Thursday, 2 July 2020

දේශපාලන අර්බුදය Match fixing හා වීරයන් පාවාදීම.






       එළඹෙන ඔක්තෝම්බර් මාසයේ  ඩොලර් බිලියනයක විදේශ ණය පොලී වශයෙන් ගෙවන්නට තිබේ. එළඹෙන දෙසැම්බරය වන විට ඩොලර් බිලියන තුනහමාරක් ණය වාරික වශයෙන් ගෙවන්නට තිබේ. පසුගිය පාලනය හමාර වන විට භාණ්ඩාගාරයේ ඉතිරිව තිබුණු මිලියන් හත හමාරක මුදල ගෙවී ගිය මාස කිහිපය ඇතුළත බිලියන තුන හමාර දක්වා සිඳී ගොසිනි. උද්ධමනයක් අත ළඟ ය. මේ තත්ත්වයට පත්වූ සිම්බාබ්වේ වැනි රටවල් පාන් ගෙඩියක් ගැනීමට මල්ලක් පුරවා තුට්ටුවක් නොවටින සිම්බාබ්වේ ඩොලර් ගෙන යායුතුය. එවන් තත්ත්වයක් තුළ අනෙකුත් සියලු වටිනාකම් පිරිහී කුස පුරවා ගැනීම ඇතුළු නොමැරී ජීවත් වීම වැනි කාරණයකට මිනිස් හැසිරීම අවප්‍රමාණ වන බව ඉතිහාසය අපට කියයි.

       පසුගිය ඔලිම්පික් උළෙලේ පදක්කම් කිසිවක් දිනාගත නොහැකි වූ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඒ හේතුවෙන් එවක පාලකයා වූ මුගාබේගේ අණින්  සිර ගත කළ බවක් මා කියවා ඇත.  දේශපාලනය විසින් බඩගින්න නිවා ගැනීම දක්වා මනුෂ්‍ය ජීවිතය ඌනනය කළ සමාජයක ලෝක ක්‍රීඩා ජයග්‍රහණ යනු කවර අරුමයක්ද?

       ලංකාවේ අනාගත අර්බුදයේ තරම දන්නේ ඡන්දදායක මහජනතාව වත් , දේශපාලනය අගමුල නොදන්නා පැවිද්දන්වත් නොව  රට කරවන  දේශපාලකයන්ය. අනෙකුත් දේශපාලන වියතුන්ය. එළඹෙන අර්බුදය ජය ගැනීමට මේ පාලක පන්තියට විසඳුමක් නැති අතර තිබුනත් සිය ආත්මාර්ථ අභිලාෂයන්  ඒ සඳහා කැපකිරීමක් කිරීමට ඉඩ දෙන්නේ නැත.

       ලෝක පූජිත මහා යතිවරයාණන් වූ දලයිලාමා තුමාට දළදා මාලිගාව හා ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට මෙහි සැපැත්වීමට ඉඩ නොදෙන්නේ චීනයේ බලපෑමට බියෙනි.  චීනයට ඇති ගැතිකම උන්ගෙන් අසාධාරණ පොලියට ගත් ණය කන්දරාව නිසා උපන් එකකි.


      ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වය සඳහා තරඟයේ දී සංගක්කාර ඉදිරිපත් වුවහොත් එම අවස්ථාව ඉන්දියාවට ලබාගැනීමට බාධාවකි. සංගක්කාර විසින් එකී තනතුර සදහා අවශ්‍ය සුදුසුකම් මනාව පෙන්වා ඇත. match-fixing ගැන කුරිරු කබ්බෙකු ලවා කියවා මේ අවුල ඇතිකර ඇත්තේ ආණ්ඩුවමය.
 
      ලෝක සමාජය හමුවේ ලංකාව මෑත ඉතිහාසයේ කතාබහට ලක් වුණේ ප්‍රතිවිරුද්ධ කාරණා දෙකක් නිසාය. එකක් එඑල්ටීටීඊය සමග වූ තිස් අවුරුදු යුද්ධයයි. දෙවැන්න ලෝක කුසලානය ලබාගත් හා ඉන් පසුව උසස් තැනක තිබුනූ ලංකාවේ ක්‍රිකට්ය. මේ සැලසුම් සහගතව මේ පාලකයන් දැනුවත්ව ගරහන්නේ ,හිතාමතා  අපහාසයට ලක් කරන්නේ පරිහානිගත ලංකාවට කීර්තිය ගෙනා විශිෂ්ට වීරයන් පිරිසකටය .


     ඒ වීරයන්  බිලි දෙන්නේ ඉන්දියාවෙන් ගත් ණය කන්දරාව යළි ඉල්ලා සිටියහොත් ඇතිවන අර්බුදය කල් දමා ගැනීමට ය .


      අපේ භික්ෂු සමාජයේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි වැනි භික්ෂු උතුමන් දැන්  නැත. වෛද්‍ය ක්ෂේත්‍රයේ සේනක බිබිලේ, කාලෝ ෆොන්සේකා වැනි මානව හිතාදරයන් නැත. කුලසිංහ ,රේ ජයවර්ධන වැනි විශිෂ්ට ඉංජිනේරුවන් නැත .සරච්චන්ද්‍ර වැනි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැත. විජය කුමාරතුංග, ජෝතිපාල වැනි පොදුජන වීරයන් නැත. අවිවාදිත පොදුජන වීරයන් ඉන්නේ ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ගේ පමණි.  මේ බිලිදෙන්නේ අරවින්දලාගේ, සංගක්කාරලාගේ, මහේල ලාගේ කීර්තිය පමණක් නොව ඔවුන් නිසා සන්තෝස වන මහා ජනතාවගේ ප්‍රාර්ථනාවනුත්ය.
-චන්ද්‍රරත්න බණ්ඩාර

Saturday, 30 May 2020

මාර්ෂල් පෙරේරා







          1964 ලංකා සමසමාජයෙන් වෙන්වූ එඩ්මන්ඩ් සමරක්කොඩි ඇතුලු කණ්ඩායම හා එක්වී දේශපාලනයට පිවිසි මාර්ෂල් පෙරේරා බොහෝ කාලයක් තිරසර මාක්ස්වාදියකු ලෙස කටයුතු කළේය. (ඔහු කෙලෙස ආණ්ඩුකාරයෙකු වූවාදැයි නොදනිමි. )1960 පමණ ජැක් කොතලාවලලා සමසමාජ පක්ෂයෙන් බදුල්ල ආසනය ජයග්‍රහණය කරන විට එහි පිටුපස සිටි යෝධ මිනිස්සු අතර ඹාෂල් පෙරේරාද විය.


          ප්‍රේමදාස පාලන සමයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බදුල්ල රැස්වීමට ගිය අප දිවා ආහාරයට ඔහුගේ පුත් ඩිලාන්ගේ ආරාධනයෙන් මාර්ෂල් පෙරේරාගේ ගෙදරට ගියෙමු.  එවිට අපේ එක් සහභාගිකයෙකු වූ ලූෂන් රාජකරුණානායක ඩිලාන්ගෙන් 'තාත්තා කෝ' කියා ඇසුවේය. ''ආ එයා අර පස්දෙනෙක් ඉන්න පක්ෂෙ මධ්‍යම කාරක සභා රැස්වීමට කොළඹ ගිහින් ' සිය අපහාස උපහාස ගැබ්වූ ස්වරයෙන් කීවේය. එදා ඩිලාන් බදුල්ල දිසිත්‍රික්කයේ මහජන පක්ෂය නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ලූෂන් කාටත් ඇහෙන්නට තාත්තාගේ අගය හා අවංකකම ඩිලාන්ට කියා දෙන විට ඔහුගේ මුහුණට වූ විපරියාසය මට තවමත් මතකය.


         දේශපාලන රේඛාවේ එකිනෙකට පටහැනි අන්ත දෙකකින් දේශපාලනය පටන් ගත් පිය පුතුන් පසුකලෙක එකම මධ්‍යස්ත ලක්ෂ්‍යයකදී හමුවීම කියාපාන එක සත්‍යයක් ඇත. ඒ මාෂල් පෙරේරා වැනි දෘඩතර අවංක මිනිසෙකුට වුවද මේ ජරාජීර්ණ දේශපාලනය තුළ සිය ප්‍රගුණ කළ පරමාදර්ෂ රැකගෙන පැවැත්ම උගහට බවයි. ඒ කෙසේ වෙතත් මා විශ්වාස කරන්නේ  මාෂල් ඔහුගේ පුත්‍රයා තරම් සිය හෘද සාක්ෂිය විනාෂ නොකරගත් බවයි.
ජේෂ්ඨ සහෝදරයාණෙනි ඔබගේ ශ්‍රේෂ්ඨ අතීතයට ආචාර කරමි.
-චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday, 21 May 2020

ලාල්









'ජීවිතය ප්‍රභාතයකි
අත්නොහැරිය යුතු සුයාමයකි
සුන්දර අසුන්දර දෑ බෝ තිබෙන
වනස්පති සෙවනකි
උකටලී නොවනු විඳින්නට, දිනාගන්නට
වන අසිරිය ඇතුළු අනෙකුත් සිරි අසිරි'


කිවිඳ, ඔබ අකුරු ගලපමින් හෙමි හෙමින්
සන්සුන් තානයකින්
කියූ වග මතක්වේ


කිවිඳ,
ඔබෙ කවිය හරි මිහිරියි
පදරුත්  අනේකයි.....අනෝමයි...


වසන්තයට පසු සිසිරය එන බවත්
එසිසිරය තුල පවා
වසන්තයට නොදෙවෙනි ලස්සණක් ඇති බවත්
නිතර කී බව මතක්වෙයි.


ඔබ සියොළඟ දිවෙන කවිතාව
නොනැසී තිබේවා බෝ කල්


කෝමලිනී, ඔබට කියමි
රැඳෙන්න ඔහු අස
උදාකර දෙන්න තව තවත්
අපූර්ව වූ කවි ලකුණු


-චන්ද්‍රරත්න බණ්ඩාර

Sunday, 17 May 2020

ජන ගී මාලය








          සිංහල කලාව ජාත්‍යන්තරයට ගෙනයාමට පෙර  එය අයත් ජනයාගේ ජීවිතයේ කොටසක් බවට යළිත් පත්කළ යුතුය. එසේ නොමැතිව එය කෙසේවත් ජාත්‍යන්තරයට ගෙනගිය නොහැකිය. නුතන කලාවට අයත් රිද්මයන් සියල්ල උකහාගන්නේ බටහිර කලාවෙන් බව පෙනේ. රත්න ශ්‍රී විජේසිංහ නම් කවියා දක්ෂතම ගීත රචකයෙකු බවට පරිනාමය වන්නේ ඔහු පැරණි කලාවේ රිද්මය ඇතුලු සියල්ල මැනවින් තම ගීතයේ උපාං'ග බවට  පත්කරගත් නිසා යයි මට සිතේ. මේ තරම් බරසාරව පැරණි සාහිත්‍යාංග ගීතයට යොමු කරගත් සමකාලීන ගීත රචකයෙකු නැති තරම්ය. එවැනි උත්සාහයන් කිහිපයක් හැරුණු කොට අපගේ උරුමයට අයත් වස්තු විෂයයන්, රටාවන්,හා ශ්‍රැතීන් නොතකා හැරේ.
    
          1977 න් ඇරඹුණු නව ලිබරල් වාදයේ ගොදුරක් බවට පත්වුණු සංස්කෘතිය නම් කලාපයට අයත් සියල්ල එහි ෙඑතිහාසික විකාෂනයේ පෙකෙනිවැලින් පරිපූර්ණ වශයෙන්ම කඩා දමා ඇත.
බ්‍රිතාන්‍ය පාලන යුගයේදී පවා දේශීය කලාවට අදාළ සියලු දේ සංරක්ෂණය කරමින් ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කළේය. (තම රටවලට ගෙනගිය පෞරාණික සංස්කෘතික දේපල පවා කෞතුකාගාරවල තැන්පත්කරමින් ඒවා අදටත් ආරක්ෂා කරයි. ) පූර්ව නිදහස් යුගයේ දේශීය ජනයා හා බෞද්ධ භික්ෂූන් තම සංස්කෘති්ියට අදාළ බොහෝ දේ වැඩිවර්ධනයට දායක වූයේ අධිරාජ්‍යවාදීන්ගේ සංස්කෘතිය කෙරේ වු සහනශීලී ප්‍රතිපත්තිය නිසාය.


         සර් ජේම්ස්පීර්ස් වැනි බ්‍රිතාන්‍ය පාලනයේ අනුග්‍රහලත් ප්‍රභූවරයාගේ පුතනුවන් වු දේවාර් සූරියසේන වැන්නෙකු පවා දේශීය වන්නම්, ජන ගී, ආදිය කෙරේ වූ කැපවීම හේතුවෙන් සිය ජීවිතයේ ප්‍රධාන අරමුණු පවා දෙවනකොට තැකීය. ඒ සා විශාල කැපකිරීමකට ඔහුට පෙළඹීමක් ඇතිවූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී ය.
ධනය ඉපයීමම පරමය කොටගත් නව ලිබරල්වාදී සමාජයේ සංවේදී සියල්ල විනාෂවීම ස්වාභාවිකය. (ලංකා කෞතුකාගාරයේ සිදුවූ කඩු සොරකම් වැනි දේ බලන්න.)  අනතුරුව ඒ සියල්ල වෙනත් හැඩතලයන් ගෙන ලිබරල් ධනවාදයේම සහචර උපාංග වීම අප අද ඇස්පනා පිට දකිමු.අද දවසේ බුදු දහම , සංස්කෘතිය ඇතුළු සියල්ල පෙන්වා දෙන්නේ ඒ ගොරතර සත්‍යයයි.  (මේ සමග ඇති මහාචාර්්‍ය සසංක පෙරේරාගේ වීඩියෝවද නරඹන්න.)


         ජනගී මාලය නැමති මෙම තරුණයන්ගේ වෑයම කියාපාන්නේ රාජ්‍යයේද සහයෝගය නොමැතිව නටබුන් අතරින් උරුමය සොයා යාමට දරණ උදාර උත්සාහයකි. මෙවැනි උත්සාහයන් තවත් තිබේ. ප්‍රධාන ජනමාධ්‍ය මේවාට තැනක් දෙන්නේද නැත.


    -චන්ද්‍රරත්න බණ්ඩාර

Saturday, 2 May 2020

සිංහල සාහිත්‍යවංශය







                පුඤ්චි බණ්ඩාර සන්නස්ගල විසින් සංග්‍රහ කරන ලද 'සිංහල සාහිත්‍යවංශය' කෘතිය මේ කොරෝනා සමයේ ගෙවන ගුහාගත ජීවිතයේ දෛනික කියවීම් අතර එකකි. බොහෝ පොත් කියවා හමාර කිරීමේ පිපාසයෙන් පෙළුනු යෞවන සමයේ මේ සාර ග්‍රන්ථය කියවා ඇතත් එහි මහිමාව ඒ හැටියෙන් අවබෝධ කරගැනීමට ඒ කියවීම ප්‍රමාණවත් නොවීය. මේ පොත කියවන අතර අප අතරින් වියෝවූ ධර්මසේන පතිරාජයන් පැරණි කලාවන් ගැන ලියූ සටහනක් මගේ මතකයට ආවේය.

           ' කාර්ය සාධන කලාවන්  වැඩවසම් යුගය හා බැඳී පැවති අන්දම මිනිස් වෙසින් අපට පෙන්වන ප්‍රබලතම ප්‍රකාශනයක් වූයේ නිත්තවෙල ගුණයා, සුරඹා, හීන්බබා ධර්මසිරි ඇතුළු පාරම්පරික නැට්ටුවන්ය. ඔවුන්ගේ රංගන තමන් ජීවත්වූ යුගයේ අන්තර්ගතයෙන් වියෝ කරනු ලැබුවද අපේම පාරම්පරික කලා තාක්ෂණයේ සූක්ෂමතාව,සංවේදිතාව සැබෑ උරුමයන් ලෙසින් අප වෙත ප්‍රදානය කරන රූපනයන්ය."
                                                                         -මනෝ රංග තීර්තකයා 185 පිට
                                                                           සංස්කරණය - බණ්ඩාර ඇහැලියගොඩ

          
               පතිරාජයන් පැරණි නර්තන කලාවන් ගැන කරන තක්සේරුව හා පැරණි සාහිත්‍යයට හා චිත්‍ර ශිල්පයට ද අදාළය. දේශපාලකයන්ගේ හා භික්ෂූන්ගේ කලාත්මක නොවන කාර්යයන් සඳහා පාරම්පරික නර්තනය තවමත්  පාවිච්චි වෙතත් ඒ විෂය තුළ එහි වර්ධනයක් වී නැති අතරම එකී කලාකරුවා කුල හා වෙනත් ආකාරවලින් අවමානයට ලක්කර ඇත.
           
             සම්භාව්‍ය පැරණි සාහිත්‍යයට ලැබී ඇත්තේ ඊටත් වඩා ශෝචනීය ඉරණමකි. එකී සාහිත්‍ය ධාරාව රස විඳීමට  රසිකයා නූතන සාහිත්‍ය රසවිඳින රසිකයාට වඩා එකී විෂය කෙරේ ඇල්මක්ද යම් පුහුණුවක්ද තිබිය යුතුය. එහෙත් මේ විප්‍රකාරී සමාජය තුළ එවැන්නෙක් බිහිවෙන්නේ නැත. පැරණි සාහිත්‍යයට නර්තනයට මෙන් උපයෝගී වටිනාකමක්ද ඒ හැටියට නැත.


          'සිංහල සාහිත්‍යවංශය' අනුරාධපුරපුර යුගයේ සිට කොළඹ යුගය තෙක් සාහිත්‍ය කෘති පිළිබඳ වංශාවලියකි. මෙහි කතුවරයා මේ ශතවර්ශාධිකකාලයක් තිස්සේ ලියවුණු කෘති සියල්ල මැනවින් පරිශීලනය කර ඇතුවා පමණක් නොව එකිනෙක සංසංදනාත්මකව විමසීමට තරම් සමත්වී ඇත.
     
         මේ කෘතිය මුද්‍රණය සඳහා දේශපාලකයන් පිටුපස යන්නට වූ කතාන්තරය සැකෙවින් මේ කෘතියෙහි කතෘ සටහනෙහි බහා ඇත.


         මේ මහා ග්‍රන්ථය අපගේ සාහිත්‍ය උරුමය වෙත හෙලන ආලෝක ධාරාව සුළුපටු නොවේ.  එහෙත් අපගේ පෞරාණික මහා සාහිත්‍ය උරුමය දැක බලාගැනීමට සමත් සමාජයක් හා රාජ්‍ය තන්ත්‍රයක් නැතිවීම කණගාටුදායකය.


       අධ්‍යාපන විෂය මාලාවෙන් සාහිත්‍ය විෂය ධාරාව ඉවත්කිරීම මේ අතීත කලාකෘති සමාජයට අහිමිකිරීමේ එක් ආරම්භයකි. වර්තමානයේ සෑම මසකම එක් සිකුරාදාවක් ජනාධිපතිතුමා විසින් භික්ෂූන් වහන්සේලාට වෙන්කර දී ඇත්තේ රටේ අනාගතය වෙනුවෙන් උන්වහන්සේලාගේ උපදෙස් ගැනීමට විය යුතුය. එහෙත් උන්වහන්සේලා භාෂාව හා සාහිත්‍ය කලාවන්ගේ පිරිහීම ගැනවත් ඒවා නගා සිටුවීම ගැනවත් ජනාධිපතිතුමාට උපදෙස් නොදෙන බව නම් සහතිකය.


         'සිංහල සාහිත්‍යවංශය' වනාහි ගෙවී ගිය සියවසේ බිහිවූ විශිෂ්ටතම සාහිත්‍ය වංශාවලිය බව මගේ හැඟීමයි.පැරණි සිංහල සාහිත්‍ය කෘති කිසිවක් නොකියවන්නෙක් වුවත් අතීත සිංහල සාහිත්‍යයේ රුව ගුණ මෙසේ යයි හඳුනා ගැනීමට මේ කෘතිය ප්‍රමාණවත්ය.


        බටහිර සමාජය පොදුවේ බටහිරට අදාළ අතීත සාහිත්‍ය කෘති විවිධ ස්වරූපයන්ගෙන් වර්තමානය වෙත ගෙනවිත් පවත්නා සජීවී කලා ව්‍යාපාරයේ වැදගත් ස්ථානයක පිහිටුවා ඒවා යාවත්කාලීන කර ඇත. ඒවා පොදු  ලෝක උරුමයේ කොටස් බවට පත්කිරීමට කටයුතු කර ඇත. ලෝක ජනතාවම බටහිර සාහිත්‍යයේ සාර්ථක කොටස්කරුවන් වී ඇත්තේ එහෙයිනි.


         එහෙත් අප නම් දැනුවත්වම අපේ පැරණි සාහිත්‍ය උරුමය අපගේ මතක ලෝකයෙන් පවා බැහැර කරමින් සිටී.
   
                                                                                          -චන්ද්‍රරත්න බණ්ඩාර

Monday, 13 April 2020

ඩඩ්ලි සේනානායක ගුණානුස්මරණය වෙනුවෙන්




                  මේ ලියන අද ඩඩ්ලි සේනානායක හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මරණ දිනයයි. පශ්චාත් නිදහස් යුගයේ බිහි වූ යහපත් රාජ්‍ය නායකයා ද නීතියේ ආධිපත්‍ය කෙරෙහි විශ්වාසය තැබූ හොඳම නායකයකුද ලෙස ඩඩ්ලි සේනානායක මහතා කැපී පෙනේ. ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව අභ්‍යාස කළේය. 1953 හර්තාලයේදී මුල්ඔය වත්තේ කම්කරුවකු වූ කන්දසාමි සහෝදරයා පොලිස් වෙඩි පහරකින් මිය ගියේය .ඒ මරණයෙන් ඉක්බිති රැස්වූ පළමු පාර්ලිමේන්තුවේදී කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන් සහෝදරයා වේගවත් කතාවක් කරමින් එසමයේ අගමැතිවරයා වූ ඩඩ්ලි සේනානායක හැඳින්වූයේ මිනීමරුවෙකු ලෙසය.  එහිදී සේනානායක  මහතා සංවේදී වෙමින් කඳුළු සැලූ බව පාර්ලිමේන්තු ඉතිහාසය සටහන් වේ. ඉනික්බිතිව ඔහු සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් පවා ඉවත් විය.
 මේ කොරෝනා සමයේ ලොක්ඩවුන් වී සිටින හෙයින් බොහෝ වැඩ රාජකාරි බහුල උදවිය නිදහසේ එක්තැන්වී සිටිති. එසේ  සිටින අප මිත්‍ර ලාල් විජේනායකයන් පැවසූ ඩඩ්ලි ගැන කතාවකි මේ.
1960-65 රජයේ විපක්ෂනායකවරයා වූයේ ඩඩ්ලි සේනානායක මහතාය.  ලාල් විජේනායක මහතා එවකට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු විය. එදවස ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් දේශනයකට පැමිණි ඩඩ්ලි සේනානායක මහතා විශ්වවිද්‍යාල කලාගාරයේ දී සිය දේශනය පැවැත්වීමට සූදානම් විය. එහෙත් දේශනය සිදු වන අතරතුර ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක බාධාකාරී ඝෝෂාවන් නිසා එතුමාට සිය කටයුත්ත නිසි පිලිවලට කිරීමට නොහැකිව දේශනය අතර මැද නවතා දැමීමට සංවිධායකයන්ට සිදුවිය . ඉක්බිති කලාගාරයේ පසුපස දොරෙන් ආරක්ෂිතව සේනානායක මහතා ඉවතට ගෙන යාමට සංවිධායකයන්ට උවමනා වුවත් එතුමා ස්ව අභිමතය පරිදි ශිෂ්‍යයන් සමගම ඉදිරිපස දොරින් පිටවී යාමට පැමිණියේය . එහිදී විරෝධතා දැක්වූ සිසුන්ගේ කායික හිංසනයන්ට (රහස් පෙදෙස මිරිකීම ආදී) ලක්වීමට එතුමාට සිදුවිය.
මෙම  අශෝභන සිදුවීම  ආරංචි වූ එවකට උපකුලපති සර් නිකුලස් ආටිගල වහා එතනට පැමිණියේ කෝපයෙන් ගැහෙමින් ය. සර් නිකුලස් ආටිගල සේනානායක මහතාගේ හිතවතෙක් ද  ඥාතියෙක් ද විය. සර් නිකුලස් වහාම ක්‍රියාත්මක වෙමින් හිංසන ක්‍රියාවේ යෙදුණු ශිෂ්‍යයන් තිස් ගණනකගේ පන්ති තහනම් කොට දඬුවම් පමුනුවන ලදී.  විශ්වවිද්‍යාල  අවසන් විභාගයට මුහුණ දීමට සිටි විජය වික්‍රමරත්න පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ කොටකදෙනිය ආදීන්ද මේ පන්ති තහනමට ලක්වූ හිෂ්‍යයන් අතර සිටියා්ය.
 මේ උද්ගතවූ තත්වය ගැන කලබලයට පත් ශිෂ්‍ය සංගමය පන්ති තහනමට ලක්වූ සිසුන්ට සමාව දෙන්නැයි ඉල්ලා සිටියත් සර් නිකුලස් ආටිගල එම ඉල්ලීම කිසිසේත්ම කනකට නොගත්තේය.
අවසන එකල විශ්වවිද්‍යාලයේ සමසමාජ,කොමියුනිස්ට්,මහජන එක්සත් පෙරමුණු  ශිෂ්‍ය නායකයන් විපක්ෂ නායකවරයා හමුවී පන්ති තහනමට ලක්වූවන්ට සමාව දෙන ලෙස ඉල්ලා සිටීමේ බලාපොරොත්තුවෙන් කොළඹ ගියේය. සේනානායක මහතා සමග සබඳතාවක් සකසා ගැනීමේ අරමුණින් පළමුව ශිෂ්‍ය නායකයන් තිදෙනා ගියේ කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සම සමාජ පක්ෂ කාර්යාලයටයි. ඒ සමසමාජ නායක ඇන් ඇම් සහෝදරයාගේ පිහිට බලාපොරෝත්තුවෙනි.  ශිෂ්‍ය නියෝජිතයන් කාරණය පැහැදිලි කරනවාත් සමගම කෝපයට පත් ඇන්.ඇම්. ' විශ්වවිද්‍යාලයකට පැමිණ දේශපාලන නායකයෙකුට නිදහසේ තම අදහස් දැක්වීමට ඉඩ නොදීම මොනතරම් අශෝභන දැයි පවසා ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇත.  බලාපොරොත්තු කඩවූ  සිසුන් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය නියෝජිතයාගේ මෙහෙයවීමෙන් කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට ගොස් පක්ෂයේ ලේකම් පීටර් කේනමන් මහතා හමුවී තිබේ. එහිදීද ශිෂ්‍ය නායකයන් වෙත ලැබුණු උත්තරය ඇන්.ඇම්ගේ  උත්තරයට දෙවැනි නොවීය.  බලාපොරොත්තු කඩනොකරගත් සිසුන් තිදෙනා අවසාන උත්සාහය ලෙස පාර්ලිමේන්තුවේදී තෙමේම විපක්ෂනායකවරයා හමුවීමට උත්සාහයක් ගත්තෝය.  අද මෙන් නොව මහජන ගැලරියට බාධාවකින් තොරව මහජනයාට නිදහසේ  යාමට හැකි යුගයකි ඒ.  පාර්ලිමේන්තුවේ තේ විවේකයට සභාව කල්තබන විට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා විපක්ෂ නායකවරයාට කාරණය සැලකොට සහනයක් ලබා ගැනීම ශිෂ්‍යයන්ගේ අරමුණ විය.  ඒ සඳහා කල් මරමින් සිටි සිසුන් යලිත්වරක් දුටු ඇන්.ඇම්. ම මැදිහත්වී ඩඩ්ලිට කාරණය පවසා ශිෂ්‍යයන්ට එතුමන්ව මුණගැස්වීය.
සිදුවු හිරිහැරය තමාට විනෝදයක් වූ බව පැවසූ සේනානායක මහතා එවේලේම සර් නිකුලස්ට කතාකොට අදාළ හිෂ්‍යයන්ට එවැනි දඬුවමක් නොදෙන ලෙස ඉල්ලා සිටියේලු. එහෙත් එවේලේ සිසුන් තිදෙනා අමතා සේනානායක මහතා පවසා ඇත්තේ 'තවත් කිසිකෙුට මෙලෙස අතවර කොට ලැබෙන දඬුවමින් බේරා ගැනීමට තමා හමුවට නොඑන' ලෙසයි. විශ්වවිද්‍යාලය යනු කාගේත් අදහස්වලට ඉඩක් ලබාදිය යුතු තැනක් නොවේදැයි එතුමා හිෂ්‍යයන්ගෙන් විමසා ඇත.
පසුවදා සිට පංති තහනමට ලක්වූ සිසුන්ගේ දඬුවම සර් නිකුලස් ආටිගල උපකුලපතිවරයා විසින් ඉවත් කොට තිබේ.
ඩඩ්ලිගේ මෙවැනි සංවේදී ගුණාංග සමාජය විසින් වටහා ගත් බව ඔහුගේ මරණය වෙනුවෙන් ගොනුවූ මහජන හෝකයෙන් සැබෑවටම සනාත විය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ යහපත් ගුණාංග අගයමින් ඒ අනුව සිය දේශපාලන ජීවිතය පවත්වාගෙන ගිය හොඳ පාර්ලිමේන්තුවාදියෙකි ඩඩ්ලි සේනානායක මහතා. එතුමා තරම් හොඳ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු මෙරට බිහිවූයේ නැති බව මගේ අදහසයි.

Saturday, 11 April 2020

කොරෝනාවෙන් පසු ලෝකය






         මේ ලියන අද පරණ අවුරුදු දිනයයි. වෙනදා ලංකාවේ අපේ ඇත්තෝ පරණ අවුරුදු දා හැසුරුණු විදිහට නෙවෙයි අද හැසිරෙන්නෙ. නගර වශයෙන්, ගම් වශයෙන්, නිවෙස් වශයෙන් ලොක්ඩවුන් වෙලා. අපි නොතකා හැරිය ජීවිතයට අදාල සංස්කෘතික නියාමනයන් හේතුවෙන් මේ ලොක්ඩවුන් ජීවිතයට අර්ථයක් සොයාගැනීමේ අපහසුව විවිධාකාර වේශයන්ගෙන් ආරංචි වශයෙන් සමාජයේ පැතිරෙනවා. ප්‍රේමයෙන් ඔබ්බේ විවාහ ජීවිතය තුල අවුරුද්දකින් දෙකකින් එහාට අතීතයේ එක්කල ස්නේහයට පැවැත්මක් නොමැතිව ලතවෙනවා. ගෘහස්ත ප්‍රචංඩත්වය වැඩිවීම ඒ සඳහා හොඳ උදාහරණයක්.


          අපගේ සංස්කෘතික ක්‍රියාධරයන් සිය සක්‍රිය ජීවිතයේදී අපේක්ෂාවන් වෙත හඹා යාම තවදුරටත් පුරුදු වේගයෙන් කළ නොහැකි අරුම පුදුම විරාමයක් ගත කරමින් සිටින්නේ. තමාගේ පැරණි පිංතූර, තමා සන්තක පොත පතෙහි පිංතූර,පලකරමින් තම ජීවිත මතක නිස්කලංක මනසකින් සටහන් කරමින් මේ ලොක්ඩවුන් ජීවිතය ගෙවා දමනවා. තමන්ගේ සක්‍රිය ජීවිතයේ වැඩකට නොගත් නමුත්  සිය ආත්මය තුල  'අහිංසකකම' සුරැකිව පවතින බවට මේ සියල්ල හොඳ උදාහරණ. මට හිතෙන විදිහට කොරෝනාවෙන් පසු අපට විවෘතවන නව ලෝකයට මේ යාවත්කාලීන කරගන්නා අහිංසකකම පුයෝජනවත් වේවි.


            මේ ලොක්ඩවුන් සමයේ අපේ අතීතයේ සුන්දර තැන් සොය සොයා සුමුදු ලෙස පිරිමදිමින් ඇතුලට හැරුනු ජීවිතයක් ගතකරන අතරේ වෛරසයම වාසියක් කරගනිමින් අපේ රට නව දේශපාලන රටාවකට දැනුවත් පිඹුරුපතක් සැකසෙමින් තිබෙනවා. ඒ සඳහා පදනම් දේශපාලන බලවේගයේ මතවාදී ආයුධ ගබඩාව පන්සල්වල හෝ වෙනත් තැනෙක ස්ව කැමැත්තෙන් ලොක්ඩවුන් වී සිටිනවා.බලය ලබාගන්නා තෙක් පමණක් ප්‍රයෝජනවත් වූ ඒ වාචාල දේශප්‍රේමී උසිගැන්වීම් බලය ලබාගත් දේශපාලන ප්‍රවාහයකට තවදුරටත් වැදගත් නැති 'වැඩ අලකරන" බලවේගයක් පමණයි.
  
            එකිනෙකා කාකොටා ගනිමින් අසපු, සමන්ත්‍රභද්‍රලා අවසන් වශයෙන් සිය අනුගාමී මහ සෙනගට ඒත්තු  ගැන්වූයේ එක දෙයක්. ඒ එක දෙය දේශපාලනිකව ශක්තිමත් වි බලය බවට පත්වී තිබෙනවා.
කොරෝනා වෛරසය අස්සේ ලොක්ඩවුන් වූ ජීවිත ආණ්ඩුවේ හා ආණ්ඩුවට ලැදි මාධ්‍ය ඔස්සේ පමණක් තොරතුරු ලබාගනිමින් සිටියදී තවමත් පවතින දුබල ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂන පවා මිරිකා හරින අධිපතිවාදයක්  ඒ පිඹුරු පත්හි සැකසෙමින්  පවතිනවා.


          කැපවීමෙන්  දේශපානීක නොවූ එහෙත් සිය සිය සංස්කෘතික ජීවිතයේ කොටසක් ලෙස දේශපාලනයට සංනව්දී වූ පිරිස්වලට අප ආරධනා කරන්නේ ලංකාව තුල සිදුවන මෙම නව පෙලගැසීම් ගැන  සංවේදී වන ලෙසයි.


කථිකාචාර්ය සුමිත් චාමින්දයන් විස්තර කරන'කොරෝනාවෙන් පසු අපට හමුවන අනාගත ලෝකය' මේ සියලු තත්වයන් බැරෑරුම්ව හඳුනාගතහැකි අගනා ලිපියක්. එය පහත ලිංකුවෙන් කියවන්න.
https://agamya.lk/blog/9139-2020-04-11-10-57-49?fbclid=IwAR3zCnGh7fXbyHGFFj_0TmKnULp2Ta5ZTyLEBj-QCje_VOqL19cfM-bZEj0