Sunday 27 June 2021

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට


 

ඔහු පළමුවරට අපට මුණ ගැසෙන්නේ මහනුවර දී 'කාලයේ රාවය' ප්‍රසංගයේ සැලසුම්කරුවෙකු ලෙසින් එක්දහස් නවසිය අසූ ගණන්වල මැද භාගයේ දී ය. ඒ ඔහු සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබ පැමිණි විගස ම වාගේ ය. ඒ මුණගැසීම සිදුවන්නේ ලංකාවේ 80 දශකය පිළිබඳ නොනැසෙන මතක තබා ගිය නන්දන මාරසිංහගේ සමානයා ලෙසිනි. (මාරසිංහ කවර තරම් අනුහසකින් යුත් අයෙක් වී ද යත් අද පවා ජනතා විමුක්ති පෙරමුණ කවර තරම් ප්‍රතිසංස්කරණයන්ට ලක් වී ඇති නමුත් ඔවුන් අතින් මියගිය අනෙක් සියල්ලට වඩා මාරේ මරා දැමූ පාප මතකයෙන් මිදීමට නොහැකිය. ) 


සුනිලුන්ට කියන්නට බොහෝ දේ තිබුණු බව පෙනුනු නමුත් කියන විලාෂයක් ඒ ආරම්භක අවධියේ ඔහු තනාගෙන සිටියේ නැත. ඔහුගේ දේශන අනවශ්‍ය තරම් දීර්ඝ විය. දේශන ගණනාවක පැහැදිලි කළ යුතු කරුණු එක දේශනයක ගැබ් කිරීමට ඔහු උත්සාහ දැරූ බව මගේ මතයයි. එහෙත් ඔහු කලා සංස්කෘතික සමාජ කණ්ඩායම් සමඟ දිවා රෑ කටයුතු කිරීම නිසාදෝ ඔහුගේ දේශන ශෛලීන් ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය. එතැන් සිට ක්‍රමයෙන් ඔහු අපට ප්‍රිය මනාප දේශකයෙකු වෙන්නට පටන් ගත්තේය. එපමණක් නොව අප ප්‍රියකරන ධාරාවේ (වාමාංශික?/බහුත්වවාදී?) දේශකයන් පස්දෙනා අතරට ඔහු ඇතුලත් විය. අනෙක් සිව් දෙනා නම් මහාචාර්ය සුචරිත ගම්ලත්, පියශීලි විජේගුනසිංහ, ආචාර්ය ජයදේව උයන්ගොඩ හා තිස්ස අබේසේකරයි. අනෙක් සිව්දෙනාගේ වුව ද අතීතය ඇසුරෙන් වර්තමානය විග්‍රහ කිරීම මිසක අනාගතය වෙත ප්‍රක්ෂේපනය කිරීමක් අපට දැනෙන ආකාරයට කෙරුනා ද යන්න මට ඇත්තේ සැකයකි. එහෙත් සුනිලුන් අද වගේම එදාත් අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයම සිය ඥාන විමංසනයට ලක් කළාය යන්න මගේ හැඟීමයි.


ඔහු 1996 දී පමණ ලියූ, ගැඹුරට මුල් විහිදුනු රුවන් වැකියක් බූදුසමය නම් වූ ක්ෂේත්‍රය පිළිබඳ මා තුළ එතෙක් පැවති අදහස් යළි සංග්‍රහ කර ගැනීමට හේතු කාරක විය. ඒ 'සංඝ සමාජයේ අර්ථඵලදායී වෙනසක් වීමට නම් ඒ සඳහා වන කැරැල්ල ආරම්භ විය යුත්තේ භික්ෂු සමාජය ඇතුළතින් මයි' යන වැකියයි. ඔහු එම කරුණු ඇතුලත් ලියවිල්ල බෙදාහරින ලද්දේ ආණ්ඩුව විසින් සිය සාම ක්‍රියාදාමයට පක්ෂව කෘත්‍රීමව සංවිධානය කරන ලද භික්ෂු උද්ඝෝෂණයක දී ය.  එම අදහස් ඔහුට ඇතිවන්නට ඇත්තේ තමන් ඥානනය කර ඇති අනෙකුත් විමුක්තිවාදී මූලධර්ම අනුව විය හැකිය. විසිපස් වසරක් පමණ ගෙවී ගොස් ඇති නමුත් ඔහු පැවසූ කාරණාව තවමත් අනාත වී නොමැත. 


එමෙන්ම දේශපාලනය වැනි භෞතිකවාදී විෂයයක් ජ්‍යෙතිෂය වැනි පාරභෞතික විෂයයන් ඇසුරෙන් විග්‍රහ කිරීමේ භයානකකම එදවස ඔහු කතා කළේය. ඔහුගේ ඒ පුරෝ කතනයන් කෙතරම් නිවැරදිව අද වන විට ඔප්පුවී තිබේද?


අද මම සුනිලුන් දකින්නේ තමා ජීවත්වන රට පමණක් නොව ලෝකයම සඳහා පාර්ශ්වීය නොව සමස්තයම ග්‍රහණය කරගත් සැලැස්මක් සහිත ලංකාවේ ප්‍රමුඛතම විද්වතා ලෙසිනි. බහුවිධ දැනුම පද්ධතීන් ඒ සඳහා ඔහු උපයෝගී කර ගනී. භෞතික විෂයයන් පමණක් නොව මනුෂ්‍ය නිශ්පාදනයන් වන ආධ්‍යාත්මික විෂයන්ට ද ඔහුගේ සැලැස්මේ තැනක් ඇත. ලංකාවේ මෙම දැනුම සාමූහිකත්වය වෙනුවෙන් ඔහු පෙනී සිටී. මගේ ද විශ්වාසය වන්නේ මෙවැනි සැලැස්මකින් විනා පාර්ශ්වීය සැලසුමක් ඔස්සේ මේ රට දියුණු කළ නොහැකි බවයි.

 

මේ සටහනට හිමිකාරයා වු ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ට

දිගාසිරි පතමි.

මානිවත්ත අභික්කම...

No comments:

Post a Comment