Sunday, 27 June 2021

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට


 

ඔහු පළමුවරට අපට මුණ ගැසෙන්නේ මහනුවර දී 'කාලයේ රාවය' ප්‍රසංගයේ සැලසුම්කරුවෙකු ලෙසින් එක්දහස් නවසිය අසූ ගණන්වල මැද භාගයේ දී ය. ඒ ඔහු සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබ පැමිණි විගස ම වාගේ ය. ඒ මුණගැසීම සිදුවන්නේ ලංකාවේ 80 දශකය පිළිබඳ නොනැසෙන මතක තබා ගිය නන්දන මාරසිංහගේ සමානයා ලෙසිනි. (මාරසිංහ කවර තරම් අනුහසකින් යුත් අයෙක් වී ද යත් අද පවා ජනතා විමුක්ති පෙරමුණ කවර තරම් ප්‍රතිසංස්කරණයන්ට ලක් වී ඇති නමුත් ඔවුන් අතින් මියගිය අනෙක් සියල්ලට වඩා මාරේ මරා දැමූ පාප මතකයෙන් මිදීමට නොහැකිය. ) 


සුනිලුන්ට කියන්නට බොහෝ දේ තිබුණු බව පෙනුනු නමුත් කියන විලාෂයක් ඒ ආරම්භක අවධියේ ඔහු තනාගෙන සිටියේ නැත. ඔහුගේ දේශන අනවශ්‍ය තරම් දීර්ඝ විය. දේශන ගණනාවක පැහැදිලි කළ යුතු කරුණු එක දේශනයක ගැබ් කිරීමට ඔහු උත්සාහ දැරූ බව මගේ මතයයි. එහෙත් ඔහු කලා සංස්කෘතික සමාජ කණ්ඩායම් සමඟ දිවා රෑ කටයුතු කිරීම නිසාදෝ ඔහුගේ දේශන ශෛලීන් ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය. එතැන් සිට ක්‍රමයෙන් ඔහු අපට ප්‍රිය මනාප දේශකයෙකු වෙන්නට පටන් ගත්තේය. එපමණක් නොව අප ප්‍රියකරන ධාරාවේ (වාමාංශික?/බහුත්වවාදී?) දේශකයන් පස්දෙනා අතරට ඔහු ඇතුලත් විය. අනෙක් සිව් දෙනා නම් මහාචාර්ය සුචරිත ගම්ලත්, පියශීලි විජේගුනසිංහ, ආචාර්ය ජයදේව උයන්ගොඩ හා තිස්ස අබේසේකරයි. අනෙක් සිව්දෙනාගේ වුව ද අතීතය ඇසුරෙන් වර්තමානය විග්‍රහ කිරීම මිසක අනාගතය වෙත ප්‍රක්ෂේපනය කිරීමක් අපට දැනෙන ආකාරයට කෙරුනා ද යන්න මට ඇත්තේ සැකයකි. එහෙත් සුනිලුන් අද වගේම එදාත් අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයම සිය ඥාන විමංසනයට ලක් කළාය යන්න මගේ හැඟීමයි.


ඔහු 1996 දී පමණ ලියූ, ගැඹුරට මුල් විහිදුනු රුවන් වැකියක් බූදුසමය නම් වූ ක්ෂේත්‍රය පිළිබඳ මා තුළ එතෙක් පැවති අදහස් යළි සංග්‍රහ කර ගැනීමට හේතු කාරක විය. ඒ 'සංඝ සමාජයේ අර්ථඵලදායී වෙනසක් වීමට නම් ඒ සඳහා වන කැරැල්ල ආරම්භ විය යුත්තේ භික්ෂු සමාජය ඇතුළතින් මයි' යන වැකියයි. ඔහු එම කරුණු ඇතුලත් ලියවිල්ල බෙදාහරින ලද්දේ ආණ්ඩුව විසින් සිය සාම ක්‍රියාදාමයට පක්ෂව කෘත්‍රීමව සංවිධානය කරන ලද භික්ෂු උද්ඝෝෂණයක දී ය.  එම අදහස් ඔහුට ඇතිවන්නට ඇත්තේ තමන් ඥානනය කර ඇති අනෙකුත් විමුක්තිවාදී මූලධර්ම අනුව විය හැකිය. විසිපස් වසරක් පමණ ගෙවී ගොස් ඇති නමුත් ඔහු පැවසූ කාරණාව තවමත් අනාත වී නොමැත. 


එමෙන්ම දේශපාලනය වැනි භෞතිකවාදී විෂයයක් ජ්‍යෙතිෂය වැනි පාරභෞතික විෂයයන් ඇසුරෙන් විග්‍රහ කිරීමේ භයානකකම එදවස ඔහු කතා කළේය. ඔහුගේ ඒ පුරෝ කතනයන් කෙතරම් නිවැරදිව අද වන විට ඔප්පුවී තිබේද?


අද මම සුනිලුන් දකින්නේ තමා ජීවත්වන රට පමණක් නොව ලෝකයම සඳහා පාර්ශ්වීය නොව සමස්තයම ග්‍රහණය කරගත් සැලැස්මක් සහිත ලංකාවේ ප්‍රමුඛතම විද්වතා ලෙසිනි. බහුවිධ දැනුම පද්ධතීන් ඒ සඳහා ඔහු උපයෝගී කර ගනී. භෞතික විෂයයන් පමණක් නොව මනුෂ්‍ය නිශ්පාදනයන් වන ආධ්‍යාත්මික විෂයන්ට ද ඔහුගේ සැලැස්මේ තැනක් ඇත. ලංකාවේ මෙම දැනුම සාමූහිකත්වය වෙනුවෙන් ඔහු පෙනී සිටී. මගේ ද විශ්වාසය වන්නේ මෙවැනි සැලැස්මකින් විනා පාර්ශ්වීය සැලසුමක් ඔස්සේ මේ රට දියුණු කළ නොහැකි බවයි.

 

මේ සටහනට හිමිකාරයා වු ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට

දිගාසිරි පතමි.

මානිවත්ත අභික්කම...

Thursday, 24 June 2021

ජීවත්වීම යනු ජීවිතයම යළි දිනා ගැනීමකි.


 

ප්‍රාර්ථනා කරකාරෙට බන්දා

හොවා කුසුමකට දෝතට නංවා

ස්වේත වර්ණ පින් පෙලට එකතුවී

බැතියෙන් වර එනතුරු පෙල ඉන්නා

පෑල දොරින් පිවිසුන බැති සින්දා

කල්ප ගනන් කල් එහිම රැඳෙන්නා 

කල පැමිණිය කළ දෝත බැලෙන්නා

කාර බැන්ද මල් පෙති ලියලන්නා

         -විෂ්ණු වාසු

(1982 අප එක්ව පළකළ 'අසික්කිතයාගේ සිහිනය' කවි පොතෙන්)

මේ ඔහුගේ මා ඇස ගැසුණු අතීත ම නිර්මාණ වලින් එකකි.

එතැන් සිට ගෙවී ගිය හතළිස් වසරක අතීතයේ භාෂාවෙන් ,සංගීතයෙන්, සිනමාවෙන් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් ඔහු පෙළහැර පෑවේය. ඔහු සෙල්ලම් කළේ තමන්ම තනා ගත් පිට්ටනියකය. එහිදී ඔහු බොහීමියානු ධනපතියකුට සමානය. ඔහු තමන්ගේ බිමක තනාගත් චින්තාවන් ප්‍රකාෂන ලෙස මුදා හරින විට අපව හෙල්ලුම් කවයි. ඔහුගේ ඝටම් සංගීතය, ඔහුගේ සංගීත දෘෂ්ටිය, ඔහුගේ ගුවන්විදුලි වැඩ සටහන් හා ඔහුගේ සිනමාව යන සියල්ලේ මේ හෙල්ලුම් කවන ගුණය තිබිණ. අකල් හි මරු වැළඳ ගත් සිය බෑනනුවන් ගැන ලියූ සටහන තුල ගැබ්වූ විෂ්ණුගේ ස්වරය පාලක පංතිය හෙල්ලුම් කැවිවේය. සිය ශෝකයේ එතූ දේශපාලන චිත්‍රය සමාජයේ සැලකිය යුතු කොටසක් මනාව වැළඳ ගත්තේය.

ඔහු තමන්ට හිමි වූ ජීවිත හා නිර්මාණ කලාපයේ පරිධිය, ස්වොත්සාහයෙන් සිතිජ ඉම තෙක් පළල් කරගත් ආකාරය දකින මට දැනෙන්නේ මහත් සතුටකි. ගෞරවයකි. ජීවිතය යනු සම්ප්‍රදායෙන්, ආගමෙන් හෝ වෙනත් සදාචාර පද්ධතියකින් ලැබෙන දෙයක් ප්‍රවර්ධනය කර ගැනීමම නොවේ. එය සිය ජීවිතයේ ඇඟවුම් වලට අනුකූලව 'ජීවිතයම යළි දිනා ගැනීමකි'.

විෂ්ණු එවැන්නෙකි. ඔහුගේ ජීවිත පොතේ අතීතයේ හමු නොවූ බොහෝ අරුත් මම ගත කරන විප්‍රවාසී ජීවිතයේ දී මට හමුවෙමින් පවතී.දැනෙමින් පවතී. 

මෙහි ලියවුනු හැමදෙයක්ම සටහන් කරන වේලේ මගේ හද ගැසුණු මගේ මිත්‍රශීලී ස්වරය එයාකාරයෙන්ම ඔබට දැනේවා. 


විෂ්ණු වාසු, ඔබට සුබ අනාගතයක්. 

සුබ නිර්මානණීය අනාගතයක්.


-චන්ද්‍රරත්න බණ්ඩාර


Monday, 21 June 2021

මාලනී ගෝවින්නගේ


 

හිස් තැනක් යළිත්

එහෙම එකතුවුනු හිස්තැන් ගොඩක්

තමන්ගේ ම හදබසක් තිබූ

පරම රමණීය හදබසක්...

එකෙනෙහිම දල්වා ගත හැකි 

සිත් අග මෝදු වූ කෞෂල්‍යයන් සමූහයක්

අනාගත දැක්මක් සහිත අතීතානුසාරී දැනුමක්

සතර අගතියට ගොදුරු නොවූ දැනුමක්

අවුල් පත් නොවූ, හීනමානය අධිමානය මුසු නො වූ දැනුමක්.

බයාදු නොවී දෙපයින් ඇවිද ගිය මිනිසුන් අතර සිටි

තවත් එවැනි ගැහැණියක්....

මේ ළිං කටෙන් ඔබ්බේ ලෝකය 

ඒවායේ පිළි රැව් දෙන ගුණ සුවඳත් එක්ක ම

ගෙනවිත් පිරිනමා,රැස්කර ගෙන පිං පිරූ, පිරුණු ගැහැණියක්.

-චන්ද්‍රරත්න බණ්ඩාර

Wednesday, 16 June 2021

රවිලාල් හා යශෝධා විමලධර්ම



 


හැත්තෑ ගණන්වල ගුවන් විදුලිය තනි හයියට අද පවතින පනහකටත් වැඩි රෑපවාහිනී හා ගුවන් විදුලි සේවාවන්ගෙන් කරන සේවාව වගේ දෙගුණයක සේවාවක් කළා. එයත් කළේ භාෂාවත් රැකගෙන, රසිකත්වයත් වඩාලමින් සහ තමන්ගේ ආචාර ධර්ම පද්ධතියකුත් පිළිපදිමිනි. කොටින්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්යුත් අවකාෂය එදා මුළුමනින්ම නියෝජනය කලේ  ගුවන් විදුලියයි. මෙහි විකාශනය වූ සිය ගනන් අගනා වැඩ සටහන් අතර එක වැඩ සටහනක් තිබුණා 'සප්ත රංග' කියලා. එය මෙහෙයවූයේ රවිලාල් විමලධර්ම මහත්තයා. එදා මෙදා තුර මගේ යෞවනයේ කුමක්දෝ භාව කලාපයක් පිනවන හඬ පෞරුෂයක් තිබුණු කෙනෙක් එතුමා. එතුමා මෙහෙයවපු 'සප්ත රංග' අඩපැයක වැඩසටහන පුරා විකාශනය වුනු ශාස්ත්‍රීය හින්දි ගී වගේම එතුමාගේ මෙහෙයවීමත් මට නම් ගීතයක්. එහෙම හඬ අනන්‍යතා තිබුණු කිහිප දෙනෙක්ම ජීවත් වුනේ ගුවන් විදුලිය සෙවනේ. මං හිතන්නේ ඔවුන්ගෙ පරපුරේ ලාබාලයා විතරයි අදටත් සක්‍රිය සේවයේ ඉන්නේ. ඒ සමන් අතාවුද හෙට්ටි. අනෙක් අය එක්කො මියගිහින්. නැත්නම් විශ්‍රාම ගිහිං.

මං කවි ලියන්න පටන් ගත්තෙ රවිලාල් විමලධර්ම මහත්තයාගෙ සප්ත රංග වැඩ සටහන අහලා. ඒක මෙහෙම කිව්වොත් වඩාත් නිවැරදියි. මට කවියෙක් වෙන්න වැඩිම බලපෑම ලැබුනේ විමලධර්ම මහත්තයා සිය සප්තරංග වැඩ සටහනට ලගන්නා සුළු බසකින් පරිවර්තනය කළ හින්දි ගීතවල කාව්‍යාත්මක සිංහල පරිවර්තන අහලා. 2017 වසරේ මා ප්‍රකාශයට පත් කළ 'පිංකම්පොල' කාව්‍ය සංගුහය හඳුන්වා දීමෙදිත් මං මේක කිව්වා. 

එක්දාස් නවසිය අසූ ගණන් මුල් භාගයේ දවසක ආරාධනා වැඩ සටහනක් පටිගත කරනවා බලන්න පදනම් ආයතනයට මං ගියේ පියසේන ගුණතිලකයන් සමඟ. එතුමා තමයි මට සංස්කෘතික සමාජයේ ජීවත්වන හුඟක් දෙනා හඳුන්නලා දුන්නෙ. පියසේන ගුණතිලකයන් එක්තරා ආකාරයට පියෙක් වගේ කෙනෙක්. 'සප්ත රංග' වැඩ සටහන ගැන තිබුණු මගේ පිස්සුව ගැන එදා ආරාධනා වැඩ සටහන නරඹන්න පැමිණි විමලධර්මයන් එක්ක ගුණතිලකයන් කිව්වා. එතකොට විමලධර්ම මහත්තයා හයියෙන් හිනාවෙලා මෙහෙම කිව්වා.' ආ එහෙනං ඒ වැඩ සටහන අහන එක්කෙනෙක් හරි ඉන්නවා.' 


මට මේ අටුවාව ලියන්න පෙළඹුනේ වෙන කාරණයකට ප්‍රවිෂ්ට වෙන්න පාරක් හදාගන්න. මේ මෑත දවසක 'සිහිනයකි රෑ' වැඩ සටහනට පැමිණ සිටියේ රවිලාල් විමලධර්මයන්ගේ දියණිය යශෝධා විමලධර්ම මෙනවිය. සිය පියාගෙන් ලද සම්භාව්‍ය උරුමයේ සැබෑ කොටස්කාරියක බව එදා ඒ වැඩ සටහනෙන් යශෝධා පෙන්වා සිටියා. ඇය හින්දි භාෂාවේ මනා නිපුනත්වයක් ඇත්තියක්. එදා මට කවි ලියන්න බලපෑමක් ඇති කළ සප්තරංග වැඩ සටහනේ සිය පියා කළ ආකාරයටම ඇයත් එදා හින්දි ගීතයන් හි සිංහල පරිවර්තනයන් ඉතාම හොඳින් ඉදිරිපත් කළා.

මේ එදා ඇය කළ පරිවර්තනයක්


කටු ලැහැබ පැටලවුනු

සළුව මුදවා ගතිමි.

සියලු බැමි බිඳ දෙපය

මිණි කිකිණි ලා ගතිමි.


සිසාරා උඩු ගුවන

පියාඹයි හද විමන

වළක්වන්නට එපා පියාඹා ගියාදෙන්

යළිත් ජීවත් වෙන්න ඇත සිතේ කැමැත්තක්.


යළිත් මිය යන්නට

අද සිතේ ඕනෑකමකි.

ජීවිතය හිනැහුනේ කුමක් අත් කරගෙනද?

 ලැබුණු දූවිල්ලක්

හැමූ සැඩ සුළඟක්


(චිත්‍රපටය- ගයිඩ්

 පද-සයිලේන්ද්‍ර

සංගීතය-එස්.ඩී. බර්මන්

ගායනය-ලතා මංගෙස්කාර්)

ඇත්තටම මගේ අදහස නම් යශෝධා, ලංකාවේ රංගධාරිනියක් පමණක් නොව විද්වත් යි හැඳින්විය හැකි කලාකාරියක්. 

-චන්ද්‍රරත්න බණ්ඩාර


Tuesday, 25 May 2021

වෙසක් පොහෝ දින සුන්දරම මතක රැඳි පින්බිම සිහිකරමි.



 මගේ සංස්කෘතික දැක්මේ සමාරම්භය මෙතනය. ඉතිහාසයට ඇළුම් කරන්නට අදහසක් ඇති වූයේ මෙතැනිනි. බුදු දහමේ ශාන්ති දායක සුවය පළමුවරට හඳුනා ගත්තේ මෙතැනිනි. ධනය හා බලය හමුවේ පුදබිමක් වැනසෙන්නේ කෙලෙසදැයි හඳුනා ගත්තේත් මෙතැනිනි. ඒ සියල්ල අතරේත් ලංකාවේ ලස්සණම බෝ මැඩෙහි රන්වන් පත් සෙලවෙන සිලිලාරය මට තවම මතකය. වෙල් යාය මැද පිහිටි වෙහෙර වහන්සේ අබියස ගල් පඩි පෙළෙහි වාඩි වී රත්න ශ්‍රී විජේසිංහ වැනි කලාකරුවන් වෙනත් සමාජ හා දේශපාලන ක්‍රියාධරයන් සමග කලාව දේශපාලනය වැනි අපමණ දේ කතාබහ කළ අයුරු මතකය. ලංකාවේ කුඩාම මකර තොරණ සහිත විහාරය අපේ ගමේ විහාරයයි. අනාගත බුදු වෙන අනු පිළිවෙලට පාරිලෙයිය ඇත් රජුත්, නාලාගිරි ඇත් රජුත් මතු බුදු වෙන බව දක්වා ඇත්තේ තලාව රජමහා විහාරයේ සිතුවම් වලය.එම විහාර ගෙයි ඇඳ ඇති තේමිය ජාතකයේ පනේලයෙන් පනේලයට වර්ණ රටා හා විස්තර රචනාව පවා තවමත් මට මතකය. අපේ නිවස පිහිටියේ විහාරය පෙනෙන දුරෙහි නිසා එහි ඝන්ඨා නාදය අපටත් අප අවට ගම් මණ්ඩියටත් වේලාව පැවසීය. මෙම විහාරයේ දසවස් ගණනාවක් පුරා භේරී වාදනය කළ වාදකයා ඇසුරින් නවකතාවක් ද (හැන්දෑ දුරය) ලිවීමි. මහා පුරුෂයෙකු වූ ඔහුගේ ගාම්භීර කටහඞින් බුද්ධ ගජ්ජයේ හා වෙනත් ශතක පොත්වල ශ්ලෝක ගායනා කරන අයුරු මතක මාත්‍ර වශයෙන් මගේ දෙසවන් අසළ රැව්දේ. වස් තුන්මාසයේ පාන්දර යාමයේ කුකුලන් හඬලන්නටත් පෙර වාදනය වන භේරී වාදනය අපගේ සංස්කෘතික ලැදියාවන්ට පාරක් සොයා දුන්නේය. ඔහු විශේෂයෙන් සිය වාදන අනන්‍යතා දැක් වූ පෝය හේවිසි, දානමය පිංකමක් අවසානයේ වැයෙන පූජා පද , පිරිත් පිරීම්, අපේ මතකාලෝකය පුරා රැව් දෙන්නේය. මේ උතුම් වෙසක් දිනයේ මේ ගුරුන්නාන්සේ ඇතුළු බොහෝ අප්‍රකට කලාකරුවන්,යතිවරුන්, අපගේ සම්ප්‍රදායේ අනගි දෑ අපවෙත දායාද කළ මිනිසුන් සිහිපත් කරමි.  අපගේ සංස්කෘතික දැක්මේ බෞද්ධ මුහුණුවර සොයා පාදා දුන් ඔවුන් අපගේ සංස්කෘතික ක්‍රියාකාරිත්වයේ පදනම් ගල්ය.


මගේ අතීත සැමරුම් අතරට මෙවන් සමීප පින් බිමක් ලබාදීම ගැන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ටත් , විහාර කර්මාන්තය මනාව මෙහෙය වූ ගලගොඩ දිසාවටත් කාල මානයකින් අතීතයට ගොස් ගරු බුහුමන් දක්වමි.

-චන්ද්‍රරත්න බණ්ඩාර

පහත දැක්වෙන්නේ අපේ ගමේ විහාරය ගැන www.srilankaclassicart.com වෙබ් අඩවියේ පළවූ කෙටි ලිපියකි.

තලාව රජමහා විහාරය , මාරස්සන

Tuesday, 18 May 2021

අපි හිටගන්නේ කොතැනද?

 



අද උදෑසන නිඳි ඇඳේ දී ම මුහුණු පොත සිසාරන විට පළමුවෙන්ම ඇස ගැසුණේ ඉහත පිංතූරයයි. හැඟීම් දහසක් එක පෙළට ගොඩ ගස්සන මේ පිංතූරය අප මේ ගෙවා දමන භයංකර වර්තමානය පිළිබඳ තම තමන්ගේ ආකාරයන් අනුව කියවා ගත හැකිය. එය 'කරුමය' කියා හෝ 'එයා ගෙනා ආයුෂ ඉවරයි' කියා හෝ 'කරපු විශේෂ පවක් නැති නිසා ලබන ආත්මයේ මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේය" කියා හෝ කෙනෙකුට සැනසිය හැකිය. එහෙත් වෙනත් කරුමයක් නිසා එවැන්නකින් සිත සනසා ගත නොහැකිව අපි ළතැවෙමු. දේශපාලනය අපගේ ජීවිත විෂයයක් වීම නිසා මේ මරණ, මේ විපත් 'කරුමය' ට ඌනනය කළ නොහැකි බව අපගේ වැටහීමයි. 


විජමු ලොකුබණ්ඩාරගේ කෝවිඩ් ආසාදිත මරණය ගැන ආචාර්ය සරත් අමුණුගම, අයිලන්ඩ් පුවත්පතට ගුණ සමරු ලිපියක් සපයමින් ඔහු උත්ප්‍රාසාත්මකව මෙවැන්නක් ලියා තිබුණි. 

'බෞද්ධ භික්ෂුවක් සහ තමන්ම වෛද්‍යවරයෙකු යයි කියා ගත් සෝමාරාම විසින් කලකට ඉහත දී බණ්ඩාරනායක මහතා ඝාතනය කරන ලදී. සෝමාරාමට තනතුරු දෙමින් නාමධාරී වෛද්‍යවරයෙකු බවට පත් කරන ලද්දේ අගමැතිවරයාගේ ද අනුමැතිය යටතේ එවකට සෞඛ්‍ය ඇමතිවරිය වූ විමලා විජේවර්ධන විසිනි. අපේ කාලයේ දී ත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවාසනාවන්ත ලෙස ඇදහිලිවන්තයන් සහ සර්ප තෙල් අලෙවිකරුවන් හුවා දක්වමින් එන්නත ගෙන්වීමට උත්සුක නොවීය. උත්ප්‍රාසය වන්නේ මෙම ඛේදජනක අවස්ථා දෙකේදීම බණ්ඩාරනායක හා ලොකුබණ්ඩාර යුග දෙකක පෙනී සිටි අක්‍රිය දේශජවාදයක් විසින් එහි ගතික උපදේශකයන් දෙදෙනෙකුගේ ජීවිත බිලි ගැනීමයි.'


මිට දින දෙකකට ඉහතදී අපේ ලාල් විජේනායක සහෝදරයා විසින් මහාචාර්ය ඨිති භට්ටාචාර්ය විසින් රචිත ඉන්දියාවේ කෙරෝනා ව්‍යසනයට හේතුව එරට ලාභය පමණක්ම ඉලක්ක කරගත් නව ලිබරල්වාදි දේශපාලන ක්‍රමයම බව දැක්වෙන අගනා ලිපිය මවෙත එව්වේ එහි සංදර්භය ගැන සාර්ථක දේශපාලන සංවාදයකිනුත් අනතුරුවය. අද උදෑසන පළමු එෆ් බී සැරිසැරීමේදී ඒ ලිපියේ වැදගත් කොටස් මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිංහලට නගා සිය බ්ලොග් අඩවියේ පළකර තිබුණි. මේ මහාචාර්ය අමරකීර්තිගේ පරිවර්තනයේ වැදගත් කොටසකි.

' ඉන්දියාව කොරෝනා යුද්ධය ජයග්‍රහණය කළ බව කියා සිටි අතර ඒ වන විට නිෂ්පාදනය වෙමින් තිබුණු එන්නත ගැන ආණ්ඩුව උදම් ඇනුවේය. එන්නත් මාත්‍රා මිලියන 55ක් රටවල් 62කට ඒ වන විටත් විකුණා ඇති බව ආණ්ඩුව කීවේය. හින්දුත්ව ජාතිකවාදය සහ ධනවාදය  අතර විවාහය හරි අපූරුවට සිදුවිය. අපේ ජාතිකවාදයේ දැවැන්ත ව්‍යාපාරිකයන් ගැන මොහොතකට සිතන්න.

 කොරෝනා එන්නත යුරෝපය, ඇමරිකාව වැනි ගෝලීය උතුරුකර රටවල නොමිලේ ලබා දුන් අතර ඉන්දියාවේ එසේ නොවිණි. Serum Institute of India යනු ඉන්දියාවේ ප්‍රධානතම එන්නත් නිෂ්පදකයාය. මේ වසරේ ජනවාරි මාසයේදී එම ආයතනය ඉන්දියානු ආණ්ඩුවට මාත්‍රා මිලියන 100ක එන්නත් තොගයක් වික්කේය. ඒ විශේෂ මිලක් යැයි හැඳින්වූ ඉන්දියානු රුපියල් 200ක හෙවත් ඩොලර් 2.74කටය. ඉන් පසු ඔවුහු එහි මිල වැඩි කළහ. පෞද්ගලික වෙළඳපොළෙහි මාත්‍රාවක් රුපියල් 1000ක හෙවත් ඩොලර් 13.68කට විකිණිණ. 

එම එන්නත නිෂ්පාදනය කළ එස්අයිඅයි නම් පෞද්ගලික සමාගමේ ලොක්කා ලෝකයේ සිටින ධනවත්ව මිනිසුන්ගෙන් කෙනෙකි. ඔහුගේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 13ක් යැයි ගණන් බලා ඇත. ඔහුගේ නම සයිරස් පූනවාලාය. සටකපට ව්‍යාපාරික ඉවක් ඇති ඔහුගේ පුත් අදර් පූනවාලා මෙම වසංගතය විශාල ධනයක් උපයන්නට අවස්ථාවක් යැයි පසුගිය වසරේම දැක්කේය. තමන් එන්නතක් නිෂ්පාදනය කිරීමේ පෙරමුණ ගන්නා බව ඔහු ජාත්‍යන්තර මාධ්‍යයට කී විට ලෝකයේ තවත් ආයෝජකයෝ මුදල් යෙදවූහ. බිල් ගේට්ස්ලාද ඒ අතර වූහ. ඉන්දියානු ජනතාව රැවටීම පිණිස ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් නිතර කියන දෙයක් ඔහුද කීවේය. “මේ එන්නත බටහිරට දෙන්න කලින් අපේ රටේ ජනතාව වෙනුවෙන් යොදනවා.” එය නැගලා ගියේය. ඇත්තටම සිදු වූයේ එය නොවේ. මුලින් මුලින් එම ආයතනයෙහි නිපද වූ එන්නත්වලින් 80%ක් අලෙවි කෙරුණේ පිට රටටය. ඒ විශාල ලාභ තීරුවක් සහිතවය. ඉන්දියානු මරණ එන්න එන්නම ඉහළ යන විට එන්නත අපනයනය තහනම් කෙරිණි. 

                                             අතිවිශාල කොරෝනා ධනය

එහෙත් ඒ වන විටත් මාස පහක් තුළ සයිරස් පූනවාලාගේ මුළු වටිනාකම 85%කින් ඉහළ ගොස් තිබිණි. ඉන්දියානු චිතකවලින් නැගෙන දුම් ඉන්දියානු අහස අඳුරු කරන විට අදර් පූනවාලා රටින් පැන්නේය. ඔහු ලන්ඩන් නගරයේ පිහිටි මහා මන්දිරයක් සතියකට ඩොලර් 70000කට කුලියට ගත්තේය. එය ලංකා රුපියල් කීයක්දැයි දැන ගැනීමට 200න් වැඩි කරන්න.'

මා විශ්වාස කරන අන්දමට නව ලිබරල් ක්‍රමයේ අතැම් ලක්ෂණ පැරණි වහල් වෙළඳාම තුලද දක්නට ලැබේ. එදා මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අංග විසින් වෙළඳාමට තෙරපුමක් නොදීම නිසා දුගී මිනිස් ප්‍රජාවන් තිරිසනුන් බවටම පත්කර, ඒ මිනිසුන්ම සත්ව ඒකක ලෙස විකිණීම හෝ වෙනත් පරිහරණයන්ට ලක්කරන ලදී. අද වුවද දුගියා පිළිබඳ සැලකීම එසේ නොවේද? ඨිති භට්ටාචාර්ය මහාචාර්ය තුමිය අපට වටහා ගන්නට සලස්වන්නේ දීර්ඝ ශිෂ්ටාචාර ගමනක් ඔස්සේ අප පැමිණ ඇති නමුත් දුගියා මිනිස් ගෞරවයට ලක් නොවීම පිළිබඳ ශෝචනීය යටි පෙළයි. 

ආගම හා ජාතිය අගනා ශිෂ්ටාචාර නිශ්පාදනයන්ය. එහෙත් රාජ්‍ය නැමති ආයතනය අර්බුදයට යන විට ඒවායේ ඇති ජනආකර්ශන ලක්ෂණ තමන්ගේ අර්බුද නග්නත්වය වසා ගැනීමට පාවිච්චි කොට ඒවා විකාර බවට පත් කර ගැනීම ලෝකය පුරාම දුෂ්ට පාලන තන්ත්‍ර විසින් අත්හදා බැලු සහ බලන ක්‍රමයකි. නරේන්ද්‍ර මෝඩි නම් ඊනියා සන්න්‍යාසී දේශපාලන නායකයා ජාතිය හා ආගම සිය නග්න නව ලිබරල්වාදී දේශපාලනයට වැසුමක් ලෙස පාවිච්චි කරන අතර ලංකාවේද එය එයාකාරයෙන්ම සිදුවේ. රනිල් වික්‍රමසිංහ විළි වසාගැනීමකින් තොරවම සිය නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ගොස් බිංදුවට බැස්සේය. එහෙත් රාජපක්ෂවරු රනිල්ට වඩා මහපොලොව හොඳින් තේරෙන නිසා කහ සිවුරෙන් සහ සිංහ කොඩියෙන් විළි වසාගෙන එයම කළ නිසා ඔවුන්ට සියයට හැට නව ලක්ෂයක ජන අනුග්‍රහයක් ලැබුණි.


මහාචාර්ය අමරකීර්ති සිය පරිවර්තනයට සිය අවධාරණයන් ලියමින්  පවසන්නේ රනිල් බලයේ සිටියත් මලික් සමරවික්‍රමලා, රවි කරුණානායකලා වේෂයෙන් 'බැසිල් කරණය " ක්‍රියාත්මක කරනු ඇත කියාය. එනම් සිත්පිත් නැති ලෙස 'ලෙඩ දුකිනුත්' අනෙකුත් ව්‍යසන වලිනුත් සිය ලාභ රේට්ටුව තර කර ගන්නා බවයි.

මේ වැරදි පාලන ක්‍රමවේදයන්ගේ ප්‍රථිපල දැන් ජීවිත වශයෙන්ම බිළි ගනිමින් පවතී. එක්කෝ මරු කටටම ගොස් ආශ්චර්යයකින් මෙන් ආපසු එති. අප මිතුරු විෂ්ණු වාසු සිය පුත්‍රයා ගැන ලියූ සංවේදී එෆ්.බී. සටහන කියා පාන්නේ අපේ සෞඛ්‍ය ක්‍රමවේදයන් කවර තරම් ජන ඝාතක ස්වරූපයක් ගෙන ඇත්ද යන්නයි. (එම සටහන කවර තරම් බලපෑම් සහගත එකක් වූවා ද යත් එයට සයිබර් ප්‍රහාරයක් පවා එල්ල වී ඇත.) ඊයේ දිනයේ චින්තන ධර්මදාස සිය ලොකු තාත්තාගේ මළ සිරුර නිදහස් කර ගන්නට කළුබෝවිල  මෘත ශරිරාගාරය අසල ඇසු දුටු අත්විඳි දේ කියවන විට අපට දැනෙන එළඹෙන අගාධය පිළිබඳ හැඟීම සුළුපටු නොවේ.

ආසියා කලාපයේම ගරු නම්බු ලැබූ වෛරස් විද්‍යාඥයෙකු සිය මන්ත්‍රී මණ්ඩලයේම තබාගෙන,ඔහුට වැඩක් බාර නොදී, විශේෂඥ වෛද්‍ය වරියකට විෂයයෙන් කොටසක් පමණක් භාර දී ඇයව ඇති තරම් පෙළමින් , මුට්ටි ගඟේ හෙලන , සර්ප ෙතල් ප්‍රවර්ධනය කරන, සෞඛ්‍ය ඇමතිවරියෙකුත්, ඊටම සමාන්තරව පාරභෞතික කල්ට් ගැන සිය ප්‍රථම විශ්වාෂය තබන රාජ්‍ය ඇමතිවරයෙකුත් තබාගෙන මෙම මරණීය උවදුරෙන් අපට ගැලවිය හැකිද? 

මහාචාර්ය අමරකීර්තිගේ බ්ලොග් ලිපිය හා මහාචාර්ය ඨිති භට්ටාචාර්යගේ ලිපිය සම්පූර්නයෙන් කියවීමට පහත සබැඳි වලින් පිවිසෙන්න.

Wednesday, 28 April 2021

මාධ්‍යවේදී ගාමිණී දිසානායක


 

අප කලාව ගැන ගැඹුරු සොයා යාමකට පෙළඹුනු අවධියේ ගාමිණී දිසානායක නම් සමාජ ක්‍රියාකාරී විචාරකයා ලියූ කියූ දෑ වෙසෙසින් වැදගත් විය. ඒ 1970 ගණන්වල අගභාගය හා 80 ගණන්වල මුල් භාගයයි. මර්වින් ද සිල්වා (මාධ්‍යවේදියා) සමග එක්ව ලංකා ගාඩ්යන් සඟරාව පටන් ගැනීමට සහය වූයේද මේ ගාමිණීය. ඩේලි නිවුස් හා ඔබ්සෝවර් පුවත්පත්වල සේවය කළ ඔහු රෙජී සිරිවර්ධන, එල්.ඕ. ඩී. සිල්වා , අජිත් සමරනායක, සිරිල් බී පෙරේරා , චාල්ස් අබේසේකර වැනි කෘතහස්ත විචාරකයන් සමග එකට කියවුනු නමක් වූ ගාමිණී කලකට එම ක්ෂේත්‍රයේ නොකියවුනු නමක් බවට පත්විය. ඒ ඔහු මැද පෙරදිග පුවත්පතක සේවයට ගිය හෙයිනි. 


එහෙත් මීට වසර හය හතකට පෙර කැනඩාවේ දී ගාමිණී මා ඇමතීය. ඒ ඇමතුම එක්තරා දිගුකාලීන මිත්‍රත්වයක් බවට පත්විය. ඔහු මගේ පුවත්පතට පැබ්ලෝ නෙරෑඩා ගැන අමුතුම විදිහේ ලිපි දෙකක් සැපයීය. එහෙත් ඔහුගේ ඉල්ලීම වූයේ ඔහුගේ වත්මන් ප්‍රමුඛතාවය වූ ජ්‍යෙතිෂය අරබයා පුවත්පතෙහි වැඩි ඉඩක් දෙන ලෙසයි. ඔහුට කරන සැලකිල්ලක් වශයෙන් ඒ සඳහා ඉඩකඩක් දුන් නමුත් පත්‍රයේ ස්වරූපය අනුව දිගටම ඒ කටයුත්ත කළ නොහැකි විය. මගේ බැරිකම තේරුම් ගැනීමට ඔහු වහා සමත් විය. 


ගාමිණී යනු සිංහල හා ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම ලියන්නට කියන්නට සමත් නිර්මාණශීලී විද්වතෙකි. ඔහු මාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රයේ ගැඹූරු අත්දැකීම් ඇත්තෙකි.


රූපකායවත් නොදැකපු අවදියේ, ඔහුගේ විචාරයන්ට ලොල්වී ඔහුට ඇති ගෞරවය නොනැසෙන ලෙස මහද තැන්පත් කරගෙන සිටියදී ම,  විද්‍යාවේ හාස්කම් ප්‍රායෝගිකව අත්විඳින දුරු රටක දී, පළමු වරට, ඔහු සජීවීව මුණ ගැසෙන්නේ ජ්‍යෝතිෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස නම් එය කෙතරම් උත්ප්‍රාසයක්ද? එහෙත් ගාමිණීට තිබුණේ ලෙහෙසියෙන් අමතක කරන්න පුළුවන් කලාව සංස්කෘතිය ගැන සුළුපටු දැනුමක් නොවේ. ඔහුගේ සන් මිත්‍ර උපාලි හේරත් කියූ පරිදි ගාමිණී මියයන්නට ආසන්න කාලයේ කලා විචාරය පිළිබඳව යූ ටියුබ් චැනලයක් ආරම්භ කරන්නට උත්සාහ කරමින් සිටි බව කියවේ.


ඒ ගාමිණී දිසානායක මීට දින තුනකට පෙර අප අතහැර ගොසිනි. ඒ ප්‍රවෘත්තිය ඇසූ වේලේ මා වෙළී ගිය කනස්සලෙන් තවම මා මිදී නැත. ඔහු සිය දරුවන් ඇතුළු පවුලේ අයට, සමීප හිතමිතුරන්ට අමතක කළ නොහැකි ලෙන්ගතුකමක් පෑවෙකි. මා ද එම මිතුරු වළල්ලේ වූවෙකු නිසා ඒ කනස්සල්ල ඇති වී යැයි සිතමි. කෝවිඩ් ලොක්ඩවුන් තත්වය නිසා ගාමිණීගේ අවසන් කටයුතුවලටවත් සහභාගි වීමට මට නොහැකි විය. එයටද සහභාගි වුවේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේය. මේ සමග අමුණා ඇති පිංතූර දෙකින් එකක් ඒ අවසන් කටයුතු කෙරුණු අද දින කලේබරයක බහා ලූ ඒ දැවැන්තයාගේ සිරුරයි.

හිතවත, ඔබ නිවන හා එයට අයත් සියල්ල දැඩිව විශ්වාස කළේය. එහෙයින් ඒ පැතූ නිවනින්ම සැනසේවා. 

-චන්ද්‍රරත්න බණ්ඩාර