Friday, 20 May 2016

ගංවතුරෙ ගසාගෙන නොයන යමක්


       අප මාක්ස්වාදයෙන් ඉගෙන තිබෙන්නේ සුබ සාධනය වැඩකට නැති ධනේෂ්වරයටම උඩගෙඩි දෙන කි‍්‍රයාවලියක් ලෙසටය.
  
      ඒත් එය ඇත්තක් නොවන බව වැටහෙන්නේ දැන්ය. ගංවතුරක් වැනි ස්වභාවික විපතකදී සුබසාධන කි‍්‍රයාවලියක් මිනිසුන්ගේ අවසන් ජීව පොද රක දෙයි.

          ජනතා විමුක්ති පෙරමුණේ සහන කණ්ඩායම් දැන් ගංවතුරෙන් පීඩිත අනාථයන් අතරට ගොස් ඔවුන්ගේ පීඩාවන්ට පිහිටක් වෙමින් සිටී. චක‍්‍රලේඛ හා නිලධාරිවාදය පලිහක් කරගන්නා රාජ්‍ය ආයතන යමක් කරන මන්දගාමී විලාසයට වඩා ගංවතුර වේගවත්ය. ඒ   වේගයට ගැලපෙන්නට ජවිපෙ උත්සාහ කරමින් සිටී.
  
         දර්ශනයට වඩා අවංකකම අදූෂිත බව උසස් කොට සලකන ජවිපෙට රතුපාටින් තැඹිලි පාටට හැරුනොත් රටට මීට වඩා යහපතක් කරන්නට හැකිවෙතැයි සිතමි.

Thursday, 12 May 2016

Canada is a multicultural society




Canada is a multicultural society in the true meaning of multiculturalism’.

Major mainstream newspapers such as ‘Globe & Mail’ ‘Toronto Star’ plus TV and radio stations such as CBC, City TV etc.  play the major role in the national media.

In addition, there is large number of community newspapers, community radio stations and community TV stations operate by a large number of ethnic and cultural groups and organizations throughout the country.

The community media organizations (Newspaper, TV staions.Radio stations etc.) hold membership with a collective long standing body called’ ’National Ethnic Media Council ‘in Canada.

The current President of the Council is Mr. Thomas.D. Sara belonging to the Greek ethnic community in Toronto. He is involved with the media matters and publications related to the Greek community in Canada. He is a multilingual media person who has been living in Canada for close to 37 years.

 I am a member of the ‘National Ethnic Media Council’ as I publish a Sri Lankan community monthly newspaper called’Yathra’ with a circulation of 7000-10000 per month. ‘Yathra’ has been in continuous publication in Canada since 2006.

Recently Mr. Charles Sousa, the Hon.Finance Minister of the Ontario provincial government made a presentation to our council about the 2016 Ontario budget and about the media related issues in Ontario.

He was particularly interested in listening to the opinions, comments and suggestions of the membership of the ‘National Ethnic Media Council’ during the presentation.

I and many of the members who attended the presentation were highly impressed with the knowledge, and the other capacities and the way Mr. Charles Sousa conducted the proceeding during that day.

When I was reflecting about this presentation, my mind naturally travelled to the way these things happen in my mother country even at this very moment. The way our egocentric, inefficient, ignorant politicians and ministers behave and perform these tasks deluding themselves that they know everything about the subject. Frankly most of them do not bother to study things deeply. Also they do not have an open minded attitude like Mr. Sousa to learn from a practical engaged audience.

I am herewith posting some pictures taken with Mr.Chalres Sousa and Mr. Thomas. Sara.

Wednesday, 11 May 2016

වලාකුළු බැම්ම ගැන ගීතයක්

https://www.youtube.com/watch?v=WrEq3fk8Nwk



මගේ වලාකුළු බැම්ම නවකතාව ටොරොන්ටෝ පාඨකයන්ට හඳුන්වා දීමේ සම්භාෂනයක් 2016 අපේ‍්‍රල් 03 වන දින ප‍්‍රවීන නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ප‍්‍රධානත්වයෙන් මිසසාගා වැලි ප‍්‍රජා ශාලාවේදී පැවැත්විණි . එහිදී මගේ දීර්ඝ කාලීන මිත‍්‍ර සංගීතවේදී කිත්සිරි ජයසේකරයන් මවෙත සිය සහෝදරත්වය දැක්වූයේ වලාකුළු බැම්ම තේමාවට උචිතව සිය මියුරු හඩින් ගීයක් ගැයීමෙනි . ගීයේ පද ගැලපුනේ මා අතිනි. සිය මිතුරුදම් වෙනුවෙන් ඒ කල කැපවීමට කිත්සිරිට මා සදා තුති පුදමි. මෙහි කැමරාකරණය සුනිමල් බාලසූරියයන්ගෙනි. අප හඳුනා ගත් මුල් දවස්වල සිටම මගේ නිර්මාණ හා පෞද්ගලික ජීවිතයේ දී සමීපව සිටින සුනිමල් මහත් වෙහෙසක් දරා මෙම කටයුත්ත ඉටුකළ බව කිව යුතුය. එසේම ප‍්‍රවීන කැමරා ශිල්පි පුෂ්පකුමාර රාජගුරු ද කැමරාකරණයෙන් එදා අගනා සහයක් ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය ආම්පන්න ආදිය සපයා දෙමින් සහය දැක්වූයේ අපගේ දීර්ඝ කාලීන මිතුරන් වූ අජිත් හා ගජිත් ජිනදාස පිය පුතු දෙපලය. කැනඩාවේ ප‍්‍රචලිත ශී‍්‍ර ලාංකික රූපවාහීනී සේවාව ‘කලාකවය’ වෙනුවෙන් වීරා ෆොන්සේකා ද කැමරාකරණයෙන් සහය විය.
මේ සියල්ල සිදුවූයේ සහෝදරත්වයේ සීමා මායිම් තුළ වීම නිසා ඒ උදව් උපකාරවලට නව වටිනාකමක් හිමිවිය යුතු නේද?

Sunday, 24 April 2016

සෝමපාල හේවාකපුගේ




මෙම ලිපිය රාවය පුවත්පතේ 2016-04-24 දින පලවූවකි.


බලවත් සංස්කෘතික මිනිසෙකුගේ අහිමිවීමක්
          කලා ක්ෂේත‍්‍රයේ නිමග්න බොහෝ උදවියට සෝමපාල හේවාකපුගේ සමග බෙදා හදාගත් චමත්කාරජනක ජීවන අත්දැකීම් සමුදායක් තිබිණි. ඔහුගේ මරණයත් සමග මතක වැස්සක් පරිද්දෙන් ඒ අත්දැකීම් සමුදාය මාධ්‍ය හරහා බෙදා හදා ගැණිනි. සෝමේ හා මගේ ඇසුර ඇරඹෙන්නේ මීට වසර තිහක පමණ කාලයක සිටය. ඔහු අපූරු චමත්කාර ජනක හා ශක්තිමත් ගමන් සගයෙකු විය. ඔහුගේ මිතුරු ජාලයට ඇතුලත් වූ කවර තරාතිරමේ පුද්ගලයෙකු වේවා එකම සමානත්වයකින් ඇසුරු කළේය. අමරදේව පණීභාරත චිත‍්‍රසේන කේමදාස මනෝ දිද්දෙණිය රෝහණ නිමල් ලක්ෂ්මන් හඳගම වේවා අප වැනි ඊට වඩා බොහෝ පහල තලයක අයෙකු වේවා මිත‍්‍රයෙකු නම් සෝමේට ඒ සියල්ලම සමාන මිතුරන්ම විය.
         ඔහු අඩපන වී මියයමින් සිටියේ තරමක කාලයක සිටය. ගිය වසරේ සැප්තැම්බරයේ රෝගීව සයනාසනව සිටි සෝමේ බලන්නට ගිය විට පැරණි පුරුදු සතුටෙන්ම ඔහු අපව පිනවීය. අභාග්‍ය සම්පන්න රෝගී ඉරණමකට කලක් තිස්සේ  ගොදුරු වී සිටි ඔහුට ප‍්‍රබෝධමත් ජීවන හුස්මක්  ආපසු ලැබුණු බව පැවසුවේ නිමල් ඒකනායකය. ආපසු ලබා ගැනීමේ චේතනාවෙන් තොරව මිත‍්‍ර ප‍්‍රජාවකට කළ මෙහෙවර කෘතගුණයක් ලෙස නැවත ඒ මිතුරන් විසින්ම ලෙඩ ඇඳට වැටුණු සගයාට නැවත පුදා තිබුණු නිසාය ඒ.
          සෝමපාල හේවාකපුගේ යනු සැබෑ සංස්කෘතික මිනිසෙකි. මගේ ඔහු කෙරේ වන ළබැඳියාව අභිබවා මා විසින් සෝමේ හඳුනා ගන්නේ එලෙසිනි. සෝමපාල හේවාකපුගේ වැනි සංස්කෘතික මිනිසුන් තැනූ සමාජ පරිසරය ශී‍්‍ර ලංකාව තුළින් අහෝසි වී ඇති බව මගේ හැඟීමයි. අශෝක හඳගම කියනා පරිද්දෙන් සිනාව අමතක වූ සමාජයක ජීවත් වන අපට සෝමේ සිනාවේ තෙත් බව කියා දුන් දෙවියෙක් බඳු මිනිසෙක් විය.
          ශී‍්‍ර ලාංකීය කලාවේ ස්වර්ණමය දශකයක් වූ හැටේ දශකයේ සිට 21 වන සියවස දක්වා කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයේ නිරත නිර්මාණ කරුවන් සමග ගැවසුණු සෝමේ ඒ කාලය තුළ පරම්පරා අතර ගමන් කළ ¥තයෙකු බවට පත්වූ සත්පුරුෂයෙකි. එමෙන්ම පරම්පරා අතර මිතුරුදමේ පාලම් තැනූ මිනිසෙකි. එකල චව්කොස්කිගේ ීඅ්බ ක්නැ ඔහු අතට පත්වූ විට එය අසා රස විඳ ඔහුගේ මිතුරු ලැයිස්තුවේ සුදුස්සන් අතට එය පත් කළේ දැනුම හා රස විඳීම බෙදා හදා ගත යුතු දෙයක් යැයි විශ්වාස කළ හෙයිනි. ඔයැ ඛ්ිඑ ඔැපචඒඑසදබ  දෙ  ක්‍යරසිඑ බියගම මර්වින් පෙරේරා පියතුමාගේ ආස‍්‍රමයේදී ඔහු නරඹා තිබිණ. ඉනික්බිති සමහර හැන්දෑවල එය නැරඹිය යුතු යැයි සිතෙන පිරිස් ෂඡුඊ මුද්‍රණාලයට එක් රැුස් කොට කාගේ හෝ වාහනයකින් බියගමට ගෙන ගොස් එය නරඹන්නට සැලස්වූවා මට මතකය. එකිනෙකා හා මෙලෙස නරඹන හා විඳින කලාකෘති ගැන කතා කරන ඔහු ඒවායේ දී මතුවන අදහස් තම මිතුරන් අතර බෙදා හදා දුන්නේය. බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ වේවා, ඉන්දියානු සංස්කෘතිය මධ්‍යස්ථානයේ වේවා, ලූම්බිනියේ ලයනල් වෙන්ට්ඞ් හි වේවා උසස් කලා කෘතියක් නැරඹීමට අවස්ථාව ලැබුණු විට ඔහු ඒ තොරතුරු අනෙකුන් හා බෙදා හදා ගනිමින් ඒ ආස්වාදය ජනගත කළේය. සැබවින්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශයක සිට අග නගරයට සංක‍්‍රමණය වූ අපගේ උසස් කලා රසාස්වාදනයට මං පෙත් විවර කර දුන් මහෝත්තමයන් අතර කෙනෙකි සෝමපාල හේවා කපුගේ, එවැනිම අනෙක් තැනැත්තා දිවංගත පියසේන ගුණතිලකයන්ය. හැරල්ඞ් පීරිස් තවත් එවැන්නෙකි.
        මාතරින් කොළඹට පැමිණි සෝමේ සිය සොහොයුරා ඇසුරෙන් මුද්‍රණ කර්මාන්තයට පිවිසුණි. ද්විභාෂික උගතෙකු වූ ඔහුගේ මනරම් ආත්මය තුළ කළ එළියට නොගත් කලාකරුවෙකුද සිටියේය. ඔහු ලියූ ඇතැම් කවි එකළ මා සංස්කරණය කළ ‘මාර්ඟ’ සඟරාවේ පළ කර ඇත. අශෝක හඳගම සෝමේ තුළ සිටි විශේෂිත චරිතාංග නළුවා එළියට ගත්තේය. චිත‍්‍රසේන ලෙස්ටර් වැන්නන් සමග ඉංගිරිසියෙන් ගනුදෙනු කළ ඔහු බොහෝ දෙනා සමග සිංහලෙන් ගනු දෙනු කළේය.
        විවිධ පක්ෂවල ප‍්‍රබලයන් සෝමේගේ මිතුරන් වුවත් ඒ කිසි පක්ෂයක ඔහු අනුගාමිකයෙකු නොවීය. ඒ සියල්ල සමග ඔහු සම සිතින් ඇසුරු කළේය.  කලි කලහයන්ට මැදිවන සියලූ දෙයින් මිදී ඊට ඉහළින් සිටීමට හැකි සමත්කම සෝමේට තිබිණි.
          කලාකෘතියක් නිෂ්පාදනය වූ පමණින් එයට හිමි ආනුභාවය සමාජ ගත වන්නේ නැත.  ඒ සඳහා දියුණු සහෘද රසික පර්ෂදයක් අවශ්‍යය. හැටේ දශකයේ කලාව ආනුභාව සම්පන්න වන්නේ එදා තිබුණු ඒ රසික පර්ෂදය හරහාය. අද පවතින ප‍්‍රබුද්ධ රසික පර්ෂදයේ දුබල බව වත්මන් කලාවේ තත්වය මෙසේ වීමට බලපා ඇත. හැටේ දශකයේ කලාව හා කලාකරුවන් ඇසුරින් හුවමාරු වූ ඥාන සම්භාරය සෝමෙට බලපෑ අතර එයම කලාව වෙනුවෙන් යම් යම් පරිත්‍යාග කිරීමට ඔහු පෙළඹවීය. එමෙන්ම ඊට පසු යුගයක කලාව සිය ආත්ම ප‍්‍රකාශනය කරගත් බොහෝ උදවියට සෝමේ සිය අතීත අත්දැකීම් ඇසුරෙන් කියා දුන් බොහෝ දේ තම කලාවේ හැඩහුරුකම සකසා ගැනීමට බලපෑවේය.
        කවිය සිනමාව චිත‍්‍රය නවකතාව නර්තනය සංගීතය ප‍්‍රචාරණ කලාව වැනි විවිධ කලා මාධ්‍යයන්හි දැවැන්තයෝ ද ආධුනිකයෝ ද ෂඡුඊ ආයතනයට පැමිණ සෝමේ වටා ගොනු වූහ. මුද්‍රණ කටයුත්තකට පමණක් නොව මරදාන පැත්තේ ආ විට සෝමේගේ තැන රජයන හිතකාමී පරිසරය නිසා කලි කලහයෙන් මිදී සිතට සහනයක් පතාමත් බොහෝ උදවිය ඔහු හමුවට ගියහ. එතනදී අන්තර් විෂයයන්හි නිරත එකිනෙක කලාකරුවන්ගේ සංලාපයන්ට මඟ පෑදුනෝය. ‘තමා නිමග්න කලාවෙන් බැහැර අනෙක් කලාවක් සේවනය කිරීම තම කලා භාවිතය පෝෂණය කරන්නේය’ යන පාඩම මට කියා දුන්නේ පී මාමායයි අප හැඳින් වූ දිවංගත පියසේන ගුණතිලකයන්ගෙනි. එමෙන්ම අන්තර් කලා රසාස්වාදනය අපගේ එදිනෙදා ජිවිතයට බද්ධ වූ චමත්කාර ජනක පුරුද්දක් බවට පත් කිරීමට සෝමේ හා වූ ඇසුර බලපෑවේය. චිත‍්‍ර ප‍්‍රදර්ශනයකට, නර්තන උළෙලකට සංගීත ප‍්‍රසංගයකට. සරච්චන්ද්‍රයන්ගේ හෝ සුගතපාල ද සිල්වාගේ නාට්‍ය පුහුණුවක් නැරඹීමට සෝමේට පුද්ගලිකව ලැබෙන ආරාධනාවකට අපද කැටව ගියේය. පොදුවේ ඒවා ගැඹුරින් රස විඳීමට මං පෙත් සලසා දුන්නේය.
       මෑතක දී නිමල් ඒකනායක ‘සොක‍්‍රටීස්’  නිෂ්පාදනය කළේය. ආචාර්ය ජයලත් මනෝරත්න ‘හඬ නිහඬ’ නාට්‍යය නිෂ්පාදනය කළේය. නාට්‍ය දෙක නිෂ්පාදන අවදියේ පසුවෙද්දී මම මනෝ හා නිමල් සමග නිෂ්පාදන ගලායන ආකාරය ගැන විටින් විට කරුණු විමසීමි. දෙදෙනාටම ඒ සම්බන්ධ දුක් ගැනවිලි තිබිණ. මට හැඟී ගිය ආකාරයට ක්ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල ඒ දෙදෙනාටම අතීතයේදී චමත්කාර ජනක අත්දැකීමක් වූ නාට්‍ය නිෂ්පාදනය අද වෙහෙස කර අරගලයක් බවට පත්වී ඇති සෙයකි. චමත්කාරජනක ජීවන අත්දැකීමක සිට වෙහෙසකර අරගලයක් බවට පත්වීමට බලපෑ හේතු අතර එකක්  වන්නේ එවැනි කටයුතුවලට අනුප‍්‍රාණය සැපයූ සෝමේ වැනි සහෘදයන්ගේ සහාය නොලැබීම යයි සිතමි. සරච්චන්ද්‍රයන් හෝ සුගතපාල ද සිල්වා තම නාට්‍යයක පුහුණුවීම් බලන්නට සෝමේට ආරාධනා කරන්නේ නාට්‍ය වේදය හෝ එහි හැඩතල ගැන යමක් අසා දැන ගන්නට නොවේ. ලෙන්ගතු මිතුරුකමට අමතරව ප‍්‍රබුද්ධ රසිකයෙකුගේ අදහස් දැන ගැනීමේ අටියෙනි.
     අද අපේ සමාජය වනාහි බලවත් සේ දේශපාලනීකෘත වූ සමාජයකි. ඒ දේශපාලනයේ බලි බිලි බවට පත් වූ අපේ අගනා කලාකරුවෝ  එතෙක් තමන්ට සමාජය ඇමතීමට තිබූ පොදු වේදිකාව අහිමිකර ගෙන ඇත. සෝමේ මේ තත්වය කල්තියා දුටු මිනිසෙකි. සිය හිත මිතුරන් වූ මිනිසුන් පක්ෂ දේශපාලනයේ අත කොළු වන විට ඔහු කණස්සල්ලෙන් පසුවිය.
      මිතුරුදම් හොඳින් පැවැත්වීමේ හැකියාව නිර්මාණාත්මක දෙයකි. එමගින් සැපයෙන අනුප‍්‍රාණය මිනිසුන් ජීවත්කරවයි. සිය හිත මිතුරු කලාකරුවන් මැදිහත්වී ඔහු වෙනුවෙන් පැවැත්වූ ‘ආදරණීය සෝමේ’ ප‍්‍රසංගයේදී කලාකරුවෝ සෝමේගෙන් ලද අනුප‍්‍රාණය වචන දෙක තුනකින් පැවසීය. ඒ වචන කිහිපය මරණාසන්නව සිටි සෝමේ කලකට නැගිටවාලූහයි කියනු ලැබේ.
        දේශපාලකයන් පසුපස යන කලාකරුවන් ඔහුට කනස්සල්ලක් ගෙන දුන්නත් කලාවේ දේශපාලනය සෝමේට සතුටු සහගත බලාපොරොත්තුවක් විය. අශෝක හඳගම ‘චන්ද කින්නරී’ නිපද වූ විට ඒ වටිනා චිත‍්‍රපටියක් වන්නේ කෙසේදැයි කියමින් අප වෙනුවෙන් පූර්ව දර්ශනයක් සංවිධානය කර දුන්නේය. 88-89 බිහිසුණ වකවානුවේ ඒ භීෂණයම තේමා වූ ‘මාඝාත’ නාට්‍ය පිටපත අනුමත කරවා ගැනීමට සෝමේ දුන් සහය හඳගමයන් කෘතවේදීව සිහිපත් කරයි.
        අජිත් තිලකසේනයන් රජයේ සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටියදී ඔහුගේ ආර්ථිකයට සහායක් වශයෙන් ‘උපදේශක තනතුරක්’ දී ෂඡුඊ  ගේ මේසයක් පුටුවක් සකස් කර දුන්නේය. නොකර බැරිකමට පෲෆ් එකක් ද බලවා ගත්තේය. එහෙත් තිලකසේනයන්ගේ බඳවා ගැනීම ගැන සෝමේ මා සමග කීවේ වෙන කතාවකි. ‘මචං... අජිත් වගේ මිනිහෙක් ළඟ ඉන්නකොට මොන තරං දෙයක් ඉගෙන ගන්නවද? මං විතරක් නෙමෙයි. මෙතෙන්ට එන එවුනුත්... අයිය නම් විරුද්ධයි. ඒත් එයා විරුද්ධ වුණා කියල බෑනේ.’ එතැන් සිට ඔහුගේ කතා සරිත් සාගරය තුල අජිත් තිලකසේන කී කතා බොහොමයක් තිබිණි.
        තමන්ට හැකි නිසඟ හැකියාවන් පාවිච්චි කරමින් බුම්මාගෙන සිටි කලාකරුවන්ට සිනාසෙන්නට ඉගැන් වූයේ සෝමේය. තමාගේ කලාවේ මහන්තත්ත කමට අමතරව අනෙකුත් මහන්තත්ත කලාවන්ද ඒවා කරන මිනිසුන්ද සිටින බව සමහරුන්ට පසක් කර දුන්නේ ඔහුය. සියල්ලන්ගේ උස් කම් මිටි කළේත්ල මිටි කම් උස් කිරීමටත් ඔහුගේ ‘මචං’ කම බලපෑවේය. මාගේ සමස්ත ජීවිතය පුරා ‘මචං’ යන ඇමතුම මෙතරම් බලගතුව යෙ¥ මිනිසෙකු හමු වී නැති තරම්ය.
        සෝමපාල හේවාකපුගේ යනු ඉතිහාසගත චරිතයකි. ඔහු වෙනුවෙන් පොතක් ලිවීමට ප‍්‍රවීණ ලේඛිකා කැතලීන් ජයවර්ධන ඔහු ජීවතුන් අතර සිටියදීම ඉදිරිපත්වීම අපේ වර්ගයා වෙනුවෙන් කළ උතුම් කාර්යයකි. ඒ පොත ඔහුගේ ජීවිතයට කෙතෙක් අනුප‍්‍රාණය සැපයීද යන්න අන්තිමවරට ඔහු හමු වූ විට මට පසක් විය. ‘ආදරණීය සෝමේ’ ප‍්‍රසංගයද එවැන්නකි.
       සෝමපාල හේවාකපුගේ නම් වූ ප‍්‍රබල චරිතය ද එවැනි ගති ලක්ෂණ ඇති කුඩා චරිත ද බිහිවූ සමාජ අවකාශය අපට අහිමි වී ගොසිනි. එය සාමාජීය විකාශනයේ ප‍්‍රතිඵලයකි. ඔහු දුක්බර නිමේෂයන් පළවා හැරීමට සිය මිතුරුකම් පාවිච්චි කළේය. ඒ හිත මිතුරු කලාකරුවන්ගේ පුද්ගලික ජීවිතය පැත්තෙනි. ඔහු කලාවට සහය දුන්නේ කවුරුත් කියන සමරු කලාපය හෝ පෝස්ටරය මුද්‍රණය කරදීමෙන් පමණක් නොවේ. ඒ කලාකෘතිවල ඇතුලාන්තයටම උදව් කිරීමෙනි. ඒ කෘතිය හිමි කලාකරුවා මානසිකව නඟා සිටුවීමෙනි. එකී කලාකරුවා නොදුටු ඉම් පෙදෙස් පෙන්වා දීමෙනි.
         සෝමේ පසුගිය දශකයක පමණ කාලයක සිටියේ රෝගීව සයනාසනවය. එහෙත් ඔහුගේ අතීත මහා මෙහෙවර හේතුවෙන් අපට ඔහු සජීවී සහකරුවෙකු සේ දැණිනි.එහෙත් ඔහු කායිකවද අපව හැර යන විට මහා සතිපට්ඨානය සජ්ජායනය කරන විට දැනෙන සාංකාකුල හා බලවත් දුක්බර හැඟීමක් දැනෙයි. ඒ සා හැඟීමක් දැනෙන්නේ හෘදයංගම වූ මහාපුරුෂයන් කෙරේ පමණි.
ආදරණීය සෝමේ ඔබ එවැනි මහා පුරුෂයෙකි.
                                                           චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday, 7 April 2016

මනෝ රථ පූරක හෙවත් ආචාර්ය ජයලත් මනෝරත්න


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ ටොරොන්ටෝ ශාඛාව වාර්ෂිකව සංවිධානය කරන Back to Hantana  සුහද හමුවේ මෙවර ප‍්‍රධාන ආරාධිතයා ප‍්‍රවීන රංගවේද්ී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. මේ ලිපිය කුරුටු ගානා දිනට පසුදා මේ කටයුත්තට සහභාගි වීම පිණිස මනෝ ටොරොන්ටෝවට සම්ප‍්‍රාප්ත වෙයි. ඔහු පැමිණි දා සිට ආපසු යන තෙක් අපගේ හැසිරීම් රටා වෙනස් වෙයි. සිත සතුටින් පිරී යයි. ඔහු තරම් මව්බිමේ සිට පැමිණෙන අන් කිසිදු කලාකරුවෙකු අපගේ ජීවිතයට මෙතරම් බලපා නැතැයි සිතෙන තරම්ය. ලංකාවට සම්පතක් වූ මේ මාහැ`ගි මිනිසා ගැන ලියන්නට සිත් වූයේ ඉහත කරුණු හා තවත් කරුණු බොහොමයක් නිසාය.
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නැගෙනහිර මායිමෙන් ඇරඹෙන මාඔය දෑල ජනකතා ජනශ‍්‍රැති ගණනාවකට පාදක වන්නේය. මනෝ ගේ ඡන්ම භූමිය නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දියතිලක කෝරලගේ දෙහිපේ වටපිටාවට අයත්ය. මා ඔය ඇරඹෙන්නේ ඒ සුබදායි මනෝ රම්‍ය නිම්න භූමියෙනි. මා ඔය මහනුවර දිස්ති‍්‍රක්කයේ ගුරුදෙනියෙන් මහවැලි ගඟට හාවෙන්නට පෙරාතුව අපගේ ඡන්ම භූමිය වූ මාරස්සන ගම්මානය මැදින් ගලා යයි. රාසිං දෙවියන් (දෙවැනි රාජසිංහයන්) ආ ගිය තැන් බහුල මනෝ හා අප වසන භූමිය පුරා පැතිර ඇති ජනශ‍්‍රැති ජනකතා බහුලව ගෙතී ඇත්තේ එකී රජු වටාය. පෞද්ගලිකව අපගේ සංස්කෘතික ජිවනාලිය ඇරඹෙන්නේ මේ වට පිටාවෙනි.
මනෝගේ නාට්‍ය බොහොමයක හමුවන චරිත, භාෂා ව්‍යවහාරය, ස්ථාන හා ග‍්‍රාම නාම, ඇමතුම් රටාවන්, මනෝ ගේ නිජ පරිසරයට අයත් යැයි මට සිතේ. මනෝද අපද ඡන්ම ලාභය ලැබූ මේ කලාපයට අයත් ප‍්‍රාදේශීය සංස්කෘතිය ඔසවා තැබූ බලවත්තු තිදෙනෙක් ගැන මගේ මතකයට නැගේ. කාව්‍ය ශිරෝමනී වෛද්‍යාචාර්ය පී.ඇම්.පී. අභයසිංහ, විශ‍්‍රාමලත් විදුහල්පති ඩි.පී. වික‍්‍රමසිංහ සහ ආචාර්ය ජයලත් මනෝරත්න ඒ තිදෙනාය. මුල් දෙදෙනා තම අවට පරිසරයේ ජනශ‍්‍රැති ජනකතා ඉතිහාසය හා පුරා විද්‍යාව පිළිබඳ තොරතුරු හෙළිකළ පොත පත ලියූ වියතුන්ය. ජයලත් මනෝරත්නයන් ඒ කටයුත්ත ඉටු කළේ නාට්‍ය කලාව ඇසුරෙනි.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුල් ගල තැබූ දේශීය නාට්‍ය සම්ප‍්‍රදායේ පුළුල් අවකාශය තුළින් ජන රංගය තෝරා බේරා ගෙන එය තවත් අනු නාට්‍ය සම්ප‍්‍රදායක් බවට පත් කළේ දයානන්ද ගුණවර්ධනයන්ය. ඔහුගේ නාට්‍ය සම්ප‍්‍රදායේ දිගුවක් ලෙසත් තමන්ගේම වූ අනන්‍යතා සාධක ඔස්සේත් වැඩි දියුණු කරගත්  නාට්‍ය සම්ප‍්‍රදායක් මනෝ සතුය. ඒ සම්ප‍්‍රදායේ ඍජු ප‍්‍රකාශනය ‘තල මල පිපිලා’ යයි හඟිමි. ‘ගුරු තරුව’ ‘අන්දරේලා’ ඒ මග ගිය ඔහුගේ අනෙකුත් නාට්‍ය සේ හැඳින්විය හැකිය.
මනෝ දේශීය සංස්කෘතිය කලාකරුවෙකුට වස්තු ආකරයකැයි ද, නිදන් වදුලක් යැයිද සිතන කෙනෙකි. සිංහල සාහිත්‍යය විෂය නොසලකා හැරීම, එය පාසල් විෂය මාලාවෙන් පිටමං කිරීම, දේශීය අධ්‍යාපනයේ අක් මුල් සිඳීමකැයි යන ආස්ථානයේ පිහිටා මනෝ ‘ගුරු තරුව’ නිර්මාණය කළේය. ගුරු තරුව තුළින් අවධාරණය කරන මෙම ආස්ථානය අපගේ ජාතිකවාදීන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි. අද දවසේ ජාතියක් යන සංස්කෘතික ප‍්‍රපංචයට අයත් විය යුතු භාෂාව, චාරිත‍්‍ර වාරිත‍්‍ර, සාහිත්‍ය ව්‍යාපාරය, කලා ශිල්ප, ගුණ ධර්ම දුබලව දුර්වලව යමින් පවතී. මේ සියල්ල නැති වූ විට ජාතියක ලේබලය සහිත හිස් මිනිසෙක් අපට හමුවේ. ගුණදාස අමරසේකරයන්ගේ බසින් කියන්නේ නම් හිසක් නැති කවන්ධයක් අපට හමුවේ. සිංහලත්වය දේශීයත්වය රැුක ගත යුත්තේ එයට හිමි අනුශාංගික කාරණාද ඇතුලත් වන ලෙසය. බුදු දහමේ සාරාර්ථයන් විනාශ කරගත් අද දවසේ භික්ෂූන් තමන් හැඳි සිවුර බුද්ධාගම ලෙස සිතන ලෙස බෞද්ධයන්ට බලකරයි. ජාතියක් සමලංකෘත වන්නාවූ භාෂාව ඇතුළු අනෙකුත් වටිනා දේවල් අහිමි උප්පැන්නයේ ‘සිංහල’ යයි නම් ලද්දාවුන්ගෙන් සමන්විත මිනිස් සමූහය සිංහලයන් ලෙස සලකන්නට අපට බලකරයි.
ලංකාවේ එෆ්එම් නාලිකා රූපවාහිනි නාලිකා පැය 24  මුළුල්ලේම සිතා මතා විනාශ කරන සිංහල භාෂාවට එසේ නොකරන්නැයි ඉල්ලා සිටින සංවිධානය වන එකදු දේශපාලකයකු, එකදු ජාති මාමකයෙකු, සිංහලයන් අතර නැත. එසේ කරන්නේ මනෝ වැනි අතළොස්සක් කලාකාරයන් වියතුන් කිහිප දෙනෙකු පමණකි.
මනෝ ගේ රංග වේදය වසර පනහක් පමණ තිස්සේ අඛණ්ඩව ගලා ගිය, රටක සංස්කෘතික ජීවිතය චමත්කාරයෙන් ඇළලූ, මාහැඟි කි‍්‍රයාවලියකි. රටක් ජාතියක් බැතිබර විය යුත්තේ එවන් උතුම් කි‍්‍රයාවලියක් හරහා ලංකා නාමය වර්ණවත් කළ උතුම් මිනිසුන්ටය. මීට අවුරුදු පණහකට සියයකට පමණ පසුව අපගේ මුණුපුරු මිණිපිරියන් විසින් ලංකාවේ  ඉතිහාසය සමරන විට ඔවුන්ට ඇස ගැසෙන එක පරිච්ෙඡ්දයක් මනෝ ගැන වීම නොවැළැක්විය හැකි ය. ඒ ඉතිහාස කාර්ය භාරය මැනවින් ඉටු කිරීම මගින්, අනෙක් ජාතිකත්වයන්ට අශෝභන ලෙස අභියෝග කරන, ඊනියා දේශපේ‍්‍රමීන්ට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින දේශපේ‍්‍රමියෙකු ලෙස මනෝ ගැන කියවෙනු ඇත.
හැත්තෑව දශකයෙන් පසුව ලංකාවේ ජන ජීවිතය අලකලංචි ගණනාවකට මුහුණ දුන් අවාසනාවන්ත දේශයක් විය. උගතුන් බුද්ධිමතුන් රට හැර යන්නට පටන් ගත්තේය. මිනී මැරීම්, එකිනෙකා කා කොටා ගැනීම් දිරි ගන්වන සුළු පරිසරයක් නිර්මාණය විය. 1983 සිට තිස් අවුරුදු යුද්ධයක් අඛණ්ඩව සමාජ ජීවිතය දුක්ඛදායී ලෙස හකුළුවා ලූවේය.  මේ සියලූ සමාජ විපත් ශී‍්‍ර ලංකාවේ කලාවේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපෑවේය. හැත්තෑව දශකයේ මුල් භාගයේදී සිංහල සිනමාව අත්පත් කර ගනිමින් සිටි වර්ධනයන් සුන්නද්¥ලි කිරීමට මේ සමාජ විපත් සමත් විය. වේදිකාව මත තිබුණු ජන ආකර්ෂණය ක‍්‍රමයෙන් අහෝසි විය. රංග ශාලා වැසී ගියේය. ඇතැම් රංග ශාලා පැවතුණේ ටියුෂන් ගුරුවරුන්ගේ පංතිවලට, රූපලාවන්‍ය ප‍්‍රදර්ශන වලට පමණි. එහෙත් මේ දුර්භාග්‍ය සම්පන්න සමයේත් වේදිකාව අත නොහැර ගිය රංගවේදියා ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. සැබැවින්ම මුළුමනින්ම සිංහල නාට්‍ය විනාශවන්නට ඉඩ නොදී රැුකුණේ ඔහු ඇතුළු පළමු පෙලේ කලාකරුවන් කිහිප දෙනෙක් මේ සිංහල වේදිකාව මත්තේ රැුඳී සිටිය නිසා විය හැකිය.
මීට වසර දෙක තුනකට පමණ පෙර මනෝරත්නයන්ගේ ‘බූරුවා මහත්තයා’ නාට්‍ය නැරඹීමට  මම කොළඹ නව නගර ශාලාවට ගියෙමි. නාට්‍ය විවේකයේදී මා නේපත්‍යාගාරය වෙත ගියේ මනෝ හමුවීම පිණිසය. ඉතා අපිරිසිදු පරිසරයක අනෙකුත් නළු නිළියන් පිරිවරා මාළු පාන් ගෙඩියක් බුදින මනෝ මම එහිදී දුටුවෙමි. පනස් වසරක් සිංහල රංගනය පෝෂණය කළ, අද ජීවත්වන ඉහළම රංගවේදියා හමුවිය යුත්තේ මීට වඩා ගෞරවාන්විත තැනෙක බව දක්වමින් මගේ සිත කළබල කළේය. දේශපාලන රැුස්වීම් වැනි වැඩ කටයුතු සඳහා තැනුණු ශාලාවක මනෝ වැනි මහා රංගවේදියකු ගේ නාටකයක් ප‍්‍රදර්ශනය වීමම සිංහල නාටකය වෙත ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල පෙන්නුම් කරයි. ඊට පයින් යන දුරක නෙළුම් පොකුණ නම් වූ උචිත රංග ශාලාව හිස්ව පැවතුණි. හිතක් පපුවක් නැති එහි මිළ ගණන් මනෝ වැනි කැපවුණු රංගවේදීන්ගේ නිර්මාණවලට පාර වසා ඇත.
මනෝ මෙවර කැනඩාවට එන්නේ පස්වන හෝ හයවන වතාවටය. මනෝ එන බව ආරංචියට ඔහුගේ කලා කෞශල්‍යය නැරඹීමට හුරු පුරුදු වූ රසික ජනතාවක් මෙහි වෙසෙති. ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ප‍්‍රංශය, මැද පෙරදිග ආදි විවිධ දේශදේශාන්තරයන්හි ද ඔහු බොහෝ වාරයක් ගොස් ඇත්තේ මේ රසික ජන ප‍්‍රසාදය නිසාමය.
අල්ප පුරිස් ප‍්‍රඟුලන් දේශපාලනයේද, ශාස්තී‍්‍රය ලෝකයේද, කලාවේද නිමග්නව ඔවුන් කරන කියන දෑ මහා දේවල් ලෙස පිළි ගන්නැයි බල කරන රටක ආචාර්ය ජයලත් මනෝරත්න යනු දැවැන්තයෙකි. පුද ලැබිය යුතු මහා මිනිසෙකි. උත්සාහයෙන් ශාස්ත‍්‍ර ලෝකය දිනූ පැනසරු වියතෙකි. නිසඟ කලා හැකියාවෙන් සමන්විත දුලභ මානව සම්පතකි. හිතවතෙකි. ගරු කටයුතු මිනිසෙකි. සරල බවේ චමත්කාරය ජීවමාන කරන්නෙකි.
ආචාර්ය ජයලත් මනොරත්නයෙනි
ඔබට දිගාසිරි

ඡන්ද දායක සමාජයක සිට පුරවැසි සමාජයක් දක්වා



2011 දී ජපානයේ තොහෝකු (Tohoku) නගරයේ සිදු වූ බිහිසුණු භූමි කම්පාව නිසා ඇතිවූ ව්‍යසනයේ භෞතික හානි විශාල ප‍්‍රමාණයක් සමනය කර ගැනීමට එරට මේ වන විට සමත් වී තිබේ. ඒ හපන්කම ඔවුනට කළ හැකි වූයේ රාජ්‍ය හා එහි සහන සේවකයන්ගේ කි‍්‍රයා කලාපයන් හේතුවෙන් පමණක් නොව ජපන් ජනතාව ප‍්‍රගුණ කොට ඇති යහපත් ගුණාංග සමුදායකගේද ශක්තියද නිසාය. මේ භූමිකම්පාව ආශි‍්‍රත පීඩාකාරී අවස්ථාවේ පවා ජපන් ජනයා ආත්මාර්තකාමී නොවී සමාජය ගැන පොදුවේ සිතීම මේ ශක්තියට හේතුවය.
මේ එයට ගත හැකි එක උදාහරණයකි. තොහෝකු පළාතේ භුමි කම්පාව නිසා විදුලිබලය ජල සැපයුම ඇණහිටි අතර ආහාර පාන මිළදී ගැනීමේ අර්බුදයකට පවා එහි ජීවත් වූ ජනයා ගොදුරුව සිටියේය. කෙසේ හෝ දින කිහිපයක් ඇවෑමෙන් යම් මට්ටමකට පිළිසකර කර ගත හැකිවූ සුපිරි වෙළඳ සැලක ඇති ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීමට දිගු පෝලිමක් විය. පළාතේ විදුලි බලය ඒ වන විටත් යථා තත්ත්වයට පත්ව තිබුණේ නැත. වෙළෙඳ සැල් හිමියා ජෙනරේටරයක් මාර්ගයෙන්  මුදල් අයකරන හා රිසිට්පත් නිකුත් කරන යන්ත‍්‍රය තාවකාලිකව සකසා ගෙන තිබිණ. විවිධාකාර භාණ්ඩ කූඩා සහ පාරිභෝගික කරත්තවල  දමාගත් පාරිභෝගිකයෝ සුපර් මාර්කට්ටුව තුළ දිග පෝලිමක සිටින්නේ මුදල් ගෙවීම සඳහාය. සැලකිය යුතු ප‍්‍රමාණයකට භාණ්ඩ සඳහා මුදල් ලබාගෙන කටයුතු නිමවද්දී පරිශ‍්‍රමයෙන් සකසා ගත් ජෙනරේටර් යන්ත‍්‍රයද කි‍්‍රයා විරහිත විය. තවදුරටත් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බව තේරුම් ගත් වෙළෙඳ සැල් හිමියා ඒ ගැන සමාව භජනය කරන ලෙස පෝලිමේ බඩු භාණ්ඩ රැුගෙන රැුඳී සිටින අවශේෂ ජනයාගෙන් ඉල්ලා සිටියේය. අවස්ථාව තේරුම් ගත් එකී බඩු මිලදී ගැනීමට නොහැකි වූ පෝලිමේ සිටි උදවිය ඉතා සන්සුන්ව තම කූඩා හා පාරිභෝගික කරත්තවල තිබුණු භාණ්ඩ නැවතත් ඒවා නිසි පරිදි තිබූ තැන්වල තබමින් අවසන සන්සුන්ව නික්ම ගියේ දැරූ උත්සාහයට හා එතෙක් කළ සේවාවට වෙළෙඳ සැල් හිමියාට ස්තුති කරමිනි. මට මේ දර්ශනය ඇතුලත් යු ටියුබ් වීඩියෝව හා සඟරාවක පළවු සටහන එවා තිබුණේ රංජිත් බන්දුලහේවා සොහොයුරාය. මේ එකල ජපානයේ එවැනි සිදුවීම් ගණනාවක එකක් පමණකි. ඒ යහපත් පුරවැසි සමාජයක ජනතාව හැසිරෙන හැටිය. අවස්ථාව හා අවශ්‍යතාව සූක්ෂමව තේරුම් ගැනීමට ඔවුන්ට පුරුදු පුහුණුකම් ඇත්තෝය. බොහෝ දියුණු බටහිර රටක වුවද තත්ත්වය මෙයම විය හැකිය. දියුණු පුරවැසි සමාජයක අයහපත දකින්නේ, සමාජ උවදුරක් පමණක් ලෙස නොව, තමාද අයත් සමාජයට වන උවදුරක් ද ලෙසිනි.

එහෙත් අප මෙන්ම බොහෝ තුන්වැනි ලෝකයේ රටවල් එලෙස සිතීමට අකමැතිය. එක්කෝ එවැනි සිතීමක් අපට පුරුදු නැත.
ඒකාධිපතිවාදය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තෝරා ගැනීම නරක වෙනුවට හොඳ තෝරා ගැනීමේ එක් කඩඉම් අවස්ථාවකි.  එහෙත් ඒ ඓතිහාසික අවස්ථාවේ සිට ඉතිහාසය තව දුරටත් නොනවතින ගමනක් ගොස් ඇත.
ජපානයද අපේ රටේ මෙන්ම මහජනයාගේ ඡන්දයෙන් පාලකයන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරයි. කැනඩාවද ඇමරිකාවද යුරෝපයේ රටවල්ද ඉන්දියාවද අපි‍්‍රකාවේ බොහෝ රටවල් ද පාලකයන් තෝරා ගැනීමට අනුගමනය කිරීමට පාවිච්චි කරන්නේ එකී ක‍්‍රමවේදයමය. ලෝකයේ අංක එකේ ¥ෂිත පාලකයෙකු වන උගන්ඩාවේ මුසවේනි තම පාලකයා වශයෙන් පස්වන වරටත් තෝරා ගැනීමට උගන්ඩානු ජනතාවට හිරිකිතයක් නැත. ඉතාම සාරවත් පොහොසත් රටක් දිළිඳුම රටක් බවට පත් කළ රොබට් මුගාබේ නම් සිම්බාබ්වේ හි පාලකයා අවුරුදු පනහකට ආසන්න කාලයක් තම පාලකයා වශයෙන් තෝරා ගැනීමට සිම්බාබ්වේ ජනතාවටද හිරිකිතයක් නැත. ශී‍්‍ර ලාංකික දේශපාලන ඉතිහාසයේ අක‍්‍රමිකතා ගැන වඩාත්ම නම කියවෙන පාලකයා වූ මහින්ද රාජපක්ෂ අහම්බයක් සේ බලයෙන් ඇද වැටුණු නමුත් ඔහු වටා රොද බැඳ ගත් ජනතාව යයි කියන පිරිස් ඔහුගේ අපිරිසිදු අතීතය අමතක කිරීමට සූදානම්ය.
ජීවිත දෙස සානුකම්පිතව බැලීමට පෙළඹවීමේ වෑයමක් ස්ථාපිත බොහෝ ආගම් විසින් දරා තිබේ. ඒ අතිනුත් බුදු දහම විශේෂිතය. ජීවිත දෙස සානුකම්පිතව බැලීමේ වෑයමේදී පළමුව බැලිය යුත්තේ තමන්ගේ ජීවිතය දෙසය. එයට අවශ්‍ය කෑම බීම ඇඳුම් පැලඳුම් නිවාස ආදිය පමණක් ඇතුලත් තිරිසනුන්ට පවා අවමව හිමිවිය යුතු අවශ්‍යතා ගැන පමණක් නොව ගෞරවයෙන් යුතුව ජීවිතය ගෙවිය හැකි සමාජ වටපිටාවක්ද ඒ අවශ්‍යතා ලැයිස්තුවට තිබිය යුතුය. සජීවී සංස්කෘතිය නැමති කි‍්‍රයාවලිය මිනිසාගේ ජීවිතයට මැදිහත් වන්නේ එම අවස්ථාවේදීය. ටොන් ගණනින් වසර දහස් ගණනක් පැරණි පුරා වස්තු තමා ජීවත්වන භූමියෙන් ගොඩ ගත්තාට, බුදුන් දෙවරක් පැමිණ එකී පොළොවේ පා තැබුවාට, දඬු මොනරයක නැගී අසල්වැසි රටේ ගැහැනියක සොරාගෙන ආ රජෙකු හිටියා යයි කියන කෙප්ප දෙසා බෑවාට, ඒවායින් මිනිස් ජීවිතවලට ඇතිවන සංස්කෘතික උත්තේජනයක්  නැත.
             
 රජා , පාලකයා තම ජීවිතයේ කුදු මහත් කටයුතු වලට වැද්ද ගන්නේ ස්වකීය ඥාන මණ්ඩලය හා පරිකල්පනය මෙහෙයවා කලහයෙන් තොරව සමාජයක ජීවත්වීමට නොහැකි මිනිස් සමාජයන්ය. ඡන්දය (ස්ව කැමැත්ත) නමින් ඉතිහාස කඩ ඉමකදී යම් වැදගත් දෙයක් නිර්මාණය වුවත් එය මිනිසාගේ වහල් චින්තනය එහි සමස්ථ අරුත භුක්ති විඳීමට ඉඩ නොදෙයි.
අද අපේ රටේ ඇත්තේ පක්ෂවලට බෙදුණු ඡුන්දදායක සමාජයක් විනා පුරවැසි සමාජයක් නොවේ. පිරිසක් මහින්ද රාජපක්ෂ දේවත්වයට ඔසවා සිටින අතර, පිරිසක් රනිල් වික‍්‍රමසිංහ දේවත්වයට ඔසවා තිබේ. ඔවුන්ගේ වහල් චින්තනයේ පුරුදු පුහුණුකම් අනුව තමා තැනූ දෙවියන් වහන්සේලාගේ කට කඳත්, අධෝ වාතයන් දෙකම සඳුන්  සුවඳක් සේ ගනිති. ඔවුන් කරන විනාශය නොදකිති. ඔවුන් කරන හොඳක් වෙතොත් එය හොඳක් ලෙස ඔවුන්ම කියා දෙන තෙක් එය හොඳක් සේ නොගනිති.
ස්වකීය ඥාන මණ්ඩලය මෙහෙයවා සිතන, කතා කරන, කෑ ගහන, කරුණාභරිත වන, විරෝධය දක්වන ජනතාවක් දැන් අපට අවශ්‍යය. දැන් අපේ ගුණධර්මද නිර්මාණශීලී චින්තනයද, හොඳ නරක හඳුනා ගැනීමේ ශක්තියද හීන වී ගොසිනි. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අරමුණු වූයේ පොදුවේ ජනයාට ඍජුව රට කරවීමට සහභාගි විය නොහැකි හෙයින් තමාගේ අදහස නියෝජනය කරන නියෝජිතයකු පාලන මණ්ඩලයට යැවීමය. පක්ෂ නිර්මාණය වූයේද ඒ කටයුත්තට සහාය වනු පිණිසය. එහෙත් දැන් සිදුව ඇත්තේ රට පාලනය කිරීමට පමණක් නොව තමන්ගේ ස්වකීය ජීවිතය පාලනය කිරීමත් එකී නියෝජිතයාට භාරදීමයි.
මේ පුරවැසි සමාජයක හැටි නොවේ. මේ වහල් ඡුන්ද දායක සමාජයක හැටිසොබාවය. තමන් විසින්ම කර අඹවාගෙන තමන්ම බෙල හීනත්වයට පත් ජනතාවකගේ හැටි සොබාවය. මෙවැනි ජනතාවක් ගැන බර්ටෝල්ට් බ්‍රෙස්ට් මෙසේ කීවේය.

‘දැන් අපි පාලකයන් වෙනස් කිරීමට වෙහෙසෙනවාට වඩා ජනතාව වෙනස් කිරීමට වෙහෙසිය යුතුය.’
චන්ද්‍රරත්න බණ්ඩාර

Sunday, 7 February 2016

ශුද්ධ වස්තු කෙලසීම

 
 
 
 

           කිෂානි ජයසිංහ නැමති ඔපෙරා ගායිකාව විසින් ඔපෙරා ශෛලියෙන් ගායනා කරන ලද ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ශුද්ධ වස්තු කෙලසීමකැයි සලකා ඇතැමුන් ඇයට බැල්ලියක ලෙස  ගර්හා කරයි. දෙරණ රූපවාහිනියේ පත්තර කියවන සංඛ අමරජිත් නැමැත්තා එලෙස සිය නාළිකාවෙන්ම පවසා ඇත. කිෂානි ජයසිංහ ගේ පුරුදු පුහුණු කළ ගායනා විලාසය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව මගේ විශ්වාසයයි. දන්නෝ බුදුන්ගේ ගී තනුවද බටහිර මෙලඩියක් වූ කලෙක එය එහි තනුව නොනසා වෙනත් ශෛලියකින් ගායන කිරීමේ වරද කුමක්ද?
         එක් දහස් නවසිය අසූ ගණන්වල පේ‍්‍රමසිරි කේමදාසයන් පිරිනිවන් මංගල්‍යය නැමති කැන්ටාටාව නිරමාණය කළේය. එහි අඩංගු ඊ.එ්. සේදරමන්ගේ පිරිනිවන් මංගල්‍යය නම් කාව්‍ය පෙළ ගායනා කළේ මෙම ඔපෙරා ශෛලියෙනි. එදා ඇතැම් සංගීතඥයෝ  කේමදාසයන් හැඳින්වූයේ ‘මියුසිකල් තග්’ කෙනෙකු ලෙසිනි. මහාචාර්ය සුනිල් ආරියරත්න පවා කේමදාස ශෛලියය ලංකාවේ පැල කළ නොහැකි  ඕක් ගසක් ලෙස දුටුවේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කේමදාස සම්ප‍්‍රදාය ලාංකික සම්භාව්‍ය සංගීතයේ වැදගත් පාර්ශවයක් නොවී ද?
     ලංකාවෙන් යුරෝපයට සංස්කෘතික චාරිකාවේ යෙදුණු පළමුවැන්නා දේවාර් සූරියසේනයන්ය. කොළඹ ඉහළ පැලැන්තික පවුලක ජේකබ් පීරිස් නමින් උපත ලද දේවාර් ස්වකීය වියදමෙන් ඉන්දියානු උත්තර භාරතීය සංගීතය හැදෑරීය. පෙරලා ලංකාවට පැමිණි ඔහු ගම් නියම් ගම් සැරි සරමින් ජන සංගීතයද, ජන නැටුම්ද පිළිබඳ ආශාවෙන් පර්යේෂණ කළේය. ඉංගී‍්‍රසි කතාකරන පැලැන්තියක ජීවත් වූ ඔහුගේ ගායන ශෛලියේ ඒ බටහිර ඌරුව අනන්‍යතාවක් සේ සටහන්ව තිබිණි. එහෙත් දේශීයත්වයට අපමණ ගරු කළ දේවාර් තමනට හැකි බටහිර උච්චාරණයෙන් වන්නම් හා ජන ගී ගයා එංගලන්තයේ දී තම උපන් රට ගෞරවයට පත් කළේය.
     මේ මෑතකදී ඇමරිකාවේ ජීවත් වන ලාංකික දරුවන් පිරිසක්  විදේශීය දරුවන්ද සමග වන්නම් හා ඇතැම් ජනපි‍්‍රය සිංහල ගී ගායනා කරන  හපන්කමත් මම දුටුවෙමි. එය සිංහල වන්නම් වෙතත් ඒවා අප අසා දැක පුරුදු ශෛලියට වඩා වෙනස්ය. කිෂානි ජයසිංහගේ ගීතයත් අප සැලකිය යුත්තේ ද අප දන්නා ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේම දිගුවක් ලෙසිනි.
        අද ශේක්ෂ්පියර් නාට්‍ය ගම්මානයේම ටයි කෝට් ඇඳ ඔතලෝ හැම්ලට් රඟ දැක්වෙන්නේය. ඒ වෙනස කෙරී ඇත්තේ කලාව රසවිඳින්නාට කෘතිය සමීප කිරීමේ වෑයමක් වශයෙනි. කපුගේ ගී සන්ප්ලවර්ස් අතට පත්වීමත් කිෂානි ජයසිංහ දන්නෝ බුදුන්ගේ ගීතයට නව අනන්‍යතාවක් ලබාදීමත් එකක් නොව දෙකකි. සන්ප්ලවර්ස් කපුගේ ගී තමන්ගේ කරගෙන එය  විනාශ කරයි. කිෂානි ජයසිංහ සිය ප‍්‍රතිභාව මුසු කොට නව අත්හදාබැලීමක් කරයි.
       කලා කෘතීන්හි මුල් ස්වරූප එසේම  තබා නව ප‍්‍රවේශයකින් ඒවා ඉදිරිපත් කිරීමට තවත් කෙනෙකුට බාධාවක් තිබිය යුතු නැත .
       කිෂානි ජයසිංහට ඇත්තේ පුරුදු පුහුණු කළ අපූරු කටහ`ඩකි. කේමදාස ශූරීන් ජීවතුන්
අතර සිටියා නම් ඇගේ හඩ සිය නිර්මාණ සඳහා අපූරුවට යොදාගනු නිසැකය. ඔහු සිය
සංගීත දිවිය පුරාම සොය සොයා සිටියේ එවැනි ප‍්‍රතිභාපූර්ණ හඩවල්ය.