Sunday, 1 February 2026

අනාගතවාදී බුද්ධිමතා; ආචාර්ය මයිකල් ප්‍රනාන්දු


 

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මට හමුවන්නේ මා පාසල් ශීෂ්‍යයෙකුව සිටි අවධියේ 1977 මහා මැතිවරණය කාලවකවානුවේය. එම මැතිවරණයේ අපගේ සහාය ලැබුණේ සමසමාජ, කොමියුනිස්ට්, මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඇතුලත්වූ 'වාමාංශික එක්සත් පෙරමුණටය. එම මැතිවරණය පෞද්ගලිකව මට සමාජය හා නවමු ගනුදෙනුවකට මාවතක් සැපයීය. මා වැනි ගැටවරයෙකුට නොලැබෙන දැවැන්ත මිනිස් ආශ්‍රයකටද එම මැතිවරණය මං පෙත් විවර කළේය. එය මට ජීවත්වීමේ දී හා සාහිත්‍ය කලා නිර්මාණයන්හිදීද වැදගත් ලෙස බලපා තිබේ. නුවරදී අප මෙහෙයවූවෝ එකල්හි වෘත්තිකයන් වශයෙන් ගෞරවයක් දිනාගෙන සිටි විජය වික්‍රමරත්න, ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න වැනි සමසමාජයේ දෙවනපෙළ නායකයින්ය. අපේ මැතිවරණ රැස්වීම් ශ්‍රී ලංකා, යූ.ඇන්.පී. දෙකට වඩා ජන සහභාගිත්වයෙන් අඩු වුවත් වේදිකාව පිරවුණේ මහා දැනුමැත්තන්ගෙනි. කාලෝ ෆොන්සේකා, ඔස්මන්ඩ් ජයරත්න, තිස්ස විතාරණ වැනි මහාචාර්යවරු සමසමාජ පක්ෂය නියෝජනය කරමින් අපගේ ආසනවල ඡන්ද රැස්වීම් ඇමතූහ. කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ලෙස්ලි ගුණවර්ධන, මයිකල් ප්‍රනාන්දු, නවරත්න බණ්ඩාර වැනි උදවිය එලෙස ගම් නියම්ගම්වලට ගොස් ජනතාව ඇමතීය. ඒ සියල්ලගේ ජන ඇමතීම් වල තිබුණු ශාස්ත්‍රීය රටාවෙන් අපගේ සිත් පිනා ගියද මහජනයාට ඒවා එතරම් බලපෑමක් වූවාද යන්න සිතා ගැනීමට අපට ලැබුණු ඡන්ද ප්‍රමාණයම හේතුවේ.

දෙවන වරට මට ආචාර්ය මයිකල් ප්‍රනාන්දු හමුවන්නේ මහාචාර්ය මීගස්කුඹුරයන්ගේ සමහර කෘතිවල ප්‍රකාශකයා වශයෙන් ඔහු හමුවීමට ආ ගිය ගමන්වලදීය. අද ශාස්ත්‍රඥයන් අතළොස්සකට සීමාවී ඇති පේරාදෙණි සිංහල අංශයේ ඔය කියන අවධියේ සිටියේ ආනන්ද කුලසූරිය, පී.බී.මීගස්කුඹුර, කේ.එන්.ඔි. ධර්මදාස, අනුරාධ සෙනවිරත්න, මයිකල් ප්‍රනාන්දු වැනි ප්‍රාමාණික විද්වතුන් සමූහයකි. එකළ දවසක ආචාර්යවරුන්ගේ කැන්ටිමේදී ආචාර්ය මයිකල් මා සමග පැවසුවේ  'සිංහල අංශයේ ළමයින්ට ආරම්භයේ ලබාදෙන පොදු ඉංග්‍රිසි පාඨමාලාව මෙන් සරල පරිඝනක අධ්‍යාපනයක් ලබා දීමට යෝජනා කළත් එය ව්‍යවර්ථ වූ බවය. මේ 1990 මුල් කාලයේය. එදා කොම්පියුටර් අධ්‍යාපනයත් ඒවා භාවිතයත් බහුල නොවූ කාලයක ආචාර්ය ප්‍රනාන්දුගේ යෝජනාව කෙතරම් ප්‍රගතිගාමී එකක්ද? අද වන විට සමහර විට එවැන්නක අවශ්‍යතාවයක් නැතුවාද විය හැකිය. අද හැමෝටම පරිඝනක අධ්‍යාපනය යනු අමුත්තක් නොවන හෙයිනි. එහෙත් එදා ඔහු කළ යෝජනාවෙන් කියවෙන්නේ ඔහු සිංහල විෂය හදාරණ ශිෂ්‍යයා  වුව අනාගතවාදීව ගොඩනගන්නට ඔහුට තිබූ උවමනාව වියහැකිය.
ඔහු ජර්මනිය එකතු වීමට පෙර නැගෙනහිර ජර්මනියේදී පශ්චාත් උපාධිය හදාළේ බ්‍රෙෂ්ට් රංගවේදය පදනම් කරගනිමිනි. ඔහු බොහෝ කාලයක් එම විෂය ශිෂ්‍යයන්ට ඉගැන්වීය. මගේ තොරතුරු නිවැරදි නම් ජයලත් මනෝරත්නයන්ට පේරාදෙණිය විශ්වවිද්‍යායෙන් ආචාර්ය උපාධියක් ලබාදිය යුතු යැයි යෝජනා කළේ ආචාර්ය ප්‍රනාන්දුය.
1995න් පසු කාලයේ ව්‍යවස්තා ප්‍රතිසංස්කරණයක් ඉලක්ක කරගත් සාම වැඩපිළිවෙලේ සම්පත්දායකයෙකු ලෙස නිරතුරුව අපට ඔහු ආස්‍රය කරන්නට හැකිවිය. එහිදී කතාබහ කළ දේවල් අපගේ දැනුම් ලෝකය පුළුල් කළේය.
අවම වශයෙන් පරම්පරා තුනක විශ්වවිදයාල ආචාර්යවරුන් ආශ්‍රය කර ඇති මට 'විද්වතෙකු" ඇසුරු කරන්නේය යන හැඟීමක් ජනනය කළ විශිෂ්ටයෙකු ලෙස මතකයේ රැඳෙන්නෙකි.
 

No comments:

Post a Comment