Monday 22 May 2023

බෙවිස් මනතුංග - මහනුවර මග සලකුණක්



බෙවිස් මනතුංග අපට මුල්වරට හමුවන්නේ සෝවියට් දේශය බිඳ වැටීමට පෙර එහෙයින්ම ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයටත් සරු කාලයකය. ඇත්ත පත්තරය දිනපතා ප්‍රකාශයට පත්කළ කාලයේය. එදවස මහා බලගතු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තැන් තැන් වලින් රිදෙන්න කොනිත්තූ පත්තරයකි ඇත්ත. එදා ඇත්ත වැසී යාම යනු ලංකාවේ ජනමාධ්‍යයේ එක්තරා යුගයක අවසානයකි. මෙ කියන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාධරයෙකු වූ බෙවිස් පළමුවරට වික්ටර් හාරා ගේ ගී ප්‍රසංගයක් පැවැත්වූයේ ඒ කාලයේය.

ඉනික්බිති එළඹි යුගය අපේ ප්‍රාර්ථනා බොඳ කරමින් රාජ්‍ය මර්ධනයටත් ජාතිවාදයටත් එකසේ රඟන්නට ඉඩ ලැබුණු යුගයකි. ඒ දීර්ඝ අමානුෂික යුගය තුළත් පාරේ සිට වුවද  බෙවිස් ජාතිවාදයටත් මර්ධනයටත්  එරෙහි විය.

2009 යුද ජයග්‍රහණය නිසා යළි වටයකින් නැග ආ ජාතිවාදයට එරෙහි වූයේ කොන්දේසි විරහිතවය. 

බෙවිස්ගේ සමීපතමයෙකුගේ (මවගේ ?) මළගමට පැමිණි අතුරලියේ රතන හිමිට මළ ගෙදරදීම ඔහුගේ ජාතිවාදී වැඩපිළිවෙලට එරෙහිව කතාකොට දොස් කී බව මට කීවේ රතන හිමි සමග වැඩි තවත් හිමි නමකි.


බෙවිස් අවංකව හා නිර්භීතව අරගලයේ කොටස්කාරයෙකු විය. ඔහු  කොතරම් අනුරාගයකින් යුක්තව අරගලය සමග සිටගත්තේද යන්න අපි දනිමු. ඔහුගේ මළගම ලොකු හිස්තැනක් තැනූ බව අපට දැනෙන්නේ ඔහු අරගලයට, විශේෂයෙන් නුවර අරගල භූමියට  ඔහුගේ බලවත් මැදිහත් වීම හේතුවෙනි.


බෙවිස්ගේ හැටි එහෙමය. 

ඔහු සිය ආබාධිත බව ගැටළුවක් කොට නොගෙන අප දන්නා දා සිට යුක්තිය හා සාධාරණය පැත්තේ හිටගත්තේය. ඔහුගේ එදිනෙදා ජීවිතයට සහාය වූ අත්වාරු දෙක සිය සිරුර දෙපැත්තේ තනි රකිනු දුටු විට මේ ලියූ දෙයට වඩා බොහෝ දේ ලියන්නට මසිත හැඟීම් තෙරපෙයි. ඒවා වචන බවට පත් කරන්නට ඇවැසි ශක්තිය මේ මොහොතේ මට නැත. එය වෙනත් තැනක වෙනත් විදිහකට ලියන්නට බලාපොරොත්තු වෙමි.

 

Thursday 18 May 2023

මර්වින් (Marvin). සේනාරත්න - කෘතගුණ සටහනක්....



 මට මෙම සටහන ලියන්න හිතුනේ අද උදේ ලේඛක මංජුල සේනාරත්න ලියූ සටහනක් දැකීම නිසාය. ඔහු ලියා තිබුණේ ඔහුගේ පියා වූ මර්වින් (Marvin) සේනාරත්නයන් ගැනය.  සේනාරත්නයන් ගැන ඇතැම් කාරණා මා පළමුවරට දැනගත්තේ මංජුල ලියූ එම සටහනෙනි. සේනාරත්නයන් බෞද්ධ සාහිත්‍යයේ පොදු ජනයාට විෂය වූ පුළුල් කලාපයක් තෝරාගෙන එහි ප්‍රවර්ධනය සඳහා දක්වා ඇති වෙහෙස මහන්සිය සුළුපටු නැතැයි මට සිතේ.


 අවම වශයෙන් පසුගිය සියවසේ මැද භාගයේ සිටවත් වෙසක් තොරණ යනු සිංහල බුද්ධාගමේ  අනන්‍යතා ලකුණකි. එය නාගරික පොදු ජනයා සිය සාමූහික ආගමික ජීවිතය ඇතුළත් තමන්ගේ සංස්කෘතිය විදහා දක්වන ක්‍රියාකාරකමකි. සමාජය එන්න එන්නම පිරිහෙන විට  තොරණ පිටුපස ඇති යථාර්තයද මුදලාලිකරණය හෝ පාදඩකරණය වුවත් එදා අද වෙනසක් නැතිව තොරණ සාමාන්‍ය බෞද්ධයාගේ  ආගමික ජීවිතය පිනවයි.  සේනාරත්න මහතා දායක වී ඇත්තේ වසරකට වරක් එළඹෙන මෙම උතුම් පිංකමටය. තොරණක් බැලීමෙන් එය වින්දනය කිරීමෙන් සාමාන්‍ය මිනිසා (බොහෝ විට නගරාශ්‍රිත) ලබන වින්දනය  සිය සතුටු කලාපයේ සටහන් කරගනී. මාක්ස් කීවා සේ හදවතක් නැති ලෝකයේ ආගම හදවතක් වෙන්නේ මෙන්න මේ තුටු පහටු වීමද හේතු කොට ගෙනය.

සේනාරත්නයන් තොරණ දහසකට වඩා කතා සම්පාදනය කර ඇති බව කියවේ. බෞද්ධ ගීත තුන්දහසකට වඩා ලියා ඇතැයි කියවේ. සමහර විට වෙසක්පත් සඳහාද ඔහු කවි ලියන්නට ඇත. සමහර විට අපගේම අතීතයේ මහා ආශක්තයක් වූ අප සතු කරගන්නට වෑයම් කළ වෙසක්පත්හි පවා සේනාරත්නයන්ගේ කවි තිබෙන්නට ඇත. මේ සියල්ලෙන්ම කියවෙන්නේ නොදැනුවත්වම ඔහු අපේ සංස්කෘතික ජීවිතයට කෙතරම් බලපා ඇතිද යන්නයි. 


පොදු ජනයා පිනවන කලාවට සම්මාන විෂයෙහි තැනක් නැත. එහෙයින්ම විදග්ධයන්ගේ ඇස නොගැසෙන්නකි. එහෙත් අප නොදැනුවත්වම අප බහුතරයකගේ සංස්කෘතික ජීවිතය සේනාරත්න මහතා වැනි සුධීන් විසින් පුරවා ඇති බව කිව යුතුය. 


මර්වින් (Marvin).සේනාරත්නයන්වත් ඔහුගේ පුතු මංජුලවත් සුදුද කලුද කියාවත් නොදන්නා මා මෙය ලිව්වේම සේනාරත්ත මහතා වැන්නන් නියෝජනය කළ කලාව අගය කළ යුතුයයි ඇතිවූ සිතුවිල්ලක් නිසාය.