Saturday, 9 November 2013

බටහිර අන්තය- ලක්බිම 2013-11-07


කැනඩාවේ ‘මනෝ’ ලකුණ
         කුඩාවට ආරම්භ වුණු කැනඩාවේ සිංහල ජනගහණයේ ව්‍යාප්තිය දැන් හතළිස් දහස ඉක්මවා සිටින බව කැනේඩියානු ආණ්ඩුවේ ජන සංඛ්‍යා ලේඛන පවසයි. මේ ව්‍යාප්ති කාලය වශයෙන් ගත් කළ හැට වසරද ඉක්මවා ගොසිනි. මේ සිංහල ජනයා  අතරින් නොරකට හුරුවීමේ දී ඔවුන් ලද කටුක හා මිහිරි අත්දැකීම් සමුදායක් සොයා ගත හැකිය.
         මේ හතළිස් දහසින් අඩකට වැඩි ප‍්‍රමාණයක් කැනේඩියානු සංස්කෘතිය මුළුමනින්ම වැළඳගෙන එයටම අනුගතව වෙසෙති. ඔවුන්ගේ මුල් භාෂාව වන සිංහලය අමතක වෙන්නට ඉඩහැර ඇත. ඔවුන්ගේ පසු  පරම්පරා නම් සිංහල දන්නේම නැති තරම්ය.
           එහෙත් තව කොටසක් මව් බිම පිළිබඳ මතකයන්ගෙන් ඈත් නොවී සිංහල ගී අසමින්, වීඩියෝ මාර්ගයෙන් සිංහල චිත‍්‍රපට, ටෙලිනාට්‍ය ආදිය බලමින් සිය මව්බිම හා බැඳුනු පෙකෙණි වැල නොසිඳ පවත්වාගෙන යති. එමෙන්ම කලා සංස්කෘතික සංවිධායකයන් විසින් වරින් වර මෙරටට ගෙන්වන සිංහල නාට්‍ය හා සංගීත ප‍්‍රසංග විසින් මව්බිමේ මතකය රඳවා ගැනීමට මෙරට ජීවත්වන්නන්ට ලබා දෙන්නේ අපූරු උපකාරයකි.
            සිව්වතාවක්ම මෙරටට පැමිණ නන්විධ කලා ප‍්‍රසංග පවත්වා කැනේඩියානු සිංහල සංස්කෘතික ජන මනස තුළ විශේෂ හැඟීමක් ඇති කළ කලාකරුවෙකි ආචාර්ය ජයලත් මනෝරත්න. ඔහුගේ වරින් වර වූ ආගමනයන් විසින් සිංහල රංග කාර්යයන් කෙරෙහි රොද බැඳගත් පේ‍්‍රක්ෂක ප‍්‍රජාවක් ටොරොන්ටෝව හා ඔහු ආ ගිය නගර තුළ බිහිව ඇතැයි කීම නිවැරැුදිය.
           අප විසින් සංස්කරණය කොට ප‍්‍රකාශයට පත් කරන යාත‍්‍රා පුවත්පතේ පස්වන සංවත්සරය අරබයා විශේෂ ආරාධිතයා ලෙස ආරාධනා ලැබුවේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. කරුණා රසයෙන් පූරණය වූ එම ප‍්‍රාසාංගික දේශනය ටොරොන්ටෝ රසිකයන්ට කලාව ගැනත් විශේෂයෙන් නාට්‍ය කලාව හා සාහිත්‍ය ගැනත් බලවත් හැඟීමක් ජනිත කිරීමට සමත් විය.. ඊට පෙරාතුව පුත‍්‍ර සමාගම නාට්‍ය සමගත්, අනතුරුව මෙහි ජීවත්වන ප‍්‍රවීන සිනමා රංගන ශිල්පි අජිත් ජිනදාසගේ 50 වන ඡුන්ම දින සැමරුමට සමගාමීව පැවැත් වූ ජවනිකා ප‍්‍රසංගයටත් මනෝරත්නයන් පැමිණියේය. මෑතක දීම එතුමන් කැනඩාවට පැමිණියේ කේ.බී. හේරත්ගේ මායාදේවි දර්ශන වාර කිහිපයක් සඳහාය.
                       මනෝරත්නයන් යනු නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ කොහක කෝරළයේ දෙහිපේ් ගම්මානයේ උපත ලබා ඒ පළාතේම පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉසුරුබර ස්වර්ණමය අවධියේ එහි මැනවින් ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කළ විද්‍යාධරයෙකි. එදා ඔහු උත්පත්තික පරිසරයෙන් ලද ගැමි ජන මනස නිර්මාණ ලෝකයේ දී අති සාර්ථක නිර්මාණ සමූහයක් ඔස්සේ විදාරණය කළ හෙයින් දයානන්ද ගුණවර්ධනගෙන් පසු එතුමන් අනුදත් ජනරංගයේ ඊළඟ තැන සිට ගැනීමට ආචාර්ය මනෝරත්නයන්ට හැකිවිය.
                    මේ උත්තුංග නිර්මාණවේදියා බටහිර අන්තයට පැමිණ තම ජීවිතයේ අත්දැකීම් සමුදාය හෘදයාංගම බස්වහරකින් එළි දක්වන විට මව් බිම පිළිබඳ සෙනෙහස පිරි මතකය දල්වා ගැනීමට මෙහි සිටින සිංහලයන්ට පහසුවෙන් හැකියාව ලැබේ. මනෝගේ හඬ හා මනෝගේ රංගය යනු ලංකාවේ සමාජයේ ආත්මය දැන හඳුනා ගැනීමට විවර වන මාවතක් බව ඔවුන් විශ්වාස කරයි. මනෝ කැනඩාවට පැමිණ මෙරට ජීවත්වන සිංහල  ජනයා සමග ගැවසෙමින් ඔවුන් හා දක්වන කුලූපගකම කලාකරුවන් හා පේ‍්‍රක්ෂකයන් අතර සබඳතාවයන්ගේ නව මානයන් සටහන් කරනවා යයි මම සිතමි.
                 මනෝරත්නයන් යනු පරිසමාප්තියට පත් කලාකරුවකුය යන්න මගේ අදහසය. සතතාභ්‍යාසය අතිනුත්, නිර්මාණ උල්පත් පිළිසිඳ ගැනීම අතිනුත්, බහුශ‍්‍රැත බව අතිනුත්, ඔහු ඉහළම තලයක සිටී. බොහෝ උදවිය ඔහුට පෙරයුගයේ නළුවන්ට ඔහු සමාන කළත් මනෝ යනු තමන්ගේම වූ අනන්‍ය සාධාරණ ගුණ සහිත දැවැන්ත කලාකරුවෙකි. විශ්වවිද්‍යාලයත් නාට්‍ය රංගනවේදියකුට ආචාර්ය උපාධියත් පිරි නැමීම වනාහි ලංකාව තුළ සිදු නොවූවකි. ඉනුත් විශ්වවිද්‍යාල අතරින් අග‍්‍ර විශ්වවිද්‍යාලය සේ සැලකෙන පේරාදෙණි විශ්වවිද්‍යාලය මගින්ම එය ඉටු කිරීම මනෝරත්නයන්ට කළ උපහාරයක් පමණක් නොව තමන් බිහිකළ අග‍්‍රගන්‍ය ශිෂ්‍ය රත්නයක් උදෙසා බුහුමන් පිරිනැමීමෙන් විශ්වවිද්‍යාලය සතු පීතෘ ගුණයද ප‍්‍රකට කළේය. එමෙන්ම තමන්ගේ රංග කලා ජීවිතයෙන් උකහා ගත් දැනුම ආශ‍්‍රයෙන් ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත්  කළ ආචාර්ය උපාධි නිබන්ධනය ද මහත් වූ ගවේෂණයක්ද ගැඹුරුතර ඥාන විමංසනයක්ද සහිත සිය රංග කලා  අත්දැකීම්වල බුද්ධිමය ඵලයක්ද බව සැලයි. එම නිබන්ධනය පිළිගැනීම මගින් ලංකාවේ ද්විතික ආචාර්ය උපාධිලත් බහුශුතයන් අතළොස්ස ගනයට මනෝද ඇතුළත් වේ.
              මේ සියලූ කාරණා සැලකිල්ලට ගනිමින් ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ කැනේඩියානු සහෘද සමාජය විසින් එතුමන්ගේ නිර්මාණ සංරක්ෂණය කරමින්  එතුමන්ගේ බුද්ධිමය ධාරිතාව සමාජයට බෙදාහැරීම, ඔහුට නිර්මාණ උල්පත් සැපයූ සිය  පාසල හා විශ්වවිද්‍යාලය ඇසුරෙන් දක්ෂයන් හඳුනාගෙන ඔවුන්ට උපකාර කිරීම, ජනරංගය තේමා කර ගනිමින් එ් සඳහා වන විද්වතුන් දිරිගැන්වීම ආදි බොහෝ කාරණා පෙරදැරි කරගෙන  ‘ආචාර්ය ජයලත් මනෝරත්න භාරය’ දියත් කිරීමට උත්සාහ දරමින් සිටී. කැනඩාවේ පේරාදෙණි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සංගමය ආදි සංවිධානද එ් සඳහා උපකාර කිරීමට එකඟව සිටී.
              මනෝරත්නයන් ආඩම්බරයෙන් කියන්නේ නාට්‍ය ජීවිතය පුරා ඉසුඹුවක් නොලැබ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිට තරුණ චාමික හත්වැල්ල දක්වා සියලූ නිෂ්පාදකයන් සියල්ල යටතේ තමන් රඟපෑ බවයි. මකරා නිෂ්පාදක චාමික හත්වැල්ලට හෝ සුද්දෙක් ඔබ අමතයි නිෂ්පාදක උදයසිරි වික‍්‍රමරත්නට හෝ මනෝ යනු රංග කලා ගුරුවරයෙකි. එහෙත් ඔහුගේ ගුරු ගුණ පිරි දැනුම එ් තරුණයන්ට අත්වාරු කොට සිංහල නාටකයේ ප‍්‍රගමනයට දායක කරයි. එවැනි මනෝ පිදිය යුත්තෙක් නොවේද?
හැට පස් හැවිරිදි මනෝ සිය ජීවිතයෙන් හතළිස් හත් වසරක් රංගනයේද එ් ආශි‍්‍රත කි‍්‍රයාකාරකම්වලද යෙදුණේය. ඔහුගේ පරම්පරාවට අයත් බොහෝ උදවිය නව නිර්මාණයකට අත නොගසා උකටලීව බලා සිටිද්දී මනෝ වසරකට දෙකකට සැරයක් නාට්‍යයක් නිෂ්පාදනය කරයි. මෑතකදී ඔහු ‘සෙල්ලම් නිරිඳු’ නිර්මාණයට අත ගසා ඇත. එ් ඔහුගේ ආධ්‍යාත්මයේ බලපෑමය.
\චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday, 24 October 2013

පරණ පව් පලදී ඇති එක්සත් ජාතික පක්ෂය


                   තව නොබෝ දිනකින් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටි කාලය අවුරුදු 20ක් සපුරන්නේය. එය බලය හිමිව සිටි දේශපාලන පක්ෂයකට හිතා ගන්නට බැරි තරම් අමාරු කාලයකි. ලංකාවට නිදහස ගෙනා විට ඉන් පසු බලය හිමිකරගත් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයයි. අද පවත්නා දේශපාලන ක‍්‍රමය පදනම්ව පවත්නා ව්‍යවස්ථාව සම්පාදනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. එපමණක් නොව 1948 සෝල්බරි ව්‍යවස්ථාව සැකසීමේදී පවා එක්සත් ජාතික පක්ෂය වැඩි වැඩ කොටසක් ඉෂ්ට සිද්ධ කළේය. සැබැවින්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කියන්නේද එක්සත් ජාතික පක්ෂයෙන් කැඞී ගිය නායකයකු බිහිකළ දේශපාලන පක්ෂයකි. 1952 වන තෙක් බණ්ඩාරනායක සිටියේ එක්සත් ජාතික පක්ෂයේය.
                  එහෙව් එක්සත් ජාතික පක්ෂයට මේ සිදුව ඇත්තේ කුමක්ද? සැබැවින්ම එය එහි නායකයා වන රනිල් වික‍්‍රමසිංහගේ ඇති නායකත්ව ගුණ හීන වීම නිසා ඇතිව ඇති අර්බුදයක්ද? එහෙමත් නැත්නම්, විශේෂයෙන් 1977 සිට දහහත් වසරක් ගෙවා දැමූ සිය පාලන සමයේ සිදුකළ සිතාගන්නට බැරි තරම් වූ දේශපාලන පාප කි‍්‍රයා පටිසන් දීමක්ද?
                  එක්සත් ජාතික පක්ෂය එකළ වාමාංශිකයන් විසින් හැඳින් වූයේ කොම්ප‍්‍රදෝරු ධනපතියන්ගේ දේශපාලන පක්ෂය ලෙසිනි. එය ගමේ වැඩවසම් ප‍්‍රභූවරයාගේ සිට සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාගේත්, බහු ජාතික ව්‍යාපාර හිමි ධනපතියන්ගේත් දේශපාලන පක්ෂයයයි හැඳින්විනි. කුඹුරු පනත, බස් ජනසතුව වැනි එකලට සාපේක්ෂව ප‍්‍රගතිශීලී යයි හැඳින්වුණු සෑම සියලූ දේශපාලන කි‍්‍රයාවලියකදීම පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය ඒවාට විරුද්ධ විය.
                     එ් එක පැත්තකි. එම පක්ෂයේ පූර්වතම සංවිධානය වූ ලංකා ජාතික සංගමය පක්ෂයක් ලෙස සකස් වීමේදී එයට සුදුසුම නම ලෙස ‘එක්සත් ජාතික පක්ෂය’ යන්න තීරණය විය. එ් සඳහා බලපෑවේ ලංකාවේ සියලූ ජාතීන් නියෝජනයට එම පක්ෂය සූදානම් විය යුතුය යන්නයි. සැබැවින්ම එක්සත් ජාතික පක්ෂය, ඒ නියෝජනය උදෙසා සැලකිය යුතු මට්ටමකින් කැපවිය. මුස්ලිම් හෝ දෙමළ ජාතිකයෙක් පක්ෂයේ සභාපතිවීම, තනතුරු සංයුතියෙන් සැලකිය යුතු කොටසක් සුළු ජාතින් වෙත පිරිනැමීම. සිය ඡුන්ද පදනම පොදුවේ ශී‍්‍ර ලාංකික පොදු ජාතිකත්වය නියෝජනය කිරීම එකී තත්ත්වයට සාධකයන්ය.
                  මේ සියලූ තත්ත්වයන් මෙසේ  වුවත් 1977න් පසු එළැඹි එක්සත් ජාතික පක්ෂයේ නව යුගය ඊට පෙර තිබුණු එම පක්ෂයේ සහනශීලී ස්වරූපයට බොහෝ වෙනස් විය. ජේ.ආර්. ජයවර්ධනට, තමන්ගේ වයස 72ක් වන තුරුම බලයට පත්වීමට නොහැකි වූ කාරණා කෙරෙහි ඔහුට වෛරයක් තිබිණ. ඞී.ඇස්. විසින් ඩඞ්ලි පෙරමුණට ගැනීම නිසා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙකුට නායකත්වයට එ්මට තිබුණු අවස්ථා අහිමි විය. එ් ජේ.ආර්.ට, බණ්ඩාරනායකට හා කොතලාවලටය. බණ්ඩාරනායක තත්ත්වය කලින්ම තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තමන්ගේම වූ දේශපාලන පක්ෂයක් තනාගෙන බලයට පත්විය. කොතලාවලද 53 හර්තාලයේ ප‍්‍රතිඵලයක් ලෙස බලයට පත් වීමට හැකියාව ලැබුණි. එහෙත් එවැනි අතුරු අවස්ථා හිමි නොවූ ජේ.ආර්ට සිය ජීවිතයේ සැඳෑසමය තෙක්ම බලය සඳහා බලා සිටීමට සිදු විය. එ් බලාසිටියේ නිකම්ම නොවේ. තම අවස්ථාව අහිමි කළ උන් කෙරේ වූ මහත් වූ ක්‍රෝධයක්ද, වෛරයක්ද සමගිනි. එ් වෛරයේ කොටසක් ජනතාව කෙරේද යොමු වී යයි සිදුවීම් අනුව සිතාගත හැකිය.
ජේ.ආර්. ගේ පුද්ගල ජීවිතයේ කරුණු සලකා බලන විට, ඔහු මෘදු ගුණ හීන, කෲර ගුණ වැඩි, එහෙත් ඈත දැකිය හැකි, පොත පත කියවූ, රාජ්‍ය තාන්ති‍්‍රක ඥානය ඉහළ, තමන්ගේම වූ ලෝක දැක්මක් සහිත පුද්ගලයෙකි.  මේ සියලූ පුද්ගල ගුණාංග ඔහුගේ 1977 ව්‍යවස්ථාව තුළ අඩංගුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කුණාටුවලට හොඳින් ඔරොත්තු දෙන ජනේල ඔහුගේ ව්‍යවස්ථාව තුළ විය. ඔහුගේ ව්‍යවස්ථාව තුළ වූ එක හොඳක් සේ සැලකෙන එක් පුද්ගලයකුට දෙවරක් පමණක් ජනාධිපති ධුරය දැරීමේ කාල වකවානු නිර්ණය තමන්ගේ වයස හා සසඳා කළ ඇතුළු කිරීමක් යැයි කෙනෙකුට සාධාරණ තර්කයක් නැගිය හැකිය.
කෙතරම් සවි සම්පන්න බලකොටුවක් වුවත් අර්බුද පැමිණියේය.  එ් පක්ෂ බලකොටුව තුළිනි. ජේ.ආර්. ගේ ඊළඟ අනුප‍්‍රාප්තිකයා වීමට ගොඩ නැඟු ලලිත් හෝ ගාමිණී වෙනුවට ඉතාමත් නොදැමුණු, අඩු උගත්කමක් සහිත මිනිසකු වූ පේ‍්‍රමදාස ඊළ`ග එක්සත් ජාතික පක්ෂ අනුප‍්‍රෘප්තිකයා විය. සිය ඡුන්ම සාධක විසින්ම මෘදු ගුණ අහිමිකරන ලද පුද්ගලයකු වූ නමුත් පේ‍්‍රමදාස ඉතා සාර්ථක සන්නිවේදකයකු විය. අගනගරයේ පීඩිත ජන උරුමයක් සහිත පේ‍්‍රමදාස, සිය මහත් වූ කැපකිරීමත්, සුවිශාල  සන්නිවේදන බලයත් නිසා ඉතා සාර්ථක ලෙස තමන්ට ආගන්තුක වූ සිංහල බෞද්ධ ගම ආක‍්‍රමණය කිරීමටත්, එ් ගැමියාගේ හිත දිනා ගැනීමටත් හැකියාව ලැබුණි.
               අවසාන වශයෙන් 1977 සිට 1994 දක්වා යුගය යනු ජේ.ආර් හා පේ‍්‍රමදාසගේ කෲරතර පුද්ගලික ගුණාංග, ව්‍යවස්ථාවක් මගින් නිරූපණය වූ දහ හත් වසරකි. මේ ආකාරයට රටක් පාලනය කළ දේශපාලන පක්ෂයේ ඊළඟ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ පත්ව සිටී.
                රනිල් වික‍්‍රමසිංහ යනු ජේ.ආර්ටත් පේ‍්‍රමදාසටත් වඩා සංස්කෘතික මිනිසෙකි. ඔහුගේ පියා සමසමාජ උරුමයක් තිබී  පසුව සිය පංති සබඳතා නිසා එක්සත් ජාතික පක්ෂයට ගිය, ලංකාව බිහිකළ ඉහළ පෙලේ ජනමාධ්‍ය වේදියෙකි. ඔහුගේ මව නාලනී වික‍්‍රමසිංහ, ලංකාවේ කලාකරුවන් උදෙසා අගනා අනුග‍්‍රහයක් සැපයූ උසස් කලා රසිකත්වයක් තිබූ කාන්තාවකි. රනිල් වික‍්‍රමසිංහද අනෙක් නායක නායිකාවන්ට මෙන් බොරු උපාධි සහතික නොව, නිදහස් අධ්‍යාපනයේ අනුහසින් සැබෑවටම උගෙන උසස් අධ්‍යාපන හැකියාවක් පෙන්වා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ උගතෙකි. පොත පතට කලාවට ඇලූම් කරන ඔහු සිංහලයෙන්ද ඉංගී‍්‍රසියෙන්ද ශාස්තී‍්‍රය ලිපියක් තනිවම ලිවිය හැකි එමෙන්ම ඒ දෙබසින්ම ශාස්තී‍්‍රය දේශනයක් කළ හැකි විශිෂ්ටයෙකි. ඇතැම් විට එ් හැකියාවන් එ් මට්ටමින් ජේ. ආර්ටවත් තිබුණාදැයි සැක සහිතය. සමහරවිට එවන් හැකියාවක් බණ්ඩාරනායකට තිබුණා විය හැකිය.
                    එහෙත් එසේ වූ රනිල්ට පොදු ජනයා පිනවිය හැකි ලූණු ඇඹුල් සහිත දේශපාලන කථාවක් කළ නොහැකිය. පොදු ජනයාට හොඳින් සිනාසිය හැකි ව්‍යංගයන් සහිත විහිලූවක් කළ නොහැකිය. ඒ එ් අවස්ථාවට අදාළව සුදුසු ඇඳුමක් ඇඳගෙන යාමේ බුහුටිකම ඔහුට නැත. නිදහසින් පසු දේශපාලනඥයන් ප‍්‍රගුණ කළ ඡුන්දදායකයා මන්මත් කරන ව්‍යාජ සිනාව ඔහුට නැත. එහෙත් ඔහුට දර්ශනයක් තිබේ. එ් දක්ෂිණංශික ලිබරල්වාදී එකකි. රට ගමන් කළ යුත්තේ එයාකාරයට යයි ඔහු විශ්වාස කරයි. හැබැයි දේශපාලකයන්ට කිසිදු දර්ශනයක් නැතිවීමට වඩා එවැනි දර්ශනයක් හෝ තිබීම වැදගත්ය. අවසාන වශයෙන් ඔහු හොරෙකු හෝ ¥ෂිතයෙකුද නොවේ.
                  එහෙත් රනිල්ගේ එ් කිසිම ගුණාංගයක් එක්සත් ජාතික පක්ෂයට වැදගත් නැත. ඔවුන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් බලය ලබා ගැනීමටය. ලබා ගැනීමෙන් පසු මහජන දේපළ මැනවින් සූරා කමින්  සිය මඩිතර කර ගැනීමටය. මේ සඳහා බලය ලබා ගැනීමට ඔවුන්ට මහින්ද රාජපක්ෂ කෙනෙකු අවශ්‍යය. එ්ත් මේ මෝඩ යූ.ඇන්.පී. කාරයන් නොදන්නේ දකුණෙන් තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු සොයාගත නොහැකි බවයි. ඊට සමාන මිනිසෙකු උතුරේ සිටියේය. ඒ ප‍්‍රභාකරන්ය. එහෙත් දකුණේ මහින්ද රාජපක්ෂ විසින්  ඒ සමානයා නිර්භීත ලෙස අහවර කර දැම්මේය.
                දැන් එජාපය මහින්ද රාජපක්ෂ කෙනෙක් තනාගන්නට තතනන්නේ සජිත් පේ‍්‍රමදාස වැනි දේශපාලන පියකුගේ අදේශපාලනික පුතෙකු මගිනි. හරි හමන් දේශපාලන ඇමතීමක් හෝ කුමන හෝ දේශපාලන දර්ශනයක් නැති පීතෘ උරුමයට බලය ලැබේයයි සිතන දේශපාලන ලපටියෙකුගෙනි.
එජාපය සිතන ආකාරයට මහින්ද රාජපක්ෂ ආකාරයේ දේශපාලන පෞරුෂයක් නැවත තනා ගැනීමට නොහැකිවා පමණක් නොව අනාගතය උදෙසා එවැන්නක් ගැලැපෙන්නේද නැත. ඉතා භයංකර සතුරකු හා සටන් වැදීමට අවශ්‍ය පෞරුෂයක් මහින්ද රාජපක්ෂට තිබුණ නමුත් ඉනික්බිති සංහිඳියාව පතන, ජාතින් එ්කරාශී කරන සැබෑ ජාතික රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ පෞරුෂයක් තමන්ට ඇති බව ඔහු මෙතෙක් ප‍්‍රදර්ශනය කොට නැත. එජාපය පැතිය යුත්තේ සංහිඳියාව සනාථකළ හැකි නායකයෙකි. ඔවුන් සොයා ගත යුත්තේ එවැන්නෙකි.එ් නායකයා සජිත් නම් නොවන බව ඉතා පැහැදිලිය.
             එජාපය ,් 17 වසරක් තිස්සේ තමන් වෙත ලැබුණු ජන බලය හා තමන් තනාගත් ව්‍යවස්ථාව මගින් රට කනපිට හැරවූවේය. හොඳින් කි‍්‍රයාත්මක වූ ඡුන්ද ක‍්‍රමය, මානව අයිතිවාසිකම් රාජ්‍ය පාලනයේ සාපේක්ෂ අ¥ෂීත බව එජාපය විසින් සිය දහ හත් අවුරුදු පාලනයේදී විනාශ කරන ලදි. තමන්ගේම වූ එ් භයංකර ඉතිහාසය මළවුන්ගෙන් නැගිට ආ තමන්ගේම ඥාතියෙකු පරිද්දෙන් එක්සත් ජාතික පක්ෂය බිත්තියටම හේත්තු කර ඇත. එක්සත් ජාතික පක්ෂය පෙලන අර්බුදයේ සැබෑ හේතුව එයයි.

Thursday, 26 September 2013

නිශ්ශංක දිද්දෙනිය රංගනවේදියෙකු පිළිබඳ සතුට දනවන මෙනෙහි කිරීමක්




                                          නිශ්ශංක දිද්දෙනිය
                          රංගනවේදියෙකු පිළිබඳ සතුට දනවන මෙනෙහි කිරීමක්
                         25 වසරක් තිස්සේ අඛණඩව සිංහබාහු ලෙස රංග වස්ත‍්‍ර හැඳගත් ඔහු සිංහල ජාතියේ සමාරම්භකයාට වංශකතාවලින්, ජනසාහිත්‍යයෙන්, අනෙකුත් නාඩගම්වලින් නොදුන් තරුණ ජවයක්, වීරත්වයක් හා අපමණ අභිමානයක් පමණක් නොව නොනැසෙන සෞන්දර්යයක්ද ලබා දුන්නේය. නිශ්ශංක දිද්දෙනිය නැමති මේ රංගන ශිල්පියා ශී‍්‍ර ලාංකික වේදිකා රංගනයට සිංහබාහු තුළින් ලබා දුන් සෞන්දර්යමය අධිමානය ලබා දීමට සමත් කිසිදු නලූවෙකු සිංහබාහු නැමති මහා රංගයට යළි හමු නොවීය. නිශ්ශංක දිද්දෙනිය විවේකීව කල් ගෙවද්දී තරුණ නළුවෝ සිංහබාහුට අඳිති. කලියුගය එළඹිකල සියලූ දෑ නීරස වන්නාසේ සිංහබාහුද තවත් නාටකයක්ව වේදිකාවේ කල් ගෙවයි.
                     සිංහබාහු පමණක් නොව සරච්චන්ද්‍රයන්ගේ සමස්ත කලාවම ශී‍්‍ර ලාංකික සංස්කෘතියේ ගැඹුරු හර පද්ධතිය නියෝජනය කරයි. කාලයාගේ ඇවෑමෙන් නිසරු පසකින් වැසී ගිය යුගයක එ් සරච්චන්ද්‍රයන්ගේ කලාවේ මහිමාව සොයා ගත හැක්කේ එ් සඳහා සුදුසුකම් ලත් මිනිසුන් සමූහයක් අතිනි. අපගේ අවබෝධයේ හැටියට එ් සඳහා වඩාත් සුදුසුකම් ඇති රංගධරයන් දෙදෙනෙක් අප සමග සිටී. එ් නිශ්ශංක දිද්දෙනිය හා ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. මේ කලාකරුවන් දෙපල සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවලට බැහැරින් තබා ඇතුවා පමණක් නොව, ඔවුන්ගේ ස්වසන්ථානගත සරච්චන්ද්‍ර නිර්මාණ ආවේශය, හුදකලාව හෝ රංගනයකට යොදා ගැනීමට මඟ අවුරාලන නීති තහංචි පනවා ඇත.
                සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවලට බැහැරින් ඇති මහා රංගයන් කිහිපය අතර දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත නාටකය ද වේ. එහිදී නිශ්ශංක දිද්දෙනියයෝ එම නාටකය ඇසුරින් සිංහල වේදිකාව තුළ තබන මහා මුද්‍රාව සුළු පටු නොවේ. ගායනා කරමින් රංගනයේ යෙදීම සුළු පටු කාරණයක් නොවේ. මහාචාර්ය සරච්චන්ද්‍ර මෙන්ම ගුණවර්ධනයෝ ද රංගනයේ හැකියාවන් පසක් කළේ ගායනයට ඇති හැකියාව මිම්මක් ලෙස පාවිච්චි කරමින්ය. එ් දුලබ පරීක්ෂණයෙන් සමත්වූවන් අතර ප‍්‍රමුඛයෙකි දිද්දෙනිය.
රත්නපුර දිස්ති‍්‍රක්කයේ පනාවැන්න ගමේ ඉපදී හැදී වැඩුනු දිද්දෙනියයෝ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ස්වර්ණමය අවධියේ එහි ශාස්ත්‍රෝත්ග‍්‍රහණය සඳහා පැමිණි විද්‍යාර්ථීන්ගේ ගොන්නට අයත් වෙති. සිය රංග සගයා වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ද එ්  ශිෂ්‍ය සමූහයට අයත් වූ අතර දෙදෙනා තුළම ගොනුව පවත්නා රංගනයේ විධි නියාම සැකසෙන්නේ මේ ගැඹුරු පරිසරයේ සිටයි. මේ පරිසරයට ගුරු වූවෝ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ය. ඇතැම් විට සරච්චන්ද්‍රයන් නොවන්නට නිශ්ශංක දිද්දෙණිය පිළිබඳ මේ සා පෘථුල කතාබහකට ලාංකීය කලා සමාජය යොමු නොවන්නට ඉඩ තිබුණි.
               සරච්චන්ද්‍රයන් දිද්දෙනියගේ අති සියුම් ප‍්‍රභා ප‍්‍රතිභා උකහාගැනීමට සමත් වූයේ කුඩා කල සිට හදාවඩාගත් දරුවකුගේ දක්ෂතා දන්නා හඳුනන පියෙකු පරිද්දෙනි. සිංහබාහු චරිතය කරුණාබරිත මව්ගුණයෙන් ද, ප‍්‍රතාපවත් පිය ගුණයෙන් ද, පෝෂණය වූ චරිතයකි. ඔහු උදාරය. ඔහු සමසිතින්ද නැණ ගුණයෙන්ද යුක්තය. ඔහු ජාතියක සමාරම්භකයාය. එවැන්නෙකුට ප‍්‍රාණ වායුව සැපයිය හැකි නළුවකු මහා නළුවෙකි.
             දිද්දෙනිය සිංහබාහු නාටකයෙන් ඔබ්බේ සරච්චන්ද්‍ර නිර්මාණ කිහිපයකටම දායක විය. පේමතෝ ජායතී සෝකෝ, වෙස්සන්තර, ලෝමහංස, මහාසාර ඒ අතර වේ. එයින් ලෝම හංස නාටකයේ ප‍්‍රධාන චරිතයට පන දුන්නේ දිද්දෙණියයන්ය මහාසාර නාටකයේ වැඳිරිය වූයේ දිද්දෙණියය. පේ‍්‍රමතෝ ජායතී සෝකෝ නාටකයේ පුන්නක ශිෂ්‍යයා දිද්දෙණියය.
             සරච්චන්ද්‍ර විසින් පිහිටුවන ලද වෘක්ෂයේ මුදුන් මුලින් ජනිත වූ නව ශාඛාව ජනරංගය ලෙස හැඳින් විය හැකිය. එහි නිර්මාතෘ වූයේ දයානන්ද ගුණවර්ධනයන්ය. එතුමන්ගේ වාර්තා රංගයක් වන ගජමන් පුවත ඇතමුන්ගේද මගේද මහා රංගයයි. සිංහල ජන සාහිත්‍යයේ සරල එමෙන්ම සෞන්දර්ය ගුණයෙන් අනූන ඇලපාත මුදලි දිද්දෙනියයි. මාතර යුගයේ  කාව්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ සේ සැලකෙන ගජමන් නෝනා කිවිඳියගේ ජීවිතය ඇසුරෙන් නිර්මානිත ගජමන් පුවතේ ඒ සාහිත්‍ය පරම්පරාවට අයත් කවි ගායනාවලින් සමන්විතය. ඇලපාත නම් වූ නම්බුකාර පෙම්වතාගේ කවි ගායනා දශක හතරක් පමණ තිස්සේ අපේ වින්දන ක්ෂේත‍්‍රය පුළුල් කරමින් එහිම රැුඳෙමින් රැුව්දෙමින් සිටී. ඒ කවිවල ඇති සාරය පමණක් නොව ගායනාවේ හා උචිත රංගයේද ආනුභාවයෙනි.
             දිද්දෙණිය මුද්‍රාව තැබූ සිංහබාහු, ලෝමහංස හෝ ගජමන් පුවතෙහි දිදුලන්නේ සෞන්දර්යයෙන් අනූන පෞරුෂයකි. ඔහු තබන පියවර නර්තන හැකියාවකින් ඔපවත්වූවක් වේ. ඔහුගේ ගායනයේ පවත්නා අනු නාදයන් දිද්දෙනිය ගායන ලකුණයි.
            මහාචාර්ය සරච්චන්ද්‍රයන්සේම දිද්දෙණියද නාටකය නළුවාගේ කලාවකැයි අදහයි. මේ දිනවල ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවලදී වෙහෙසෙන්නේද එ් මතය සනාථ කිරීමටයි.
            නළුවකු රංගධරයෙකුගෙන් වෙනස් වන්නේ කවර නම් කාරණා විසින්දැයි මගෙන් ඇසුවොත් මා ඔහුට දිද්දෙණිය හෝ මනෝරත්න හදාරන්නැයි යෝජනා කරමි. මක් නිසාද යත් ඔවුන් හුදු නළුවෝ නොවෙති. රංගනය වටා ඇති සුවිසල් දැනුම ලෝකය තමන්ගේ නොකරගෙන සැබෑ නළුවකු විය නොහැකියයි මේ දෙදෙනාම විශ්වාස කරති. එමෙන්ම ඔවුහු රංගනයේ යෙදෙන අතරම හදාරති. පර්යේෂණ කරති.
වේදිකාවෙන් සිනමාවට පිවිසුණු ශ්‍රේෂ්ඨ නළු බෙන් කිංස්ලි රඟපෑ ී්බා ඪ්කකැහ චිත‍්‍රපටයේ අවසන් ජවනිකාව මෙසේ වේ. සියලූ කාරණා සිදුවූයේ ඔවුන්ගේ ආර්ථික වටාපිටාව මෙන්ම ගෞරවයටද හානි ගෙන දෙන අයුරිනි. ගෞරවය මුලූමනින්ම අවසානවීමට ප‍්‍රථම ඔහු දරුපවුලම මැරෙන්නට සලස්වා තමන් වඩාත්ම වේදනාකර දිවිනසා ගැනීමේ විධික‍්‍රමය තෝරා ගත්තේය. එ් පොලිතීන් උරයකින් මුහුණ වසා ගෙන ආශ්වාස ප‍්‍රශ්වාස අහිමිව මරණයට පත්වීමයි. එ් මරණයට සූදානම් වීම ගැන එක් විචාරකයෙක් පවසා තිබුණේ ‘එ් උදාර මිනිසාගේ ඒ උදාර අවසානය නිරූපණය කිරීමට බෙන් කිංස්ලිට තරම් කවර වූ හෝ අද සිටින නළුවෙකුට නොහැකියි මම සිතමි. එ් දැවැන්ත රංගන හැකියාව ලබන්නේ දැනුමද ලෝකාවබෝධයද එක් වූ හැකියාවක් නිසා යයි මම සිතමි.

                  මේ ආකාරයට සිංහබාහු දිද්දෙනියම වන්නේත්,් ඇලපාතමුදලි දිද්දෙනියම වන්නේත්් එ් රංගන වටා පවතින දැනුම ලෝකයට ඔහු ඇතුළුව සිටින නිසාවෙනි.
                    මේ මෑතකදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පැවති මායාදේවි පුහුණුවීමක් බැලීමට ගිය මට එහි නිෂ්පාදක කේ.බී. හේරත් නවක නිලියක පුහුණුවීම්වලට නොඑ්ම ගැන හා ඔවුන්ගේ වගකීම් විරහිත බව ගැන මැසිවිලි නගනු ඇසුවෙමි. එහෙත් දිද්දෙණිය එහි කුඩා කොටසක පුහුණුවකට පෙර ස්වයං පුහුණුවක්ද සහිතව පැමිණ සිය නිෂ්පාදකයා ඉදිරියේ නිවැරදිව සිය රංගනය පෙන්වා උපදෙස් පැතීය. එ් සිය රංගනයටද නිර්මාණයටද ඇති වගකීම් සහිත රංගධරයෙකුගේ හැසිරීමයි.
                 දශක පහක් තිස්සේ විවිධ නාට්‍ය ධර්මයන් අනුදත් නාට්‍ය නිෂ්පාදකයන් උදෙසා සිය රංගන හැකියාව කැප කළ රංගධරයෙකු ගැමිදරුවෝ සහෘද සංවිධානය මගින් පසුගිය දිනෙක උපහාර ලැබුවේය. එවන් උපහාරයකට සුදුසු රංගන වියතෙකි නිශ්ශංක දිද්දෙනියයෝ.
                                                                 චන්ද්‍රරත්න බණ්ඩාර


Monday, 26 August 2013






බෞද්ධකම:
 දුෂ්සීලයන්ගේ ගොදුරක්ව..............
             කි‍්‍රෂ්ණරාජා ටොරොන්ටෝ නුවර සාර්ථක මුද්‍රණ ව්‍යාපාරයක් කරන ඉන්දීය සම්භවයක් සහිත  මිත‍්‍රශීලී ලාංකීය දෙමළ තරුණයෙකි. ඔහුගේ මුද්‍රණාලය සිංහල අපගේ මෙන්ම දෙමළ කාගේත් බංග්ලාදේශ පකිස්ථානු හා වෙනත් බොහෝ ජාතිකයන්ගේත් මුද්‍රණ කටයුතු කරනු ලබයි. ඔහු දැඩි හින්දු භක්තිකයෙකි. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කොට ප‍්‍රභාකරන්ගේද දිවි තොර කළ බව නිවේදනය වූ දිනයේම වාගේ කි‍්‍රෂ්ණාරාජා මට හමු විය. දැඩි හින්දු භක්තකයෙකු වූ ඔහු කීවේ ප‍්‍රභාකරන්ගේ විනාශය තීරණය වූයේ යාපන ජනයා ප‍්‍රභාකරන් විෂ්ණු දෙවියන්ට සමාන කරන්නට පටන් ගත් දා සිට බවය. කි‍්‍රෂ්ණරාජාගේ ප‍්‍රභාකරන් විෂ්ණු දෙවියන් කිරීමේ කතාව ඇත්තක්යයි මම තවත් දෙමළ ජාතිකයන්ගෙන් අසා දැන ගතිමි. කි‍්‍රෂ්ණරාජා කෙතරම් අකමැත’ වුවත් මෙම ප‍්‍රවාදයෙන් ගම්‍ය වන්නේ දෙමළ ජනයා කෙතරම් පීඩාවකට පත් වුවද ඔවුන්ගේ අරගලය පූජනීය බවත් ඔවුන් නායකයා දෙවියකුසේ සලකන බවත්ය. එනම් දෙමළ ඉතිහාසයට ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධය වඩාත් විශාල වටිනාකමක් ලබාදී ඇති බවයි. එපමණක් නොව ලෝකයේ විවිධ තන්හි ජීවත්වන දෙමළ සමාජයන් අතර යළිත් වරක් යාපන සමාජය උත්කෘෂ්ට වූ වගයි. හින්දු ආගම හා එහි ඉතිහාසය සටන්කාමිත්වය අධිනිශ්චය කරන්නකි. එ් අනුසාරයෙන්ද එල්ටීටීඊ අරගලය දෙමළ ඉතිහාසයට විශාල දෙයක් ලබා දී ඇත.
  
             උතුරේදී නිල වශයෙන් දෙමළ අරගලය පැරදවීමෙන් පසුව එහි  හිදැස පුරවන්නේ ස’ංහල අන්තවාදය ව’ස’න් මුස්ලිම් සතුරකු සොයාගෙන ඔහුට සටනට අඬ ගැසීමෙනි. විශේෂයෙන් වර්තමාන රෙජීමයේ ආධ්‍යාත්මික ආරක්ෂකයන් වන රණකාමි භික්ෂූන් වහන්සේලාට රිසිසේ එ් අවදානම් සහගත තිරස්චීන කටයුත්තේ යෙදීමට නීතිය නිහඬ කර තිබේ. හලාල් වැනි සාකච්ඡුාවෙන් විසඳාගත හැකි ප‍්‍රශ්න මුස්ලිමුන්ට හා අනෙකුන්ට කිසිදු අසාධාරණයක් නොවන සේ සාකච්ඡුා මගින් විසඳා ගත හැකිව තිබියදීත් කටයුතු සිද්ධ වූයේ මුස්ලිම් හදවත දරුණු ලෙස පාරා දැමීමෙනි. මුස්ලිම්වරුන් ව්‍යාප්තවාදී අරමුණකින් වුවද බොහෝ දරුවන් හදද්දී ඊට සමගාමීව දරුවන් හදන ලෙස කැත නැතුව කියන්නේ බුද්ධ චීවරය දරාගත් උපසම්පදාවෙන් දෙවන වරටද ශික්ෂිත කරනු ලැබූ භික්ෂූන්ය. කෙසේ වෙතත් වැඩි ජනගහණයක් දරා ගැනීමට හැකි ආණ්ඩු ක‍්‍රමයක් ලංකාවේ නැති අතර එවැනි  ආණ්ඩුවක් ඉදිරි කාලය තුළ බලයට පත්වන බවක්ද පෙනෙන්නට නැත. එහෙයින් උපදින දරුවනට සිදුවන්නේ මීටත් වඩා අසරණ බවින් යුතුව ජීවත් වීමටයි. ඒ බැරිකමවත් හිතාගෙන ආණ්ඩු කළ යුත්තේ කාටත් පොදුවේ උපත් පාලන නීතියක් ඇති කිරීමය. එය රටේ අනාගතය වෙනුවෙන් කෙරෙන්නක් නිසා මුස්ලිමුන්ට හෝ බෞද්ධයන්ට හෝ ඊට විරුද්ධ විය නොහැකිය. එහෙත් එය එවැනි ව’න’ත ක‍්‍රමයකට විසඳීමට අසමත් ආණ්ඩුව එය කිරීම පවරන්නේ තමන්ගේ  භික්ෂු බල ඇණියටයි.
 
             නව වන සියවස පමණ ඈතට ඇදෙන ඉතිහාසයක් සහිත ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව සිය ඉතිහාසය මුළුල්ලේම මෙවැනි අඩන්තේට්ටම්වලට මුහුණ දුන්නේය. එ් සා දුෂ්කර තත්ත්වයන්ද අවබෝධ කරගත් මුස්ලිම්හු ජන සංයුතියෙන් තමන්ට වඩා ශක්තිමත් අනෙකුත් ජනප‍්‍රජාවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත් පාඩම උගත්හ. මහනුවර රජුගේ ආශිර්වාදය ලබාගත් මුස්ලිමුන් සිංහල ස්ති‍්‍රන් කසාද බැඳගෙන සිංහල කුල වැද්දුමද ලදහ.
        වෙළෙඳාමේදී මුස්ලිමුන් සම්ප‍්‍රදායිකව දක්වන හුරුබුහුටිකම එම ක්ෂේත‍්‍රයේදී අනෙක් ජාතින් අබිබවා සිටී. හර’යට මැලේසියාවේදී මැලේවරු අබ’බවා චීන්නු වෙළඳාමේදී ඉදරියෙන් සිටන්නාක් මෙනගි 1915 දී මෙන්ම අදත් මේ බුහුටිකමට එරෙහි වන්නේ සිංහල ව්‍යාපාරිකයෝය. සහගහන බොරු දෙසමින්  මුස්ලිම් වෙළෙඳ ආයතනවලට කඩා වදින්නේ එහෙයිනි. ඒ බලඇණි පිටුපස සිටින සිංහල ව්‍යාපාරිකයෝ මුස්ලිමුන් එකී ක්ෂේත‍්‍රයෙන් පළවා හරිමින් එ් අවස්ථා තමන්ට අත්පත් කර ගැනීම ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුවය. කෙසේ වෙතත් ලංකාවේ මුස්ලිමුන් රණකාමීත්වය ප‍්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ ජාත්‍යන්තර නෑයන්ගෙන් වෙන්වුණු ගති සිරිත් ප‍්‍රගුණ කළ යහපත් මිනිසුන් කොටසකි. ඔවුන් එ් අරුතින් රොෂින්වරු හෝ පකිස්තානුවන් හෝ මැද පෙරදිග මුස්ලිමුන්ගෙන් වෙනස් වෙති. එහෙත් මේ වැදගත් මනුෂ්‍ය කණ්ඩායම තමන්ට එරෙහිව අන්තවාදී සේනාවන් කරන නොපනත්කම් තමන් අදහන දෙවියන් හා බෙදා ගනිමින් ඒවා සිය සංස්කෘතික ඉතිහාසයට එක්කර ගන්නා බව අප අමතක කළ යුතු නොවේ.
 ප‍්‍රධාන සුලු ජාතින් දෙක සිංහල සමාජයෙන් එල්ල වන පීඩාවන් න’සාම දෙමළ මුස්ලිම් සාමුහිකත්වයක් නිර්මාණය කර ගැනීමට අනාගතයේදී සමත් වන  බව පෙනෙන්නට ත’බේ. දෙමළ සමාජය තමන් කලක් මුලුල්ලේ ලද ප’ඩාව න’සාම ඉතිහාසයට අංග සම්පූර්ණ වීරයෙක් නිර්මාණය කරගෙන ඇතිවාක් මෙන්ම ශක්තිමත් ඩයස්පෝරාවක්ද නිර්මාණය කරගෙන ඇත. දැන් පවතින මුස්ලිම් විරෝධය හමුවේ තවමත් මුස්ලිම් නායකයන් කරන්නේ පීඩකයින්ගෙන් සාමය බලාපොරොත්තු වීම වුවත් එය ඉෂ්ට නොවුනහොත් ශක්තිමත් මුස්ලිම් ජාත්‍යන්තරයෙන් සහාය ලබා ගැනීමට ඔවුන් පෙළඹෙනු ඇත. එසේ වුවහොත් ඉතිහාසයේ අන් කවරදාවත් නොවැටුනු අගාධයකට අපේ මව් රට ඇද වැටෙනු නිසැකය.
             මම උපතින්ම සිංහලයෙක් මෙන්ම බෞද්ධයෙකි. සිංහලත්වය හා බෞද්ධකම යන දෙකටම අදාළ සාර්ථථයන් සමුහයක් දැනුවත්ව හඳුනාගෙන ඇති හෙයින් උත්පත්තික බෞද්ධ කමෙන් එහාට ගිය අවබෝධවත් සිංහලයෙකු හා බෞද්ධයෙකු ලෙස පෙනී සිටීමට මට හැකියාවක් ඇත. ලංකාවේ දෙමළ අරගලය දෙසත්, මුස්ලිම්වරුනට එල්ල වී ඇති පීඩනයන් දෙසත් මා බලන්නේ සිංහලකමේද බෞද්ධකමේද ආරක්ෂාව පෙරටුවේ තබාගෙනය.
          යට කී ලෙස දෙමළ ජනයා හා මුස්ලිම්වරුන් මුහුණ දෙන පීඩනයට මුහුණදීමේදී ඔවුන් ඒ කටුක තත්වයන් අනුසාරයෙන් වුවද අවම වශයෙන් තමන්ට වැදගත් ඉතිහාසයක් නිර්මාණය කරගෙන ඇතත්, සිංහල බෞද්ධ අපට සිදුව ඇත්තේ පීඩකයාගේ හා ඝාතකයාගේ වෙස් මුහුණු පැළඳීමටය.
බුදු දහම මේ භූමියේ උපන් සිංහල ජාතියට අනර්ඝ සංස්කෘතික මිශ‍්‍රණයක් ලබාදුන් දහමකි. අන් කවර ආගමකටවත් නොමැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග මුල් බුදු දහමට ම (බුදුන් දෙසූ දහමටම* ඇතුළත් ධර්මයකි. සකල විධ වර්ගවාදයන් මූලික දහම තුළින්ම ප‍්‍රතික්ෂේප කළ අති උතුම් සද්ධර්මයකි. හින්දු සංස්කෘතිය තුළින් අනාදිමත් කාලයක සිට කුල පීඩනයෙන් බැට කෑ ඉන්දීය දලිත්වරු සිය නායකයා (ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදකයා මෙන්ම ඉන්දියාව බිහිකළ අතිශ්‍රේෂ්ට උගතෙකි* වූ ආචාර්ය ඇම්බෙඞ්කාර් සමග බුදු දහම වැළඳ ගන්නේ වර්ගවාදයට සැබෑ බුදු දහමේ ඉඩක් නැති නිසාය.
          එහෙත් අද ලංකාවේ බුදු සමය අයාලේ යමින් එහි සාරර්ථයන් විනාෂ කරගන්නා භික්ෂු සමූහයකගේ ගොදුරු බවට පත්ව පවතී.  ලංකාවේ පොලිස්කාරයා දෙස පොදුවේ ජනයා දකින්නේ සම්ප‍්‍රදායිකවම අයහපත් ආකල්පයකිනි. එ් තත්ත්වයට අද බෞද්ධ භික්ෂුවද පත්ව සිටී.
            ලංකාවේ භික්ෂුව අයාලේ ගොස් ඇති තරමටම බුදු සමයද අයාලේ ගොස් ඇත. විවිධ ස්වරූපයේ භික්ෂු හැසිරීම් බෞද්ධ ස්ථාපිතයේ පවත්නා සාරාර්ථයන් හා අනාගතවාදී ගුණය සූනු‍්‍ර විසුනු කරමින් පවතී. බොදු බලසේනා, සිංහල රාවය, රාවණා බලය වැනි අන්තවාදි හැසිරීම් බොහෝ  කිට්ටුවන්නේ සහයෝගශීලී බුදු දහමට නොව මැද පෙරදිග මුස්ලිම් යුදෙව් හා කි‍්‍රස්තියානි මූලධර්මවාදීන්ටය.
          මේ තත්ත්වයට සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි නායකත්වයන් මුළුමනින්ම වගකිව යුතුව පවතී. ඔවුන් සියවසකට පමණ වැඩි කාලයක් තිස්සේ තම භික්ෂු සංඝයා මෙහෙයවීමේ වගකීම පැහැර හැර ඇත. මේ භික්ෂු නායකයන් වෙනස් වන ලෝකය හඳුනා ගැනීමේ හැකියාව තමන් නොලද්දා මෙන්ම තම පිරිවර භික්ෂුන්ද එමගට යොමු නොකළහ. සියම් නිකායික භික්ෂුහු සිය පාරම්පරික ඉඩ කඩම්වල හා එයින් ලැබෙන අස්වැන්න රැුක බලා ගන්නා ආරක්ෂකයන් පිරිසක් බවට පත් කළ අතර ධනය රැුස් කිරීම පිළිබඳව හා අල්පේච්ඡුතාව පිළිබඳ බුදුන්ගේ ඉගැන්වීම් අමු අමුවේ උල්ලංඝනය කළහ. ආවා වූ නොආවාවු සංඝයාට පොදුවේ අයිති පන්සල් හා දේපල තම සන්තකයේ රඳවා ගැනීමට උසාවිගානේ වඩින්නට භික්ෂුන්ට සිදු විය. ධනයෙන් ආඪ්‍ය වූ මේ භික්ෂුන්ගෙන් ඇතමුන් අනියම් පවුල් ගොඩනගමින් අනාචාර ජීවිතයකටද ඇබ්බැහි විය.  දේපල රැුකීමට දේශපාලකයන් අවශ්‍ය වූ නිසා කවර තරමේ දුෂ්ටයෙකු වුවත් තම අරමුණු උදෙසා කැමැත්ත පළකරන දේශපාලකයාට සහාය දැක්වීය. එ් මදිවාට ගොවිගම කුලයට පමණක් සියම් නිකාය විවෘත කිරීම මගින් නවීනත්වයේ මන්දමාරුතයත් සමග විනාශ විය යුතුව තිබුණු ශී‍්‍ර ලාංකික කුලවාදයේ කෘර ආරක්ෂකයන් වීමට සියම් නිකායික භික්ෂුන්ට සිදුවිය.
   
          සියම් නිකාය ගොවිගම කුලයට සීමාවීමෙන් අන්‍යකුලයන් ලද බලවත් සමාජ පීඩාව අමරපුර හා රාමඤ්ඤ නිකායන් බිහි කළේය. එනයින් අමරපුර නිකාය ගොවිගම නොවන කුලයන්ගේ ආරක්ෂකයාද ප‍්‍රකාශකයාද බවට පත්විය. අද තත්වය වන්නේ අමරපුර නිකායේ කුල නියෝජනයේ සුළුතර මානසිකත්වය නිසා ඔව්හු සියම් නිකායටත් වඩා කුල වාදී වීමයි.
     
         පසුගිය සියවස් එක හමාර පමණ තුළ බුදු දහමට  ඉඳුරාම පටහැනි කුලය නම් ප‍්‍රපංචය රැුක ගැනීම හා ධනය රැුස්කිරීම හරහා බෞද්ධ භික්ෂුවට තිබිය යුතු නිරවුල්ව ලොව පිරිසිඳ ගැනීමේ හැකියාව ලබාදුන් ශාස්තෘවරයාගේ මග ගැනීමට නොහැකි විය. බුදුන්ගේ සමයේම අනුප‍්‍රාප්තික බව (නියෝජ්‍ය බුදු පදවිය* හා සංඝ පාලනය ඉල්ලූ දේවදත්වයන් ගේ මග යමින් අද ලංකාවේදී බුදු සමය බලවත් ප‍්‍රපාතයකට හෙළමින් සිටී.
එ් එක පැත්තකි. සම්ප‍්‍රදායික ලාංකිය බුද්ධාගමේ ප‍්‍රධාන නිකාය තුනට ඇතුලත් නොවුණු ඇතමුන් භික්ෂු වෙස් ගෙන බුදු දහමේ තාර්කිකත්වය කෙලසන අපාය හා දෙව්ලොව පෙන්වමින් ලක්ෂ ගණන් ජනයා ආගමික උන්මාදයකට ඇද දමමින් සිටී. මේ ඇතැම් භික්ෂුහු අමරපුර නිකායට අයත් ඉතා සුලූ කුලයන් නියෝජනය කරන සාමාජික සංඛ්‍යාව දහයකට පහළොවකට සීමාවුණු නිකායන්හි මහන වී නිකාය මුද්‍රාව ලබා ගනිති. කවුරු හෝ ප‍්‍රශ්න කළහොත් කියන්නට එමගින් නිකාය සබඳතාවන් තනා ගනියි.
        මේ ආකාරයට විපරීත වූ භික්ෂු සමූහයන් මගින් එක් පැත්තකින් රණකාමීවත්, අනෙක් පැත්තෙන් මරණින් මතු ලෝකයට ඇති බිය දඩමීමා කරගෙනත් සමාජ දේශපාලනිකව හා ආර්ථිකව අසරණ ජනයා මුලා කරමින් තම අරමුණු සාක්ෂාත් කරගනිමින් සිටිති.
       රණකාමී භික්ෂු නායකත්වය ජාතීන් අතර පැවතිය යුතු අත්‍යවශ්‍ය සාමය හා සංහිඳියාව විනාශ කරද්දී ආණ්ඩුව මෑත කාලීන දේශපාලන වාසි තකා නිහඬව සිටිති. නැත්නම් උඩගෙඩි දෙති.
        භික්ෂුවක් වීම පුද්ගල මනුෂ්‍ය ජීවිතයක බලවත් කැප කිරීමකි. එ් කැප කිරීමෙන් වන පීඩාව මග හරවා ලිය හැක්කේ භික්ෂුවක වීමේ අරමුණු වන දහම හැදෑරීම හා එහි නිරවුල් ලෙස නිරත වීමෙනි. එ් නිරතවීම බුදුන් දවස සංඝයාගේ හෝ අද සංඝයාගේ කියා වෙනසක් නැත. එසේ චීවරයක් දරා ගැනීමෙන් පසු කළ යුතු දෑ බුදුන් වහන්සේ විසින් නිරවුල්ව දේශනා කර ඇත. එය නොපිළිපදින භික්ෂුවට තම කැපකිරීම පිළිබඳ හීනමානයක් හා කාංසාවක් ඇතිවේ. අත්හරින තම ජීවිතය පිළිබඳ රෞද්‍ර සෝකයක් ඇතිවේ. භික්ෂුවක් බුදුන් දෙසූ මාර්ගයේ ගමන් නොකරන විට ජීවිතය භුක්ති විඳින ගිහියන් කෙරේ ඊර්ෂ්‍යාවක් ඇතිවේ. බුද්ධ මාර්ගයෙන් පිට පනින සමාජ විරෝධියකු බවට පත්වේ. වැඩිහිටි කන්දේ වැඩිහිටි භික්ෂුවක් බාල දැරියන් සිරකරගෙන ලිංගික අතවරයන්ට ලක් කරන්නේත්, රුවන්වැල්ලේ සෝභිත  ගිහියකුටත් වඩා අන්තවාදිව තක්කඩිකම් කළේත්, බේබදුකමට පෙළඹෙන්නේ හා විකෘති කාම අපරාධ සිදුවන්නේ මහත් කැපකිරීමෙන් ලද භික්ෂු භාවය එතැන් සිට බුදුන් දෙසූ මාර්ගයේ නිරවුල්ව ගමන් නොකරන නිසාය. එහෙත් චීවරයක් දරා ගන්නට ඇති සමාජ ගෞරවය සිය හීන මානයේ අඩුව පිරි දුෂ්ට වැඩපිළිවෙලවල් ජය ගැනීමට යොදවති. මේ තත්ත්වයට වගකිව යුත්තේ නොමග ගිය භික්ෂුන්ට වඩා ඔවුන් අයත් නිකායන්හි භික්ෂු නායකත්වයයි.
අද පත්ව ඇත්තේ දැනුවත් බෞද්ධයන් දුර්මුඛ කරවමින් සමාජ සාමගි‍්‍රය විනාශ කිරීමටත් ගැඹුරු ලෙසම සංහිඳියා සම්පන්න සිංහල බෞද්ධ සාරවත් උරුමයට ව’ෂ කැවීමටත් මේ භ’ක්ෂූහු කි‍්‍රයාක’රීමය’ග
චන්ද‍්‍රරත්න බණ්ඩාර

Thursday, 4 July 2013

කන්දේ වීදිය -කපිලට මහා පිටස්තරයකු මුණ ගැසීම


සත්‍ය සිද්ධි ඇතුළත් සංදර්භයක් පදනම් කරගෙන නවකතාවක් ලිවීම පහසු කාර්යයක්ද? නවකතාවේ මුල මැද හා අවසානය මෙසේ වෙතැයි නිර්ණය කිරීමට එය පහසුවක් වෙතත්, අදාළ සත්‍ය සිදුවීම් සිදුවූ ආකාරය හා පාදක චරිත හැසුරුණු ආකාරය පිළිබඳ නිශ්චිත බවක් තිබීම නිර්මාණකරුවා බැ?රුම් අවධියකට ලක් කරවයි.
රිචඞ් ඇටන්බරෝගේ ‘ගාන්ධි’ සැබෑව සැබෑවක් ලෙසම ප‍්‍රතිනිර්මාණය කරමින් අදාළ පාත‍්‍රවර්ගයා ඉතිහාස කථාන්තරයට අනුකූලවම ගොඩ නැංවීය. එය පහසු කාර්යයකි. නිර්මාණකරුවා අදාළ ඉතිහාස කථාව තෝරා ගත්තේම එහි ඇති නිර්මාණ ජීවගුණය සලකා ගෙනමය. එවිට සිදුවන්නේ සිදුවීම් එයාකාරයෙන් නිරූපනය කරමින් අවශේෂ අංග ප‍්‍රත්‍යාංග මගින් එය වඩ වඩාත් නිර්මාණාත්මක කිරීමය.
කපිල කුමාර කාලිංගගේ අලූත්ම නිර්මාණ රචනාව මහනුවර සමාජය හෙල්ලූම් කැවූ පසුගිය ශතවර්ෂයේ මධ්‍ය දශකයේ ජීවත් වූ පුද්ගලයකු පාදක කරගනිමින් ගෙතී ඇත.  එදා මහනුවර සම්ප‍්‍රදායික සමාජයට ඔහු කළ බලපෑම අතිවිශාල වූවා සේම මහනුවර වාස භූමිය කරගනිමින් එහි ජීවත්වන්නට තැත් කළ සංක‍්‍රමණික, මහනුවර නොවන ප‍්‍රජාවට ආත්ම ශක්තිය ලබා දුන් සිද්ධියක්ද විය.
මහනුවර නගරය දළදා හිමියන් වැඩවසන මාළිගාව පිහිටා තිබෙන පූජනීය නගරයයි. එමෙන්ම ගොවිගම කුලයට පරවේණී සියම් නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන්හි මූලස්ථාන දෙකම පිහිටා ඇති මහා නගරයයි. ගොවිගම රදළයන්, ගොවිගම සාමාන්‍ය ජනයා හා ඔවුන්ට සේවා සැපයූ සේවා කුලයන්ගේ හැසිරීම් හා කි‍්‍රයාකාරකම් ආශි‍්‍රත ඉතිහාසයකි මහනුවරට ඇත්තේ. මහනුවර මධ්‍යකාලීන ඉතිහාසය සෘජු වෙනසකට ලක්වන්නේ සිංහලේ අවසන් රජු නරේන්ද්‍රසිංහ ගේ ස්ති‍්‍ර ලෝලත්වය නිසා සිය බිරිඳගේ සොයුරාට රජකම පැවරීමෙන් නායක්කර් රාජ උරුමයක් ඇතිවීමෙනි. මහනුවර භූමි පුත‍්‍රයන්ට පළමුවරට බලගතු පිටස්තරයෙක් ලැබෙන්නේ එ් තීරණයන් සමගය. බුදු දහමට මහඟු මෙහෙවරක් කළ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා වුව මල්වතු විහාරයීය උපෝසිථාගාරයේදී බොරුවලක ලා මැරීමට තැත් කරන්නේ එවන් උතුම් රජෙකුගේ වුව පිටස්තරකම මහනුවරට ඇත්තෝ නොඉවසූ නිසාය. ඒ අණ ගුණ නැති වැඬේ කරන්නේ ශී‍්‍ර ලංකාවේ නැතිවී  ගිය සාර්ර්ථ බුදු දහම නගාසිටුවීමේ අභිප‍්‍රායෙන්  උපසම්පදාව නැවත පුනරුත්ථාපනයට මුල් වූ ධර්මධර යතිවර වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේද අනු දැනුම සහිතවය. වැලිවිට හිමියන්ගේ ශාසනික සේවාවට, ඔහු විසින් මරණයට පත් කරන්නට සැලසුම් කළ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ සහය නොලැබෙන්නට එවන් වැදගත් වැඩක් සිදුවන්නේම නැති තරම්ය.
රාජාවලියේ අවසන් රජු ශී‍්‍ර වික‍්‍රමරාජසිංහ නැමති නායක්කාර් වංශිකයා තිරස්චීන ලෙස ඉංගී‍්‍රසින්ට පාවා දෙන්නේ ඇහැලේපොළ, කැප්පෙටිපොල ඇතුලූ ගොවිගම රදළ වංශිකයන්ගේ සිත් රිද වූ පිටස්තරයෙකු ගේ පාලනය ඉවසනු බැරි වූ හෙයිනි. අනතුරුව පාලන බලයට පැමිණි ඉංගී‍්‍රසින්ගෙන් තමන්ගේ අභිප‍්‍රායන් ඉටුනොවූ හෙයින් 1818 දී ඉංගී‍්‍රසින්ට විරුද්ධව ඔවුන් කැරලි ගැසුවේය. ඉනික්බිති 1848 දීත් එවැනි කැරැුල්ලක්ම ඔවුන් පුනරුච්චාරණය කළේය. බලප්ිටිය , මාතර, තංගල්ල, යාපනය මෙන්ම මේ මහනුවර වාසීහු පිටස්තරයන් නොඉවසන තරමය.
 කපිල විසින් අපට මුණගස්වන පිටස්තරයා සම්ප‍්‍රදායික බලාධිකාරයට අයත් පුද්ගලයකු නොව, විමුක්තිකාමී එමෙන්ම සප‍්‍රමාණ වියතෙකි.  නරේන්ද්‍රසිංහ රජුගේ මරණයෙන් පසු ඇරඹුනු නායක්කර් රාජ්‍යත්වය හා අධිකාරිත්වය  1815 මාර්තු දෙවැනිදා උඩරට ගිවිසුමත් සමග අහෝසි වී යළි සම්ප‍්‍රදායික ප‍්‍රභූ ගොවිගම බලය වෙනත් ආකාරයකින් ස්ථාපිත විය. විශේෂයෙන් නිලලත් රදලයන්, මල්වතු අස්ගිරි  මහා විහාරයන් ඉංගී‍්‍රසි ආණ්ඩුව සමයේදීත්, ඉනික්බිතිත් සිය ආධිපත්‍යය පැතිරවීය. 1818 හා 1848 කැරළි මේ කියන කතාවේ ව්‍යතිරේකයන් වන අතර එ්වා සම්ප‍්‍රදායන් හා වංශ අයිතීන් රැුක ගැනීමට කළ අරගලයන්ට වඩා දේශපාලන බලයේ හිමිකාරිත්වය උදෙසා කළ  අරගලයන් ලෙස හැඳින්විය හැකිය. සැබැවින්ම 1818 කැරැුල්ල සිය අනාගත පැවැත්ම අරබයා ගොවිගම  රදළයන්ට වූ බරපතළ වැරැුද්දක් සේ ගත හැකිය. මීට පෙර  ජාතින් දෙකකටත් යුද්ධෝපක‍්‍රම විෂයෙන් ඉංගී‍්‍රසින්ටත් අත්පත් කරගත නොහැකි වූ උඩරට රාජධානිය ඉංගි‍්‍රසින්ට අයත්වන්නේ උඩරට රදළ වංශවතුන්ගේ  අනුග‍්‍රහයෙනි. එහෙයින්  රාජ්‍ය පාලනයේදී අන් ජාතීන්ට වඩා සූක්ෂ්ම වූද, වඩාත් රාජ්‍යතාන්ති‍්‍රක වූද වංශවතුන්ට මුන්තැනැක් දීමට වඩාත් කැමති වූද ඉංගී‍්‍රසින්  රදළයන්ට වඩාත් පි‍්‍රය මනාපව ඔවුන්ට පෙරළා අනුග‍්‍රහ දක්වමින්  කටයුතු කරනු ඇත. එහෙත් මොනරවිල කැප්පෙටිපොල වැන්නන්ගේ  අ¥රදර්ශී ගණන් බැලීම හරහා ඇරඹුණු 1818 කැරැුල්ල නිසා  ඉංගී‍්‍රසින්ට යට කී අභිලාෂයන් කි‍්‍රයාත්මක කිරීමට ඉඩක් නොලැබුණි.  එහෙයින්ම ඔවුන් සිය අනුග‍්‍රාහකත්වය සඳහා පිරිස් තෝරා ගත්තේ පහතරට මුහුදු තීරයෙනි. ඔවුන් සපුරාම ගොවිගම රදළයන්ට මතු නොව ගොවිගම ජනයා සමගත් අරෝවක් විවිධ ඉසව් හරහා ඇති කර ගත් පිරිසක් වූහ. ගොවිගම ප‍්‍රභුව සිය  සම්මත ආගම වූ බුදුදහම තුළින් ඔවුන්ට දැක්වූයේ දෙවන පෙළ සැලකිල්ලකි. එය උපසම්පදාව ලංකාවට ගෙන එ්මත් සමගම ඇති වූ පිටමං කිරීමකි. සතුරාගේ සතුරා, මිතුරා කර ගන්නා  න්‍යායට අනුකූලව මුහුදු බඩ කුලවලට අයත් ජනයාට විශේෂ අනුග‍්‍රහ සපයමින් ඔවුන් බලවේගයක් ලෙස ඉදිරියට ගෙන ඒමට ඉංගී‍්‍රසින් කටයුතු කළහ. අධ්‍යාපනය හා ව්‍යාපාරික අවස්ථා මෙහිදී ප‍්‍රධාන විය. ඊට සාපේක්ෂව උඩරට ජනයාට ගම්බිම් අහිමි කළ මුඩුබිම් පනත ඇතුලූ යෝජනා උඩරට ජනයා තව තවත් නින්දාවටත් පිරි හෙලීමටත් ලක් කලහ. එමෙන්ම 1815 කැරැුල්ලට අනුගත නොවෙමින් කටයුතු කළ රදළයන්ට හා මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ටද ඉංගී‍්‍රසිහු වඩාත් අනුග‍්‍රාහශීලී වූහ. ලන්දේසීන් හා පෘතුගීසින් මෙන් ආර්ථික වාසි තකා කි‍්‍රයා කිරීම හා සිය ආගම් පැතිර වීම සමාන්තරව නොගත් ඉංගි‍්‍රසිහු සාපේක්ෂව ආගමික නිදහස උදෙසා බාධා නොපැනවූහ.
1815 කැරැුල්ල නිසා සිත් තැවුලට පත් ඉංගී‍්‍රසිහු තමන්ට එරෙහි වූ උඩරට වාසින්ට කිසිවක් නොදී පහතරටට ලබාදුන් ව්‍යාපාරික හා අධ්‍යාපනික අවස්ථාවන්හි පොදු සංකේතය ලොයිඞ්ය.  කපිල කුමාර කාලිංගගේ ‘කන්දේ වීදිය’ නවකතාවේ කේන්ද්‍රීය චරිතය වන්නේ එකී ලොයිඞ්ය.
කන්ද උඩරට දේශපාලන ඉතිහාසය දන්නා උදවියට ලොයිඞ් අනුසාර වූ මහා චරිතය කවුදැයි වටහා ගැනීම එතම් අපහසු නැත. ප‍්‍රභූ කේන්ද්‍රිය දේශපාලන වටාපිටාවක ඔහු අධිනිශ්චය වූවෙකු විය හැකිය. එහෙත් කාලයේ හැටියට ඔහු මහා අරගලයකද නිරත වූවෙකි. බලපිටියෙන් පැමිණ ව්‍යාපාරිකයෙකු ලෙස සාර්ථකත්වය ලැබූ ආයුර්වේද වෙද මහතෙකුගේ පුත‍්‍රයා  වූ ලොයිඞ් මහනුවර රජයූ රදළ බලයට එරෙහිව උපක‍්‍රමශීලී අරගලයක් සාර්ථකව ජයගත් පුද්ගලයෙකි. එ
පමණක් නොව මහනුවර හා තදාසන්න පෙදෙස් හි සම්ප‍්‍රදායික ගොවිගම හා රදළ බලය, සංඛ්‍යාත්මකවත්, සංයුතිකවත් අභිබැවීමේ කසකරුවාද ලොයිඞ්ය.
මේ නාටකීයට චරිතය නිර්මාණයක් සඳහා අපමණ උචිතය. විශේෂයෙන් ලොයිඞ්ට පාදක වන සැබෑ චරිතය වටා දැවටුණු හැකියාවන්, කුල ප‍්‍රශ්න, එකල ඓතිහාසික තත්ත්වය ආදිය ඒ සඳහා හේතුවේ. අති සම්ප‍්‍රදායික නගරයක එහි අනුමිතික චිත‍්‍රය මුළුමනින්ම වෙනස් කොට නව නගරයක් නිර්මාණය කිරීමට දායක වූ මහා චරිතය ලොයිඞ්ය.
කපිල කුමාර කාලිංග ලොයිඞ් පිළිබඳ දක්වන කුල ඉඟිය නිවැරදි නම් නුවරට තදාසන්න මහා නගරය වූ කුරුණෑගලද මෙවැනිම විපර්යාසයක් සිදු විය. එ් එච් ශී‍්‍ර නිශ්ශංක අතිනි. බලපිටිය වාසි මහා ඇලෙක්සැන්ඩර් පෝතකයකු වූ නිශ්ශංක වැඩවසම් කුරුණෑගල ජය ගත්තා පමණක් නොව උඩරට ගොවිගම  මිනිසුන්ගේ සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂය වූ ශී‍්‍ර ලංකා  නිදහස් පක්ෂයේ ඓතිහාසික චරිතයක් බවටද පත්විය. වම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එකතු කළ යමුනා සාකච්ඡුා ඔහුගේ මැදිහත්වීමට උදාහරණය.
කපිල කුමාර කාලිංග මෙම නවකතාවේදී පමණක් නොව සිය සමස්ත නිර්මාණ භාවිතයේදීම පිටස්තරයෙකු හෝ පිටස්තරයන් හඳුනාගෙන ඔවුනට මස් ලේ පුරවයි. ඔහුගේ කෙටිකතාවල බහුලව දක්නට ඇති හා ඔහුගේ නාට්‍ය පිටපතක් වන සිහින සාප්පුවේ  සිටින නාවිකයා, වන බිමේ සිරකරු  ටෙලිනාට්‍යයේ ‘එංගල් බේක්’ මීට උදාහරණය. මේ පිටස්තරයා කපිලට හැසිරවිය හැකි සමාජ අවලෝකිකයෙකි. එමෙන්ම මහත්සේ ජීවිතය විඳින්නට ලොල් වූවෙකි. කපිල සිය නිර්මාණ විජිතයේ මං සලකුණු පිහිටුවන්නේ මෙම පිටස්තරයා හරහාය. මේ පිටස්තරයකු තෝරා ගැනීම හරහාම ඔහු පළමු වටයේදීම සම්ප‍්‍රදායිකත්වයට එරෙහිව කැරැුල්ලක් ආරම්භ කරයි. ඔහුගේ බොහෝ නිර්මාණ යනු එ් සමස්ත කැරැුල්ලේ තත්ත්වාකාරයයි.
කන්දේ වීදිය නවකතාව සුපුරුදු පරිකල්පනයෙන් කපිල බිහිකරගන්නා පිටස්තරයා වෙනුවට සැබෑ පිටස්තරයෙකු මුන ගැසේ. කපිල නිර්මාණය කළ වනබිමේ සිරකරු ටෙලිනාට්‍යයේ එංගල් බ්‍රේක් නමැති සැබෑ පිටස්තරයාට නිර්මාණකරුවා ආරෝපනය කරන මිනිස් ගුණයන්, සාමාන්‍ය කලාකරුවකු සිය පාත‍්‍රවර්ගයාට කරන මිනිස් ගුණ ආරෝපනයන්ට වෙනස් නොවේ. එහෙත් කපිලට කන්දේ වීදියේ දී මුණ ගැසෙන ලොයිඞ් නම්වූ මහා ඇලෙක්සැන්ඩර් පෝතකයාට ඇතුලත් කරන කරුණා, මුදිතා, උපේක්ෂා ඇතුලූ වීර ගුණය ඒ චරිතය කෙරේ කතුවරයා සතු හිත පක්ෂපාතිත්වයද කියාපායි. එනයින් කන්දේ වීදිය නවකතාවක් මෙන්ම ‘ලොයිඞ් සිල්වා පදනමකින්’ බිහිකෙරෙන උසස් ගණයේ චරිතාපදානයක් ලෙසද සමතැන්හි සිටී.
ලොයිඞ්ගේ පියා ඉංගී‍්‍රසින්ගේ අනුග‍්‍රහ ලැබ මධ්‍ය කඳුකරයේ නුවර එළියට පැමිණ තේ වගාවෙක් පොහොසත් වූ රෙද්ද හා කෝට් අඳින සිංහල වෙද මහත්තයෙකි. සිංහල වෙදකම අනුසාරිවූ දර්ශනය ඔහුගේ හොඳ නරක විනිශ්චයට බලපාන නමුත්, ෙසෙන්ධව වේගයකින් ඉදිරියට හඹා යා යුතු බව පිළිබඳ දර්ශනය එන්නේ තරඟකාරී වැවිලි ක්ෂේත‍්‍රයෙන් හා සිය ජන්ම භූමියෙනි. එහෙත්  ඔහු ජීවත්වන පරිසරය තුළ පිටස්තරයෙකි. ඔහුගේ උන්නති සමාජ කාමය ගොඩනැගෙන්නේ තමන්ට සම තැන් නොදෙන සම්ප‍්‍රදායික ප‍්‍රභූවට එරෙහිවය. යටත් විජිත අනුග‍්‍රහය ලබමින් බලවතුන් වූ හැමෝගේම පොදු ලක්ෂණයක් සේ පෙනෙන්නේ සිය දිග් විජය සඳහා සිය පුතුන් අශ්වයන්ුසේ යොදා ගැනීමයි. තමන්ට ස්පර්ශ කළ නොහැකි ක්‍ෂේත‍්‍රයන් ඔවුන් හරහා ජයගෙන එ් නව බිම තමන්ගේ කර ගැනීමයි. කොරනේලිස්ද නිරාමිස සතුටක් ලබන්නේ එමගිනි. කපිල මේ ලොයිඞ්ගේ  පූර්වකාලීන පිටස්තරයා වන කොරනේලිස්ගේ ධී ගුණ සම්පන්න චිත‍්‍රයක් රසිකයන් සිත් තුල මැවෙන ලෙස මැනවින් නිර්මාණය කර ඇත. එහෙත් ලොයිඞ්ගේ මව, මව් ගුණයට හා පතිභක්තියට සීමා වූ සරල සම්මත සම්ප‍්‍රදායික ගැහැනියකි. ඈ උඩරට  සම්භවයක් දරන පහතරට කුල වැද්දුම් සහිත ගැහැනියකි. ඇගේ විවාහ නොවූ සහෝදරයා මෝඩ, මදක් කපටි, අනාගතයක් නැති මිනිසෙකි. ඇගේ ඈතින් නෑයෙකු ලෙස කපිල අපිට මුණ ගස්වන්නේ හුන්නස්ගිරියේ කඳු මුදුනක හුදකලාව වෙසෙන අදිකාරම් හා ඔහුගේ සිහිවිකල් බිරිඳය. සිහි විකල් ඈ ලොයිඞ්ට බැණ වදින්නේ දෙදෙනාගේ කුල අසමානත්වය ජන්මාන්තර කෝන්තරයක් බවට ඉඟි කරමිනි. එ් දුබල සිහි විකල් වෙළඹ මෙහෙයවන්නේ අදිකාරම් නම් වූ ගොවිගම ප‍්‍රභූවරයා විසිනි.
කපිල සිය සමස්ත නිර්මාණ ජීවිතයේදීම වෙනස් සෞන්දර්යයක් මැවීමට සමත් වූ කලාකරුවෙකි. ඔහුගේ එක් ප‍්‍රබල අනන්‍යතා ලක්ෂණයක් වන්නේද එ් දක්ෂකමයි. එඞ්වඞ් නමැති ලොයිඞ්ගේ කුඩා කළ හිතවතාද ඔහුගේ අමුතු රස පහසක් විඳීමට තැත් කළ ක්ලේරා නෝනා මහත්මියද එංගලන්තයේදී ලොයිඞ්ට හමුවන නිනින් ඝෝෂ් හා සරෝජිනීද මේ සිය නිර්මාණයේ සෞන්දර්ය ගුණය පෝෂණය කරන පාත‍්‍රවර්ගයා වේ.
යෞවනියකගේ සිරිගත් යෞවනයකු වන එඞ්වඞ්, ලොයිඞ්ගේ කුඩා කළ හිතවතාය. තීක්ෂණ ගුණයන්ගෙන් ආඪ්‍ය ලොයිඞ් හා එඞ්වඞ් අතර කෙටි මිතුරුදම ඉතා මනරම් සෞන්දර්යයක් පාඨකයාට ගෙන ඒ. එ් චරිත දෙකෙහි කෙටි කාල පරාසයක වූ හැසිරීම නවකතාවේ වඩාත්ම ප‍්‍රබල මිනිස් හැසිරීමක් සේ හඳුනාගත හැකිය. ක්ලේරා, නෝනා මහත්මිය ද එ් කෙටි කෙටි කාල පරාසය නිර්මාණශීලීව ගොඩ ගැනීමට දායක වේ.
කපිලගේ කන්දේ වීදිය නවකතාවේ භාවිත ආඛ්‍යාන රටාව නූතන යයි කිව නොහැකිය. එය අමරසේකර, ජයතිලක වැන්නන්ගේම දිගුවකි. එහෙත් භාෂාව හා චරිත ගොඩ නැංවීමේදී කපිල කෙටිකතා, නාට්‍ය රචනා කිරීමෙන්  ලබා ඇති පුලූල් පරිචය එකී ආඛ්‍යාන රටාව වුව විචිත‍්‍ර  කරයි. කොරනේලිස් තුලින් සිය සම්ප‍්‍රදායික යටගියාවද, නූතනත්වයද, වැවිලිකාර වෙළෙන්දාද ඇතුළත් මිශි‍්‍රත චරිතය අපි හඳුනා ගනිමු. සිය සැමියා වඩා උසස් කුල සම්භවය ගැන හැඟීමක් දරමින්ම, පතිභක්තියෙන් අනූන සම්ප‍්‍රදායික ගැහැනියක සිසිලියානා තුලින් අපි දකිමු. වැහැරීයන රූපත්කම විලාසිතාවන්ගෙන් ඔප වට්ටන ක්ලේරා, අනුන් රැුක බලා ගන්නටම සිටින බහිරවයකු සේ පෙනෙන රාජා, ආදින් කන්දේ වීදිය තුලින් අපට හමුවේ.
කපිලගේ කන්දේ වීදිය නවකතාව කියවන විට සාහිත්‍ය කෘතියෙන්  ඔබ්බට ගිය තත්ත්වාකාර සජීවී මිනිස් හැසිරීමක් දෙවන පෙල වශයෙන් අපට හඳුනා ගත හැකිය. එය පරිපූර්ණ නාටකයකි. චරිත ලේ මස් සහිතව ගොඩ නැංවීමේදී , කපිල ශූර එමෙන්ම සිංහල නවකතාවේ මධ්‍ය යුගයට (60-70 දශකයන්ට* ළඟා වේ.
ශී‍්‍ර ලංකාවේ  සමාජ පංතීන්ගේ හා වර්ගයන් අතර චලනයන් හිදී මහනුවර වැදගත් තැනක් දරයි. සිංහලේ අවසන් රජුගේ රාජධානිය වූ මහනුවර උඩරට ගොවිගම  වංශවතුන්ගේ කේතුමතිය විය. බලපිටිය හලාගම කුලයටත්, අම්බලන්ගොඩ කරාව කුලයටත්,  මාතර දුරාව කුලයටත්, පූජනීය නගරයන් (නිජබිම* වන විට උඩරට ගොවිගම ඇත්තන්ට සිය පූජනීය නගරය (නිජබිම, ජෙරුසලම, මක්කම* වූයේ මහනුවරයි. තුප්පොට්ටිය පැළඳ මුල් ඇඳුම් වැනි අපහසු ඇඳුමක් ඇඳ බර අඩි තබමින් ඇවිද ගිය ඔවුනට නූතනත්වය අවබෝධ කර ගැනීමට අපහසු විය. සියම් නිකායික මූලස්ථාන දෙක ගොවිගම නොවන කුලයන්ගේ දරුවෝ සිය නිකායේ මහණකර උපසම්පදාව නොදුන්නේය. එවිට අනෙකුත් කුලයන් ඊට එරෙහිව ගියේය. එමෙන්ම  1833 කෝල්බෲක්  ප‍්‍රතිසංස්කරණ යෝජනාවලියේ සිට 1948 නිදහස දක්වා වූ කාලයේ ඇතිවූ සටන්වල කිසිදු සමාජ විමුක්තියක සේයාවක්වත් සටහන් නොවිණ. එය බි‍්‍රතාන්‍යයන් හා හරි හරියට ඉඳගන්නේ කෙලෙසද යන කාරණය උදෙසා සිය පුද්ගල ආත්මයන් එයට අවශ්‍ය දේවලින් පුරවා ගැනීම පිළිබඳ කතාන්තරයයි. එකල වමේ ව්‍යාපාරයේ විමුක්ති කි‍්‍රයාවලිය යටකී කි‍්‍රයාවලියේ ව්‍යාතිරේකයක් පමණකි.
උඩරැුටියෝ සිය අතීතය ඔස්සේ ගලා ආ හැඟීම්වලින් මෙහෙයවී මුහුදු බඩ කුලයන්ට අවමාන කළෝය. සියම් නිකාය මුහුදුබඩ අන්කුල පොදු මහජනතාවට රිසිසේ බුදුදහම තමන්ගේ කර ගැනීමට බාධා කළහ. මේ කාරණා දෙක ප‍්‍රධාන කොටගත් තවත් කාරණා මහනුවර බලය ගොවිගම උදවියගෙන් උදුරා ගැනීමට මුහුදු බඩ කුලයන්ගේ තීක්ෂණ නැණවතුන් උපක‍්‍රම සෙවූහ. එයට 1915 හා 1948 ආශි‍්‍රත  කැරලිවලින් උඩරට ප‍්‍රභූන් විසින්  අමනාප කරගත් බි‍්‍රතාන්‍යයන්ද ඉතා ශූර ලෙස උදව් කළේය. මෙය අති සාර්ථක විය.  අවසානයේ උපක‍්‍රමික ලෙස මහනුවර ජනසංයුතිය මුහුදු බඩ කුලයන්ට පක්ෂපාති ලෙස වෙනස් කරන්නට සමත් විය. දේශපාලන පක්ෂ උදෙසා කරන විග‍්‍රහයේදී එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ පහත රැුටියන්ගේ දේශපාලන පක්ෂය ලෙසය.   කුමන දේශපාලන බලපෑමක් තිබෙන තත්ත්වයක් යටතේ වුවද මහනුවර එක්සත් ජාතික පක්ෂයට දිනිය හැකිවීම මේ සත්‍යය කියාපායි.
මේ නයින් ලොයිඞ් සිල්වා වනාහි යටකී මහනුවර යටත්කර ගැන්මේ කාර්යයේ බි‍්‍රතාන්‍යයන්ට පසු අපට හමුවන්නාවූ ජෝන් ඩොයිලිය. ඔහු විමුක්තිකාමියකු දිළිඳු ජන සේවකයකු ලෙස සැලකිය යුතු  රඟපෑමක් කළේය. නමුත් ඔහුගේ ඇත්ත අරගලය තිබුණේ මීගස්තැන්න(ලා* සමගය. ඔහු යුද්ධයේ අතරමග මිය ඇදුන නමුත් ඒ අරගලය ජයග‍්‍රහණය කළේය.
කපිලගේ නවකතාවේ ඉඟියක්වත් නොසපයන අන්තය එයයි. කපිල සිය නවකතාව ඇරඹීමට ප‍්‍රථම මෙසේ ලියයි. ‘සත්‍ය සිදුවීම් හා චරිත සමග සැසඳිය හැකි තරමට මෙම ප‍්‍රබන්ධය, සමකාලීන පරිසරය හා සම්බන්ධ වන නමුදු එ් සියල්ල කතුවරයාගේ පරිකල්පන ලෝකයේම නිර්මාණයෝ වෙති.’
ලංකාවේ සමාජ ඉතිහාසය ලැදිව හදාරණ කිසිවකු මෙම නවකතාවේ කපිලගේ යටකී පැහැදිලි කිරීම පිළිගන්නවා ඇතැයි නොසිතමි. ඒ හැඳින්වීම මේ ඓතිහාසික නවකතාවේ ගැඹුරු අගයට අවමන් කරයි.  එක්කෝ තමාගේ නිර්මාණ කෘතියේ බලවත් කම වෙනුවෙන් පෙනී සිටීමට  කතුවරයාට ඇති ධෛර්යයේ හීනකම කියාපායි.
කන්දේ වීදිය යනු නවකතාවක්ද ඉන් ඔබ්බට ගොසින් යුගයක් පිළිබඳ විවර කරන සමාජ දේශපාලනික කවුලූවක්ද වේ. එහෙයින් එය ගැඹුරු සංවාදයකට ලක්විය යුතු නිර්මාණ වෑයමක්ද වේ.
චන්ද්‍රරත්න බණ්ඩාර

Thursday, 13 June 2013

මහාචාර්ය නලින් ද සිල්වාගේ ප‍්‍රචංඩ වික‍්‍රම




සුප‍්‍රකට දොරමඬලාව වැඩ සටහනේදී මහාචාර්ය නලින් ද සිල්වාගේ තවත් වික‍්‍රමයක් දුටු නිසා මෙය ලියන්නට සිත්විය. වසර තිහක් පමණ මුළුල්ලේ ඔහුගේ ප‍්‍රචණ්ඩ වික‍්‍රමයන් සමග සිය බුද්ධිමය ඇතැම් දේ දකිමින් සිටින අපට මේවා අමුත්තක් නොදනවයි. එහෙත් එ්වා එ් ලෙසින් දරා සිටින ලාංකීය බුද්ධිමය සමාජය පිළිබඳ තක්සේරුවකට එ්මට මේවා දකින අපට පුළුවන.  ජීවිතයේ වැඩක්ම නැතිකාලයේ දේශපාලන හිත පක්ෂපාතිකම් වලට ආශක්තව සිය බුද්ධිමය අනන්‍යතාවයට තමාම කළුතෙල් පහරවල් එල්ලකරගෙන ඇති නමුත් විද්‍යාත්මක සත්‍යයන් සමාජය මත ස්ථාපනය කිරීමත් එ් මගින්  ලංකාවේ ප‍්‍රජාතන්තී‍්‍රය ගැඹුර සඳහා දක්වා ඇති දායකත්වයත් නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා යනු ශී‍්‍ර ලාංකීය සමාජයට නොතකා හැරිය නොහැකි පුද්ගලයෙකි. මහාචාර්ය  සිල්වාගේ කෝපාග්නියේ මෙවර ගොදුර බවට පත්වූයේ ඒ මහාචාර්ය කාලෝයග
මේ පිළිබඳව කෙරුණු සාකච්ඡුාවකදී මගේ මිතුරකු පැවසුවේ එදා දොරමඩලාවේදී වූ වරද ඇත්තේ මහාචාර්ය සිල්වාගේ නොව දොරමඬලාව මෙහෙය වූ හසන්ත හෙට්ටිආරච්චිගේ බවය. හසන්ත යනුද එ්ක පාර්ශ්වික දැනුමක් දරා සිටින පුද්ගලයකු බව එ් වැඩ සටහන මෙහෙයවන ආකාරයෙනුත්, එ් සඳහා තෝරා ගන්නා බුද්ධිමතුන්ගේ ස්වරූපයෙනුත් වටහා ගත හැකිය. කාලෝ ෆොන්සේකා වැන්නන් එයට සහභාගි කරගන්නේ වැඩසටහනේ ඊනියා මධ්‍යස්ත බව රැුක ගැනීම සඳහාය.
මහාචාර්ය නලින් අනවරථ ලෙස සිය මතයන් බලගැන්වීම සඳහා දීර්ඝ කාලීන ලෙස වෙහෙස වූ අංක එකේ බුද්ධිමතුන් දෙදෙනාගෙන් කෙනෙකු ලෙස හැඳින්විය හැකිය. අනෙකා දිවංගත මහාචාර්ය සුචරිත ගම්ලත්ය.
ජාතිකවාදයට අනුගත වීමට පෙරාතුව ආචාර්ය නලින් ට්‍රොට්ස්කිවාදය ඇසුරේ හැදී වැඩෙමින් සිය බුද්ධිමය සමානයන් අතර කල් ගෙවූ යුගයේ කියවීමෙන් පමණක් නොව ඇසුරින්ද බොහෝ දේ ලබාගත්තේය. එහෙත් සිය සුප‍්‍රකට ‘මාක්ස්වාදය අතහැරීමේ’ කි‍්‍රයාවෙන් පසුව ඔහු කෙමෙන් ජාතිකවාදයේ ඌනිතම අන්තය කරා සේන්දු විය. එහිදී නලින්ට සමානයකු ඒ අලූත්  කඳවුරේ හිටියා නම් එ් ගුණදාස අමරසේකර පමණකි.
ගම පිළිබඳ අලංකාරෝක්ති සැබෑ වූ යුගයක ගැමි ප‍්‍රභූවක ජාතක වූ අමරසේකර සිය කලාකාර, හැඟීම්බර හදවත එ් අතීතය සොයා යාමට දරන ලද අවිඥානක ආසාවේ තාර්කික වැඩ බිම ඔහු අද සිටින ජාතිවාදී දේශපාලනයයි. එහෙත් ඔහු වම සජීවී පවතිද්දි, එම ව්‍යාපාරය මහා පුරුෂයන් (ඇන්.ඇම්., කොල්වින්, වික‍්‍රමසිංහ වැනි* අරා සිටිද්දී, එහි අවංකභාවය සිය ඇස් පනා පිට පෙනෙද්දී අමරසේකර එයට අශක්තව සිටි ු කැපී පෙනෙන සමසමාජ කාරයෙකි. ඇන්.ඇම්. මිය ගිය මොහොතේ සෝකයෙන් පීඩිතව දුර්ජන ලාංකිකයනට ඔහු කීවේ ‘දැන්වත් ගොස් වඳු එ් සිරිපතුල’ කියාය. එහෙත් අමරසේකර රඳවා ගන්නට තරම් බලසම්පන්න වමක් හෝ නායකත්වයක් අද නැත. එහෙයින් යළි ඔහුගේ ගම පිළිබඳ අලංකාරෝක්ති සිහිනය වැමෑරිය හැකි ජාතිකවාදයට විතැං වී ඇත.
නලින් ගේ පියා හොඳම සිංහල ගුරුවරයෙකු වුවත් ගැමියකු නොවේ. එහෙයින්ම නලින්ට ගම ආගන්තුකය. ඔහුට සිංහලකම හා බෞද්ධකම දැනෙන්නේ  ඕල්කට්තුමාට හෝ ඇනී බැසැන්ට බෞද්ධකම දැනුනාට වෙනස් ලෙස නොවේ. ලංකාවේ ගම හා බැඳුණු අතීත බුදු දහම මහ පොළොවේ ස්ථාපනය වූයේ සංග‍්‍රාමයකින් පසුව නොවේ. ඉවසීම සවන්දීම සාකච්ඡුාව වැනි සංකථනයන් ඔස්සේය. ආනන්ද මෛති‍්‍රය වැනි මහා තෙර නමක්  පිළිබඳ ගැඹුරු සමාජ ගෞරවය එන්නේ එතැනිනි.
නලින්ගේ සිය බුදුදහම හා සිංහලකම පිළිබඳ කතිකාවන් තුළ බොහෝ තර්කානුකූල දේ තිබුණත් එ් විස්තාරණ විලාසය එන්නේ තමා ගණිතඥයකු ලෙස ලබාගත් දැනුමත්, ට්‍රොට්ස්කිවාදියකු ලෙස දේශපාලන සංග‍්‍රාම භුමියක අනෙකා පරයා නැඟීම පිළිබඳ හුරුපුරුදුත් තුළින්ය. එහෙයින් නලින් මුදාහරින බුදුදහම පිළිබඳ දැනුම ඊට පෙරාතුව ඒ විෂයෙහි පරප‍්‍රාප්ත මහාචාර්ය කේ. එන්. ජයතිලක, ගොඞ්වින් සමරරත්න, මහින්ද පලිහවඩන වැන්නන්ගේ බරසාර දැනුමට වෙනස්ය.
බුදු දහමේ කවර මානයක් පිළිබඳ කතිකාවකදී වුව මේතරම් ප‍්‍රචණ්ඩ ව එය ඉදිරිපත් කළ නලින් තරම් බුද්ධිමතකු මින් පෙර නොසිටියේය. එමෙන්ම ප‍්‍රචණ්ඩත්වය සිය මතවාදි විලාසය බවට පත් කරගත් දැනුමැත්තෙකුද මින්පෙර ශී‍්‍ර ලාංකික බුදුදහම විෂයෙහිද  නොසිටියේය.
ප‍්‍රචණ්ඩත්වයට කවර තරමේ හෝ ඉඩකඩක් බුදුදහමේ තර්ක මාර්ගය තුළ නැත. එවැනි බුද්ධිමතුන් ද එම විෂය තුලදී අපට හමු නොවේ. එ් අතින් නලින් ද සිල්වා එ් ක්ෂේත‍්‍රයේ පළමුවැන්නා වේ. ඔහු අනුගමනය කරමින් සිටින නිල හෝ නොනිල ගෝලයෝ ඊටත් එහාට ගොස් දැන් මුලූ රටම වනසමින් සිටී. චම්පික රණවක, බොදුබල සේනා, රාවණා බලය ආදි දහසක් බලඇණි  එ් ගෝල සමූහයයි.
මගේ අදහස නම් නලින්ට සමාජයේ බොහෝ සිවිල් බලැති නිල බුද්ධිමතුන් බියක් දක්වන බවයි. නලින්ගේ මත තාර්කිකව ඛණ්ඩනය කරන බුද්ධිමතුන් කිහිප දෙනෙක්ම මට හමුව තිබේ. එහෙත් ඔවුන් එය කරන්නේ තමන්ට විශ්වාසී සගයන් සමග ඔවුන්ගේ කවයන් හි දී  මිස ප‍්‍රසිද්ධියේ නලින් සමග නොවේ. එ් බොහෝ විට නලින්ගේ කිල්ලෝටයේ නැති හුණු ඔවුන්ගේ කිල්ලෝටවල තිබෙන නිසා විය හැකිය.
වමේ කඳවුරේ නලින් සිටියදී ඔහුට සමාන ලෙස අභියෝග කළ හැකි කිහිප දෙනෙක්ම එ් කඳවුරේම සිටියෝය. එහෙත් අද සේන්දුව සිටින ජාතිකවාදි කඳවුරේ නලින්ට ඇසෙන්නේ අභියෝග නොව අත්පුඩි පමණය. එ් අත්පුඩි බලවේගය හරහා න්‍යායික රජකු වී සිටින නලින්ට ඉඳහිට හෝ ඇසෙන කාලෝගේ වන් අභියෝග ප‍්‍රසිද්ධි සජීවි නාලිකාවකදීවත් ඉවසාගෙන සිටිය නොහී ගහන්නට පනියි. රෝගියෙකුද, වයස්ගත මිනිසෙකුද, වන කාලෝ සමග ජාතිකවාදියකු බෞද්ධ නායකයකු හැසිරෙන්නේ මෙහෙම නම් ඔහුගේ බෞද්ධකමින් ලැබුණු හික්මීම එයින්ම වටහා ගත හැකිය.
මේ බුද්ධිමය ප‍්‍රචණ්ඩත්වයට අත්පුඩි තලන පිරිස වැඩි වෙමින් තිබීම සමාජය ඇද වැටෙමින් පවතින ඛේදවාචකයේ තරම කියා පායි. ආචාර්ය නලින්ද සිල්වා හැසිරෙන්නේත්, ආචාර්ය මර්වින් සිල්වා හැසිරෙන්නේත්, එකම අයුරින් නම් දෙදෙනාටම අත්පුඩි තලන අය දෙකොටසක් විය හැකි වුවත් අවසානයේ ඔවුන් එකම ගොල්ලක් වේ. මර්වින් සිල්වා අනුගමනය කරන්නේ සමාජයේ නූගත් පහළ කොටස් නම් නලින් සිල්වා අනුගමනය කරන්නේ සමාජයේ උසස් යයි සම්මත කොටස්ය. අවසානයේ සියල්ලෝම රට ඛේදවාචකයට ගෙන යාමට සමානව දායකත්වයක් දරයි.