Saturday, 30 November 2019

රංගධරයාණෙනි ඔබට සුබ උපන් දිනයක්.


ධර්මරාජයේ අපේ පාසල් අවධියේ වෙනත් සිසුන්ට වෙනත් වීරයන් සිටි අතර අපට සිටි අප තෝරාගත් සුපිරි වීරයා ධර්මසේන පතිරාජයන්ය.අපට අනෙකුත් වීරයන් වූයේ දයා තෙන්නකෝන් , අමරසිරි කලංසූරිය ආදින්ය. අපි හැමෝම පාහේ වීරයන් සොයා ගත්තේ අපේම ආදි ශිෂ්‍යයන්ගෙනි. අපි ඔවුන් හැකි තරම් අනුගමනය කෙළෙමු. එක්කෝ එය අපේ වාසනාව පෑදීය. නැත්නම් විනාශය පෑදීය. කොටින්ම මම පළමුවරට මත්පැන් බිව්වේද අප සංවිධානය කළ බඹරු ඇවිත් සම්මන්ත්‍රණය නිමාවේ පතිරාජලා දයා තෙන්නකෝන්ලා අනුගමනය කරමිනි. ඒ බීම දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ  වතාවතක් ලෙස අද දක්වාම ගෙන ආවෙමි. ඒ අධ්‍යාපනය නිසි ලෙස ලබා ගැනීමට මට හැකි වුවත් පතිරාජලාගේ දයා අයියලාගේ නිර්මාන කෙෳෂල්‍යයේ අද්දරට පමණක්වත් සමීප වීමටවත් තවම  හැකියාව ලැබී නැත.
පතිරාජලා දයාලා අපට වඩා බොහෝ සම්පූර්ණ මිනිසුන්ය. ඔවුන් කවර අභියෝග හමුවේ වුව ද යහපත වෙනුවෙන් පෙනී සිටින උදාර මිනිසුන්ය. ඔවුන්ගේ නිර්මාණවල දීප්තිමත් වර්ණය සැකසී ඇත්තේ ඒ උදාර බවිනි.
දයා තෙන්නකෝන්
රංගධරයාණෙනි ඔබට සුබ උපන් දිනයක්.

Sunday, 3 November 2019

රළින් රළ







           යමක් ලියමින් සිටින විට නිර්මාණ ආවේශය සිඳී ගිය විට මම අජිත් තිලකසේනගේ කෙටිකතාවක් හෝ කවියක් කියවමි. ආරියවංශගේ කවි ද ඒ ආකාරයට නිර්මාණාවේශය සපයයි රළින් රළ 2014 පළවූවකි. එහෙත් එය මට මුණ ගැසුණේ දැන්ය. ඒ කවි කියවමි. එක් කවියක් කියවා ඒ කව අත හැර අනෙක් කවියක් වෙත යන්නට ලෝභකමක් හිතෙන තරම් ඒවා නිර්මාණශීලීය. ආරියවංශගේ කවිත්වය පමණක් නොව ඔහුගේ විසල් දැනුම පාදක වූ පරිකල්පනයද එකට හමුව බැඳුණු මේ කවි කවියේ හතර මායිම කුමක්දැයි කවියන්ට ගුරූපදේශ දෙයි පියසීලී විජේගුණසිංහ වැනි කවි දෙස බලමින් සියුම් විචාරයන් කළ විචාරිකාවන් අහිමි අද කවිය යළි ප්‍රවණතාත්මක  කලාවක් බවට ඇද වැටෙනවා වද්දෝයි සිතේ. කවියෙකු ද කවියෙහි විචාරකයකු ද විය හැකි ගුණාංග සහිත ආරියවංශගේ කවි රසිකයන් අතර පමණක් නොව කවීන් අතර ම මීට වඩා සාකච්ඡා විය යුතු යැයි මට සිතේ


එන්න මේ දැන්ම


පිනි වැටෙන්න ලඟයි බිම
හිරු උරන්නට ඇතේ ඉඩ


සියොත් ගණ ගැයූ පාන්දර
උදා ගී තවම තුඩු අග

තෙල් සලිත හරිත පත්මත
තණ තෙතයි තවම අත්ලට


දුන්න සේ නැමී යහනත
 අත් නගා කඩා නිදි ගැට
රත් පතුල් තබා මිහිමත


එන්න වැතිරෙන්න තණමත
 ඇන්ද නිදි  ඇඳුම්  පිටින්මම
  
ආරියවංශ රණවීර

Thursday, 5 September 2019

කාලයේ කඩ ඉමක් පසු කරමි.

අඳුර විනිවිදිමින්
කණමැදිරි එළියෙන් පවා
මංහසර පාදා ගනිමින්
මේ දුර පැමිණියෙමි.
වසන්තය අග්ගිස්සේ
එයට ගොඩ වැදුනෙමි.
පසුව එහි තොරතුරු
සිසිරයට පැවසීමි.
සදාතනිකව ආදරය කරන්නෝද
සදාතනිකව වෛර කරන්නෝද
හමුවීමි.
රතුවන් පැහැබර අහස
තැඹිලි පැහැ ගැන්වෙන හැටි දිටිමි.
සුබ ප්‍රාර්ථනා සහිත මිනිසුන් වෙත ඇදී ගියෙමි.
කෝකිලයෝ තරමක් පමාවී
මට පමණක් ගැයූ ගී ලියාගෙන සිටිමි.
රෑ තුන්යමේ සොඳුරු අඳුරට
වශීවී සිටි විටෙක
හිරු බුබුල ගෙනවිත් සමහරු
රාත්‍රිය එළිය කොටආපසු ගියේ
ඒ හිලව්වට දහවලද අඳුරු කරමිනි.
බකමූණෝ නොහඳුනන වෙනසින් බියපත්ව
වෙන වෙන ස්වරවලින් 'හ්ම්' 'හ්ම්' ගෑය.
දහවල් ගයන කුරුල්ලෝ
අහම්බෙන් පැමිණි රාත්‍රියේ
අසීරුවෙන් වුව මිහිරි ගී ගැයුවේ
මා වෙනුවෙනැයි පසු කලෙක මට කීහ.
ඇලඩින් පැමිණ පුදුම පහනත් රැගෙන
තෑග්ගක් දෙන්නට සිතා
එතෙක් සිතූ සිතූ සම්පත් දුන් ඒ පහන
ඉලූ කල කළු ගලෙහි
නැත වැඩියේ ඉටු යකා.
ඇලඩින් කෝපයෙන් පසෙක දැමූ ඒ පහන
මගේ ගෙයි දොරකඩය තවමත්.
රතු පලස මත නැගී පියැඹූ අපට
අහස් ගව්ව මුණ ගැසිනි.
පතීද එතන සිටියේය.
ඒ රතු පලස මතදීම
කාලෝ ද මුණ ගැසුණි.
එවැනි හොඳ මිනිසුන් බොහොමයක්
ඒ පලස මත මුණ ගැසුණි.
කාලෝ යන්න ගියේය.
පතී ඊටත් පෙර යන්න ගියේය.
පියසීලි...සුචරිත ඊටත් පෙරම
තව තවත් අය රැසකි යන්න නියමිත.
ගෙවී ගිය අතීතය
රත්තරං වගේ බර තමා
ඒ බර උපයා දුන්
ආදරණීය මිනිසුනි
හිස නමමි අද
මේ ජීවිත කඩ ඉමේ දී
-චන්ද්‍රරත්න බණ්ඩාර

Friday, 30 August 2019

බැටී වීරකෝන් මතකය.


(මේ සටහන මට ලියන්න හිතුනේ අප හිතවත් කුමාරදාස ගිරිබාව සහේදරයා ඉදිරිපත් කළ පිංතුරය හා බැටී පිළිබඳව ලියා තැබු සටහන නිසයි.)බැටී සහෝදරයා ඇන්.ඇම්.,කොල්වින්ලාගේ ජව සම්පන්න දේශපාලන යුගයත් තිස්ස විතාරණගේ නායකත්වයෙන් යුත්  අවසන් ගමන් යන සමසමාජ යුගයත් අතර සිටි නායකයායි. ප්‍රේමදාස යුගයේ රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳව නිර්භයව පෙනී සිටියේ එතුමායි. අධිකරණ කාර්යයෙන් පමණක් සෑහීමකට පත් නොවී රිචඩ් සොයිසා ඝාතනය  දේශපාලන බිමට ෙගන ආවේ ඔහුයි.  ඔහු තම නියම නමින් (ආර්.බී. හෝ රම්බණ්ඩා )  පුරාණෝක්ති හා ඒවා සම්බන්ධ මානව විද්‍යාත්මක විග්‍රහයන් කිහිපයක් පොත් වශයෙන් ඉංග්‍රීසි බසින් පළකොට තියෙනවා. ඉන් එක් පොතක්  එතුමාගේ අත්සන යොදා මට ලැබුණා. බැටී සහෝදරයා කවමදාවත් තම දේශපාලනයේ  වාසිය සඳහා තම අනෙක් හැකියාවන් උපයෝගී නොකර ගත් විශිෂ්ටයෙක්. මාතලේ තිබ්බොටුවාව වළව්වේ පවුල් සාමාජිකයෙකු වන බැටී ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්. අනෙක් මහනායක හාමුදුරැවරුන්ට සාපේක්ෂව සාධාරණව හිතන පතන මල්වත්තේ වත්මන් මහනායක හාමුදුරුවෝ බැටී සහෝදරයාගේ ඇවැස්ස මස්සිනා. මා දන්නා තරමින් බැටී සහෝ දරයා දේශපාලනයෙන් සමුගත්තේ අසනීප නිසා නොව වත්මන් සමසමාජ පක්ෂය පිළිබඳ කලකිරීම නිසා බවයි සමහරු පවසන්නේ. මා අවසන් වරට බැටී සහෝදරයා මුණගැසුනේ මවිසින් ප්‍රකාශයට පත්කළ ඇන් .ඇම් ගේ "1978 ව්‍යවස්තාව පිලිබඳ විවේචනාත්මක විහ්ලේෂණයක් " කෘතිය දොරට වැඩි දා මහවැලි කේන්ද්‍රයේදීයි. එ 1996 දී පමණ. ඊට පෙර දිනයක මගේ යෝජනාවක් පරිදි අපේ විද්‍යාලයේ (මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ) කලා උළෙලේ ආරාධිත අමුත්තා ලෙස ගෙන් වූවා. ඇත්තටම ඔහු එදා ඒ සඳහා ගෙන්වූයේ එවක ඔහු ආණ්ඩුවේ ඇතිවරයෙකු වූ නිසා නොව මිතොලොජි පිලිබඳ ඔහුගේ මැදිහත්වීමට ගරුකිරීමක් ලෙසයි.

Thursday, 11 July 2019

කොටළුවෙකු මතින් නේරංජාව තරණයට තැත් කිරීම.....







සජිත් ප්රේමදාස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වීමේ වැඩි ඉඩකඩක් පෙනෙන්නට තිබේ; බැරිවෙලාවත් ඔහු ජනාධිපති වුණොත් කුමකින් කුමක් වේ දැයි අමුතුවෙන් කිව යුතු නැත. තමාගේ දැනුමේ තරමට සුබසාධන වැඩපිළිවෙළවල් මගින් රටක් පාලනය කිරීමට හැකි වෙතැයි ඔහු සිතනවා විය හැකිය එහෙත් එය යම් තරමකටවත් සිය පියාගේ යුගයට ගැලපුනාට අද එවැනි දෑ විහිළුවක් වී හමාරය . භූමියේ හිඟකම පිළිබඳ සරල වැටහීමක්වත් නැති ඔහු තාත්තාගේ අවැදගත් අනුකරණයක් වන දිළිදුකම පිටතට නිරූපණය කරන ගම්උදා ඔහුගේ දර්ශනයේ දුගීකම මනාව පෙන්වා දෙයි. ගම්උදාවලින් එකක් ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් නම් කර ඇත. සජිත් චිත්රපට සංස්ථාව භාර ඇමතිවරයා වේ. ලෙස්ටර්ගේ සදාතනික සිහිනය වූයේ චිත්රපටි සංරක්ෂණාගාරයක් පිහිටුවීමයි. වැදගත් දෙය ගැන වගේ වගක් නැති සජිත් ලෙස්ටර් නමින් උදාගමක්  පිහිටුවයි. සංගක්කාර වෙනුවෙන් මුල්ගල් තැබූ 'ලෝක පූජිත සංගක්කාර ගම' සජිත් සතු ව්යවහාර බුද්ධියේ තරම තේරුම් ගන්නට ප්රමාණවත්ය.


ප්රේමදාස මියගිය විට සංස්කෘතික සාරධර්ම පසෙකලා මිනිසුන් මහමගට බැස කිරිබත් කෑවේ නිකම්ම නොවේ. - අමතක නොකල යුතු කරුණ නම් කිරිබත් කන මොහොතේ, නම් ප්රේමදාස මිය ගිය මොහොතේ මහජන විශ්වාසය වූයේ ඝාතකයන් එල්.ටී.ටී.. බවයි. මහ ප්රේමදාසගේ පාලන සමයේ අප්රමාණ පීඩනය පමණක් නොව අප්රමාණ විකාරද දරාගත නොහැකි වූ නිසායමහජනයා එසේ ප්රීති වූයේ. ප්රේමදාසගේ අනුප්රාප්තිකයා වූ විජේතුංග ජනාධිපති විසින් විසුරුවා හරින ලද කුප්රකට ලෝරන්ස් මාෆියාව, එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලයට ඇතුළු කරන ලද සොත්ති උපාලි වැනි  වැනි සරල උදාහරණ කියාපාන්නේ  ප්රේමදාස පාලන ව්යුහයේ යථා ස්වරූපයයි.


සජිත් ගේ සටන් පාඨය  'යළිත් ප්රේමදාස පාලනයක්" යන්නයි. මංගල සමරවීර දේශපාලන චරිතයක් වන්නේ ප්රේමදාස පාලන සමයේ එහි දරාගත නොහැකි  පීඩනයට එරෙහිව දිවි නොතකා මැදිහත්වීම මගිනි.  ඒත් මංගල අද නූතන ලාංකීය සමාජයේ ප්රජාතාන්ත්රික ජයග්රහණ සමග අභීතව සිට ගන්නා අතරම ඒවා ගැන අල්ප මාත් හැඟීමක් නැති සජිත් වෙනුවෙන් නැගී සිටි. 2005 දී ඔහු කාර්යය කළේය. එහි අනිටු ප්රතිඵල ඔහුත් රටත් ඕනෑතරම් වි් ඇත. ‍ප්රජාතාන්ත්රික ගුණධර්ම රැකගනිමින් , ලෝකයේ යහපත් ප්රවණතා මැනවින් උකහා ගනිමින්ද, රට මෙහෙයවීමට මහා මිනිසුන් අවශ් යුගයක සජිත් වැන්නෙකුට එය කළ හැකිද?  එවැනි නූතන දැක්මක් නැති නායකයන් විසින් රට පිරිහෙලා ඇති අගාධයන් හොඳින්ම දන්නා මංගල සමරවීර සජිත්ට මෙසේ අත දීම වටහා ගන්නේ කෙසේද?



Monday, 27 May 2019

හැංගුනු රහස් ඇත ඔය වන වදුලුවල





හැංගුනු රහස් ඇත ඔය වන         වදුලුවල
දිය කළ ළමාවිය හා මිනි කැට වන් මතක
ඉසිකෝ මද මාන වැනසූ මෙපින්       බිම
සදා වාසනාවන් මැරෙනා            තුරාවට.

Sunday, 5 May 2019

සිහිනයකි රෑ- පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද මාහිමි

https://www.youtube.com/watch?v=j1YauSuOeuM


පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද මාහිමියන් සහභාගි වූ  'සිහිනයකි රෑ" වැඩ සටහන නරඹා හමාරවූ සැනින් මෙම සටහන තබමි. බෙෳද්ධ භික්ෂුව කෙරේ කෙමෙන් පිරිහෙමින් යන මතුල වන ගෙෳරවය යළි නගා සිටුවන ලද උතුමෙතු ලෙස උන්වහන්සේ හඳුනා ගතිමි. බුද්ධ වචනය, බුදු කරුණාවේ මහිමය අපි වැඩිපුර හඳුනා ගන්නේ සාහිත්‍යය ඔස්සේය. එහෙත් එකී මහිමයන් බුද්ධ පුත්‍රයෙකුගේ වදන් ඔස්සේ  ඇසීමට ලැබීම පිනක් යයි සිතමි. තමන් කියන දේ පිළිබඳව උන් වහන්සේ අවංකව පෙනී සිටින බව මැනවින් පසක් වූයේ අවසාන ගීතය ලෙස උන් වහන්සේ තේරූ'උතුර නැගෙනහිර" ගීතය ගැන විස්තර කරන විට ධම්මානන්ද හිමියන්ගේ දෙනෙතට නැගුණු කඳුළු දුටුවිටය. උන් වහන්සේගේ ඥාන ප්‍රභාව හා කරුණා ප්‍රභාව පිටුපස බුදුන් වහන්සේ හා වල්පොල රාහුල හිමියන්ද සිටින බව  මේ දෙපැයේදී මට පසකු් විය. ඔබටත් ඒ සිහිනයකි රෑ වැඩසටහන නරඹන ලෙසට ආරාධනා කරමි. මහේෂ් නිශ්ශංකගේ පරිනත ලෙස මෙහෙයවූ වැඩ සටහනක් ලෙසද සඳහන් කරමි.