Saturday 30 November 2019

රංගධරයාණෙනි ඔබට සුබ උපන් දිනයක්.


ධර්මරාජයේ අපේ පාසල් අවධියේ වෙනත් සිසුන්ට වෙනත් වීරයන් සිටි අතර අපට සිටි අප තෝරාගත් සුපිරි වීරයා ධර්මසේන පතිරාජයන්ය.අපට අනෙකුත් වීරයන් වූයේ දයා තෙන්නකෝන් , අමරසිරි කලංසූරිය ආදින්ය. අපි හැමෝම පාහේ වීරයන් සොයා ගත්තේ අපේම ආදි ශිෂ්‍යයන්ගෙනි. අපි ඔවුන් හැකි තරම් අනුගමනය කෙළෙමු. එක්කෝ එය අපේ වාසනාව පෑදීය. නැත්නම් විනාශය පෑදීය. කොටින්ම මම පළමුවරට මත්පැන් බිව්වේද අප සංවිධානය කළ බඹරු ඇවිත් සම්මන්ත්‍රණය නිමාවේ පතිරාජලා දයා තෙන්නකෝන්ලා අනුගමනය කරමිනි. ඒ බීම දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ  වතාවතක් ලෙස අද දක්වාම ගෙන ආවෙමි. ඒ අධ්‍යාපනය නිසි ලෙස ලබා ගැනීමට මට හැකි වුවත් පතිරාජලාගේ දයා අයියලාගේ නිර්මාන කෙෳෂල්‍යයේ අද්දරට පමණක්වත් සමීප වීමටවත් තවම  හැකියාව ලැබී නැත.
පතිරාජලා දයාලා අපට වඩා බොහෝ සම්පූර්ණ මිනිසුන්ය. ඔවුන් කවර අභියෝග හමුවේ වුව ද යහපත වෙනුවෙන් පෙනී සිටින උදාර මිනිසුන්ය. ඔවුන්ගේ නිර්මාණවල දීප්තිමත් වර්ණය සැකසී ඇත්තේ ඒ උදාර බවිනි.
දයා තෙන්නකෝන්
රංගධරයාණෙනි ඔබට සුබ උපන් දිනයක්.

Sunday 3 November 2019

රළින් රළ







           යමක් ලියමින් සිටින විට නිර්මාණ ආවේශය සිඳී ගිය විට මම අජිත් තිලකසේනගේ කෙටිකතාවක් හෝ කවියක් කියවමි. ආරියවංශගේ කවි ද ඒ ආකාරයට නිර්මාණාවේශය සපයයි රළින් රළ 2014 පළවූවකි. එහෙත් එය මට මුණ ගැසුණේ දැන්ය. ඒ කවි කියවමි. එක් කවියක් කියවා ඒ කව අත හැර අනෙක් කවියක් වෙත යන්නට ලෝභකමක් හිතෙන තරම් ඒවා නිර්මාණශීලීය. ආරියවංශගේ කවිත්වය පමණක් නොව ඔහුගේ විසල් දැනුම පාදක වූ පරිකල්පනයද එකට හමුව බැඳුණු මේ කවි කවියේ හතර මායිම කුමක්දැයි කවියන්ට ගුරූපදේශ දෙයි පියසීලී විජේගුණසිංහ වැනි කවි දෙස බලමින් සියුම් විචාරයන් කළ විචාරිකාවන් අහිමි අද කවිය යළි ප්‍රවණතාත්මක  කලාවක් බවට ඇද වැටෙනවා වද්දෝයි සිතේ. කවියෙකු ද කවියෙහි විචාරකයකු ද විය හැකි ගුණාංග සහිත ආරියවංශගේ කවි රසිකයන් අතර පමණක් නොව කවීන් අතර ම මීට වඩා සාකච්ඡා විය යුතු යැයි මට සිතේ


එන්න මේ දැන්ම


පිනි වැටෙන්න ලඟයි බිම
හිරු උරන්නට ඇතේ ඉඩ


සියොත් ගණ ගැයූ පාන්දර
උදා ගී තවම තුඩු අග

තෙල් සලිත හරිත පත්මත
තණ තෙතයි තවම අත්ලට


දුන්න සේ නැමී යහනත
 අත් නගා කඩා නිදි ගැට
රත් පතුල් තබා මිහිමත


එන්න වැතිරෙන්න තණමත
 ඇන්ද නිදි  ඇඳුම්  පිටින්මම
  
ආරියවංශ රණවීර