Wednesday, 24 June 2026

70 දශකය තවමත් ජීවමානය...තරුණය...

 




 




\


මා මේ දිනවල තෝරා බේරාගෙන සවන්දෙන්නේ චන්ද්රරත්න මානවසිංහගේ ගේය පද සහිත ගීතය. ඒ ගීත රචනා සඳහා භාවිත බසෙහි විදග්ධබව හා බුහුටිබවේ සංකලනය කිසිවකුට දෙවෙනි වන්නේ නැතැයි මට සිතේ. මානවසිංහ 60 දශකය ආලෝකවත් කළ ප්රමුඛ ගීත රචකයාය. භාෂාව කෙලෙසීම පාපයක් ලෙස සැලකූ එසමයේ භාෂාව පදනම් කරගෙන ලේඛනයේ යෙදුණු සියල්ලෝම පාහේ සිංහල බස නොකෙළසීමට වග බලා ගත්හ. මානවසිංහ ප්රමුඛ 60 දශකයේ ගීත රචකයෝ බොහෝ දෙනෙකු සිංහලයේ ගැබ්වුණු ධ්වනි ගුණය හා ගීතවත් බව මැනවින් යොදා ගනිමින් සිය නිර්මාණ කාර්යයෙහි යෙදුණා යයි මම සිතමි.
60 දශකයේ ගීත රචනා අරබයා වූ මේ සද් ගුණය 70 දශකයටත්, යම් දුරකට අසූව දශකයටත් බලපෑවේය. මට මෙම කාරණා මෙනෙහි වූයේ පසුගිය 20 වන සෙනසුරාදා මෙහි පැවැත්වුණු වෙනස් ආරක සංගීත ප්රසංගයක් නැරඹීමට අවස්ථාව ලැබුණු හෙයිනි. එය 60 දශකයේ හෝ 70 දශකයේ බසෙහි ලාවණ්ය ගුණය නිරූපණයට මනා උදාහරණ නොවුණත් බස නොකෙලසූ එහි ධ්වනි ගුණය නිරූපිත, එමෙන්ම සංගීතයේ සරල මධුර බව කැටිවුණු ගීතාවලියක් විය.
ඒ ප්රසංගය නම් කර තිබුණේ '70's Legends' ලෙසිනි. ප්රචාරක විධීන්ගේද තිබුණේ ඒ යුගයට සරිලන හැඩයකි. ශිල්පීන් ලෙස පැමිණියේ ඇනෙස්ලි මාලේවන, ඉන්ද්රානි පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි නියෝජනය කරමින් පවන් මල්ලවාරච්චි හා කොරීන් අල්මේදාය. මෑත ඉතිහාසයේ ටොරොන්ටෝ නුවරට මෙවැනි සංගීත ප්රසංගයකට සහභාගි වූ සැලකිය යුතු තරම් විශාල රසික පිරිස 70' Legends ප්රසංගයට සහභාගි වී යැයි සිතේ.
මෙම ප්රසංගයේ ප්රමුඛ ගායක ගායිකා දෙපළ වන ඇනස්ලි හා ඉන්ද්රානි බොහෝ සෙයින් අබල දුබලව සිටි අතර වේදිකාවට පැමිණියේද ආපසු ගියේද සහායකයින්ගේ ආධාරයෙනි. එහෙත් ඔවුන් වේදිකාව අපූරුවට හැඩ කළහ. ගායන හැකියාවට වයස හෝ දුබල බව කිසිදු බලපෑමක් කර තිබුණේද නැත. ඔවුන් සියලු ගීත ගායනා කළේ මතකයෙනි. තුන් වෙනුවට ගායනය සඳහා පැමිණි පවන් මල්ලවාරච්චි 'මධු මල ලෙස මුදු' ගීතය ගැයීම සඳහා දුරකතන තිරය භාවිතා කිරීමට අවසර පතමින් පැවසුවේ, ''මට වයස විසි අටයි. සිංදුව මතක නෑ. ඒත් අර අයට හැත්තෑ පහ පැනලා. ඒත් ඔක්කොම සිංදු කිව්වෙ මතකයෙන්. කොහොමද ඒ කාලෙ බඩු වැඩකරන හැටි?" යනුවෙනි. යුග දෙකක කැපවීමේ වෙනස පවන්ගේ එකී ප්රකාශයේ සඳහන් වෙතැයි සිතමි.
මා මුලින් සඳහන් කළ 60 දශකයේදී චන්ද්රරත්න මානවසිංහ, අමරදේව, සුනිල් ශාන්ත ආදි සියල්ල විසින් උද්දීප්තිමත් කළ සිංහල ගීතයේ ආනුභාවය හැත්තෑව අසූව දශකවල සරල ගීතයට හා කණ්ඩායම් ගීතයට පවා බලපා ඇතැයි සිතේ.


Tuesday, 9 June 2026

ආචාර්ය එම්.යූ.ඒ.තෙන්නකෝන්



 



එම්.යූ.ඒ.තෙන්නකෝන් විද්වතා සමඟ ටී.ඇම්.ජී. චන්ද්‍රසේකර පවත්වන මේ සාකච්ඡාව හැකි සෑම අයෙක්ම නරඹන ලෙස මා ඉල්ලා සිටින්නේ ඉතා ඕනෑකමෙනි. 

ගමෙන් කොළඹටත්, කොළඹින් ටොරොන්ටෝවටත් පැමිණි ගමනේදී මා ගෙන ආ ග්‍රන්ථ ත්‍රිත්වයකි.

1. නියඟය හා ගොවියා- එම්.යූ.ඒ.තෙන්නකෝන්

2.සිවුර සහ නඟුල - රණවීර ගුණවර්ධන

3.සොක්කන් ලොක්කන් වූ වගයි- කුමාරි ජයවර්ධන

ලංකා සමාජයේ ගතිකයන් සෑහෙන ප්‍රමාණයක් වටහා ගැනීමට මේ කෘති මට උපකාර  විය.

අද උදැසන අවදි වූ විටම ඇස ගැසුණු ආචාර්ය තෙන්නකෝන් සමග ටී.ඇම්.ජී. කළ සාකච්ඡාව දවස අර්ථවත් කරන්නට බොහෝ සෙයින් නියමිතය. ඒ එතුමාගේ වඩාත්ම සාකච්ඡාවට බඳුන්වූ' නියඟය හා ගොවියා' කෘතිය පළමු වරට කියවූ දා සිට විවර වුණු නව ලෝකය මෙනෙහි කරන්නට එමඟින් හැකිවීමය. 'නියඟය හා ගොවියා" කෘතිය කියවූ පසුව මම ඔහුගේ දේශන පැවැත්වූ බොහෝ තැන්වලට ගොස් අසා සිටියෙමි. මහවැලි නිලධාරීන් හා ගොවීන් පුහුණු කරන සැසිවාරවලදී මම එකී කෘතියෙන් කරුණු උපුටා ගත්තෙමි. කොටින්ම කියන්නේ නම් එවැනි දේශන පැවැත්වීම සඳහා ආත්ම ශක්තිය වඩවා ගැනීමට මට මෙම කෘතිය බෙහෙවින් උපකාර විය. පසු කලෙක මගේ යෝජනාවක් අනුව මහවැලි කේන්ද්‍රය සංවිධානය කරන ලද වාර්ෂික 'මෛත්‍රීපාල සේනානායක අනුස්මරණ දේශන' මාලාවේ පළමු දේශකයා ලෙස තෝරා ගනු ලැබුවේද ආචාර්ය තෙන්නකෝන්ය. 


දේශප්‍රේමියා යන්න පසුකාලීනව දේශපාලකයන් හා ජාතිවාදීන් විසින් තොරොම්බල් නොකරන්නට ආචාර්ය තෙන්නකෝන් පමණක් නොව ආචාර්ය ජයවර්ධන හා ආචාර්ය ගුණවර්ධනද එවැනි අභිවාදනයකට සුදුස්සෝය.

ටී.ඇම්.ජී.කරන මෙවැනි සාරවත් වැඩසටහන් අද අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. ජාතික නාලිකා මෙවැනි වැඩසටහන් ගැන අවධානයෙන් තොරය.

මෙම වැඩසටහනේ ආචාර්ය තෙන්නකෝන් පවසන චිත්‍රය සහිත මා සතු වත්කමක්ව පවතින 'නියඟය හා ගොවියා' කෘතියේ කවරය මෙසේ දක්වමි.

පහත ඇති ලින්කුවෙන් ටී.ඇම්.ජී.චන්ද්‍රසේකර,  ආචාර්ය තෙන්නකෝන්  සමග පවත්වන සාකච්ඡාව නැරඹිය හැකිය.

Saturday, 16 May 2026

Michael නැරඹීමි.


 

ඊයේ මම Michael නැරඹීමි. ක්ලැරන්ස් නමින් Biopic චිත්‍රපටයක් වානිජ අතින් සාර්ථක වීම හේතුකොට ගෙන ඇතිවූ Biopic සිනමා රැල්ලක් සිංහල සිනමාව වෙත අවතීර්ණ වී ඇති සැටියකි. එහි නවතම ගොදුර මාලනී ෆොන්සේකාය. එයට දී ඇති නමින්ම හැඟවෙන්නේ ඇගේ ජනප්‍රිය ලෙස වරනැගෙන රාජිනී ස්වරූපය එලෙසින්ම නිරූපනය කිරීමට නිර්මාණකරුවන් උත්සාහ කරන බවකි. මෙම චිත්‍රපටය සඳහා තෝරාගෙන ඇති නළු නිළි සමූහය ගැන සලකා බලන විට වත්මන් සිංහල සිනමාව කෙතරම් තරු හිඟයක පෙළෙන්නේද යන්න වටහාගත හැකිය. විජය කුමාරණතුංග භූමිකාව විශේෂය. සිංහල සිනමාව එතරම් කඩවසම්, ප්‍රේමනීය හා ආකර්ශණීය පෞරුෂයක් සොයාගෙන/ සොයාගත නොහැකි තත්වයක් යටතේ කැට තියා කිව හැක්කේ මාලනීගේ ජීවිතයේත් ඇගේ සිනමාවේත් ප්‍රමුඛ චරිතය වන විජයගේ චරිතය හරහා හෝ චිත්‍රපටය බිඳ වැටෙන බවකි. මාලනීගේ චරිතය නිරූපනය කරන නිළිය ගැන මට වැටහීමක් නැත. බඹරු ඇවිත් චිත්‍රපටයේ හෙලන් හා බේබි මහත්තයා කායිකව එකතු වීමට පෙර හමුවන දර්ශනයේ ඇගේ සිරියාවන්ත, තාරුණ්‍යයෙන් ආඪය, ප්‍රේමය හා සරාගය එකට මුසුවුණු තරුණ මාලිනියගේ සිට 'ආකාශ කුසුම' චිත්‍රපටයේ වියපත් නිළිය දක්වා චරිතයන්ට සාධාරණයක් කිරීමට තෝරාගත් නිළියට හැකියාවක් ඇද්ද නැද්ද යන්න මම නොදනිමි. මේ චිත්‍රපටය නිර්මාණයේදී දිවමන්ව සිටින නලුවන්ගෙන් ඇතිව ඇති ප්‍රතිචාර වර්ග දෙකකි. එකක් රවීන්ද්‍ර රන්දෙනියගේ නිහඬතාවයය. එය නිශ්පාදකයා සමග ඇති ව්‍යාපාරික සබඳතා හරහාත් සිදුවිය හැක්කකි. දෙවැනිව නහින දෙහින කාලයේ සිටින රවීන්ද්‍රට වැක්ස් මියුසියම් එකක සිටින්නාසේ තමාගේ නිරූපනයක් බලා ගැනීමට ඇති පෘතග්ජන ආශාවය. ලකී ඩයස්ගෙන් ඇතිවන විරෝධය නම් එක්ව සිටි කාලයේ තිබුනු ගැටුම්කාරී ජීවිතය තවත් වරක් දකින්නට ඇති අකමැත්ත විය හැකිය. තමාද නලුවෙකු වන ගාමිණී පුත් දමිත් ෆොන්සේකාට ඇත්තේ පිය චරිතයට තමාව තෝරා නොගැනීමේ ශෝකයද විය හැකිය.
යළිත් අප Michael වෙත හැරෙමු. අප මයිකල් ජැක්සන් ගැන දන්නා සියල්ල එහි නැත. ඔහුගේ වෘත්තීය ජීවිතය, එහි බලපෑම් සහගත බව හා විචිත්‍රත්වය නිරූපණයට පමණක් චිත්‍රපටය සීමාවී ඇත. මෙම චිත්‍රපටය තුළ මා දුටු ඉතා කුඩා හා බලපෑමක් ඇති කරවන ලද දර්ශන දෙකකි. සිය පියා ඔහුගේ කළමනාකාරිත්වයෙන් විධිමත්ව ඉවත් කිරීම එකකි. අනෙක ඔහුගේ සංදර්ශනවලදී මුසපත්වන තරුණියන් ඉවත් කිරීමට සේවකයින් යොදා ඇති අන්දමය.
මයිකල්ගේ ස්ත්‍රී හඬ පිටුපස ඇති මනා පෞරුෂය, සිය ළමා කාලයේ අඩන්තේට්ටම් හරහා පසුව කෙරෙන මෛත්‍රී සහගත තෝරා ගැනීම් ආදිය සිනමානුරූපීව කරන කියාපෑම් අපූරුය.

ඒ සියල්ලටමත් වඩා වැඩුණු මයිකල්ගේ චරිතය නිරූපනය කරන අති විශිෂ්ඨ නළුවාය. Jaafar Jackson ගේ රඟපෑම මෙම චිත්‍රපටයේ විශිෂ්ටම අංගයයි. මයිකල් ජැක්සන් මියගියේ 2009 වසරේදීය. චිත්‍රපටය තැනෙන්නේ 2026 දීය.  සමහර විට Jaafar Jackson කෙනෙකු මුනගැසෙන තෙක්ම මෙතරම් කාලයක් චිත්‍රපටයක් නොහැඳෙන්නට ඇත. එහෙත් මාලනී මියගියේ ගිය අවුරුද්දේය. 

Friday, 8 May 2026

ජීවිත සියවස සමරණ ලෝකයටම දැනුම දුන් අද දවසේ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනඥයා.




සුදු මිනිසුන් දෙදෙනෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ සසඳන්න. ඔබට නිරයට අධිපතියාත් දෙව්ලොවට අධිපතියාත් එකවර දැකගත හැකි වනු ඇත. 

ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ඩේවිඩ් ඇටෙන්බරෝ කළ කැපකිරීම් තව සියවස් ගණනාවක් මේ මිහිපිට පවතිනු ඇත. අපේ දරුවන්ගේද අපේද ලෝකය පැහැපත් කළ මේ පරිසරවේදී සන්නිවේදකයා බුදු දහමට අනුුව නම් මගඵල ලැබූවෙකු ලෙසද ක්‍රිතුනුවෙකු නම් ශාන්තුවරයට ඔසවා තැබිය හැකි අයෙකු ලෙස සැලකිය හැකිය.

ලෝකය යනු මිනිසා පමණක් නොව සතා සීපාවාද ගහකොළද අයත් එකිනෙකා මත යැපෙන පද්ධතියක් බවත් එය සුරකීම අපගේ යුතුකම බවත් දශක අටක් පමණ කාලයක් තිස්සේ අපට කියා දුන්නේ ජීවිත අවදානමක්ද දරා ගනිමිනි. ඒ ශ්‍රේෂ්ඨයාගේ සියක් වසරක් වූ ජීවිතයේ අරුත තේරුම්ගත් ලෝකය පුරා සංවේදී මිනිසුන් ඔහුට බැතිබර වෙති.

අපේ දරුවන්ගේ පාඩම් පොත්වල ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝගේ මෙහෙවර පාඩම් තිබිය යුතුමය.

මහතාණෙනි, තව කිසිවක්ම නොකළත් පරමාදර්ශයන් නම් මේ යැයි අපට දැක බලා ගන්නට තව බොහෝ කලක් නිරෝගීව ජීවත් වේවා.

Monday, 30 March 2026

බසක වරුණ 202



කැනඩාවේ සිංහල සංගමය විසින් සංවිධානය කළ 'බසක වරුණ' වැඩසටහන ඊයේ (2026 මාර්තු 29) පැවැත්වුණා. එය වසර පහළොවක් තිස්සේ සිදුවන සිංහල භාෂා ප්‍රවර්ධන ක්‍රියාදාමයක 2026 වසරේ උත්සවය.  2010 වසරේ ටොරොන්ටෝවේ කොන්සල් ජනරාල් වශයෙන් පත්ව පැමිනි කරුණාරත්න පරනවිතාන මහතාගේ යෝජනාවක් අනුව ආරම්භ වූ මෙම උත්සවය පවත්වාගෙන යාම ගැන සිංහල සංගමයට ස්තුතිවන්ත විය යුතුයි. මං හිතන ආකාරයට ටොරොන්ටෝවට පත්ව පැමිණි කොන්සල් ජනරාල්වරයෙක් ආරම්භ කළ වැදගත්ම උත්සවය මෙයයි. පරනවිතාන මහතා මෙරටට පැමිණියේම මෙවැනි සැලසුම් ගනනාවක් හිතේ තියාගෙන. දෙමළ ජනයා වෙනුවෙන්ද මෙවැනිම වැඩසටහනක් එතුමා ඊට සමාන්තරව ආරම්භ කළා. ඔහුගේ නික්ම යාමත් සමග  එය නැවතුණා. කැනඩාවේ ක්‍රියාත්මක හීනයාන- මහායාන-වජ්‍රයාන ආදි සියලු පාර්ශ්වයන්ට අයත් බෞද්ධ විහාර එකතු කරගෙන ඔහු Unity Vesak නම්න් පැවැත්වූ විචිත්‍ර වෙසක් උත්සවය තවමත් පැවැත්වෙනවා. 

ඊයේ පැවැත්වුණු බසක වරුණ උත්සවයේ දී මෙම සත් කටයුත්තේ සමාරම්භකයා ගැන බොහෝ දෙනෙක් කෘතඥතා පූර්වකව සිහිපත් කළා. 

වෙනදා ලංකාවේ සිට විද්වතෙකු කැඳවා ඔහුගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුවත් පවත්නා ලෝක අර්බුදය හේතුවෙන් ගුවන් ටිකට්පත් මිළ ආදිය දැරිය නොහැකි මට්ටමට වැඩිවී ඇති නිසා ඒ හිස්තැන පුරවන්නට සිදුවූයේ අප කිහිප දෙනෙකුට. මේ සමග ඇත්තේ ඒ සඳහා කැනඩා සිංහල සංගමය පිරිනැමූ තිළිණයයි. 

2011 සිට පරනවිතානයන්ගේ අදහස අද දක්වා යාවත්කාලීන කළ සිංහල සංගමයේ නියමුවන් වූ වන්නි ධනවර්ධන, ගාමිණී අබේසිංහ, සාලිය තිසේරා හා වත්මන් සභාපති ඩිලාන් යාපා ප්‍රමුඛ  අධ්‍යක්ෂ මණ්ඩලයට හා සංවිධායකයින්ට ස්තුතියි.

Saturday, 14 February 2026

'යතුර' කාටවත්ම නොදී ඔහු නික්ම ගොසිනි.

 


තිස්ස විතාරණ සහෝදරයා මා හඳුනාගන්නා ආකාර දෙකකි. පළමුව ලංකා සමසමාජ පක්ෂය වසා දමා යතුර සාක්කුවේ දමාගත් පුද්ගලයා වශයෙනි. අනෙක වෛද්ය විද්යාවේ අභිවෘද්ධිය සදහා මහත් කැපවීමක් කළ, එමෙන්ම විද්යාව වඩාත් ප්රයෝජනවත් ප්රජා විෂයයක් කිරීමට වෙහෙසක් දැරූ පුද්ගලයා වශයෙනි. ඔහු කඳවුරුගත වී සිටි ආණ්ඩුවලට ඔහු කළ ඵලදායී යෝජනා ක්රියාත්මක කිරීමට ඉඩ දුන්නේ නම් ලංකාවේ විද්යාත්මක විෂය මීට වඩා ඵලදායී ආයෝජනයකව රටට යහපතක් වන්නට ඉඩ තිබිණි. ලංකාවේ ළමා මන්ද පෝෂණය ගැන ඔහු බොහෝ සෙයින් කම්පාවට පත්ව සිටි අතර එම තත්වය ලංකාව ක්රියාත්මක කරන නව ලිබරල්වාදී පිළිවෙතේ ප්රතිඵලයක් ලෙස හඳුනාගෙන සිටියේය. ඒ සඳහා වන ඔහුගේම විග්රහයක් තිබුණේය. තිස්ස ලංකාවේ සිටි විශිෂ්ටම ගනයේ වෛරස් විද්යාව පිළිබඳ විශේෂඥයෙකි. අවිවාදිතවම ලංකාවේ වෛද්ය පර්යේෂණායතනයේ සිටි විශිෂ්ටම අධ්යක්ෂවරයා ඔහුය. අනෙක් මහා කාරණා වලින් වැසී ගියත් ඔහු විද්යා හා තාක්ෂණ ඇමතිවරයා ලෙස ඵලදායී වැඩකොටසක් කළේය. ඒවා විෂය බාරව සිටි අන් සියලු අැමතිවරුන්ගේ මෙහෙවර පරයා සිටී.
තිස්ස විතාරණ සහෝදරයා උපන්නේ 1934 දීය. ඒ ලංකා සමසමාජ පක්ෂයේ උපත් වර්ෂයට පෙර වර්ෂයයි. සමසමාජ නායක ඇන්.ඇම්.පෙරේරාගේ සොහොයුරියගේ පුතණුවන් වූ ඔහුගේ පියා පීරිස් විතාරණ නම් වූ ඉංජිනේරුවරයෙකි. කුඩා කලදීම සිය පියා මිය ගියෙන් ඔහු හැදී වැඩුණේ සිය මාමා වූ ඇන්.ඇම්ගේ නිවසේ දී යැයි කියනු ලැබේ. එහෙයින්ම ඔහුට දේශපාලනය අමුතු විෂයයක් නොවුණා විය හැකිය. අනෙක් අතට පක්ෂ නායකයාට තිබුණු ඒ සමීප ඥාතිත්වය, සමසමාජ පක්ෂය තුල විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු වී යැයි සිතිය හැක්කේ අවුරුදු තිහක් තරම් ලාබාල වයසකදී (එනම් 1964 දී) දේශපාලන මණ්ඩලයට ඇතුලත් වීමට හැකියාව ලැබුණු හෙයිනි.
ලංකා සමසමාජ පක්ෂය විද්වතුන්ගෙන් අඩුවක් නොතිබූ පක්ෂයකි. විද්යාඥයන් ගණනාවක්ම එම පක්ෂය තුළ සිටියේය. තිස්ස සහෝදරයාද ඒ අතරින් කෙනෙකි. අඩු වැඩි වශයෙන් අන් සියලු විද්වතුන් සියල්ලම පාහේ, අදාළ කාලයන්හි සටන් බිමද නියෝජනය කළෝ වෙති. එහෙත් තිස්ස එසේ නැත. දේශකයෙකු න්යායධරයෙකු, නායකයෙකු යන භූමිකා හැර පක්ෂයේ දේශපාලනයට අදාළ වූ සටන්වල නිරත වූ බවක් අප අසා නැත.
මගේ වැටහීම අනුව තිස්ස හා ඇන්.ඇම් අතර තිබූ සමීප ඥාතිත්වය ඔහුගේ දේශපාලන ක්රියාකාරිත්වය තීරණය කළේය.
ඔහු සමසමාජ පක්ෂය ගැන සිතුවේ තම පාරම්පරික බූදලයක් ලෙසිනි. ඔහුට සමාන්තරව සිටි එමෙන්ම ඔහුට අභියෝගයක් වේ යැයි සිතූ ලාල් විජේනායක, විජයකුමාර් හා ජයම්පති වික්රමරත්න පක්ෂයෙන් පන්නා දමා ඔහු පක්ෂය තුළ ගෙන ගියේ අත්තනෝමතික පාලනයකි. ඔහුගේ හඬ මිස අන් හඬකට එහි ඉඩක් තිබුණේ නැති තරම්ය.
වාමාංශික පක්ෂයක සිටිය යුතු කම්කරුවන් ,ශිෂ්යයන්, තරුණයන් ආදි කිසිවෙකු නැති ලංකා සමසමාජ පක්ෂය නම් වූ මෙම සංවිධානය තවදුරටත් නොපවතින්නකි. ඒ නොපවතින තත්වයට පත්කිරීමට වගකිවයුත්තා තිස්ස සහෝදරයාමය.
කීර්තිමත් ඉතිහාසයක් සහිත මෙම පක්ෂය ආසියානු කලාපයේ වාමාංශිකත්වය පිළිබඳ අධ්යයන මධ්යස්ථානයක් කිරීමට මා කලක සිට යෝජනා කරමි. එහෙත් එවැන්නක් සිදුවේයැයි සිතිය නොහැකිය.
කෙසේ වෙතත් සමසමාජයට අදාළ ඓතිහාසික චරිත කිහිපයක් ඇසුරින් මා රචනා කරමින් සිටින නවතම නිර්මාණයට තොරතුරු දැනගැනීමේ අටියෙන් එළඹෙන අප්රියෙල් මස තිස්ස විතාරණ සහෝදරයා මුණගැසීමට සැලසුම් කර තිබුණි. එහෙත් පෙබරවාරි 12 වන දින ඉතාමත් සාමකාමී ලෙස ඔහු සිය දිවිසැරිය අත්හළේය. ්කෙසේ වෙතත් දේශපාලකයෙකු වශයෙන්ද විද්යාඥයෙකු වශයෙන්ද කළ මෙහෙවරට තිස්ස විතාරණ සහෝදරයාට මගේ ආචාරය පුදකර සිටිමි.
-චන්ද්රරත්න බණ්ඩාර

Sunday, 1 February 2026

සීලවතී සින්ඩ්‍රෝමය’ බිහිවෙන්නේ නවකතාමය පරිකල්පනයක් ඇතුළෙ


 

චන්ද්රරත්න බණ්ඩාර
🔆 ඔබේ පළමු නවකතාව(1990), කෙටිකතා සංග්රහය (1990) සහ කේවල කාව්ය සංග්රහය (1991) නිකුත් වෙන්නේ එකම කාල සමයක. මේ ශානර තුනේම එකවර නියැළෙන්න, ඊට පෙර ඒ සාහිත්ය ශානර සමඟ ඔබ සිටියේ කිනම් අභ්යාසයක ද?
අපි ලේඛන ජීවිතයට ඇතුළු වෙන්නේ සමාජීය වශයෙන් සීමාකාරී සාධක ගණනාවක් අප වටා ඇති සමයක. වසන්ත ඔබේසේකරගේ ‘වල්මත්වූවෝ’ චිත්රපටය ඔබට මතක ඇති. එහි රැකියා විරහිත තරුණයන් සිව්දෙනාගෙන් කෙනෙකු තමන් ලියූ පොත පළකරගන්න විදිහක් නැතිව ළතවෙනවා. ඔහු තමයි දිවි තොරකරගන්නෙත්. චිත්රපටයට ප්රස්තුත වන හැත්තෑ ගණන් අග සමයේ පොතක් පළකරගැනීම ලේසි නැහැ. ඒ තත්ත්වය අප සාහිත්ය ක්ෂේත්රයට නිශ්චිතව පයගහන අනූව දශකය මැද දක්වාම එහෙමයි. යෞවනයන් වශයෙන් අපට සිනමාවට අවතීර්ණ වීමට තිබූ සිහිනය විවෘත ආර්ථිකයේ අක්රමවත් පැමිණීම හා වාර්ගික යුද්ධය ආරම්භයේ අපගේ සාමූහිකත්වය විනාශ වීම මත බිඳ වැටෙනවා.
එතනදි කවියට තමයි එදා පැවැති ආර්ථික තත්ත්වයන් යටතේ ප්රකාශන මාධ්යයක් ලෙස අපට ඇතුළු විය හැකි පුංචි දොරක් හරි තිබුණේ. මමත්, කපිල එම්. ගමගේ, චූලාභය හේරත් හා විෂ්ණු වාසු එක්ව කළ ‘අසික්කිතයාගේ සිහිනය’ කවි පොතේ තියෙන කුඩාකම, හැඩය ආදිය පවා අපේ ආර්ථික අපහසුතා නියෝජනය කරනවා. මෙය පළවූ සමාන්තර කාලයකම මම ‘කැණිමඬල ගිනිගත්දා’ හා ‘මෙරු’ කෘති අර්ධ වශයෙන් ලියා තිබුණා. එහෙත් ඒවා නිම නොකළේම ප්රකාශනයට ඇති අපහසුතා නිසා.
නුවර ජීවත් වූ මම අසූ ගණන් මුල භාගයේ කොළඹ එනවා. අසූවෙ කණ්ඩායමේ නාට්ය නිෂ්පාදන ක්රියාවලියේ නිරීක්ෂකයෙකු ලෙස ඔවුන් සමඟ ගැවසෙනවා. නාට්ය නම් වූ ඒ දැවැන්ත ක්රියාවලිය තුළ සාර්ථක වීමට තරම් ධෛර්යයක් මා සතුව නැති බව එතනදි මට වැටෙහනවා. ඒ කාලයේ මා ලියමින් සිටි කෙටිකතා කෘතියට සත්ගුණවත් ප්රකාශකයෙකු මුණගැසෙනවා. ඒ සේනාරත්න වීරසිංහ මහත්තයා. ඊළඟට නවකතාවට පුස්තකාල සේවා මණ්ඩලයේ අනුමැතිය ලැබෙනවා. ඒ සඳහා අවශ්ය ධෛර්යය නොඅඩුව දුන්නේ මහාචාර්ය සරත් විජේසූරිය මහත්තයා. ඊට සමාසන්න කාලයකදීම අවිධිමත්ව ප්රකාශයට පත්කළ ‘අසික්කිතයාගේ සිහිනය’ කෘතියේ මගේ කවි පංති කිහිපයත් තව කවි පංති කිහපයකුත් කැටිකොට ‘මෘත රංගනය’ කාව්ය සංග්රහය ප්රකාශයට පත් කරනවා. එය මගේ පළමු විධිමත් කාව්ය සංග්රහය. මේක තමයි සමාන්තර කාල වකවානුවක කෙටිකතා පොත, නවකතාව හා කාව්ය සංග්රහය නිකුත් වීමේ නිධාන කතාව.
🔆 දැන් ඔබේ ප්රධාන ප්රකාශන මාධ්ය නවකතාව නිසා කවිය සහ කෙටිකතාව මඟහැරිලා ද?
‘විමන් දොරකඩ’ හැර අනෙකුත් නවකතා සාර්ථක වන විට නවකතාව මගේ නිශ්චිත සාහිත්ය නවාතැන බව මට වැටහුණා. ඇගයීම් වශයෙනුත් තෘප්තිමය වශයෙනුත් මගේ නවකතාව සාර්ථක වුණා. නිර්මාණ ක්රියාවලියට අදාළ සිතුවිලි රටාව එහෙම නැත්නම් මාර්ගය සුව පහසු එකක් වුණේ නවකතා රචනයේදී. මගේ සුවිසල් අත්දැකීම් ලෝකය භාව විරේචනයකට ලක්කරමින් ඒවාට මගේ ආත්මයට දැනෙන අගයක් දෙන්න හැකි වුණේ නවකතාව නැමැති කලා මාධ්යයේදී. කිසියම් ආකාරයකට ආත්මීය වශයෙන් පරිහානිගත වෙමින් තිබුණු මගේ ජීවිතයට නැවත ආලෝකය ගෙනාවේ නවකතාව.
මගේ නවතම කෙටිකතා සංග්රහය ‘සීලවතී සින්ඩ්රෝමය’ වුනත් බිහිවෙන්නේ නවකතාමය පරිකල්පනයක් ඇතුළෙ. නවකතාවක තියෙන මහා පරිසමාප්තිය ඒවායේ නැතත් කිසියම් චූල පරිසමාප්තියක් මේ කතා සංග්රහයේ කෙටිකතාවල තියෙනවා. එමෙන්ම කියවීම තුළින්ම උකහා ගත් නව කෙටිකතා නිර්මාණ තාක්ෂණයක් මා නිපදවා ගත්තා. එය සාර්ථක වී ඇති වග පාඨක ප්රතිචාරවලින් පෙනෙනවා.
ඒත් මගේ කවියට අත්ව තියෙන්නේ නම් ඛේදජනක ඉරණමක්. එය තවම මගේ ‘ප්රේමණීය අවකාශය’ තුළ සිරබත් කනවා. කිහිප වරක්ම කවි පොතක් ප්රකාශනය කිරීමට ලෑස්ති වුණත් නව කවීන් මා පසුකර ගිහින් කියා මට හිතෙනවා. එහෙත් උත්සාහය අතහැරලා නැහැ. කඳු මුදුනක ඇති පහන් ටැඹක් වූ ආරියවංශ රණවීර වැනි කවීන්ගේන් ආලෝකය ලබා ගනිමින් මම තවම කවි ලියනවා. අනෙක මා අන්දමන්ද කරන තරමේ නූතන කවියක් බටහිර නිශ්පාදනය වෙලා. ඒ සියල්ල අතරේ මගේ කවිය දුප්පත් කියන හීනමානය මා පසුගාමී කවියෙක් කරලා.
🔆අපේ මේ සංවාදයට හේතුවෙන්නෙ ඔබේ නවතම කෙටිකතා සංග්රහය. ඔබ කෙටිකතාවක් ලිවීම ආරම්භ කරන්නේ ඔබේ කතාව සම්පූර්ණයෙන් මනසේ ලිවීමෙන් පසුව ද? නැතිනම් ලියාගෙන යද්දි කතාව ගලාගෙන එනවා ද?
මගේ නිර්මාණ ලිවීමේ කටයුත්තේදී සැකසෙන්නක්. තේමාව මා සොයා ගන්නේ එදිනෙදා සමාජයේ හැසිරීමේදී. ‘පාන්කිරිත්තා’ කෙටිකතාවට අදාළ තේමාව ලබාගත්තේ ප්රකට නීතිඥයෙකු සමඟ සාද සැන්දෑවක නිරතවෙද්දී ඔහුගෙන් කියවුණු දෙයක් ඇසුරෙන්. එක්තරා ප්රකට නිළියක් තේමා කරගෙන නවකතාවක් ලියන්න යෝජනා කළේ නිමල් ඒකනායක මිත්රයා. එවැන්නකින් සමාජ දේශපාලනික අරුතක් මතුකරන්න අපහසු බවක් මට දැනුණා. එහෙත් ඇගේ ජීවිතයේ අවසන් භාගයේ ඇගේ ප්රේමණීය ජීවිතය හෙලිදරව් වන විට මා සසල වුණා. එය තමයි ‘පෙම් කැකුළු’ කෙටිකතාව. තේමාව කොහෙන් කෙසේ ලැබුණත් මගේ කෙටිකතාව මගේ ලිවීමේ ක්රියාවලියේම කොටසක්.
🔆 ඔබේ මනසට චරිත ඇතුල් වුණාම, ඒ චරිත එකිනෙකට වෙනස් ආකාරයෙන් ගොඩනගද්දී, ඔබ මුහුණ දෙන අභියෝග මොනවා ද?
ඒ චරිත මගේ අත්දැකීම් ලෝකයට පළමුව ඇතුළු කරගන්නවා. මට හමුවූ හා අධ්යයන විෂය ක්ෂේත්රයන් තුළ දී හමුවූ (පියාසර සමයේ විජේවික්රම මහත්මිය වැනි) චරිත ක්රියාත්මක වෙන්න ඇත්තේ මෙහෙම යැයි යන පරිකල්පනයක් ලිවීමේ ක්රියාවලියේදීම සිදුකෙරෙනවා. සාමාන්යයෙන් මගේ නිර්මාණ තුළ ජීවත්වෙන චරිත සියල්ලන්ම පාහේ මගේ ඇතුළු ජීවිතයට පිවිස ඒ සියල්ල එයට පෙර තිබූ ආගන්තුක භාවයෙන් මිදෙනවා. එවිට ඔවුන්ද සහභාගි වෙන සාමූහික ක්රියාවලියක් ලෙස මගේ ලියවිල්ල ක්රියාත්මක වෙනවා. මගේ පොත් තරමක් විශාල වෙන්න බලපාන එක හේතුවක් කියලා මට හිතෙන්නේ මගේ නිර්මාණ විෂයයේදී අත්වි`osන ඒ සාමූහික ක්රියාවලිය තුළ ඉම් පෙදෙස් විශාල වීම විය හැකියි.
🔆ඔබේ නවකතාවල හමුවන ප්රබල සංස්කෘතික ගැහැනිය සීලවතී සින්ඩ්රෝමයේදී හමුවෙන්නේ නැහැ...
ඔබ එහෙම කියනකොටයි මටත් එය වැටහුණේ. එහෙත් මං ඔබට යෝජනා කළොත් සීලවති සින්ඩ්රෝමයේ සීලවතී, ‘පාන්කිරිත්තෝ’ හි, සමකාමී ස්ත්රීන් දෙදෙනා සහ ‘පෙම් කැකුළු’ හි වියපත් වන නිළිය ගැන. අනෙක ස්ත්රියක් විශේෂ කොටගෙන ඇය ප්රබල කිරීමේ දැනුම්වත් ස්ත්රීවාදී ලක්ෂණ මගේ නිර්මාණවලට ඇතුළු කිරීමට මා වෙහෙසෙන්නේ නැහැ. සමහර විට එදිනෙදා දිවි සැරියේදී මට ආකර්ෂණය වූ චරිත ඇසුරෙන් ප්රේමානිශංස නවකතාවේ ‘නිරූ’" වලාකුළු බැම්මේ ‘සෙල්වි’" පියාසර සමයේ ‘මිලංකා’ නිර්මාණය වුණේ. එහෙත් ඔවුන් සතු සංස්කෘතිකත්වය කිසියම් තනි ගැහැනියකට පමණක් අයත් දේ නෙවෙයි. අඩුම වශයෙන් දෙතුන් දෙනෙකුගේවත් සාමූහික නිරූපණ.
🔆සීලවතී සින්‌ඩ්රෝමයේ ඉන්න සීලවතී වැනි එක් පිරිමි ආත්මයක් වෙනුවෙන් තමන්ගේ ආධ්යාත්මය පුදා, ඔහු වෙනුවෙන් පෙරුම්පුරන ගැහැනුන් ඔබට සැබැවින්ම හමුවී තියෙනවා ද?
ඔව්. රූමත් බව ඇතුළු කලාංග සම්පූර්ණ වයස්ගත අවිවාහක ගැහැනුන් මට අනන්තවත් හමුවී තියෙනවා. ඔවුන් සිය පවිත්ර ප්රේම පරමාදර්ශය මත්තේ සිය අනාගතය තෘප්තිමත්ව ගලා යන්නට ඉඩදී තියෙනවා. මවෙත දීර්ඝකාලීන කණස්සල්ලක් නිර්මාණය කරමින් එහෙම ස්ත්රියකගේ ආනුභාවයට ලක්වුණු අතීතයක් මට පවා තිබුණා. එවැනි චරිත නිර්මාණකරුවෙකුට නිර්මාණ උරගල්.
🔆සුපුරුදු ලෙස ඔබේ මේ කෙටිකතාවලත් ‘ප්රේමය’ ප්රබල සාධකයක්. ඔබ මීට පෙර මා සමඟ කළ සාකච්ඡාවකදී පැවැසුවා නවකතාවක මිහිරක් ඇති කළ හැකි දේ අතර ස්ත්රී-පුරුෂ ආදරය තරම් මිහිර කැඳවාගත හැකි අන් යමක් ලොවේ නැති බව. නමුත් මේ කෙටිකතා සංග්රහයේ දෙවැනි කෙටිකතාව ‘පාන්කිරිත්තෝ’ ස්ත්රී සමරිසි ප්රේමයක් ගැන කියන කතාවක්. සමරිසි ප්රේමය ලංකාවේ අද උණුසුම් මාතෘකාවක්. ඇයි ඔබ මෙවැනි කෙටිකතාවක් ලිව්වේ...
සමරිසි ප්රේමයත් ප්රේමයම තමයි. ‘සීලවතී සින්ඩ්රෝමය’ කෙටිකතාවේ කුල ධුරාවලියේ උස් පහත් නියෝජනයක් සහිත තරුණිය හා තරුණයාගේ ජීවිතවල ඛේදවාචකය නිර්මාණය වෙන්නේ ඔවුන්ගේ ප්රේමයේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. බාහිර සමාජයේ පසුගාමී බව හේතුවෙන්. ‘පාන්කිරිත්තෝ’ කෙටිකතාවේ ඒ සමරිසි පෙම්වතුන් ඛේදවාචකයකට මුහුණ දෙන්නේත් ඒ පසුගාමී සමාජ බලවේග හේතුවෙන්මයි.
පුරාතන සමාජයේ සියල්ලෙන් සශ්රීක අඩවිය ලෙස ග්රීක යුගය හඳුන්වනවා. එහි සමරිසිභාවය ස්ත්රී-පුරුෂ සබඳතාවන්ට සමාන්තර ඇගයුමට ලක්වුණා. මහා ඇලෙක්සැන්ඩර් පවා එවැන්නෙක්. එකල උසස් සමාජයට අයත් ආයතන පද්ධති තුළ හා කලාවේ සමරිසි භාවයට තැනක් තිබුණා. ග්රීක ප්රතිමා හැඩතලවල ස්ත්රී-පුරුෂ සම්මිශ්රණය දෙස බලන්න. අපේ රටේ නම් මේ විරෝධය ප්රමුඛ වශයෙන් දේශපාලනිකයි' ලංකාවෙන් දැන් විශාල වශයෙන් සමරිසි ස්ත්රීන් හා පුරුෂ යුවළ පැමිණ සරණාගතභාවයට අයැදුම් කරන බව කැනඩාවේ සිටින සරණාගත නීතිඥයෙකු මට පැවසුවා.
🔆‘පෙම් කැකුල’ කෙටිකතාවේ ඇතැම් චරිතවලින් සැබෑවටම ජීවත් වූ චරිතවල හැඩතල දකිනවා, හඬ ඇසෙනවා...
ඒ නිළි චරිතය ගොඩනගන්නේ, සැබෑවටම මහා නිළි චරිත තුනක් ඇසුරෙන්. හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝපෙස්ගේ ලාබාල පෙම්වතා සමඟ තිබුණු අනුරාගි සබඳතාවත් මට ඒ සඳහා බලපෑවා. අර මුලින් කියපු එක් චරිතයක් හැර අනෙක් චරිත දෙකම දේශපාලන වට වළල්ලේ කැරකුණු උදවියනේ. සාමාන්යයෙන් නළු නිළියෝ අනෙක් කලා මාධ්යයන්ගේ නිරත උදවියට වඩා මිනිස් ජීවිතවලට කරන බලපෑම වැඩියි. විශිෂ්ට යුගයකට අයත් නන්දා මාලනී, සුජාතා අත්තනායක වැනි උදවිය සිය හඬ පෞරුෂයම සිය වෘත්තීය ජීවිතයේ පැවැත්ම බවට පත්කර ගත්තා. එහෙත් අද එහෙම නෙවෙයි, ගායිකාවත් නිළියෙක් වගේ පෙනී සිටින්නයි උත්සාහ දරන්නේ. ඒ තමයි නළු-නිළි ප්රතිරූප අපට කර ඇති බලපෑම. ‘පෙම් කැකුළු’ කතාවේ ඇමැතිවරයා එල්ලෙන්නෙත් ඒ ප්රතිරූපයේ.
🔆ඇයි ඔබ මේ කෙටිකතා සංග්රහය ‘සීලවතී සින්ඩ්රෝමය’ ලෙසින් නම් කළේ...
ජීවිතයේ කිසියම් බලපෑම් සහගත දෙයක් හෝ සිදුවීමක් එතැන් සිට සිය ජීවිතයට බද්ධව ජීවිත කාලය පුරා එහි බලපෑමේන් අත්මිදිය නොහැකිව අනාගතය කරා ඒ සමග කැටුව යාම (Running together) විද්යාත්මකව සින්ඩ්රෝමය ලෙස හඳුන්වනවා. එය ග්රීක වචනයක්. සීලවතී ඇගේ සමාජීය තත්ත්වය අනුව වහා නිශ්ක්රීය කළ හැකි චරිතයක්. එහෙත් ඇයට පෙම් කළ ඔහුගේ ප්රේමණීය පරිකල්පන ලෝකය හැඩගැහීම ඔහුගේ ළමා වියේ සිටම ආරම්භවීමත්, සමහර විට බාධක මැද නිරන්තරව ආතතිමය වශයෙන් පැමිණි ගමනත් (සාලිය-අශෝකමාලාමය?) මේ සින්ඩ්රොම් තත්ත්වය ඇති කරන්න ඇති. මට මේ නම හිතට ආවේ ප්රකට ‘ස්ටොක්හෝම් සින්ඩ්රෝම්’ යන ව්යාධි තත්ත්වය ගැන දැනගත්තාට පසුවයි.
🔆මේ කෙටිකතාවල කථකයා බොහෝ විට වින්දිත චරිතයක්. ඒ චරිත කියවද්දි දැනෙන දේ තමයි මිනිසුන්ගේ තෘප්තිය රැඳී තියෙන්නේ ලැබීම් හෝ නොලැබීම් මත නොවන බව. ඔබ විශ්වාස කරන විදිහට මිනිසුන්ගේ තෘප්තිය රැඳී තියෙන්නේ කොතැන ද? තෘප්තිය සොයායුත්තේ ආගමික දර්ශනයන්ගෙන් ද?
අතෘප්තියේ වෙහෙස දරාගන්න අපහසුයි. මං හිතන්නේ සියලු ශ්රේෂ්ඨ දේ බිහිවන්නේ ඒ බර දරා ගැනීමට බැරි මිනිසුන් අතින්. සිද්ධාර්ථ ගෞතම, කාල්මාක්ස්, සොක්රටීස් සිට අද දක්වා වෙනස් මඟක යන්නෝ එහෙම තමයි. ආගමික මාර්ගයේ ගොස් තෘප්තිය හොයාගත් අය ඉන්නවා. ඔවුන්ගේ පැහැදුල් චින්තනය පුළුල් විෂය පරාසයක විහිදෙන ප්රකාශ ඒ බව සනාථ කෙරෙනවා. දළයි ලාමා, ඕෂෝ, සද්ගුරු එවැන්නන්ට ජීවමාන උදාහරණ. එහෙමට සශ්රීක ජීවිත ගත නොකළත් වාමාංශික දේශපාලන ධාරාවේ නියුක්ත එවැන්නෝ මට හමු වී තියෙනවා. ඔවුන් තුළ කිසියම් ප්රභාෂ්වරයක් තියෙනවා. තෘප්තිමත් මිනිසුන් බිහිවීමට ආගමික දර්ශනයන් පමණක් නොව දේශපාලනය, කලාව, ගවේෂණය, විද්යාත්මක නියැළීම් ආදී හැම එකක්ම බලපානවා. හැබැයි ප්රේමය නම් අතෘප්තිය හා තෘප්තිය එකට අත්වැල් බැඳගත් අමුතු දෙයක්.
✒️සංවාදය - ලක්මාල් බෝගහවත්ත
(2026/02/01 සතිඅග අරුණ)

Al