Sunday, 25 April 2021

තුච්ඡ 'බික්සුව' (භික්ෂුව යන්න පාවිච්චි නොකළේ වැදගත් භික්ෂූන්ට හානියක් වන නිසාය)

 සාම්ප්‍රදායික පිලිවෙලට මහණ වන භික්ෂුවක හැඳින්වීමේ දී උපන්ගම සඳහන් කිරීම සම්ප්‍රදායයි. (උපන් ගමක් ගැන සඳහන් නොකළ නාරද හාමුදුරුවන් පවා තමන් හඳුන්වා ගත්තේ බම්බලපිටියේ නාරද ලෙස නොව, වජිරාරාමවාසී නාරද ලෙසිනි.) 


කොටුව මිනිසුන් උපදින තැනක් නොවේ. රස්සාව කරන, වෙළඳාම් කරන, රස්තියාදු ගහන, පාතාල වැඩ කෙරෙන සහ එවැනි හොඳ සහ නරක වැඩ කරන අගනගරයේ අධ්නාගරීකරණය වූ ස්ථානයයි.  සම්ප්‍රදායික වශයෙන් එහි ඉපදුනා යයි හැඟවෙන එහෙත් එසේ නොවූ, එහි වසන කොටුවේ හාමුදුරුවන් යයි කියන ශ්‍රමනයා නන්දා මාලිනියට තුච්ඡ ගැහැණිය යයි අපහාස කර ඇත. 


මේ අබුද්දස්ස යුගයේ සමාජය විසින් පෝ්ෂණය කොට පොරවල් කරන ලද මෙවැනි කැනහිළුන් විසින් මේ සිංහල බෞද්ධ ශාසනයේ මේ ස්වරෑපය පවත්වාගෙන යනු ලබයි. අවසානයේ රටක ජාතියක ගරු බුහුමන් ලබන මෙවන් උත්තම ගැහැණියක පවා මෙවැනි කානු කටාලාගෙන් ගැරහුම් ලබන තැනට රට පත්ව තිබේ.


කොටුවේ බික්සුව වැනි මෙවැනි ආකාරයේ කවර හෝ සමාජමය පිළිගැනීමක් සහිත පැවිද්දෙකු නිර්මාණය වීම ඔහුට තනිව කළ නොහැක්කකි. ඒ සඳහා එවැන්නන් අනුමත කරන සමාජයකුත් තිබිය යුතුය. මූ කලින් කලට කියන තුච්ඡ කතා යනු ඒවා අනුමත කරන උගේ පිරිවර චූන් කර තබා ගැනීම සඳහාය. කොටුවේ නම් වූ මේ පැවිද්දාගේ කටින් කවදාවත් බුදුවදනක් පිටවෙන්නේ නැත. කියවෙන්නේම තක්කඩි කතාවකි. මොහු තමන්ගේ පැවැත්ම රඳවා ගන්නේම වරින් වර මොකක් හෝ බාල්දියක් පෙරලා එහි දුඟද සමාජයට කලක් දැනෙන්නට හැරීමෙනි. 'ගෝටාභයට ඡන්දය නොදුන්නොත් අත කපනවා' යන්න ඔහු පෙරලූ පැරණි බාල්දියකි. 'පිටරට රස්සා කරන අය සල්ලි විතරක් එවා මෙහෙ එන්න දඟලන්නේ නැතිව හිටපල්ලා' යයි විදේශ ශ්‍රම්කයන්ට අපහාස කරමින් ඒ කුණු කට ඇරියේ මේ මෑතකය.

මල්වතු විහාරය කුංකුනාවේ හාමුදුරුවන්ට උපසම්පදාව නොදුන්නේ උන්වහන්සේගේ විසුළු ස්වරෑපයේ නාසිකා ස්වරය (මුක්කං) නිසා යයි මා කියවා ඇත. එවැනි විශේෂතා අැති අයට පරිපූර්ණ භික්ෂුත්වය නොදෙන්නැයි  බුද්ධ භාෂිතයේද සඳහන්ව ඇතැයි කියනු ලැබේ. උතුම් බුදු වදන් එවැන්නෙකු කියන විට අසා සිටින්නන් දේශකයාගේ ස්වරයට සිනා පහළ වීමෙන් දහමට අගෞරවයක් වේ යැයි යන හේතුව පදනම් කරගෙන, මේ  සිරිත පහළ වූවා විය හැකිය. 

ධර්ම දේශකයෙකු සතුවිය යුතු අංග ලක්ෂන බුද්ධ භාෂිත ලෙස බෞද්ධ අටුවාවන්හි සඳහන්ය. කොටුවේ ගේ ශරීර භාෂාව චණ්ඩි මැරවරයෙකුගේ මෙනි. ඔහු 'බික්ෂුවක' නොවී ගිහියෙකුව සිටියත් 'පරෙස්සම්' වී සිටිය යුතු අණ්ඩපාල ශරීර භාෂාවක් ඇත්තෙකි. (මේ කතාවට බොහෝ දෙනා මා සමග උරනු වනු නිසැකය.)


'කොටුවේ' ගේ බණ ශෛල්‍යය බුදුන්ටත් මග හැරුණු අවස්ථාවකි. බුදු උපතින් වසර දෙදහස් පන්සියයක් ගිය තැනවත්  මෙවැනි ශ්‍රමණ ප්‍රතිරෑපකයෙකු බිහිවේයැයි උන් වහන්සේ සිතන්නට නැත. 

පාරජිකා පාළිය නම් ත්‍රිපිටකයට අයත් මාහැඟි ග්‍රන්ථය පිරී ඇත්තේ මෙවැනි තක්කඩි 'බික්සූන්' දමනය කර ගැනීමට බුදුන්වහන්සේ දැරූ වෙහෙසකර උත්සාහයන් අැතුලත් කතා පුවත් වලිනි. ඒ කාරණයේදී උන්වහන්සේ විඩාවට හා කලකිරීමට පත්වූ බවත් එහි සඳහන්ය.

'කොටුවේ' වැනි ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගේ බිහිවීම අහම්බයකින් සිදුවන්නක් නොවේ. එවැන්නන්ගේ පැවැත්මට අවශ්‍ය සමාජ පරිසරයක් තිබිය යුතුය. මෙම සමාජ පරිසරය බොහෝ කාලයක් තිස්සේ ගොඩ නැගී දැන් එහි කූට ප්‍රාප්තියකට පත්වී ඇත. එවැන්නන් නඩත්තු කිරීමට බල දේ්ශපාලනයක්, ජනතාවක් , එවැන්නන් දරා සිටින ශ්‍රමණ ප්‍රජාවක් සිටිය යුතුය. ඒ සියල්ල නොඅඩුව රට තුල තිබෙන බව කාටත් දැකිය හැකිය.


ලංකාවේ සිංහල බෞද්ධයන් බණ ඇසීමට භික්ෂූන් තෝරා ගැනීමේ පිළිවෙලට මගේ වර්ගීකරණය මෙසේය. (මෙයින් මහමෙවුනා හා සදහම් අසපු අතහරින්නේ ඒවා ථෙරවාදි භික්ෂු ආයතන ලෙස මවිසින් නොසලකන නිසාය.)


1.'කොටුවේ' බික්සුවඃ දහම හෝ ශාස්තෘවරයා කීවේ කවරක්ද යන්න කෙසේවත් අදාළ නැති අනෙකා පෙලීම සඳහා බුද්ධාගම හා සිංහලකම පාවිච්චි කරන්නන්ට.


2.පූජ්‍ය කාගම සිරිනන්ද හිමිඃ සමාජය මේ යන ආකාරය ගැන මහත් කළකිරීමක් ඇති, මේ සමාජය යහපත් ලෙස වෙනස් විය යුතු යයි විශ්වාෂ කරන ග්‍රාමීය හා පහළ මැද පංතික අපරාධකාරී නොවන මිනිස් සිත්සතන් ඇති මිනිස් ප්‍රජාවකට.


3.උඩුවේ ධම්මාලෝකඃ ඔහු කවරක් කළත් වගේ වගක් නැති ඔහුගේ රූප සොබාවෙන් හා මධ්‍යම පංතික කතා විලාසයට වශී වූ, තමන් ප්‍රභූන් යයි සමාජයට හැඟවීමට උත්සාහ දරණ මධ්‍යම පංතික ගැහැණුන්ට හා පිරිමින්ට


4.පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමිඃ සමාජයක් වශයෙන් මේ යන විනාෂකාරී ගමන වෙනස්කිරීමට බුදු දහමේ සාරාර්ථයන් ප්‍රයෝජනයට ගත හැකියයි විශ්වාස කරන බෞද්ධයන්,අන්‍යාගමිකයන් සහ

අනාගමිකයින්. (අනාගමිකයන් උන්වහන්සේගේ පිරිවරට ඇතුලත් වීම උන්වහන්සේට කළ හැකි විශාල වැඩ කොටසට තිරිංගයක් වී ඇත යන්න මගේ විශ්වාසයයි.)


වරෙක චම්පික රණවක නිවැරදිව පැවසූ ලෙස මේ පාලන තන්ත්‍රයේ නිල වාපාරිකයා වී ඇත්තේ නිශ්ශංක සේනාධිපතිය.  නිල සංගීතඥයා ඉරාජ් වීරරත්නය. නිල 'බික්සුව' වී ඇත්තේ 'කොටුවේ'ය.


තමන්ම ලිහා දැමූ බල්ලන් අතින් තමන්ම සපාකන අනාගතයක් පැමිනේවි යැයි බොහෝ මහත්වරුන් හා නෝනාවරුන් මීට කලකට ඉහත නොසිතන්නට ඇත.


අවසන් වශයෙන් මම නන්දා මාලිනියට කොටුවේ 'බික්සුව' කළ අපහාසය තුච්ඡ ලෙසින්ම හෙළා දකිමි.


Thursday, 8 April 2021

මාත්‍රා හා බන්දුල නානායක්කාරවසම්


බන්දුල නානායක්කාරවසම් සහභාගි වූ මාත්‍රා වැඩසටහන නරඹා හමාර කළේ මේ දැන්ය. ඒ වැඩසටහන මට වැදගත් වූයේ ඔහු ප්‍රවීනයෙකු වීමේ ගමන්මග නිරවුල්ව පැහැදිලි කළ ආකාරය නිසාය. ඔහුට පෙර පරම්පරාවන්ගෙන් දැනුම හා රසෝත්පාදන මූලධර්ම උකහාගත් ආකාරය ඉතා හෘදයංගම ආකාරයෙන් බන්දුල පැහැදිලි කරයි. ඔහු ඇසුරුකළ සංගිත නිර්මාණ පරම්පරාව සතුවූ සහෝදරත්වය හා එකිනෙකාට අත දුන් ආකාරය පැහැදිලි කරන විට මට කණගාටුවක් ඇතිවුණි. එනම් ඒ සාරධාර්මික ප්‍රභවය දැන් වන විට මුළුමනින්ම අහෝසි වී ගොස් ඇති හෙයිනි. අද වන විට මොනයම් හෝ කලාකරුවෙකුට සිය කලාත්මක නිශ්පාදනය ජනගත කිරීමට කෙතරම් උගුල් අතරින් බේරී යායුතුව තිබේද? අවසානයේ එය ජනගත වන්නේ කවර තරම් කලකිරීම් දරාගෙනද? බන්දුල ද අයත්වන ගීත රචනා ක්ෂේත්‍රය පවා මේ සඳහා ඉතා අප්‍රසන්න උදාහරණ සපයයි. 

බන්දුල අතින් පමණක් නොව අප අතින්ද  බුහුමන් ලබන පිරිසිදු හා හෘදයංගම මිතුරු කලාකරුවන්ගේ රසික පදනම් දේශපාලනය විසින් විනාශ කොට ඇති අයුරුද මේ අතර මට සිහිපත්වේ. ඔවුන්ද මෙම පොදු සමාජ ඛේදවාචකයට ගොදුරුවීම අප තේරුම් ගන්නේ කෙසේද?

 

Wednesday, 27 January 2021

කැට කිරිල්ලී


 ඉර සේවය බලන්නට

කඳු මුදුනට නගිද්දී

වලි කුකුලන් හඬ ගෑ ය

''ඔවි ඒ නිවැරදිම හෝරාව" යයි කියා


තමන්ගේ අන්තිමම රැස් ටිකත්

සඳු විසින් හිරුටම බාරදෙන උත්සවයත් දුටු ඈ

ඉනික්බිති

සඳ විතැන් වී යන අයුරුත් දුටුවා ය.


සඳරැස් ටිකකුත් මුහුකරගෙන

බව්ලාන කන්ද ඔස්සේ ගලා ආ

රිදී පැහැති දිය දහර

දවසක්දා සඳ එළියේම දුටු කැට කිරිල්ලී

ඒ මගේ ලස්සණම දවසයි කීවාය කාටදෝ

සඳරැස් හිරු රැසට වසඟ වෙන

මනරම් උදෑසන බලන්නට

දිනපතා කඳු නගින ඈ

හිරුට වසඟව තමන්ද ඔත්පල වෙන වග නොදත්තී...

චන්ද්‍රරත්න බණ්ඩාර

2010

('කැට කිරිල්ලී' කාව්‍ය සංග්‍රහයෙනි)

ගොඩගේ ප්‍රකාශන 

Monday, 11 January 2021

මනෝ මතක


 දිරියෙන් යුතුව පහලම තැනින් ඉහළට නැගුනෝ 'දුක දිනා ජය ගත් හපන්නු' ලෙස කාව්‍යාත්මකව නාම ගැන්වේ. අපි ඉපදුන ජන්ම කලාපයේ උපත ලබා (දියතිලක කෝරලය හා හේවාහැට රටින්) ඉහළටම නැගුණු කලාකරුවා ආචාර්ය ජයලත් මනෝරත්න විය යුතුය. 

ඔහු අංශ තුනකින් අද්විතීය විය. පළමුවැන්න ලෙඩ ඇඳට වැටෙන තුරුම අත් නොහළ සතතාභ්‍යාසයෙන් නිරතවූ අධ්‍යාපනයයි. එ් දැරෑ වෙහෙස මහන්සියට එතුමන් ආචාර්ය උපාධි දෙකකින් සම්මානිත විය. මා  නිවැරදි නම් නාට්‍ය රංගනය උදෙසා ආචාර්ය උපාධියකින් සම්මානිත එකම රංගධරයා ඔහු විය යුතුය.

දෙවැන්න අසහාය හා අපූර්ව යන විශේෂණ දෙකින්ම හැඳින්විය හැකි රංග ප්‍රතිභාවක් ඔහු සතු වීමයි. 

තුන්වැන්න මනුෂ්‍ය සම්බන්ධතා විෂයෙහි එතුමන් දැක්වූ විශේෂිත බවයි. ලෙඩ ඇඳෙහි දිගු කලක් රෝගීව වැතිර සිටිනු දුටු මගේ දෙනෙතට කඳුලක් ආවේ ඒ කරුණ නිසාවෙනි.


 අපේ දුකින් බර අඳුරු ලෝකය සතුටින් හා ආලෝකයෙන් තැබීමට මනෝ තරම් දායකත්වයක් දුන් කිසිවෙකු අපගේ මිත්‍ර වළල්ලේ නොසිටියේය. මම හා මනෝගේ අනෙකුත් සමීපතමයන් හැර සිංහල කතාකරන බහුතරයක් දෙනා මනෝ නිසා මුවගට  ප්‍රහර්ෂයක් නගා නොගත්තෝ වේ නම්  අතලොස්සකි. 


ජීවිතය පිළිබඳ ප්‍රත්‍යක්ෂයන් නැවත සලකා බලන්නට මනෝගේ නික්ම යාම හා නික්ම ගිය ආකාරය මට තවමත් බලකර සිටින්නේය. 


මනෝ කලාවේ හා දේශපාලනයේ පරමාදර්ශයන් සමග සිටීමට යත්න දැරීය. කලාවේ ඔහුගේ සුසමාදර්ශී හැසිරීමට ප්‍රමානවත් ඇගයීමක් ලැබුණාදැයි මට නිශ්චිතව තක්සේරු කළ නොහැකිය. දේශපාලනයේ ඔහුගේ පරමාදර්ශී දැක්ම ඇගයීමට ලක් නොවුනත් ඔහු නිරත වු කලාවේ ගැඹුර සැකසීමට උපස්ථම්භක වී යැයි මම සිතමි.


 බොහෝ හාස්‍ය උපදවන කතා කියා අනතුරුව 'රට යන අත' ගැන කතා කරන විට ඔහු බැරෑරුම් වෙන ආකාරය අප අත්වි්ඳ ඇත්තෙමු. ඒ ඔහුගේ හෘද සාක්ෂ්‍යයි. 


මනෝගේ බොහෝ රංගයන් තමන් උපන් ගමේ කමත නම් රංගභූමිය වෙත එක්වරක් හෝ ගෙන ගියේ තමා ජීවත් වන මතු මහලේ වරපට ඇත්තේ එතැන යයි සංකේත කරන්නට මෙනි. එසේ නැත්නම් පිනිමුවා නව ප්‍රාණයක් ලබන්නට සඳුන් රුකක් වෙත යන්නාක් මෙනි. 



මනෝ කිසිදාක තමා තුල ජීවත් වූ ගැමියාට මැරෙන්නට ඉඩ නොදුන්නේය. ඒ ගැමියාට  රෝගී වීමටද ඉඩ නොදුන්නේය. පොරමඩුල්ල- පේරාදෙනිය - ලුම්බිණිය නම් සංකේතීය ස්ථාන ත්‍රිත්වය වනාහි මනෝගේ ජීවිත වපසරියේ  ආරම්භය පෝෂණය හා මෙහෙවර නිරෑපනය කරතියි මම සිතමි. ඔහුගේ ශාස්ත්‍රීය දේශනයක් වුවද නව නළු රසයෙන් යුත් එකක් විය. ඒ දේශනය කෙරෙන්නේ බොහෝ විට සිය ජීවිතයම උදාහරණයට ගනිමිනි. එහිදී උපන් ගම /පාසල ,පේරාදෙණිය (විශේසයෙන් සරච්චන්ද්‍ර ඇසුර ගැන) හා රංගභූමිය යන ත්‍රිත්වය අපූරුවට එකට ඈඳයි.


අප ලැබූ මනුෂ්‍යාත්මභාවයට මනෝ වැනි පිරිපුන් මිතුරෙකුගේ ඇසුර ලැබීම අපගේ ජීවිතයේ අතළොස්සක් වූ ඉතාම විශිෂ්ට ලැබීම් වලින් එකැකැයි සිතමි.


මනෝ ජීවත්ව සිටින කාලයේදීත් ජීවිතය පිලිබඳ නන් වැදෑරුම් කාරණා අපට ඉගැන්වූ අතර ඔහු නික්ම ගියත් එ් බරසාර කාර්යයේ තවමත් ඔහු නිරතවේ.


මගේ ඉල්ලීමට කිහිප වතාවක්ම මගේ ගීත දර්ශකයේ හොඳම ගීත දහයට ඇතුලත් ඔහුම වෙස්සන්තර නාටකයට ගයන 'ගිරිකුළු මුදුනින්' ගීතයත් , පේමතෝ ජායතී සෝකෝ නාටකයේ ඔහු වෙනුවෙන් ගයන 'ඇදුරුතුමා වෙන්න මගේ' ගීතයත් මනෝ  ගායනා කලේය. ඒ මා ඔහුගෙන් ලද විශිෂ්ට සම්මානයන්ය. 

 

ලැබැඳියෙකු නික්ම ගිය පසු පවසන උධෘත මනෝ උදෙසා ප්‍රමාණවත් නොවන නිසා රංගධරයාණෙනි - මිතුරාණෙනි - ගරු කටයුතු ලංකා පුත්‍රයාණෙනි ජීවි්තය පුරාම ඔබව මතක තබා ගන්නා බව පමණක් පවසා නිහඬ වෙමි.

චන්ද්‍රරත්න බණ්ඩාර

https://www.youtube.com/watch?v=cSB8aGKz6yM

Sunday, 13 December 2020

මුලු හදින් මම ඇයට පෙම් කොට

https://www.youtube.com/watch?v=oAsjq7LhRho&fbclid=IwAR2dSuNgy5VW3YnxV8uiJU-jGkEQzYw7Gm0Ap_LnTRVHaift9loyZGNHqwU 


https://www.youtube.com/watch?v=FZPohAuNBC8

මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙම් -නාරද දිසාසේකරයන් ගායනා කරන මෙම ගීතය මුල්වරට ප්‍රකාශයට පත් වූයේ එක්දහස් නවසිය පනස් ගණන් මැද භාගයේදී යැයි සඳහන්වේ. ළමා වියේ සිට මේ දක්වා  මෙම ගීතය අපගේ ජීවිතය පුරාවටම නොනස්නා රසාස්වාදයක් ලබාදුන් නිර්මාණයකි. මේ ගීතය වරක් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පැවති ප්‍රසංගයකදී පෙු්ක්ෂක ඉල්ලීම මත දහදොලොස් වතාවත් ගායනා කරන්නට සිදුවූ පුවතක් මා අසා ඇත. ආදර විරහයකින් තැවෙන එක් පුද්ගලයෙකු මේ ගීතය ප්‍රචාරය වූ ගුවන් විදුලි යන්ත්‍රය පොරවකින් ගසා දෙකට පැලූ බවක් අසා ඇත්තෙමි. එදා මෙදා තුර  අංගොඩ මානසික රෝහලේ මානසික රෝගීන් වැඩියෙන්ම මිමිනූ ගීතය මෙය බවද කියවේ. 


මෙම ගීතයේ පදවැල දෙස බලන්න.


මුළු හදින් මම ඇයට පෙම් කොට

අනාගත පෙම් සිහින මැව්වෙමි

මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට

අයිති වුණු හැටි බලා දුක් වෙමි .



නිසංසල තැනකට වෙලා

හඩන මගෙ ඇස් දෙක දෙස බලා

කියන්නකෝ දෙවියනේ මේ දුක්

කොහොම ඉන්නද ඉවසලා

කොහොම ඉන්නද ඉවසලා


මගේ අත ගෙන කනට ළං වී

අනේ සුදු මම ආදරේ යැයි

කියන්නට සිතුනේ ඇයිද සුදු

නොසිතුවෙද මට දුක් ලැබේයැයි

නොසිතුවෙද මට දුක් ලැබේයැයි



නිදැල්ලේ තුරුලට වෙලා

රහස් එක එක කොඳුරලා

සිනාසුණු හැටි මතක් වෙනකොට

කොහොම ඉන්නද ඉවසලා

කොහොම ඉන්නද ඉවසලා


එදා රෑ ගං ඉවුර අසබඩ

සුපුන් සඳ පායන වෙලාවක

කතා කී හැටි මතක් වෙනකොට

දුක දැනෙයි පවතින අපායක


මෙහෙම ලෝකෙක ඉපදිලා

සිතෙහි අදහස් සුන් වෙලා

මා උපන්නේ දුක් විදින්නද

දුක් කඳුළු මැද තනිවෙලා

දුක් කඳුළු මැද තනිවෙලා


මුළු හදින් මම ඇයට පෙම් කොට


නාරද දිසාසේකර යම් හෙයකින් මෙම පදවැල ගීතයක්ව නොගයා ලියවිල්ලක් ලෙස ඔබ අතට පත් වී නම් ඔබට  ප්‍රේම විරහයෙන් ආතුරවූ පෙම්වතෙකුගේ සැබෑ ලසොව දැනවෙන ප්‍රකාශනයක් විනා ගී පදමාලාවක් යැයි සමහර විට ඔබට නොසිතෙනු ඇත. එහෙත් මෙම පදමාලාව ගීතයක්ව අකාලික රස මවන සොඳුරු මානව හදවත් තුල ලැගුම්ගත් ගීතයක් වූයේ කෙසේද? එය එසේ වූයේ දිසාසේකරයන් සතු මුකේෂ්ගේ හඬට සමීප ශෝකි ගායනාව හා කුලරත්න තෙන්නකෝන් ගේ ගායනාවට අනුප්‍රාණය සැපයූ සංගීත රචනාවද? ලාංකීය සමාජයේ ප්‍රේමනීය අත්දැකීම් ඇත්තන් සසල කළ මේ ගීතය අවර ගනයේ ගීතයක් යයි එදා මෙදා තුර කිසිවෙකු කියන්නේ නැත.

මෙහි පද ලෙස ඇත්තේ ආලවට්ටන් නැති සැබෑ සෘජු ප්‍රකාශනයකි. එහෙත් මෙය අපූර්ව ගීතයක් වූයේ කෙසේද? කිසිදු තර්කයකින් ඒ එසේ වන්නේ කෙසේද කියා පහදා දීමට මට නොහැකි වුවත් මගේ වඩාත්ම ප්‍රිය වූ ගීත 10 අතර   මෙම ගීතය පවතී. 

අැතැම් විට බොහෝ දෙනාට ජීවිතයේ සැබෑ අත්දැකීම් සමග මේ තරම් සමපාත වී එම හැඟීමම යළි තමා වෙත සම්ප්‍රේෂණය කරන ගිීත ඇත්නම් ඒ අතළොස්සකැයි සිතමි. ඇතැම් විට මේ ගී නිර්මාණය මේ තරම් හෘදයංගම වන්නේ මෙම ගීතයේ නිර්මාතෘවරුන්ටත් මේ අත්දැකීමම තිබුණු නිසා විය හැකිය. එය අසා දැන ගන්නට ගීතයේ පද රචකයා වු එඩ්මන් ජයසූරියවත් ගායක නාරද දිසාසේකරයන්වත් සංගීත රචක කුලරත්න තෙන්නකෝන්වත් අද අප අතර නැත.


'මුලු හදින් මම ඇයට පෙම් කොට' තරම්ම නැතත් මේ කාංසාවම අත්දුටු ගීතයක් මේ නොබෝදා මම අැසීමි.  එහි පද රචිකාව ආචාර්ය සුනන්දා ප්‍රේමසිරිය. සංගීතය අනුරාධ අබේසිංහ ගෙනි. ගායනය හසිත ගනේගමය. 


'විසල් නෙක තුරු මුදුන් පරයමින් නැගී එන

හන්තාන කඳු අරා ලසෝ ලැව් ගිනි අතුල

රිදුම් දී නික්ම යන වියෝවක අකුණු සර

සෙනෙහසේ විඩාබර අවසාන හුස්ම පොද


 හරිත පැහැ තණ පලස් පුරා හැඳි පිණි සේල

දවා දිය කර හරින චණ්ඩ වූ හිරුගෙ තෙද

තැවී පෙම් කුසුම් සොඳ සුසුම් සැඩ කිරණ වැද

සෙනෙහසේ විඩාබර අවසාන හුස්ම පොද


ගං දෑල ඉවුරු වැද තැලී පොඩිවී විසුළ

පියුම් පෙති ගසා යයි සිඳලමින් පෙන කැටිති

සැඩ පහරෙ මදින් මද දියව යයි අතීතය

සෙනෙහසේ විඩාබර අවසාන හුස්ම පොද


මෙම පදවැලෙන් ගීතයක් බිහිව නොමැති වීනම් රචනාවක් ලෙස ගතහොත් මට නම් මෙම පබැඳුම වඩාත් සමීප වෙන්නේ ගීත රචනාවකට වඩා කවියකටය. එහෙත් උචිත තනුවක් විසින් විසින් හසුරුවන ලදුව උචිත ගායනයක් මේ පදවැලට සම්මුඛ වී අප තුල සොඳුරු හා වේදනාබර කාංසාවක් ඇති කරන්නට සමත්ව ඇත. 

ගීත රචනාවක හා ගීතයක බහුවිධ ස්වරූප හඳුනා ගැනීමට මෙම පැරණි සහ අලුත් ගීත දෙක අපූරු උදාහරණ වේ යැයි මම සිතමි. එකී ගීත දෙක සහ නාරද දිසාසේකර වෙනුවෙන් ප්‍රචාරයවූ වැඩ සටහනක් මේ සමග අමුණා ඇත.

Thursday, 10 December 2020

වටිනාකම් සහිත රටක් පැතූ ගුණදාස අමරසේකර


 වටිනාකම් සහිත රටක් පැතූ ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර නොබෝදා (නොවැම්බර් 12 වන දා) සිය අනූඑක් වැනි උපන්දිනය පසු කළේය. විසිවන සියවස ආලෝකමත් කිරීමට ඔහු කළ මෙහෙවරද  “විසි එක්වන සියවස බොඳ කිරීමට ඔහු දැරූ දායකත්වය ද සලකා බලන විට එකම මිනිසෙකු සියවස් දෙකක එකිනෙකට පරස්පර කාර්යයන් දෙකක් කෙසේ කෙළේ ද යන්න සලකා බැලීම වටී.

 ඔහුගේ සුවිසල් මෙහෙවරෙහි  ශේෂ පත්‍රය සලකා බැලීමේදී අමරසේකරයන් යනු අපේ රටේ මහා උපතකි. ඔහු පෞද්ගලිකව ගත් කළ මගේ ලෝකයේද වීරයෙකි. ඔහු පාදා දුන් සාහිත්‍ය විලාසය වනාහි චමත්කාරජනක වූ ගැඹුරු වූ ද  හෘදයංගම වූ ද එකකි. මා වඩාත් ආශ්වාදය ලද සිංහල නවකතා දෙක වනාහි අමරසේකරයන්ගේ “ගන්ධබ්බ ආපදානය” හා “එක්තරා ප්‍රේම කතාවක්” යන කෘතීන්ය. ප්‍රේමය සංස්කෘතික මිනිසා විනිවිදින ආකාරය පිළිබඳව “ගන්ධබ්බ ආපදානය” තරම් හෘදයංගම ලිවීමක් එදා මෙදාතුර සිංහල නවකතාවේ බිහිව නැතැයි මට සිතේ. ඒ කෘතිය මට පූජනීය වන්නේ එයින් ආශ්වාදනය ලබමින් මා නවකතා ලිවීමට පිවිසීමයි. මගේ “මෙරු” නවකතාව වනාහි මා ගන්ධබ්බ අපදානය කියවීමෙන් ලත් කලාත්මක ආස්වාදයේ නිර්මාණාත්මක ප්‍රතිඵලයකි. 

 අමරසේකරයන් ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්තේ පූර්ණ ගැමි පරිසරයක ග්‍රාමීය ප්‍රභූ පවුලක උපන් අයෙකි. එතැන් සිට ඔහු ලංකාවේ ගම, අර්ධ නගරය, මහා නගරය, අවසානයේ ලන්ඩන් දක්වාම ගමන් කළ දීර්ඝ ගමනේදී ඔහු දැනුවත් වූ ආකාරය අමරසේකරයන්ගේ අපදානය විමසීමේදී සලකා බැලිය යුත්තේය. පූර්ණ සංස්කෘතික මිනිසකු බිහි වීමට අවශ්‍ය සියල්ල ඔහුගේ දීර්ඝ ගමනේදී ඔහුට ලැබුණි. තමා අයත් කුලය, ජාතිය, ආගම, උගත් පාසල ආදී වාර්ගික කොටුපවුරුවලින් මිදී ඔහු ලබාගත් දැනුමට හා හෘද සාක්ෂ්‍යයට එකඟව හැසිරීමට අවශ්‍ය සමාජ භාවයක් ඔහු සතුවිය. ඔහුගේ ලියවිලිවල දැකිය හැකි ප්‍රධානම කරුණ නම් අවංක බවයි. ඒ අවංක බව ලබන්නේ හීනමානයෙන් තොර පූර්ණ මිනිසා වෙතිනි. ඔහුගේ ලියවිලිවල භාෂාව වනාහි ලෙයින් මසින් පිරුණු පණ ගැහෙන එකක් වන්නේ එය ඔහුගේ හදවතේ භාෂාව ද වූ හෙයිනි . 

‘ප්‍රේමයේ සත්‍ය කතාව’ හා ‘එක් අසත්‍ය කතාවක්’ යන දෙඈඳුතු නවකතාව සිංහල යථාර්ථවාදී නවකතාවේ උසස්ම කෘති අතර වන බව මගේ හැඟීමයි. ඔහු සතු ප්‍රඥා සම්පන්න බවින් ඒ නවකතාවට අදාළව සමකාලීන සමාජය විවරණය කරන්නේ ඔහුගේ අවංක හදවතේ භාෂාවෙනි. ලංකාවේ යථාර්ථවාදී නවකතාව ‘ප්‍රේමයේ සත්‍ය කතාව’ නැවැත්වූ තැනින් පටන් ගත්තා නම් සිංහල නවකතාවට මීට වඩා හොඳ කලදසාවක් යන බව මගේ හැඟීමයි.

 ගුණදාස අමරසේකරයන් මට මුණ ගැසෙන්නේ මා පාසල් යන අවධියේ අප පාසලේ දේශනයකට පැමිණුනු දිනයකය. එය 1980 තරම් ඈත දිනයකි. ඒ වන විටත් සමසමාජ පාක්ෂිකයෙකු වූ මට කොළඹ කේන්ද්‍ර කරගත් සංස්කෘතික සමාජයේ  දොර ඇරෙන්නෙ එදාය. අමරසේකරයන් සමග එදා අප පාසලට පැමිණි ඔහුගේ මිතුරෙකු වූ පියසේන ගුණතිලක හඳුනාගන්නේත් ඒ නිසා මගේ ජීවිතයට වැඩදායී සංස්කෘතික හා පෞද්ගලික ජීවිතයේ අනුශාසකයෙකු ලැබෙන්නේත් ඒ හමුව නිසාය. ගුණතිලක මහතා හමුවීමට එතුමාගේ නිවසට පැමිණෙන ගුණදාස අමරසේකරයන් ඔවුනොවුන් කතාබහ කළ දේවල් මම අසා සිට ඇත්තෙමි. එදානම් ගුණදාස අමරසේකරයන් මෙවන් දේශපාලනික අන්තයකට ගමන් කරනු ඇතැයි මම සිහිනෙනුදු නොසිතුවෙමි. 

 ගුණදාස අමරසේකර වැනි සමාජයීය වශයෙන් සවිඥානක උගතුන්ට චකිතයක් නැතුව රැඳී සිටිය හැකි දේශපාලන පක්ෂයක් වශයෙන් ලංකා සමසමාජ පක්ෂය එදා ගොඩනැගී තිබුණේය. ආචාර්ය සරත් අමුණුගම සිය ‘අන්තිම සටන’ කෘතියේ පවසන්නාක් මෙන් ඇන්. ඇම්, කොල්වින්, ලෙස්ලි, බර්නාඞ්, යන නායක මණ්ඩලය තරම් කෘතහස්ත දැනුමැති නායකත්ව මණ්ඩලයක් ලෝකයේ අන් කිසිදු රටක දේශපාලන පක්ෂයකට නොසිටියේය. එය සත්‍යයක් හෝ අර්ධ සත්‍යයක් වේවා, දැනුම හා සංවාදය පදනම් වූ දේශපාලන පක්ෂයක් ලෙස සමසමාජ පක්ෂය වැඩී තිබුණු බව එම ප්‍රකාශයෙන් කියැවේ. අමරසේකරයන් වැනි සමාජ සවිඥානක උගතෙකු ඒ කෙරෙහි ආකර්ෂණය වීම, ඔහු හුදකලා බුද්ධිමතෙකු, කලාකරුවෙකු, වෘත්තිකයකු, වීමෙන් එහා ගිය මහා මිනිසකු වීමට බලපෑවේය. 

 1978 අගෝස්තු මාසයේ මියගිය ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ වියොවෙන් තැවෙන අමරසේකරයන් මෙසේ ලියයි.

“පවිටුනි, තමා උදරය පිරුමෙන්       වසන

 තොපමය නිගා දෙන  සත මිනිසත්  සසුන

කළ පව් සමා කරනුව දැන්වත්         ඉතින

දණ බිම ඔබා ගොස් වඳු ඒ මුනි       පතුල”

ගුණදාස අමරසේකර

(උපුටා ගැනීම, කවිය. 1979.8.20)

  මේ කියන්නේ ලංකාවට මාක්ස්වාදය හඳුන්වා දුන් පුරෝගාමී නායකයකු, තමන් අද පතන සාරධාර්මික බෞද්ධ සමාජයේ ප්‍රමුඛතමයාගේ (බුදුන් වහන්සේගේ) මට්ටමට අමරසේකරයන් විසින් ඔසවා තැබූ ආකාරයයි.  එහෙත් පසුව ඔහු ලංකාවේ මාක්ස්වාදය හිස නැති කවන්ධයත් ලෙස හැඳින්වීය. නමුත් කැපවුණු පාක්ෂිකයෙකු හෝ දේශපාලනඥයෙකු නොවූ අමරසේකරයන් සමසමාජ පක්ෂයේ පරිහානිගත සමයත් සමග හුදකලා බවට පත්වේ.

 ලංකාවේ අනෙක් ප්‍රාඥයකුට නොමැති තරම් වන වෙනස්වීමට අමරසේකරයන්ට ඇති පුළුවන්කම අප වැනි සිතන්නන් ගේ නරකටද, ජාතිකවාදීන්ගේ (ජාතිවාදීන්ගේ) හොඳට ද සිටියේය. 

අප දන්නා අමරසේකරයන් කුලවාදය, ආගම්වාදය, ජාතිවාදය, පාසල් වාදය ආදි කොටු පවුරු දැඩිව ගත්තෙකු නොවේ. එහෙත් ඔහු වටිනාකම් සහිත රටක් අවංකවම ප්‍රාර්ථනා කරන්නෙකි. ලංකා සමසමාජ පක්ෂයේ ස්වර්ණමය යුගයේ දී එහි සිටි ප්‍රතාපවත් හා අවංක නායකයන් සමග ඒ දේශපාලන ව්‍යාපාරයට තමා පතන වටිනාකම් සහිත රට හෝ අවම වශයෙන් ඒ සඳහා වන අඛණ්ඩ ක්‍රියාවලියක අත්තිවාරම හෝ දැමිය හැකි වේ යැයි අමරසේකරයන් සිතන්නට ඇත. එහෙත් එය ඉටු නොවුණි. අනතුරුව මේ රටේ ගැමි උගත් දරුවන්ගේ නැගී සිටීමේ අවංක ප්‍රයත්නය පිළිබඳ අධිතක්සේරුවක් අමරසේකරයන් විසින් ඇති කර ගත්තේය. වරෙක ඔහු පුවත්පතකට ලිපියක් සපයමින් ‘ඬේලිනිවුස් පුවත්පතෙන් ලංකාව දුටු මෙරට මැද පන්තියට ඒ තුලින් ඔවුන් දුටු රටට වඩා වෙනත් රටක් යථාර්ථය පවතින්නේ යැයි මේ තරුණයන් පෙන්වා දුන්” බව පැවසීය. 

ලෙයින් හා යකඩින් මර්දනය වුනු ජවිපෙ දෙවන තරුණ කැරැල්ලෙන් පසු වඩාත් ජාතිකවාදය වෙත නැඹුරු වූ අමරසේකරයන් අද සිටින වනාන්තරය දක්වා පැමිණ සිටී.

 මහාචාර්ය නලින් ද සිල්වා සහ දොස්තර ගුණදාස අමරසේකර දෙපල මවිසින් හඳුනාගන්නේ එකම ජාතිකවාදී කඳවුරක නායකයන් හෝ අනුශාසකයන් දෙදෙනෙකුට වඩා ජාතිකවාදී කඳවුරු දෙකක එකිනෙකට වෙනස් නායකයන් හෝ  අනුශාසකයන් දෙදෙනෙකු ලෙසිනි. ඒ දෙදෙනාම තමන් පෙනී සිටින ව්‍යාපෘතියට අවංක බව විශ්වාස කරමි. ඒත් මට අනුව නම් වඩාත් හෘදයංගම මිනිසා අමරසේකරයන්ය.

 අමරසේකරයන්ගේ ජීවිතයේ පිරී ඇත්තේ ඔහු පවසන ගැමි පුරුෂාර්තයන්ගෙන් නොව නාගරික මධ්‍යම පාන්තික පුරුෂාර්ථ වලින් බව මගේ අදහසයි. ඔහුගේ සමීප මිතුරකු හා මගේද මිතුරෙකු මා සමග පැවසුවේ  අමරසේකරයන් දැනට සේවය කරන කදවුර විසින් ඔජ වඩන බොහෝ කාරණා අමරසේකරයන් විසින් අනුමත නොකරන බවයි.  ශ්‍රී ලාංකික භික්ෂුවගේ වර්තමාන ක්‍රියාකාරිත්වය පිළිබඳ බලවත් විවේචනයක් ඔහුට ඇති බව මගේ මිතුරා මා සමග පැවසීය. ඔහුගේ පැරණි සමකාලීන සමාජ ක්‍රියාකාරී මිතුරන්ට ඔහු නතර වී ඇති තැන පිළිබඳව ඇත්තේ සංවේගයකි. එහෙත් ඔවුන් සියල්ලම එකහෙලා පවසන්නේ අමරසේකරයන් කවර තරම් මජර වටපිටාවක් සමග පයුරු පාසානයන් පැවැත්වූවා වුවත්  යහපත් මිනිසකු ලෙස නාම ගැන්විය හැකි පුද්ගල භාවයන්ට හානියක් නොකරගත් බවයි. එයම මහා පුරුෂ ලක්ෂණයකි

අඟුටුමිට්ටන් දහස් ගණනකගේ අත්පුඩි වලින් සන්තෝෂ වෙන ගලිවරයකු ලෙස මේ දැවැන්ත පරිණත වයස්ගත මිනිසාට ගත කරන්නට සිදුවීම අප තේරුම් ගත යුත්තේ ඔහුගේ අර්බුදයක් පමණක් ලෙස නොව  ‘වටිනාකම් සහිත රටක්’ පැතූ අවංක බුද්ධිමතෙකු ඛේදවාචකයක් කරා ඇදගෙන ගිය සමාජ ව්‍යාපාරයන්ගේ ස්වරූපයය. 

‘ප්‍රේමයේ සත්‍ය කතාවෙන්’ කූටප්‍රාප්තියට පත් විශ්වීය අගයකින් යුක්තවූ ඔහුගේ නවකතාව, කෙටිකතාව, කවිය වනාහි අවංක හෘදසාක්ෂියකින් මෙහෙයවුනු ශිල්පීය නිපුණතාවයෙන් අගතැන්පත් ලංකාවේ නූතන සාහිත්‍යයේ අසමසම කෘතිීන්ය. එවැනි අපාර්ශික විවෘත දැක්මක් ඒ තරමට අත්පත් කර ගැනීමට අද තබා එදා  පරපුරේ කිසිවකුටවත් නොහැකි වූ බව මගේ හැඟීමය.ි ඒ සාර්ථක නිර්මාණ කාර්යයට ඔහුගේ එකල දැක්ම හා මහාපුරුෂ ඇසුර ආදී සියල්ලම බලපෑවේය.

 සිය කැමැත්තෙන් තමා දැවැන්තයෙකු කළ ඒ අපාර්ශික විවෘත දැක්මට සමුදුන් අමරසේකරයෝ සැක සංකා සහිත අඟුටුමිටි පිරිවරට ගැලපෙන සාහිත්‍ය ව්‍යාපාරයකට පිවිසෙයි. ‘ගමනක මුලින්’ ඇරඹෙන ඒ අවගමන ඔහු අත්පත්කරගෙන සිටි විශිෂ්ටතාවයන්  තමා විසින්ම හකුලා තැබූ අයුරු ශෝචනීයය. 

එහෙත් සාහිත්‍ය හා සමාජ ව්‍යාපාරවල යෙදෙන අපට මේ දැවැන්තයා අමතක කළ නොහැකිය. ඔහුගේ හද බස තේරුම් ගැනීම,  කෘතියට අවංක වීම යන කාරණා ඔහුගේ ගමනේ මැදට ගොස් අප තේරුම් ගත යුතුය. නිර්මාණය වනාහී බුද්ධිමය කටයුත්තක් බවද ඔහු අපට පසක් කළේ ය.

“ වටිනාකම් සහිත රටක්” පැතූ මේ අවංක දැවැන්තයාට චිර ජීවනය පතමි.

-චන්ද්‍රරත්න බණ්ඩාර


2020 නොවැම්බර් 20 දින රාවය පුවත්පතේ පළවිය.


ලක්දිව පුරාතන වාරිමාර්ග



 

ලක්දිව පුරාතන වාරිමාර්ග
ආර් එල් බ්රෝහියර් ගේ මාහැඟි කෘතිය ancian irrigation works of ceylon එහි සිංහල පරිවර්තන කාණ්ඩ 5 කින් යුක්ත ව වරින් වර මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් එක්දහස් නවසිය තිස් ගණන් වල මුලදී පමණ පළවිය.
මෙහි කොටස් කිහිපයක් අභාවප්රාප්ත මලල්ගොඩ බන්දුතිලක මහතා සතුව තිබිණ. ඉතිරි කොටස් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තිබී සොයා ගැනීමට හැකි විය. මේ වන විටත් මහවැලි අධිකාරිය විසින් බ්රෝහියර් මහතාගේ ඉංග්රීසි මුල් කෘතිය එක්දහස් නවසිය අසූගණන්වල නැවත පළ කරන ලදුව එයට අපමණ යහපත් ප්රතිඵල ලැබෙමින් තිබිණි.
මෙහි සිංහල කොටස් සියල්ලම එක් කොට තනි කෘතියක් ලෙස ප්රකාශයට පත් කිරීමට මවිසින් යෝජනා කළ විට එය ඵල රහිත වෑයමක් වෙතැයි බොහෝ දෙනාගේ මෙන්ම මලල්ගොඩ බන්ධුතිලක මහතාගේ ද අදහස විය. එහෙත් මා ඒ සඳහා තවදුරටත් වෙහෙසුනෙමි. අවසානයේ එවකට මහවැලි අමාත්යවරයා වූ මෛත්රීපාල සිරිසේන මහතා ඒ සඳහා අනුමැතිය දුන්නේ ය. මගේ සංස්කරණයකින් යුතුව එම කෘතිය 2001 වසරේදී ලේක්හවුස් ආයතන මුද්රණාලයේ මුද්රණය වෙමින් තිබියදී පැවති ආණ්ඩුව බිඳ වැටුණේය. ශ්රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව ආණ්ඩු මාරුවකදී පැරණි පාලනයේ ව්යාපෘතිවලට වන ස්වභාවික ගැහැට 'ලක්දිව පුරාතන වාරිමාර්ග' කෘතියටද අත්විය. වසරකට අධික කාලයක් මුද්රණ කටයුතු නැවතී එය ලේක්හවුස් මුද්රණාලයේ හමස් පෙට්ටියට වැටී තිබිණි.
මෙසේ සිටින විට අභිනව විෂයභාර ඇමතිවරයා ලෙස පැමිණි ගාමිණි ජයවික්රම පෙරේරා මහතා හමුවීමට මට ලැබුණු ඉතා කුඩා අවසරයකින් එතුමාට මෙම කෘතියේ අද තත්වය පැහැදිලි කිරීමට අවස්ථාව ලැබිණි. එතුමාගේ අවසරයද ලදුව යළි මුද්රණ කටයුතු ඇරඹී 2002 මැයි මස 17 වන දින කෘතිය දොරටු වැඩුණි.
එදා ඓතිහාසික දිනයකි. පොතේ කතුවර බ්රෝහියර් මහතාගේ මිණිබිරිය වූ ඩැල්රීන් බ්රෝහියර් මැතිණිය හා පොතේ සිංහල පරිවර්තකයා වූ එල්.පියසේන මහතාගේ දියණිය වූ ශ්රීමා දිසානායක මැතිනිය සමසුන් ගත් උත්සවයකදී මහවැලි කේන්ද්රයේ දී 'ලක්දිව පුරාතන වාරිමාර්ග' සම්පූර්ණ කෘතිය ප්රකාශයට පත්විය.
මේ ගැන අද මට ලියන්නට සිත් වූයේ ජැක්සන් ඇන්තනි අධ්යක්ෂනය කළ ගග දිගේ වාර්තා වැඩ සටහන් මාලාවේ මේ කෘතිය නිතර පරිශීලනය වනු දැක ඒ ගැන සංතෝෂයෙනි.
ලක්දිව පුරාතන වාරිමාර්ග කෘතිය සංස්කරණය කිරීමට ලැබීම මගේ ජීවිතයේ ලද මහත් භාග්යයක් ලෙස සලකමි. ඒ සඳහා මවෙත සහයවූ සුධීමතුන් සියලුම දෙනාට දහඅට වසරකට පසුවත් මම ස්තුති වන්ත වෙමි.
මෙහි පහත පළවන්නේ 1934 දී මෙහි සිංහල පරිවර්තනයේ පළමු කාණ්ඩයට එවකට ගොවිකම් සහ ඉඩම් අමාත්ය ඩී.ඇස් සේනානායක මහතා විසින් ලියන ලද පෙරවදනයි. එදා දේශපාලකයන් මෙවැනි ශාස්ත්රීය කටයුතු කෙරේ දැක්වූ ආකල්පය වටහා ගැනීමට මෙම පෙරවදන මහෝපකාරීවනු ඇතැයි සිතමි.
-චන්ද්රරත්න බණ්ඩාර
ප්රාරම්භය
ලංකාවේ අතීතය ගැන අප දන්නා කරුණු වලින් විශාල කොටසක් ආණ්ඩුවේ පාලක සහ කාර්මික දෙපාර්තමේන්තුවල නියුක්තව සිටි නිලධාරීන් විසින් රැස් කරන්නට යෙදුණු බව නොයෙක් තැන්වල සඳහන් වී තිබේ. ආන්ඩුවේ නිලධාරීන්ට අස්ථානයේ දෝෂාරෝපණය කරන්නේ යැයි චෝදනා ලැබ සිටින මම ද ඉහත කී සත්යය තව වරක් සඳහන් කිරීමට ප්රීති වෙමි.
මෙම නිලධාරීන් කෙරෙහි අපි ණයගැත්තෝ වෙම්හ. පඩි කෑමෙන් හෝ පඩි සම්බ කිරීමෙන් තෘප්තියට නොපැමිණියා වු මේ නිලධාරීහු ස්වකීය තනතුරුවල නියුක්ත ව සිටීමෙන් ලැබූ සෑම අවස්ථාවලින්ම ප්රයෝජන ගනිමින් පුරාතන දේවල් ගැන වග විභාග කර බැලූහ. එසේ වගවිභාගකර රැස් කරන්නට යෙදුණු කරුණු රාශියක් ඒ නැතිවී ගොස් තිබෙන ශිෂ්ටාචාරය අනාවරණය කිරීමට බෙහෙවින් ප්රයෝජනවත් වේ.
නිලධාරීන් විසින් නොයෙක් අවස්ථාවල ප්රකාශයට පමුණුවන්නට යෙදුනු ග්රන්ථයන් හැර ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල තබා තිබෙන පොත් පත් වලින් ද අගනා කරුණු රාශියක් රැස් කිරීමට පුළුවන් වන්නේ යැයි මම විශ්වාස කරමි. අවුරුදු පනහකට පමණ පෙර රාජකීය ආසියාතික සමිතියේ රැස්වීමකදී වරක් එහි මූලාසනයට පත් සිටි ආර්.එස් කොපල්ටන් දේවගැතිතුමා ආන්ඩුවේ නිලධාරීන්ගේ දිනපොත් බැලීමට සමිතියේ සාමාජිකයන්ට අවශ්ය අවකාශ ලබා දීම ගැන ආණ්ඩුකාරතුමාට ස්තුති කළේය. ශාස්ත්රීය කරුණු පිළිබඳ සාකච්ඡාවලදී මේ දින පොත් වලින් බොහෝ ප්රයෝජන ලැබෙන බවද එතුමන් විසින් විසින් සඳහන් කොට ඇත.
අපේ රටේ පුරාතන ශිෂ්ටාචාරය ගැන සොයා බැලීමට බලාපොරොත්තු වන්නන්ට ප්රයෝජනවත් විය හැකි කාරණා රාශියක් මේ මැනීම් දෙපාර්තමේන්තුවේ පොත්පත්වල සඳහන් වී තිබෙන බව මට දැනගන්නට ලැබී තිබේ. තවද ඉහත කාලවල මැනීම් දෙපාර්තමේන්තුවේ නියුක්තව සිටි උද්යෝගයවත් නිලධාරීන් අනුගමනය කරන බ්රෝහියර් මහතා වැන්නෙකු මේ ග්රන්ථය සම්පාදනය කිරීමට ඉදිරිපත් වීම මහත් වාසනාවකි. පුද්ගලික වශයෙන් නොයෙක් වෙහෙස මහන්සි දරා ඒ මහතා මේ ග්රන්ථය සම්පාදනය කිරීමට ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ යුතුව තිබේ.
මහජනයා ඉදිරියේ තබනු ලබන මේ ග්රන්ථයට ඉතා මෑතදී සොයා ගන්නට යෙදුන කරුණු රාශියක් ද අධික මිල නිසා දුර්ලභ වූ පොත්වල පමණක් දක්නට ලැබෙන කරුණු රාශියක්ද අඩංගු වී තිබෙත්. පුරාතන වාරිමාර්ගයන් පිළිබඳ කරුණු නොයෙක් තැන්වලින් රැස්කොට ප්රබෝධජනක ආකාරයට බ්රෝහියර් මහතා මෙහි දක්වයි. තවද සර් හෙන්රි වෝඩ් උතුමාණන් වහන්සේගේ සවිස්තර වාර්තා වලින් උපුටා නොයෙක් දේවල් මේ ග්රන්ථයේ දක්වා තිබීම අපේ විශේෂ සතුටට කාරණයක් වේ.
අප රටවාසීන්ගේ ආදරය යම් ආණ්ඩුකාරයෙකුට හිමිවිය යුතු නම් සර් හෙන්රි වෝඩ් උතුමාණන් වහන්සේට එය නිසැකයෙන්ම හිමි විය යුතුයි. පාටකල කන්නාඩිවලින් නොව ස්වකීය නෙත් යුවලින්ම රට පරීක්ෂාකර බලමින් තමාට ආණ්ඩු කිරීමට නියම වූ මනුෂ්යයන්ගේ තත්ත්වය නියම දේශපාලන විභාග කර බැලූ මෙතුමෝ තමන්ට පෙර සිටි ආණ්ඩුකාරයන් ගේ නොසැලකීම නිසා විනාශ මුඛයට පත්ව තිබූ ගොවි කර්මාන්තය දැක ශෝකයට පත් වූහ. බ්රිතාන්ය ආණ්ඩුව රටේ ආදායමින් සැලකිය යුතු කොටසක් කිසි කලෙකවත් පුරාතන කර්මාන්තයන් ප්රකෘතිමත් කරවීමට නොයෙදූ බව ද දේශගුනය නිසා අතිශයින්ම උවමනාවූ මේ වාරිමාර්ගයන් ප්රකෘතිමත් කිරීම මෙන් සිංහලයන්ගේ සිත් තුළට කාවදින අන් කිසිවක් නැති බව ද මෙතුමාට මනා ලෙස අවබෝධ වූයෙන් නිසරු ප්රදේශයන් සාරත්වයෙන් බැබළවීම පරමාර්ථකොට ඇති ක්රියාපටිපාටියක් ආරම්භ කළහ. වර්තමානයේ දක්නට තිබෙන වාරිමාර්ග පිළිබඳ සෑම කටයුත්තක්ම උතුමාණන් වහන්සේගේ ව්යාපාරය නිසා ඇති වූයේ යැයි සලකන්නට පුළුවන.
පුරාතන විශ්මය ජනක කර්මාන්තයන් කෙරෙහි අප රටවාසීන්ගේ යොමු කිරීම මේ ග්රන්ථය ප්රසිද්ධියට පැමිණිවීමේ මුල් අදහස වේ.
විශාල රාජ්යයන් පමණක් දියුණුව තිබෙන වර්තමාන කාලයේ කුඩා ජාතීන් විසින් ලොවට සලසා තිබෙන සෙත අමතක කර දැමීමට ඉඩ තිබේ. මේ කුඩා ජාතීහු ද ලොවට තව වරක් සෙතක් සැලසීමට අසමර්ථවන්නාක්මෙන් මන්දෝත්සාහී වෙත් . අපේ පුරාතණ මහඟු කර්මාන්තයන් ගැන දැනගන්නට ලැබීම මේ දුර්වල ගති නැති කර දැමීමට එකම මාර්ගය වේ.
විශාල රාජ්යයන් පමණක් දියුණුව තිබෙන වර්තමාන කාලයේ කුඩා ජාතීන් විසින් ලොවට සලසා තිබෙන සෙත අමතක කර දැමීමට ඉඩ තිබේ. මේ කුඩා ජාතීහුද ලොවට තවවරක් සේවය සැපයීමට අසමර්තවන්නාක් මෙන් මන්දෝත්සාහී වෙත්. අපේ පුරාතන මහගු කර්මාන්තයන් ගැන දැන ගන්ට ලැබීම මේ දුර්වල ගති නැතිකර දැමීමට එකම මාර්ගය වේ.
ඝන යාර 17 කෝටියක් පමණ විශාල වූ වෑකණ්ඩියක් අපට දක්නට තිබේ නම්, එවැනි වෑකණ්ඩියක් සෑදීමට දැන් කාලේ මුදලින් පවුම් 1,300,000 ක් පමණ වුවමනා වේ නම්, ඒ මුදලින් හැතැප්ම 120ක් දිග රේල් පාරක් එන්ගලන්තයේ දී සාදන්නට පුළුවන් වේ නම්, තවද එවෙනි වෑ කණ්ඩි එකක් පමණක් නොව බොහෝ ගණනක් දක්නට තිබේ නම්, නූතන ශිල්ප විශේෂඥයෙක් 'මා නියුක්තව සිටි රක්ෂාව නිසා පුරාණ කර්මාන්තයන් ගැන ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බැලීමට අවකාශ ලැබුණන් මේ මහඟු කර්මාන්තයන් සෑදූ ශිල්පීන්ගේ ඥානය සහ කාර්යක්ෂම භාවය කෙරෙහි දැක්විය යුතු ගෞරවය නොසගවා ප්රකාශ කරමි යයි කියා තිබේ නම්, තව ද මේ කර්මාන්ත වල සාවද්ය වශයෙන් සලකනු ලැබූ යැයි යම් යම් ස්ථානයන් ද නිරවද්ය බවත් ආදීම ශිල්පීන්ගේ අදහස් වරදවා තේරුම් ගැනීමෙන් ඒ ඒ තැන් සාවද්ය වශයෙන් පෙනී ගිය බවත් පසු කාලයක දක්නට ලැබුනේ නම්, මේ වාරිමාර්ග සෑදීමට උවමනා වූ විශාල ජන සංඛ්යාව මිසර දේශයේ පිරමීඩ්ස් සෑදීමේ දී ඇතිවූ මහජනත තාඩනපීඩනාදියෙන් තොරව පොදු යහපත උදෙසාම ඇති කරවන්නට යෙදුන කටයුතු පිළිවෙළකින් ලබාගන්ට යෙදුනේ නම්, එසේම අපේ පරිහානිය ඇති වූයේ ''අප ජන සමාජයට අත්තිවාරමක් වූ විධිවිධානයන් බිඳහැර පොදු යහපතට අදාළ වන කර්මාන්තවලදී ජන සමාජයේ ඒකාබද්ධ වීර්යය යෙදවීමේ පිළිවෙත් විනාශ කර දැමූ කරුණුවලින් බවත් අපි කල්පනා කරමු නම්, කල්පනා කරමින්ම නැවත නැවතත් අතීතය ආදර්ශයට කොට ගනිමු නම්, අනාගතය ගැන කනස්සල්ල වීමට අපට කරුණක් නැත.
අපි අපේ මුතුන්මිත්තන් කෙරෙහි පැවති ප්රබලකම් හා දුබලකම් වලින් සමන්විත වම්හ. ඒ දුබලකම් නැතිකර දමා ප්රබලකම සුරක්ෂිත කිරීමට කාලය තවම ඉකුත්ව නොගියේ යැයි මම තරයේ විශ්වාස කරමි.
මේ සිංහල පරිවර්තනය කළ ශාස්ත්රාචාර්ය එල්.පියසේන මහතාට ද ඊට ආධාර කළ ආචාර්ය ජී.පී.මලලසේකර මහතාට ද මම ස්තූතිවන්ත වෙමි.
ඩී.ඇස්. සේනානායක
ගොවිකම් සහ ඉඩම් පිළිබඳ අමාත්යතැන
වර්ෂය 1934 ක් වූ නොවැම්බර් මස 25 වැනි දින