ඔබේ අලුත් ම ප්රබන්ධය ‘පියාසර සමය’ එන එක වැකියකින් අපේ කතාබහ පටන්ගන්න කැමැතියි. ඒ අඟහිඟකම් නැති පන්තියක් වේ නම් ඒ මැති ඇමැතිවරුන් අයත් පන්තියයි’ කියන වැකිය. පියාසර සමයේ ඇමැති ජයසුමන පුෂ්පදේව නියෝජනය කළේ ඒ පන්තිය. ඒත් ලාංකේය සමාජයේ අපි දැන් ඉන්න මේ මොහොත, ඔබ මේ පොත ලියමින් හිටිය මොහොතට වඩා බොහෝ වෙනස්. අගහිඟකම් නැති පන්තියේ මැති ඇමැතිවරු බොහොමයක් දැන් ගෙදර. අගහිඟකම් ඇති පවුල්වලින් බිහිවුණ දරුවන්ට පාර්ලිමේන්තුවේ දොර ඇරුණා. රට අතහැර යුරෝපයට සංක්රමණය වුණු චමත් වැනි තරුණයන් අරගලයෙන් පැතූ යුතෝපියාව යථාර්ථයක් කරගන්න මේ ජයග්රහණය මොනවගෙ උත්තේජනයක් වෙයිද?
දේශපාලනය විසින් ඉතිහාසය හසුරුවනවා යන්නට කදිම උදාහරණයක් ඔබ මතු කරන වැදගත් ප්‍රශ්නය. ‘පියාසර සමය’ ලියන්න ආරම්භ කරන්නෙ නූතනය, එහෙම නැත්නම් සමකාලීනත්වය විෂය කරගෙන. එහෙත් මම නූතනය යයි විශ්වාස කළ දෙය එක් නිශ්චිත මොහොතක අප ඇස් පනාපිටම අතීතය බවට පත්වෙනවා. ඒක අපූරු සිදුවීමක්. මම චූලානන්ද සමරනායක සමඟ කතාකරමින් ඉන්න විට මෙහෙම දෙයක් ඔහු කිව්වා.‘ බ්‍රෙෂ්ට්ගෙ පැහැදිලි ප්‍රකාශයක්නේ දේශපාලකයින් වෙනස් කරන්න උත්සාහ කරනවට වඩා අපි උත්සාහ කළ යුත්තේ අලුත් ජනතාවක් පත්කරගැනීමට කියලා. ඒත් ඒ ජනතාව කවුරුත් කියන්නෙම නැතිව තමන්ම අලුත් ජනතාවක් බවට පත්වෙලා.’ මම පොත ලියා හමාර කරන මොහොතේ තිබුණු පැරණි දේශපාලන වටපිටාව දැන් වෙනස් වෙලා. මේ මොහොත උදාකරගන්නට චමත් වැනි තරුණයන්ගේ සාමූහික යුටෝපියානු සිහිනයත් මහජනයාගේ පීඩාවත් එක්ව ලංකා දේශපාලනයේ අන්තර් අවධියක් එහෙමත් නැත්නම් සංක්‍රමණීය අවධියක් නිර්මාණය වුණා. එය ක්‍රමයෙන් නව සමාජ අවධියකට ජනතාව සේන්දු කළා. එමගින් බිහිවූ පාලනයේ නායකත්වයට චමත්ලාගේ දෘඩ වාමාංශය වෙනුවට ඉතිහාසයේ අත්දැකීම් දෙස සිංහාවලෝකනයෙන් බලා සිය ගමන්මග සකස්කර ගත් ලිබරල් වාමාංශය පත්ව තිබෙනවා. ඇත්තටම එය පටහැනි මතවාදී දිශාවන් දෙකකින් පැමිණි මිලංකාටත් චමත්ටත් එකඟ විය හැකි තෝතැන්නක්. මේ වනතුරු ලංකාවේ දේශපාලකයන් යනු වෙනස්ම පංතියක්. දේශපාලකයෙකු වෙන්නට පෙර අප ඇසුරු කළ පුද්ගලයා දේශපාලකයෙකු වූ පසු මුණගැසෙන්නේ වෙනස්ම පංති ලක්ෂණ සහිත වෙනස් කෙනෙක් විදිහට. එහි සංකේතය පුෂ්පදේව. ඒ පංතියට කවදාවත් තමන් ගතකරන ආධිපත්‍යධාරී සැප පහසු ජීවිතයට ‘මෙවන් ඉරණමක්’ අත්පත් වේ යැයි විශ්වාස කළේ නෑ. බ්‍රෙෂ්ට් කියූ විදිහට වෙනස්ව ගොස් කාගේවත් මැදිහත් වීමක් නැතිවම වෙනස් වූ ජනතාව ඒ ප්‍රභූ දේශපාලන පංතියේ සදාකාලික බව අහවර කළා.
‘පියාසර සමය’ අරගලය මතින් ලැබුණු උත්තේජනයක් මත ද ලියැවුණේ. නැත්නම් ඔබේ විප්රවාසී ජීවිතයේ අත්දැකීම් මුදාහරින්න ලියැවුණු නවකතාවක් ද?
අරගලය ගැන මට තියෙන්නෙ අතිෂය ආශ්වාදනීය හැඟීමක්. එය ගෙවීගිය ශතවර්ෂ එකයි කාල තුල සිදුවුණු ප්‍රබලම ජන විමුක්ති අරගලයයි. එය 53 හර්තාලයට හා ජවිපෙ කැරලි දෙකටම වඩා සාධනීයයි. රුසියාවේ 1905 විප්ලවය හා ප්‍රංශ විප්ලවයටයි මම එය සමාන කරන්නේ. 1943 අධ්‍යාපන පනත මගින් ඇතිකරන ලද සමාජ විප්ලවයෙන් බලගැන්වුණු ජනතාවගේ විමුක්ති හැඟීම එමගින් නිරූපණය වුණා. ඒ ගැන පිබිදුනු මනසින් ඉන්න විට සියා උල් හක් පකිස්තාන නායකයාගෙන් අඹ පාර්සල් හයක් ලැබුනු ජනාධිපතිවරයෙකු ඒ හය බෙදා දුන් අයුරු ගැන කතාවක් මට දැනගන්න ලැබුණා. ඊට අමතරව නුදුරු දේශපාලන අතීතයේ සමහර සිදුවීම් මම පුද්ගලිකව අත්විඳ තිබෙනවා. අරගලයට නායකත්වය දුන් සමහර තරුණයන් විඳි බිය ජනක තත්වයන් මම අසා දැක තිබෙනවා. එමෙන්ම නිදහස ලැබුණු ආසන්නයේ සිට නායකයන්ගේ කුස්සි කැබිනට් කතා, රහසිගත ජීවිත ගැන මම අසා තිබෙනවා. කතා තේමාව ඔප මට්ටම් කරගන්න මට ඒ සියල්ල උපකාර වුණා.
ප්රේමය ඔබේ නවකතාවලදි උත්කර්ෂයට නංවන මානුෂික හැඟීමක්. මේ කතාවෙදි ඔබ උත්කර්ෂයට නංවන්නෙ චමත් –මිලංකා ගේ සබඳතාව. ඒ වගේම චමත් ගේ විරහව. කියුබාවේ මෙල්සිසා – පැබ්ලෝ ප්රේමය පුෂ්පේ --අංජලී සබඳතාව අමතක කරන්න බැහැ. ප්රේමය උත්තරීතර හැඟීමක් විදිහට වගේ ම අවස්ථාවාදී හැඟීමක් විදිහටත් මේ නවකතාව ඇතුළෙදි කියවාගන්න පුළුවන්. ඔබ නොයෙක් ආකාරයෙන් ප්රේමය වර්ණ ගැන්වීම් කරනවා. විවිධ හැඩතල පෙන්වනවා. ඔබේ කතා කලාවෙදි ඔබ ප්රේමයට මේ තරම් ඉඩක් දෙන්නෙ ඇයි?
බොහෝ සමාජ දේශපාලන කාරණාවලදීත්, පෞද්ගලික ජීවන ඉරණම්වලදීත් කොහේ හෝ තැනෙක ප්‍රබල සාධකයක්ව ප්‍රේමය පවතිනවා. එය පවතින්නේ විවිධ ස්වරූපවලින් වෙන්නට පුළුවන්. අනෙක් අතට මම නිර්මාණ කාර්යයේ නියළෙන්නේ පළමු කොට මාව පිනවා ගැනීමේ අරමුණින්. එහෙයින් මා වෙනුවෙනුත් පොදු පාඨකයා වෙනුවෙනුත් කෘතිය තුළ යම් මිහිරක් නිර්මාණය කළ යුතුයි. කිසියම් ගැඹුරක් වෙත පාඨකයා ගෙන යාමට ඒ මිහිර අත්‍යාවශ්‍යයි. ස්ත්‍රී පුරුෂ ආදරය තරම් ඒ මිහිර කැඳවාගත හැකි අන් යමක් ලොව නෑ. අනෙක් අතට මගේ නිර්මාණ රස විඳීම් කලාපයේ ප්‍රේමයට විශේෂ තැනක් තියෙනවා. ප්‍රේමානිශංස නවකතාවේ නිරූ, සයුරු වෙත ශිෂ්ටත්වය ළඟා කරන්නේ ප්‍රේමය හරහා. පියාසර සමයේ මිලංකා , චමත්ගේ දෘඩ බව වෙනුවට නව දැනුමක් සම්පාදනය කරන්නේ ප්‍රේමය හරහා. පියාසර සමයේ මිලංකා -චමත් ආදරයත්, මෙලිස්සා- පැබ්ලෝ ආදරයත්, අංජලී- පුෂ්පේ ආදරයත් වෙනස්ම හැඩ රටා සහිතව ප්‍රධාන තේමාවට දායක වෙනවා කියන විශ්වාෂයක් මට තියෙනවා. මගේ කෘති තුළට ප්‍රේමය පිවිසීම නිරායාස දෙයක්. එය මගේ ආත්මයේ ගැඹුරු තැනකින් මගේ නිර්මාණ විජිතයට පායන හිරු මඩලක්.
ඔබේ කතාවල ආගමික දර්ශන බෙහෝ විට හමුවෙනවා. විශේෂයෙන් භගවත් ගීතාවේ මහායාන දර්ශනය, ඕෂෝ දර්ශනය, ඔබේ ලිවීම් ඇතුළට මේ දර්ශන ගෙන එන්න ඔබව පොළඹවන විශේෂ හේතුවක් තියෙනව ද?
මම පුරාතනය විධිමත්ව හැදෑරූ කෙනෙක්. ඒ කාර්යය මගේ ජීවිත කාලය මුළුල්ලේම තවදුරටත් මා කරාවි. මගේ උත්පත්ති ආගම හැරුණු කොට අනෙක් ආගම් මට හමුවන්නේ එලෙස පුරාතනය හැදෑරීම නිසා. ඒවා කිසියම් සැනසුම් මාර්ගයක් ඒ ඒ ඇදහිලිවන්තයන්ට උදාකරනවා. උදාහරණයක් විදිහට තිබ්බතයේ ලාමා දහම නිර්වාණ අවබෝධය සඳහා පමණක් නොව තමා අවට කටුක පරිසර තත්වයන් ජයගැනීමට පවා යොදා ගන්නවා. ප්‍රේමානිශංස නවකතාවේ නිරූ, පියාසර සමයේ මිලංකා හා චමත් නිරාගමිකයන් කියන්න පුළුවන්. එහෙත් නිරාගමිකයන්ටද සහභාගි විය හැකි කොටසක් සමහර ආගම්වල තිබෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් බුදු දහමේ, සුෆි දහමේ එහෙම දෙයක් තියෙනවා. ජීවත් වීමේදී කරුණාව උපයෝගී කරගැනීම, එදිනෙදා ජීවිතය පහසු කරගැනීමට භාවනාව යොදා ගැනීම ඒ සඳහා උදාහරණ. දළයි ලාමා, ත්‍රිචි නාත් හන් වැනි උදවියගේ කරුණාන්විත මැදිහත්වීම් තමාගේ ජීවිතවලට ඇතුළු කරගැනීම අද බටහිර විලාසිතාවක් වෙලා. ඒ එමගින් සැනසීමක් ලැබෙන නිසා. මගේ නවකතාවලට මෙම දැනුම පද්ධතීන්ගෙන් උකහා ගන්නා යම් යම් දේවල් උපයෝගී වන්නේ නිරායාසයෙන්. මම ආගම් දෙස බලන්නේ එහි ලබ්ධිකයින් බලන ආකාරයටම නොවේ. ශිෂ්ටත්ව උපකරණයක් විදිහට
මිලංකා පියාසර සමය පුරාම මතුවී නැගෙන ප්රබල ම චරිතය. මේ නවකතාව පුරාම ඒ සංස්කෘතික ගැහැනියගේ බලපෑම ප්රබලයි. චමත්ව පවා නිවැරැදිව හඳුනගන්න ලැබෙන්නෙ මිලංකා නිසා. නවකතාවේ කේන්ද්රීය චරිතය ප්රබල ස්ත්‍රී චරිතයකින් ගොඩනගන්න ඔබ හිතුවේ ඇයි?
මම ලංකාවේ දේශපාලන ලෝකය සමීපව ඇසුරු කරන සමයේ මිලංකාවරියන් (දේශපාලන බිරියන්) කිහිප දෙනෙකු සමීපව අධ්‍යයන කර තිබෙනවා. ඉන් බොහෝ දෙනා ආශ්චර්යමත් කාන්තාවන් ලෙස පිටතට පෙනුනත් ඔවුන් බොහෝ දෙනා සපත්නීරෝෂයෙන් දිවා රෑ දුක් විඳින අය. ලංකාවේ දේශපාලකයන් වඩ වඩාත් දූෂණය වෙන විට ඒ බිරින්දෑවන් ද ඒ අවකල් ක්‍රියාවන්ට අනුබල දෙන බව ඇත්ත. එහෙත් ඒ දේශපාලකයන් සිවිල් පුරවැසියන් රවටන්නා සේම තම බිරින්දෑවරුන්ද රවටනවා. එය පුද්ගල චර්යාවක වරද නෙවෙයි. අප රටේ වැනි දූෂිත දේශපාලන රටාවක ඇති කැතකම. පියාසර සමයේ ප්‍රධාන ස්ත්‍රී චරිත කිහිපයක්ම බලය විසින් අවභාවිතාවට ලක්ව පීඩාවට පත් කාන්තාවන්. විජේවික්‍රම මැතිණිය හා අංජලී පෙරලුණු පිට හොඳයි සිතමින් එහිම ගැලී ජීවිතය ජය ගන්නට තැත් කරනවා. එහෙත් ලෝකාවබෝධයෙන් ඔවුනට වඩා ඉහළ මිලංකා තම ජීවිත ඉරණමට එරෙහිව කැරළි ගසනවා. ඇය මෙහි හමුවන සෑම පිරිමි චරිතයකටම වඩා සංස්කෘතිකයි. අප වැනි වැඩවසම් සමාජ දේශපාලන ක්‍රමයක ස්ත්‍රිය පීඩිතයි. ඇය වර නැගෙන්නේම දෙවෙනි ගනයේ පුරවැසිනියක ලෙස. එහෙත් ඉන් මිදී ස්වයං අරගලයක යෙදුණු වැඩි දෙනා ඉන් ජයගත්තේ තමන් සතු ලෝකාවබෝධයේ තරමට හා වෙනත් බල මූලාස්‍ර තමාගේ කර ගැනීමේ තරමට. මිලංකා ඔය දෙකෙන්ම පිරිපුන් ගැහැණියක්. තමාගේම සදාචාර නියාම පද්ධතියක් තමා වෙනුවෙන් සකසා ගත් ගැහැණියක්.
මිලංකාව මේ තරම් ප්රබල සංස්කෘතික ගැහැනියක් ලෙසින් ගොඩනගන්නෙ ඔබේ සාහිත්ය කලා, සංස්කෘතික, දේශපාලනික හැදෑරීම්ල කියැවීම් බලපෑම් කළා ද?
ඔව්. ප්‍රේමානිශංස නවකතාවේත්, පියාසර සමයේත් ස්ත්‍රිය එහි අවශේෂ පිරිමින්ට වඩා සංස්කෘතික මානවිකාවන් ලෙස ගොඩ නගනවා. එය නිරායාස ගොඩනැගීමක්. දිගු කලක් පැරණි ලිබරල් වාමාංශික ව්‍යාපාරයෙන් හා නව වාමාංශික ව්‍යාපාර සමීපව ඇසුරු කිරීම් නිසා ඒ දැනුම් පද්ධතිවල හරයට යම්තාක් දුරකට මම සමීප වුණා. ඒවායෙන් ලැබුණු දැනුම හරහා ලිංග බේදය ඇතුළු සියලු වර්ගවාදයන්ට එරෙහි ආත්මයක් මා සතු වෙනවා. පියසීලී විජේගුණසිංහ වැනි ස්ත්‍රී මහිමාවන්ගේ සමීප ඇසුර මට බෙහෙවින් බලපෑවා. අනෙක් අතට දශක දෙකක පමණ කාලයක් බටහිර ගෙවන ජීවිතයද මේ සඳහා බලපාන්නට ඇති.
ඔබ තමයි ලංකාවේ ලාබාලතම සම සමාජ පක්ෂ සාමාජිකයා. ඔබේ තරුණ කාලය ගෙවන්නේ වාමාංශික දේශපාලනයත් එක්ක. අපි මේ නවකතාවේ චමත්ගෙ පැත්තට හැරුණොත්, ඔහු වම එක්ක අනුරාගයෙන් බැඳුනු තරුණයෙක්. එක පැත්තකින් ඔහු නියෝජනය කරන්නෙ අරගලයට සම්බන්ධ වුණු නූතන තාරුණ්යය. ඔබේ තරුණ්යයි වම එක්ක බැඳුනු විදිහයි, චමත්ලගේ පරම්පරාව වම එක්ක තියෙන බැඳීමයි ගැන ඔබේ ජීවන අත්දැකීම් එක්ක සංසන්දනය කරන්නෙ කොහොම ද?
මගේ යෞවනය හා තාරුණ්‍යය ගෙවෙන්නේ පැරණි වම ඇසුරේ. චමත්ගේ තාරුණ්‍යය ගෙවෙන්නේ නව රැඩිකල් වම ඇසුරේ. මගේ තරුණ කාලයේ මම ‘විප්ලවය’ විශ්වාස කළා. තරුණ චමත් තවමත් ‘විප්ලවය’ විශ්වාස කරනවා. අප දෙනොම කාල පරාස දෙකකදී විප්ලවයට අනුරාගයෙන් බැඳුනු දෙදෙනෙක්. විප්ලවය විශ්වාස කරන උදවියට පිටුබලය දෙන්නේ සාරාර්ථ දර්ශනයක්. කවුරු කෙලෙස අවලාද නැගුවත් මෙම දර්ශනය ජීවිතයට සමීකරණය කරගත් උදවිය පරාර්ථකාමීන්. ‘මම’ පමණක් නොව ‘අපි’ යන්න විශ්වාස කරන උදවිය. මම දැන් සන්නද්ධ විප්ලවය විශ්වාස කරන්නේ නෑ. එහෙත් චමත් තවමත් එය විශ්වාස කරනවා ඇති. ඇත්තටම දැන් මම වාම පරමාදර්ශ සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක්.
මිලංකා චමත් ගෙ උපන්දිනය සමරන්න යන්නෙ කියුබාවට. මේ සංචාරය මේ නවකතාවේ එක්තරා සංකේතයක්. චමත්ලගේ හදවතේ තියෙන වමේ රන් දෙවොල තමයි කියුබාව. ඒත් මහපොළොවේ තියෙන කියුබාව වෙනස්. චමත් ඒක කියුබාවෙදි අත්දකිනවා. මේක චමත් වගේ අනුරාගික වාමාංශිකයන්ට ටිකක් රිදෙන තැනක්. ඔබ මේ කියන්න උත්සාහ කරන්නේ නූතන ලෝකය ඇතුළෙ වම දකුණ බෙදන රේඛා පැහැදිලි නැති බව ද?
ඔව් නේද? කියුබාව අද පත්ව ඇති ඛේදවාචී තත්වයට පත්වීමට සීතල යුද්ධයෙන් පසු ඇතිවූ සමාජවාදී කඳවුරේ බිඳවැටීම බලපෑවා. ඒ ආර්ථික වශයෙන් බිඳවැටීමට. අනෙක් අතට ස්ටැලින්වාදයේ චර්යා පද්ධතියට අනුගත වීම නිලධාරිවාදයකට පාර කැපුණා. එහෙත් අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමට කැස්ට්‍රෝ ,චේගුවේරා ආදීන් කළ අරගලයේ පාඩම් හා පරමාදර්ශයන් මටවත් චමත්ටවත් සාරදර්ශී ගැහැණියක ලෙස මිලංකාටවත් අමතක කරන්න බැහැ.
කියුබානු සමාජය මේ තරම් සමීප විදිහට නවකතාව ඇතුළට ගෙනැල්ලා ඔබ ඒ තැන්වල සැරිසැරුව ද?
ඔව්. මම සිව් වතාවක් කියුබාවට ගිහින් තියෙනවා. ඔයා හිතන්න මිලංකා සමග නැතිව චමත් තනිවම කියුබාවට ගියා කියලා. ආන්න ඒ චමත් වගේ මුල් දෙවතාවෙම මම කියුබාව දැක්කෙ පුදුම අනුරාගයකින්. හතරවෙනි වතාව මම ගියේ මේ කෘතිය සඳහාමයි.
කතාවේ අවසානය වෙනකම් මම උදේශිකාව හෙව්වා. ඒත් හමුවුණෙ නෑ. ඔබ හිතාමතාම උදේශිකා මගහැරියා ද?
ඔබ ඒ ප්‍රශ්නය ඇසුවාම මට කිසියම් වරදකාරී හැඟීමක් ඇතිවුණා. එහෙත් මට පසුව හිතුණා චමත්ගේ සැරිසැරීම මිලංකා හමුවන තෙක්මත් හසුරුවන්නේ උදේශිකා නේද කියලා. උදේශිකා මම හිතාමතා මගහැරියේ නෑ.
කතාව අවසන් වෙන්නෙ ඇසිඩ් ප්රහාරයට ලක්වුණු තම ඇමැති සැමියාව රැක බලාගන්න. ඇය කෙතරම් සංස්කෘතික ගැහැනියක් වුණත්, බලයට ඇති අවිඥාණික ආසාවත් ඇයගෙ ලංකා ගමනට බලපෑම් කළා ද? එවැනි අයට නව ලාංකීය දේශපාලනය ඇතුළෙ මොනවගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයි ද?
ඒක මිලංකාගේ පෞරුෂය මනින මාපකයක් වේවි. එය කොහොම වෙයිද කියන කාරණය මට කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් නම් වෙලා තියෙන්නෙ තම සැමියා පරිහරණය කළ බලය වැන්දඹු බිරින්දන් විසින් තවදුරටත් පවත්වාගෙන යාම. එහෙත් මිලංකාගේ චරිතය වෙනස් විදිහට ගොඩ නැගෙන්නෙ. පාඨකයාට එය අනේකාකාරව නිර්වචනය කරගත හැකියි.
No comments:
Post a Comment