ඉටිපන්දම් එලියෙන්
වයලීන තුනකට නායකව එක චෙලෝවකින් මහ හරඹයක
මවමින් මහා සංගීත අනුරාවක්.
ඉටිපන්දම් එළියේ පායවමින් පුර පෝ හඳක්
අපිත් සතියට දෙතුන් වර ඉටිපන්දමක් දල්වාගෙන,
නැත්නම් වෙසක් දවසේ
පහන්කූඩු නිවී යන මැදියම් රැයෙහි
අනුරාග හැගීම් සතපවාගෙන
හෙටක් ගැන සිතුවා මතකද?
නොදැන, යා යුතු ඉම් පෙදෙස්
ගොළු වුනෙමු සුදුමැලිව.
ඒත් ඔබ නික්මුණා
නන්නත්තාරව හෝ ඉටාගත් ගමන යන අතරමැද බිහිසුණු ක්ෂණයක.
මේ මියැසි මැදිරිය පිරී ඇත රසික දනගෙන්
එහෙත් මා අස අසුන හිස්ය.
ඒ යාබද අසුනට කවුරු හෝ එනු ඇත.
එහෙත් කවුරුවත් නොඑනවා නම්
කෙතරම් සැනසුමක්ද?
ඒ පෙලන කාංසාව සමගවත් ගැවසෙන්නට ඇත්නම්.
ඒ අසුන මත මගේ හිස්වැසුම තබමි.
හැකිතාක් වෙර දරමි
ප්‍රසංගය ඇරඹීමට පෙර
ඔබ එන බව දනවන්නට අසුන පතනා වුනට.
ඔබ නොඑන බව දන්නා නමුත්.
ප්‍රසංගය ඇරඹේවි.
මා නිරුත්තර වේවි.
අඳුරේම කවුරු හෝ පැමිණ අසුන් ගනීවි
හිස්වැසුම යලි පැළඳ ගමි.
සර මිහිර අතර ඔබ දකින්නට තැත් කරමි.

No comments:
Post a Comment