Sunday, 15 May 2022

මග අයුරු දෙස ආපසු හැරී බලමි.

 




'මගිය,

ඔබ එළඹ සිටි සිහියෙන් දැ යි 

විමසිලිමත් වෙන්න.'


වහන්ස,

මා මෙහෙයවූ උතුම් ම දම් පදය එයයි..

එය එසේ නොවී නම් 

මා සුන්බත් වී බොහෝ කල් ය.


සමිඳ, මා ඔබ දකින්නේ,

'උසය. හීන්දෑරිය,නොසැලෙන සේක.

අල්ප වූ ආහාර ඇති සේක, කිසි දෙයක නො ඇලෙති, වන වැද බවුන් වඩති, ලොබලිය ලියලවන වස්තූන්හි අපේක්ෂා හැරපියා සිංහයෙතු මෙන් හුදකලාව හැසිරෙති.' ‍

                       (සුත්තනිපාත)

 ලෙසිනි. 

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් නොවෙමි.


උත්පත්තියෙන් ම මට ලැබුණු දායාදය ඔබ වහන්සේ ය. 

ඔබ වහන්සේගේ දහමය.

මේ ජීවන ගමන් මගේ පිටමං නොකළ අතළොස්ස අතර

ඔබ වහන්සේ ඉහළින් ම වැඩ වාසය කරයි.


-චන්ද්‍රරත්න බණ්ඩාර


Monday, 7 March 2022

නොසරුප් සිතුවිලි 1


 

''ජීවිතය අවාරයේ පලගත් රස පලතුරක් වැන්න. නොකල්හි පල ගැනීම නිසා අව්ව වැස්සෙනුත් වෙනත් පරිසර සාධක වලිනුත් කරදර සිදුවේ. ඇස ගැසෙන උන්ගෙන් බේරී සිටීමට සිදුවේ. මම මතකයට ආ ළඟම මිතුරන් දහ දෙනෙකුගේ ජීවිත තතු විමංසනය කළෙමි. ඔවුන් මරණය දක්වාම විඳවන කුමක් හෝ ගැටළුවකින් පීඩා විඳියි. කිසියම් ශරීරාබාධයක්, දරුවෙකුගේ හෝ එවැනි සමීපතමයෙකුගේ ගැටළුවක්, දිළිඳුකම වැනි සමාජයීය හේතුවක් අධ්‍යාපනයේ අඩුවක්, විවාහයේ අර්බුදයක් හෝ මොකක් හෝ දෙයකින් පීඩා විඳියි. ආගම් ශාස්තෘවරුන් කළේ මේ පීඩිත මනුෂ්‍යයාට යම් ඉමක් නිර්මාණය කරමින් එතනින් එහාට මෙකී පීඩාවන්ගෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීමයි. එය  කිසිදු භෞතිකවාදියෙකුට කළ නොහැකි වික්‍රමයකි.''

Monday, 21 February 2022

ජීවිතය යනු නිර්වචන විරහිත වෙන දෙයක්.

 




දුරාතීතේ එක් සමයක

නොසන්සුන් මිනිස් හදක

දරා ගන්නට බැරි තරම් වෙහෙස

මම තවම සමරමි.


කෙසේ ගොඩ වී ද ඒ නිම්නයෙන්

මේ නිම්නයට

මෙනෙහි කරමින් නිස්කලංක රාත්‍රීවල.


ඒ යොවුන් සන්නාහය පැළඳගෙන

නැවත යන විට

ඒ රුදුරු බිම් කඩට

එතැන මා පෙර නුදුටු අරුමැසි මල් පිපී ඇත.

ඔබ කැමති සුවඳ හමමින්.


එදා මා පෙලූ වෙහෙසකර මුහුණුවර වෙනුවට

සීතල හදකින් ගලා එන

ලතෙත් බව පිරි මුහුණුවරකි එය.


එදා රතු පාටට තිත් වැටී දිදුල ඒ

රෝගී සඳ පලුව

සුපුරුදු චමත්කාරයටත් වැඩි දෙයක් වගුරුවමින්

පුරා සඳ සේ පැමිණ සිටියා සමීපයටම.


-චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday, 17 February 2022

මකුලොලුව මෙහෙවර


 

ඩබ්ලිව්.බී. මකුලොලුව මහතාගේ ශත සාංවත්සරික උපන්දිනය අදට(2022 සැප්තැම්බර් 17) දිනට යෙදී ඇත. සැබෑ දේශමාමකත්වයක් පිළිබඳ පූර්ණ අත්පොතක් බඳු ඔහුගේ දිවිසැරිය නුවණැසින් විමසීම සකලාංගයන්ගෙන්ම විනාෂයේ මුව දොරට පැමිණ ඇති අද දවසේ ඉතා වැදගත් යයි මම සිතමි. අම්මාගේ හඬින්ම නෙලුම් කවි අසන්නට පුලුවන් වූ , ගෙයි ඉදිරිපිට රජමහා වෙහෙරේ වාර්ෂික සූවිසි විවරණ පුජාවේ නර්තන ගායන ලීලා දවස් හතක් පුරා වාර්ෂිකව රසවිඳි මට ජන සංගීතයේ සම්භාව්‍ය මුහුණුවර මුණ ගැසෙන්නේ ගුවන්විදුලියේ මියැසිය හා සී.ද එස්.කුලතිලක වැනි බහුශ්‍රෘතයන්ගේ වැඩ සටහන් ඔස්සේය. පසුකාලීනව මකුලොලුව ශූරීන්ගේ දෙපානෝ යූ ටියුබ් පිටපතක් බැලූවිට එහි ගැබ් වූ සංගීත හා නර්තන සංකලනයෙන් පමණක් නොව එහි අන්තර්ගතය හෙබියාවූ මානව සංහිඳියාවෙන් මම විශ්මයට පත්වීමි. පළමුවරට මකුලොලුව ශූරීන්ගේ දිවිසැරිය හා මෙහෙවර පිළිබඳ මා දැන ගත්තේ මගේ දීර්ඝකාලීන කොළඹ නවාතැන වූ පියසේන ගුණතිලක නිවසට පැමිණි සෝමබන්ධු රවිබන්ධු විද්‍යාපති පියපුතුන්, චිත්‍රසේන, චන්ද්‍ර ගුණසේකර, පියසේන ද කොස්තා, උපාලි වනසිංහ , දයා රණවීර , දයානන්ද ගුණවර්ධන ආදී මහා මිනිසුන් ඇසුරෙනි. එදා මං ඒ හෘදයංගම සම්භාෂණ අසා සිටි ශ්‍රාවකයෙකු පමණක් වීමි. සැබැවින්ම මගේ ළමා වියේ ජන ගී හා ජන රංගය පිළිබඳ අත්දැකීම නව ඉසව්වක් වෙත මගේ රසඥතාවය නංවාලීමට මෙම සම්භාෂණ බෙහෙවින් වැදගත් විය. මකුලොලුව මෙහෙවර පසුකාලීනව නව පරම්පරාවන්ට නොපැවරීම අපේ සංස්කෘතික අබ්බගාත බවේ එක් හේතු කාරකයකි. මකුලොලුව මෙහෙවරෙහි දැවැන්ත සහායකයෙකු වූ රෝහණ බැද්දගේ වියත්මග රැස්වීමක තම අගනා ගීතයක් විරුද්ධ දේශපාලන චරිතවලට එරෙහි වචන එකතු කොට හාස්‍යය සඳහා ගයද්දී මට සිතුනේ පිළිසරණක් නැති මකුලොලුව මෙහෙවර රජ ඇඳුම් පිටින්ම අසරණව සිටින අයුරකි. ප්‍රබල කලාත්මක දැනුම පිටුපස ප්‍රබල පෞරුෂයක් තිබුණහොත් පමණක් ඔහු කරන කාර්්‍යය සාර්ථක ඉමක් කරා ගෙන ගිය හැකිය. අනෙකුත් ජන සංගීත පර්යේෂකයන් අබිබවා මකුලොලුව මෙහෙවර කැපී පෙනෙන්නේ එහෙයිනි. ඔහු ජන සංගීතය විෂයෙහි පමණක් නොව අනෙකුන් කලාවන් පිළිබඳ බහු පාර්ශ්වීය දැනුමකින් හෙබියේ විය. ඔහු ඉංග්‍රීසි ඇතුලු ඉන්දියානු භාෂා කිහිපයක් දැන සිටියේය. රාගධාරි සංගීතය රබීන්ද්‍ර සංගීතය, කථකලි හා මනිපුරි නර්ථනය හා එස්රාජ් හා සිතාර් වාදනය එතුමන් ශාන්ති නිකේතනයෙන් උගත්තේය. ඒ රංගම ගුණමලා හා නිත්තවෙල ගුණයාගෙන් උගත් සිංහල පාරම්පරික නර්තනයට අමතරවය. ඔහු විසින් පරිපාලකයෙකු ලෙස ජන සංගීතය හා ජන නර්තනය මෙරටෙහි ව්‍යාප්ත කිරීමට දරන ලද වෙහෙස සුළුපටු නොවේ. එදා මෙදා තුර ජන ගි ය පිළබඳ ව ලියවුණු විශිෂ්ටම හා පුරෝගාමී පර්යේෂණ කෘතිය මකුලොලුව මහතා විසින් ලියන ලද 'හෙළ ගී මග' යයි මම විශ්වාෂ කරමි. මකුලොලුව මහතාගේ ජන්ම ශත සංවත්සරය එළඹෙන්නේ ජාතික යයි කියන සෑම දෙයමත්, විශේෂයෙන් එහි අශ්පර්ෂණීය උරුමයන් විකාරයට පත් කිරීම මගිනුත් විනාෂ වූ අවධියකය. දේශීයත්වයට හා ජාතිකත්වයට දරා ගත නොහැකි තරම් 'ජාතික චින්තනය' වැනි න්‍යායන් ගොඩ නැගීම මගින් එයට උරුම සරලත්වය පිටමං කෙරිණි. මකුලොලුව, සරච්චන්ද්‍ර දයානන්ද ගුණවර්ධන ආදීන් විසින් මහජන සම්ප්‍රදාය තුල තිබුණු යම් දෙයක් කලාත්මක හා සංස්කෘතික අරුතකින් මතු කොට ජන ගීය, ජන සංගීතය ,ජන කලාවන් ආදි වශයෙන් පොදු කලාත්මක නිර්මාණ වේදය තුලට ඇතුලත් කෙරිණි. ඒ සරල එහෙත් ජනවිඥානය අරා සිටි ජන කලාවන්ට ජාතිවාදයේ කටුවක් සවි කිරීම මගින් ඒ කටුව තුල හිරවී හුස්ම පොදක් නැතිව ඒවා මියෑදෙමින් තිබේ. එයට හුස්ම පොදක් දිය හැකි මකුලොලුව වැනි වෙදදුරන් අද නැත. අද අපේ ගම්වල ජන කලාවන්ට අයත් කිසිවක් සජීවීව නැත. ගුවන් විදුලිලිය වැනි තැන්වලවත් ඒ ගැන උනන්දුවක් නැත. ජාතික උරැමයන් රකිනවා යැයි කියන ඇත්තෝ රජගෙදර අවට සැරිසරති.


Friday, 21 January 2022

චතුර ජයතිලක


මට චන්දරේ නමින් ඇමතූ ලෙන්ගතුම මිනිසුන්ගෙන් කෙනෙකි චතුර. පැරණි,සාපේක්ෂව සහනශීලී යුගය නිමා වී මේ ගිනි කන යුගයේ ආරම්භය දුටුවේ අප දෙදෙනා එකටය. මා එසේ කියන්නේ  77 මැතිවරණ ප්‍රතිඵල ඇසුවේ චතුරත් මාත් අපේ ගෙදර සිට එකට නිසාය. 

චතුරගේ ලොකු අයියා ජීවන් මා සමසමාජ දේශපාලනයට ඇද දැමූ අයගෙන් කෙනෙකි. ඔහු චතුර මෙන්ම අමුතුම මිනිසෙකි. දේශපාලන හේතු නිසා පාසල් ගණනාවකින් දොට්ට වැටුණු ඔහු මට හමු වූයේ අපේ ගම් පළාතේ පිහිටි තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ කරමින් සිටියදීය. ඔහු එදවසත් චේන් ස්මෝකර් කෙනෙකි. ඇන්.ඇම්.ලා සමගත් ඔහු කතා කළේ ඉංග්‍රීසියෙනි. පාසල් අවධියේම පක්ෂ නායකයන් සමග වාද කිරීමට තරම් දේශපාලන දැනුමකින් සන්නද්ධ වූවෙක් ඔහු. මගේ පාසල් ජීවිතයේ දුටු බහුශ්‍රැතම පාසල් ශිෂ්‍යයා ජීවන්ය.

චතුරගේ ඊළඟ අයියා ප්‍රගාශ් ද උතුරන්න දක්ෂකම් තිබූ මනා පෞරුෂත්වයක් නඩත්තු කළ කෙසඟ මිනිසෙකි. ඔහු අපේ පාසල වූ ධර්මරාජයට ආවේ මාතලේ විද්‍යා විද්‍යාලයේ සිටය. ඔහු අපේ පාසල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළේය. ප්‍රගාශ් මට පළමු වරට පරාක්‍රම කොඩිතුවක්කුගේ කවිපොතක් හා බුද්ධදාස ගලප්පත්තිගේ 'දෙදෙනාම දියණියෝ' කෘතිය ලබා දී ඒවා ගැන කියා දුන්නේය. මට මතක විදිහට මා පළමුව අත පත් නූතන කවි පොත් ඒවා විය යුතුය. ඔහු ලංකාව බිහිකළ විශිෂ්ඨතම ප්‍රචාරක නිර්මාණ වේදියෙක් බව මගේ හැඟීමයි.


ඒ දෙදෙනාම අකල්හි වියෝ විය. 


චතුර හා අප අතර වූයේ නාටකීය සබඳතාවයකි. අප දෙදෙනාම එකට දේශපාලනය ආරම්භ කළෙමු. මට චතුර ගැන හිතෙන්නේ ඔහු 'කොන්සර්වේටිව් වාමාංශිකයෙකු' ලෙසිනි. 1978 දී  සමසමාජ පක්ෂය අතහැර නව සමසමාජ පක්ෂයට යන්නට මට කෙතෙක් ඕනෑකමක් තිබුණත් චතුරගේ විරෝධය නිසා එසේ නොගියෙමි. එසේ නොයාම ගැන අද මට ඇත්තේ සංතෝෂයකි.

චතුර පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය. විවාද කණ්ඩායමේ ද නායකයා විය. ප්‍රබුද්ධ නම් වූ සඟරාවේ කතුවරයා ද විය. පාසල් ජීවිතය නිමා වී අපි වෙන්ව ගියෙමු. යළි අපි හමුවන්නේ ඊට වසර පහළොවකට පමණ පසු දවසක මගේ සේවා ස්ථානයේ දී ය. ඒ සිරස ටැලන්ට් පැක්ටරි ආයතනයේ නායකයා වශයෙනි. ඔහුගේ විවාහ මංගල්‍යයේ ඇරයුම් ලැබූ සීමිත මිතුරන් අතර මමද විය. ඒ විවාහය ඉතා වාසනාවන්ත එකක්ව යහපත්ව ගෙවෙන බව දනිමි.

අපි එක්ව ජීවිතයේ වටිනාකම් ගැන සාකච්ඡා කළ අයුරු මට මතක් කරමි. ඒවා මට බොහෝ සෙයින් වැදගත් විය. චතුරද සිය අයියලා මෙන්ම යහපත් වටිනාකම් නඩත්තු කරමින් දිවිසැරිය ගෙවා දමන බව මම දනිමි. චතුර ඔබට සුබ උපන් දිනයක්ද යහපත් අනාගතයක් ද වේවා.

-චන්ද්‍රරත්න බණ්ඩාර


Friday, 14 January 2022

නවාට උපන් දින තෑග්ගක්....


 ඒ 87-89 භීෂණ සමයයි. මම සේවය කළේ මාර්ග ආයතනයේය. නවා කොමර්ෂල් කොම්පැණියේ සේවය කළේය. බොහෝ විට අපි දෙදෙන එක්ව බස් රථයක නැගී වැඩට ගියෙමු.

එහෙත් එදා දේශප්‍රේමී ව්‍යාපාරය පැනවූ ඇඳිරි නීතියට යටත් දවසක් විය.

එදා බස් රථ ධාවනය වූයේ නැත. එහෙත් අප දෙදෙනාම වැඩට යා යුතුය. එවැනි දිනෙක සාමාන්‍යයෙන් කරන්නේ පාරට ඇවිත් යන හැම වාහනයකටම අත දිගු කිරීමයි. දන්නා අඳුනන කෙනෙක් වෙතොත් වාහනය නවතා අපට ප්‍රවාහන පහසුකම් සලසයි. එදාද වාහනයක් එසේ අප ඉදිරියේ නැවතුනේය. ඒ මහාචාර්ය නලින් ද සිල්වාගේ වාහනයයි. ඉදිරිපස අසුනේ මහාචාර්ය නලින් සමඟ වත්මන් පාර්ලිමේන්තු මංත්‍රී ගෙවිඳු කුමාරණතුංග ද විය. වාහනයට නැගි වේලේ සිට මහාචාරය නලින් මාව වාදයකට පොළඹවා ගන්නට උත්සාහ කළේය. ගෙවිඳු ඔහුට සහාය විය. ඔහුගේ වාහනයේ යන හෙයින් සෑහෙන දුරක් යන තෙක් මම මහාචාර්ය නලින් කියන දෙයක් අසා සිටියා විනා වචනයක්වත් කතා නොකෙළෙමි.

එහෙත් අපේ සේවා ආයතනයේ ප්‍රධානියා ගැන එතුමන් කී බොරුවක් 'නෑ සර් ඒක නම් බොරු' කීවා පමණකි.

වාහනය පැත්තකට කර නැවැත්වීය.

'හ්ම්..වාහනෙන් බහිනවා. බැහැලා ඕනෑ එකක යනවා' කීය.

ඒ නුගේගොඩ අනුලා විද්‍යාලය අසලිනි.

අපි තවත් පැය භාගයක් පමණ එතන සිටි අතර පැමිණි ලංගම බස් රථයක එල්ලී වැඩට ගියෙමු.

ඒත් අපි තවමත් මහාචාර්ය නලින් ද සිල්වා බුද්ධිමය සමාජයේ සිටිය යුතු චින්තකයෙකු ලෙස පිළිගනිමු.

Tuesday, 28 December 2021

'හිරු සැඟව ගිය බැවිනි' සමකාමී ප්‍රේමයේ ගති සොබාවයන් හි අනුවේදනීය පැතිකඩක් දැක්වෙන ගීතයක්

https://www.youtube.com/watch?v=PtRGkBOItzs

 ජීවිතයට වෙනස් මානයන් ඇති බවත් ඒ විවිධත්වය අපූර්ව බවත් පොහොසත් සංස්කෘතික සමාජයන් විසින් අතීතයේ දී වටහා ගෙන තිබුණි. එමෙන්ම එයම නවීන ආකාරයකට වර නැගෙමින් බටහිර සමාජයේ ජීවිත අලංකාර කරමින් සිටී. සමලිංගික විවාහයන් නීතියෙන් අනුමත වුවත් නැතත් තුන්වැනි ලිංගිකත්වය හා සමලිංගික ක්‍රියාකාරකම් නීතියෙන්ම බටහිර සමාජය විසින් පිළිගෙන තිබේ.


ඒ කාරණයේදී මෙන්ම නවීනත්වයට හා පුද්ගලික ජීවිතයට අදාළ බොහෝ කාරණා ලංකාවේ දී නම් තවමත් වික්ටෝරියානු ප්‍රමිතීන්ට යටත්ය. නාමිකව මිස යාවත්කාලීන වන ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාව තුල ක්‍රියාත්මක නොවේ.  එහෙයින් ම මිනිස් ජීවිතවලට වෙනස්ව බලපාන බොහෝ කාරණා ආගමික හා ඊනියා සදාචාරමය කෝවක් තුළ  ඇඹරී විනාෂ වී යයි.


සංක්‍රාන්ති ලිංගිකත්වයක් හිමි තුන්වැනි ලිංගිකත්වයක් ලෙස හඳුනාගත යුතු පිරිස් හා සමලිංගිකයන් අවමානයේද ඇතැම්විට නීතියේ ද ගොදුරු බවට පත්වේ.


මෙවැනි සංදර්භයක් යටතේ විශාකේෂ චන්ද්‍රසේකරන් වැනි පුරෝගාමී කලාකරුවෙක් මෙම ප්‍රශ්නය ගැන සිය කලාත්මක භාවිතය තුල විමසීමක් කරයි.ප්‍රැන්ජිපානි වැනි චිත්‍රපටයක් ඒ සඳහා මනා උදාහරණයකි. ටෙනසි විලියම්ස්ගේ නාට්‍යයක අනුවර්තනයක් ලෙස හෙන්රි ජයසේන නිශ්පාදනය කළ 'අහස් මාළිගා' ද යම් පමණකට සමලිංගිකත්වය තේමා කරගත් නාට්‍යයක් ලෙස මා අසා ඇත.


හැත්තෑව දශකයේ අගභාගයේ චන්ද්‍රරත්න මාපිටිගම හා ෂෙල්ටන් පයාගල එක්ව අධ්‍යක්ෂණය කළ 'මලට නොඑන බඹරු" චිත්‍රපටය මෙම විෂයම තේමා කරගෙන නිපදවූවකි. එහෙත් එම චිත්‍රපටය තුළ සමකාමිත්වය යම් රෝගයක් ලෙස හඳුන්වා තිබූ බව මතකය. වඩාත් පුළුල් ලෙස පළමු වරට එම විෂය සාකච්ඡා වූ 'මලට නොඑන බඹරු' ඒ අරුතින් ගත් කළ ඉතාම නිශේධනාත්මක කලා කෘතියකි.


ලෝකයේ සමකාමිත්වය පිළිබඳ කතිකාව සමාජ දේශපාලන වර්ධනයට සමගාමීව වර්ධනය වූවකි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් වහල් ක්‍රමය තහනම් කිරීමත් සමග ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට එරෙහිව තිබුණු ප්‍රධාන කඩ ඇණයක් ගලවා ඉවත් කෙරිණි. එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුද්ධයට සෘජුව මුහුණ දුන් බටහිර සමාජය ඒ ලැබූ අමිහිරි අත්දැකීම් ඇසුරෙන් ලෝකය හා ජීවිතයට අයත් සියළු අනුශාංගික අංග නැවත තේ්රුම් ගන්නට පටන් ගත්තේය. මිනිස් නිදහස යනු කවරේද යන කාරණයේ දී ආගමික හා සදාචාරමය වශයෙන් එතෙක් තිබූ සීමාවන් යළි ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ආර්ථක ප්‍රවේශයක් පමණක් ලෙස එතෙක් තිබූ ධනවාදය මානව නිදහස පිළිබඳ කාරණය ද සිය විෂය පථය තුලට ගෙන එය නිදහසේ පුළුල් වෙන්නට ඉඩ හැරියේය. සමකාමිත්වය අපචාරයක් නොව එය මනුෂ්‍ය ජීවිතයේ එක්තරා මානව ගුණාංගයක් ලෙස ඉනික්බිති අර්ථ දැක්වෙන්නට පටන් ගත්තේය. 


1901 ස්පාඤ්ඤ පරිසරය තේමා කරගත් Elisa and Marcela වැනි චිත්‍රපටයක් තුලින් අපට වැඩවසම් යුගයක සමකාමීන් හා ඔවුන්ගේ ජීවිත අර්බුදයට ලක් වූ අයුරු වටහා ගත හැකිය. එහෙත් මෑත යුගයේ නිර්මාණය වූ සමකාමී විෂය ධනාත්මකව නිරූපණය වූ Brock Back Mountain චිත්‍රපටය 2007 වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තේය. එමෙන්ම මෑතකදී නිර්මාණය වූ Blue is Warmest colour  චිත්‍රපටය අතිෂය සුන්දර සමකාමී ස්ත්‍රී ආදරයක් තේමා වූ අතර එය කෙතරම් ආනුභාවයක් පෑ කලාකෘතියක් වූවා ද යත් ඇතැමුන්ගේ ඒ විෂය පිළිබඳ තිබූ පිළිකුළ තුනී කිරීමට පවා සමත් වූ බව පුද්ගලිකව මම දනිමි.


සමකාමිත්ව විෂය පිළිබඳ සාකච්ඡාවේ එක් අවධියක් පරිපාකයට පත් කරමින් 2003 වසරේ දී බෙල්ජියම සමාන ලිංගිකයන් අතර විවාහයන් නීත්‍යානුකූල බවට පත් කළේ ය. එතැන් සිට මේ වනවිට රටවල් තිහකට ආසන්න සංඛ්‍යාවක් සමකාමී විවාහ නීත්‍යානුකූල බවට පත් කර ඇත. මින් බහුතරයක් ආර්ථික හා සමාජයීය වශයෙන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ඉහළින් සලකන බටහිර රටවල්ය. අප්‍රිකානු රටවල් අතරින් දකුණු අප්‍රිකාවත්, ආසියාතික රටවල් අතරින් තායිවානයත් සමකාමී විවාහයන් නීත්‍යානුකූල කළ රාජ්‍යයන් අතරට ගැනේ.


සමකාමී ප්‍රේමය මහත් වූ අනුවේදනීය ගතිකයන්ගෙන් සමන්විත වූවකි. එය තවත් ස්වභාවික ප්‍රේමයක් ලෙස සමාජය විසින් අනුමත නොකිරීම ඔවුන් මුහුණ දෙන ගැටළුවල මුලය.


ශුද්ධ වූ බයිබලයේ  'නික්මයාම' කොටසේ  මෙවැනි සබඳතාවන් දෙවියන් වහන්සේ විසින් අනුමත නොකරන්නේය යන ඇඟවීමක් දක්නට ලැබේ. බුද්ධ දේශනාව තුළ නම් එවැනි අගතිගාමී ඇඟවීමක්වත් නැති තරම්ය. ඉස්ලාම් දහම තුල සමකාමිත්වයට දක්වන විරෝධය විශාලය.


ලිබරල් ක්‍රමය ආර්ථික දර්ශනයකින් ඔබ්බට ගොස් මිනිස් නිදහස අර්ථ ගන්වන්නක් බවට පත්වුනූ විට සමකාමිත්වය ද ඒ නිදහසේම කොටසක් බවට පත් විය.


හිරු සැඟව ගිය බැවිනි


මේ පසුබිම අප විස්තර කළේ අද අප සාකච්ඡාවට බඳුන් කෙරෙන විජය නන්දන පෙරේරා විසින් විරචිත, අමල් පෙරේරා ගායකයාණන් විසින් ගායනා කරන ලද 'හිරු සැඟව ගිය බැවිනි' ගීතය පිළිබඳ රසවින්දනාත්මක ඇගයීමක් කරන අටියෙනි. මෙම ගීතයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ දිවයිනේ ප්‍රකට සංගීතඥයකු වන නවරත්න ගමගේ විසිනි. එය සමකාමී ප්‍රේමය පිළිබඳ යම් ප්‍රබල අනුවේදනීයත්වයක් ගැබ්වුනු ගීතයකි. සමකාමී ප්‍රේමයේ ගති ස්වභාවයන් පිළිබඳ ලියවුනු ප්‍රථම සරල ගීතය වූ නිසාදෝ එහි අපූරු සංයමයක් ගැබ්ව පවතී. භාෂාමය රම්‍ය බව රැක ගැනීමට දරා ඇති වෙහෙස හා ව්‍යංගය කලාත්මක භාවිතයක් ලෙස යොදාගැනීම මඟින් මෙම ගීතය විශේෂතාවයක් දක්වයි. මෙහි පද පෙල මෙසේය.


'හිරු සැඟව ගිය බැවිනි

ඉඟි බිඟි ද තරු ඇසිනි

නල නුරා ගී සරිනී

සඳ සරාගී මතිනී..


බඹර ගුමු ගුමු නදිනී

තඹුරු පුබුදුවනු බැරී

රොනට ඇදුනද රැයෙහී

නැගෙනු නැති ගී මිහිරී...


ලවන් මී රස ගිහිණී

යහන් සදනුව පෙමිනී

ලෙවන් ඇස මග හැරෙන

පැයේ හමුවනු මැනවී..


විජය නන්දන පෙරේරාගේ කතෘත්වයෙන් එළි දකින සමකාමී ප්‍රේමයේ ගති සොබාවයන් හි ප්‍රධාන අනුවේදනීය පැතිකඩක් දැක්වෙන මෙම ගීතය  තේමාත්මකව ගත් කළ ඒ වර්ගයේ ලංකාවේ බිහි වූ පළමු සරල ගීතය බව කියවේ. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ලයාන්විත මිහිරි පියවරයන් විඳීමට නොහැකි සමකාමියෙකුගේ  සිය ලසොව හා බලාපොරොත්තුව මෙමගින් විදහා දැක්වේ.

මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ සමීප මිතුරෙකු ද, ආශ්‍රේය ශිෂ්‍යයෙකු ද වන නන්දන මෙම පුරෝගාමී ගීතය සම්භාව්‍ය භාෂා රටාවෙන් සහ උපමා රූපක බහුල කාව්‍යාංග වලින් ද අලංකාර කර ඇත. එය ඔහු තෝරාගත් සුවිශේෂී වස්තු විෂයයට කරන බුහුමනක් ලෙස සැලකිය හැකිය. සමාජයේ ගර්හාවට ලක්වන විෂයයීය තේමාවක් භාෂාවේ හා කාව්‍යමය හැඩ රටා මඟින් එම තේමාව ගෞරවයකට පත් කිරීමකැයි මට හැඟේ.


මෙම ගීතය අමල් පෙරේරාගේ වස්තු විෂයයන් තෝරා ගැනීමේ නිර්භීත භාවය පිළිබඳ උදාහරණයකි. විශේෂයෙන් 'තරුවක්' සේ ගැනෙන ගායකයෙක් සිය ප්‍රතිරූපයට මෙය බලපාන්නේ කෙසේද යන අවිනිශ්චිතය නොතකා සමකාමී විෂය ගැන ගීතයක් තෝරා ගැනීම අමල්ගේ පුද්ගල පෞරුෂයට සාක්ෂියක් ලෙස ද සැලකිය හැකිය.


මෙම ගීතයේ රචක නන්දන මෙන්ම තනු නිර්මාපක හා සංගීත නිර්මාපක වන නවරත්න ගමගේ ද සම්භාව්‍ය මාක්ස්වාදය සමානව ඇසුරු කළ සහෘදයින් නිසා ඔවුන්ගේ මැදිහත් වීම අපට තේරුම් ගත හැකිය.


මනුෂ්‍යයාගේ අනුවේදනීය අවකාෂයන් ග්‍රහණය කර ගැනීම කලා නිර්මාණයන්හි එක් පරමාර්ථයකි. සමාජ සම්ප්‍රදායන් කවර තරම් හැඩි දැඩි වුවද කලාකරුවා ඒ බව නොතකා සිය හෘද සංවේදී බව ඒ ඒ විෂයයන් කරා යෙදවයි. ඉතිහාසය මුළුල්ලේ සමකාමී සබඳතා පිළිබඳ බොහෝ කලා නිර්මාණ බිහිව ඇත්තේ (ලංකාවේ නොවේ) ඒ අරුතිනි.


'හිරු සැඟව ගිය බැවිනි' ගීතය ගැනෙන්නේ ඒ ගනයටය. එම වෑයමම නිර්භීතය. කලාත්මකය. නිර්මාණශීලීය .


 - චන්ද්‍රරත්න බණ්ඩාර