්' අපව ඒ අනාගතවාදී කටයුත්ත සඳහා මෙහෙයවීය. එය අපට නිල සාහිත්ය ජීවිතය පටන් ගත් තැන පෙන්වා දෙන 'මුදුන් මුලකි'.
දැන් දැන් විෂ්ණු වාසු followers වීමට තැත් දරණ වැඩිහිටියන් ඇතැයි සිතමි. මා එසේ සිතන්නේ මටද එසේ වීමට සිතෙන බැවිනි. එහෙත් ජෛන ශාස්තෘන් උපතින් බිහිවන්නාසේ අතර මැදදී මට එය කළ නොහැකිය. කොටින්ම වෙනත් ආකාරයක ජීවත්වීමක් තබා මරණයවත් අභිමත පරිදි තෝරාගත නොහැකි යදම්වලින් අප බැඳී ඇති හෙයිනි. විෂ්ණු වාසු ගතකරන්නේ අපට ඊර්ෂ්යා හිතෙන තරම් ලස්සන ජීවිතයකි.
විෂ්ණු වාසු ලියන්නට පටන් ගන්න තිබුණේ මීට බොහෝ පෙරය. එසේ වූවානම් හැඟීම් ප්රකාශනයේ විවෘත භාවයක් හා ජීවිතයේ අඳුරු පෙදෙස් දෙස සාහිත්ය ඇස යොමුවන වර්ණවත් සිංහල සාහිත්යයක් සඳහා එය බලපෑමක් කරනු නිසැක.

Sunday, 1 June 2025

පමා වූ සටහනක්....

 




අත්තනායක සර්ගේ අභාවය මට දනවන්නේ වෙසෙස් ශෝකයකි. ඔහු පිළිබඳ හොඳ නරක මිශ්ර ඇගයීම දකිමින්ම මම ඔහු කෙරේ වු නොනැසෙන ලෙන්ගතුකම ප්රකාශ කරමි. එතුමන් අසූ ගනන් මැද භාගයේ මගේ බිඳ වැටුණු උසස් අධ්යාපනය යළි නගාසිටුවා ගැනීමට මහත්සේ උපකාර කළ තැනැත්තෙකි. එමගින් එහි ප්රමාණවත් ඉමක් කරා යාමට මට හැකි විය. අසූ ගනන් අගභාගයේ මගේම ප්රකාශන ආයතනයක් 'පිනිදිය ප්රකාශන' ලෙස ආරම්භ කළ අවස්ථාවේ එතුමා බාහිර උපාධියට අදාළ විෂය පොතක් ලියා දී මගේ නව ප්රයත්නයට දිරිය ලබා දිණි. එය තම පංතිවල විකුණා දුන්නා පමණක් නොව කතෘභාගය ලබා ගැනීමද ප්රතික්ෂේප කළේය.
ඔහු මගේ නිර්මාණ අගය කළේ මා ඇති තැන්වල පමණක් නොව නැතිතැන්වලද එයම කළේය. මගේ සාහිත්ය ජීවිතයේ සමාරම්භක අවධියේ ඒ දිරි දීම ක්ෂේත්රයේ රැඳී සිටීමට හේතු වූවා යැයි සිතමි. ඔහු නූතන සාහිත්ය සම්බන්ධව විචාරකයෙකුට වඩා දිරිදෙන්නෙකු හා ප්රවර්ධකයෙකු ලෙස සැලකීමට මම වඩා කැමැත්තෙමි. එහෙත් පැරණි සාහිත්ය සම්බන්ධව නම් ඔහුගේම විචාර ශෛලියක් තිබූ අතර එය ඔහුට ජනප්රසාදය කැඳවීය.
අපේ නිර්මාණ ජීවිතයේ ආරම්භක පදනම් භූමිය අපේ පාසල හා මහනුවර නගරයයි. එහි පැවති සම්මන්ත්රණ ආදියට දුහුනු අපට සහය වෙමින් එතුමා කළ මෙහෙවර ඒ කාලයේ ඒවායේ නියළුනු කිසිකෙුට අමතක වේ යැයි නොසිතමි. අත්තනායක සර් සේම ඔහුගේ සමකාලිනිකයෙකු වූ මහාචාර්ය විමල් එස් රන්කඩුව මහතාද එයාකාර උදව් උපකාර අප සාමූහිකය වෙනුවෙන් ඉටු කළේය.
එතුමාගේ ජනප්රියත්වය පදනම් කරගෙන අවශ්ය නම් ඔහුට දේශපාලනයටද ඇතුලු විය හැකිව තිබුණි. එසේ ඇතුලුවී අමාත්ය තනතුරක් දක්වා පවා දුර යා හැකියාවක් තිබුණි. එවැනි ආරාධනාවක්ද ලැබී තිබුණි. එහෙත් ඔහුට එලෙස දේශපාලන තනතුරු හඹා යාමට අවශ්ය නොවීය.
කවර සීමාවන් තිබුණත් අත්තනායක සර් මිය යන්නේ ක්ෂේත්ර කිහිපයකම මුද්රාමය නාමයක් වෙමිනි. ඔහුට ගරහන්නන්ට වඩා ඔහුව අගයන්නෝ බොහෝය. කැනඩාවේ සිංහල සංගමය විසින් පවත්වන 'බසක වරුණ' වැඩ සටහනට ප්රධාන දේශකයා වෙමින් පැමිණ කළ දේශනයට රොද බැඳි ජනතාව කියා පෑවේ ඔහුගේ ජනප්රියත්වයයි.
විසි තිස් වසකට පසුවත් ඔහු මා කෙරේ පෑ මිත්රශීලි විලාසය හා පැරණි මතක ඇවිස්සීම මා බෙහෙවින් හැඟීම් බර කළ බව මතකය.
ඔබතුමන්ට සුබ ගමන්!

Tuesday, 27 May 2025

නිමල ගුණ සහිත පඬිවරයෙකුගේ 'ෂඩ් දශකයක' මෙහෙවර...





සිරිනිමල් ලක්දුසිංහ සර්ගෙ 'ෂඩ් දශකයක මෙහෙවර' උළෙල අද (මැයි 28) මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙනවා. එතුමා ප්‍රකට පුරා විද්‍යාඥයෙක්, සාහිත්‍යවේදියෙක්, ගුරුවරයෙක්, වාම දේශපාලනයේ යෙදුණු ක්‍රියාධරයෙක් සමග ඉතාම යහපත් මනුස්සයෙක්. ඔහු මගේ ගුරුවරයෙක් වගේම අකාලික මිතුරෙක්. මට එතුමා උගන්වා තිබෙන්නේ පුරාවිද්‍යාවට අදාළව කලා ඉතිහාසය විෂය ධාරාව.  එතුමාටම ආවේණික ඉගැන්වීමේ ශෛලියයක් හිමි බවත් එමගින් අප විපුල පල ලද බවත් කිව යුතුයි. වරක් ශ්‍රී ලාංකික ප්‍රතිමා කලාව හා බුදුපිළිමය ගැන එතුමා අපට ඉගැන්වූ ආකාරය තවමත් මට මතකයි. 'ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන' ගීතය ආස්‍රය කර ගනිමින් අව්කන පිළිමයේ ප්‍රතිමා ලක්ෂණ විස්තර කළේ රඟපාමින්. අවුරුදු තිස්පහකට එහා ඒ සිදුවීම මම අදටත් සමහර මාධ්‍ය හා ප්‍රජා වැඩසටහන්වලදී සඳහන් කරනවා. 


ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන් අතර එකී විෂයයෙන් බැහැරව අනෙකුත් ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රමාණිකයන් පමණක් නොව නියැලෙන්නන් හෝ ආස්‍රිතයන් පවා විරලය. එහෙත් ලක්දුසිංහ සර් හැඳින්විය හැක්කේ ඒ විරලයන් අතර කෙනෙකු ලෙසය. පුරාවිද්‍යාව මහජන විෂයයක් බවට පත් කිරීමට ලක්දුසිංහ සර් පුරාවිද්‍යාඥයෙකු ලෙසත්, විශේෂයෙන් කෞතුකාගාර  අධ්‍යක්ෂවරයා ලෙසත් පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසත් කළ මෙහෙවර වෙසෙසිය. 


ලංකාවේ අතීත යුගයේ පාසල් අධ්‍යාපනය යාපනයේ හින්දු විද්‍යාලය, ශාන්ත පැට්‍රික් විද්‍යාලය ආදියෙන් ලැබූ සිංහල සිසුන් සිටියේය. මෛත්‍රීපාල සේනානායක, කේ.බී. රත්නායක වැනි උදවිය එසේ අධ්‍යාපනය ලැබූවෝ වෙති. 

ඊට පසු පරම්පරාවට අයත් ලක්දුසිංහ සර්ද කිසියම් කාලයක් යාපනයේ අධයාපනය ලබා ඇති බවක් මා අසා ඇත. 

මට එතුමා මුණගැසෙන්නේ 90 දශකයේ මුල්භාගයේය. එතුමාගේ ශිෂ්‍යයෙකු වීමට පෙර මාධ්‍යවේදියෙකු ලෙස කිහිපවතාවක් මුණගැසී ඇති බව මගේ මතකයයි. 

2022 වසරේ මවෙත 'සාහිත්‍ය ත්‍යාගයන්' ලැබුණු අවස්ථාවේ එතුමා වේයන්ගොඩ සිට දුම්රියෙන් පැමිණ සිටියේ සිය දියණියට රහසින් බව මවෙත පැවසීය. අසනීප තත්වයෙන් පෙළුනු ඔහුගේ එකී පැමිණීම මහත් සංවේදී සිදුවීමක් ලෙස මගේ මතකයේ නිදන්ගතව ඇත.

අපට සමීපතමයින් සිටියාට ලෙන්ගතු සමීපතමයින් විරලය. ලක්දුසිංහ සර් වනාහි මට එවැන්නකි.


මේ අගනා විද්වතාගේ මෙහෙවර ඇගයීම සඳහා පෙරමුණ ගැනීම පිළිබඳව ජනක ඉනිමංකඩයන්ටත්, විදර්ශන ප්‍රකාශන ආයතනයටත් ස්තුතිවන්ත වෙමි.


Saturday, 17 May 2025

Bunjil Place


 




ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි ආදිවාසී පුරාණා්ක්තිවල බන්ජිල්,(Bunjil)  නිර්මාණක දෙවියා සහ සංස්කෘතික වීරයාය. බොහෝ විට ඔහු දිගු වලිගයක් සහිත රාජාලියෙකු ලෙස නිරූපණය කෙරේ. ලෝකය නිර්මාණය කළ සහ ජීව පැවැත්ම ගෙන ආ, මැවීමේ සහ ආරක්ෂාවේ බලය මූර්තිමත් කළ ආත්මය ලෙස බන්ජිල් ගෞරවයට පාත්‍ර වේ. ආදිවාසී සංස්කෘතියේ නිර්මාතෘ සහ ආරක්ෂකයා ලෙස මොහු හැඳින්වේ. ශක්තිය, අධිකාරිය, ප්‍රඥාව සහ සදාචාරාත්මක මග පෙන්වීම සංකේතවත් කරන බලවත් කුරුල්ලෙකි. ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාවගේ Dreamtime කතාවල කැපී පෙනෙන චරිතයකි. 
Bunjil Place යනු City of Casey අනුග්‍රහයෙන් පවත්වාගෙන යන කලා හා සංස්කෘතික නිකේතනයකි. අගනා පුස්තකාලයක්, රංගශාලාවක්, ප්‍රදර්ශන ශාලාවකින් සමන්විතය. 
පසුගිය සති තුනේ මා ඔස්ට්‍රෙලියාවේ ගතකළ කාලයේ එහි පුස්තකාලයෙන් අපමණ ප්‍රයෝජන ලැබීමි.
Bunjil රාජාලියාගේ හැඩයට තනා ඇති මෙම අගනා කලා මධ්‍යස්ථානය මා දුටු අපූරුතම ගෘහනිර්මාණ ශිල්පී හාස්කමකි.
Photo credit : Naln Kulasekara/ Dunya Ranasinghe

Monday, 21 April 2025

ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල : පරමාදර්ශී බුද්ධිමතා...සහකම්පනීය මිතුරා

 මගේ facebook සටහන




ගණනාත ඔබේසේකරයන් නික්ම ගියේ මානව වංශ විද්‍යාඥයෙකු ලෙස සිය ජීවිතයේ අවසන් මොහොත දක්වාම සිය යුතුකම් කොටස ඉටුකළ ඔහුගේ යුගයේ විශිෂ්ට බුද්ධිමතා ලෙසය. ඔහු පිටුපසින් මේ නික්ම යන්නේද එවැනි කැපවීම් සහගත එවන් මහා පරිමාණ බුද්ධිමය බලාපොරොත්තු තිබුණු තරුණ බුද්ධිමතෙකි.


ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ලගේ හදිසි අභාවය දරාගැනීමට සෑහෙන වෙහෙසක් දරණ අතරතුර මෙම සටහන ලියන්නේ එයද මගේ වේදනාවට සහනයක් වේ යැයි සිතමිනි.


හර්ෂණගෙන් මා ලැබූ මහඟු උපකාර එවැනි උසස් කාර්ය බහුල ජාත්‍යන්තර ගනයේ බුද්ධිමතෙකුගෙන් ලැබිය නොහැකි දේවල්ය. මගේ ප්‍රේමානිශංස නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරවන ලෙස උපදෙස් දුන්නේ ඔහුය. ඒ සඳහා අවශ්‍ය පරිවර්තකයා හා සංස්කාරකවරිය නිර්දේශ කළේ හා ඔවුන් සම්බන්ධීකරණය කළේ ඔහුය. ප්‍රතිපාදන සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණ කටයුතු කළේ ඔහුය. ඔහුට ශ්‍යාම් සෙල්වදොරේට තිබුණු මිත්‍රත්වය හරහා අදාළ මේ කටයුතු ආරම්භ කළ හැකිවිය.

අවසන් වරට පසුගිය සිකුරාදා මා අමතමින් තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කළේය.

දේශියව හා ජාත්‍යන්තරව බොහෝ කටයුතුවල නියළුණු, විදේශිය විශ්වවිද්‍යාලයක කාර්ය බහුල වූ ඔහු තම දරු පවුලේ හා රෝගී මවගේ කටයුතු ද ඉටුකරමින් , ඔහුගේ නොවන අන් අයෙකුගේ කෘතියක් වෙනුවෙන් හර්ෂණගේ කැපවීම ඔහුගේ හදවතේ විසල් බව කියාපාන්නකි. එය මා මගේ ජිවිත කාලයේ මා ලැබූ හිතාගන්නට බැරි තරම් පරිත්‍යාගයකි. 

ඔහු පරමාදර්ශී බුද්ධිමතෙකු වීමට වරම් ලැබූ විශිෂ්ටයෙකි.


දෙරටක කාල පරතරය නිසා මට අවේලාවේ දුරකතනයෙන් අමතන ඔහුගේ සුපුරුදු ඇමතුම 'අයියේ නිදිද? කතාකරන්න පුළුවන් වෙලාවක්ද?' 

 අසන්නට මල්ලී කෙනෙකු දැන් මට නැත.


අද හරිම මන්දාරම් දවසක්..මේ ශෝකී පරිසරය හර්ෂණ වෙනුවෙන් විය හැකිය.

Sunday, 13 April 2025

උත්තමයෙකුගේ නික්ම යාම.....



 

සත්පුරුෂයෙකු පිළිබඳ සීමිත උදාහරණ අතර ඇලෝයි (ස්ටීවන්) පෙරේරා නාමය මහද තුළ සදාතනිකය. මා කැනඩාවට පැමිණි අවදියේ සිට ඔහු මියයන තෙක් වසර විස්සක් පමණ කාලයක් ඔහුගේ වෙස්සන්තර පාරමිතාව අත්වින්දෙමි. ඔහුගේ කරුණා මහිමයට පාත්‍ර වූ විසල් පිරිස අතරට මා ද අයත් වීම ජීවිත භාග්‍යයකි. ඇලෝයි යනු ලංකාවේ සිට කැනඩාවට පැමිණි මුල්ම වැසියන් අතර කෙනෙකි. එහෙත් ඔහුට සිය මව්බිම කෙරේවූ බැඳීම මියයන තෙක්ම අත්හළ නොහැකි වූ අකලංක වූ එකක් විය.  ඔහු මට මෙරට මුල් අල්ලා ගැනීමට උපකාර කළේය. ඔහුද කලක්  Times  හා Sun පුවත්පත්වල සේවය කළ කෘතහස්ත මාධ්‍යවේදියෙකි. ඔහුගේ ඉංග්‍රිසිය අතිෂය කෘතහස්ත එකකි. සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කිරීමෙන් ලද දැනුමෙන් පෝෂිතය. ඔහුගේ පීතෘ භාවය ලැබූ මිසසාගා විහාරය දහස් ගනන් ජනයාගේ පින් කෙතක් යැයි හැඳින්විය හැකිය.

අද (13) ඇලෝයි මහත්තයාගේ රූපකාය අහෝසි වී යන නමුත් ටොරොන්ටෝ ලාංකික සමාජය ගොඩනැගූ උදාරතරයෙකු සේ තවත් පරම්පරා දෙකක්වත් එතුමාගේ ගුණ කාය මතකයේ රඳවා ගනු නිසැක.

Sunday, 2 March 2025

හැමදාම



ඔබේ එකම එක පිංතූරයකි මා ළඟ

ඔබ තරම් පිපී නැති.

එහෙත් නොගැලපෙන ප්‍රතිමාවක් සේ

එය රකිමි. ඒ ඔබම වන හෙයින්.


වත්සුණු සුවඳ නොව

ඔබේ සුසුවඳ

දුරාතීතයෙන් පාව එයි

මතකයේ කවුළු දොර අගුලු ඉබේ ඇරෙමින්.


ඔබ කොහේ හෝ හිටියා නම් මෙදියත...

සඳත් ඉරත් පායනු ඇත එදෙසින්

ඔබටම හිමි වර්ණාවලි විහිදුවමින්


ඔබ සිටියා නම්

මේ පණ නල ජීවිතය යැයි හඟිමි.


මතක රූ ගලප්පමින්

 පපු තුරෙහි නිදමි

ඔබ ලබා දී ඇති අවසරයෙන්


-චන්ද්‍රරත්න බණ්ඩාර