Sunday, 19 January 2025

වික්ටර් අයිවන් : ඔහු ඉතිහාසයක් නිර්මාණය කළේය.



මරණයේ මළානික පැහැය සංස්කෘතික මිනිසාට යම්කිසි සදාචාරයක් මුණගස්වයි. ඒ ජීවත්වන සමයේ සැඟව පවත්නා කෙනෙකුගේ යහගුණ මරණය විසින් අපට පෙන්වා දෙමින් ශෝකය නම් වන්දියක් ගෙවන්නට ද සලස්වමිනි.

වික්ටර් අයිවන් සමඟ ඇසුරෙන් මා බැහැර වූ පසු කාලයේ ඔහුගේ සමහර ක්‍රියාකාරකම් මතවාදී ආස්ථානයන් පිළිබඳ මට එතරම් ප්‍රසාදයක් නොවිණි. එහෙත් එදාත් අදත් එකසේ ඔහු කළ වැඩකොටස අයිවන් යනු අප්‍රමාණ මිනිසෙකු යැයි හැඳින්වීමට ප්‍රමාණවත්ය.
“අත්දැකීම් හා තෙමේම වඩාගත් ප්‍රඥාවක් ඇසුරෙන් අවට ලෝකය විශ්ලේෂණය කළ අයෙකු වන්නේ වික්ටර් අයිවන්ය. අනෙක් තැනැත්තා මාර්ටින් වික්‍රමසිංහය”
මේ අදහස මා සමඟ පැවසුවේ ලංකා සමසමාජ පක්ෂයේ න්‍යායධරයෙකු වූ හෙක්ටර් අබේවර්ධන විසිනි. එක්දහස් නවසිය අසූගණන්වල ආර්ථිකයේ ගෝලීය ප්‍රවණතා ගැන ‘රාවය’ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් සඳහා හෙක්ටර් හමුවූ අවස්ථාවකදීය ඔහු මෙවන්නක් මා සමග පැවසුවේ. ‘රාවය’ සර්වෝදය ව්‍යාපාරයෙන් ක්‍රමයෙන් ස්වාධීන වෙමින් පැවති අවධියේ එහි පැවැත්ම උදෙසා පියෝබේවරේජස් සමාගමෙන් ලොකු මුදලකට වෙළඳ දැන්වීම රැගෙන දුන්නේ හෙක්ටර්ගේ මැදිහත්වීමෙනි. මා දන්නා තරමින් එකී වෙළඳ දැන්වීම රාවයේ පැවැත්මට සෑහෙන්න උපකාර විය.

එක්දහස් නවසිය අසූගණන්වල දෙවන භාගයේ ආරම්භ වූ රාවය සඟරාව වඩාත් ආක්‍රමණශීලී ලෙස එවකට එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත සමය  ජනතාවට දැනෙන ආකාරයට විවේචනය කිරීම ආරම්භ කෙරිණි. ඔය කියන අවධියේම එනම් 1986 අප්‍රේල් 26 වනදා යුක්රේනයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයට අනතුරක් සිදුවිය. එහෙයින් යුරෝපයේ කිරි නිෂ්පාදනයට එමගින් බලපෑමක් වෙතැයි මතයක් ඇතිවිය. ලංකාවට ආනයනය කරන පිටිකිරි අතරින් වැඩිම ධාරිතාව නෙස්ලේ කිරිපිටි වන හෙයින් ඒවායේද විකිරණ ආක්‍රමණයකට ගොදුරුව ඇතැයි යන්න එකළ ප්‍රචලිත අදහසක් විය. ඒ ගැන බොහෝසේ අවධානය යොමුකළ රාවය සඟරාව කලාප ගණනාවක් පුරා මේ පිළිබඳ විශේෂාංග පළ කළේය. ඒවා එසේ වන විට අදාළ බහුජාතික සමාගම විවිධ ආකාරයෙන් රාවයට බලපෑම් එල්ල කරන්නට පටන් ගත්තේය. එයින් කිසිසේත්ම පසුබට නොවුණු වික්ටර් අයිවන් වඩාත් වේගයෙන් සිය මෙහෙයුම දියත් කරන ලදී. අයිවන් විසින් මමද ඒ මෙහෙයුමේ කොටස්කාරයෙකු කරගත්තේය. එනිසා මවිසින් සෑහෙන සම්මුඛ සාකච්ඡා ප්‍රමාණයක් කළ බව මට මතක්වේ. තවත් බහුජාතික සමාගමක් වන පියෝබේවරේජස් සමාගම තම බහුජාතික අනෙකාට සහයෝගය දුන් එක් ආකාරයක් වූයේ එතෙක් රාවයට ලබාදුන් වෙළඳ දැන්වීම නතරකරමිනි. ඒ ගැන තමාට කිසිවක් කිරීමට තරම් ශක්තියක් නොමැති බව පවසමින් හෙක්ටර් අබේවර්ධන සිය කණගාටුව වික්ටර් අයිවන් වෙත පළකළේය. එවැනි අවාසි දරා ගනිමින් සිය පුවත්පත් මෙහෙවරට කැපවීමට අයිවන්ට ධෛර්්‍යයක් තිබිණි. රාජ්‍ය ප්‍රචංඩත්වයේ හොඳම අවධීන් වූ ජේ.ආර්.- ප්‍රේමදාස යුගවල නාඳුනන තුවක්කුකරුවෙකුගේ  ගොදුරක් බවට පත් නොවීම ඉතිහාසය නිර්මාණයට සොබා දහම, ඔහුට ලබාදුන් වරමක් යැයි මට සිතේ.

රාවයට මා යොමුකලේ ප්‍රවීණ කලාකරු සුනිල් සරත් පෙරේරා විසිනි. එහෙයින් රාවය සඟරාව ආරම්භයේ සිටම මට එහි ලේඛකයෙකු ලෙස කිසියම් අනන්‍යතාවයක් සකසා ගැනීමට හැකියාව ලැබුණි. මගේ නමට අමතරව ආරූඪ නම් ආදියෙන් පවා එකළ මම රාවය සඟරාවට ලිපි ලිව්වෙමි. වසර දහතුනක් අඛණ්ඩව ‘ගොඩයා’ නමින් කොලමක් ලියූ මට කිසිදු අදහස් සංස්කරණයට භාජනය නොකර පළකිරීමේ උසස් නිදහස මට ලැබුණේ වික්ටර් අයිවන් නම්වූ පෘථුල මිනිසාගේ මාධ්‍ය භාවිතයේ  ඇති විසල් බව නිසාමය.

මා රාවයට සම්බන්ධ වන විට එය ප්‍රකාශයට පත්වූයේ සර්වෝදය අනුග්‍රහයෙනි. එහි පළමු කාර්යාලය තිබුණේ මොරටුවේ සර්වෝදය මූලස්ථානයේ ගොඩනැගිල්ලකය. එදවස වෙනස් පෞරුෂයන් සහිත තිදෙනෙක් එහි සේවය කළේය. වික්ටර් අයිවන්ට අමතරව, උපාලි කොළඹගේ හා සඳා අහුබුදුය ඒ. ඔවුන් එකිනෙකා කෙරේ ගෞරවයෙන් හැසිරෙන බවකි මා එදා දුටුවේ. එතැනින් ඔවුන් රත්මලානේ ‘ගල්වල පාරේ’ තැනකට කාර්යාලය රැගෙන ගියේය.

මුල්ම සඟරාවෙන් රාවයට ඇතුළු වූ මා කවදාවත් ඉන් පිටව ගියේ නැතැයි සිතමි. සඟරාව ටැබ්ලොයිඩයක් වී පසුව විශාල පත්තරයක් වී වැජඹෙන විටත් , එහි ගැටුම් ඇතිව පත්තරය නැවතී නඩු හබවලට පැටලී සිටින අද දවසේත් මම රාවයෙන් පිටව නොගියෙමි. අද මා කොයි පත්තරයට ලිපියක් ලිව්වත් මා එය ලියන්නේ රාවයෙන් ප්‍රගුණ කළා යැයි මට සිතෙන හෘදසාක්ෂ්‍යමය මැදිහත්වීමක් සහිතවය. එවන් පන්නරයක් සහ එලෙස සදා කල් මතකයේ පවතින වර්ණයන්, රාවයට පමණක් නොව පුවත්පත් සම්ප්‍රදායට එකතු කළ සිත්තරා වික්ටර් අයිවන්ය.
වසර දහතුනක් තිස්සේ රාවයට අඛණ්ඩව මා ලියූ කොලම ගැන අද ආපසු හැරී බලන විට මට ඇත්තේ කිසියම් උපේක්ෂාවකි. එහෙත් අවදානමකට විවර වෙමින් සිදුවූ ඒ මාධ්‍ය හැසිරීම වික්ටර් අයිවන් නම් කුඩා මිනිසාගේ දැවැන්ත පෞරුෂයට මුවා වී කළ හාස්කමක් ලෙසය මට දැන් හැඟෙනුයේ.

හෙක්ටර් අබේවර්ධන නිවැරදිව පවසන්නාසේම වික්ටර් අයිවන් අත්දැකීම් දැනුමක් බවට පත්කරගත් , විශේෂ විශ්ලේෂණ හැකියාවක් වර්ධනය කරගත් අයෙකි. එමෙන්ම සිය හෘදයංගම හා අවංක කැපවීම ගොනු කළ 71 අරගලය තුළින් ලබාගත් පන්නරය දැනුමක් හා ක්‍රියාකාරිත්වයක් බවට පත්කරගත් අයෙකි. මරණයේ අද්දරට ගොස් ආපසු ජීවිතය ලැබුණු පසු ඩොෂ්ටොවුෂ්කි පරණ තැනැත්තා නොවුණා සේ ම වික්ටර් අයිවන්ද ප්‍රබල චරිතයක් වන්නේ එයාකාරයටම යැයි මම අනුමාන කරමි.

1971 අරගලයට නායකත්ව කාර්යභාරයක් ඉටුකළ සෝමවංශ අමරසිංහ හා ලයනල් බෝපගේ ඇතුළු තවත් එක් අයෙකු හෝ දෙන්නෙකු හැරුණු විට අන් සියල්ලෝම හිරගෙදරින් පිටවූ විගසම වාගේ ජනතා විමුක්ති පෙරමුණ හැරගියෝය. සමහරු හිරෙන් නිදහස් වීමටත් පෙරම පක්ෂයෙන් වෙන්වූහ. වික්ටර් අයිවනුත් ඒ මගම ගිය අයෙකි. 17 වියැති ඔහු සියල්ල කැපකරමින් ව්‍යාපාරයේ පූර්ණකාලිනිකයෙකු ලෙස සම්බන්ධ වී සිය අත් ඇඟිලි පවා පිදූ අයෙකි. ඒ සියල්ල කැපකරමින් වුවද ලද ප්‍රතිඵලය හා ඒ මෙහෙයවීම් ගැන ඔහු කළකිරුණා වියහැකිය.
විජේවීරගේ ප්‍රචණ්ඩ මාවතෙන් පක්ෂය මුදවාගෙන, අනුර දිසානායකගේ නායකත්වය යටතේ ප්‍රචණ්ඩ විරෝධී හා කිසියම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුවක් ගන්නා විටත් එම ව්‍යාපාරය පිළිබඳ පැරණි අපුල වික්ටර් අයිවන් විසින් ඉවත් කරගන්නට සූදානම් වූයේ නැත.

විකල්ප පුවත්පතක බලපෑම ජාතික පුවත්පත් අබිබවා ගෙන යාමට වික්ටර් අයිවන් සමත් විය. ඒ නිර්භීත භාවය හා ‘වසන් නොකළ සත්‍යය’ යන කාරණය මත පදනම් වීම නිසාය. චන්ද්‍රිකා බණ්ඩාරනායකට නායකත්ව චරිතයකට පිවිසෙන්නටත්, ඇගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හැදෙන්නටත් රාවය පුවත්පතේ භූමිකාව හා ඉන් ඔබ්බේ අයිවන්ගේ භූමිකාව බලපෑවේය. අවසානයේ ‘චෞර රැජින’ ලෙස චන්ද්‍රිකාව හඳුන්වා පොතක් ලිවීමට තරම් ඔහුගේ භූමිකාව වෙනස් විය. ඒ ඔහුගේ අවංකකම නිසා වූවක්ද, එසේ නැත්නම් ඔහුගේ කැපකිරීම් චන්ද්‍රිකා විසින් නොසලකා හැරීම නිසා වූවක්ද යන්න පිළිබඳ මට ඇත්තේ අනුමාන කිහිපයක් පමණි.
පුවත්පතක් සීමාව ඉක්මවා පක්ෂපාතී වීම විසින් සිදුවන විපාකය චන්ද්‍රිකා පාලනය මැදභාගයේ සිට රාවයේ පරිහානි යුගය ආරම්භ වීමෙන් පෙන්නුම් කරයි.

අයිවන් තරම් මා කෙරේ විශ්වාසය තබමින් මගේ පුවත්පත් කලාවේ ආධුනික හීනමානය බිඳලීමට කටයුතු කළ තවත් අයෙක් නැති තරම්ය. තමාට කිසියම් දේශපාලන පක්ෂග්‍රාහිකත්වයක් තිබියදී වුව අනෙකාට එයට විරුද්ධ වෙමින් අදහස් පළකිරීමට ඔහු ඉඩ සලසා දුන්නේය.

හැමදාම ඉහළ මැද පංතියේ තේරීම ඉංග්‍රීසි පුවත්පත්ය. ඔවුන් රට හඳුනාගත් එක් ප්‍රධාන මාර්ගයක් වූයේ ඒවාය. එහෙත් රාවය බිහිවීමත් , එය බලපෑම් සහගත වීමත් සමග ඉහළ මැද පංතියේ කියවීම් අතරට රාවයද එක්විය. එහෙයින්ම රාවය බලපෑම් සහගත පුවත්පතක්ද විය.
‘රාවය නීතියක් තකන්නේ නැතිව වැඩකරයි. එයම රාවයේ සාර්ථකත්වයට හේතු වෙයි.’ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා එලෙස කියා ඇති බව මට මතක් කළේ රාවයේ සමාරම්භක ප්‍රධානියෙකු වූ උපාලි කොළඹගේය.

අධිකරණය ඔය හිතන තරම් උත්තරීතර නොවන බව මුලින්ම නිර්භීතව රටට කියා පෑවේ වික්ටර් අයිවන් සිය පුවත්පත තුළිනි. කවර හෝ හේතුවකට ඔහුව දඬු කඳේ ගැසීමට සරත් සිල්වාට නොහැකි විය. සරත් සිල්වා හා රාවය අතර වූ තීර්ව අරගලය සමස්ත අධිකරණ ක්‍රියාවලිය අවම වශයෙන් මාධ්‍ය සංවේදී කිරීමටවත් සමත් විය. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා වික්ටර් අයිවන් ලබාදුන් උසස් ජයග්‍රහණයකි.

වික්ටර් කුලය රටේ රඟපාන රහෝගත එහෙත් බලවත් භූමිකාව නිරාවරණය කිරීමට පුරෝගාමී වීම මා සලකන්නේ ඔහු අතින් සිදුවූ ප්‍රගතිශීලී කාර්යයක් ලෙසිනි. කුලයේ භූමිකාව එසේ යැයි පිටිගැනීමට සමහරු අකමැති වුවත් සංඝ සමාජයේ සිට දේශපාලනය හා විද්වත් සමාජය දක්වා එය වස විසක්ව පැතිර ඇති අයුරු දැකගන්නට ඔහු ඉටු කළ භූමිකාව විශාලය.

සාපරාධී අපරාධ නීතිය වැනි දුර්දාන්ත නීතියක් වෙනස් කිරීමට ඔහු කළ නායකත්ව මැදිහත්වීමද සුළුපටු නැත.
වික්ටර් අයිවන්ගේ භූමිකාව ගැන අවබෝධයක් ලබා ගැනීමට අපට කෙටි අභ්‍යාසයක් කළ හැකිය. එනම් ගෙවී ගිය වසර තිහක කාලය තුළ වික්ටර් අයිවන් නොසිටියා නම් සමාජය කෙලෙස වනු ඇද්ද යනුවෙන් හිතා බැලීමය.

අතුල අයියේ ඔබට සුබ රාත්‍රියක් .

චන්ද්‍රරත්න බණ්ඩාර

No comments:

Post a Comment