Saturday, 11 January 2025

කලා කෘතියකින් මිනිස් නිදහස පිළිබඳ කතිකාව පෙරට ගත යුතුයි. (මොනරා පුවත්පතේ පළවූ සාකච්ඡාව)


 තාරුණ්‍යය, ප්‍රේමය, විප්ලවය, දේශපාලනය, කලාව, ආගම, සංස්කෘතිය මේ ආදී සමාජ ප්‍රවාහයන් ඔස්සේ ඔබ පියාසර සමය තුළ පාඨකයා සමග කැරැල්ලක් ගහනවා. මෙවැනි පුළුල් කතිකාවතකට ඔබ නවකතාව නැමති ශානරය තෝරා ගන්නේ ඇයි?

දේශපාලන සංදර්භය කියන මහා වනාන්තරය යට තමයි ඔය කියන හැමදේටම හැඩ තලයක් සකස් වෙන්නේ කියලයි මං විශ්වාෂ කරන්නේ. ඒ කිසිවකට දේශපාලනයට නොඈඳුනු ස්වීය ස්වරූපයක් නැහැ. අපි නිකමට භාෂාව කියන ප්‍රපංචය ගනිමු. සංයත දේශපාලන පැවැත්මක් සාපේක්ෂව හෝ තිබුණු 50-60 දශකවල භාෂා ප්‍රේමියෝ හිටියා. ඒ නිසාම භාෂාව පාදක නිර්මාණාත්මක කලාවන් තුළ සෞන්දර්්‍යය ගුණය හා ප්‍රකාශන ගුණය ඉහළින් තිබුණා. ඒ භාෂා ප්‍රේමියෝ ස්ව භාෂාවන් රැකගැනීමේ අරමුණින් දේශපාලනිකව කඳවුරු ගැසුණා. මම 80 දශකයේ උත්සාහ කළේ සිනමාවට එන්න. ඒ නිසා සෑහෙන හැදෑරීම් කළා. එහෙත් ඒ අවධියේම සිනමාව කලාවක් ලෙසත් කර්මාන්තයක් ලෙසත් බිඳවැටුණා. ඊළඟට මම කොහොමදෝ නවකතාවට ආශක්ත වුණා. සමහර විට එයට වහවැටෙන්න ඇත්තෙ සිනමාවට වගේම එහි තියෙන වෘත්තාන්ත ගුණය හා ප්‍රකාශන ගුණය සළකලා වෙන්න ඇති. අනෙක කලාවක් ලෙස එහි ආත්ම ප්‍රකාශනයට ලොකු ඉඩක් තියෙනවා. පාඨකයාට වගේම මටත් කිසියම් පූර්ණ රසාස්වාදයක් නවකතාව මඟින් ගෙන එනවා.

ප්‍රධාන වශයෙන් දේශපාලනමය මතවාදී කියවීමකට ඔබ පාඨකයා කැඳවාගෙන යන්නේ ප්‍රේමය නැමති ප්‍රබල මානුෂීය අත්වැලක් ඔස්සේ චමත් සහ මිලංකා දෙඅතක යන දෙදෙනෙක් අතර සංවාද, විසංවාද මත කතාවට ශක්තිමත් අත්තිවාරමක් සැකසෙනවා. ඒ උපක්‍රමය ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

 කවර මතවාදයක් සාහිත්‍ය කෘතියක තිබුණත් එය නිරූපණය කිරීම මානව බැඳීම් ඔස්සේ වියයුතුයි කියලා මං විශ්වාෂ කරන්නේ. එය ස්ත්‍රි පුරුෂ ප්‍රේමයම විය යුතු නැහැ. එහෙත් ස්ත්‍රී පුරුෂ හෝ ඒ කලාපයට අයත් ප්‍රේමයන්  කියන්නෙ විශ්ව සාධාරණව මනුෂ්‍යයා සසල කරවන මිහිරිම දෙය නේ. සුප්‍රකට ඇනා කැරනිනා නවකතාව ගනිමු. එය දහනවවන ශතවර්ෂයේ රුසියානු ප්‍රභූ පන්තියට අයත් උදවිය චරිත වශයෙන් ගෙන කරන විග්‍රහයක්. එහෙත් විග්‍රහය ආලෝකමත් වෙන්නේ ඇනා කැරනිනා , රොන්ස්කි සමග බැඳෙන ප්‍රේමය හා ඉන් අහිමිවන ඇගේ ආත්මය හා බැඳුණු මානව සබඳතා, ලෙවින්ගේ සදාචාරවාදී ප්‍රේමය යන කාරණා තුළ. එහෙත් ඒ සියල්ල ආශ්‍රයෙන් ප්‍රාග් විප්ලවීය රුසියාවේ සමාජ දේශපාලන යථාර්තය නිශ්චිතවත් කාලමය වශයෙන් ඉන් ඔබ්බටත් යුක්ති යුක්ත පරිකල්පනයක් කරනවා. චමත් හා මිලංකා යනු ලාංකීය සමාජ නිර්මිතයේම බිහිවූ එහි අවියෝජනීය නිශ්පාදන. මිලංකාගේ ඉහළ මැද පංතියේ දුක්ඛ දෝමනස්සයන් දරාගෙන සිටීමේ උපරිමය පුපුරා යන්නේ පංති විභේදන නොසලකා ඇය චමත්ට සිය ආත්මය පිදීමෙන්. ලෝක යුද්ධ දෙක නිමාවත්, යටත් විජිතවාදය නිමාවත් සමඟ බටහිර රටවල එතෙක් නොතිබුණු මිනිස් නිදහස පිළිබඳ කතිකාව මානව හිතවාදය දිසාවට ඇදුණු රටක් නිර්මාණය කරගන්නවා. ඒ රටවල් වැඩවසම් බවම තොරොම්බල් කරන අප වැනි රටවලට සාපේක්ෂව උසස් මානව ජයග්‍රහණ ලබනවා. මිලංකා වැනි ඉහළ මධ්‍යම පාංතික ස්ත්‍රියකත් චමත් වැනි පහළ පංතික තරුණයෙකුටත් බාධාවකින් තොරව ප්‍රේම කළ හැක්කේ වැඩවසම් අගතිගාමී අප වැනි රටක නොව යට කී දියුණු රටක.

විජේවික්‍රම මහත්මිය, මිලංකා වැනි චරිත හරහා ඔබ මෙහිදී ගැහැණියගේ සංස්කෘතික ඉරණම ගැඹුරු තලයක සිට විච්ඡේදනය කරනවා. මේ හුරුව ඔබේ ‘ප්‍රේමානිශංස’ තුළත් අඩු වැඩි වශයෙන් දක්නට ලැබුණා. මේ උත්තේජනය ඔබට ලැබෙන්නේ කොහොමද?

 බොහෝ විට කලාව ගැඹුරින් රස විඳීමටත් එහි මැනවින් ව්‍යාවෘත වීමටත් නිස්කලංක මනසක් ඇත්තේ සමාජයේ ඉහළ මැදපංතියට. මේ මව සහ දුව ඒ පැලැන්තියට අයත් උදවිය. ජන කලාවන් වුනත් ඒවා තියෙන හැටියට නොව ඊට වඩා ඉහළ අගයක් ලැබෙන සේ ප්‍රති නිශ්පාදනය කළ හැක්කේ ඒ පංතියට. යම් සම්බන්ධතා හරහා චිත්‍රසේන වජිරා යුවළ ජීවතුන් අතර සිටියදී ඔවුන්ගේ පුහුණුවීම් බලන්නට මම ගිහින් තියෙනවා. එහිදී මා දුටුවේ ඔවුන්ගෙන් නැටුම් ඉගෙන ගන්නට පැමිණි බහුතරය සමන්විත වූයේ සමාජයේ ඉහළ පැලැන්තියේ උදවියගෙන්. පාරම්පරික ජන නැටුම ‘සමතික්‍රමණය’ කොට ජාත්‍යන්තර සමාජයට එය ගෙන යා හැකි වූයේ ඉහළ මධ්‍යම පංතික චිත්‍රසේනට හා වජිරාට. නව රඟහලේ හෝ ලයනල් වෙන්ට්ඩ් එකේ ඔවුන්ගේ නර්තන නිර්මාණ බැලුවේ චමත්ගේ එනම් අපේ පංතියේ අතළොස්සයි. අනෙක් අය ඉංග්‍රීසි කතාකරන ඉහළ මැද පංතිය. මං හිතන්නේ මේ ඉහළ මැද පංතිය අත්පත් කරගත් සංස්කෘතික ජීවිතය චමත්ලාගේ පංතියට ලබා දීම තමයි සැබෑ පුනරුදයක විය යුත්තේ. විජේවික්‍රම මහත්මියගේ හෝ මිලංකාගේ මෙන් නොව පොදු ජන සංඝයට අයත් ස්ත්‍රීන්ගේ ආර්ථික ජීවිතය පමණක් නොව සංස්කෘතික ජීවිතය තියෙන්නෙත් ඉතා ශෝචනීය තැනක. එහෙත් ලංකාවට නිදහස ලබන්නත් පෙර සිටම වාගේ විජේවික්‍රම මහත්මියගේ පංතියට අයත් ස්ත්‍රීන් සිය විමුක්තිය යම් ප්‍රමාණයකට ලබාගෙනයි තිබුණේ. එයට සංස්කෘතික ජීවිතයක්ද අයත්.

නුදුරු අතීතයේ සැබෑ චරිත සිද්ධි, එනම් 2022 අරගලය වැනි ලාංකේය සමාජ සන්දර්භයේ තීරණාත්මක සාධක උපයෝගී කර ගැනීමෙන් ඔබ අදහස් කරන්නේ කතාවේ අනන්‍යතාවයට විශ්වසනීයත්වයක් ආරෝපණය කිරීමද?

 මා අනුප්‍රාණය ලැබූ වාම සම්ප්‍රදායට අනුව මගේ දේශපාලන ආත්මය සලිත කළ සිදුවීම් හතරක් 20 වන හා 21 වන ශතවර්ෂවල ඇතිවුණා. 53 හර්තාලය, 71 කැරැල්ල, 88-89 නැගිටීම හා 2022 අරගලය. උතුරේ නැගිටීම මේ ප්‍රවර්ගයට වඩා වෙනස් එකක්. ඒ ගැන වෙනම කතා කළ යුතුයි. යට කී සිදුවීම් හතරෙන් මා වඩාත් ප්‍රමෝදයට පත්වුණු , අනාගතවාදී බීජ රෝපණය කළ සිදුවීම 2022 අරගලයයි. වර්ගවාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී විභවයක් සහිත සිදුවීම, අරගලයයි. එය මගහැර සිටීමට සමාජ වෙනසක් පතන තරුණයෙකුට අමාරුයි. චමත් තමා ඒ තරුණයාගේ නියෝජනය. ඊට පෙර අරගල කිසිවකින් තීරණාත්මක සමාජ වෙනසක් සඳහා අනුප්‍රාණයක් ලබාදුන්නේ නෑ.  මෙය හරියට ප්‍රංශ විප්ලවයට හා 1905 සිදුවූ රුසියානු අරගලයට සමානයි. 2022 අරගලය, දේශපාලනයේ ප්‍රභූත්වයට විරාමයක් දුන්නා. ඒ දැවැන්ත වෙනසට අදාළව නියමු කාර්යයක් ඉටු කළ තරුණයා තමයි චමත්.

පුෂ්පේ වැනි දේශපාලන චරිත මගින් ඔබ ගල් ගසන්නේ මෙරට දූෂිත දේශපාලන වළල්ලට. මේ තත්වය අද වන විට යම් පුපුරායෑමකට ලක්වී තිබෙනවා. අද ඒ පිළිබඳ ඔබේ අදහස?

 නිදහසින් පසුව 1970 දක්වා දේශපාලනය දූෂිත වූයේ යම් තරමකට මන්දගාමීව යයි කියන්න පුළුවන්. 1970-77 පාලන කාලයේ එය කිසියම් මධ්‍ය වේගයක් අත්පත් කරගත්තා. 1977න් පසු දූෂණය, අවනීතිය, ජාති ආගම් බේද දේශපාලනයට ඇතුළු වී ගමන ගියේ අධි වේගයකින්. දේශපාලකයා සරුංගලයක් වගේ උඩ ගියා. ඔහු දැන සිටියේ නෑ එහි නූල ජනතාව අත ඇති බව. 2022 අරගලයේදී ජනතාව තේරුම් ගත්තා සරුංගලය බිම වට්ටන නූල ඇත්තේ තමන් ළඟ බව. පුෂ්පෙලා නියෝජනය කරන්නේ ‘අපේ ළමයි කොල අලවා ලාටු උලා උඩ ඇරිය සරුංගලේ’ . ඔවුන් කෙතෙක් උඩ ගොස් සිටියාද යත් බිමට එන්නට සිදුවන දිනයක් ඒවි යයි ඔවුන් විශ්වාස කළේ නෑ. 2022 අරගලය නිසා අර බ්‍රෙෂ්ට් කියන අලුත් ජනතාව ඉබේම පත්වෙලා. 2022 අරගලය ඒ අතින් ලෝක දේශපාලන ඉතිහාසයේ වාර්තා විය යුතු දෙයක්. පුෂ්පේ තමයි ඒ දූෂිත ක්‍රම නියෝජනය. මේ දේශපාලන නියෝජනයන් පිළිබඳ මට සමීප හැදෑරීමක් තිබුණා.

ඔබ කිසියම් ප්‍රමාණයකට මෙහිදී ආගම යන සංකල්පය ප්‍රශ්න කරන තැනක සිටිනවා නේද?

 මම ග්‍රාමීය සමාජ පසුබිමක හැදුණු කෙනෙක් විදිහට, ආගම, විශේෂයෙන් බුදු දහම මගේ සංස්කෘතික භාවයේ මිශ්‍රණය තුළ තියෙනවා. සමසමාජ ව්‍යාපාරයට ඇතුළුවී භෞතිකවාදීව ලෝක දෘෂ්ටියක් සකස්කර ගත්තත් අර මිශ්‍රණයේ ආගමික කොටස එසේම තිබුණා. හැබැයි ගතානුගතික ආගම් භක්තිකයෙකු නොවී බොහෝ ආගම්වල අනේක විධ ධාරා මං ග්‍රහණය කරගන්නවා. මම අදටත් විශ්වාස කරනවා ලංකා භූමිය තුළදීම ලංකාවේ පවත්නා බුදු දහමට මහායාන හා වජිරඥාන දැනුම සම්මුඛ විය යුතුයි කියලා. භෞතිකවාදීව අර්ථ දැක්වෙන සමාජයක වුනත් ආගම කාර්යභාරයක් ඉෂ්ටකරන බව කියුබාවෙදිත් මං දැක්කා. මිලංකාට පමණක් නොව චමත්ටත් ලාමා ආරාමය වැදගත් වුණා. මට ලංකාවේ ආගම් සියල්ල ගැන යම් විවේචනයක් තියෙනවා, ඒවා වටා රැස්වන කිලිටි මළ පිරිපහදු කරගැනීමේ ක්‍රියාවලියක් නැතිකම ගැන.

සාකච්ඡා කළේ -පුෂ්පා ඉලංගන්තිලක

No comments:

Post a Comment