ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මට හමුවන්නේ මා පාසල් ශීෂ්‍යයෙකුව සිටි අවධියේ 1977 මහා මැතිවරණය කාලවකවානුවේය. එම මැතිවරණයේ අපගේ සහාය ලැබුණේ සමසමාජ, කොමියුනිස්ට්, මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඇතුලත්වූ 'වාමාංශික එක්සත් පෙරමුණටය. එම මැතිවරණය පෞද්ගලිකව මට සමාජය හා නවමු ගනුදෙනුවකට මාවතක් සැපයීය. මා වැනි ගැටවරයෙකුට නොලැබෙන දැවැන්ත මිනිස් ආශ්‍රයකටද එම මැතිවරණය මං පෙත් විවර කළේය. එය මට ජීවත්වීමේ දී හා සාහිත්‍ය කලා නිර්මාණයන්හිදීද වැදගත් ලෙස බලපා තිබේ. නුවරදී අප මෙහෙයවූවෝ එකල්හි වෘත්තිකයන් වශයෙන් ගෞරවයක් දිනාගෙන සිටි විජය වික්‍රමරත්න, ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න වැනි සමසමාජයේ දෙවනපෙළ නායකයින්ය. අපේ මැතිවරණ රැස්වීම් ශ්‍රී ලංකා, යූ.ඇන්.පී. දෙකට වඩා ජන සහභාගිත්වයෙන් අඩු වුවත් වේදිකාව පිරවුණේ මහා දැනුමැත්තන්ගෙනි. කාලෝ ෆොන්සේකා, ඔස්මන්ඩ් ජයරත්න, තිස්ස විතාරණ වැනි මහාචාර්යවරු සමසමාජ පක්ෂය නියෝජනය කරමින් අපගේ ආසනවල ඡන්ද රැස්වීම් ඇමතූහ. කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ලෙස්ලි ගුණවර්ධන, මයිකල් ප්‍රනාන්දු, නවරත්න බණ්ඩාර වැනි උදවිය එලෙස ගම් නියම්ගම්වලට ගොස් ජනතාව ඇමතීය. ඒ සියල්ලගේ ජන ඇමතීම් වල තිබුණු ශාස්ත්‍රීය රටාවෙන් අපගේ සිත් පිනා ගියද මහජනයාට ඒවා එතරම් බලපෑමක් වූවාද යන්න සිතා ගැනීමට අපට ලැබුණු ඡන්ද ප්‍රමාණයම හේතුවේ.
1995න් පසු කාලයේ ව්‍යවස්තා ප්‍රතිසංස්කරණයක් ඉලක්ක කරගත් සාම වැඩපිළිවෙලේ සම්පත්දායකයෙකු ලෙස නිරතුරුව අපට ඔහු ආස්‍රය කරන්නට හැකිවිය. එහිදී කතාබහ කළ දේවල් අපගේ දැනුම් ලෝකය පුළුල් කළේය.
අවම වශයෙන් පරම්පරා තුනක විශ්වවිදයාල ආචාර්යවරුන් ආශ්‍රය කර ඇති මට 'විද්වතෙකු" ඇසුරු කරන්නේය යන හැඟීමක් ජනනය කළ විශිෂ්ටයෙකු ලෙස මතකයේ රැඳෙන්නෙකි.

No comments:
Post a Comment