Friday, 23 December 2022

ලෝකයේ හරි මැද

 දසදහස් ගණනක් පොත් අතර

තිබෙන්නට ඇත පෙම්පතක්

කවුරු හෝ කවියෙකු ලියූ

අපට හරියටම ගැලපෙන


මග අයුරු නොදැන මුත් 

මග අයුරු දැන වගේ ආ ගමන

එක තැනක හමු වී

තතනද්දි කියන්නට යම් දෙයක් 

සිතුවමට අධිපති දෙවියා 

කඩා වැදී එතැනට

ඇන්දේය සිතුවමක්  

දෙව්ලොවේ වර්ණයෙන්

දැන් ඒ සිතුවම ඔබ අබිබවා තොසිනි.

සාරි ඇන්දත් ඔසරි ඇන්දත් ගවුම් ඇන්දත්

නිරුවතින් හිටියත්

සැමකල්හි ඔබ සිටින්නේ 

දෙවියන් ඇන්ද වූ ඇඳුම් ඇඳගෙන


ඒ කවි පොත තිබුණු බිම්කඩ

සිතුවම ඇන්ද බිම්කඩ

වෙනස් විදිහේ මදහසක් මෝදුවුනු බිම්කඩ

කාලයේ වේගය ගැන අමනාප වු බිම්කඩ

නව බිජුවට වපුල බිම්කඩ

අතපත් නොවූ කවිපොත

සොයන්නට එන්න හිතෙන බිම්කඩ

පැදකුණු කළ වග සැලව

ඒ පැරණි මදහසම යළි මෝදු විය මා ව



Tuesday, 20 December 2022

හැරලානන්දය


 


අපේ යුගයේ ලයනල් වෙන්ඩ්ට් ලෙස හැඳින්විය හැකි හැරල්ඩ් පීරිසුන්ගේ උපන් දිනය අදට යෙදී ඇත. නියමුවකු, මගපෙන්වන්නෙකු ලෙස ඔහු මා ඇතුලු බොහෝ පිරිසකට පිහිට වී ඇත. උදව්පදව් කිරීමේ හැරල්ඩ්ගේ විලාසය ඔහුටම ආවේණික විචිත්‍ර එකකි. ඔහුගේ මිතුරු වළල්ලට අයත් හැම දෙනෙකුගේ ම  දිනපතා ම පාහේ දුක සැප සොයා බැලීමේ අපූරු පුරුද්දක් ඔහු සතුව ඇත. 

ශ්‍රී ලංකාවේ චිත්‍ර හා  මූර්ති කලාවේ අභිවෘද්ධිය උදෙසා හැරල්ඩ් විසින් කරන ලද මෙහෙවර ඒ සඳහා ම පිහිටුවා ඇති ආයතනයකටවත් කිසිසේත් ම දෙවෙනි නොවේ. දයානන්ද ගුණවර්ධන සුගතපාල ද සිල්වා ගුණසේන ගලප්පත්ති ආදි සිංහල නාට්‍ය කලාවේ ස්වර්ණ ම ය යුගයේ නාට්‍යකරුවන්ගේ නිර්මාණ පිටුපස හැරල්ඩ්ගේ සෙවනැල්ල තිරසරව තිබූ බව දන්නෝ දනිති. නර්තනය සාහිත්‍යාදී අනෙකුත් කලාවන් කෙරේ ද ඔහුගෙන් ලැබුණේ අනගි සහයකි.

මා හැරල්ඩ් පීරිසුන් හඳුනාගන්නේ මගේ වැඩිහිටි ම්ත්‍රයෙකු වූ දිවංගත පියසේන ගුණතිලක මාර්ගයෙනි. මා ඔහුට වඩාත් සමීප වෙන්නේ ජගත් වීරසිංහගේ කාංසාව චිත්‍ර ප්‍රදර්ශනයට වෙහෙස මහන්සිවූ 1992 පමණ ඈත යුගයක සිටය. ඊටත් පෙර 1987-89 භීම සමයේ දිවි ගලවා ගැනීමට ඔහුගේ මැදිහත් වී ම මට උපකාර විය.

හැරල්ඩ්ගේ මෙහෙවර අළලා මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය කොට ප්‍රකාශයට පත්කරන ලද 'හැරලානන්දය' කෘතිය අද නිකුත්වෙන බව දැනගන්නට තිබේ. එවැන්නකට සැලකිය යුතු මට්ටමකින් මහාචාර්ය චන්ද්‍රජීවට සහයක් දැක්වීමට මම දිවයිනේ නොසිටී ම ගැන මට මහත් සංතාපයක් ඇත. 

හැරල්ඩ් පීරිසුන් වනාහි මගේ උත්තුංග කළණ මිතුරෙකි. 'විශ්වාසා පරමා ඥාති' යන සාකල්‍යයෙන් ම සත්‍ය බුදුවදන සැබෑකළ මිතුරෙකි. ඔහු වැන්නෙකු මගේ මිත්‍ර පර්ශදය තුළ සිටීම ජීවත් වීමට වැදගත් අරුතක් ගෙන දෙන බව කිව යුතුය.

හැරල්ඩ් පීරිසුනි ඔබට චිරං ජයතු! 

Thursday, 15 December 2022

සංවේදී සම්මානයක්.

 




මගේ ජීවිත ලාලසාවන් හා ආත්මීයත්වයන් මගේ නිර්මාණ තුල ගැබ්ව තිබේ. එහෙත් අතීත නිර්මාණ හා සසඳා බලන කළ ඒ සියල්ල වැඩි ප්‍රතිශතයකින් ගැබ් වූයේ  මගේ මෑතකාලීන නිර්මාණය වූ 'ප්‍රේමානිශංස' තුළ ය. එය මට නැවත වරක් ජීවිතය මුණගැස්ස වූ අතර වැඩකරන්නට නව අවකාශයක් තනා දුන්නේය. නව මිතුරන්,ආදරණීයයන් හා නව රසික ජන සමූහයක් ප්‍රේමානිශංස මවෙත මුණගැස්සවී ය. වඩාත් ම විචිත්‍ර හා සංවේදී ම කාරණය වන්නේ ප්‍රේමානිශංස තුලින් සිය ජීවිතය නැවත විවරණය කරගන්නට වෑයම් කළ සහෘද සහෘදිනියන් රැසකගේ ඒ උත්සාහයන් මවෙත දැනගන්නට සැලැස්වීම ය. 

මේ සියලු සංතුෂ්ටිය දනවන කාරණා මෙතරම් ඉක්මනින් සාක්ෂාත් වූයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හා ස්වර්ණ පුස්තක සම්මාන ද්වය ප්‍රේමානිශංස වෙත පිරිනැමීමත් සමග ය. ඒ සම්මාන ද්වයෙන් ලැබුණු සතුටේ රැස්වළලු නිමා වී ඒවායේ අගය පමණක් ස්ථාවර වෙමින් තිබිය දී ඊයේ දින (දෙසැ.15)  හොඳ ම නවකතාව සඳහා වූ ගොඩගේ ජාතික සම්මානය ප්‍රේමානිශංස වෙත ලැබීම කෘතියට නව අගයක් එකතු වීමක් පමණක් නොව නිවී යමින් තිබුණු රැස් වළල්ල යළි දැල්වීමක් හා සමානය. 

මේ කෘතියේ නිර්මාණ අක්ෂය මා වුවත් මෙය සමූහ ශ්‍රම දායකත්වයක ප්‍රථිපලයකි. සංස්කරණ කටයුතු සඳහා දායක වූ රවි චන්ද්‍රලාල්, සම්පත් දිසානායක මූලාස්‍ර සපයා දීමෙන් සහාය වූ පූජ්‍ය මිස්සක කමලසිරි හිමි, යසන්ත නවරත්න, ජයලත් සමරක්කොඩි ආදීන් ද සිය පර්යේෂණ හා කලා කෘති මගින් උකහා ගත් දැනුම සපයා දුන් ආචාර්ය කුමාරි ජයවර්ධන හා සිනමාවේදී සෙනාල් සෂීදරන් , පර්යේෂක නන්දන වීරරත්න, සාහිත්‍යවේ දී හෂාන් රන්දික ඩයස් ප්‍රකාශනයේ වපසරිය පුළුල් කිරීම උදෙසා මා යොමුකළ මනෝරම වීරසිංහ, නිමල් ඒකනායක ආදීන් ද ඇතුළත් සුවිසල් සද්ජන සමූහයක් ගොඩගේ සම්මානයෙන් නැවත දැල්වූණු ප්‍රමෝදයට හිමිකම් කියයි.


ගොඩගේ සම්මානයේ නිර්මාතෘ එස්.ගොඩගේ සිරිමතුන් ය. ඔහුගේ දැවැන්ත හදවතේ අකලංක බවට මෙම සම්මාන උළෙලේ සිය මැදිහත්වීමේ ස්වරූපය කියාපායි. තමාගේ ම ප්‍රකාශන ආයතනයෙන් ප්‍රකාශිත විශිෂ්ට කෘති තිබිය දී පවා (ඇතැම් කෘති විශිෂ්ටම කෘති ලෙස අන් සම්මාන උළෙලයන්හි දී සම්මානිත විය) එතුමා විනිශ්චය මණ්ඩලයේ තීරණයට මුළුමනින්ම එකඟ වී ඇති බව ප්‍රේමානිශංස සම්මානයට පාත්‍ර වීමෙන්ම කියා පායි. ඒ වෙනුවෙන් මම ගොඩගේ මැතිඳුන්ට ප්‍රණාමය පුද කරමි. එමෙන් ම  'සම්මාන උළෙලක් සංවිධානය කිරීම' නම් වූ අති දුෂ්කර කටයුත්තට නායකත්වය දුන් අප හිතවත් අනුරසිරි හෙට්ටිගේ සොයුරාට ද සුහද සිතින් ස්තුති කරමි. 

ජීවිතය යනු ජයග්‍රහණයන්ගේ ද පරාජයන්ගේ ද ඓක්‍යයයි. එය මැදහත් ලෙස ගන්නට නම් අප තපසට යායුතුව තිබේ. එහෙත් ආදරය , ප්‍රේමය හා හිතමිතුරු ඇසුර ආදී ක්ලේෂයන් සමග ම ජීවිතය නිමා කරන්නට ඉටාගෙන සිටින මට ගොඩගේ සම්මානය ද ඇතුලු අනෙකුත් ඇගයීම් මගේ ක්ලේෂයෝ තව තවත් වර්ණවත් කළේ ය. ලස්සන කළේ ය.

Monday, 22 August 2022

'ප්‍රේමානිශංස' ඔබට ජන්ම දින තිළිණයක් වේවා!



 "යම් තැනෙක,

බිතු සිතුවමක් පතුරු ගලවා වැටේ ද,

යම් තැනෙක,

 ‍සිත්තමක අවසාන ජීවය නැතිව යනතුරු

එහි ශෝභාව අඩු වී යයි ද,

එහෙත් ඒ හැම මොහොතක ම

පීඩා විඳින්නෙක් ඇත.

ඔහුගේ පැතුම,

සෑම කැබැල්ලක් ම

බිත්තියෙහි යළි අලවා සිටුවා

සෑම වර්ණයක් ම

බදාමයෙන් නොගැලවේවා කියායි.

බූරුවෙකුගේ පා පහරින් මැරී යන සිංහයෙකු පරිද්දෙන්

එහි සිටින්නේ

පුරාණ කලා විශාරදයෙකුගේ 

දැදුරු වූ උදාර ආත්මයයි."

     දෙගල්දොරුව විහාරයේ සිතුවම් ප්‍රතිසංස්කරණ ශිල්පියෙකුගේ නොසැලකිල්ල ගැන ඉහළ නිලධාරියෙකුට ආනන්ද කුමාරස්වාමි විසින් කළ පැමිණිල්ලේ කොටසක පරිවර්තනයකි ඉහතින් දැක්වෙන්නේ......


වීර වික්‍රමාන්විත ඔබේ වීර චාරිකාව,දෙගල්දොරුව ආස්‍රිත අපේ ගම් පියසවල් සිසාරා කෙරුණකි. ඔබ මට ආවේශ වූයේ කවදා දැ යි මට මතක් කළ හැකිය. ඒ ' උඩරට ප්‍රධානීන්ට විවෘත ලිපියක්' මැයෙන් වූ ලිපිය කියවූ දා සිටය. ඒ කුමාර දිෂ්ඨිය මගේ සාහිත්‍ය හා අධ්‍යාපනික ජීවිතය කැළැඹීය. අසූ ගණන්වල ඔබේ ලේ නෑකම් සහිත මී මිනිපිරියක් අපේ සේ්වාස්ථානයට එංගලන්තයේ සිට ඉගිල්ලී ආවාය. සමසක් පමණ කෙටි කාලයක් අප සියල්ල වෙත සුන්දර මතක රැසක් ඉතිරි කරමින් ආපසු කොහේදෝ ඉගිල්ලී ගියාය.

'ප්‍රේමානිශංස' හි 'නිරූ' නිරූපනයට ඇගේ ගති ලක්ෂණ ද මවෙත තරමක් බලපෑවේය.

ආනන්ද කුමාරස්වාමි නැමැති ඔබ ගැන මට විශේෂයෙන් කියා දුන් කෙනෙක් නැත. එහෙත් ඔබ මගේ ලෝකයේ සදා ආලෝකිත පහන් ටැඹකි. ඒ ආලෝකය 'ප්‍රේමානිශංස' ලිවීමට මවෙත ආවේෂය සැපයී ය.

අද ඔබගේ 145 වන ජන්ම දිනයයි. 'ප්‍රේමානිශංස' ඔබට ජන්ම දින තිළිණයක් වේවා!


Wednesday, 17 August 2022

උදම් රළ


 

හැම අඳුරක් ම

ආලෝකයක් වුණු කාලයක්


සඳ හිරු නොපායන මුත් 

ආලෝකය පිරී ඉතිරුණු කාලයක්


සඳවත නිදි ගන්නා පැයේ දී

ඔබ මුදුන් වී අහස් කුසට

පාළොස්වක සඳක් සේ පෑයූ අයුරු මගෙ ලොවට,

අනන්තව අහස් කුස විසුළ තරු

ඕපාදූප නොසොයන්නට

නොමග යවා නිදි ගන්වා


ඔබ සඳ රැස් දහරක් සේ එවූ

සුසුම් රැළි දිය වී 

දිය කඳුරක් වී

ඒ දිය කඳුර -ඇලක් දොලක්, ගඟක් සමුදුරක් වී

කෙලවර මා වෙළාගත් 

සුනාමියක් (උදම් රළ පහරක්) මැවූ හැටි

මා ඉන් හෙම්බත් වූ හැටි

ඔබ නොනවත්වා මා වෙළා ගත් හැටි

ඒ වියරුව සඟවා සුපුරුදු ලයාන්විත සිනාව පෑ හැටි

ඒ උදම් රළ පහරට ඉඩ දී 

කැමැත්තෙන් එයට බිලි වූ හැටි

සැමරුම් නැති ඒ සුනාමියට

දැන් වසර ........

Wednesday, 27 July 2022

දැවැන්ත පරමාදර්ශී සිහිනයක් පසුපස හඹාගිය දැවැන්ත මිනිසා: ඔහු මගේ ලෝකයේ දැවැන්ත වීරයෙක්


        මා ලද ජීවිත භාග්‍යයන් අතර ට්‍රොට්ස්කිවාදී දේශපාලනයට යම් කලකටවත් ජීවිතය මුසු කිරීමට හැකිවීම එකකි. මට දේශපාලන වක්තෘවරු මුණගැසුණේ මාක්ස්වාදයේ එකී ධාරාව තුළිනි. ඉන් එක් අයෙක් සිය පරමාදර්ශී දිවිසැරිය ඊයේ නිමකළේය. ඒ සදාදරණීය විජේ ඩයස් සහෝදරයාය. 

    ඔහුගේ රළු පරළු බව තුලින් මතුවූ පැහැබර බව මතුවූයේ සාරදර්ශී සිය සිහිනය යථාර්ථයක් කරගතහැකියයි සිතූ නිසා විය හැකිය. පියසීලි සහ විජේ ඩයස් යුවල වනාහි අනෙකුන්ගේ සිත් පහන් කරවන තරම් ආනුභාව සම්පන්න එකතුවීමකි.

     හෘද සාක්ෂිය ඒ හැටියටම ප්‍රකාශ කරමින් කෙනෙකුට පුළුල් සමාජ අවකාශයක පැවතිය නොහැකිය. එහෙත් සමාන හෘද සාක්ෂියක් ඇත්තවුන්ගේ සාමූහිකයක් තනා ගනිමින් නිරුපද්‍රිතව සිය හෘද සාක්ෂිය අවදි කළ හැකිය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (දැන් සමාජවාදී සමානතා පක්ෂය ) එවැන්නකි. බුදුන්ගේ සංඝ සමාජය ද එවැන්නකි.

      විජේ ඩයස් මා අවසන් වරට දුටු ආශ්වාදනීය ම මාක්ස්වාදී කතිකයාය. සිය දැනුම සම්භාරයට යට නොවුණු සිය කටවහර (උදා: කම්මුතුයි වැනි) සිය කතිකත්වය වඩාත් ආකර්ශණීය කළේය. මා දන්නා තරමින් ට්‍රොට්ස්කිවාදය හා ස්ටැලින්වාදය අතර වෙනස තේරුම් යන ආකාරයට කියා දුන් බලගතුම කතිකයා ඔහුය.

      අපේ යොවුන් විය හා තරුණ විය අර්ථ පූර්ණ කළ දැවැන්තයින් අතර විජේ ඩයස් ඉදිරියෙන් ම සිටී. ඔහු සිය ව්‍යාපාරය වෙනුවෙන් සිතාගන්නට බැරි තරම් ජීවිත පරිත්‍යාගයන් කළේය. දරුවන්ට අප කියා දිය යුත්තේ මෙවැනි මිනිසුන්ගේ පරිත්‍යාගයන්ගෙන් පිරුණු  ජීවිත ගැනයි.


ප්‍රිය සහෝදරය ඔබට සුබගමන්!

 

Sunday, 15 May 2022

මග අයුරු දෙස ආපසු හැරී බලමි.

 




'මගිය,

ඔබ එළඹ සිටි සිහියෙන් දැ යි 

විමසිලිමත් වෙන්න.'


වහන්ස,

මා මෙහෙයවූ උතුම් ම දම් පදය එයයි..

එය එසේ නොවී නම් 

මා සුන්බත් වී බොහෝ කල් ය.


සමිඳ, මා ඔබ දකින්නේ,

'උසය. හීන්දෑරිය,නොසැලෙන සේක.

අල්ප වූ ආහාර ඇති සේක, කිසි දෙයක නො ඇලෙති, වන වැද බවුන් වඩති, ලොබලිය ලියලවන වස්තූන්හි අපේක්ෂා හැරපියා සිංහයෙතු මෙන් හුදකලාව හැසිරෙති.' ‍

                       (සුත්තනිපාත)

 ලෙසිනි. 

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් නොවෙමි.


උත්පත්තියෙන් ම මට ලැබුණු දායාදය ඔබ වහන්සේ ය. 

ඔබ වහන්සේගේ දහමය.

මේ ජීවන ගමන් මගේ පිටමං නොකළ අතළොස්ස අතර

ඔබ වහන්සේ ඉහළින් ම වැඩ වාසය කරයි.


-චන්ද්‍රරත්න බණ්ඩාර