Saturday, 2 May 2015

වෙසක් පොහෝදා අපි බුදුරජාණන් වහන්සේට සාවධාන වෙමු.




x යමක් ආරංචියෙන් නො පිළිගන්නත

x පරපුරෙන් පැවත ආ පමණින් නො පිළිගන්නත

  x  මෙසේ වන්ට ඇතැයි අනුමානයෙන් නො පිළිගන්නත

x තමන්ගේ පිටකයට සමාන ය යි නො පිළිගන්න ත

x තර්කයට හරි ය යි නො පිළිගන්නත

x න්‍යායට හරි ය යි නො පිළිගන්නත


x කරුණ හොඳ ය යි නො පිළිගන්නත

x තමන්ගේ දෘෂ්ටියට එක`ග ය යි නො පිළිගන්නත

x පුද්ගල ගෞරවයෙන් නො පිළිගන්න ත
x මේ ශ‍්‍රමණයන් අපගේ ගුරුන් ය යි ගුරුගෞරවයෙන් ද නො පිළිගන්නත


කාලාමයෙනි , මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය,මේ දහම් නුවණැතියන් විසින් ගර්හිත ය. පුරන ලද්දාවූත් ,සමාදන් වූත් මේ දහම් අහිත පිණිස , දුක් පිණිස පවතී යනුවෙන් යම් විටෙක තුමූ ම යම් යම් කරුණු දැන ගන්නහු ද එවිට ඒවා දුරු කරන්න.
                                                     (කාලාම සූත‍්‍රයෙන්*


                                  



Monday, 20 April 2015

Solomon Northup (1808-1863)



               ඇමෙරිකානු වහල් මෙහෙය නිමා කිරීමේ Abolition ව්‍යාපාරයේ නායකයෙකු වූ ද , 2013 වසරේ තිරගතවූ Twelve Years a slave චිත‍්‍රපටය පදනම් වූ සත්‍ය කථාවේ නිර්මාතෘවරයාද වූයේ Solaman Nothup ය. නිව්යෝක් නුවර උපන් අපි‍්‍රකානු ඇමෙරිකානුවකුවූ සොලමන්ගේ පියා නිදහස ලද කලූ ජාතිකයෙකු විය. යුරෝපීය හා අපි‍්‍රකානු මිශුණයකින් යුත් කාන්තාවක් ඔහුගේ මව වූවාය.
               සොලමන් ජීවත් වූයේ නිව්යෝක් නුවර ආසන්නයේය. තමන්ගේම වූ ගොවිපලක් පවත්වාගෙන ගිය ඔහු දක්ෂ වයලීන් වාදකයෙකුද විය. මේ සිදුවීම වන විට ඔහු තිදරු පියෙකු වූයේය. එක්තරා සුදු ජාතිකයෙකු සොලමන්ට සංගීත ශිල්පියෙකු ලෙස රැුකියාවක් සොයාදීමට වොෂින්ටන් නුවරට යාමට ආරාධනා කරයි.
                 එලෙස රවටා සොලමන් කැඳවාගෙන යන තැරැුවිකාර පිරිස සිහි නැති වන බෙහෙතක් මත්පැනට මිශුකර පොවා වහල් කඳවුරකට ගෙන යයි. අනතරුව New Orleans  ප‍්‍රදේශයේ වැවිලිකරුවකුට තැරැුව්කරුවන් විසින් සොලමන්ව විකුණා දමයි. අනේක දුක් පීඩා විඳිමින් දොළොස් අවුරුද්දක් වහල් සේවයේ ගත කරන සොලමන් වැවිලි කරුවාගේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණෙන කැනේඩියානුවකුට සිය වතගොත පවසයි. එකී කැනේඩියානුවා ඒ පණිවිඩය නිව්යෝක් නුවර නගරාධිපතිවරයාට පවසයි. නිව්යෝක් නිදහස් කලාපයේ වැසියෙකු පැහැර ගෙන යාම පිළිබඳව නීතියට අනුකූලව කි‍්‍රයාකරන එහි නගරාධිපතිවරයා සොලමන්ව නිදහස් කර ගනී.


               
සිය පිටුවහල් ජීවිතය ගැන ලියූ සැබෑ අත්දැකීම Twelve Years a Slave  සොලමන් විසින් 1853 දී  පළකළේය. පසුව ඔහු එකී ව්‍යාපාරය වෙනුවෙන් වහල් මෙහෙයට විරුද්ධව දේශන පවත්වමින් ඇමෙරිකානු ජනතාව දැනුවත් කළේය.
               ඉනික්බිතිව යළිත් 1857 දී සොලමන් අතුරුදහන්වන අතර නැවත ඔහු හමුවන්නේ 1863 දීය.සමහර ඉතිහාසඥයන් පවසන්නේ ඔහු යළිත් වරක් වහලෙකු ලෙස පැහැර ගැනීමට ලක්වූ බවයි.

        සොලමන්ගේ කථාව 1984 දී සුප‍්‍රකට PBS ටෙලිවිෂනය රූපවාහිනී වාර්ථා චිත‍්‍රපටයක් ලෙස සැකසූ අතර 2013 දී සිනමාවට නැගිණි. එය 2014 වසරේ දී ඔස්කාර් සිනමා උළෙලේ දී හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත්තේය.පසුගිය වසරේදී මම මේ චිත‍්‍රපටය සිනමා ශාලාවකදී නැරඹුවෙමි. ඊයේ පෙරේදා දවසකයළිත් මෙම චිත‍්‍රපටය නැරඹුවේ වීඩියෝ පටයකිනි. එය නැරඹූ කාරණය තරමක් වැදගත් යයි සිතමි.

            Black History Month  යනු කලූ ජාතිකයන් සිය අතීතය සංස්කෘතික, සමාජ හා දේශපාලනික වශයෙන් සමරන මාසයයි. මගේ මතකයේ හැටියට මෙම මාසය පෙබරවාරි විය යුතුය. මා නිතර යන එන ටොරොන්ටෝ නගරයේ ප‍්‍රජා මධ්‍යස්තානයක මේ සැමරුම සඳහා තෝරා ගෙන තිබූ  අංග අතර කලූ ජාතික ඉතිහාසයට සම්බන්ධ චිත‍්‍රපට සතියක්ද විය. එහි දී තෝරාගත් එක චිත‍්‍රපටයක් වූයේ  Twelve Years a Slave චිත‍්‍රපටයයි. චිත‍්‍රපට සතියක් කීවාට එය විශාල රූපවාහිනී තිරයක පෙන් වූ වීඩියෝ චිත‍්‍රපට උළෙලක් විය.  කලූ ජාතිකයන් 10ක් පමණ වූ නරඹන්නන් අතර සිටි එකම කලූ ජාතිකයෙකු නොවන්නා මා විය. වීඩියෝ දර්ශනය අතරතුර එකී කලූ ජාතිකයන් අතර මේ චිත‍්‍රපටය ගැන වූ සාකච්ඡුාව මටද ඇසුණි. තමුන් අමානුෂික වහල් මෙහෙයට ලක් කළ ඇමෙරිකාවේ වත්මන් ජනාධීපතිවරයා තම ජාතිකයන් අතරින් තේරී පත්වීම දෛවෝපගත දෙයක් ලෙස ඔවුන් දුටුවෝය. සුදු ජාතිකයන් විසින් ඉතා තුච්ඡු ලෙස තමන් පෙලූ ඉතිහාසය ඔවුන්  ඉතා රලූ වචන පාවිච්චි කරමින් හෙලා දකිමින් කථා කළෝය.
      ලෝකයට කරන ඇමෙරිකානු බලපෑම හොඳඳ නරකද යන්න වෙනම කතා කළ යුත්තකි. එහෙත් අද ඇමෙරිකාව තුළ  නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපූරුවට ස්ථාපිතව තිබේ. මෙම චිත‍්‍රපටයෙන් පෙන්වන ඇමෙරිකාවත් අද ඇමෙරිකාවත් අතර ඇති අති විශාල පරතරය අහසට පොළොව මෙනි. මෙවන් තත්වයකට ඇමෙරිකාව පත්කර ගැනීම උදෙසා කලූ ජාතිකයෝ කවර නම් ජීවිත ප‍්‍රමාණයක් පුදන්නට ඇද්ද?

Sunday, 12 April 2015

ආචාර්ය පේ‍්‍රමදාස උඩගම: අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සඳහා නව මානයක් දීමට තැත්කළ වියතෙක්



             ආත්මාර්ථය වෙනුවට පරාර්ථය සිය ආත්මයේ කොටසක් කරගත් වියතුන්ගෙන් එකළ විශ්ව විද්‍යාල පිරී පැවතුනි. අද දක්වා මෙම ආයතන විශ්ව විද්‍යාල නාමයෙන් පවතින්නේ එකී වියතුන්ගේ බුද්ධිමය ශ‍්‍රමයේ දායකත්වයෙනි. විශ්වවිද්‍යාලයක ස්වර්ණමය අවධිය යනුවෙන් හැඳින්වෙන්නේ ගොඩ නැගිලි හා උපකරණවලින් ආඩ්‍ය වීම නොව මෙවැනි වියතුන්  ගෙන් විශ්වවිදයාල පිරී පැවතීමයි. එ් ස්වර්ණමය අවධීන්ට දායක වූ විද්වතුන් වයස්ගත වීම නිසාම එම ආයතනවල බුද්ධිමය සම්ප‍්‍රදායයන් අභාවයට යමින් පවතී. ආචාර්ය පේ‍්‍රමදාස උඩගම වනාහි එලෙස පේරාදෙණි විශ්ව විද්‍යාලයේත්, කොළඹ විශ්වවිද්‍යාලයේත් ශාස්ත‍්‍ර දානය ලබා දුන් වියතෙකු පමණක් නොව ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරගෙන් පසුව පොදු මහජනයාගේ දරුවන් ඉලක්ක කොට අධ්‍යාපන පරිවර්තනයට දායක වූ මහා වියතාය. එතුමන්ද සිය ජීවන චාරිකාවේ 94 වසර සපුරද්දී පසුගියදා අභාවප‍්‍රාප්ත විය.
          පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි 1970 දී පමණ එවකට බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් හා ලේකම් ධුරය බාරගන්නා ලෙස ආචාර්ය පේ‍්‍රමදාස උඩගමයන්ට ආරාධනා කරන ලදි. එ් අනුව විශ්වවිද්‍යාල ආචාර්ය පදවියෙන් ඉවත්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට හා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්විය.
           මහනුවර මැනික්හින්නේ උපත ලද ආචාර්ය උඩගම ගමේ පාසලෙන්ද අනතුරුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එතුමාගේ වැඩිමල් සොහොයුරා වූ යූ.පී.වයි. ජිනදාස මහතා දීර්ඝ කාලයක් මහනුවර දිස්ති‍්‍රක්කයේ කුණ්ඩසාල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරයා විය. ශී‍්‍ර ලංකාවේ ගැමි ජනයා අතර දේශපාලනය කිරීමේ වෘත්තාන්තගත චරිතයක් වූ ජිනදාස මහතාගේ ආභාෂයත්, සිය ගැමි ජීවිතයෙන් ලද අවබෝධයත් සමග එකල සමගි රජයේ දිසානතිය හඳුනා ගැනීමට එතුමන්ට පහසු විය. අවසාන ප‍්‍රතිඵල කවරක් වුවද එකල අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උඩගම මහතා මූලිකත්වය සපයමින් සිදු වූ පෙරළිය දුගී ජනයා ඉලක්ක කරමින් විමුක්තිවාදී  දැක්මකින් සිදු වූවකි. එවැනි සමාජ ඉලක්කයන් ඇතිව නිදහස් අධ්‍යාපන පනත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා ඉදිරිපත් කළාට පසුවත්, අවසන් වරටත් , අධ්‍යාපන කි‍්‍රයාවලිය සකස් කෙරුණේ උඩගම මහතාගේ මූලිකත්වයෙනි. එවකට සමගි පෙරමුණු රජයේ දර්ශනයට එම ඉලක්කයන් යම් තරමකට අනුකූලද විය. එතුමා පසු කලෙක අප සමග කීවේ තමා දායකත්වය සැපයූ එකී ප‍්‍රතිසංස්කරණ සමාජ සාධාරණත්වයක් සඳහා පදනම් විය හැකි යයි සිතූ බවයි. එවකට සිටි අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත්, අල්හාජ් බද්යුද්දීන් මහමුද් අධ්‍යාපන ඇමතිතුමාත් ,එවකට පැවති රජයනුත්, මෙකී  ප‍්‍රතිසංස්කරණ උදෙසා සහය ලබාදුන් බව ඊට වසර පහළොවකට පමණ පසු ආචාර්ය උඩගම අප සමග පැවසීය.
           1977 දී සිය ලේකම් ධුරයෙන් විශ‍්‍රාම යාමෙන් ටික කලකට පසු පීජී ¥පත්හි අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ මෙහෙයුම් කටයුතුවලට සහභාගි විය. විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයෙන් සමූ ගැනීමත් සමග අධ්‍යාපනඥයකු ලෙස ලොව පුරා අධ්‍යාපන ක‍්‍රමවේදයන් හැදෑරීමට එතුමන් උත්සුක විය. විශේෂයෙන් ප‍්‍රගතිශීලී අධ්‍යාපනය :ඡුරදටරුිිසඩැ ෑාමජ්එසදබ* කවරාකාරද යන්නත්, දරුවකු ලබා ගන්නා අධ්‍යාපනය රටේ සංවර්ධනයට නැවත දායක කරගන්නා ආකාරයත් පිළිබඳ අවබෝධ කර ගැනීමට එතුමා බොහෝ සේ උනන්දු විය.
         නිදහස් අධ්‍යාපන පිළිවෙත 1945 සී.ඩබ්. කන්නන්ගර මහතා විසින් ප‍්‍රතිෂ්ඨාපනය කළත් පාලන බලය ගත් වැඩවසම් පාලකයන් එය පූර්ණ යථාර්ථයක් කර ගැනීමට ඉඩ නොදුන්නේය. අධ්‍යාපනයෙහි වූ පංති භේදය එ් සඳහා ප‍්‍රධාන බාධාව වන බවද ආචාර්ය උඩුගම දුටුවේය.  එහෙයින් දිවා ? වෙහෙසෙමින් දහස් සංඛ්‍යාත ගුරුවරුන් බඳවා ගනිමින් එකී ගුරුවරුන්ගෙන් ඉලක්ක සපුරා ගැනීම උදෙසා මනාව පුරුදු පුහුණු කරමින් එතුමන් කටයුතු කළේය. අධ්‍යාපනය තුළින් දරුවන් පූර්ණ සහනදායි සමාජයක් ඉදිකිරීමේ කොටස්කරුවෙකු කළ යුතු බව ඔහු විශ්වාස කළේය.
         1989ට පසු කාලයක එතුමා සිය විදේශයන්හි කළ සේවයන් නිමවා ලංකාවට පැමිණි අතර ඊට පසුව ටික කාලයක් මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස එහි පර්යේෂණ කි‍්‍රයාවලියට සම්බන්ධ වූයේය. මට එතුමා පළමුවරට හමුවන්නේ එහිදීය. මාර්ග ආයතනය ප‍්‍රකාශයට පත් කළ මාර්ග සඟරාවේ ප‍්‍රධාන සංස්කාරක ලෙස මා සේවය කරද්දී එතුමා සමග ආචාර්ය ගාමිණී කොරයා, ගොඞ්පි‍්‍ර ගුණතිලක ආදි විද්වතුන් පිරිසක් එම සඟරාවේ  උපදේශක මණ්ඩලයේ සේවය කළේ ය. මාර්ග ආයතනයේ එදා තිබුණු නිදහස් වෘත්තීය පරිසරය තුළ අපට බොහෝ විෂයයන් පිළිබඳව නිදහස්ව අදහස් හුවමාරු කර ගත හැකි විය. යොවුන් සමාජ කි‍්‍රයාකාරීන් වූ අපට එතුමාගේ  දීර්ඝ වෘත්තික ජීවිතයේ ලද අත්දැකීම්  නොමසුරුව ලබා දුන් අතර ඒ දැනුම හා උපදෙස් පසුකාලීනව බොහෝ සේ අපට වැදගත් විය.
        ආචාර්ය උඩගම වනාහි ජාතික දර්ශනයකින් සමන්විත දේශපාලන නැඹුරුවක් තිබූ විද්වතෙකි. 1977 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වූ එළඹුණු මැතිවරණයේදී සේරුවල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ බිමට බටහ. පසුකාලීනව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රගතිශීලී නැඹුරුව ලෙස ු ශී‍්‍ර ලංකා මහජන පක්ෂය නිර්මාණය කිරීම සඳහා  ටි.බී. ඉලංගරත්න, විජයකුමාරතුංග, වී.ඩබ්. කුලරත්න ආදීන් සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්විය.  ඉනික්බිති තවත් නොබෝ කලකින් මහජන පක්ෂයේ කි‍්‍රයාකාරිත්වයෙන් ද ඉවත් වූ ආචාර්ය උඩගම ශූරීන් යළි කිසිදු දිනෙක කි‍්‍රයාකාරී දේශපාලනයට පැමිණියේ නැත.
          ඔහු සමග එක්ව වැඩ කළ සමයේ ඔහුගේ උදාරතර ගතිගුණ සමීපව අවබෝධ කර ගැනීමට අපට හැකි විය. එකළ නව සමසමාජ පක්ෂයේ කි‍්‍රයාධරයෙකු වූ ගාමිණී කුමානායකත්, ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාධරයෙකු වූ විජේරත්නත්, නිදහස් මතධාරියකු වූ පසුකාලීන මහත් ආන්දෝලනයට තුඩු දුන් මාධ්‍යවේදියකු වූ ජේ. තිස්සනායගම් හා මා මාර්ග ආයතනයේ ඔහුගේ සමීපතම හිතවතුන් වූහ. ඔහු කවදාවත් අපගේ එකිනෙකට පරස්පර දේශපාලන කලාපයන් විවේචනය නොකළේය. දාර්ශනිකවම  ජාතිකවාදී දේශපාලනය අගය කළ නමුත් එතුමාගේ එකී දර්ශනය විවේචනය කිරීමට අපිද පසුබට වීමු.
        පසුකාලීනව එතුමන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත් කෙරිණි. එසමයෙහි ද එතුමා සමග වැඩ කිරීමට අපට හැකි විය. එකල ඔහු අප සමග පැවසුවේ තමාගේ අධ්‍යාපනය පිළිබඳ දර්ශනය කි‍්‍රයාත්මක කිරීමට එයද සුදුසු තැනක් නොවන බවයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආචාර්ය උඩගම ශූරීන් පේරාදෙණිය විශ්වවිදයාලයේ කුලපතිවරයා වශයෙන් ද සේවාවක යෙදුණි.
      
       අප කවරාකාරයෙන් අගය කළත් පේ‍්‍රමදාස උඩගම ශූරින්ගේ අධ්‍යාපන ක‍්‍රමවේදය විවාදපන්නය. එ් ගැන ගැඹුරින් කතා කිරීමේ නිපුණතාවයක් මට නොමැති නිසා මම නිහඬ වෙමි. එහෙත් මා දැක ඇති එක දෙයක් තිබේ. එතුමා සමග ගිය ගමන් බිමන්වලදී හමු වූ උදවියත් එතුමා ගැන නාමමාති‍්‍රකව ඇසූ විටත් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වුවන්ගෙන් ලැබුණු ගෞරවය  තවත් රාජ්‍ය සේවකයකු අරබයා ලැබෙනු මා දැක නැත.
දර්ශනයක් සහිතව රාජකාරිය මෙහෙයැවීමත් අවංක බවත්, කැපවීමත් සහිත උසස් නිලධාරීන් අද නැතිම තරම්ය. ආචාර්ය උඩගමයන්ගේ සකි‍්‍රය ජීවිතය තුළ මේ ගුණාංග නොඅඩුව තිබුණි. සපිරි වූ බුද්ධියක් සහිත එතුමා එපමණටම නිහතමානිද විය. දිදුලන ඒ ගුණයට දහස්් ගණන් වෘත්තිකයෝ එපමණටම එතුමන්ට ගෞරවාචාර දැක්වූහ.
චන්ද්‍රරත්න බණ්ඩාර

Wednesday, 8 April 2015

අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත උඩගම ශී‍්‍ර බුද්ධරක්ඛිත හිමිපාණෝ



                      අස්ගිරිය අප බැඳී සිටින ප‍්‍රාදේශීය බුද්ධාගමේ මූලස්ථානයයි. එසේ කියන්නේ අපේ ගමේ පන්සලත් ගම අවට ඇති අනෙකුත් පන්සල් සියල්ලත් අයත් වන්නේ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයට නිසාය. එම නිකායේ මහනායක හාමුදුරුවෝ ලෙස කලක් තිස්සේ එම ධුරය හෙබවූ අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත උඩගම ශී‍්‍ර බුද්ධරක්ඛිත හිමිපාණෝ අපවත් වී වදාළ සේක. මේ අපවත් වීම මහනුවර පළාතේ උදවියට ටිකක් බරට දැනෙන සමාජ ආගමික සිදුවීමකි.
           
                මහනායක හාමුදුරුවන්ගේ පෞද්ගලික ජීවිතයේ හොඳ නරක මා නොදන්නා නමුත් උන් වහන්සේ උන්වහන්සේගේ තරමට වඩා වැඩියෙන් සමාජය හමුවේ විහිලූ සැපයූ බව නම් දනිමි. මෑතකදී උන්වහන්සේ කළ හොඳම විහිලූව නම් නාමල් රාජපක්ෂ කුමාරයා ගේ මග පෙන්වීමෙන් දළදා මාළිගාව අවට වැව රවුමේ පැවැත්වූ මෝටර් රථ තර`ගයේ හා කාම සංදර්ශනයට මුලින් විරුද්ධවී පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපත්ෂගේ පොරොන්දුවක් නිසා ” මේ සැරේට විතරක් තියපුවාවේ ” කියා උන් වහන්සේ නිහඬ වීමය.
     
           සියම් නිකායික පාර්ශව දෙකේ එනම් අස්ගිරි පාර්ශවයේ  හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරුන් පිටුපස දුරාතීතයට ඇදෙන දැවැන්ත ඉතිහාසයක් පෙලගැස්වී තිබේ. එහෙයින් උන්වහන්ස්සේලාත් උන්වහන්සේලා නායකත්වය දරණ නිකාය දෙකත් ලාංකීය සමාජ සංදර්භයේ වැදගත් නියෝජන දෙකකි. උන් වහන්සේලා දෙනම අකලංක සිතින් සෟජුව සිට ගත්තොත් ලංකාවේ බොහෝ දෑ කණපිට හැරවීමේ හැකියාවක් අදටත් තිබේ. එහෙත් තමන් වහන්සේලා එතරම් බලගතු යයි උන් වහන්සේලාට ද අමතකව ගොසිනි. එහෙත් රටේ නායකයෝ හා අනෙකුත් දේශපාලකයෝ උන් වහන්සේලා ගැන නිවරැුදිව තක්සේරු  කරගෙන සිටිති.  ඒ බව දන්නා නිසාම මල්වත්තේ හා අස්ගිරියේ පන්සල් බිම ඉඩ  නැතිවන්නට දේශපාලකයන්ගෙන් පිරිකර ලෙස ලැබුණු බෙන්ස් කාර්වලින් පිරී තිබේ. පොඩි දරුවන් සෙල්ලම් බඩු වලින් සැනසෙන්නාසේ අපේ නායක හාමුදුරුවරුද ඒවායෙන් සැනසෙති. මේ සෙල්ලම අද ඊයේ සිට සිදු වූවක්ද නොවේ.
     
          ලාංකීය බුදු දහමේ සංඝරාජවරු දෙපළ වන මුන්වහන්සේලාගේ කි‍්‍රයාකාරිත්වය බුදු දහමේ චිරස්ථිතියට පමණක් යොමු වේනම් එමගින් ඇතිවන පුනරුදය හරහා බොහෝ යහපත් වෙනස්කම් රට තුල ඇතිවනු නොඅනුමානය. පළමුවෙන්ම උන්වහන්සේලා තමන්ගේ සීමා මායිම් මනාව ලකුණු කර ගත යුතුය. දේශපාලන හැත්ත වරිගයට ආරාම දොරටු වැසිය යුතුය. අවවාද අනුශාසනා ගැනීමට කියා පැමිණියාට ඔවුන් ගන්නා අවවාදයක් අනුශාසනා නොමැති බවත්  ලබා දෙන අනුශාසනා වෙතොත් ඒවා පන්සල් මායිම ඇතලේම බිම දමා යන බවත් තේරුම් ගත යුතුය. අනෙක් අතට රට කරවන අයුරු කියා දීමට තමන්වහන්සේලාටද ප‍්‍රමාණවත් දැනුමක් නොමැති බවද තේරුම් ගත යුතුය. ඒ විෂයේදී බුදුන් වහන්සේ පවා සීමාව ඉක්මවා නොගිය බව තේරුම් ගත යුතුය.
        
           එක අතකින් බලන විට මල්වත්ත හා අස්ගිරිය ලංකාවේ පවතින වැඩවසම්ම ආයතන දෙක ලෙස හැඳින්වීමේ වරදක් නැත. එංගලන්තයේ රජ පවුල එරට පවතින වැඩවසම්ම ආයතනය බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත්  එරට නවීකෘත සමාජය ඉදිවීමේදී රජ පවුල කිසිදු බාධාවක් වී නැත. රජ පවුල නැති එංගලන්තය කෙතරම් සංස්කෘතික වශයෙන් දුප්පත් වනු ඇද්දැයි ඔබ සිතන්නේද? එයාකාරයටම බොහෝ නවීකෘත රටවල වැඩවසම් ආයතන (ආගමික හෝ දේශපාලන වශයෙන්) පවත්වාගෙන යනු ලබයි. එය එසේ වන්නේ කාරණා දෙකකටය. එකක් සංස්කෘතික වැදගත්කමක් ඇති නිසාය. දෙවැන්න සංස්කෘතික හුයක් හරහා ජාතීන් එක්ව තබා ගැනීමට හැකි නිසාය.
    
        මල්වත්ත හා අස්ගිරිය දෙස බැලිය යුත්තේත් එයාකාරයටය. රටේ අවාසනාවට මේ ආයතන දෙක දේශපාලන කි‍්‍රයාකාරිත්වය ආගමික කි‍්‍රයාකාරිත්වයට වඩා ඉහළින් ගැනීම නිසා මහා විකෘතියක් ඇතිවිය. ඒ විකෘතියෙන් බේරා ඒ නිකාය වැදගත් මාවතකට ගැනීමේ හැකියාවක් ඇත්තේ ඒ බව තේරුම් ගන්නා භික්ෂුන් අතමය.

Friday, 27 March 2015

මහාචාර්ය සේනක බණ්ඩාරනායක: පරපුරකට නායකත්වය දුන් මහා මිනිසෙක්




ඔහු පරපුරකට නායකත්වය දුන් මහා ඇත් රජෙකි. පුරා විද්‍යාව පිළිබඳ මහජන කතිකාව නවීන අරුතකින් සමාජ මණ්ඩපය වෙත කැඳවීමට බල ඇණි නිර්මාණය කළේ ඔහුය. උස මහත මහ කළු සිංහලයෙකු වූ ඔහුගේ ප‍්‍රතාපවත් රූප කාය තුළ ප‍්‍රතාපවත් රැුස් විහිදෙන මනසක් ද තිබුණි. එ් මනස තුළ ගැබ් වූ ඥාන සම්භාරය පෞරාණිකත්වයට අපමණ ගෞරව කරන නවීන එකකි. පෞරාණිකත්වයට වන්දනාමාන කරන බැතිමතාගේ අයිතියක් රකිමින් පුරාවිද්‍යානුකූලව උරුමය සොයා යාමේ මානවවාදී ප‍්‍රජාතන්ත‍්‍රිය  මාවත ලංකාව තුළ පැලපදියම් කිරීම නම් වූ වෙහෙසකර ප‍්‍රයත්නයට ඔහුගේ පුරා විද්‍යා ජීවිතය කැප කළේය.
සෙල්ලිපි කියවීමේ හැකියාව පමණක් සහිතව පුරාවිද්‍යාඥයන් ලෙස ක්ෂේත‍්‍රයට මැදිහත්වුණු බොහෝ දෙනා ජාතිය ආගම යන කොටු පවුරු තුළ හා තමන්ගේ ලැදියාවන් තුළ එ්වා සිරකරද්දී මහාචාර්ය සේනක බණ්ඩාරනායක ඉන් ඔබ්බේ පිහිටි මහා පොදු සාධකයේ කොටසක් ලෙස පුරා විද්‍යාව එ්ත්තු ගැන්වීමට උත්සාහ ගත්තේය.
ඉංගී‍්‍රසි උච්චාරණයට සිංහල කථා කරද්දී ඉතා හොඳම සිංහල වචනය සොයා ගැනීමට භාෂණයේදී ඔහු දැරූ වෙහෙස අපූරුය. එ් වෙහෙසින් උපන් අපූරු සිංහල වහරින් ඉගෙන ගත් දේ එ්වාට පිටුබල වූ දර්ශනය ද සමග ගලේ කෙටු අකුරු සේ අපේ දැනුමේ නිදන් ගැබ තුළ රැුඳී තිබේ. මහාචාර්ය බණ්ඩාරනායකගේ සිංහල භාෂා ව්‍යවහාරයේදී මා හඳුනාගත් එක දෙයක් වන්නේ තමන් ආගන්තුකව උගත් අනෙකුත් විෂයයන්ට මෙන්ම සිංහලයට ද දක්වන ගෞරවයයි. එසේ ගෞරවයක් ඇතැයි මා හඳුනා ගත්තේ එතුමා භාෂාව හැසිරවීමේදී දක්වන පරෙස්සම් සහගත භාවයත් එ් නිසා ම ඇති වූ විචිත‍්‍රත්වයත් නිසාය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප‍්‍රධානියා ලෙසත්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පළමු අධ්‍යක්ෂවරයා ලෙසත් ,කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසත් ඔහුගේ දැනුමේ ප‍්‍රතිභාව සිසුන්ට ලබා දුන්නේය.
ජාතික රාජ්‍යය නිර්මාණය කර ගැනීමට නොහැකිවූ රටවල් බොහොමයක පුරාවිද්‍යාව ජාතිවාදීන්ගේ කෙලිබඩුවක් බවට පත්වීමට වැඩි ඉඩක්  කඩක් ඇත. ලංකාවේදී ජනවාර්ගික ගැටලූ නිසා නැගී ආ ජාතික බලවේග, පුරාවිද්‍යාව සිය පටු අරමුණු සඳහා යොදා ගැනීමේ අවදානම අහෝසි වූයේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක ප‍්‍රමුඛවත් ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහාචාර්ය ශිරාන් දැරණියගල හා ආචාර්ය සුදර්ෂන් සෙනෙවිරත්න යන විද්වතුන් සිව් දෙනා ඉතා ක‍්‍රමවත් ලෙසත්, විද්‍යාත්මක ලෙසත් පුරාවිද්‍යාව ජාත්‍යන්තර දැනුමින් යුතුව නැවත විග‍්‍රහ කිරීම නිසාය.
ඉන්දීය උපමහාද්වීපයේ පවත්නා දුරාතීතයට දිවෙන විශාල ඉතිහාසය හා එය සහතික කරන නටබුන් පද්ධතිය ජාතිවාදී හා ආගම්වාදී කලි කලහයන්ට සහායක සේවාවක් සපයා ගැනීමට පාවිච්චි කර ගැනීමට මාන බැලීම පොදුවේ දක්නට පුළුවන. පුරාවිද්‍යාව පිළිබඳ ප‍්‍රාථමික දැනුම පමණක් ඇත්තෝ එම නොහොබිනා කටයුත්තේ නියලීම දැක ගැන්මට පුළුවන. එහෙත් ඉන්දියාවේ රොමිලා තාපර් වැනි පුරා විද්‍යාඥයන් ඉන්දීය පුරාවිද්‍යාව, මානව විද්‍යා, සමාජ විද්‍යා සහ නූතන ශුද්ධ විද්‍යාවන් ඇසුරින් පොදු මානව උරුමයක් ලෙස ගැනීමේ සම්ප‍්‍රදාය ලංකාව තුළ ස්ථාපිත කළෝ මහාචාර්ය බණ්ඩාරනායක වැනි විද්වතුන්ය.
මහාචාර්ය බණ්ඩාරනායකට පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය දෙස සියල්ලන්ට ඉහළින් සිට බැලීමේ මනා පෞරුෂයක්ද දැනුමක්ද තිබිණි. එමෙන්ම එ් දැනුම හා දැක්ම සමාජ ගත කිරීමට හැකි ශිෂ්‍ය පරපුරක්ද ආයතනයක්ද සැකසීමට හැකිවිය. කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සම්පූර්ණයෙන්ම පාහේ මහාචාර්ය බණ්ඩාරනායකගේ අධ්‍යාපන දර්ශනය විදහාපාන කැටපතකි. නිල අධ්‍යාපනයෙන් පසු අවධියක සමාජයේ හා විද්වත් කතිකාව අතර සැරිසරමින් ආයතනික නොවන සමාජයීය අත්දැකීම් රාශියක් ලබන විද්වතුන්ට පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට හැඟීමෙන් හා විමංෂන බුද්ධියෙන් යුතුව නැවත මැදිහත්වීමේ අවස්ථාව මෙකී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් ලබා දෙන්නේය. එය සුවිශේෂ දැනුම පද්ධතියක් අරබයා පවත්නා ආධිපත්‍යධාරිබව කඩා ඉහිර වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහු විනයවාදී භාවිතාවක් බව මගේ හැඟීමයි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක සතු වූ අධ්‍යාපනය පිළිබඳව වූ දර්ශනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණය මෙම ආයතනයේ සංවිධාන සැලැස්ම මගින්් සනාථ වේ. දේශපාලන ක්ෂේත‍්‍රයේ, චිත‍්‍ර ශිල්පයේ, සාහිත්‍යයේ,  ශුද්ධ විද්‍යාවන්හි හා අනෙකුත් සමාජයීය විද්‍යාවන්හි නාමධාරී පුද්ගලයන් මහාචාර්ය බණ්ඩාරනායකගේ විවෘත පුරාවිද්‍යා තක්සලාවට (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට* ඇතුළු වී ගුරුවරුන් උගන්වන දේ ඉගෙන ගනිමින් තමන්ගේ පූර්ව දැනුම හා එ්වා ගලපා ගැනීමට කරන තර්ක විතර්ක දෙස එතුමන් සැනසුම් සිතින් බලා සිටි අයුරු  මම දැක ඇත්තෙමි.
මහාචාර්ය සේනක බණ්ඩාරනායක කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අනතුරුව කීර්තිමත් ඔක්ස්ෆර්ඞ් සරසවියෙන් සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියෙන් පශ්චාත් උපාධි ලැබීය. සුප‍්‍රකට බණ්ඩාරනායක පරපුරේ සාමාජිකයෙකු වන එතුමා සිය සමෘද්ධිමත් උත්පත්තික ජීවිතයෙන් ලැබුණු සහනය නිරවුල් මනසකින් තමා නියැලි පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය තුළත් එ් අනුබද්ධ කලා ඉතිහාසය, උරුම කළමනාකරණය වැනි ක්ෂේත‍්‍රයන් තුළත් ගැඹුරින් හා නිදහස් මනසකින් සැරි සැරීමට උපයෝගී කර ගත්තේය. සිය ජීවිතයේ කෙටිකලක් වාමාංශික දේශපාලනයේ කි‍්‍රයාධරයෙකු ලෙස කි‍්‍රයා කළ ඔහු සිය අධ්‍යාපන දර්ශනයේ ස්වරූපය එකී වාමාංශික දර්ශනය මත ගොඩ නැගී ඇතැයි වරෙක එතුමා මා සමග පැවසීය.
මහාචාර්ය බණ්ඩාරනායක ඇතුලත් වන්නේ ලංකාවේ ප‍්‍රභූ පැලැන්තියෙන් පැමිණි බුද්ධිමතුන් අතළොස්ස අතරටය. ඔහු හොඳ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දැක්මකින් සමන්විත වූයේය. 1971 කැරැුල්ල ආශි‍්‍රත වාමාංශික සමාජ දේශපාලනික කතිකාවේ අතිෂය තුනී  සම්භාව්‍ය බුද්ධිමතුන්ගේ තීරුව ඔහු නියෝජනය කළා යයි මම සිතමි.  එහෙත් එකී කැරැුල්ලේ ආවේගශීලී විතණ්ධ බලයේ ප‍්‍රබල බව හමුවේ අනාගතයට මහත් වූ ආලෝකයක් වියහැකිව තිබුණු එකී සම්භාව්‍ය තීරුව වැනසී ගියේය. ආචාර්ය සුසිල් සිරිවර්ධන වැන්නෙකුද එකී තීරුව නියෝජනය කළේ යයි මම සිතමි.
මහාචාර්ය බණ්ඩාරනායකට දහඩිය සුවඳ හමන සිය ගෝල පිරිස සමග එක පෙළට සිට ගනිමින්, එකී උදවිය මහා මිනිසුන් කිරීමට හැකි නිර්ලෝභී ප‍්‍රජාතන්ත‍්‍ර ආත්මය ලැබුණේ ඔහුගේ මානව පේ‍්‍රමී දේශපාලන හෘද සාක්ෂිය නිසා යයි මම සිතමි.
ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යාවේ පළමු බලවතා එච්.සී.පි. බෙල්ය. ඊළඟට එකී ක්ෂේත‍්‍රය අරා දැවැන්ත ආලෝකයක් හෙළු මහා පුරුෂයා මහාචාර්ය සෙනරත් පරණවිතානය. ඔවුන්  ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යාවට සැලකිය යුතු ස්ථාවරත්වයක් හා ගෞරවයක් ලබා දුන්නේය. එහෙයින්ම එකී වියතුන් තමන් ජීවත්ව සිටි යුගය ආලෝකමත් කළා පමණක් නොව ඉන් ඔබ්බට විහිදෙන අගනා කාර්යභාරයක්ද ඉෂ්ට කළේය. මහාචාර්ය  බණ්ඩාරනායකගේ සම්ප‍්‍රදානයන් දියත්වන්නේ එතැන් සිටය. ශුද්ධ විද්‍යාවන්හි, සමාජ හා මානව විද්‍යාවන්හි ඇසුර ලබන පුළුල් විෂයයක් ලෙස පුරා විද්‍යාව ලංකාව තුළ විග‍්‍රහයට ලක් කරමින් එය ක්ෂේතී‍්‍රය මතයක් ලෙස තහවුරු කිරීමේ පුරෝගාමී කාර්යය ඔහු අතින් ඉටු විය.
පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගත් ඇතැම් කලා භාණ්ඩ පුරාවිද්‍යා සොයාගැනීම් ලෙෂ වර්ගීකරණය කොට පැත්තකට කර තිබියදී මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන් එ්වායේ ඇති කලාත්මක අගය යළි පහදා දුන්නේය. මහාචාර්ය සිරිගුණසිංහ, ආනන්ද කුමාරස්වාමි වැන්නෝ ඊට පෙර කළ එකී කාර්යභාරය පුරාවිද්‍යාත්මක විධි නියමයන්ට අනුව තවදුරටත් ඉදිරියට ගෙන ගියේ මහාචාර්ය බණ්ඩාරනායකය. එතුමන් ලංකාව බිහිකළ අග‍්‍රගන්‍ය කලා ඉතිහාසඥයකු ලෙස සම්භාවනාවට පත්විය.
මහාචාර්ය බණ්ඩාරනායකගේ ප‍්‍රධාන පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර භූමිය වූයේ සීගිරිය හා දඹුල්ලය. මාහාචාර්ය පරණවිතානයන්ගෙන් පසු සීගිරියේ ි භාරකාරත්වයට පත්වූයේ මහාචාර්ය බණ්ඩාරනායකයන්ය. සීගිරිය ලාංකීය පුරාවිද්‍යාවේ අනාගත ගමන් මග තීරණය කිරීමට අදාළ නිර්ණායක භූමිය ලෙස එතුමන් උපයෝගී කොට ගත්තේය. කාශ්‍යප රජුගේ අද පෙනෙන නිර්මාණයෙන් දුරාතීතයට ගිය ප‍්‍රාග් පුරාවිද්‍යාත්මක සාධක සොයා යාමේ හා නව දැනුම සම්පාදනය කිරීමේ ක්ෂේත‍්‍ර භූමිය ලෙස සීගිරිය කේන්ද්‍රස්ථාන විය. ඉබ්බන්කටුව මෙගලිතික යුගයට අයත් සුසාන භූමිය සීගිරිය අවටින් සොයා ගැනීම ඊට එක් උදාහරණයකි.
පරමාදර්ශී ජීවිතයක විශේෂ අවස්ථා
මාහාචාර්ය බණ්ඩාරනායක ගෘහනි්රමාණ වේදයෙන් සහ කලා ඉතිහාසඥයකු ලෙස පුරාවිද්‍යාවට යොමුවූ විද්වතකු නිසා බහුවිධ දැනුම පද්ධතියක් ඔස්සේ පුරා විද්‍යා ක්ෂේත‍්‍රය විමර්ෂණය කිරීමේ හැකියාව ඔහුට ලැබුණි. එංගලන්තයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේදී සිය ප‍්‍රථම උපාධිය සඳහා රචිත ඔයැ ඪ්මකඑැා ඉරසජන ෂප්ටැ ්‍යදමිැි දෙ ඡුදකදබබ්රමඅ් 1965 දී ඉදිරිපත් කෙරිණි. එතුමන්ගේ ආචාර්ය උපාධි පර්යේෂණය වූයේ ඔයැ ඪසය්ර්ි දෙ ්බමර්ා්චමර් යි.
1974 දී එතුමා විසින් ීසබය්කැිැ ඵදබ්ිඑසජ ්රජයසඑැජඑමරු කෘතිය සම්පාදනය කළේ ද දීර්ඝ පර්යේෂණ කි‍්‍රයාවලියකින් අනතුරුවය.
1982 දී මහාචාර්ය බණ්ඩාරනායක මහතා සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපපෘතියේ සීගිරිය හා දඹුල්ල ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස පත්විය. එකී ව්‍යාපෘති දෙක ඇසුරෙන් ඔහු න්‍යායාත්මකව වර්ධනය කළ බොහෝ මතවාදයන් ප‍්‍රායෝගිකව ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයත් පසුව කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයත් විසින් ඔහුගේ එකී විද්වත් මතවාදයන් පර්යේෂණ විෂයයන් ලෙස වැඩි දියුණු කරමින් එ්වා ඉදිරියට ගෙන යන ශිෂ්‍ය සමූහයක් විද්වතුන් ලෙස සමාජගත කළේය. සැබැවින්ම අද දවසේ පුරාවිද්‍යාවේ නවමානය සම්ප‍්‍රදායික වැඩවසම් පුරාවිද්‍යා දැක්මෙන් වෙනස්ව රටට හඳුන්වා දෙන්නේත් එය ගැඹුරු හා ආකර්ෂණීය විෂයයක් ලෙස රටට ලෝකයට හඳුන්වා දෙන්නේත් එකී බණ්ඩාරනායක ගෝල පිරිසයි. එම කාර්යයේදී මහාචාර්ය බණ්ඩාරනායකයෝ අන් සියලූ විද්වතුන් පරයා යයි.
විද්‍යාත්මක පුරාවිද්‍යාව හා නව පුරාවිද්‍යාව වැනි නව මානයන් හඳුන්වාදීමේදී සම්ප‍්‍රදායික කොටු පවුරු තුළ සිර වූ පුරාවිද්වතුන් එ්වා එ් හැටියෙන්ම අනුමත නොකළේය. මහාචාර්ය බණ්ඩාරනායක එකී ආදි කල්පිත මතවාදයන්ට මුහුණ දුන්නේ නව දැනුම නවක‍්‍රමවේද ක්ෂේත‍්‍රයට හඳුන්වාදීමත් නොනවත්වා පර්යේෂණ කිරීමත් තුලිනි. පුරාවිද්‍යාවේ සිද්ධාන්තයන් වන ‘පුරාවස්තු යනු අනාගත පරම්පරාට අයත්  දේපළකි.’ යන මතය තරයේ ඇදහු ඔහු සිය ශිෂ්‍යයන්ට එ් බව නිතර නිතර මතක් කර දුන්නේය. පුරා වස්තු මතු කරලීම මගින් එ්වා හැදෑරීමේ අවස්ථාව හිමිවනවා සේම මීට වඩා දියුණු යුගයකදී වඩාත් නිවරැුදිව අතීතය ගවේෂණය කිරීමේ අවස්ථාව අහිමි කෙරෙන බවද ඔහු ඒත්තු ගැන්වූයේය. සීගිරියේ වුවද එක් පැත්තක් ගවේෂණය කරන අතර දක්ෂිණ පාර්ශ්වයට අතවත් නොතබා සංරක්ෂණය කරන්නේ එහෙයිනි.
කලා ඉතිහාසඥයකු ලෙස විධිමත් පුහුණුවක් ලබා ඇති මහාචාර්ය බණ්ඩාරනායක එ් දැනුම වඩාත් විධිමත් ලෙස යොදා ගනිමින් ආනන්ද කුමාරස්වාමි හා මහාචාර්ය සිරිගුණසිංහ වැන්නන්ගේ ප‍්‍රතිපාදනයන් වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමට සමත් විය.
මහාචාර්ය බණ්ඩාරනායක යනු විද්වතකු ගුරුවරයකු පමණක් නොව සිය ශිෂ්‍යයන්ට පියෙකු බඳු උදාර මිනිසෙකි. කලා ඉතිහාසය හා ගෘහ නිර්මාණ ශිල්පය හා පුරාවිද්‍යාව පිළිබඳ අද්විතීය විද්වතකු වූ ඔහු මනාව පුහුණු කරන ලද කලා රසිකයකුද විය. සාහිත්‍ය හා චිත‍්‍ර කලාව සම්බන්ධ විචාරකයකු ලෙස ඔහු බරසාර ලෙස එකී ක්ෂේත‍්‍රයන්ට මැදිහත් විය.
මහාචාර්ය බණ්ඩාරනායක බොහෝ ශිෂ්‍යයන්ට බොහෝ මිතුරන්ට පරමාදර්ශී පුද්ගලයකු විය. මම ඔහුගේ ශිෂ්‍යයකුව සිටියෙමි. ඔහු හමුවන්නට පෙරත් පසුත්  බොහෝ ගුරුවරුන්ගෙන් මම ශිල්ප හදාරා ඇත්තෙමි. එහෙත් මා කෙරේ එතරම් ආනුභාවය පෑ ගුරුවරයකු ගැන මගේ මතකයට නොනැගේ. ඔහු සතු උසස් පෞරුෂය, දැනුමට සමීප අවංක භාවය හා පීතෘ ගුණය නිසා එතුමා මගේ ලෝකය තුළ සදානුස්මරණීය. ඔහු ඇසුරෙන් හඳුනාගත් මිතුරෝ මගේ දැනුම ලෝකයේ සමීප මිතුරෝ බවට පත්වූහ. ලංකාවේ පුරාවිද්‍යාව අද ඉදිරිගාමි තරුණයන්ගේ කතිකා විෂයයක් බවට පත්කළ විද්වතා මහාචාර්ය බණ්ඩාරනායකය.
කලි කලහයෙන් පිරුණු මේ මජර සමාජ ක‍්‍රමයේ අද දවසේ න්‍යාය පත‍්‍රය සැකසී ඇත්තේ මෙකී විද්වත් ප‍්‍රභාවයන් නොසලකා හරිමිනි. මෙවන් උදාර පෞරුෂයන් විශ්වවිද්‍යාලවල නැවත දකින්නට නොහැකිවන පාටය. මෙවැනි කැප වූවන් සුන්දර පියවරුන් විද්වත් ක්ෂේත‍්‍රයේ නැත.
මගේ ලෝකය තුළ මහාචාර්ය බණ්ඩාරනායක යනු මහා විීරවරයෙකි. සිතිජයට ඔබ්බෙන් සිතූ  මහා විද්වතෙකි. දැවැන්ත ඇත් රජෙකි. දැනුම බුද්ධිය, පර්යේෂණය, කලාත්මක භාවිතාව පිළිබඳ යළි යළි සිහිපත් කළ හැකි පුරුෂ සිංහයෙකි.
චන්ද්‍රරත්න බණ්ඩාර

Saturday, 7 March 2015

වාසු: අපේ පරම්පරාව අනාථ නොකරන්න.





                බොහෝ සේ සමීපද, බොහෝ සේ දුරද නොවන මිත‍්‍රත්වයට හුරු සබඳතාවයක් අවුරුදු තිහක් පමණ තිස්සේ ඔබ හා අප අතර වෙතැයි සිතමි. මම ඔබ මෙන් පක්ෂ කීපයක රස්තියාදු නොගැසූ සමසමාජ කාරයෙකු ලෙස පෙනී සිටීමට තවමත් කැමතිය. එහෙත් අරුමය වන්නේ මා සමසමාජයට බැඳුණු ආකර්ෂණය ආවේ මගේ පවුලේ උරුමයෙන් නොව ඔබ වැනි කිහිප දෙනෙකුගේ අතීත දේශපාලන කි‍්‍රයාකාරිත්වය දැකීමෙන් බවයි.
               ඔබ අමතන මෙම ලිපියේ මමම උදාහරණයකට ගන්නේ මම අයත් පරම්පරාවට සෑහෙන බලපෑමක් ඔබ විසින් කළ නිසාවෙනි. මම මගේ පාසල් වියේදී සමසමාජයට බැඳුනෙමි. ඒ බැඳුනේ ඔබගේ විප්ලවවාදී ආකර්ෂණය සෙවනේ රැුඳීමට තිබුණු කැමැත්ත නිසාය. මගේම පාසලේ සමකාලීන මිතුරෙකු මා ගිය මගම ගියා පමණක් නොව ඊටත් වඩා දුර යාමට වලස් තෙල් ටිකක් සොය සොයා ඇවිද්දේය. ඒ දැලි රැුවුලවත් වැවී නොතිබුණු ඔහුගේ මුහුණට ඔබගේ මෙන් ආකර්ෂණීය රැුවුලක් වවාගෙන විප්ලවවාදීයෙකු වීමටය. එසේ පැමිණි මගේ මිතුරාගේ දේශපාලනය ද්‍රවිඩ සටන්කාමී සංවිධාන හා යාවී අවසාන විය.
             මගේ ළ`ග කෞතුකමය වටිනාකමකින් යුත් පෝස්ටර් එකතුවක් තිබේ. එහි ඇති එක් දුඹුරු රතු ද්වි වර්ණ පෝස්ටරයක ඔබේ රූපය යට ”වාසු.....ශී‍්‍ර ලංකාවේ තරුණ පරපුරේ අභිමානය ” කියා උධෘත කොට තිබුණි. ඊටත් යටින් ’ඇහැලියගොඩ ජනතා හදවතින් ’ කියා ප‍්‍රකාශකයින්ගේ තීරුවක් ද තිබුණි. ඒ පෝස්ටරය කලක් යන තුරු ඇලවී් තිබුණේ මගේ අධ්‍යයන මේසය අබියසය.
              අද දවසේ මගේ දේශපාලන හෘද සාක්ෂිය දවන කාරණය වන්නේ එවැනි ළමා වියකදී හෝ ඔබ ඇන්. ඇම්. , කොල්වින් ලෙස්ලි වැනි උදාර නායකයන්ට වඩා ඉහළින් තිබීමට සිදුවීම නිසාය.

             1977 ජූලි ජයග‍්‍රහණයෙන් උද්දාම වූ ජේ.ආර්. ජයවර්ධනගේ මහනුවර පැවති ඓතිහාසික පත්තිිරිප්පු දේශනය ඇසීමට නන් දෙසින් පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයන් රැුගෙන ආ බස් අතර ඇහැලියගොඩින් පැමිණි සෙනගින් පිරී ගිය බස් රථයක් මා ඇස ගැටිණි. එහි ඉදිරිපස ඔබ පරදා බලයට පත්වූ මර්වින් කුලරත්න මන්ති‍්‍රවරයාගේ පිංතූරයක් අලවා තිබුණි. තවත් පැත්තක ඔබේ රූපය සහිත පෝස්ටරයක්ද තිබුණි. එහි සටහන්ව තිබුණේ  ‘වාසු.... අපි ඔබට ද්‍රෝහි වූවා නොවේ.... යු.ඇන්.පියට ඡුන්දය දුන්නා පමණි.’ යනුවෙනි.
මේ සියලූ දෙයින් කියවෙන එක දෙයක් තිබේ. මා ද ඇතුළත් මගේ පරම්පරාව ඔබට ආකර්ෂණයව සිටි බවයි. එ් ආකර්ෂණයට ඔබේ හැඩරුව, සටන්කාමී කතා විලාසය, පරිත්‍යාගශීලී ගුණාංග, මිත‍්‍රශීලී භාවය ඇතුළු බොහෝ දේ බලපාන්නට ඇත. කොටින්ම ප‍්‍රසාද ගුණය දනවන වටිනා දෙයක් ඔබ අපගේ ආත්මයේ කිසියම් ඉඩකඩක රැුඳවීමට සමත් විය.
         එහෙත් ඒ සියලූ ආකාර ආකර්ෂණයන් ඔබ වසර දහයක් පමණ තිස්සේ භාවිතා කොට ඇත්තේ ළමා ළපටින් මුහුදට කැඳවාගෙන ගොස් මරා දැමීමට තැත්කළ නලාකාරයාගේ චරිතයට පණ පෙවීමට යයි දැන් අපට සිතේ.
        ඔබ ඔබගේ දේශපාලන මරණ මංචකය තම දෑතින්ම සකස් කර ගන්නා තෙක් ඔබගේ කි‍්‍රයාමාර්ග දේශපාලන වටිනාකම් පද්ධතියක් තුළ රඳවා ගත්තේය. දේශපාලන කි‍්‍රයාමාර්ග වටිනාකම් පද්ධතියක් තුළ රඳවා ගැනීමේ උතුම් මාවත ලංකාවට හෙළි පෙහෙළි කළේ මෙරටේ සම සමාජ ව්‍යාපාරය විසිනි. ඉක්බිති එය මෙරට මාක්ස්වාදීන්ගේ උරුමයක් බවට පත්විය. එහෙත් 1964 මහා පාවාදීම හරහා නිල සමසමාජය තමන්ම සුජාත කළ එකී උරුමයෙන් වියෝ වුවත් ඔබ වැනි කිහිප දෙනෙක් පැරණි සමසමාජ උරුමය මත රැුඳී සිටින්නට උත්සාහ කළේය. සැබැවින්ම ඔබ කෙරේ අප තුළ උත්පාද වූ ගෞරවයේ මුල අරටුව වූයේ එ් වෙනස් හැසිරීම විය හැකිය.
        ඔබ අද මට පෙනෙන්නේ පරමාර්ථ විරහිතව ස්වයං විනාශයකට ඇද වැටෙන මහා මිනිසෙකු ලෙසය. වරෙක සමනලයෙකු සේද, වරෙක හස්තිරාජයකු සේද, වරෙක මුව පොව්වකු සේද සැරි සැරූ ඔබගේ හෘද සාක්ෂිය අද මහින්ද රාජපක්ෂ නම් වූ බිහිසුණු මිනිසා අබියස ගල් ගැසීමේ තර්කය මම තවමත් සොයමින් සිටිමි. මෙහිදී මම තිස්ස විතාරණ හෝ ඩිව් ගුණසේකර ඇතුලත් කරන්නේ හෘද සාක්ෂියක් නොමැති මියගිය මහා මිනිසුන් කිහිප දෙනෙකුගේ භූතාවතාර ලෙසිනි.
         ධනේශ්වර පාර්ලිමේන්තුවේ වටිනාකම් තුට්ටුවට මායිම් නොකළ ඔබ 1970 ගණන්වල සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉදිරියේ මල් වඩමක් තැබූ දා සිට චන්ද්‍රිකා බණ්ඩාරනායක දක්වා වූ පාලක සැමට ඔබ විරුද්ධ විය. එහෙත් එ් සියලූ දෙනා මහින්ද රාජපක්ෂට වඩා නරකට පෙනුනේ කෙසේද? මේ තරම් ඥාති සංග‍්‍රහයක්, මේ තරම් ගසා කෑමක්, මේ තරම් මානව හිමිකම් උල්ලංඝනයක්, මේ තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිංසා කිරීමක්, මේ තරම් රටක් වශයෙන් කළ හෑල්ලූ කිරීමක් කවර නම් කාලයකවත් සිදුවීද? එහෙත් ඔබ දණ ගැසීමට ආසන්න ලෙස සිරුරද ඊට සමාන්තරව ආත්මයද පහත් කරන්නේ මේ විනාශ සමුහයට වගකිව යුතු නායකයා හමුවේ නොවේද?
       මහින්ද රාජපක්ෂ රෙජීමයේ සකල විධ බඩ ගැත්තරයෝ හත් මුතු පරම්පරාවකට හරි හම්බ කර ගනිද්දී ඔබ එසේ නොකළ බව අපි දනිමු. ඒ එසේ වූයේ ඔබේ දේශපාලන හෘද සාක්ෂිය නිසා නොව  ඔබගේ පරම්පරාවෙන් ලැබුණු ගුණ ධර්ම සමූහයක් නිසා විය හැකිය. එසේ නැත්නම් රාජපක්ෂලා ගැන අනෙකුත් බඩ ගැත්තරයන්ට තිබුණු නිවැරදි තක්සේරුව ඔබගේ පරිණත දේශපාලන මොලයට නොතිබු නිසා විය හැකිය.
නිදහසින් පසු පාලකයන් බොහෝ ගණනක් ඔබට හමුවන්නට ඇතුවාට සැක නැත. එහෙත් ඒ සියල්ල කෙරේම වන විවේචනයක්, එසේ මෙසේ එකක් නොව දරුණු විවේචනයක් ඔබට තිබුණු බව අපි දනිමු. එ් විවේචනය ඔබගේ හොඳ ගැඹුරු පිරිමි කටහඬින් ප‍්‍රකාශයට පත් වූ ආකාරය මේ වසර හතළිස් ගාණක් පමණ තිස්සේ ඔබ වටා දැවටුණු දේශපාලන රැුස් වළල්ලක් සේ තිබුණි. අද වන විට ඔබ බැටලූ සම් පොරවාගත් සිංහයෙකු බව ඔප්පු වී ඇතත් සිංහාවලෝකනයෙන් ඒ අතීතය දෙස හැරී බැලීමට උත්සාහ කරන්න. එවිට ඔබට නිදහසින් පසුව බිහිවූ දුෂ්ටම නායකයා කවුද යන්න වැටහෙනු ඇත. මට මහත් වූ හද කම්පාවෙන් යුතුව මේ දරුණු විවේචනය ඔබ අරබයා කරන්නට සිදුව ඇති නමුදු ඔබගේ දේශපාලන ජීවිතයේ යහගුණැති දේශපාලන කි‍්‍රයාකාරිත්වය ඔබගේ අව ගුණැති විකාරරූපි වර්තමාන දේශපාලන කි‍්‍රයාකාරිත්වයට වඩා වැඩි බව මටද මගේ සගයන්ටද පිළිගැනීමට සිදුව තිබේ. ඔබ අර බැරැුක්ක පටුමගේ නව සම සමාජ කාර්යාලයේ වාතාස‍්‍රයවත් හරි හමන් ලෙස නොවැටුණු පරිසරයක මරණයට අත වනන සමාජ දේශපාලන පරිසරයක කැපවීම් කළ මහා මනුෂ්‍යයකු වී සිටි යුගයක් තිබිණි. ඉනික්බිති බොරැුල්ල බෝගහ අසල අඳුරු මාවතේ පිහිටි කාර්යාලයක ලෑලි පුටුවක කුඩා කකුල් හතරක මේසයක් ළඟ සිට පරමාර්ථ ගවේෂණයේ යෙදුණු අයුරු අපට තවමත් ආශ්වාදජනක මතකයන්ය. එකළ ඔබ ඔබගේ හිතවතුන්ට පැවසුවේ තමන්ගේ අරමුණු දිනා ගන්නා තෙක් ‘අනන්තය දක්වා’ සටන් කරන බවය.
           ඔබගේ එ් දීර්ඝ කාලීන කැප කිරීම් කළේ ඔබ විශ්වාස කළ ඔබ පෙළ ගස්වා ගත් දිනාගත යුතුව තිබූ දේශපාලන පරමාර්ථ උදෙසා නොවේද? ජාතින් අතර යුක්තිය හා සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම, මානව හිමිකම් උල්ලංඝනය වැළැක්වීම, ජාතික සම්පත් සුරක්ෂිතතාව, දේශපාලනකයන්ගේ ¥ෂණ වැළැක්වීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම ආදිය එ් පරමාර්ථ අතර විය. එහෙත් එ් සියල්ල එක පැහැර විනාශ කිරීම දුෂ්ට අයෝමය බව තිබුණේ මහින්ද රාජපක්ෂට පමණි. ජේ.ආර්. ජයවර්ධනටවත් ඒ ශක්තිය එයාකාරව නොතිබුණි. පිරිසිදු වතුර ඉල්ලා හඬ නැඟූ මිනිසුන්ට වෙඩි තබා මරා දැමුණේ, දුගී ජනයාගේ සමෘද්ධි අරමුදල ගසා කෑවේ, දැනුවත්ව සුළු ජාතින්ට එරෙහිව ම්ලේච්ඡුත්වය මෙහෙයවූයේ, මාධ්‍ය මර්දනය ලෝකයේ අංක එකට ගෙනාවේ, කුණු කොල්ලයට ජාතික සම්පත් විදේශිකයන්ට විකිණුවේ, සිතින් සිතා ගන්නටවත් බැරි ඥාති සංග‍්‍රහයන් සිදුවූයේ, අධිරාජ්‍යවාදී සමයේ සිට පැවත ආ අධිකරණ ස්වාධීනත්වය විනාශ කොට කැන්ගරු අධිකරණ ක‍්‍රමයක් බිහිකෙරුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වාධීන පරිපාලනයේ මනා ප‍්‍රතිපාදනය වූ 17 වන සංශෝධනය ඉවත් කොට ඒකාධිපති බලතල ගොඩ නගන 18 වන සංශෝධනය ප‍්‍රතිෂ්ඨාපනය කෙරුණේ, ඔබ විසින් ලැජ්ජා බය නැතුව වැඳ වැටෙන මහින්ද රාජපක්ෂ මිස අන් කවරෙක්ද?

                 මහින්ද රාජපක්ෂ රෙජීමයේ සිටි මැති ඇමති ගොල්ල අතරින් මහත් වූ දේශපාලන චරිතය ඔබ විය. දේශපාලන අරුතින් ප‍්‍රතිරූපයක් තිබුණු ඔබ අන් සියල්ලට (මහින්ද රාජපක්ෂටද වඩා* වඩා  ප‍්‍රතිරූපමය වශයෙන් ඉහළ විය. එහෙත් රාජපක්ෂලාගේ පවුල කේන්ද්‍රකරගත් හරි හම්බ කිරීම කේන්ද්‍රකරගත්, ව්‍යාපෘතියට ඔබ අදාළ නොවීය.  ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මහින්දානන්ද, වැනි මිනිසුන්ට ප‍්‍රබල ඇමතිකම් පිරිනමද්දී ලොඹු කටකින් උර උරා සිටිය හැකි මස් කට්ටක් වැනි ඇමතිකමක් දුන්නේ අවශ්‍ය නැතත් පසු පස්සෙන් එමින් ළෙන්ගතුකම් පාන කරදරකාරයෙකුට දෙන තෑග්ගක් වශයෙනි. ඔබ නිකමට මෙන් දුගඳ හමන අතීතයක් ඇති රත්තරංගේ ඇමතිකමත්, කීර්තිමත් අතීතයක් හා හැකියාවක් ද සහිත ඔබට ඔබගේ මිතුරාගෙන් ලැබුණු ඇමතිකමත්  සසඳා බලන මෙන් ඉල්ලා සිටිමි.


              ඕනෑම දේශාපලන ව්‍යාපාරයකට ද්‍රෝහීන් බිහිවීම අරුමයක් නොවේ. උදාරභාවය මරණය දක්වා පවත්වා ගෙන යෑමට හැක්කේ මහා මනුෂ්‍යයන්ට පමණි. එවැන්නෝ දේශපාලනයේදී හමුවන්නේ විරල වශයෙනි. උදාර භාවය අහෝසි වන විට ද්‍රෝහියකු නොවී දේශපාලනයෙන් ඉවත් විය හැකි නම් එය ඔහුට පමණක් නොව ඔහු අයත්ව සිටි දේශපාලන ව්‍යාපාරයටද ඉතා වැදගත්ය.

             ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසිනුත්, ජාතිවාදීන් විසිනුත් නොසෑහෙන්නට වධ බන්ධනයන්ට ලක්කොට ඇති මගේ මව්බිම සිය දරුවන් උදෙසා අනාගතයක් පතා හඬා වැටෙන්නීය. ඒ හඬ කන වැකුණු  මිනිසුන්, යුතුකම් දන්නා වෘත්තිකයන් ලෙසත්, සංවේදී පුරවැසියන් ලෙසත්, කලක් තිස්සේ වෙනසක් සඳහා අවශ්‍ය විමුක්ති අවකාශය රැුක ගත්තේය. රාජපක්ෂ පාලනය සිය නෑදෑ හිත මිතුරන් සමග එක්වී විනාශ කරන්නට තැත් කළේ එ් විමුක්ති අවකාශයයි. රාජපක්ෂවරුන්ගේ යල් පිනූ මතිමතාන්තර විසින් හෝ ලංකා භූමියේ වැලි කැට අතර රැුඳුණු මහෝත්තම බලයක් නිසා හෝ විනාශයේ පරිසමාප්තියට කලින් ඔහු තාවකාලිකව හෝ සිය ඉහඳ තැබීම සඳහා රටේ දකුණු කෙළවරට පළවා හැර ඇත.
         වාසු සහෝදරය,
  
       ජනවාරි 8 වනදා වූ මහජන විප්ලවයේ ගර්භය තුළ ඔබගේ කීර්තිමත් යුගයේ අපේක්ෂා තුළ වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තියේ  ආනුභාවය, ¥ෂණ විරෝධය, මානවයාට සිය හිමිකම් සඳහා ඇති නොනිමෙන අපේක්ෂාව හා ජාතික එකමුතුව ඇතුළු බොහෝ නිර්මල වූ දේ තිබිණි. ඔබ ඔබේ වියපත් දෑතින් ආරක්ෂා කළ යුත්තේ ඒ පරමාර්ථ හා ඒ සඳහා වූ ජයග‍්‍රහණ නොවේද? ¥ෂණයට නැමුනු හිතකට ද්‍රෝහිත්වය එතරම් දෙයක් නොවේ. එසේ නොවන ඔබේ ජීවිතයට ද්‍රෝහිත්වය වනාහි සදා වධ දෙමින් කවදා හෝ අඳුරු මරණ මංචකයක් නිර්මාණය කරන්නකි.
        වාසු සහෝදරය
        ඔබ සිටිය යුත්තේ නොකිළිටි මහා මිනිසුන් අතර මිස වැලි කැටයත් විකුණා කන ම්ලේච්ඡුයන් සමග නොවේ.

මෙම ලිපිය මාර්තු 1 දා ”රාවය” පුවත්පතේ මුල්වරට පළවිය.

Saturday, 21 February 2015

17, බැරැක්ක පටුමග







             17, බැරැුක්ක පටුමග අපගේ දේශපාලන ඉතිහාසයේ සංකේතීය ස්ථානයකි. 1977 මුල් භාගයේදී වාසුදේව නානායක්කාර, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය කුමාර් ඬේවිඞ්, ආචාර්ය ශාන්ත කුමාර්, සුමනසිරි ලියනගේ වැනි අපූරු එකතුවක් විසින් ලංකා සමසමාජ පක්ෂයෙන් බිඳී ගොස් තැනූ නව දේශපාලන පක්ෂයේ මුලස්ථාන ලිපිනය එය විය. මුලින් කී සියල්ල අතරින් අද එහි වාසය කරන්නේ වික‍්‍රමබාහු පමණක් වුවත් අවුරුදු හතළිහකට ආසන්න කාලයක් ගිනි ගහන ගෙන්දගම් කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම පක්ෂ නිවහන සැලකිය යුතු බලපෑමක් ලංකාවේ දේශපාලනය අරබයා සිදු කළේය.

             ගෙවී ගිය ජනවාරි 15 වනදා මෙම ස්ථානයේ අපූරු දෙයක් සිදුවිය. නීත්‍යානුකූල අයිතිය තමන්ට ඇතැයි පවසමින් කලෙක වානිජ සිංහල සිනමාවේ දුෂ්ටියගේ භූමිකාවට පන පෙවූ සෝනියා දිසා මහත්මිය සිය ප‍්‍රචංඩ ගෝල බාලයන් රැුසක් සමග පැමිණ එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමට තැත් කළාය. එහි බිත්තිවල අලවා තිබූ පෝස්ටර්, දැන්වීම් පුවරු ආදිය කඩා බිඳ දමමින් ඈ ඇයට හිමි දුෂ්ටියගේ භූමිකාව ර`ගපෑවා නොව සැබෑවටම කළාය.

          මේ ගොඩනැගිල්ල කාට නීත්‍යානුකූලව අයිතිද යන්න අපි නොදනිමු. එහෙත් එකී නිවස ප‍්‍රවාදගතව ඇත්තේ නව සම සමාජ පක්ෂයේ මූලස්ථානය ලෙසය. එහෙත් එදා සෝනියා දිසා මහත්මිය සිය ගෝලයන් සමග කලහාකාරීව හැසිරෙද්දී ඉතා අසරණව සිටි ආචාර්ය වික‍්‍රමබාහුගේ මුහුණේ තිබූ අසරණකම ඔහු වැන්නෙකුට හිමි නොවිය යුතු ඉරණමක් බව මගේ අදහසයි.

          ආචාර්ය වික‍්‍රමබාහු නායකත්වය දරණ නව සම සමාජ පක්ෂය සමග මට සෘජු සබඳතා නැතැත් පොදු කටයුතු විශේෂයෙන් මාධ්‍ය නිදහස සම්බන්ධ කාරණා වලදී එක්ව කි‍්‍රයා කළ අතීතයක් මවෙත තිබේ.

          පැරණි වාමාංශික නායකයන් බොහෝ දෙනෙකු මියගොස් සිටින තත්වයක් යටතේ දැනට සිටින වැඩිම කැප කිරීම් කරන ලද වාමාංශික නායකයා ආචාර්ය වික‍්‍රමබාහු විය හැකිය. මැද පංතික අපූරු උරුමයකට හිමිකම් කියන ඔහු කිසිවකුට දෙවන නොවන අධ්‍යාපනයක් (කොන්ටම් යාන්ති‍්‍රක ඉංජිනේරු විද්‍යාව* එංගලන්තයේ කේම්බ‍්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ඇත. ඔහුගේ පුද්ගල හැසිරීම්වල මා අනුමත නොකරන බොහෝ දේ තිබේ. එහෙත් ඔහු දේශපාලන ජීවිතයේදී කරන ලද කැපකිරීම් අද දේශපාලනයේ යෙදී සිටින අන් කිසිවකුට දෙවන නොවේ. එමෙන්ම සිය පාසලවූ ආනන්ද විද්‍යාලයේ දී ඔසවා ගත් රතු ධජය හැත්තෑ ගණනක් වූ ඔහුගේ මහලූ වියේදීවත් අත් නොහැරීම පිළිබඳව මට ඔහු කෙරේ ඇත්තේ ගෞරවයකි.

           තරුණ වියේ දී ඉතා කඩවසම් පුද්ගලයකු වූ ආචාර්ය වික‍්‍රමබාහු , ඇන්.ඇම්., විජය හා වාසුදේව හැරුණු කොට වාමාංශික දේශපාලන ඉතිහාසයේ සිටි කඩවසම්ම නායක මට්ටමේ පුද්ගලයාද ඔහු විය හැකිය.

            ජාතික ප‍්‍රශ්නය අරබයා වන ඔහුගේ ජනපි‍්‍රය නොවන ස්ථාවරය නිසා සිංහල බහුතරයාගේ කෝපයට බඳුන් වී සිටියත් බලය තකා තම මතය අත් හැර නොදැමීමේ ගෞරවයද ඔහුට හිමිවිය යුතුය.

          වාමාංශික ව්‍යාපාරය අවස්ථාවාදයේ තිඹිරි ගෙය වුවත් බාහු එසේ නොවීම පිළිබඳ ඔහුට ඇති ගෞරවය මම යළිත් ප‍්‍රකාශ කරමි.