Thursday, 20 July 2023

සුදු වැද්දෝ 1




උරුමක්කාරයන්ගේ යටපත් වූ උරුමය:

සුදු වැද්දෝ 1

-------------------

උතුරු ඇමෙරිකානු මුල් උරුමකරුවන් දැවැන්ත උරුමයක කොටස්කරුවන්. එහෙත් යටත් විජිතවාදය විසින් ඔවුන්ගේ මාහැඟි උරුමය දීර්ඝ කාලයක් තිස්සේ යටපත් කෙරුණා. අද එවැනි යටපත් කිරීමක් නැතත් නැතිවී ගිය උරුමය ඒ හැටියෙන්ම දකින්න අපහසුයි. එහෙත් ආදිවාසී ගෝත්‍ර විසින් මහත් ධෛර්යයෙන් රැකගෙන ආ බොහෝ මාහැඟි දේ තවමත් එමටයි. මෙම වැඩසටහනෙන් අප ඉදිරිපත් කෙරෙන්නේ ආදිවාසීන්ගේ Pow Wow නැමති සංස්කෘතික ප්‍රසංගය ගැනයි. ඔබටත් මෙවැනි වැඩසටහන් අඛංඩව නැරඹීම සඳහා Sisara with Chandare රූප නාලිකාව සමග එක්වන්න. රටක ජාතික ගීය එහි ජීවත් වන සියල්ලන්ගේ මාහැගි උරුමයක්. කැනඩා ජාතික ගීය ගයන භාෂා අතරින් එකක් Ojibwe භාෂාවත් එකක්. මෙම වැඩ සටහනේ ඒ බව ඔබට දැකගත හැකියි. 

Wednesday, 12 July 2023

මිතුරුදමක ප්‍රේමය



ඒ වස්දඬු රාවය දිගේ

මතකවත පාරමින් 

අතීතය වෙත 

වලාකුළක්ව පාව ගියෙමි.


අඩසියවසකටත් ඈත

මා පෙළූ මා දැවූ

මා නිවී සැනසුණු 

ඒ වසඟය 

තවමත් සිනාසෙමින් තිබුණි.

Friday, 7 July 2023

මෙම විචිත්‍ර උරුමය රැකබලාගැනීමට අප සමත් ද?-


 

මීට දෙසිය වසකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළි මව්බිමට ලබා ගැනීමට සංස්කෘතික ඇමතිවරයා කළ ඉල්ලීමක් සලකා බලා ඇති නෙදර්ලන්ත රජය ඒවා මෙරටට බාරදීමට එකඟ වී තිබෙනවා.

''Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානී සමයට අයත් වූ ඒවා බව හෙළිදරව් වූ අතර වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේදී  ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගොස් ඇති බවද තහවුරු වී තිබේ.'' (ප්‍රවෘත්ති නිවේදනයකින් කළ උපුටා ගැනීමකි.)

උරුමයන් රැක බලා ගැනීම ස්ථාවර හා ඒවා පිළිබඳ සංවේදී රාජ්‍ය පාලනයකට පමණක් කළ හැකි දෙයකි. එහෙත් ඇත්තටම එම කාර්ය කරන්නට ලංකා රාජ්‍යය සමත්ද?
මීට වසර කිහිපයකට පෙර කෙෳතුකාගාරයේ තිබී දුටුගැමුණු යුගයට අයත් රන්කඩුවක් සොයා කළ 'කන්කොටා' නාටකය ඔබට මතකද? ඒ කාරණයම පදනම් කරගෙන කොළඹ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා දෙනමක් අපවත් කරන ලදී.
පෞරාණික බව කෙසේ වෙතත් රනින් නිමවීම යන කාරණය පමණක් එම අගනා උරුම භාණ්ඩවල ආරක්ෂාවට අපල ගෙන දෙන්නකි. ලංකාවේ අතිවිශාල පැරණි පන්සල් ප්‍රමාණයක පිළිම හා චෛත්‍යයයන් බිඳ දමා ඇත්තේ නිදන් සොයාය.
ලෝකයේ කෙෳතුකාගාර යනු පෞරාණික භාණ්ඩයන්ගේ ආරක්ෂාවට හොඳම තැන වුවත් එයද රාජ්‍ය චෞරත්වය ඉදිරියේ අසරණය.
වඩාත්ම හොඳම දේ නම් වසර දෙසියයක්ම ඉතා හොඳින් ඒවා නෙදර්ලන්ත කෞතුකාගාරවල ආරක්ෂා වූවා සේ තවදුරටත් එසේම තිබෙන්නට හැරීමය. අපගේ අනාගත පරම්පරාවටවත් හොඳ පාලන ක්‍රමයක් ලැබුනොත් ඒ ගැන සලකා බැලිය හැකි වේවි.
කොවිඩ් එන්නතෙනුත් ගසා කෑ රටක , ඇස් රෝගවලට ගෙනා බෙහෙතිනුත් ගසා කෑ රටක, ගසා කෑම නිසාම බංකොලොත් වූ රටක ඒ කළ කිසිවකුට අබමල් රේණුවක නීතිය ක්‍රියාත්මක නොවන රටක පුරාවස්තු ආරක්ෂා වේ යැයි සිතිය හැකිද? අනික තනි රත්තරනුත් වූ කළෙක?

Monday, 22 May 2023

බෙවිස් මනතුංග - මහනුවර මග සලකුණක්



බෙවිස් මනතුංග අපට මුල්වරට හමුවන්නේ සෝවියට් දේශය බිඳ වැටීමට පෙර එහෙයින්ම ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයටත් සරු කාලයකය. ඇත්ත පත්තරය දිනපතා ප්‍රකාශයට පත්කළ කාලයේය. එදවස මහා බලගතු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තැන් තැන් වලින් රිදෙන්න කොනිත්තූ පත්තරයකි ඇත්ත. එදා ඇත්ත වැසී යාම යනු ලංකාවේ ජනමාධ්‍යයේ එක්තරා යුගයක අවසානයකි. මෙ කියන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාධරයෙකු වූ බෙවිස් පළමුවරට වික්ටර් හාරා ගේ ගී ප්‍රසංගයක් පැවැත්වූයේ ඒ කාලයේය.

ඉනික්බිති එළඹි යුගය අපේ ප්‍රාර්ථනා බොඳ කරමින් රාජ්‍ය මර්ධනයටත් ජාතිවාදයටත් එකසේ රඟන්නට ඉඩ ලැබුණු යුගයකි. ඒ දීර්ඝ අමානුෂික යුගය තුළත් පාරේ සිට වුවද  බෙවිස් ජාතිවාදයටත් මර්ධනයටත්  එරෙහි විය.

2009 යුද ජයග්‍රහණය නිසා යළි වටයකින් නැග ආ ජාතිවාදයට එරෙහි වූයේ කොන්දේසි විරහිතවය. 

බෙවිස්ගේ සමීපතමයෙකුගේ (මවගේ ?) මළගමට පැමිණි අතුරලියේ රතන හිමිට මළ ගෙදරදීම ඔහුගේ ජාතිවාදී වැඩපිළිවෙලට එරෙහිව කතාකොට දොස් කී බව මට කීවේ රතන හිමි සමග වැඩි තවත් හිමි නමකි.


බෙවිස් අවංකව හා නිර්භීතව අරගලයේ කොටස්කාරයෙකු විය. ඔහු  කොතරම් අනුරාගයකින් යුක්තව අරගලය සමග සිටගත්තේද යන්න අපි දනිමු. ඔහුගේ මළගම ලොකු හිස්තැනක් තැනූ බව අපට දැනෙන්නේ ඔහු අරගලයට, විශේෂයෙන් නුවර අරගල භූමියට  ඔහුගේ බලවත් මැදිහත් වීම හේතුවෙනි.


බෙවිස්ගේ හැටි එහෙමය. 

ඔහු සිය ආබාධිත බව ගැටළුවක් කොට නොගෙන අප දන්නා දා සිට යුක්තිය හා සාධාරණය පැත්තේ හිටගත්තේය. ඔහුගේ එදිනෙදා ජීවිතයට සහාය වූ අත්වාරු දෙක සිය සිරුර දෙපැත්තේ තනි රකිනු දුටු විට මේ ලියූ දෙයට වඩා බොහෝ දේ ලියන්නට මසිත හැඟීම් තෙරපෙයි. ඒවා වචන බවට පත් කරන්නට ඇවැසි ශක්තිය මේ මොහොතේ මට නැත. එය වෙනත් තැනක වෙනත් විදිහකට ලියන්නට බලාපොරොත්තු වෙමි.

 

Thursday, 18 May 2023

මර්වින් (Marvin). සේනාරත්න - කෘතගුණ සටහනක්....



 මට මෙම සටහන ලියන්න හිතුනේ අද උදේ ලේඛක මංජුල සේනාරත්න ලියූ සටහනක් දැකීම නිසාය. ඔහු ලියා තිබුණේ ඔහුගේ පියා වූ මර්වින් (Marvin) සේනාරත්නයන් ගැනය.  සේනාරත්නයන් ගැන ඇතැම් කාරණා මා පළමුවරට දැනගත්තේ මංජුල ලියූ එම සටහනෙනි. සේනාරත්නයන් බෞද්ධ සාහිත්‍යයේ පොදු ජනයාට විෂය වූ පුළුල් කලාපයක් තෝරාගෙන එහි ප්‍රවර්ධනය සඳහා දක්වා ඇති වෙහෙස මහන්සිය සුළුපටු නැතැයි මට සිතේ.


 අවම වශයෙන් පසුගිය සියවසේ මැද භාගයේ සිටවත් වෙසක් තොරණ යනු සිංහල බුද්ධාගමේ  අනන්‍යතා ලකුණකි. එය නාගරික පොදු ජනයා සිය සාමූහික ආගමික ජීවිතය ඇතුළත් තමන්ගේ සංස්කෘතිය විදහා දක්වන ක්‍රියාකාරකමකි. සමාජය එන්න එන්නම පිරිහෙන විට  තොරණ පිටුපස ඇති යථාර්තයද මුදලාලිකරණය හෝ පාදඩකරණය වුවත් එදා අද වෙනසක් නැතිව තොරණ සාමාන්‍ය බෞද්ධයාගේ  ආගමික ජීවිතය පිනවයි.  සේනාරත්න මහතා දායක වී ඇත්තේ වසරකට වරක් එළඹෙන මෙම උතුම් පිංකමටය. තොරණක් බැලීමෙන් එය වින්දනය කිරීමෙන් සාමාන්‍ය මිනිසා (බොහෝ විට නගරාශ්‍රිත) ලබන වින්දනය  සිය සතුටු කලාපයේ සටහන් කරගනී. මාක්ස් කීවා සේ හදවතක් නැති ලෝකයේ ආගම හදවතක් වෙන්නේ මෙන්න මේ තුටු පහටු වීමද හේතු කොට ගෙනය.

සේනාරත්නයන් තොරණ දහසකට වඩා කතා සම්පාදනය කර ඇති බව කියවේ. බෞද්ධ ගීත තුන්දහසකට වඩා ලියා ඇතැයි කියවේ. සමහර විට වෙසක්පත් සඳහාද ඔහු කවි ලියන්නට ඇත. සමහර විට අපගේම අතීතයේ මහා ආශක්තයක් වූ අප සතු කරගන්නට වෑයම් කළ වෙසක්පත්හි පවා සේනාරත්නයන්ගේ කවි තිබෙන්නට ඇත. මේ සියල්ලෙන්ම කියවෙන්නේ නොදැනුවත්වම ඔහු අපේ සංස්කෘතික ජීවිතයට කෙතරම් බලපා ඇතිද යන්නයි. 


පොදු ජනයා පිනවන කලාවට සම්මාන විෂයෙහි තැනක් නැත. එහෙයින්ම විදග්ධයන්ගේ ඇස නොගැසෙන්නකි. එහෙත් අප නොදැනුවත්වම අප බහුතරයකගේ සංස්කෘතික ජීවිතය සේනාරත්න මහතා වැනි සුධීන් විසින් පුරවා ඇති බව කිව යුතුය. 


මර්වින් (Marvin).සේනාරත්නයන්වත් ඔහුගේ පුතු මංජුලවත් සුදුද කලුද කියාවත් නොදන්නා මා මෙය ලිව්වේම සේනාරත්ත මහතා වැන්නන් නියෝජනය කළ කලාව අගය කළ යුතුයයි ඇතිවූ සිතුවිල්ලක් නිසාය. 

Wednesday, 19 April 2023

නිර් භීත වැඩක්....එක අතකට අහිංසක හා අවංක වෑයමක්.


තමාම ප්රබන්ධ විෂය බවට පත්කරගනිමින් ලියා ඇති විෂ්ණු වාසුගේ රස්තියාදු මතක සංචිතය 'සිම්පල් සයිමන්' නම් වේ. තමාගේම ජීවිත සත්යය ප්රබන්ධයකට ආසන්න තරම් ඇතැම් විට ඊටත් වඩා රමණීය වියමනකි එදිරිවීර සරච්චන්ද්රයන්ගේ 'පිං ඇති වරමක් දෙන්නේ' ස්ව චරිතාපදාන කෘතිය. තමාම තමාගෙන් බැහැරට ගෙන ගෙවී ගිය ජීවිතයේ හොඳ නරක විමසීමට සැලකිය යුතු ආත්ම ශක්තියක් මෙන්ම නිර් භීත බවක් කතෘකයාට තිබිය යුතුය. කමලා දාස් සිය ස්ව චරිතාපදානයේ සිය සැමියාට අමතරව පෙම් කළ අන් පිරිමි ගැන ලියා ඇත. ඒ නිසා කොංග්රස් පක්ෂයේ ප්රබල දේශපාලනඥයෙකු වූ සිය පුතණුවන්ට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවූ බව කියනු ලැබේ. එහෙත් ඇය ඒ හේතුවෙන් තමා ලියූ දේවල් ඉවත් කර ගත්තේවත් පාඨකයින්ගෙන් සමාව ඉල්ලා සිටියේවත් නැත. පසු කාලයක ඇය ස්වකීය හින්දු ආගම වෙනුවට සුෆී දහම වැළඳ ගත් අතර ඊටත් ටික කලකට පසු එයද අත්හැර දැමුවාය.
සරච්චන්ද්රයන් හා කමලා දාස් සිහිපත් වුණේ සිම්පල් සයිමන් ලියන විෂ්ණුගේ නිර්භීත බවට තව උදාහරණ ඇවැසි වූ නිසාය. අප (කපිල , චූලා, විෂ්ණු හා මම) 1981-1983 පමණ කාලයේ සාමුහිකව නිර්මාණ ජීවිතයකට ආරම්භක පියවරයන් තබන සමයේමත් ඔහුගේ අභිලාෂයන් ටිකක් අමුතු ඒවා විය. ඒ අමුතු මිනිහා ඇල්බෙයා කැමූගේ අමුතු මිනිහා මෙන් පිටස්තරයෙකු නොවී සාමාන්ය මිනිසෙකු සැරි නොසරින තරම් කලාපවල සැරි සරමින් අපූර්ව අත්දැකීම් හරි හම්බ කරගත් බව අපි දැන සිටියෙමු. එහෙත් ඒවායේ ප්රමාණය හා ආකාරය දැනගන්නේ සිම්පල් සයිමන් කෘතිය මගිනි. බොහිමියානු ජීවිතයක් ගතකරන්නට අපටත් ඇත්නම් යන්න අප වැනි බොහෝ දෙනෙකුට මතුවෙන සිතුවිල්ලකි. එහෙත් සම්ප්රදායික ජීවිතයක් ගතකරමින් දෙවන ජීවිතයක් ලෙස බොහීමියානු ජීවිතයක් ගතකළ නොහැකිය. ඒ තෝරා ගැනීම අරබයා අපට වන්දි ගෙවන්නට සිදුවන්නේ අපගේ සම්ප්රදායික ජීවිතයෙනි.
විෂ්ණු එ් වන්දිය ගෙවූ කෙනෙකි. සම්ප්රදායට යට නොවී සිය ආත්මය ඉල්ලා සිටින දිවිපෙවත තෝරාගත් ඔහු එහි ජයකෙහෙළි නැංවූ අයුරු හා ඉන් විඳි අතීත සුවය හා වර්තමාන සුවය අපට මෙම කෘතිය මගින් විස්තර කරයි.
කිසිදු භාෂා නියරක නොපිහිටා හැඟීම්වල ඇණවුම අනුව සකස් වූ භාෂාවක් ඔහු නිෂ්පාදනය කරගෙන ඇත. එය ඉතා මනරම්ය. මෙම කෘතියේ බරට එම රමණීය භාෂා විලාසය එකතුකර ඇති ප්රමාණය සුළුපටු නොවේ.විෂ්ණු මෙම කෘතියෙන් උත්තර භාරතීය සංගීතය 'සියල්ලම' යයි සිතන සමාජයකට කර්ණාටක සංගීතයේ රුව ගුණ පෙන්වා ඒ කලා නිධානයේ වපසරිය හා ගැඹුර පෙන්වා දෙයි. එය අපටත් සහභාගි විය හැකි සහානුභූති අත්දැකීමක් බවට පත්කරන්නේ සිය මනරම් භාෂාව ඇසුරින් ගොඩනගන විස්තර රටාව මගිනි.
මිනිසුන්ගේ ලෙන්ගතුකම්වල දිශානතීන් විවිධාකාරය. ඒ විවිධාකාරය පිළිගැනීම දියුණුවේ පමණක් නොව ශිෂ්ටත්වයේ අංගයකි. ඒ ලෙන්ගතුකම් ඔහු නඩත්තු කරන ජීවිතයේ ආත්මය වන්නාසේම අරුතද එයම වන්නේය. ඒ බව තමාම උදාහරණකොට විෂ්ණු සමාජයට පෙන්වයි.

අපිද සාපේක්ෂ වශයෙන් අභිලාෂ ඔස්සේ ජීවිතයේ දුර ගමන් ගිය උදවිය වෙමු. එහෙත් ඒ සැතපුම් ගනනිණි. එහෙත් විෂ්ණු සිය අභිලාෂ ඔස්සේ ගිය දුර මැනිය හැක්කේ යොදුන් ගණනිනි. එවැනි දුරක් යා හැක්කේ බොහිමියානුවෙකුටම පමණකි. 

Monday, 17 April 2023

නිමේෂයක්...එහෙත් එයද දිගුය.



සිත් ගගන දෙදරවන

අකල් සමයක පුපුරා ගිය

හෙණ හඬකි

ඝන අඳුරු අහස්කුස

හතර අත එළිය රේඛා මවාලූ.


ගිලී ඇති අඳුරේ තරම

පසක්කළ විදුලි රේඛාවකි.


හෝංපොලක් සදිසි

ගැඹුරු නිහඬබව

පසක් කරවන

ඇතිව නැතිව ගිය 

හෙණ හඬකි.