නොපිරවිය හැකි හිස්තැනක් තබා අප හැර යන 'සාද් ඈපාණන්'
----------------------------------------
(ලංකා ඊ නිව්ස් -2024.සැප්.23, ප.ව. 11.50) ධර්මසේන පතිරාජ ප්
රමුඛ කරගත් රෑනේ අවසන් කුරුල්ලා ද සිය පියාසැරීම නිමා කර ඇත. ඒ, එම රෑනට හිමි දේශපාලන ධාරාවේ කූටප්
රාප්තියක් සනිටුහන් කරන වේලේය. 1964 සභාග දේශපාලනයට එරෙහිව බිඳී ගිය නව වාමාංශික ධාරාවේ දේශපාලනයෙන් මේ රෑනේ බොහොමයක් පන්නරය ලදහ. ඩබ්ලිව් ජයසිරි, එච්. ඒ
සෙනවිරත්න, තිලක් ජයරත්න ආදීන් අයත් වූයේ බාලා තම්පෝ විසින් බල ගන්වන ලද ලංකා වෙළඳ සේවක සංගමයට හා ඊට අනුබද්ධ ට්
රොට්ස්කිවාදී දේශපාලන ධාරාවටය. මට හිතෙන්නේ ජයසිරි ලද අධයාපනය හා කලා හැකියාවන් නිශ්චිත ලෙස ස්වයං විශ්ලේෂණය කර ගැනීමට මෙම ට්
රොට්ස්කිවාදී නැමියාව හේතුවන්නට ඇති බවයි.
මම, ජයසිරි සමග වසර හතළිහක පමණ කාලයක් තිස්සේ මිතු දම් පවත්වා ඇත්තෙමි. ඒ ඇසුරේදී මා දුටු දෙයක් නම් ඔහු විටින් විට පැන නැගෙන රැළි වලට අවනත නොවී සිටි ආකාරයයි. ජනතා විමුක්ති පෙරමුණ දෙසද ඔහු බලා සිටියේ එලෙසය. ඒ කල් ඇතුව දේශපාලනිකව අත්දැකීමෙන්ද න්යායික දැනුමෙන්ද සන්නනද්ධ වී සිටි නිසා විය හැකිය. නමුත් 2022 අරගලය ආශ්රිතව පැන නැගුණු තත්වය සමග අවියෝජනය වූ ඔහු අරගලයේ අපේක්ෂා දේශපාලනිකව නියෝජනය වූ ජාතික ජන බලවේගයට අනුග්රහශීලී විය. ඒ බලවේගය ඉතිහාසයීය ගමන් මග වෙනස් කිරීමට වරම් ලබන මොහොතේ ඔහුගේ දිවි සැරිය නිමාවීම අප තුල ඇති කරන්නේ බලවත් කම්පාවකි.
ඩබ්ලිව්. ජයසිරි යනු හුදු කලාකාරයෙකු පමණක් නොවේ. තමන් නිරත කලා ධාරාවන් සියල්ලෙහි හතරකොන ගැන මනා දැනුමක් සහිත ද්විභාෂීය දැනුමැත්තෙකි. ජයසිරි තමාගේ උසස් රංගන දායකත්වයෙන් සහ මූල්ය දායකත්වයෙන් නිශ්පාදිත සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්යයේ සාද් ඈපාණන් කියන්නා සේ ‘කෙස්වැටියෙන් අල්ලා ඇද කොට්ටඋරයක් මෙන් සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ජීවිතය දෙස බලන්නට‘ ජයසිරි සෑම විටම උත්සාහ දැරුවේ යැයි මට සිතේ.
ඔහු සමාජය විග්රහ කරන්නේ තමාම උදාහරණයට ගනිමිනි. ඔහු කිව යුත්ත අවශ්ය තැන කියා පාන්නේ ඉන් තමාට වෙන අවැඩ ගැන වද නොවෙමිනි. තමන්ගේ ජීවිත කතාවට කිසිදු ආලවට්ටමක් නොතවරන ඔහු ඒ අතීතයට අදාළ හොඳ නරක සියල්ල ඇතුලත් ජීවන ගිනුම කිසිදු සැඟවීමකින් තොරව සමාජයට හෙළිදරව් කළේය. මට ඔහු ගැන හැඟෙන්නේ ඇල්බෙයා කැමූ යෝජනා කළ මිනිසාගේ හැඩය ගත්තෙකු ලෙසිනි. ආගමික හෝ වෙනත් සදාචාරමය විශ්වාසයන්ගේ සිරකරුවෙකු වීමට ඔහු මියයන තුරාවට අකමැත්තක් දැක්වීය. එය ඔහු අයත් කුලකයේ පොදු ගුණාකාරය ලෙසද ගතහැකිය. ජයසිරිගේ ප්රතිභාව නොතකා ඔහුට පරිභව කළෝ එලෙස කළේ ඔහුගේ ඒ නිදහස්කාමී හැසිරීම හේතුවෙනි.
ජයසිරි රචනා කළ ගීත ස්වල්පය අතරින් එක් ගීතයක් ජයසිරි නම් වූ ප්රතිභා පූර්ණ රංගවේදියාට සමාන්තරව අනභිභවනීය ගීත රචකයෙක් බිහි කළේය. ඒ 'බඹරු ඇවිත්' චිත්රපටයට ඔහු ලියූ 'උදුම්බරා' ගීතයයි. හතළිස් වසරක් තිස්සේ ඒ ගීතය නොවෙනස් අනභිබවනීයත්වයකින් යුතුව රසික අවකාශය පහන් කරයි. එම ගීතය හුදු ගීත රචකයෙකුට පමණක් රචනා කළ නොහැකි, දේශපාලන හා සෞන්දර්ය වේදය පිළිබඳ ප්රමාණිකයෙකුට පමණක් කළ හැකි නිමවුමකි.
මා ඔහුගේ රංගන අවකාශයට අයත් සියලු රංගනයන් නරඹා නැත. එහෙත් මගේ සිතෙහි චිරාත් කාලයක් රැඳී පවතින රංගනයන් කිහිපයකි. බඹරු ඇවිත් හි ජයසිරි රඟපාන්නේ රූප රාමු දෙකකට හෝ තුනකට සීමා වූ රංගනයකි. දෙබස් වුවද එතරම් නැත. එහෙත් මයිකල් නම් වූ තරුණ ධීවරයාගේ රඟපෑම මට යළි යළි මතක් වන්නේ ජෝ අබේවික්රමගේ මහා රංගනයට නිගරු කරමින් නොවේ. ජයසිරිගේ එම රංගනය පැසුණු එකකි. 'මරාසාද්' නාට්යයේ සාද් ඈපාණන්, දඬුබස්නාමානය, අසන්ධිමිත්රා, විසිදැල, දොළහක් ආදි කලා නිර්මාණවල ඔහුගේ රංගනයන් මට කිසිදා අමතක නොවනු ඇත.
ජයසිරි මියයාම අපගේ ලෝකය තුළ මහා හිස්තැනක් නිර්මාණය කර ඇත. කවදාවත් මිය නොයනු ඇතැයි සිතෙන තරමට සිය තාරුණ්යය ඔහු නඩත්තු කළේය. ඒ වයස්ගත වන විට ඇතිවන ආගමික හා ජාතික කොටු පවුරු අතරට වැදීම, ස්ව අභිමානය පිළිබඳ වගාඩම්බර කීම ආදියට ගොදුරු නොවෙමිනි.
මීට වසර දෙක තුනකට කලින් මා ඔහු හමු වූ මොහොතක ඔහු පැවසුවේ 'මචං බිව්වට කමක් නෑ...හැබැයි වෙලාවට බෙහෙත් බීපං' කියාය.
පවුල් ජීවිතය සම්බන්ධ කිසියම් අර්බුදයක් නිසා වෙන්ව ජීවත් වන මගේ මිතුරෙකුගෙන් ජයසිරි ඒ ගැන විමසා ඇත්තේ මේ නොබෝදාය. මගේ මිතුරා පවසා ඇත්තේ 'ජයේ මං දැන් පිරිමි පටාචාරා වගේ" යනුවෙනි.
'උඹ පටාචාරා උනාට කමක් නෑ...හැබැයි ලංකාවට හෙලුවෙන් එහෙම එන්න එපා' යනුවෙනි.
ඒ මතකාවලි සියල්ල අපට ජයසිරිව යළි මුණගස්වනු ඇත.
සුදුර්ලභ කලාකරුවාණෙනි, ඔබට සුව නින්දක්!