Tuesday, 8 July 2014

කුරාණය පිළිබඳ විද්වත් කතිකාවක්





කුරාණය පිළිබඳ විද්වත් කතිකාවක් ඇරඹීම කවුරුන් කීවත් නතර කරන්නේ නැතැයි බොදු බල සේනා ප‍්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවේ පවසා ඇත. අනාදිමත් කාලයක සිට ලංකාවේ ජීවත්වන සුලූ ජනවර්ගයක් වූ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව, මෙකී භික්ෂුව කරන විවිධාකාර අඩන්තේට්ටම් නවත්වන බවක් පෙනෙන්නට නැත.
     බොහෝ ආගම් සාර ධාර්මික විග‍්‍රහයේදී ඇතැම් සමානකම් තිබුණත් ක‍්‍රමවේදීව ඇත්තේ ඒ ඒ ආගම්වලට විශේෂ වූ ඇවතුම් පැවතුම් පද්ධතියකි. ඒ අතින් ගත්කළ ඉස්ලාම් ධර්මයට ඇත්තේ ඉතා දෘඩ ඇවතුම් පැවතුම් පද්ධතියකි. ලොව පුරා සිටින මුස්ලිම් බැතිමත්හු ඒ දෘඩ දේවල් හොඳයි, සැපයි, ශාන්තයි කියා පිළිගනිති. දවසට පස්වතාවක් දෙවියන් නැමදීම ඉස්ලාම් ලබ්දිකයන් ලෙස  ඔවුන්ගේ ආගමික චාරිත‍්‍රයකි. අප වැන්නන්ට නම් හිතන්ටවත් බැරි මේ දුෂ්කර සිරිත  ඕනෑම ඉස්ලාම් භක්තිකයෙක් නොපිරි හෙලා ඉටු කරති. ඒ උදවියට අමාරුවක් නැති නම් අපට ඒ ගැන ඇති අමාරුව මොකක්ද?
      තමන්ගේ ආගමට කතිකාවතක් හදා ගන්නට බැරි බෞද්ධ භික්ෂූන් අනුන්ගේ ආගම්වල අභ්‍යන්තර දිග පළල හෙවීම ‘තක්කඩිකමක්’ හැර අන් කවරක්ද? මේ ලියන අවස්ථාවේ වීරකැටිය කොන්දගල පුරාණ විහාරයේ විහාරාධිපති නාරංදෙණියේ දීපානන්ද නැමති භික්ෂුව තම විහාරයේ පුරාණ චෛත්‍යයේ නිදන් හාරා අසුවී රිමාන්ඞ් හිරගෙදරය. බොදු බල සේනාවේම නායක භික්ෂුවක් කලකට ඉහත බීමතින් රියපදවා අසුවී අපරාධමය වරදක් කොට උසාවියෙන් දඩ කා ඇත. හෙළ උරුමයේ ප‍්‍රාරම්භක අවස්ථාවේ මන්තී‍්‍ර පදවියක් දැරූ ගම්පහ පළාතේ භික්ෂුවක් කුඩා දරුවන් රැුසක් අපයෝජනය කොට දඩුවම් ලැබීය. රුවන්වැල්ලේ සෝභිත ආදී නානාප‍්‍රකාර භික්ෂු ගනයා ගැන නොදන්නේ කවරහුද? මෙවැනි තත්වයක් යටතේ ඉස්ලාම් ධර්මයේ කතිකා සම්පාදනය කරන්නට යන්නේ කවර කාරණයකටද?
       ඇත්තටම ලංකාවේ බුදු සමයට සංවිධාන ව්‍යුහයක් නැති ගාණය. සියල්ල සිදු වන්නේ ඥානසාර හාමුදුරුවන්ගේ අණපරිදිය. ඔහු අපගේ ස`ග රජුද?
      තවත් ආගමිකයන් පිරිසක් වෙනත් ආගමක අභ්‍යන්තරික සීමාවන්ට ඇතුලූවීම අශීලාචාරකමක් පමණක් නොව අනීතික කි‍්‍රයාවක්දවේ. යම්කිසි රටක ආගමක් මගින් මහජන යහපතට අවැඩක් වේ නම් ඒවා වැලැක්වීම රජයකට කළ හැකිය. එහෙත් එය වෙනත් ප‍්‍රචංඩ කණ්ඩායමකට පැවරීම කළ හැකිද?
      බොදුබල සේනා සංවිධානයට ශක්තිය ධෛර්්‍යය ලැබෙන්නේ ආණ්ඩුවෙන් බව ප‍්‍රචලිත කතාවයි. වෙන ශක්තියක් නොව ආණ්ඩුව ඔවුන් කෙරේ දක්වන හුරතලයම මෙවැනි සංවිධානයක පැවැත්මට ප‍්‍රමාණවත්ය. ඒ හුරතලයත් , නූගත් ජනයාගේ කැවුතු උණු කරවන කතා ශෛලියයත් අප‍්‍රමාණ බලයක් ඔවුනට ලබාදෙයි. බොදු බල සේනා වැනි විනාෂකාරී සංවීධානවල මහජන බලය වන්නේ ඔවුන්ය. 1983 දෙමළ ජාතිකයන්ට අයත් කඩ කැඩූ සිංහල ලූම්පන් පිරිසත් , අලූත්ගම මහ විනාෂයක් කළ පිරිසත් අතර කිසිදු වෙනසක් නැත. ඔවුන් පැවත  එන්නේ එකම මූලයකිනි. මෙවැන්නන්ගේ පේස් බුක් හමුදාව පාවිච්චි කරන කුණුහරුප දෙස බලන්න. ඒ ඔවුන්ගේ සංවාද භාෂාවයි.මෙවැනි පිරිසකට නායකත්වය දිීමට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛති‍්‍රය හිමිපාණන් වැන්නනට නොහැකිය. ඒ සඳහා සුදුසුකම් ඇත්තේ බොදුබල සේනා, රාවණා බලය, සිංහල රාවය වැනි සංවිධාන වල අමුතු බණ දෙසන නායක හිමිවරුනට පමණි.
      අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය හිමියෝ මෙසේ පවසා ඇත. ”ජාතිවාදියාට අතීතයද නොපෙනේ. වර්තමානය හෝ අනාගතයද නොපෙනේ.” 

Thursday, 3 July 2014

ඇන්. ඇම්. ;ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලිබරල් වටිනාකම් වෙනුවෙන් සටන් කළ අරගලකරුවා

ජූනි මස 6 වන දිනට යෙදුණු ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ උපන් දිනය නිමිත්තෙනි.

               අප තරුණ ට්‍රොට්ස්කිවාදීන් වී සිටි එසමයේ අපගේ ප‍්‍රධාන වීරයා වූයේ එන්. එම්. ය. එය එසේ වූයේ ඇයි? එකළ බොහෝ කැපී පෙනෙන විද්වතුන් වාම ව්‍යාපාරයට නායකත්වය සැපයීය. පිලිප් ගුණවර්ධන, ඇස්. ඒ. වික‍්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, බර්නාඞ් සොයිසා, පීටර් කේනමන්, වී. කන්දයියා, වී කරාලසිංගම්, ඇතුලූ කිහිප දෙනෙකු මේ අතර වේ. එවැනි අර්ථ පූර්ණ වර්ණවත් චරිත සිටියේ වාම ව්‍යාපාරයට පමණක්ම නොවේ. ඩඞ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක, එම්.ඩි. බණ්ඩා, යූ.බි. වන්නිනායක, ජී. ජී. පොන්නම්බලම්, එ් අමෘතලිංගම් ආදීන් ද පෙර කී කාර්යශූර ඉදිරි දැක්මක් සහිත දේශපාලන භූ සිතියමේ සිටි ¥රදර්ශී නායකයෝ වූහ. නමුත් මේ සියල්ල අතර සිටි ඇන්. ඇම්. සියල්ලන්ට වඩා ඉදිරියෙන් සිටියේය.
               ඇන්. ඇම්. පාර්ලිමේන්තු ක‍්‍රමය පිළිබඳ අසමසම කෘතහස්තයෙකි. පාර්ලිමේන්තු ක‍්‍රමය උචිත ලෙස යොදා ගැනීම පිළිබඳ ඔහු ගැඹුරු ලෙස පෙනී සිටියේය. ට්‍රොට්ස්කිවාදියකු හා සමාජවාදයට කැප වූ මාක්ස්වාදියකු එසේ වූයේ කෙසේදැයි සමහරු මවිත වූහ. නමුත් ඒ කි‍්‍රයා කලාප දෙක වැදගත් වන්නේ කෙලෙසදැයි එන්.එම්. පෙන්වා දුන්නේය. සමාජවාදයේ පරම අරමුණ සමාජ යුක්තිය සාක්ෂාත් කර ගැනීමයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ලිබරල් වටිනාකම්වලද පදනමයි.
         එකල පාර්ලිමේන්තුවාදීන් කවුරුනුත් පාහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇන්. ඇම්. ගේ වූ කැපවීම තේරුම්ගත් අතර අගයද කළෝ ය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුක්ඛදායක ඉරණමට ලක් වී ඇති හා පාර්ලිමේන්තු කි‍්‍රයාකාරිත්වය හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් නොසලකා හැරි තත්ත්වයක් යටතේ අද අපට එන්. එම්. පිළිබඳ සිහිපත් කිරීම බොහෝ සේ වටින්නේය. එකල රට පාලනය කළ සියලූ නායකයන් සිය පාලන කාලයන් හි දී ගත් බොහෝ තීන්දුවලින් අනාගත වශයෙන් සිදුවන ප‍්‍රතිවිපාක ඇන්. ඇම්. කල් තියා දුටුවේය. ඞී. ඇස්. සේනානායක රජය විසින් ඉන්දියානු හා පාකිස්තානු සම්භවයක් සහිත පුද්ගලයන් ගේ පුරුවැසි භාවය අහෝසි කිරීම පිළිබඳ   පනත ගෙන ආ  අවස්ථාවේ ඇන්. ඇම් ගේ ඉල්ලීම පිළිගත්තා නම් සමහරවිට පසුකාලීනව පෙඩරල් පක්ෂය බිහි නොවන්නටද ඉඩ තිබුණි. එකී තීරණය නිසා එස්. ජේ. වී. චෙල්වනායගම් සහ දෙමළ කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරු පිරිසක් ඞී. ඇස්. සේනානායක ආණ්ඩුවෙන් ඉවත් වී පුරවැසි පනතට විරුද්ධ විය.
එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක සිංහල පමණක් පනත ඇන්. ඇම්ගේ ඉල්ලීම අනුව ඉවත දැමුවා නම්  හෝ අවම වශයෙන් කල් දැමුවා නම්  සමහර විට පසුකාලීනව සිදු වූ දහස් ගණන් මහජන ජීවිත අහිමිවීමේ මහා දුක්ඛදායක ඉරණම වළකින්නට ඉඩ තිබිණ.
                ජේ. ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දෙනු ලැබූ විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳව ඇන්.ඇම්.ගේ සාරගර්භ විවේචනය පිළිගත්තා නම් අපේ රටේ මේ සා විශාල නීතියේ ආධිපත්‍යයේ හා දේපළ හා මිනිස් ජීවිත විනාශයකට රට ගොදුරු නොවනු ඇත.
               1955 දී පුද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඇන්. ඇම්. විසින් ගෙන ආ සිංහල හා දෙමළ භාෂා දෙකටම ප‍්‍රමුඛතාවය දෙන යෝජනාව සම්මත වූවා නම්  ශී‍්‍ර ලංකාව  පෙරදිග ස්විස්ටර්ලන්තය හෝ ඊටත් වඩා තත්ත්වයක සමෘද්ධියක් අත්පත් කර ගැනීමට ඉඩ තිබුණි. ඔහුගේ ලියවිලි, දේශන විමසා බලන විට අපට ඔහු කීවේ කුමක්ද යන්න වටහා ගත හැකිය. එ්වා තුළින් පිළිබිඹු වූයේ ඉතා දැඩි ලෙස රටේ සමෘද්ධිමත් අනාගතය පිළිබඳ වූ ඔහුගේ ඉදිරි දැක්මයි. විශ්වාස කළ නොහැකි තරම් අයෝග්‍ය ආකාරයෙන් ගත්තා වූ ඇතැම් තීරණ නිසා අනාගතයේ කවර විපාක දිග හැරෙන්නේ දැයි ඇන්. ඇම්. කල්තියා දුටුවේය.
            1956 ජූනි 14 වන දින රාජ්‍ය භාෂා විදිවිධාන පනත (සිංහල පමණක් පණත)  විවාදයට සහභාගි වෙමින් එන්. එම්. මෙසේ පැවසීය. ‘ප‍්‍රායෝගිකව කවර නම් මන්තී‍්‍රවරයකුට වුව ඇති ප‍්‍රජාතන්ති‍්‍රය අයිතිය  අනුව සිංහල භාෂා පනත වැඩි ඡුන්දයකින් අනුමත කළ හැකිය. මට ඉන් ඈතට සිතා බලා මේ කාරණය ගැන මෙවන් උත්තරයක් දිය හැකිය. කරුණාකර  මෙය මතක තබා ගන්න. ලෝකයේ සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක්ම සෑම විටම සිදු කළේත් සිදු කරන්නේත් ප‍්‍රාරම්භක වශයෙන් මහජනයාගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමයි. එම පූර්විකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුව ස්වයං සීමාවන් පනවා ගැනීමට ඇති අයිතියකි. එය සමාජයක පුද්ගල අයිතිය තහවුරු කිරීම හා බැඳුනකි. පුද්ගල අයිතිය යන්න , අන්සතු කළ නොහැකි අයිතියකි. එය 50% හෝ 60% ක් හෝ යනුවෙන් ලැබෙන බහුතර ඡුන්දයෙන් ඉවත් කළ නොහැකි අයිතියකි. මෙකී ගරු සභාවේ මන්තී‍්‍රන් මේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිය පිළිබඳ කාරණය හොඳින් දැකිය යුතුය.  බහුතරයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ වීජගණිත සංකල්පය අනුව හෝ මෙකී මූලික අයිතියට බලපෑම් නොකළ යුතුය.
            ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ‘මෙම සභාවේ සිටින අප සියල්ල සිංහල හා දෙමළ වශයෙන් නොව ලාංකීය ජාතිය නම් වූ එකම ජාතියකට අයත් ය.  ලංකා සම සමාජ පක්ෂයේ අපට ලාංකික බව අන්සියල්ලට වඩා විශේෂ එකකි. අප සිංහලයන් වන්නේ අප ලාංකිකයන් වීමට පසුවයි. අප අවුරුදු 20 ක් තිස්සේ උත්සාහ දරමින් සිටින්නේ මෙම රටේ ලාංකීය ජාතියක් ගොඩ නැගීමටයි. මට යන්තම්ව හෝ සැකයක් නැතිව කවර හෝ තාවකාලික දුෂ්කරතාවයක් පැමිණීයත් අවසානයේ අපගේ ජයග‍්‍රාහි අරමුණු ඉෂ්ටකරගත හැකි වනු ඇත. ඉතිහාසය මග හැර යා නොහැක. ලංකාවේ රටවැසියාට ඇති නීත්‍යානුකූල අයිතිය මගහැරිය නොහැකිය.
         ඔහු තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් ”1948 දී ඉන්දියානු පුරවැසි පනත නිසා මට නිවසින් පිටතට යාමට පවා බැරි වුණා. මට බැන්නා, අඩන්තේට්ටම් කළා. හූ කිව්වා. එ් හැම අවස්ථාවකදීමත්  තවමත් මම නොනැවතී එවැන්නක් වෙනුවෙන් පෙනී සිටිනවා. මම දැන් ඒවාට සම්පූර්ණයෙන්ම හුරුවෙලා.” ඔහු තවදුරටත් පැවසුවේ ”ඔවුන් මෙරටේ වෛරී ගමනක යෙදෙන මෙම අවස්ථාවේ මම ආණ්ඩුවට අවවාද කර සිටින්නේ කවුරු හෝ මේ නිසරු දෙය වපුරනවා නම් ඔවුන්ම එහි අස්වනු නෙලා ගත යුතුයි. මෙකී වෛරී කාරණය ඇවිස්සීම කෙලවරවන්නේ වර්ගවාදී කැළඹීමකින් හා ලේ හැලීමකිනි. ”
        තවදුරටත් පාර්ලිමේන්තුවේ කථා කරමින් ඇන්.ඇම්. පැවසුවේ ‘‘මේ වැරැුද්ද කරන්න එපා. මේ අවස්ථාවේ ඔබ මෙය නැවැත්වූයේ නැතිනම්  ඔබට නැවත ගමන ආරම්භ කරන්න සිදුවන්නේ ලිස්සන සුළු මාර්ගයකයි. එසේ වුවහොත් කඳු පාමුලක් වෙත ළඟාවෙන තෙක් ම නැවතීමක් නැතිවේවි. ඔබට අවසානයේ සිදුවන්නේ ආඥාදායක පාලනයකට යටත්වීමටයි. අප කැමති වුනත් නැතත් අප ළඟා වෙමින් සිටින්නේ එවැනි තත්ත්වයක් වෙතටයි.’
         ඔහු තවදුරටත් පාර්ලිමේන්තුවේ කථා කරමින් ‘සුලූ ජන ප‍්‍රජාවන් එය අනුමත කරන්න සූදානම් නම් ප‍්‍රශ්නයක් පැන නගින්නේ නැත. අප එහෙම වාතාවරණයක් ප‍්‍රාර්ථනා කරමු. නමුත් සිංහල  පමණක් යන්න සුලූ ජාතීන් අනුමත කරන්න සූදානම් නැත්නම් ඔබට බැහැ ඔවුනට බලපෑම් කරන්න. ඔබ එහෙම කරන එක හරිද? ඔබ එහෙම බලපෑම් කරන එක හරිද? එහෙම කළොත් එය ලංකා ජනතාව මුහුණ දෙන ඛේදවාචකයක් වෙවි. සමහර දේවල් කවදාවත්ම අමතක කරන්න බැරි වේවි.
          ඔහු සිය කථාව දිගටම කරමින් ‘‘අපට  ලංකාව තුළ සමාජවාදය ස්ථාපිත කරන්න බැරිවුණත් අප අවම වශයෙන් නිදහස් එක්සත් ශී‍්‍ර ලංකාවක් සඳහා පසුබිමවත් සකස් කරමු. අපට අපේ ජීවිත කාලය තුළ සමාජවාදය අත්පත් කර ගන්න බැරි වුණත් අප මැරෙන්න පෙරාතුව එක්සත් නිදහස් ලංකාවක් සකසා ගත යුතුය. ”
ඔහු තවදුරටත් කථා කරමින් ‘‘ඔබ, මම හෝ මගේ සහෝදරවරු ගණනාවක් මරා දැමූවත් ඔබට පැන නැගී ඇති ප‍්‍රශ්නය නිරාකරණය කර ගන්න අපහසුයි.  මාගේ පක්ෂය  හෝ අනෙකුත් පක්ෂ මරා දැමීමෙන්, විනාශ කිරීමෙන් සුළු ජනවාර්ගික ප‍්‍රශ්න නිරාකරණය කළ නොහැකියි. මගේ අදහස් උනන්දුවෙන් වටහා ගන්නා ලෙස මා අයදින අතර ඔබ කළ යුත්තේ  කුමක්ද යන්න ගැඹුරින් අවබෝධ කර ගන්න. ඔබ ඔරලෝසුව පරම්පරාවක් ආපස්සට කරකවමින් සිටී.  අනාගතයේ උපදින දරුවන් අපට දෙස් තබන්නේ මේ රට නටබුන් කිරීම පිළිබඳවය.”
          එන්. එම්. විධායක ජනාධිපති ක‍්‍රමයට තදින්ම විරුද්ධ විය.  ඔහු විසින් ජනාධිපති ක‍්‍රමයේ විපාක එළිදරව් කිරීම  සඳහා Critical Analysis of The new Constitution of Sri Lanka  කෘතිය ලියන ලද්දේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහී රෝගීව සිටින කාලයකය. විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන ආකාරය විශිෂ්ට ලෙස ඔහු කල්තියා දුටුවේය. එකී කෘතිය අවසානයේ ඔහු මෙසේ පවසයි. ‘‘මට කිසිදු සැකයක් නැහැ. අනාගතයේදී බොහෝ ව්‍යවස්ථාව ගැන හදාරන්නන් කියාවි ව්‍යවස්ථාවක් නොසැදිය යුත්තේ කෙසේද යන්නට උදාහරණය ලෙස  1978 ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාව ගන්න කියලා. ”
          විධායක ජනාධිපතික‍්‍රමයේ ඇති නොවැදගත්කම ගැන තවදුරටත්  ඇන්.ඇම්.මෙසේ ලියයි. ”අවසාන විග‍්‍රහයෙහි වගවීම කියන කාරණයේදී ජනාධිපතිට හැකියාවක් තිබෙනවා ව්‍යවස්ථාදායකයට අණ කරන්න. එය විවේචනය කිරීමේ හෝ එරෙහි වීමේ හැකියාවක් ව්‍යවස්ථා දායකයට නැහැ.’’
          අවසාන වශයෙන් ඇන්. ඇම්. ගේ ඉතාම වැදගත් අනාගත වාක්‍යයක් මම සඳහන් කරන්නට කැමැත්තෙමි. මෙය සිදුවූයේ 1977 මහා මැතිවරණයට දින 10කට පෙර පේරාදෙණිය තානායමේදීය. මමත් විජය වික‍්‍රමරත්නත් ඔහු සමග එදා මධ්‍යම රාති‍්‍රය තෙක් සාකච්ඡුා් කරමින් සිටියේ එළැඹෙන මැතිවරණයේ ප‍්‍රතිඵලය කුමක් වේද කියායි. අපේ අදහස වූයේ රට පුරාම ජේ. ආර්. ජයවර්ධන ජයග‍්‍රහණය කරනු ඇති බවයි. ඔහු දෙනෙත් පියාගෙන මදක් කල්පනා කොට පැවසුවේ  ”ඔබ කියන දෙය ඇත්තක් වුවහොත් ලංකාවේ අවසාන නිදහස් මැතිවරණය මෙය වනු ඇත.”
එ් අනාගත වාක්‍යය ඇත්තක් නොවීද?
ලාල් විජේනායක.
           ගෙවී ගිය ජූනි මාසයේදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ එකසිය දහනව උපන් දින සංවත්සරය යෙදී තිබිණ. එ් සම්බන්ධයෙන් අපගේ ලාල් විජේනායක සහෝදරයා පුවත් පතකට ලියූ එන්. එම් ගේ ගුණසුවඳ හඳුනාගත හැකි ලිපියක් පරිශීලනය කරන්නට හැකිවිය. එකී ලිපිය මගේ ශක්ති ප‍්‍රමාණයෙන්  පරිවර්තනය කොට මේ සමග පලකරමි.
        ලංකාවේ ආනුභාව සම්පන්න නායකයන්ගේ පැමිණීම එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලින් පසුව නැත්තටම නැතිවී ගොසිනි.  එසේ එන දේශපාලකයන්ගෙන් සියයට පනහක් මහ පොළොවත් උලා කා සිව් මහ ගංගාවන්හි ජලයත් බී තවත් යමක් කන්ට බොන්නට කට ඇරගෙන ඉන්න බිල්ලන් සමූහයකි.
          එකල බිහිවූ ආනුභාව සම්පන්න නායකයන් අතරින් මගේ ගරු සම්භාවනාවට පත්වන පළමුවැන්නා ඇන්. ඇම් ය. කිසිවකුට අභිබවනය කළ නොහැකි වූ ඔහුගේ පෞරුෂය හා දැනුම කැපවීමේ  හා නිර්භීතකමේ ගැඹුර ඇසුරෙන් ගොඩනැගුණකැයි සිතමි.
         ඇන්. ඇම්. අප දැන හඳුනාගත්තේ අපේ ගැටවර සමයේය. පාසල් යන ගැටවර සමසමාජවාදීන් වූ අපට  ඇන්. ඇම්. යනු කිසිදා  එළිය නොනිවෙන පහන් තරුවක්ම විය. අපේ ගැටවර වියේදී මුණ ගැසුණු මේ ශී‍්‍රමතා අපේ ගැටවර විය ඉක්මවෙන්නටත් පෙරාතුව පරලෝකප‍්‍රාප්ත විය. මිය යන්නට ආසන්නයේත් ඔහු දිවැසිවරයෙකු ලෙස ලංකාවේ අනාගතය ලියා තැබුවේය. එ් 1978 ව්‍යවස්ථාව පිළිබඳ ඔහුගේ වූ අනාගත දැක්මය. 1978 ජේ. ආර්. විසින් ව්‍යවස්ථාව ගෙන ආ ආසන්නයේම ඇන්. ඇම්. මේ පොතද (1978 ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්) තුළින් දුටු බියකරු බව වසර 30 ඇවෑමෙනුත් සනාථ වෙමින් පවතී.
1977 මහා මැතිවරණයේදී ජේ. ආර්. ජයවර්ධනගේ ධාන්‍ය රාත්තල් අට, උදා කරන ධර්මිෂ්ට සමාජය ආදි අනේකවිධ බොරු පොරොන්දුවලට රැුවටුණු යටියන්තොට අසරණ ජනයා ආචාර්ය ඇන්. ඇම්. පරදවා කූට ව්‍යාපාරිකයෙකු වූ වින්සන්ට් පෙරේරා දිනවීය. ලංකා පාර්ලිමේන්තුවේ අඳුරු දසාව එළඹියේ ඇන්. ඇම් ද ඇතුළු වාමාංශික නායකයන්ට ඊනියා ජනතාව විසින්ම ඔවුන් මැතිවරණ දේශපාලනයෙන් පිටමං කළ පසුය.
ජීවිතයෙන් අඩ සියවසක් පියමං කළ අප, එන්. එම්. දෑසින් දුටුවේ එස්. එස්.සී පන්තියේ සිටියදීය. එතැන් සිට ගෙවී ගිය දශක තුනේ උපන් දරුවන් අතරින් සමහරු රටේ පාලනයේ ද සිටී. ඔවුන්ට එන්. එම්. ලාගේ ගුණ සුවඳ වත් කියා දෙන්නට කෙනෙක් නැත. කොටින්ම එ් හපන්කම කරන්නට ඔහුම පිහිටවූ ලංකා සම සමාජ පක්ෂයටවත් නොහැකිව තිබේ.

         අප උපුටා දක්වන ලාල් ගැන ද යමක් කිව යුතුය. ඔහු ලංකා සමාජය බිහිකළ ශ්‍රේෂ්ට ලංකා පුත‍්‍රයෙකි. පාලකයන්ගේ දේශපාලනය නොකළ හෙයින් නිල විශිෂ්ටයන්ගේ ගණයට ලාල් නොවැටුනත් විමුක්තිකාමි සමාජය ඔහුගේ විශිෂ්ටත්වය සිය හදවතේ කොටා ගෙන ඇතැයි සිතමි. අපගේ ජීවිතයේදී ලාල් විජේනායක වැන්නෙකු මුණ ගැසීම අපගේ ජීවිත පිරිපහදු කළ වැදගත් හේතුවක් විය. ජීවිතයේ වියපත්ව සිටියත් ඔහු සිය සමස්ථ ජීවිතයම කැප කර ඇත්තේ දුර්ජන දේශපාලනයෙන් ලංකාව මුදවීම සඳහාය. ඔහුගේ අවංක බවට  තර`ගයක් නැත.  ඔහුගේ විදග්ධ බවටද තර`ගයක් ඇතැයි නොසිතමි. එවැන්නෙකු ඇසුරු කරන්නට ලැබීමත් දුලබ වාසනාවක් නොවේද?

Tuesday, 24 June 2014

දර්ගා නගරයේ අමිහිරි අත්දැකීම

          අලූත්ගම දර්ගා නගරයේ ගැටුමට තුඩුදුන් මහජන රැුස්වීමේ දී බොදුබල සේනා නායකයාගේ කථාව මම ඇසුවෙමි. දල්වාලන ලද වර්ගාන්තර ආතතියක් සහිත වටාපිටාවක විශාල පරිමාණයේ ගැටුමක් සඳහා  ඕනෑතරම් පෙළඹවීම් එම කතාවේ ගැබ්ව තිබුණි.
         ‘නටන්න එන්න එපා.... නැටුවොත් දෙවන පියවර අලූත්ගම, බේරුවල යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබසරණයි.’
  

         ‘අදින් පස්සේ එක මරක්කලයෙක් එක සිංහලයෙකුට, සිවුරකට නෙවේ එක සිංහලයෙකුට අත තිබ්බොත් මේ හැම එකාලගෙම අවසානය බව අපි කියන්න  ඕනෑ.’
        මේ ඔහුගේ බලගතු ප‍්‍රකාශවලින් උපුටා ගත්තකි. සංහිඳියාව පිළිබඳ සංවේදී රජයක් මෙවන් ප‍්‍රකාශ කරන කවර තරමේ පුද්ගලයෙකුට වුවත් නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙනවාද? එහෙත්  මෙකී ප‍්‍රකාශයන්හි හිමිකාර භික්ෂුව නිදැල්ලේ සිටිනවා පමණක් නොව, තම ව්‍යාපෘතිය තුළ තව තවත් කි‍්‍රයාකාරීව සහභාගි වෙමින් සිටී. ඒ ආකාරයට ඔහු නිදැල්ලේ හැසිරෙන්නේ ආණ්ඩුවේ බලවත් උදවියගේ රක්ෂාවරණය යටගේ බව තේරුම් ගැනීමට අපහසුවක් නැත.
         යුද්ධාවසානයට පෙරාතුව රටේ ඇති වූ භීෂණ රැුල්ල විසින් බොහෝ  සමාජ කි‍්‍රයාකාරීන්ට මරණය කැඳ වූ අතර ඇතමුන් පණ බේරා ගැනීම සඳහා තානාපති සේවා මාර්ගයෙන් රටින් පිටව ගියහ. එහෙත් මේ සා විශාල විනාෂයකට පාර කපන මෙම ව්‍යාපාරය නිරුපද්‍රිතව සිටී. ඔවුන් ඇතැම් විට රාජ්‍ය නායකයාද විවේචනය කරයි. එ් පවෙුල් උදවියද, මැති ඇමතිවරුද විවේචනය කරයි. එහෙත් ඔවුන් පිටුපස සුපුරුදු  භීෂණය හඹා එන්නේ නැත.. එයින් කෙරෙන ඇඟවුම් කවරේද? ආණ්ඩුවේ ගැඹුරුම තැනින් ලැබෙන ආශිර්වාදයක් සහිතව මෙකී ජාතිවාදී ව්‍යාපෘතිය ගොඩ නැගී ඇති බවයි එ්.  පාලක පවුලට නිය පිිටින් පහරක් එල්ල කිරීමට ඉඩ දීම මගින් මෙකී තිරස්චීන ව්‍යාපාරයට තමන්ට ඇති සම්බන්ධය හෙළි නොවේයැයි ඔවුන් සිතනවා විය හැකිය.
1983 කළු ජූලිය එවක බලයේ සිටි ආණ්ඩුවේ නිර්මාණයක් වන්නා සේම, සංහිඳියා සම්පන්න අනාගතයක් බලාපොරොත්තු වූ සුලූතර දෙමළ ප‍්‍රජාව ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට ආශිර්වාද කරන තැනකට තල්ලූ කරන ලද සිදුවීමක්ද වූයේය. 1982  ජනමත විචාරණයේදී කල වංචා නිසා ආණ්ඩුව අර්බුදයකට යෑමෙන් වැළකී සිටීම හා නැගී එන සක‍්‍රිය දේශපාලන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයා සන්ථතිය නැවැත්වීම 1983 කළු ජූලිය නිර්මාණය කිරීමට   ආණ්ඩුවට තිබුණු ඇත්ත හේතු විය.
                   අද උන්නතිකාමී හා හීනමානී භික්ෂු ප‍්‍රතිරූපකයන් සහ අදේශපාලනික ජාතිවාදී ගිහියන්ගේ උපකාරයෙන් නැති මුස්ලිම් ප‍්‍රශ්නයක් සමාජගත කරන්නේද ආණ්ඩුව වෙලී  පවතින අර්බුදයන්ගෙන් ගොඩ එ්මට සිතාගෙනය. යුද්ධයෙන් පසු ආණ්ඩුවේ කි‍්‍රයා සන්ථතිය ආණ්ඩුවේ හිත සුව පිණිස නොවන බව නායකයෝ හොඳාකාරවම දනිති. ගෙවී ගිය මැතිවරණ කිසිවක් ආණ්ඩුවේ අනාගත  පැවැත්ම සඳහා කොළ එළි පත්තු කළේ නැත. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් සියයට හැටකට  වැඩි ප‍්‍රමාණයක් නායකත්වය පිළිබඳ කලකිරීමෙන් පමණක් නොව වෛරයෙන් ද පසුවේ. එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි පිරිස ආණ්ඩුවේ පැවැත්ම ගැන හිතන්නේ තමන්ගේ බඩජාරිකමට සාපේක්ෂව පමණි.  ඔවුන්ට වගකීම් ඉෂ්ට කිරීමට තමන් පිටුපස ජනබලවේගයක් නැත. එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ට එසේ නැත. ඉතිහාසයේ නොවූ විරු තරම් ප‍්‍රගුණ කළ ¥ෂණ හරහා වෙනස් පාලනයකදී  වත්මන් පාලකයනට ගැලවුමක් තිබිය නොහැකිය. මෙවැනි වටාපිටාවක තමන්ගේ අනාගතය කවර නම් භීෂණයක් මතින් හෝ සකස් කර ගැනීමට ආණ්ඩුව කල්පනා කරයි. මුස්ලිම් ජනයාට එරෙහි සිංහල වර්ගවාදයට ආණ්ඩුවේ උඩගෙඩි දීම තේරුම් ගත යුත්තේ් මෙවැනි පසුබිමක සිටය.

            1977 විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භවීමත් සමග ලංකාවේ ආණ්ඩුකරණ ක‍්‍රියාවලියට සම්බන්ධ දේශපාලන කි‍්‍රයාදාමයේ  පමණක් නොව, සිවිල් සමාජයේද, මහජන කතිකාවන් ඔස්සේ ගොඩ නැගුණු ප‍්‍රජාතාන්ති‍්‍රක වටාපිටාව බලවත් ලෙස හැකිලී ගියේය. ලංකා සමාජයේ ආණ්ඩුවට පරිබාහිර මහ ජාතියට අයත් සමාජ ආයතන බොහොමයක් ආණ්ඩුවේ අසීමාන්තික බලයට යටත්ව අවනත විය. ලංකාවේ භික්ෂු සංස්ථාව ගත හැක්කේ ද එ් යටත් වූ හා අවනත වූ ප‍්‍රමුඛ පෙළේ සමාජ කණ්ඩායමක් ගනයටය. අද දේශපාලනික හා සමාජ ක්ෂේත‍්‍රයේ ඉතාමත් අශීලාචාර ලෙස හා ප‍්‍රචණ්ඩකාරී ලෙස වැඩකරන කිසිදු භික්ෂුවක් පාලනය කිරීමේ හැකියාවක් එකී නිකායන්හි අධිපතීන්ට අහිමිව ගොසිනි. ඔවුන් අද පත්ව ඇත්තේ යම් යම් අවස්ථාවන් අලංකරණය කරන සැරසිලි විශේෂයක් ලෙස මිස ආධ්‍යාත්මික මෙහෙවරක් කරන පිරිසක් ලෙස නොවේ.
ලංකාවේ නිරපරාද භීතියට ගොදුරුවී සිටින මුස්ලිම් ජනයාට එසේ වීමට තරම් වන බලගතු කිසිදු වරදක් ඔවුන් කර නැත. හලාල් සම්බන්ධ ඔවුන්ගේ ආගමික පිළිවෙත ලෝකයේ සියලූ ප‍්‍රජාතන්ති‍්‍රක රටවල ඉඩ දී ඇති ආගමික අයිතියකි. ලංකාවේ ද මෙතෙක් ඒ තත්ත්වය මැනවින් රැුකුණි. කොරහේ කිඹුල්ලූන් දකිනවා සේ තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට හලාල් ආදි ගැටලූ කරලියට ගෙනවිත් ඇත.
         මුස්ලිම් ජනයා එක්තරා අයුරකින් දෙමළ ජනයාටත් වඩා අනාරක්ෂිතය. දෙමළ ප‍්‍රජාවට වැඩුනු දේශපාලන ව්‍යාපාරයක් තිබුණි. එමෙන්ම ජන බහුතරයක් ජීවත්වන සුවිශාල ප‍්‍රදේශයක් ඔවුන්ට තිබේ.  මුස්ලිම් ජනයා වැඩි කොටසක් ජීවත් වන්නේ රට මැදට වන්නට අනෙකුත් ජනයා අතරේය. ඔවුන්ට ධෛර්ය සම්පන්න දේශපාලන නායකයන්ද, ව්‍යාපාරද නොමැත්තේය. එහෙයින් බාහිරින් එන පීඩනයකදී ඔවුන් පහසුවෙන් ගොදුරු බවට පත් වේ. එහෙත් මුස්ලිම් ජනයාට වන විපතකදී ශී‍්‍ර ලංකාවට එරෙහිව නැගී සිටිය හැකි අන්තවාදී සංවිධාන ලෝකය පුරා විසිරී සිටී. ඔවුනට මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි වුවත් එකී ජනයා පීඩාවට පත්කරන රට බලවත් ලෙස අස්ථාවර කළ හැකිය.
         පසුගිය 16 වනදා දර්ගා නගරය ආශි‍්‍රතව ඇති වූ වාර්ගික කලකෝලාහල පිළිබඳ  අවසන් වගකීම රජයට බැර විය යුතු ය. රජයක් මෙවැනි අවදානම් සහගත අත්හදා බැලීමකට යන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය විසින් හිතුවක්කාර වීමට සලසා ඇති ඉඩ හසර නිසාය. ජේ.ආර් ජයවර්ධන සිය පාලන කාලය තුලදී විවිධ ක්ෂේත‍්‍රයන්හි මෙවැනි ප‍්‍රචංඩකාරී අත්හදා බැලීම් ගණනාවක්ම කොට අනාගත නායකයන්ට ඇති තරම් පූර්වාදර්ශ සපයා දී ඇත. එහෙත් ඒ පූර්වාදර්ශවලින් රටටවත් ඔහුගේ දේශපාලන ව්‍යාපාරයටටවත් යහපතක් වූයේ නැත.
        අද මෙවැනි අත්තනෝමතික පීඩාවන්ට ලක්වන ජන කොටස්වලට සහනය සඳහා යා හැකි ආයතන ව්‍යුහයක් ශී‍්‍ර ලංකාව තුළ නොමැත. අධිකරණය තවදුරටත් යුක්තිය ඉෂ්ට කරන සමාජ ආයතනයක් නොවේ.  අධිපතියාගේ කැමැත්ත පමණක් නීතිය බවට පත් වී ඇත.  එහෙයින් වඩාත් ධෛර්ය සම්පන්න දේශපාලන ව්‍යාපෘතීන්ට පමණක් මේ  තිරස්චීන අශෝභන තත්ත්වය පාලනය කළ හැකි වනු ඇත.

Friday, 2 May 2014

දෙමළ සමාජයට නායකයෙක් ලැබී තිබේ.




              අතීතයේ යාපනයේ දෙමළ සමාජය පිළිබඳව  හැඳින්වූයේ උගතුන්ගෙන් ගහන, උගතුන් බිහිකිරීමට සමාජයක් වශයෙන් සවිඥානක ප‍්‍රයත්නයක් දරණ මිනිසුන්ගෙන් සුසැදි, ඥාන තෝතැන්නක් වශයෙනි. එමෙන්ම තමන්ගේ බරසාර සම්ප‍්‍රදායන් පරපුරෙන් පරපුරට දායක කරමින් දෙවියන්ට ලැදිව සිටින මිනිසුන් පිරිසක් ලෙසිනි. සකසුරුවම්කමින්ද, නැති නාස්තියෙන් තොරබවින්ද, උත්සාහයෙන් කවර නම් ඉලක්කයක් වුව හඹායාමට සමත්, එමගින් ජීවිතයේ සමෘද්ධිය අත්පත් කරගත් ශිෂ්ටාචාරවත් මිනිසුන් පිරිසක් ලෙසිනි. ලාබාල වියේදී මිලට ගන්නා හිස පීරන පනාව වුවත් වෘද්ධ වියේදී හිස, කෙසින් තොර වූ පසු විසිකරන තෙක් පරෙස්සම් කරගන්නා අර පරෙස්සම් ජාතියකි. කැඩුම් බිඳුම් අඩු  සවි ශක්තිමත් අරපිරිමැසුම් දායක මිනි පෝඞ් මෝටර් රථ යාපන ජනයාගේ ජනපි‍්‍රයම වාහනය වූවා යයි කියනු ලැබේ. මේ සියල්ලෙන් කැටි කර පෙන්වන චිත‍්‍රය තුළ සිටින්නේ අප සමග යුද වැදුණු ‘යාපන දෙමළ මිනිසා’ය.
          බි‍්‍රතාන්‍ය පාලන සමයේ, සිංහල නායකයන් කටයුතු කළේ තමන් සමග ජීවත් වන සුලූ ජාතිකයාට අවමන් කරමින්, කුල ගෝත‍්‍ර අනුව බුද්ධාගම පවා භේද බින්න කරමිිනි.් එම වකවානුවට සමාන සමයක දෙමළ ජනයාද උග‍්‍ර කුල ක‍්‍රමයක් පවත්වාගෙන ගිය නමුත් තමන්ගේ සමාජයට ආලෝකයක් ලැබිය හැකි ඉතාම හොඳ පාසල් පද්ධතියක් බි‍්‍රතාන්‍ය පාලනයෙන් ලබා ගැනීමට සමත් වූහ. දෙමළ ජනයාගේ ජාතික අභිලාෂයන්ට මේ පාසල් පද්ධතිය ඉතාම අපූරුවට ගැලපිණ.
          පූර්ව නිදහස් දේශපාලනික සමාජයේ සිංහල දේශපාලනයටත් රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු සඳහා විශ්වාස කළ හැකි මිනිසුන් සොයා ගත හැකි වූයේ දෙමළ ප‍්‍රභූ සමාජයෙනි. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් ඉනුත් ප‍්‍රධාන වූහ. සියවසක් පමණ කාලයක් තිස්සේ ලංකාවෙන් බිහිකළ කිසිවකුට අභිභවනය කළ නොහැකි වූ බුද්ධිමතා ආනන්ද කුමාරස්වාමි විය. ආනන්ද කුමාරස්වාමි ඇලූම් කළ කලාව,  ගෝත‍්‍රවාදයේ කුණුවලින් කිලිටිකර නොගත්  මිනිසෙක් වූ නිසාම ඔහු ලංකාවේ අන්තර් සමාජ අතර වන්දනීය උගතෙක් හා සුධීමත් බුද්ධිමතෙකු විය. පැරණි කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ගැන පර්යේෂණ කරන, සොයා බලන කවරනම් කෙනෙකුට වුව අතහැර යා නොහැකි කෘතිය ආනන්ද කුමාර ස්වාමිගේ ඵැාසැඩ්ක ීසබය්කැිැ ්රඑ (මධ්‍යකාලීන සිංහල කලා* කෘතියයි. එම කෘතියේ විරාජමාන බවෙහි බිහිවූදා සිට අද දක්වා කිසිදු වෙනසක් නැත. එතුමන් විසින්ම රචිත උඩරට ගෘහ නිර්මාණයන් විනාශ කිරීම වළක්වන ලෙස ඉල්ලා උඩරට රදළ ප‍්‍රධානීන් අමතා ලියන ලද ලිපිය තරම් සම්ප‍්‍රදායික කලා උරුමය පිළිබඳ ලෙන්ගතු හැඳින්වීමක් සහිත ලියවිල්ලක් සිංහලයෙකු අතින් ලියවී ඇත්දැයි සැක සිතෙන තරම්ය.
           දෙමළ සමාජය සතු සියලූ වටිනාකම් දෙමළ සමාජය අත්පත් කරගන්නේ ඥානාන්විත සමාජයක් තනාගැනීමට අතීතයේ පටන්ම ඔවුන්ගේ වූ පොදු උත්සාහය නිසාය.
එහෙත් නිදහසින් පසු ජාතික එ්කග‍්‍රතාවය පිළිබඳ බි‍්‍රතාන්‍යයන් විසින් උගන්වා ගිය පාඩම් නොතකා හැරීමේ ඵල විපාකයක් ලෙස එ්කාග‍්‍ර සමාජය වේගයෙන් ඉරිතලා ගියේය. ඞී.ඇස්.ගේ පුරවැසි  පනතේ සිට ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක බොදු බල සේනා වැනි ව්‍යාපෘති දක්වා වූ හැම ව්‍යාපෘතියක්ම යටකී පැලූම් පුලූල් කළේය. තිස් අවුරුදු යුද්ධය වනාහි එ් පැලූම්වල කෘරතර ප‍්‍රතිඵලයයි.
          දැන් යුද්ධය අහවරව තිබේ. එල්ටීටීඊයට විරුද්ධ ඉන්දියානු මැදිහත්වීමේදී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කළ කර්නල් හරිහරන් පුවත්පත් සාකච්ඡුාවකදී කියා ඇති පරිදි එල්ටීටීඊයට යළි නැඟී සිටීමට අවස්ථාවක් කිසිදා උදා නොවන බවත් සන්නද්ධ දේශපාලනය යාපනයේ ප‍්‍රධාන දේශපාලන  ධාරාව බවට පත්වීමටත් කිසිදා ඉඩ කඩක් නැති බවත්ය. එහෙත් පෑගී ඇදවැටුණු, අසරණව ඇති දෙමළ සමාජයට, කලක් පිරිත් පැන් පිරවුණු කෙන්ඩියෙන් අද ගිනිවතුර පුරවාගෙන ඉසිමින් තිබේ. පිරිත් පැන් කෙන්ඩිය ගිනි වතුර කෙන්ඩියක් වූ සිංහල බුද්ධාගම යුද විනාශයේ හතරෙන් තුන් පංගුවක වගකීම දැරිය යුතුය. එය ජාතික එ්කාග‍්‍රතාවය පුපුරුවා හල සමාජ බලවේගය වේ. එම බලවේගය රුදුරු ලෙස සිය ශාස්තෘවරයාගේ සර්ව සම්පූර්ණ දහම ජාතක කතා කිහිපයකට හා ගාථා කිහිපයකට සීමා කිරීම මගින්  ‘කරුණා භරිත බුදු දහමේද’ අභ්‍යන්තර සතුරා වේ.
එම රුදුරු අධාර්මික බලවේගය කොතෙක් වැඞී ඇත්ද යත් රුදුරු ගනයේ අමනුෂ්‍යයෙකු ලෙස ජාත්‍යන්තරකරණය වූ චිරතු නම් වූ චීවරධාරියා සමග අ්ත්වැල් බැඳ ගැනීමට මියන්මාරයට ගොස් තිබේ. වගකිව යුතු රජයක් නම්, තමන්ගේ රටේ අනාගතයටවත් සහනයක් අවශ්‍යයයි සිතන රජයක් නම්, මේ ගමන වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබුණි.
             ප‍්‍රභාකරන් නම් වූ ආධානග‍්‍රාහී සටන්කාමී නායකයා, දකුණේ දේශපාලනය විසින් උතුර හා කළ අමනෝඥ ගනුදෙනුවෙන් බිහිවූ හිතුවක්කාර සුජාත පුත‍්‍රයා වේ. ඔහුට කාලයක් මුළුල්ලේ ඥානාන්විත දෙමළ සමාජය වර්ධනය කරගත් මනුෂ්‍ය වටිනාකම් සුන්නද්¥ූලි කළ හැකි විය. කරුණා අම්මාන් සංවිධානය හැර ගිය විට ඔහුගේ අනුගාමිකයන් සිය ගණනක් සමූල ඝාතනය කරන්නට අණ දීමට තරම් තිරස්චීන අමනුෂ්‍යයෙක් දෙමළ සමාජයේ පිළිගැනීමට පාත‍්‍රවීමේ ශෝකය ඔබ හඳුනා ගන්නේ කෙසේද?  (මේ තිරස්චීන දෙය වැලකුනේ මෑතකදී අත්අඩංගුවට පත්වූ දෙමළ කිවිවර ජයසීලන් විසින් බව ඔහු පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකදී පවසා ඇත.*
           මෙම ලිපිය ආරම්භයේදී අප විග‍්‍රහ කළ ආකාරයට, දෙමළ සමාජයේ ප‍්‍රබුද්ධ භාවය අතීත වටිනාකමින්ම නැතත් යම් යම් ක්ෂේත‍්‍රවලදී එහි වැදගත් නෂ්ටාවශේෂ දක්නට තිබේ. යුද්ධයෙන් පසු රණකාමී සිංහල රාජ්‍ය තන්ත‍්‍රය හා එහි අනුගාමී කොටස් 13 වන සංශෝධනයවත් එකී දෙමළ සමාජයට නොදීමට ඉමහත් වූ තැතක් දරද්දී ඉතිරිවූ දෙමළ සමාජයේ ප‍්‍රබුද්ධ දේශපාලන කොටස් පළාත් සභා මැතිවරණයක් දිනා ගැනීමට සමත් විය. මෑත කාලීන දේශපාලන චරිත තෝරා ගැනීම් අතර ලක්ෂ්මන් කදිරගාමර් හැරුණු කොට ප‍්‍රබුද්ධම ශී‍්‍ර ලාංකිකයෙක් තම දේශපාලන තන්ත‍්‍රයේ ප‍්‍රධානියා කර ගැනීමට දෙමළ සමාජය සමත් විය. එ් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී. විග්නේෂ්වරන්ය. ඔහු සාකල්‍යයෙන්ම යාපන දේශපාලනයේ ප‍්‍රබුද්ධ  තීරුවට අයත් උසස් ගණයේ හින්දු ආගමිකයෙක් විය. එමෙන්ම දකුණේ ප‍්‍රබුද්ධ සිංහලයන් සමග මිත‍්‍රකම් මතුනොව,  නෑදෑකම් පවා ඇති මිනිසෙක් විය. කි‍්‍රයාකාරී දේශපාලන ඉතිහාසයක් නැතත්, උගත්කම හා ප‍්‍රබුද්ධ බව හා  පෞරුෂය පමණක් සලකා විග්නේෂ්වරන්ව දෙමළ දේශපාලනයේ මධ්‍යස්ථ කොටස් විසින් තෝරා ගනු ලැබුවේ,  දකුණෙ රාජ්‍ය තන්ත‍්‍රය සමග වඩා කිට්ටු ගනුදෙනුවක් ඔහුට කළ හැකියයි සිතා විය හැකිය. එ් තරම් නම්‍යශීලී බවක් පශ්චාත් යුද කාලීන දෙමළ දේශපාලනය සතු විය. එහෙත් දකුණේ රාජ්‍ය තන්ත‍්‍රය හා අනුගාමි කොටස් එ් නම්‍යශීලීත්වය වටහා ගැනීමට බරපතළ ලෙස අසමත්ව තිබේ. රාවනා බලය, සිංහල රාවය, බොදුබල සේනා වැනි රිලා නැටුම් කරුවන් ඉස්සරහට දමමින් දෙමළ ප‍්‍රබුද්ධ භාවයට කරන ඔච්චම් මේ රාජ්‍ය තන්ත‍්‍රය නවත්වන පාටක් පෙනෙන්නට නැත. මේ ඔච්චම ඛේදවාචකයකින් කෙළවර වීම දේශපාලනය ගැන විද්‍යාත්මකව දන්නා කාටත් පැහැදිලි කාරණයකි.
              දෙමළ රාජ්‍ය නියෝජනය කරනවායයි කියනා පාර ඊළාම් රාජ්‍යයේ නායක රුදු‍්‍ර කුමාරන් නායකයා වශයෙන් තෝරා ගැනීමට දෙමළ සමාජය සූදානම් නැත. ආණ්ඩුවේ හුරතලා වන ඩග්ලස් දේවානන්ද පිළිබඳ තත්ත්වයත් එසේමය. කවුරු අකමැතිවුනත් අද වන විට දෙමළ සමාජයට නායකයෙක් සිටී. එක්සත් රාජ්‍යයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති බෙදුම් වාදයට එරෙහි විග්නේශ්වරන් එ් නායකයාය. දෙමළ සමාජයට තමන්ට නැතිවූ අතීත ප‍්‍රබුද්ධත්වය සොයා යන්නට උත්සාහ දරන්නේ විග්නේශ්වරන් හරහාය. එල්ටීටීඊය සමග කිසිදු ගනුදෙනුවක් නොතිබුණු, එහි හතුරෙකු වූ මනුෂ්‍යයෙකු, තම නායකයා වශයෙන් තෝරාගත් දෙමළ දේශපාලන යාන්ත‍්‍රණය දෙස විචක්ෂණශීලීව බලන්නට දකුණේ රාජ්‍ය තන්ත‍්‍රය අසමත්වීම අවාසනාවකි. ජනාධිපතිට වග කියන මහ ඇමති ඝනයා  අතර  විග්නේෂ්වරන් තරම් වගකිවයුතු ප‍්‍රබුද්ධ මිනිසෙක් සිටියේම නැත. බස්නාහිර මහ ඇමති චන්ද්‍රිකා බණ්ඩාරනායක පවා සිටින්නේ මේ විද්වතාට පිසුපසිනි. එදා මෙදා තුර ¥ෂිතම මිනිසුන්ගෙන් පිරවුණු මහ ඇමති පදවියට ඔරොත්තු නොදිය හැකි තරම් වැදගත් මිනිසෙක් පත්ව සිටී. එ් වැදගත් මිනිසා සිටින්නේ ආණ්ඩුවට පාලනය කිරීමට අපහසුමයයි සිතෙන පළාත් සභාව තුළය. මේ මිනිසා සතු වැදගත්කමට අගයක් දී ඒ හරහා උතුර හා රාජ්‍ය තාන්ති‍්‍රක ගනුදෙනුවකට යාමට ආණ්ඩුවට නොහැක්කේ මන්ද?
              දකුණේ දේශපාලනය අවස්ථාවාදයට ගොදුරුවීම නිසා උතුරේ දේශපාලනය අර්බුදයකට ගියේය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ දෙමළ සමාජ ආත්මය තුළ කාලන්තරයක් වර්ධනය වූ ප‍්‍රබුද්ධ බව අහෝසි වී ප‍්‍රචණ්ඩත්වය ඉස්මතුවීමයි. එ් ආකාරයට ස්වකීය ප‍්‍රබුද්ධ බව නෂ්ටාවශේෂ බවට පත්කර ගෙන ප‍්‍රචණ්ඩත්වයට ඇද වැටීමේ ඛේදවාචකයයේ ප‍්‍රතිඵලය නම් විපරීත දෙමළ තරුණ සමාජයක් බිහිවීමයි.
දෙමළ සටන්කාමී දේශපාලනයට ජවය සැපයූ දෙමළ ඩයස්පෝරාවේ තත්ත්වය කවරේද? අද කැනඩාව හා වෙනත් යුරෝපීය රටවල  හිරගෙවල්වල ජන අනුපාතිකව වැඩියෙන් සිටින්නේ කළු ජාතික අපරාධකාරුවන්ය. ඊළඟට  අපරාධ සඳහා සිරගතව සිටින්නේ ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිකයන්ය.  ක්‍රෙඩිට් කාඞ් වංචා, බැංකු ණය හා රක්ෂණ ආවරණ වංචා, හොර ලියකියවිලි සැකසීම, මැර කණ්ඩායම් තැනීම හා ඒවායේ සාමාජිකයන් වීම, කප්පන් ගැනීම ආදී සිය ගණන් අනීතික කි‍්‍රයාවල යෙදීම මෙම දෙමළ ජාතිකයන් සිර ගත වීමට හේතුවයි. මේ පූර්ව යුද සමයේ දෙමළ සමාජය අත්විඳි අවමානයක් නොවේ. උත්සාහයෙන් හරි හම්බ කොට එ්වා අරපිරිමැස්මෙන් වියදම් කොට තම කලත‍්‍රයන්ට මැනවින් උගන්වා සමාජයේ තැනකට ගෙන ඒම එකල දෙමළ සමාජයේ අභිප‍්‍රාවිය. එහෙත් ප‍්‍රභාකරන්් දෙමළ දේශපාලනයට මැදිහත්වීමත් සමග දෙමළ ප‍්‍රබුද්ධ බවේ බරසාර හෙමින් ගමන  නැවතිනි. තිරුක්කුරල් පොත අතින් ගත් ප‍්‍රඥා සම්පන්න වීරයා වෙනුවට තුවක්කුව හා සයනයිඞ් කරල අතින්ගත් දෙමළ සටන්කාමියා වීරයා බවට පත්විය. යට කී අපරාධකරුවන්ගේ මහානුභාව සම්පන්න වීරයා වූයේද යටකී සටන් කාමියාය. ඩයස්පෝරාවේ මෙකී  අවාසනාන්ත තත්ත්වය රට අභ්‍යන්තරයේ දෙමළ තරුණයන් වෙත විතැන්වීම නොසිදුවීමට බැරිකමක් නැත.
               තිස් අවුරුදු යුද්ධයක් අතරතුර යාපන දෙමළ ජනයා සතු බොහෝ දේ වෙනස් විය. ඔවුන් හිඟමනට වැටුනු අතර බරපතළ අවමානයට පාත‍්‍ර විය. ඔවුන් දුරාතීතයේ සිට වර්ධනය කරගත් සමාජීය වටිනාකම් යුද්ධයේ දඬු අඬුවට හිරවී විනාශ විය. යාපනයේ කෝවිල් ශුද්ධ ආගමික මධ්‍යස්ථාන වූ නමුත් ඩයස්පෝරක සමාජයේ තැනුනු එකී කොවිල්වල  අනුරූ එල්ටීටීඊයට මුදල් මවන යන්ත‍්‍ර බවට පත්විය. ඒවායේ පූසාරිලා දෙවියන්ට වඩා ප‍්‍රභාකරන් විශ්වාස කළෝය. යාපන දෙමළ ජනයාගේ උතුම්ම ආධ්‍යාත්මික සංකේතය වූ කෝවිල මෙසේ වෙනස් වූවා නම් අනෙක් කාරණා ගැන කියනුම කවරේද?
         කුඩා දුපතක අනාදිමත් කාලයක් එකට ජීවත් වීම නිසා සංස්කෘතික ඝට්ටනය තුළින් අන්තර් පෝෂණයක් එකිනෙකාගේ දිවිපෙවෙත්වලට සිදුවිය. ජන ජීවිතවලට එක් එක් ජාතියේ මැදිහත්වීමක්  අවශ්‍ය විය. ජන පුරාණය තුළ දෙමළ දෙවියෝ සිංහල මිනිසුන්ටත්, බුදුන් වහන්සේ දෙමළ මිනිසුන්ටත් බලපෑම් කළෝය. ජනරංගය තුළ ජන සාහිත්‍ය තුළ මේ සංස්කෘතික මිශ‍්‍රණය අපූරුවට තිබිණි.
       එවැනි තත්ත්වයක් යටතේ, තිස් අවුරුදු යුද්ධයකින් අනතුරුව දෙමළ ජනයා දේශපාලනිකව හා සමාජයීය අවමානයට පත්කිරීම වැළැක්වීම රාජ්‍ය සතු වගකීමක් විය යුතුය. ඒ අවමානයන් නොකෙරෙන්නේ නම්, දෙමළ සමාජය තමන්ට වැරදුණු තැන් සොයා සමාජ හෘද පරීක්ෂාවකට යනු නිසැකය. ඒ සඳහා සුදුසු දෙමළ නායකයකු දෙමළ ප‍්‍රජාව විසින් තෝරාගෙන තිබේ. එ් සී විග්නේෂ්වරන්ය. දැනට ඔහුට  සටන් කරන්නට සිදුව තිබෙන්නේ දකුණේ දේශපාලනය විසින් කරන අවමානයන්ට එරෙහිවය.
චන්ද්‍රරත්න බණ්ඩාර
රාවය 2014-04-27

Monday, 14 April 2014

සාපරාධී යුද සංග‍්‍රාම : නිර්ව්‍යාජ කලාකරුවෙකුගේ අවිඥානක මැදිහත්වීම

සාපරාධී යුද සංග‍්‍රාම :
නිර්ව්‍යාජ කලාකරුවෙකුගේ අවිඥානක මැදිහත්වීම
         යුද සංග‍්‍රාම නම්වූ මාතෘකාවට ‘සාපරාධී’ නැමති විශේෂණය එක් කිරීම මගින් කතුවරයාගේ යුද්ධය පිළිබඳ ඇති නොකමැත්ත දෘෂ්‍යමාන වේ. ගුණසිරි බණ්ඩා වීරසූරිය සිය දශක දෙක තුනක් ඈතට දිවයන සිය ලේඛක ජීවිතයේ අප‍්‍රතිහත ධෛර්යයේ මහඟු ඵල ‘සාපරාධී යුද සංග‍්‍රාමය’ නමැති කෘතියෙන් නෙලාගෙන ඇත.
          ඔහුගේ මෙම දැවැන්ත කෘතිය ගැන කතා කිරීමට පෙරාතුව කොළඹ කේන්ද්‍රීය සාහිත්‍ය සමාජයේ ඇස නොගැසෙන එහෙත් සාහිත්‍යයේ විශේෂිත සානරයක් තෝරාගෙන එහි පූර්ණ කාලීනව නියැළී සිටින ගුණසිරි ගැන කතා කිරීමට මිඩංගු කළ යුතුමය. ගුණසිරි ජීවත්වන්නේ මහනුවරින් එපිට ප‍්‍රත්‍යන්ත පෙදෙසකය. එමෙන්ම  කොළඹ නාගරික සංවාදයේ දුරස්ත සහභාගිකයෙකුවත් නොවෙමින් මහනුවර ආශි‍්‍රතව වන ප‍්‍රාදේශීය සංවාද සමාජයක කොටස් කරුවෙකුව සිටී. මහනුවර සවිඥානක සමාජයට, තම බුද්ධි ජීවින්ගේ යහපත සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධ වෙමින් තම බුද්ධිමය ජීවිතයේ පෝෂණය සඳහා බාහිරව සිට යොදා ගත හැකි බව මට හැ`ගී ගියේ මේ ගුණසිරි නිසාය. එහෙත් ඇත්ත කාරණය නම් බාහිර සමාජය තබා  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිටවුවෝ පවා තමාගේ අඛණ්ඩ දැනුම පෝෂණයේ කොටස්කරුවකු ලෙස පේරාදෙනිය තබා ගැනීමක් නැත. එහෙත් ගුණසිරිගේ කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු නුපුහුණු ගුරුවරයෙකි. ඔහු විශ්වවිද්‍යාල උපාධියක් ලැබූවෙකුද නොවේ. එහෙත් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය , එහි වැදගත් ගුරු භවතුන්, එහි අගනා පුස්තකාලය, තම දැනුම වර්ධනයේ කෝෂ්ටාගාරය කර ගත්තේය. ගුණසිරි ඊට අමතරව මහනුවර මහජන පුස්තකාලය, බි‍්‍රතාන්‍ය කවුන්සිලය එකී කාර්යයේම සහායකයන් කර ගත්තේය. උත්සාහයෙන් දෙවෙනි භාෂාව උගත් ගුණසිරි එකී භාෂා දැනුමේ උසස්ම අදියරට පත්වීමට ඔහුට හැකි විය. ඉතා ප‍්‍රතිභාපූර්ණ පෞරුෂයෙන් යුත් විශේෂ හඬකට හිමිකම් කියන ගුණසිරි තමන්ගේ පද රචනා සහිත ගීත ගණනාවක හිමිකරුවා වී සංයුක්ත තැටියක්ද නිෂ්පාදනය කළේය. වැඩි දුරක් නොගියත් ව්‍යුත්පත්තිය සහිත චිත‍්‍ර ශිල්පියෙකු ලෙස හැත්තෑව දශකයේ අගභාගයේ තමාගේම චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් ද පැවැත්වීය. ඔහුගේ අතීතය හඳුනාගන්නා අපට පැහැදිලි වන්නේ ඔහුගේ සංගීත හා චිත‍්‍ර ශිල්පි ජීවිතය ඉදිරියට නොගියේ කොළඹ කේන්ද්‍රයට ඇතුළත් නොවී එවැනි අපූරු හැකියාවන් ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල සිට යථාර්තයක් කර ගත නොහැකි නිසා බවය.
             ගුණසිරි ලේඛකයෙකු ලෙස ස්පර්ෂ කරන්නේ සමාජයීය විෂයන්ගේ අමුතු කලාපයකි. ‘සාපරාධී යුද සංග‍්‍රාම’ පවා ගිනිය හැක්කේ එකී කලාපයටය. ‘විශ්ව මනස හා දේවත්වය’ , ‘යුද්ධය’ , ‘හෙළ සභ්‍යත්වය’, ‘නිර්මාණ වාදය හා ජීවයේ සම්භවය’, ‘මිනිසා දෙවියා හා මනස’, ‘සිංහල සමාජය හා සංස්කෘතිය’, ‘බුදු සමය එළි කරන මනෝ විද්‍යාත්මක ලකුණ’ ඔහුට අයත් සාහිත්‍ය කලාපයේ නිෂ්පාදනයෝය.
ගුණසිරි ගේ ‘සාපරාධී යුද සංග‍්‍රාම’ කෘතිය ශිෂ්ටාචාර ගමනේ යුද්ධයේ කතාන්තරය පිළිබඳ පාර්ශ්වික අර්ථ ගැන්වීමකි. ‘පාර්ශ්වික’ යන විශේෂණය මා යොදන්නේ යුද්ධයේ ගර්හිත බව හා එය මානව ඛේදවාචකයක් බව විශ්වාස කරමින් එකී කෘතිය රචනා කර ඇති නිසාය. යුද්ධය වීරත්වයට සමගාමීව යෙදීමේ වරද ලංකාවේ ජාතිකවාදීන් අතින් පමණක් සිදු වූවක් නොවේ. ලෝක ආගමික උරුමය පිළිබඳ අවිවේචනාත්මකව ඇලී ගැලෙන උදවියද යුද්ධය වීරත්වයට නගයි. ගී‍්‍රක - රෝම යුගය ගැන කියන්නෝ පවා එකල්හි සිදුවූ යුද්ධ විසින් මානවීයත්වය කෙලසීමකට ලක් කළ බව නොකියති. එ් ආකාරයෙන් ඔජ ගැන්වුණු යුද්ධය පිළිබඳ මානසිකත්වය සියවස් ගණනක් ඇවෑමෙන් මානව සිතීම් පද්ධතියට ඇතුළත් වූවා විය හැකිය.
කුරුස යුද්ධ මාලාවටත් පෙර සිට දෙවන ලෝක යුද්ධය දක්වා වන ශිෂ්ටාචාරයේ බොහෝ ඈත සිට ඇරඹුන යුද්ධ කි‍්‍රයාවලිය එයට අදාළ පූර්ණ තොරතුරුද සමග ‘සාපරාධී’ යුද සංග‍්‍රාම කෘතියෙන් හෙළිදරව් කර ඇත. එකී යුද්ධයන්ට පෙළඹුම් සාධක හෙළිදරව් කරමින්ම එ්වා මානව ඛේදවාචකයක් වූ ආකාරය ගුණසිරි හෙළිදරව් කරන්නේ තමන්ගේ ආස්ථානයට අදාළව  සත්‍ය තොරතුරුද ගෙන හැර දක්වමිනි.
සාපරාධී යුද සංග‍්‍රාම, ඈත අතීතයේ කුරුස යුද්ධවල සිට දෙවන ලෝක යුද්ධය දක්වා වූ විශේෂිත යුද්ධයන්හි උපක‍්‍රමික කි‍්‍රයාවලිීන්, නායකත්වය දුන් පුද්ගලයන්ගේ ස්වකීය පෞරුෂයන් මැනවින් වටහා ගත හැකි ලෙස ගුණසිරි සිය කෘතියේ විස්තර කරයි. ගුණසිරි යුද්ධය ගැන මෙසේ ලියයි.
‘හේතු කුමක් වුවද මිනිස් වර්ගයා තමාගේ කාලයෙන් බොහෝ කොටසක් වැය කළේ යුද්ධය සඳහාම යයි නොකියා බැරිය. ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කළ ධන සම්භාරයෙන් වස්තු සම්භාරයෙන් වැඩි කොටසක් මිනිස් වර්ගයා වැය කළේද යුද්ධය සඳහාම බව පෙනී යයි. මිහිමත මෙතෙක් කළ යුද්ධ සඳහා වැය කළ ධන සම්භාරය සලකා බැලූව හොත් වෙනත් නව ග‍්‍රහලෝකයක් ශිෂ්ටාචාරවත්වයට පත් කිරීමට තරම් සෑහේ යයි සිතමු.’
           යුද්ධය, ශිෂ්ටාචාරයට නව පාඩම් කියා දුන් බව සැබෑවකි. මොංගෝලියන්වරු උත්තරභාරතය ආක‍්‍රමණය කිරීම මහා භාරත කතාවට නිමිති වීය. ගී‍්‍රකවරුන් ට්‍රෝයි පුරය ආක‍්‍රමණය කිරීම ‘ඉලියඞ්’ මහා කවට පාදක විය. ගී‍්‍රක නාට්‍යකරුවන් වන ඊස්කිලස්, සොපොක්ලීස්, යුරිපීඩිස් වැනි කලාකරුවෝ යුද පුවත්ම සිය නිර්මාණ සඳහා යොදාගෙන ඇත.
           ගුණසිරි මේ තතු උදාහරණ සහිතව ක‍්‍රමිකව විස්තර කරයි. යුද්ධයේ පාඩම් ශිෂ්ටාචාරයක් ගොඩනැංවීමට උපස්තම්භක විය හැකි මුත් එය කෙතරම් එදිනෙදා මානව ජීවිතයට හතුරුවීද යන්නද පෙන්නුම් කෙරේ.
‘කුරුස යුද්ධ මාලාව’, ‘ජෙන්ගිස්ඛාන්ගේ යුද්ධ’, ‘ටීමුර් නැමති ආක‍්‍රමණිකයා’ ‘නැපෝලියන්’ ’පළමු ලෝක යුද්ධය’ ‘බිස්මාක් ගොනුකළ උරුමය’ ‘දෙවන ලෝක යුද්ධය හා හිට්ලර්’ ආදී වශයෙන් මාතෘකා දහයක් ඔස්සේ ඔහුගේ නිබන්ධනය ලියා ඇත්තේ එ් සඳහා වූ තමන්ගේ වෙහෙස මහන්සියද සනාථ වන පරිද්දෙනි.
ගුණසිරි සිය කෘතිය සමාප්තියේ ඔයැ ඍැඩදකඑ සබ එයැ ඔැපචකැ කෘතියෙන් උපුටා ගෙන මෙසේ කියයි. ‘යුද්ධය හා දිග් විජය ශිෂ්ටාචාරයේ පරම හතුරන් වන්නේය. කෑදරකමේ හා කලහකාරිත්වයේ මාරක ප‍්‍රථිපලයන්ගෙන් ගැලවීමක් නැත.
     
         සාපරාධී යුද සංග‍්‍රාම යුද්ධ ඉතිහාසය පිළිබඳ ඉහළ ගනයේ තොරතුරු එකතුවකි. එ් බව සනාථ කෙරෙන පාදක කෘතිවල ලැයිස්තුව පිරික්සීමෙන්ද අපට ඒ බව වටහා ගත හැකිය. කලාකරුවකු ලෙස කතුවරයාට හිමි ලතෙත් බව නිසාදෝ එ් තොරතුරු සියල්ල යුද්ධයේ ඔජ වඩන ප‍්‍රපංචයන් ලෙස නොව මානව ඛේදවාචකයක්ය, යන අදහස ජනිත වන සේ ගුණසිරි සිය කෘතිය තුළ සංග‍්‍රහ කර ඇත. එහෙත් ගුණසිරිගේ අදේශපාලනික බව මෙම කෘතිය පරිසමාප්තියකට  රැුගෙන නොයයි. ලෝක ඉතිහාසයේ තීරණාත්මක යුද්ධ අරබයා ඔහු පෙනී සිිටින්නේ එ්වා එසේ නොවූවා නම් හොඳයයි සිතන මානව හිතවාදී දෘෂ්ටියක පමණක් පිහිටාය. එහෙත් ලංකා ඉතිහාසයේ මෑතකදී අවසන් වුණු එල්ටීටීඊයට එරෙහි  යුද්ධයේදී ඔහු එක එල්ලේ ජයග‍්‍රාහකයන්ගේ හා එහි න්‍යායික පඬිවරුන්ගේ පැත්ත ගනී.
සාමය පිළිබඳ ගුණසිරිට ඇති අවිඥානක හැඟීම් විසින් මෙම කෘතිය සාපරාධී යුද්ධ හෙළා දැකීමේ දෘෂ්ටිවාදී මාවතක ගමන් කරවයි. එහෙයින්ම මෙම කෘතිය අනගි නිෂ්පාදනයක් බවට පත්වේ. එහෙත් සවිඥානක ගුණසිරි මෙම මානවවාදී කෘතිය වත්මන් යුදවාදීන්ගේ කීර්ති කදම්බයන් හා යා කරන්නට උත්සාහ කරයි. එ් මෙසේය. පොත පිළිගන්වා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටය. එසේ පිළිගන්වමින් ගුණසිරි මෙසේ කියයි. ‘ප‍්‍රභාකරන්ට විනාෂය ගෙනදුන් දේශපේ‍්‍රමී යුද්ධයේ ප‍්‍රධාන නියමුවා වූ ගරු ආරක්ෂක ලේකම්තුමාට සහ රට වෙනුවෙන් දිවි දුන් ආදරණීය රණවිරුවන් ඇතුළු සියලූම රණවිරුවන්ට’ යුද්ධයට කැපී පෙනෙන පක්ෂපාතිත්වයක් දැක්වූ චින්තකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වාගේ උපුටනයක්ද මේ කෘතියේ යම් කරුණක් සනාථ කිරීමට බහා ඇත.
    කෙසේ වෙතත් එකී කරුණු වනාහි කෘතියේ සාරවත් බව නොකෙලසූ අමතර එල්ලූ නොගැලපෙන දේවල් ලෙස ගතමනාය.
         භයංකර ජනඝාතන යුද්ධයක් කෙළවර නව සිතුම් පැතුම් සමුදායක් එ් ඔස්සේ ගොඩ නැගෙමින් ලාංකීය ශිෂ්ටාචාරයේ නව වෙනස්කම් වෙමින් පවතින මෙවැනි අවධියක ”සාපරාධී යුද සංග‍්‍රාම” කෘතිය වනාහී නොසලකා හැරිය නොහැකි , යුදවාදීන්ට මෙන්ම සාමවාදීන්ටද වැදගත් කෘතියකි.
                 චන්ද්‍රරත්න බණ්ඩාර


Friday, 4 April 2014

මහදුරු සරච්චන්ද්‍ර : සිංහල කලාවේ ගමන් තරුව


       දශක තුනක් හෝ ඊට වැඩි කාලයක් මුළුල්ලේ මනමේ නාටකය අට වතාවක්ද, සිංහබාහු දොළොස් වතාවක්ද නරඹා මෙම ලේඛකයා විසින් එකී කලාකෘති සිය වින්දනීය ජීවිතයේ කොටසක් කරගෙන ඇත. සරච්චන්ද්‍රයන්ගේ ඍජු ගෝලයකුද නොවන මෙම ලේඛකයාට මනමේ හා සිංහබාහු සිය ජීවිතයට මෙතරම් බලපෑවේ ඇයි? මනමේ හා සිංහබාහුත් සරච්චන්ද්‍රයන්ගේ බුද්ධි ජීවිතයත් සිය කලාත්මක දැනුමේ කොටසක් ලෙස පූජනීයත්වයෙන් තබාගත් පුළුල් ජන සමාජයක් මනමේ ආරම්භයේ සිටම ශී‍්‍ර ලංකාව තුලත් ඉන් පිටතත් ජීවත් විය. . එහෙත් සරච්චන්ද්‍රයන් විසින් සඳහන් කර ඇති පරිදි වත්මන් වනික් ක‍්‍රමික සමාජය (වෙළෙඳපළ ක‍්‍රමයට මුල් තැන දුන් සමාජය) රටේ ක‍්‍රමයෙන් ස්ථාපිත වීමත් සමග එකී පෙර කී ප‍්‍රබුද්ධ ජන  සමාජය ක‍්‍රමයෙන් හීන වී ගියේය.
         ලෝකයේ අඛණ්ඩව ලියැවුණු පුරාණ බව අතින් ඉහළම කෘතිය යයි සැළකෙන ඉතිහාස ග‍්‍රන්ථය මහාවංශයයි. එවැනි කෘතියක් ජාතියක් සතුවීමෙන්ම එකී ජාතියේ ශිෂ්ටාචාරවත් බවේ පොහොසත්කම කියා පායි. එහෙත් එකී වසර 2500ක් පැරණි සංස්කෘතියට බිහිවූ පළමු මහා ගාන්ධර්වයා අමරදේවයන් බව කියන්නේ මහචාර්ය සුනිල් ආරියරත්නයන්ය. එමෙන්ම එයට ඌන පූරණයක් කරමින් අපට කිව හැක්කේ එකී වසර 2500ක ඉතිහාසය තුළ බිහිවූ පළමු උසස් නාට්‍යය මනමේ බවයි. නාට්‍යවේදියා සරච්චන්ද්‍රයන් බවයි. මනමේ බිහිවූ 1956 නොවැම්බර් 8 වන දින, සංවේදී සංස්කෘතික මිනිසෙකු වන මෙම ලේඛකයාට නම්, ලංකාවේ නිදහස් දිනයට වඩා වැදගත් ඵල ප‍්‍රයෝජන රටට ලබාදුන් දිනයකි. අපගේ පෙබරවාරි සංස්කාරක සටහනින් විස්තර කළ පරිදි රෙදි බැනියම් අඳින හීනමානීය සමාජ බලවේගයන් අතට බලය ලැබීම ලංකාවේ නිදහස යනුවෙන් සංකේතවත් කරයි. විනයක් නැති ගමනක සමාරම්භය ලංකාවට නිදහස ලැබුණු පෙබරවාර හතර වෙනිදා සටහන් කෙරුණු බව අපගේ අදහසයි.
එහෙත් මනමේ සහ සිංහබාහු යනු අද වන විට වසර හැටකට ආසන්න කාලයක් දික් ගැසුණු වැඩිණු පිරිපුන් සිංහල නාට්‍ය කලාවකට ගුරු වූ උසස්ම ගණයේ නාට්‍ය දෙකකි. එ්වා මේ වන විට දස දහස් වාරයක් පමණ රට පුරාත් ලෝකයේ ඇතැම් තැන්වලත් ප‍්‍රදර්ශනය කොට තවමත් රංගගත වෙමින් තිබේ. සිංහබාහු නාටකයේ සුප්පාදේවි ලෙස රඟපෑ මාලනී රණසිංහත්, එහි ඵලමු පොතේ ගුරුගේ භූමිකාව නිරූපණය කළ ටෙරන්ස් රණසිංහත් ලෝකයේ දීර්ඝ කාලයක්, දීර්ඝ වාරගණනක් එකම චරිතය රඟ පෑමෙන් ලෝක වාර්තාවක් පිහිටුවා ගිනස් පොතටද ඇතුලත් කෙරිණි. පරම්පරා තුනකට අයත් නළු නිලියෝ  මනමේ සිංහබාහු නාටකවල චරිතවලට පන පොවමින් ගෙවී ගිය ඉතිහාසය මුලුල්ලේ  එ්වා වර්ණවත් කළෝය. බෙන් සිරිමාන්න, ශ්‍යාමන් ජයසිංහ, ටෙරන්ස් රණසිංහ, මාක් ඇන්ටනි ප‍්‍රනාන්දු, ටි‍්‍රලීෂියා ගුණවර්ධන, ධම්ම ජාගොඩ, නිශ්ශංක දිද්දෙනිය, විජය නන්දසිරි, ආදි වූ විශාල නළු නිළි කැළක් මේ ඉතිහාසය ගොඩ නැඟීමට දායක වූවෝය. එමෙන්ම සරච්චන්ද්‍රයන්ගේ අභාවයෙන් පසුව මෙකී නාට්‍යයන් කාලයේ වැලි තල අතරේ වහං වන්නට නොදී රැුක බලා ගන්නා සරච්චන්ද්‍ර ආර්යාව ලලිතාවන්ද බුහුමන් ලැබිය යුත්තේමය.
අද අප සමරන්නේ මනමේ නාටකය බිහිවීමේ පනස් අටවැනි වසර මෙන්ම, සිංහබාහු නාටකය බිහිවීමේ පනස් දෙවෙනි වසරයි. සිංහල නාටකයේ එකී මංගල ලකුණු බිහි කිරීමේ නිර්මාතෘ වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඡුන්ම ශත සංවත්සරයයි. මේ සියලූ කාරණා,  බොහෝ සමාජ අධ්‍යාත්මික කාරණා අතින් දුගී දුප්පත් වූ, තව දුරටත් දුප්පත් වෙමින් පවතින රටකට අහස තරම් උසට වටිනා කියන කාරණාය.
වසර පනස් අටක් හා වසර පනස් දෙකක් වශයෙන් මනමේ හා සිංහබාහු වේදිකාව මත අඛණ්ඩව රඟ දැක්වීමේ අනුහස කවරේද යන්න දිවි සැරිය නිමා කළ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය සමරණ මෙවැනි වකවානුවක සිහිපත් කිරීම ශී‍්‍ර ලංකාවේ ඉපදුනු ශිෂ්ටාචාරවත් මිනිසකුගේ අත් නොහැරිය හැකි යුතුකමකි. බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවති සිවිල් සේවා, තරඟ විභාගයෙන් දිවයිනේම පළමුවැන්නාට සමත්වූ ඔහුට සිවිල් සේවයට ඇතුළු වූවා නම් තමා ගෙවූ ජීවිතයට වඩා බොහෝ සැප සම්පතින් ආඩ්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබිණි. දක්ෂ ශිෂ්‍යයෙකු වූ සරච්චන්ද්‍ර සිංහල, පාළි, සංස්කෘත, බෞද්ධ සංස්කෘතිය, වැනි විෂයයක් තෝරා නොගෙන වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වැනි විෂයයන් තෝරාගත්තේ නම් ඔහුට ජාත්‍යන්තර ගණයේ විශිෂ්ටයකු වන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ ශී‍්‍රමතාණෝ තෝරා ගත්තේ සිංහල, පාළි, සංස්කෘත වැනි අධ්‍යයන විෂයයන්ය. ඔහු විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳුණු පසු ඒ මනරම් පරිසරය තුළ සැප පහසුවට දිවි ගෙවමින් අකර්මන්‍ය ජීවිතයක් ගත නොකළේය. එ් වෙනුවට ගම් නියම්ගම් සැරි සරමින් එතෙක් පැවති සම්භාව්‍ය ලක්ෂණවලින් වියෝ වූ ටවර්හෝල් මිනර්වා ආදි නාට්‍ය වෙනුවට, සම්භාව්‍ය හා සංවේදී නාට්‍ය කලාවක් ගොඩ නගන්නේ කෙසේද යන්න සොයා බැලූවේය. එපමණක් නොව තමන්ට ලැබුණු අධ්‍යයන ශිෂ්‍යත්වයක්ද කැප කළේ යටකී සද්කාර්ය උදෙසා පර්යේෂණ කිරීමටය. එමගින් සරච්චන්ද්‍රයෝ ඇමරිකාවටද, ඉන්දියාවටද, ජපානයට ද ගොස් පර්යේෂණ කාර්යයන්හි නිරත විය.
දේශීයව හා විදේශීයව කෙරුණු මේ දැවැන්ත පර්යේෂණයේ ප‍්‍රතිඵල ලෙස මනමේ හා සිංහබාහු නාට්‍ය ද්වය ප‍්‍රමුඛ කොටගත් පේ‍්‍රමතෝ ජායතී ශොකෝ, මහාසාර සිට 1980 ගණන් අගභාගයේ නිපදවුණු බවකඩතුරාව දක්වා විහිද විකාශනය විය. එමෙන්ම සිංහල ගැමි නාටකය නම් වූ අග‍්‍ර ගන්‍ය පර්යේෂණ කෘතියද එකී පර්යේෂණයේම කොටසකි. ජපානයේ ප‍්‍රචලිත නාට්‍ය සම්ප‍්‍රදායන් හැදැරීම සඳහා වෙහෙසුණු සරච්චන්ද්‍රයන් එරටේි සමාජ ආධ්‍යත්මය මැනවින් හඳුනාගෙන ‘මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ නැමති අසහාය නවකතා දෙක රචනා කළේය. මේ විශිෂ්ට කෘති දෙක මනුෂ්‍ය ස්වභාවයේ භාව භාව ලීලාවන්, ජීවිතයේ අභ්‍යන්තරික චින්තාවලින් මෙතරම් ග‍්‍රහණය කරගැනීමට සමත් වූ තවත් සිංහල සාහිත්‍යය කෘතියක් මෑත කාලයේ රචනා නොවිනැයි කියවේ. මතුනොව එතුමන් සිය පූර්ව මාතු භාර්යා වූ අයිලින් සරච්චන්ද්‍ර මහත්මිය සමග විවාහ වීමේදී, දායාද ලෙස ලැබුණු නිවස පවා විකුණා ඉන්දියාවේ ශාන්ති නිකේතනයට බැඳී ශාස්තී‍්‍රය සංගීතය උගත්තේය. එහෙයින්ම ඇතැම් මනමේ හා සිංහබාහු දර්ශනයක වාද්‍ය කණ්ඩායම් අතර සිට සිය සිතාරය වයන සරච්චන්ද්‍රයන් දැක ගැනීමේ පින - වාසනාව අපට තිබිණ.
පසුගිය සියවසේ මුල් භාගයේ පහළ මධ්‍යම පාංතික පවුලක ඉපිද දැවැන්ත කැපකිරීම් ඔස්සේ ලංකාවේ නාට්‍ය කලාව ප‍්‍රධාන වශයෙනුත්, සාහිත්‍යය දෙවනුවත් නගා සිටුවීමට ඔහු කැප කළ වෙහෙසේ තරම තේරුම් ගැනීමට එතුමන් විසින් රචිත ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් වූ ස්වයං ලිඛිත චරිතාපදානය ඔස්සේ පුළුවන.
දැන් අප අභිමුවෙහි සරච්චන්ද්‍රයන් නැත. ඇත්තේ ඔවුන්ගේ නිර්මාණ සමූහය, හා ඔහු අනුගමනය කළ සම්ප‍්‍රදායන්ගේ ආනුභාවය පමණි. කලා ක්ෂේත‍්‍රයට හා විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයට ගමන් තරුවක් වෙමින් ඔහු එකී ක්ෂේත‍්‍රයන්ට මග කියා දුන්නේය. කලා ක්ෂේත‍්‍රයන් අරබයා අනුහස පෑ කලාකරුවන් තිදෙනෙකු මා යෝජනා කරමි. ඒ අමරදේව, සරච්චන්ද්‍ර හා මාර්ටින් වික‍්‍රමසිංහයි.
සරච්චන්ද්‍රයන්ගේ මහා මෙහෙවරින් ආලෝක මත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එතුමන්ගේද එතුමන් වැනි සුධීමතුන්ගේද කැප කිරීම් නිසා ලොව හොඳම විශ්වවිද්‍යාල 200 අතරට එකළ එක්වුණි. එහෙත් එයාකාර මහා පුරුෂ සෙවනින් දුරස් වූ එකී විශ්වවිද්‍යාලයට අද එයාකාරයට ඒ ඉසව් කරා ළඟාවීමටවත් බැරි තරම්ය. 
කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා එමගින් ලෝකය පිරිසිඳ දැකීමේ දැනුම ලබාගත් සද් ජනයන්ගේ එකමුතුවකි, කැනඩාවේ කි‍්‍රයාත්මක පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය. කැනඩා ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ පළමු වතාවට ශාස්තී‍්‍රය කාර්යයක් උදෙසා වන වැඩිම ධනයක් වියදම් කරමින්, විසි දෙකක් තරම් වන නළු නිළි කැලක් මේච්චල් කරන අභියෝගය දරා ගනිමින් මනමේ සහ සිංහබාහු නම් වූ දැවැන්ත නාට්‍ය ද්විත්වය එළඹෙන මැයි මස 10 හා 11 වන දෙදින ටොරොන්ටෝවේත් ඊට පසු දිනයන් හි කැනඩාවේ තවත් රඟහල්වලත් වේදිකාගත කිරීමට සැලසුම් කර ඇත.
මනමේ සහ සිංහබාහු, කැනඩාවේ රංග ගත කිරීමට, පේරාදෙණි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් දරන්නාවූ වෙහෙස අපි සැලකිය යුත්තේ සාමාන්‍ය ප‍්‍රසංගයක් ලංකාවේ කලා ශිල්පීන් ගෙන්වා පැවැත්වීමට වැඩි දෙයක් හැටියටය. මෙකී කටයුත්ත උදෙසා වන විශාල පිරිවැය උපයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව සංවිධායකයන් නොදන්නවා නොවේ. එහෙත් එකී දැවැන්ත කාර්යයට තම සංවිධානය උරදීම තුළින් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරණ වටිනා අරමුණ වෙනුවෙන් සමාජයක් වශයෙන් අප බැතිබර විය යුතුය. සිංහලකම ගැන කටමැත දොඩවනවාට වඩා සිංහලකම සතු උදාර වටිනාකම් ගැබ්වුණු මනමේ, සිංහබාහු වැනි ජාතියක් සතු මහඟු කලාකෘති විශාල අවදානමක් දරමින් මෙරට සංවිධානය කිරීමට සිතීම ගැන පවා ගෞරවනීය ලෙස සිතා බැලීමට සමාජයක් වශයෙන් අප සූදානම් විය යුතුය. සිංහලයන් වශයෙන් අපට උද්දාම විය හැකි බොහෝ දේ ඇත්තේ සිංහල භාෂාව හා කලා ශිල්ප ඇසුරේය. එ්වා ඇසුරින් බිහිවුණු ඉහළම නිර්මාණ ද්වයක් ලෙස මනමේ සිංහබාහු හැඳින්විය හැකිය. මෙකී නාට්‍ය දෙකට පුළුල් පේ‍්‍රක්ෂක සහභාගිත්වයක් ලැබීම හෝ නොලැබීම මගින් ඔන්ටාරියෝ වාසි සිංහල ජන ප‍්‍රජාවගේ සංස්කෘතික සංවේදිතාව පිළිබඳ කිරා මැන බලා ගත හැකි වනු ඇත.
 

Sunday, 2 February 2014

66 වසක ශී‍්‍ර ලංකාවේ නිදහසට ජයවේවා! ?


      2014 පෙබරවාරි හතරවන දා අප සමරන්නේ ශී‍්‍ර ලංකාවට නිදහස ලැබීමේ හැටහය වන වසරයි. මිනිසකුගේ නම් මේ වයස යනු මහලූ අවධියයි. වැදගත් ලෙස ජීවත් වූ මනුෂ්‍යයකුට නම් තම ජිවිතයේ හැටහය වන සැමරුම වනාහි ¥ දරුවන්ගෙන් නොමද සැලකිලි ලබමින් සැනසිල්ලේ තම අතීතය සැමරිය හැකි වසරකි. එසේ නොවී බේබදුකමට, සල්ලාලකමට ඇබ්බැහි වී දරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු නොකළ පියෙකුට නම් තම හැට හයවන උපන් දිනයේ දී තම අතීතය සැනසිල්ලේ සැමරිය නොහැකිය.
       රටකට වුවත් එ් න්‍යාය එසේම ගැලපේ. රටකට නිදහස ලැබීම යනු රට ගැන, එහි අතීතය හා අනාගතය ගැන, එහි වසන මිනිසුන් ගැන, හැඟීමක් නැතුව එ් රටේ සම්පත් සූරාකන විදේශ ආණ්ඩුවක පාලනයෙන් නිදහස් වීමයි. රට නම් වූ භූගෝලීය පරිසරයේ උපන් දේශමාමකයන් අතට පත්වීම එමගින් සිදුවේ. අප මේ හැට හයවන වතාවටත් සමරන්නේ එසේ ලැබුණා යයි සිතන උතුම් නිදහසය.
        විජය කුමාරයාගෙන් ඇරඹුනා යයි කියන හෝ ඊටත් පෙර ස්වදේශික ජනවාර්ගිකයන් විසින් පවත්වා ගෙන ආවායයි සිතන ශී‍්‍ර ලාංකික අඛණ්ඩ ස්වදේශීක පාලනය මුළුමනින්ම අත්හිටුවා විදේශීය පාලනයකට යටත් වූයේ 1815 මාර්තු දෙවනදාය. ඒ යටත් විජිත පාලනය නිමාවීම සංකේත කරමින් අවසන් රජු ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ මුරුසියට පිටුවහල් කර යවන ලදුව එහිදී ඔහු මරුමුවට පත්විය. ඉංගී‍්‍රසින්ට  උඩරට අත්පත් කර ගැනීමට හැකි වූයේම කන්ද උඩරට රජුට විරුද්ධ වූ එකී පාලනයේ කොටස්කරුවන්ව සිටි රදළ ප‍්‍රධානීන්ගේ සහාය ඉංගී‍්‍රසින්ට ලැබුණ නිසාය. ඇහැලේපොළ ඉංගී‍්‍රසින්ට සහාය දැක්වීම නිසා කෝපයට පත් ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ රජු විසින් ඇහැලේපොළ ආර්යාව ලවා සිය කුඩා බිළිඳා වංගෙඩියක ලා කෙටවූ බවත්, වැඩිමහල් පුතුන් දෙදෙනා උතුම් දළදා වහන්සේ අභිමුව මහ මළුවේ දී හිස දෙපලූකර මැරූ බවත්, ඇහැලේ පොළ ආර්යාව බෝගම්බර වැවේ ගිල්වා මැරූ බවත් මෑත ඉතිහාසයට අයත් සත්‍ය කාරණාය.
වර්තමාන යුගයේ එවැනි සැහැසිකම් අපට වාර්තා වෙන්නේ උගන්ඩාවේ ඉඩි අමින්, මධ්‍යම අපි‍්‍රකාවේ බොකාසා වැනි පාලකයන් ගෙනි. අපි කවුරුත් ඉඩි අමින් හෝ බොකාසා වැදගත් මිනිසුන් සේ සලකන්නේ නැත.
                  ඉංගී‍්‍රසි පාලනය මුළු රටම යටත් කර ගත් අවධියෙන් වසර තුනකට පසුව 1818 දී තම බල පරාක‍්‍රමය අහිමි වූ රදළ ප‍්‍රධානීන්ගේ ප‍්‍රධානත්වයෙන් කැරැුල්ලක් ඇරඹිනි. කැරැුල්ලට සහාය ලබා ගැනීමට මල්වත්තේ මහනායක හිමියන් බැහැදුටු රදළ ප‍්‍රධානීන්ට මහනාහිමියෝ පවසා ඇත්තේ ගෙවී ගිය සිංහල රාජ පාලනයට වඩා ඉංගී‍්‍රසි පාලනය මිනිසුන්ට හිත කර බවත් එහෙයින් කැරැුල්ලට තමන්ගේ සහයක් ලබානොදෙන බවත්ය. අවසානයේ මල්වතු විහාරයේ ඉංගී‍්‍රසි ආණ්ඩුව කෙරේවූ පක්ෂපාතිත්වය කෙසේද යත් එකී පාර්ෂවයේ  උපසම්පදාව ලබා ගන්නා භික්ෂුවක්ගෙන් පහත සඳහන් පොරොන්දුව ලබා ගත්තේය. ‘තමන් ඉංගී‍්‍රසි ආණ්ඩුවට එරෙහිව කෙරෙන කුමන්ත‍්‍රණවලට සම්න්ධ නොවන බවත්, කවර නම් වූ භික්ෂුවක් එසේ කරන්නේ නම් එ් බව මල්වතු පාර්ශ්වීය කාරක සංඝ සභාව වෙත නොපමාව දැනුම්දෙන බවත්ය.’ (මෙම පොරොන්දුව ලබාදීමට එරෙහිව අතිපූජ්‍ය මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණෝ එකී වගන්තිය ඉවත් කරන තෙක්ම මල්වතු උපසම්පාදව නොගෙන සාමනේර නමක්ව වැඩ වාසය කළේය.*
             රාජ්‍ය සමග පාර්ශිකව කටයුතු කිරීම මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල පුරුද්දක් වූ නිසා  එසේ වූවා විය හැකිය. එමෙන්ම ස්වදේශික පාලනය සතු කෲරතර ස්වභාවයද මල්වතු විහාරයේ ආස්ථානයට හේතු වූවා විය හැකිය.තමන්ගේ ආර්ථික  ඕනෑ එපාකම් නිසා හෝ ලංකාව යා කරන මං මාවත් තැනුවෝ ඉංගී‍්‍රසිහුය. ඔවුන් තැනූ දුම්රිය මාර්ගවලට වඩා වැඩි පුර කි.මි. 50ක් දුරටවත් දුම්රිය මාර්ග දිගු කිරීමටවත් මේ හැට හය වසර තුළ ස්වදේශික පාලකයනට නොහැකි විය.
            ලංකා විශ්වවිද්‍යාල කොලීජිය එනම් දැනට කොළඹ විශ්ව විද්‍යාලය යයි හැඳින්වෙන විද්‍යායතනය ඉංගී‍්‍රසින්ගේ නිර්මාණයකි. අද කෙසේ වෙතත් මෑතක් වන තුරුම එය දැනුමේ පරමාර්ථයට ගැළපෙන උගතුන් එම විශ්වවිද්‍යාලයෙන් බිහි කළේය. පසුව එහිම දිගුවක් ලෙස පේරාදෙණියේ අති මනරම් විශ්වවිද්‍යාලයක් ද බිහි කෙරිණි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ වැටහීමට අනුව ලොව රමණීයම විශ්වවිද්‍යාලය පේරාදෙණියයි. එය තැනූ සර් අයිවර් ජෙනිංස් යටත් විජිත වාදියෙකි. එහෙත්  වැඩ වසම් ආකල්පයකින් හෝ ලංකාවේ බුද්ධිමය සමාජයක් නැගෙනු ඔහුගේ ඒකායන පරමාර්ථය විය.  පේරාදෙනිය විශ්ව විද්‍යාලය නම්වූ යටත් විජිත නිර්මාණය විසින් ඉතාම හොඳම වෛද්‍ය පීඨයක් ඉතාම හොඳ ඉංජිනේරු පීඨයක් හා ශාස්ත‍්‍ර පීඨයක් මගින් අඩ සියවසකට වැනි කලක් ලංකාවට ශාස්ත‍්‍රවන්තයන් බිහි කළේය.
              1948 දී තමන්ට හා තමන්ගේ සනුහරේට අයත් කොටස වෙන්කරවා ගැනීමේ අභිප‍්‍රායෙන් ලංකා ජාතික සංගමයේ නායකයෝ ළඳ බොළඳ හා මෘදු ලෙස ඉංගී‍්‍රසින්ගෙන් නිදහස ඉල්ලා සිටියෝය. ලංකා සම සමාජ පක්ෂය වටා ගොනු වූ තව පිරිසක් එකල ලෝකයේ (විශේෂයෙන් ඉන්දියාවේ* පැවති නිදහස් සටන් සම්ප‍්‍රදාය අනුව යමින් ලංකාවේ නිදහස අරබයා සටනක් දියත් කරමින් සිටියේය. දෙවැන්න ජයගතහොත් තවදුරටත් ලංකාවේ තම අයිතිවාසිකම් අහෝසි වන්නේ යයි ඉංගී‍්‍රසින් විසින් පෙර දැක පළමු කණ්ඩායම අතට නිදහස පවරා දුන්නෝය.
එක අතකින් එය එසේ සිදුවීම හොඳ යයි සිතන්නේ එ් නිදහසින් ඈතට යන්නට යන්නට තමන්ගේම වූ ස්වදේශික ක‍්‍රම අත්හදා බලන්නට ගොස් රට අද වැටී ඇති ප‍්‍රපාතය සිහි ගන්වන විටය. අඩුපාඩු සහිතව වුවත් බි‍්‍රතාන්‍ය පරිපාලන ක‍්‍රමය, ¥ෂිත දේශපාලන ක‍්‍රමයක් විසින් පාලනය කරන වර්තමාන පරිපාලන ක‍්‍රමයට වඩා ආචාර ධාර්මික හා සංවර්ධනයට හිත කර එකක් වූයේය. බි‍්‍රතාන්‍ය යුගයේ අධ්‍යාපනය අඩු පාඩු සහිත වුවත් අද ඇති භාෂා ශාස්ත‍්‍රයක් නොදන්නා නිකමුන් බිහිකරන එකක් නොවීය. මේ සඳහා නිදහසින් පසු බිහි වූ විශ්වවිද්‍යාල සමූහය හා නිදහසට පෙර යුගයේ විශ්වවිද්‍යාල දෙක නීති විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය සංසන්දනය කිරීම වටී.
           ස්වභාෂාවන්ගෙන් කටයුතු නොකිරීම, නීතිය හමුවට පොදු මහජනයාට එ්මට ඇති දුෂ්කරතා, හරුණු විට බි‍්‍රතාන්‍ය යුගයේ අධිකරණ කි‍්‍රයාවලිය සර්ව සාධාරණ ආචාර ධාර්මික පදනමකින් යුක්ත වූ එකක් විය. එහෙත් නිදහසින් පසු පීලික්ස් ඩයස්ගෙන් ඇරඹි මහින්ද රාජපක්ෂගෙන් කෙළවර වූ අධිකරණ කි‍්‍රයාවලියේ ස්වාධීනත්වය විනාශ කිරීම මහ පොළොව නුහුලන එකක් වූයේය. ජේ.ආර්. ජයවර්ධන, පේ‍්‍රමදාස, චන්ද්‍රිකා ඔස්සේ ගලා ගිය අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමේ කි‍්‍රයාවලිය වත්මන් ජනාධිපති පාලන යුගයේ කූට ප‍්‍රාප්තියට පත්කොට ඇත. තවදුරටත් ලංකා අධිකරණයකින් යුක්තිය පැතීම යනු සියලූ බලාපොරොත්තු අත් හැර ගත් සංදර්ශනීය කි‍්‍රයාවලියක් විනා ‘යුක්තිය උදෙසා අවසන් දෙවොලෙන් පිහිට යැදීමක්’ නොවන්නේය.
බි‍්‍රතාන්‍ය යුගයේ විජිතවාසීන් මෙරටින් ධනය උපයා ගන්නේ ව්‍යාපාරික විද්‍යාවකට අනුවය. ඔවුන් මනරම් ලෙස තේ, පොල්, රබර් වගාව කරමින් ඒ වටා අලංකාර සංස්කෘතියක්ද නිර්මාණය කළේය. ලංකාවේ දුර බැහැර වූ එ් වැවිලි ප‍්‍රදේශ කරා යන මාර්ග පද්ධතියක්ද තනාලූහ. ඒ මාර්ග හරහා අවශේෂ වාහන ගමනා ගමන රටාවක්ද ඇති විය. (ලංකාවේ අද පවත්නා ප‍්‍රවාහනයේ පදනම තැනුනේ එ් ආකාරයටය.*  එසේ ව්‍යාපාරික විද්‍යාවකට අනුව තැනුනු වැවිලි වගාවට නිදහසින් පසු කවර කලදසාවක් උදාවීද? 56 දරුවෝ රන් පවුම් වතු ජසනතු කිරීමේ මුවාවෙන් කට්ටි කඩා තම හෙංචයියන්ට දී එ් මහා ධන උල්පත විනාශ මුඛයට හෙළීය. ඉනික්බිතිව පැමිණි මෘග ජේ. ආර්. පාලනය එ් ජනසතු ඉඩම් නැවත පවරාගෙන තමන්ගේ හෙංචයියන්ට දුන්නේය. ඇතැම් වටිනා වැවිලි වගා අක්කරය රු. 2.25 ගණනේ තම හෙංචයින්ට ලබාදීමට ජේ. ආර්. පාලනය කටයුතු කළේය. ජේ. ආර්. යුගයේම විජිතවාදීන් විසින් ඉන්ද වූ රබර් හා තේ වතු කුට්ටි කඩා දේපළ වෙළෙඳාම් නමින් මහපොළොව විකුණා කෑමේ ව්‍යාපාරවල අණසකට පත් කළේය.
              මේ ආකාරයට හැට හය වසරක නිදහසේ ගමන් මග වනාහි පැවතුණු යහපත් සිද්ධාන්ත බිඳ වැටුණු පාලන ක‍්‍රමයක උදාවයි. භාෂා පේ‍්‍රමය, ජාතිකත්වය, දේශ පේ‍්‍රමය වැනි ඊනියා වචනවල මෝඩ ස්වදේශික ජනයා සිරගත කළ ඉතිහාසයක කතාවයි. තැපැල් පියුන්ලා, සමුපකාර සේවකයෝ, කැන්ටර් ලොරිවල තේ දලූ ඇද්දෝ දේශපාලනය නාමයෙන් ධන කුවේරයන් වූ ඉතිහාසයක කතාවයි. දැරියන් 100ක් ¥ෂණය කොට එය සිය සගයන් සමග සමරන ප‍්‍රාදේශීය සභාපතිවරුන්, විදේශීය සංචාරකයන් මරා දමා ඔවුන්ගේ පෙම්වතියන් ¥ෂණය කරන ප‍්‍රාදේශීය සභාපතිවරුන්, සිය නිල රථවල ගංජා අදින ඇමතිවරුන් සිටින, කුඩු කන්ටේනර් නිදහස් කර ගැනීමට ලියුම් දෙන අගමැතිවරු සිටින, හෙරොයින් මත්කුඩු ජාලයන්හි අධිපතිකම් කරන මැති ඇමතිවරු සිටින, ඔවුන්ට සකල විධ ආරක්ෂාව සපයන පොලිසි තිබෙන, රටක නිදහසේ 66 වසරයි.
1815 මාර්තු 02 වන දා බි‍්‍රතාන්‍යයන් ශී‍්‍ර ලංකාව අත්පත් කරගත් දා සිට ඔවුන් ලංකාව කෙරේ වූ පාලන බලය අත්හල 1948 පෙබරවාරි 04 දක්වා වන අවුරුදු 133 ක පාලන කාලය හා 1948 පෙබරවාරි 04 සිට 2014 පෙබරවාරි 04 දක්වා වන නිදහසින් පසු 66 වසර සංසන්දනය කර බලන්න. පසුකාලීන 66 වසර තුළ සිදු වූ මහා අපරාධ කිසිවක් නිදහසට පෙර යුගයේ 133 වසර තුළ සිදු වී ඇද්ද?
            
                                 ශී‍්‍ර ලංකාවේ නිදහසට ජයවේවා ?
චන්ද‍්‍රරත්න බණ්ඩාර