කවියට නිමක් නැති රිද්මයන් හා ආකාරයන් ගත හැකිය. ඒ හදවතේ හා මනසේ ඒකාබද්ධ සංවේදී ප්රකාශනයක් වීම උදෙසාය.
මම කෙටි කවිය හා නිදහස් පද්‍ය සංසංදනය කළ විද්වත් ප්රකාශනයක ඒවා නිර්වචනය කර ඇති අයුරු දුටුවෙමි. සමහර විට කෙටි කවිය ලෙස එම ලේඛකයා හඳුනාගන්නේ හයිකු කවිය විය හැකිය. ඒ දෙකෙහි අසමානකම් බොහෝ ඇතත් විජය නන්දන පෙරේරාගේ 'සහස්පත්' කෘතිය විමසා බැලීමට එහි ඇති අදහස් ප්රයෝජනවත්ය.
''කෙටි කවිය සහ නිදහස් පද්‍ය සංසන්දනය කරන විට, අපට සිත් ඇදගන්නා සුළු වෙනසක් දක්නට ලැබේ: නිදහස් පද්‍යය එහි විවෘතභාවය රැක ගනිමින් එයම ප්රමෝදයක් ජනනය කිරීමට සලස්වයි. හයිකු කවිය නිරවද්‍යතාවයෙන් පිරිපුන්වන අතර කවිය නිමා වීමෙන් පසුව දිගු සීතීමකට ඉඩ සලස්වයි. දිගු ආකෘති විස්තීර්ණ රූපක හෝ ස්ථර සංකේතවාදය භාවිතා කළ හැකි තැන, හයිකු බොහෝ විට ස්වභාවය, හැඟීම් සහ ක්ෂණික මොහොතක් මත රඳා පවතී. මෙම වෙනස හරියටම මායාව ආරම්භ වන ස්ථානයයි."
''හයිකු නම් කෙටි කවියේ ඉලක්කය වන්නේ සාමාන්‍යයෙන් සොබාදහමෙන් එක් මොහොතක් ග්‍රහණය කර විශ්වීය දෙයක් දෘශ්‍යමාන කිරීමයි. හයිකු නිශ්චල ඡායාරූපයකට සමාන වන්නේ එය මූලික නමුත් හැඟීම්වලින් පිරී ඇති අතර අනෙකුත් කාව්‍ය, ආඛ්‍යානය හෝ රූපකය මත රඳා පවතී."
''කවියන්ට නිදහස් කාව්‍යයේ දී ඔවුන් කැමති ඕනෑම ආකාරයකින් භාෂාව භාවිතා කළ හැකිය. කෙටි කවිය සන්සුන් සංයමයේ ආකාරයක් ඉල්ලා සිටී."
"කෙටි කවිය පාඨකයාගෙන් කවියෙන් ඔබ්බේ වැඩිදුර සිතීමක් ඉල්ලා සිටී. නිදහස් කවිය කවියාට තමන්ව ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි."
මේ නිර්වචනයන් කිසියම් ආකාරයකට නන්දනගේ කවිය වටහා ගැනීමට අපට උපකාර වනු ඇත. නන්දනගේ කවිය හයිකු ලෙස හැඳින්වීම උචිත නැතැයි සිතමි. එහෙත් ඔහුගේ කාව්‍ය මාර්ගය උත්පාද වන්නේ හයිකු කවිය පදනමේ තබාගෙනය.
නන්දන දැනුවත්වම දේශපාලනයක් දරා සිටින්නෙකි. මතු නොව වාමාංශික දේශපාලනයයි. එම ධාරාවේ ට්‍රොට්ස්කිවාදය සිය චින්තන මාර්ගය කරගත්තෙකි. එවැන්නෙකු කවියෙකු වූ කළ ඔහු උපයෝගී කරගන්නා කෙටි කවි ආකෘතියට මස් ලේ පුරවන්නේ සිය ලෝක දැක්මට අනුකූලවය. වාමාංශික සම්ප්රදාය තුල ට්‍රොට්ස්කි තරම් කලාවේ බහුවිධ ස්වරූපයන් අගය කිරීමට හා ඒවායේ කලාත්මක අප්‍රමාණත්වය දරාගැනීමට අදාළ විධි නියාම පහදා දුන්නෙකු තවත් නැති තරම්ය.
මේ සියලු හැඳින්වීම් මවිසින් අදාළ කරගන්නේ විජය නන්දන පෙරේරා පසුගිය වසරේ පළකළ සිය පළමු කාව්‍ය සංග්‍රහය වන 'සහස්පත්' විමසීම වෙනුවෙනි. නිර්මාණකරණයේ නියැලෙන කෙනෙකු ලෙස විචාරයට මගේ කැමැත්තක් නැත. එහෙත් පලා යා නොහැකි තරමේ නිර්මාණ ප්රමෝදයක් කිසියම් කෘතියකින් මවෙත ලැබුණි නම් ඒ ගැන කිසියම් සටහනක් සමහර විට ලියමි.
නිර්මාණකරණයේ යෙදෙන්නෙකු ලෙස සමස්ත කලා ශානරයන්ගෙන්ම අපි පෝෂණය ලබා ගනිමු. ලිවීමේ කටයුත්තේදී අප ඉදිරියට යා නොහැකි සිර වීමකට ලක් වනවිට තවත් සාහිත්‍ය කෘතියක් සමහර විට අපේ සහායට ඒ. මට එසේ සිංහල සාහිත්‍ය ලෝකයේදී වැඩියෙන්ම බලපාන ලද්දේ අජිත් තිලකසේනයන්යන්ගේ සහ ගුණදාස අමරසේකරයන්ගේ නිර්මාණයන්ය.
නන්දනගේ කවි පොතේ සියලුම කවි නොවෙතත් ඉන් කිහිපයක් අපට තවදුරටත් නිර්මාණ කාර්යයයේ යෙදීමට ඒ ආකාරයට කිසියම් නව පනක් ලබාදේ.
මහාචාර්ය සුචරිත ගම්ලතුන් සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය ලැබීමත්, තමන්ගේම ස්ව අධ්‍යයනයන් නිසාත් නන්දනට සිංහල භාෂාව පිළිබඳව ඇත්තේ නිරවුල් හා පෘථුල අවබෝධයකි. එම අවබෝධය මෙම කෘතියේ කවි සඳහා ලබාදෙන ආලෝකය ඉමහති.
'සහස්පත්' කෘතියට අගනා පෙරවදනක් ලියන මංජුල වෙඩිවර්ධන මෙසේ කියයි.
'බිඳුණු බැමි මත නැගුණු මල් ඔබත් මාත් දැක තිබේ. කවිය පසුබිමෙහි වන සංසිද්ධිය වන්නේ ඔබත් මාත් දුටු දසුනක් ඔහුත් දැකීම පමණකි. නමුත් වෙනස වන්නේ මෙම ප්රතිමුඛවීම කවියක් බව විජය නන්දන කවියාට එසැණ වැටහී යාම යි. එය නිශ්චිතව ම කවියක් වන්නේ මෙකී වචන තුන තුළ පවතින ඔහුගේ අවිඥානික කාව්‍ය ම ය මුද්‍රාව නිසාය.'
මංජුලගේ අවධානයට ලක්වූ එකව මෙසේය.
'බිඳුණු
බැම්මකත්
මලක්!'
(පිටුව 65)
පහත දක්වන කවි තවෙකෙකුගේ විශේෂයෙන් නිර්මාණකරුවෙකුගේ නිර්මාණශීලිත්වය පුබුදුවන නිර්මාණ යැයි මට හැඟේ.
'ඉඩම් නඩු
කියන
වැට
කුසුම් දම්
පැළඳගෙන'
(පිටුව 40)
'සුළඟටද
අවනත ය
බිඳුණු
පසු
පියාපත්'
(පිටුව 42)
'බියපත්
නො වෙත්
තණපත්
සුළි සුළඟටත්'
(පිටුව 30)
කෘතියේ දෙවෙනි අඩෙහි නන්දන සිය කෙටි කවිවලට මාතෘකාවක් යොදයි.
පිළිම
______________
ඉහ
කාක
වසුරු ය
පය
කුසුම්
පොකුරු ය.
(පිටුව 125)
අම්මේ
---------
ළමැද
සිර කළ
ගිනි ද
පිපිරුණේ
චිතකයේ
(පිටුව 127)
See less

No comments:
Post a Comment