Wednesday 28 April 2021

මාධ්‍යවේදී ගාමිණී දිසානායක


 

අප කලාව ගැන ගැඹුරු සොයා යාමකට පෙළඹුනු අවධියේ ගාමිණී දිසානායක නම් සමාජ ක්‍රියාකාරී විචාරකයා ලියූ කියූ දෑ වෙසෙසින් වැදගත් විය. ඒ 1970 ගණන්වල අගභාගය හා 80 ගණන්වල මුල් භාගයයි. මර්වින් ද සිල්වා (මාධ්‍යවේදියා) සමග එක්ව ලංකා ගාඩ්යන් සඟරාව පටන් ගැනීමට සහය වූයේද මේ ගාමිණීය. ඩේලි නිවුස් හා ඔබ්සෝවර් පුවත්පත්වල සේවය කළ ඔහු රෙජී සිරිවර්ධන, එල්.ඕ. ඩී. සිල්වා , අජිත් සමරනායක, සිරිල් බී පෙරේරා , චාල්ස් අබේසේකර වැනි කෘතහස්ත විචාරකයන් සමග එකට කියවුනු නමක් වූ ගාමිණී කලකට එම ක්ෂේත්‍රයේ නොකියවුනු නමක් බවට පත්විය. ඒ ඔහු මැද පෙරදිග පුවත්පතක සේවයට ගිය හෙයිනි. 


එහෙත් මීට වසර හය හතකට පෙර කැනඩාවේ දී ගාමිණී මා ඇමතීය. ඒ ඇමතුම එක්තරා දිගුකාලීන මිත්‍රත්වයක් බවට පත්විය. ඔහු මගේ පුවත්පතට පැබ්ලෝ නෙරෑඩා ගැන අමුතුම විදිහේ ලිපි දෙකක් සැපයීය. එහෙත් ඔහුගේ ඉල්ලීම වූයේ ඔහුගේ වත්මන් ප්‍රමුඛතාවය වූ ජ්‍යෙතිෂය අරබයා පුවත්පතෙහි වැඩි ඉඩක් දෙන ලෙසයි. ඔහුට කරන සැලකිල්ලක් වශයෙන් ඒ සඳහා ඉඩකඩක් දුන් නමුත් පත්‍රයේ ස්වරූපය අනුව දිගටම ඒ කටයුත්ත කළ නොහැකි විය. මගේ බැරිකම තේරුම් ගැනීමට ඔහු වහා සමත් විය. 


ගාමිණී යනු සිංහල හා ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම ලියන්නට කියන්නට සමත් නිර්මාණශීලී විද්වතෙකි. ඔහු මාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රයේ ගැඹූරු අත්දැකීම් ඇත්තෙකි.


රූපකායවත් නොදැකපු අවදියේ, ඔහුගේ විචාරයන්ට ලොල්වී ඔහුට ඇති ගෞරවය නොනැසෙන ලෙස මහද තැන්පත් කරගෙන සිටියදී ම,  විද්‍යාවේ හාස්කම් ප්‍රායෝගිකව අත්විඳින දුරු රටක දී, පළමු වරට, ඔහු සජීවීව මුණ ගැසෙන්නේ ජ්‍යෝතිෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස නම් එය කෙතරම් උත්ප්‍රාසයක්ද? එහෙත් ගාමිණීට තිබුණේ ලෙහෙසියෙන් අමතක කරන්න පුළුවන් කලාව සංස්කෘතිය ගැන සුළුපටු දැනුමක් නොවේ. ඔහුගේ සන් මිත්‍ර උපාලි හේරත් කියූ පරිදි ගාමිණී මියයන්නට ආසන්න කාලයේ කලා විචාරය පිළිබඳව යූ ටියුබ් චැනලයක් ආරම්භ කරන්නට උත්සාහ කරමින් සිටි බව කියවේ.


ඒ ගාමිණී දිසානායක මීට දින තුනකට පෙර අප අතහැර ගොසිනි. ඒ ප්‍රවෘත්තිය ඇසූ වේලේ මා වෙළී ගිය කනස්සලෙන් තවම මා මිදී නැත. ඔහු සිය දරුවන් ඇතුළු පවුලේ අයට, සමීප හිතමිතුරන්ට අමතක කළ නොහැකි ලෙන්ගතුකමක් පෑවෙකි. මා ද එම මිතුරු වළල්ලේ වූවෙකු නිසා ඒ කනස්සල්ල ඇති වී යැයි සිතමි. කෝවිඩ් ලොක්ඩවුන් තත්වය නිසා ගාමිණීගේ අවසන් කටයුතුවලටවත් සහභාගි වීමට මට නොහැකි විය. එයටද සහභාගි වුවේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේය. මේ සමග අමුණා ඇති පිංතූර දෙකින් එකක් ඒ අවසන් කටයුතු කෙරුණු අද දින කලේබරයක බහා ලූ ඒ දැවැන්තයාගේ සිරුරයි.

හිතවත, ඔබ නිවන හා එයට අයත් සියල්ල දැඩිව විශ්වාස කළේය. එහෙයින් ඒ පැතූ නිවනින්ම සැනසේවා. 

-චන්ද්‍රරත්න බණ්ඩාර

Sunday 25 April 2021

තුච්ඡ 'බික්සුව' (භික්ෂුව යන්න පාවිච්චි නොකළේ වැදගත් භික්ෂූන්ට හානියක් වන නිසාය)

 සාම්ප්‍රදායික පිලිවෙලට මහණ වන භික්ෂුවක හැඳින්වීමේ දී උපන්ගම සඳහන් කිරීම සම්ප්‍රදායයි. (උපන් ගමක් ගැන සඳහන් නොකළ නාරද හාමුදුරුවන් පවා තමන් හඳුන්වා ගත්තේ බම්බලපිටියේ නාරද ලෙස නොව, වජිරාරාමවාසී නාරද ලෙසිනි.) 


කොටුව මිනිසුන් උපදින තැනක් නොවේ. රස්සාව කරන, වෙළඳාම් කරන, රස්තියාදු ගහන, පාතාල වැඩ කෙරෙන සහ එවැනි හොඳ සහ නරක වැඩ කරන අගනගරයේ අධ්නාගරීකරණය වූ ස්ථානයයි.  සම්ප්‍රදායික වශයෙන් එහි ඉපදුනා යයි හැඟවෙන එහෙත් එසේ නොවූ, එහි වසන කොටුවේ හාමුදුරුවන් යයි කියන ශ්‍රමනයා නන්දා මාලිනියට තුච්ඡ ගැහැණිය යයි අපහාස කර ඇත. 


මේ අබුද්දස්ස යුගයේ සමාජය විසින් පෝ්ෂණය කොට පොරවල් කරන ලද මෙවැනි කැනහිළුන් විසින් මේ සිංහල බෞද්ධ ශාසනයේ මේ ස්වරෑපය පවත්වාගෙන යනු ලබයි. අවසානයේ රටක ජාතියක ගරු බුහුමන් ලබන මෙවන් උත්තම ගැහැණියක පවා මෙවැනි කානු කටාලාගෙන් ගැරහුම් ලබන තැනට රට පත්ව තිබේ.


කොටුවේ බික්සුව වැනි මෙවැනි ආකාරයේ කවර හෝ සමාජමය පිළිගැනීමක් සහිත පැවිද්දෙකු නිර්මාණය වීම ඔහුට තනිව කළ නොහැක්කකි. ඒ සඳහා එවැන්නන් අනුමත කරන සමාජයකුත් තිබිය යුතුය. මූ කලින් කලට කියන තුච්ඡ කතා යනු ඒවා අනුමත කරන උගේ පිරිවර චූන් කර තබා ගැනීම සඳහාය. කොටුවේ නම් වූ මේ පැවිද්දාගේ කටින් කවදාවත් බුදුවදනක් පිටවෙන්නේ නැත. කියවෙන්නේම තක්කඩි කතාවකි. මොහු තමන්ගේ පැවැත්ම රඳවා ගන්නේම වරින් වර මොකක් හෝ බාල්දියක් පෙරලා එහි දුඟද සමාජයට කලක් දැනෙන්නට හැරීමෙනි. 'ගෝටාභයට ඡන්දය නොදුන්නොත් අත කපනවා' යන්න ඔහු පෙරලූ පැරණි බාල්දියකි. 'පිටරට රස්සා කරන අය සල්ලි විතරක් එවා මෙහෙ එන්න දඟලන්නේ නැතිව හිටපල්ලා' යයි විදේශ ශ්‍රම්කයන්ට අපහාස කරමින් ඒ කුණු කට ඇරියේ මේ මෑතකය.

මල්වතු විහාරය කුංකුනාවේ හාමුදුරුවන්ට උපසම්පදාව නොදුන්නේ උන්වහන්සේගේ විසුළු ස්වරෑපයේ නාසිකා ස්වරය (මුක්කං) නිසා යයි මා කියවා ඇත. එවැනි විශේෂතා අැති අයට පරිපූර්ණ භික්ෂුත්වය නොදෙන්නැයි  බුද්ධ භාෂිතයේද සඳහන්ව ඇතැයි කියනු ලැබේ. උතුම් බුදු වදන් එවැන්නෙකු කියන විට අසා සිටින්නන් දේශකයාගේ ස්වරයට සිනා පහළ වීමෙන් දහමට අගෞරවයක් වේ යැයි යන හේතුව පදනම් කරගෙන, මේ  සිරිත පහළ වූවා විය හැකිය. 

ධර්ම දේශකයෙකු සතුවිය යුතු අංග ලක්ෂන බුද්ධ භාෂිත ලෙස බෞද්ධ අටුවාවන්හි සඳහන්ය. කොටුවේ ගේ ශරීර භාෂාව චණ්ඩි මැරවරයෙකුගේ මෙනි. ඔහු 'බික්ෂුවක' නොවී ගිහියෙකුව සිටියත් 'පරෙස්සම්' වී සිටිය යුතු අණ්ඩපාල ශරීර භාෂාවක් ඇත්තෙකි. (මේ කතාවට බොහෝ දෙනා මා සමග උරනු වනු නිසැකය.)


'කොටුවේ' ගේ බණ ශෛල්‍යය බුදුන්ටත් මග හැරුණු අවස්ථාවකි. බුදු උපතින් වසර දෙදහස් පන්සියයක් ගිය තැනවත්  මෙවැනි ශ්‍රමණ ප්‍රතිරෑපකයෙකු බිහිවේයැයි උන් වහන්සේ සිතන්නට නැත. 

පාරජිකා පාළිය නම් ත්‍රිපිටකයට අයත් මාහැඟි ග්‍රන්ථය පිරී ඇත්තේ මෙවැනි තක්කඩි 'බික්සූන්' දමනය කර ගැනීමට බුදුන්වහන්සේ දැරූ වෙහෙසකර උත්සාහයන් අැතුලත් කතා පුවත් වලිනි. ඒ කාරණයේදී උන්වහන්සේ විඩාවට හා කලකිරීමට පත්වූ බවත් එහි සඳහන්ය.

'කොටුවේ' වැනි ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගේ බිහිවීම අහම්බයකින් සිදුවන්නක් නොවේ. එවැන්නන්ගේ පැවැත්මට අවශ්‍ය සමාජ පරිසරයක් තිබිය යුතුය. මෙම සමාජ පරිසරය බොහෝ කාලයක් තිස්සේ ගොඩ නැගී දැන් එහි කූට ප්‍රාප්තියකට පත්වී ඇත. එවැන්නන් නඩත්තු කිරීමට බල දේ්ශපාලනයක්, ජනතාවක් , එවැන්නන් දරා සිටින ශ්‍රමණ ප්‍රජාවක් සිටිය යුතුය. ඒ සියල්ල නොඅඩුව රට තුල තිබෙන බව කාටත් දැකිය හැකිය.


ලංකාවේ සිංහල බෞද්ධයන් බණ ඇසීමට භික්ෂූන් තෝරා ගැනීමේ පිළිවෙලට මගේ වර්ගීකරණය මෙසේය. (මෙයින් මහමෙවුනා හා සදහම් අසපු අතහරින්නේ ඒවා ථෙරවාදි භික්ෂු ආයතන ලෙස මවිසින් නොසලකන නිසාය.)


1.'කොටුවේ' බික්සුවඃ දහම හෝ ශාස්තෘවරයා කීවේ කවරක්ද යන්න කෙසේවත් අදාළ නැති අනෙකා පෙලීම සඳහා බුද්ධාගම හා සිංහලකම පාවිච්චි කරන්නන්ට.


2.පූජ්‍ය කාගම සිරිනන්ද හිමිඃ සමාජය මේ යන ආකාරය ගැන මහත් කළකිරීමක් ඇති, මේ සමාජය යහපත් ලෙස වෙනස් විය යුතු යයි විශ්වාෂ කරන ග්‍රාමීය හා පහළ මැද පංතික අපරාධකාරී නොවන මිනිස් සිත්සතන් ඇති මිනිස් ප්‍රජාවකට.


3.උඩුවේ ධම්මාලෝකඃ ඔහු කවරක් කළත් වගේ වගක් නැති ඔහුගේ රූප සොබාවෙන් හා මධ්‍යම පංතික කතා විලාසයට වශී වූ, තමන් ප්‍රභූන් යයි සමාජයට හැඟවීමට උත්සාහ දරණ මධ්‍යම පංතික ගැහැණුන්ට හා පිරිමින්ට


4.පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමිඃ සමාජයක් වශයෙන් මේ යන විනාෂකාරී ගමන වෙනස්කිරීමට බුදු දහමේ සාරාර්ථයන් ප්‍රයෝජනයට ගත හැකියයි විශ්වාස කරන බෞද්ධයන්,අන්‍යාගමිකයන් සහ

අනාගමිකයින්. (අනාගමිකයන් උන්වහන්සේගේ පිරිවරට ඇතුලත් වීම උන්වහන්සේට කළ හැකි විශාල වැඩ කොටසට තිරිංගයක් වී ඇත යන්න මගේ විශ්වාසයයි.)


වරෙක චම්පික රණවක නිවැරදිව පැවසූ ලෙස මේ පාලන තන්ත්‍රයේ නිල වාපාරිකයා වී ඇත්තේ නිශ්ශංක සේනාධිපතිය.  නිල සංගීතඥයා ඉරාජ් වීරරත්නය. නිල 'බික්සුව' වී ඇත්තේ 'කොටුවේ'ය.


තමන්ම ලිහා දැමූ බල්ලන් අතින් තමන්ම සපාකන අනාගතයක් පැමිනේවි යැයි බොහෝ මහත්වරුන් හා නෝනාවරුන් මීට කලකට ඉහත නොසිතන්නට ඇත.


අවසන් වශයෙන් මම නන්දා මාලිනියට කොටුවේ 'බික්සුව' කළ අපහාසය තුච්ඡ ලෙසින්ම හෙළා දකිමි.


Thursday 8 April 2021

මාත්‍රා හා බන්දුල නානායක්කාරවසම්


බන්දුල නානායක්කාරවසම් සහභාගි වූ මාත්‍රා වැඩසටහන නරඹා හමාර කළේ මේ දැන්ය. ඒ වැඩසටහන මට වැදගත් වූයේ ඔහු ප්‍රවීනයෙකු වීමේ ගමන්මග නිරවුල්ව පැහැදිලි කළ ආකාරය නිසාය. ඔහුට පෙර පරම්පරාවන්ගෙන් දැනුම හා රසෝත්පාදන මූලධර්ම උකහාගත් ආකාරය ඉතා හෘදයංගම ආකාරයෙන් බන්දුල පැහැදිලි කරයි. ඔහු ඇසුරුකළ සංගිත නිර්මාණ පරම්පරාව සතුවූ සහෝදරත්වය හා එකිනෙකාට අත දුන් ආකාරය පැහැදිලි කරන විට මට කණගාටුවක් ඇතිවුණි. එනම් ඒ සාරධාර්මික ප්‍රභවය දැන් වන විට මුළුමනින්ම අහෝසි වී ගොස් ඇති හෙයිනි. අද වන විට මොනයම් හෝ කලාකරුවෙකුට සිය කලාත්මක නිශ්පාදනය ජනගත කිරීමට කෙතරම් උගුල් අතරින් බේරී යායුතුව තිබේද? අවසානයේ එය ජනගත වන්නේ කවර තරම් කලකිරීම් දරාගෙනද? බන්දුල ද අයත්වන ගීත රචනා ක්ෂේත්‍රය පවා මේ සඳහා ඉතා අප්‍රසන්න උදාහරණ සපයයි. 

බන්දුල අතින් පමණක් නොව අප අතින්ද  බුහුමන් ලබන පිරිසිදු හා හෘදයංගම මිතුරු කලාකරුවන්ගේ රසික පදනම් දේශපාලනය විසින් විනාශ කොට ඇති අයුරුද මේ අතර මට සිහිපත්වේ. ඔවුන්ද මෙම පොදු සමාජ ඛේදවාචකයට ගොදුරුවීම අප තේරුම් ගන්නේ කෙසේද?