Tuesday, 5 December 2017

සහෝදරයා







සහෝදරයා
අන්තර් ජාලයට (විද්‍යාවට)පින් සිදුවන්නට කලාවන් යැයි හැ්‍ඳින්වෙන ඇතැම් දේ බැහැර කිරීමට අපට පුලුවන්කම ලැබී තිබේ. මවිසින් එසේ බැහැර කරන ලද්දකි සිංහල ටෙලි නාට්‍ය. එහෙත් සහෝදරයා ටෙලි නාට්‍යය එසේ බැහැර කිරීමට මට නොහැකි විය. මේ ටෙලි නාට්‍යය වෙනත් දෙයැකැයි මට හිතුනේ එකී කෘතියට දැමූ නම නිසාවෙනි. එය නැරඹීමට මා පෙළඹවූ ප්‍රධානම ආකර්ෂනය වූයේ ඒ ''අමුතු" නමයි. හිතන පතන තරැණයාගේ ඛේදවාචකය පිළිබ‍ඳ ව හතළිස් වසරකට ආසන්න කාලයක් තිස්සේ මගේ මතකය රිදවන කලා කෘතියක් වූ 'වල්මත්වූවෝ' මට බලපෑම් කර ඇත්තේ යම් සේද, 'ස හෝදරයා" ටෙලි නාට්‍යයද ඒ හා සමානව ඇතැම් විට ඊටත් වඩා අනාගතයේ මට බලපෑම් කරාවිද?
 
සියලු නිස්සාර දේ වපුරන වර්තමාන සිංහල ටෙලි නාට්‍ය නැවත ගොඩ ගැනීමට රැවන්ඩාව ගොඩ ගත් පෝල් කිගාමා කෙනෙකු වීමට නාමල් ජයසිංහට හැකිවේද?
වල්මත්වූවෝ චිත්‍රපටයේ උපාධිධරයාගේ (ෂර්ලි ගෝමස්) ගේ මිනී පෙට්ටිය වහන විට මගේ කඳුලක් ඇස් කෙවෙනියෙන් පිටතට ගලා ගියා අදටත් මතක තියේ. එවැනි සමාන අත්දැකීම් එකළ අපේ සිනමා ලෝලී මිතුරන්ට තිබූ බවද මම දනිමි. එමෙන්ම රජීව්ගේ මරණයෙන් තැවෙන උත්තරාදේවිගේ සමාන වෙලාවක මගේද ඇසට කඳුලක් නැංවීය. රඟපෑමේ හතර මායිමට කැඳවාගත නොයුතු 'නිළි" යන්ගේ  පුංචි තිරය තුලත් ඉන් පිටතත් දකින විකාර රංගන අබියස මේ නවක නිළිය සහෝදරයා ටෙලි නාට්‍ය මත තබන්නේ බරැති පියවරකි.
තුමි‍ඳු, රොෂාන්, චමිලා, ධර්මප්‍රිය ඇතුලු සියල්ලෝම පාහේ සිය රංගනයෙන් අපූරු යුක්තියක් ටෙලි නාට්‍යට එකතු කර ඇත. විශේෂයෙන් කලා අධ්‍යක්ෂවරයා සහ වේෂ නිරෑපන ශිල්පියා ටෙලි නාට්‍යය චිත්‍රපටයක් දක්වා ඔසවා තබන්නට සමත් වී තිබේ. උත්තරා දේවිගේ මැද පංතික ස්වරෑපය සැකසීමේ දී ඔවුන් දක්වා ඇති කුසලතාවය අපූරුය.
සංවාදය ඇණ හිට නොව වල්මත්වී ඇති සමාජයක කලාකෘතිවලට ඒ වල්මත්වීම සෘජුව හෝ වක්‍රව බලපායි. ඒ බව කලාකෘති පිළිබඳ විශ්ලේෂණයේ දී හොඳ හැටි දැක ගත හැකිය.
තමා ජීවත්වන වටපිටාවේ බිහිසුණු නිර්දය බව සංයමයෙන් යුතුව කලාකෘතියකට ගොනුකොට ගල් ගැසුනු සමාජයේ නිදි ගැට කඩන්නට සහෝදරයා සමත් වනු ඇද්ද? ඒ කවර මට්ටමකටද? එය මට කිව නොහැක්කකි.
මා සහෝදරයා 6වන එපිසෝඩය බැලුවේ ඊයේ (දෙසැ 4) මැදියම් රැයෙහිය.රජීව්ගේ මරණය ගැන විමසන්නට පැමිණෙන 'මාධ්‍යවේදියාට" රොෂාන් පහර දෙන විට 'මේන්් මාධ්‍යවේදියෙකුට පහර දෙනවා "  යන විකට උත්ප්‍රාසජනක කියමන මගේ කෙටි නින්දටත් බාධා කළේය. අපි නිතර කතා බහ  කරන ජනමාධ්‍ය වැටී ඇති නින්දා සහගත විකාර තැන ගැන වචන දහස් ගණනකින් ලියා ඒත්තු ගැන්විය යුතු වේදනයක් ඒ දෝංකාරයෙන් මට ඇසුණි.
කිසිදා නොදුටු කිසිදා ඇසුරැ නොකළ නාමල් ජයසිංහ අනාගතයේ දවසක මුණගැසීමට ආසාවෙන් සිටින්නේ 'සහෝදරයා" තුලින් පෙනෙන ඔහුගේ නිර්භීත කමට ගරැ කිරීමටත් එක්කය.
චන්ද්‍ර්‍රරත්න බණ්ඩාර

Friday, 24 November 2017

යහපත් භෞතික ජීවිතයක් සඳහා භාවනාව







       බුදු දහම විසින් ලෝක ශිෂ්ටාචාරයට දායාද කළ මාහැඟි ධනය භාවනාව යයි සිතමි. බුදුන් වහන්සේ සිය ඉගැන්වීම් ඔස්සේ අනාගත ලෝකය විසින් එහි යහපත සඳහා පාවිච්චි කරතැයි සිතා පහදා දුන් කරැණා මෛත්‍රියාදි ගුණ ධර්ම උන් වහන්සේ අදහස් කළ අයුරින් ස්ථාපිත නොවීය.නැතහොත් කාලයාගේ ඇවෑමෙන් එවැනි මාහැඟි අධ්‍යාත්මික චර්යාවන් පවත්වාගෙන යාහැකි ක්‍රම වේදයන් බෙෳද්ධයා විසින් කාලයාගේ ඇවෑමෙන් අහිමි කර ගත්තේය. එහෙත් භාවනාව යනු ශාස්තෘවරයෙකු විසින් ලොවට තිළිණ කළ උතුම්ම ධනයයි.ඒ බව විදර්ශනා භාවනාව ගැන විග්‍රහ කරමින් ඕෂෝද පවසා ඇත.


     භාවනාව එලොව ජය ගැනීමට යානයක් කර ගත හැකිදැ යි මම නොදනිමි. එහෙත්  අවට පරිසරය හා සුසංවාදිව යා වීමට නම් භාවනාව යානයක් කර ගත හැකිය. තමාට තමාව කියවා ගැනීම භාවනාව මගින් ලැබෙන පළමු හැකියාවයි.තමා දන්නා ප්‍රමාණයත් නොදන්නා ප්‍රමාණයත් එමගින් තමාටම පසක් කර ගත හැකිය. එලෙස තමාව මැනවින් අවබෝධ කර ගන්නා තැනැත්තාට ප්‍රේමයේ දී වේවා, සමාජ විෂයයන්වලදී වේවා , වෙනත් අභියෝග හමුවේදී වේවා,තමා විසින් තමාටත් අනෙකාටත් කෙරෙන හිත් තැලුම් අවම කරමින් ඒ විෂයයන්හි නියලිය හැකිය.


     බුදු දහම විසින් පරිසමාප්ත විෂයයක් බවට පත් කළ භාවනාව , එහි අදාළත්වය නිසාම මහයානික විද්වතුන් එය ප්‍රගුණ කිරීමට ඇති මං පෙත් තව තවත් විවර කළේය. වනයක හෝ තාපසාරාමයක කරන බවුන් වැඩීම පමනක් දැන සිටි බෞද්ධ සමාජය එළඹ සිටි සිහිය ලබා  ගැනීමට කරන හැම දෙයක්ම භාවනාව යන පුලුල් වර්ගීකරණයට ලක් කළහ. භාවනාව සඳහා භාවිතා කරන සංගීත නිර්මාණ ඔබ අසා ඇති.

Friday, 22 September 2017

බිහිසුණු යුගයක බිහිදොර





       මහින්ද රාජපක්ෂගෙ කාලෙ ඔහුගේ රෙජීමය අහිමි කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි දිනා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. හැට දෙලක්ෂයක් ජනතාව ඒ බලාපොරොත්තුව ඉෂ්ට කළා. බොහෝ අපි‍්‍රකානු හා ලතින් ඇමෙරිකානු රටවල වගේ  ඕනෑ දෙයක් වෙච්චදෙන් කියා ඔහේ ඉන්න ජනතාවක් නොව යම් විමුක්ති අවකාශයක් නඩත්තු කරන බහු ජනතාවක් ඉන්න බව එකී ජනතාව විසින් 2015 ජනවාරි 08 වනදා ඔප්පු කොට පෙන්නුවා.


       ඒත් ඔවුන් දහසක් බලාපොරොත්තු ඇතිව පත්කර ගත්ත ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය විහිලූවක් කරලා එය එපා කරවමින් ඉන්නෙ. ඒක ජනයාගෙ විමුක්ති බලාපොරොත්තු සුන් කරලා ‘කරුමෙ’ වගේ දේකට පසු බැස්ස වීමක් කියලා මට හිතෙන්නෙ.


        අද ශිෂ්‍යයො , වෘත්තිකයො සියල්ලෝම මහපාරේ. හොරු නිදැල්ලෙ හොරකම් කරනවා. පාලකයො අපට කියන්නෙ ඒක නිදහස කියලා. නෑ ඒක නිදහස නෙවේ. ඒකට කියන්නෙ වැරදි දේශපාලන කළමනාකරණයෙ ප‍්‍රථිපල කියලා. ඒත් එක්ක ලොකු දෙන්නම අපට නොකියා කියනවා ජනවාරි 8 බලාපොරොත්තු සියල්ල සිතින් ඉවත් කරගන්නා ලෙස.


          ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව නිදහස අතීත  විශිෂ්ටයන්ගෙන් ලැබුණු උරුමයක් මිස අද දේශපාලනයෙ නියුතු අයගෙ ඒවා සිය න්‍යාය පත‍්‍රවල නෑ.

Monday, 24 July 2017

අප්පච්චි






අද තෙක් ආවා මේ ගමන
ඔබ දුන් හයියෙන්.......
මට හැකිවෙයිද බැරිවෙයිද නොදනිමි
යන්නට ඉදිරියට නොදුන්නොත් ඔබ සුරත

කදු වැටි සමතලා කොට
තනා දුන් නිවස
දොර ඇර තිබූ
සිංහ ගල්ලෙන

හිරු ඔබ විය සැරට පායන
එහෙයින් පිබිදුනි අප
කොද කැකුළුවක සිට සුපිපි වන මල් සේ

රෑට ඔබ සදු විය
මහ සැඩ රශ්මිය පළවා හරින
ඝන සීතල වුව මුන නොගස්වන

රෝ දුකින් සිරුර පෙලනා නමුත්
සිහ රදෙකු සේ හැසිරිණි
මිනිස් වග වෙත වග ඵල නොකියන
මිනිස් වග වලසුන් අතර

හීන්දෑරී උස මිනිසෙකු වූ ඔබ
සිහින් බද සහිත පහන් කනුවක් සේ
පාර පෙන්වීය
අප හැමෝටම

(අප්පච්චී මියගියේ අද වැනි ජූලි 24 වන දාකය.)

Sunday, 14 May 2017

වෙසක් පිළිබඳ අතීතකාම මතකය.





          මම සිංහල අවුරුද්දට වඩා වෙසක් එකට වැඩියෙන් කැමතිය. එය මගේ අතීත මතක කලාපයේ වැඩි ඉඩක් එළිය කරයි. වෙසක් කියන විට මතක් වෙන්නේ අපේ ගෙදර අද්දරින් ගැලූ මා ඔය දෑලේ පිහිටා තිබූ සපු ගස් දෙකය. සපුමල් සුවඳ තරම් හදවතට ගිලා බහින මතක සිටින ස්වාභාවික පරිසරයෙන් ආ සුවඳක් මා විඳ නැති තරම්ය. ඊළඟට අරලිය මල් සුවඳය. ලෝකයේ අග නගරයක වසර පහළොවක් තිස්සේ ජීවත්වන මම ගමට යන්නේ මේ දෙ- සුවඳ කියා දෙන මං පෙත් ඔස්සේය.
          අද මම ගමට යන විට හැට හැත්තෑව දශකයේ ඒ භෞතික ගම නැත. කුඹුරු යායවල් පුරන් වෙන්නට ඇර තිබේ.  සපු ගස් දැව වශයෙන් ගෙන ඇත. පන්සලට යන පාර දිගේ තිබූ තේජාන්විත අරලිය ගස් පවා හේතුවක් නැතිව කපා දමා තිබේ. මගේ සෑම පොතකම පාහේ තිබූ පරිසරයේ හැඩ රුව කාබාසීනියා වී ඇත. එදා දෙකන්නයේ වගාවට වෙන් කෙරුණු කුඹුරු හා කඳු වැටි වගා නොකරන්නේය. ඒ නිසා උසට වැඩුණු ගහ කොල විනාශ කිරීමට සහ ඉඩෝර කාලයේ ගිනි තැබීම නිසා අක්කර ගණනක් මුඩුබිම් පෑදී ඇත්තේ උඳගොව්වා කෑ අප‍්‍රසන්න හිසක විලාසයෙනි.

        මහ ඉහළින් පැවැත්වුණු 2600 බුද්ධ සැමරුම් වර්ෂයේ වෙසක් සිරි නැරඹීමට මම මගේ අතීත සැමරුම් බිම් වල ඇවිද්දෙමි. මා අතීත කාමයෙන් සිහිපත් කරන අවධියේ අපේ ගම්පලාත්වලට විදුලිය නොතිබිණි. වෙසක් එක එළිය වුනේ බකට් පහන්වලිනි. වෙසක් කූඩු වලිනි. ඈත කඳු වැටිවල එල්ලී ඇති බකට් පහන් දෙතුන් දොහක් තිස්සේ මනරම් දසුන් මැවීය. ගමේ රජ මහා විහාරයට යා යුත්තේ අප නිවස පසු කරගෙනය.  මහ සෙනග දෙදිනක් පුරා අප ගේ ඉදිරිපසින් පන්සලට ඇදේ.
      මේ දසුන් අද නැත. හාමුදුරුවෝ පන්සලේ නැත. නඩු හබවල, ගලබොඩ අත්තේගේ රැුස්වීම්වල, මහින්ද රාජපක්ෂ යන එන උත්සවලට හාමුරුදුවෝ පිටත්ව ගොසිනි.ලංකාවේ සංස්කෘතික විපරිනාමය සිදුවී ඇත්තේ මෙයාකාරයටය.
       යෙහොවාගේ සාක්ෂිකාරයන්ගේ ලෙඩ සුව කිරීමේ රැුස්වීම්වලට දහස් ගණන් බැතිමතුන් පැමිණෙති. ඒ එන ඔක්කෝම ලෙඞ්ඩුය. සදහම් ආශ‍්‍රමවලට නන් වැදෑරුම් අසපුවලට ද එලෙසින්ම දහස් ගනන් බැතිමතුන් පැමිණෙයි. ඔවුන් ද ලෙඞ්ඩුය. මේ අසපු නිසා අනවශ්‍ය තරමට ආගමික වීමෙන් කැඞී බිඳී ගිය පවුල් ගණනාවක් ගැන මම දනිමි.
         ඔයාකාර ආගමුත්, අවර ගනයේ කලාවත් පවිටු දේශපාලකයන්ට ගැලවී සිටීමේ හොඳ උගුල්ය. ඒ උගුල්වලින් අපේ ඉතිහාසයේ බොහෝ දේශපාලකයෝ හොඳින් වැඩ ගත්හ.
          පුරාතන බුදු දහම ශී‍්‍ර ලංකාවේ සංස්කෘතිය නිර්මාණය කිරීමේදී මහ මෙහෙවරක් ඉටු කළෝය. පුරාණ යතිවර සම්ප‍්‍රදාය වනාහී ලංකාවේ සංස්කෘතික අලංකරණයට මග පෑදුහ. හික්කඩුවේ ශී‍්‍ර සුමංගල, රත්මලානේ ශී‍්‍ර ධර්මාරාම, ලූණුපොකුණේ ධර්මානන්ද, කොත්මලේ ශී‍්‍ර ධර්මානන්ද, විදුරපොල පියතිස්ස, පැලෑනේ සිරි වජිරඥාන, වැලිපිටියේ සෝරත, කිරිවත්තුඩුවේ ශී‍්‍ර ප‍්‍රඥාසාර, කොටහේනේ පඤ්ඤාකිත්ති, පොල්වත්තේ ශි‍්‍ර බුද්ධධත්ත, තෙල්වත්තේ ශී‍්‍ර අමරවංශ, උඩකැන්දවිල සිරි සරණංකර ආදි භික්ෂු උතුමන්ලා ඒ වියත් යුග මෙහෙවරට බරසාර ලෙස උරදුන්හ. මේ උතුමන්ගේ ශාස්තී‍්‍රය මෙහෙවරට අලගුවත් තිබිය හැකි එක් භික්ෂුවක් හෝ අප අතර සිටීද? බුද්ධි සම්ප‍්‍රදාය වැනසී ගිය බුදු දහමක අසිරිය මෙවැනි වෙසක් උත්සවවලින් වුව පෙනේ.

සුනිල් මිහිදුකුල - සිනමා මාධ්‍යවේදයේ බලවත් සළකුණක්



         සුනිල් මිහිඳුකුල ගැන ලියන්නේ ඔහු අසනීප වූ නිසා දැයි කෙනෙකුට ඇසිය හැකිය. එය එසේ විය හැකිය. ජීවිතයේ මොකක් හෝ කඩ ඉමක් නැත්නම් ගුණ කතා ලියවෙන්නේ නැත. එය අපේ රටේ පමණක් නොව ලෝකයේම හැටිය. එහෙත් දේශපාලකයන්ට එය එසේ වන්නේ නැත. ඔවුන් නිරන්තර යාවත් කාලීන වෙයි. බලයේ දිසාවට යන ඔවුන් වටා රොද බදින මිනිසුන් වඩා ලංවීම උදෙසා ගුණ ගයති. වයති. ලියති.
     සුනිල් යනු අපේ පරම්පරාවේ මිනිසෙකි. අපි එකටම වාගේ මාධ්‍ය වෙත සමීප වූවෝ වෙමු. ගාමිණී විජේතුංග  නම් වූ දැවැන්ත නිර්මාණශීලී ජනමාධ්‍යවේදියාගේ ගමන් මග ඔස්සේ පසු පසින් ගෑටු අපට වින්සන්ට් පෙරියපෙරුම නම් වූ ගාමිණීගේ දෙවෙනියා මාධ්‍යයේ විනය කුමක්දැයි බලා හැදෙන්නට තමාම උදාහරණ වූ හොඳ මිනිසෙකි. මා දෙසතිය වෙත කැඳවාගෙන ආවේ පි‍්‍රයන්ජන් සුරේෂ් ද සිල්වාය. ඒ දෙසතිය නම් වූ පොකුණේ වූ අලංකාර  මාලූවෙකි සුනිල් මිහිඳුකුල. ඔහු තමා නියැලි සිනමා මාධ්‍ය ගැන බැ?රුම්ව සිතූ කෙනෙකි. පිළිවෙලට ඇන්ද පැලැන්ද හිස පීරු ඔහු සුරාජිගේ පේ‍්‍රමය මුණ ගැසී විවාහයකින් ද කෙළවර වූ පසු වෙලාවට ගෙදර ගිය විනයානුකූල ස්වාමි පුරුෂයෙක් ද විය.
      කෑමට බීමට පමණ ඉක්මවා ලොල් නොවූ සුනිල් මිහිඳුකුලට කන බොන මිනිසුන්ට හැදෙන අසනීපයක් මාරාන්තිකව වැළඳීම මට නම් අදහා ගත නොහැක්කකි.
      සුනිල් දෙසතියේ සිටිද්දී සිනමාකරුවන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡුාවල විශේෂයක් තිබුණි. ඒ ඔහු අසන ප‍්‍රශ්නය සාකච්ඡුාකරුවාගේ උත්තරයට වඩා දිගු වීමයි. සුනිල්ගේ ප‍්‍රශ්නවල අන්තර්ගතය විශාලය. එහෙයින් උත්තරකරු දෙන්නට හිටින උත්තරයේ කොටසක්ද ප‍්‍රශ්නයේ ගැබ්වෙන හෙයින් උත්තරය කෙටි වීම බලාපොරොත්තු විය යුතුය. මේ පිළිබඳව රංගවේදී මනෝරත්නයන්ට ලස්සන කතා තිබේ.
       මගේ විශ්වාසයේ හැටියට සුනිල් මිහිඳුකුල සිනමාව ගැන තිබුණු භක්ත්‍යාදරය ජයවිලාල් විලේගොඩට වඩා වැඩි එකකි. ජයවිලාල් කලාත්මක සිනමාව යම් තැනකින් එහා ගැඹුරට යාම නොඉවසුවෙකි. එහෙත් සුනිල් කලාත්මක ගැඹුරු සිනමාවද (ලෙස්ටර් පතී වසන්ත ඔබේසේකර) සමාන්තර සිනමාවද (එච් ඞී පේ‍්‍රමරත්න විසින් උත්කර්ෂයට නැංවූ) යන මාවත් දෙකම සිංහල සිනමාව වශයෙන් පැවතිය යුතු බව ඇදහූවෙකි. ඔහුගේ සිනමා මාධ්‍ය කලාව සමාන්තර මාධ්‍ය කලාවක් ලෙස හැඳින්වීමේද වරදක් නැත.
සිනමා මාධ්‍යවේදියෙකුගේ වර්ධනය රටේ සිනමාවේ ගනිකයන් අනුව සිදුවන්නකි. එහෙත් ලංකාවේ වඩාත්ම බිඳ වැටුණු කලා මාධ්‍යය සිනමාව වන කලක සිනමා මාධ්‍යවේදියෙකු ගේ උසස් ඵලදායිකත්වයක් බලාපොරොත්තු විය නොහැකිය. සුනිල් මේ සංක‍්‍රාන්ති සමයේ සිනමා මාධ්‍ය තෝරාගත් අයෙකි. ඔහු ක්ෂේත‍්‍රයට ඇතුළුවුණු 70  දශකයේ අග භාගයේ සිංහල සිනමාවක් හා ඒ සඳහා වෙසෙන වෘත්තිය කණ්ඩායම් විය. එහෙත් ඒ සිනමා කර්මාන්තයක් වශයෙන් මිය යන්නට පටන් අරගෙන තිබුණු අවධියකි. එහෙත් සුනිල් සිනමා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ බල පුළුවන්කාරයෙක් වන විට සිනමාව ඇද වැටී හමාරය. ප‍්‍රසන්න, අශෝක හඳගම වැනි කිහිප දෙනෙකුගේ උත්සාහයන් හා දේශපාලනික වැඩ පිළිවෙළක අංගයන් ලෙස බිහි වූ  අබා, දුටු ගැමුණු හා ඊනියා දේශපේ‍්‍රමි චිත‍්‍රපට හැරුණු කොට අද දවසේ ඇති නටබුන් සිනමාව තුළ සුනිල් වැනි කැපවුණු සිනමා මාධ්‍යවේදියකුට කරන්නට දෙයක් නැත. ජයවිලාල් විලේගොඩ හෝ කරුණාසේන ජයලත් වැනි විචාරකයන් තරමට සුනිල් මිහිඳුකුල තම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වර නොනැගෙන්නේ සුනිල්ගේ වරදක් නිසා නොව සිනමාව නම් වූ විෂය නටබුන් වූ නිසාවෙනි.
        සුනිල් හා අප එකම මාධ්‍ය ආයතනයක ආධුනික මාධ්‍යවේදීන් ලෙස සේවය කරන සමයේ ඔහුගෙන් වහනය වූ ගුණ සුවඳක් දුටිමි. එනම් තමා නිරත දෘෂ්‍යමාධ්‍ය වැඩිදුර හැදෑරීමට තිබූ අනවරතන උත්සාහයයි. එකල සිනමා මාධ්‍ය විෂයයේ ප‍්‍රවීණයන් වූ නීල්, අයි පෙරේරා, පියසිරි නාගහවත්ත, පියල් සෝමරත්න, ඇෂ්ලි රත්නවිභූෂණ, ලෙස්ලි බොතේජු වැන්නන් සමග සුනිල්ට සමීප සබඳතා තිබුණෙන් ඒ ඇසුර ඔහුගේ සිනමා මාධ්‍යවේදයේ වර්ධනය සඳහා උපකාර වූ බව මගේ හැඟීමයි.
         මා වෘත්තිය මාධ්‍ය ජීවිතයෙන් ඉවත්වීමත් සමග සුනිල් සමග ළඟ ඇසුර අහිමි විය. එහෙත් සුනිල් සිය මාධ්‍යවේදයේ ඉහළටම ගියේය. පොත පත ලිව්වේය. ජූරි සභාවල අසුන් ගත්තේය. මේ සෑම තැනකම ඔහුගේ කැපවීම අවංක ද අභිවෘද්ධි දායක ද වූ බව තුඩ තුඩ රැුඳී ඇති රාවයයි. සුනිල් ඔහු තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයේ ගම්භීරව ගරුත්වයෙන් යුතුව රැුඳී සිටියේය. එහෙයිනි. ඔහුගේ සගයන්ට පමණක් නොව ඔහුගේ පාඨකයන්ටද ඔහුගේ රෝගී පීඩාදිය ගැන වේදනාවක් දැනෙන්නේ.
                  චන්ද්‍රරත්න බණ්ඩාර