Wednesday, 16 June 2021

රවිලාල් හා යශෝධා විමලධර්ම



 


හැත්තෑ ගණන්වල ගුවන් විදුලිය තනි හයියට අද පවතින පනහකටත් වැඩි රෑපවාහිනී හා ගුවන් විදුලි සේවාවන්ගෙන් කරන සේවාව වගේ දෙගුණයක සේවාවක් කළා. එයත් කළේ භාෂාවත් රැකගෙන, රසිකත්වයත් වඩාලමින් සහ තමන්ගේ ආචාර ධර්ම පද්ධතියකුත් පිළිපදිමිනි. කොටින්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්යුත් අවකාෂය එදා මුළුමනින්ම නියෝජනය කලේ  ගුවන් විදුලියයි. මෙහි විකාශනය වූ සිය ගනන් අගනා වැඩ සටහන් අතර එක වැඩ සටහනක් තිබුණා 'සප්ත රංග' කියලා. එය මෙහෙයවූයේ රවිලාල් විමලධර්ම මහත්තයා. එදා මෙදා තුර මගේ යෞවනයේ කුමක්දෝ භාව කලාපයක් පිනවන හඬ පෞරුෂයක් තිබුණු කෙනෙක් එතුමා. එතුමා මෙහෙයවපු 'සප්ත රංග' අඩපැයක වැඩසටහන පුරා විකාශනය වුනු ශාස්ත්‍රීය හින්දි ගී වගේම එතුමාගේ මෙහෙයවීමත් මට නම් ගීතයක්. එහෙම හඬ අනන්‍යතා තිබුණු කිහිප දෙනෙක්ම ජීවත් වුනේ ගුවන් විදුලිය සෙවනේ. මං හිතන්නේ ඔවුන්ගෙ පරපුරේ ලාබාලයා විතරයි අදටත් සක්‍රිය සේවයේ ඉන්නේ. ඒ සමන් අතාවුද හෙට්ටි. අනෙක් අය එක්කො මියගිහින්. නැත්නම් විශ්‍රාම ගිහිං.

මං කවි ලියන්න පටන් ගත්තෙ රවිලාල් විමලධර්ම මහත්තයාගෙ සප්ත රංග වැඩ සටහන අහලා. ඒක මෙහෙම කිව්වොත් වඩාත් නිවැරදියි. මට කවියෙක් වෙන්න වැඩිම බලපෑම ලැබුනේ විමලධර්ම මහත්තයා සිය සප්තරංග වැඩ සටහනට ලගන්නා සුළු බසකින් පරිවර්තනය කළ හින්දි ගීතවල කාව්‍යාත්මක සිංහල පරිවර්තන අහලා. 2017 වසරේ මා ප්‍රකාශයට පත් කළ 'පිංකම්පොල' කාව්‍ය සංගුහය හඳුන්වා දීමෙදිත් මං මේක කිව්වා. 

එක්දාස් නවසිය අසූ ගණන් මුල් භාගයේ දවසක ආරාධනා වැඩ සටහනක් පටිගත කරනවා බලන්න පදනම් ආයතනයට මං ගියේ පියසේන ගුණතිලකයන් සමඟ. එතුමා තමයි මට සංස්කෘතික සමාජයේ ජීවත්වන හුඟක් දෙනා හඳුන්නලා දුන්නෙ. පියසේන ගුණතිලකයන් එක්තරා ආකාරයට පියෙක් වගේ කෙනෙක්. 'සප්ත රංග' වැඩ සටහන ගැන තිබුණු මගේ පිස්සුව ගැන එදා ආරාධනා වැඩ සටහන නරඹන්න පැමිණි විමලධර්මයන් එක්ක ගුණතිලකයන් කිව්වා. එතකොට විමලධර්ම මහත්තයා හයියෙන් හිනාවෙලා මෙහෙම කිව්වා.' ආ එහෙනං ඒ වැඩ සටහන අහන එක්කෙනෙක් හරි ඉන්නවා.' 


මට මේ අටුවාව ලියන්න පෙළඹුනේ වෙන කාරණයකට ප්‍රවිෂ්ට වෙන්න පාරක් හදාගන්න. මේ මෑත දවසක 'සිහිනයකි රෑ' වැඩ සටහනට පැමිණ සිටියේ රවිලාල් විමලධර්මයන්ගේ දියණිය යශෝධා විමලධර්ම මෙනවිය. සිය පියාගෙන් ලද සම්භාව්‍ය උරුමයේ සැබෑ කොටස්කාරියක බව එදා ඒ වැඩ සටහනෙන් යශෝධා පෙන්වා සිටියා. ඇය හින්දි භාෂාවේ මනා නිපුනත්වයක් ඇත්තියක්. එදා මට කවි ලියන්න බලපෑමක් ඇති කළ සප්තරංග වැඩ සටහනේ සිය පියා කළ ආකාරයටම ඇයත් එදා හින්දි ගීතයන් හි සිංහල පරිවර්තනයන් ඉතාම හොඳින් ඉදිරිපත් කළා.

මේ එදා ඇය කළ පරිවර්තනයක්


කටු ලැහැබ පැටලවුනු

සළුව මුදවා ගතිමි.

සියලු බැමි බිඳ දෙපය

මිණි කිකිණි ලා ගතිමි.


සිසාරා උඩු ගුවන

පියාඹයි හද විමන

වළක්වන්නට එපා පියාඹා ගියාදෙන්

යළිත් ජීවත් වෙන්න ඇත සිතේ කැමැත්තක්.


යළිත් මිය යන්නට

අද සිතේ ඕනෑකමකි.

ජීවිතය හිනැහුනේ කුමක් අත් කරගෙනද?

 ලැබුණු දූවිල්ලක්

හැමූ සැඩ සුළඟක්


(චිත්‍රපටය- ගයිඩ්

 පද-සයිලේන්ද්‍ර

සංගීතය-එස්.ඩී. බර්මන්

ගායනය-ලතා මංගෙස්කාර්)

ඇත්තටම මගේ අදහස නම් යශෝධා, ලංකාවේ රංගධාරිනියක් පමණක් නොව විද්වත් යි හැඳින්විය හැකි කලාකාරියක්. 

-චන්ද්‍රරත්න බණ්ඩාර


No comments:

Post a Comment