Wednesday, 3 December 2025
පුෂ්පාලංකාරය
Tuesday, 25 November 2025
"සීලවතී සින්ඩ්‍රෝමය" ( චන්ද්‍රරතන බණ්ඩාරගේ කෙටිකතා එකතුව )
අශන්ති ඒකනායක
( පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි අංශයේ උපදේශිකා )
සිමෝන් ද බුවාගේ "බ්‍රිජට බාඩෝ හා ලොලිටා සින්ඩ්‍රෝමය" නම් කෘතිය සිහිපත් කරවනසුලු නමකින් යුතු, සාපේක්ෂව දිගු නිර්මාණ සතකින් සම්ප්‍රයුක්ත, චන්ද්‍රරතන බණ්ඩාරගේ නව්‍යතම කෙටිකතා එකතුව, අල්පයක් වන බලාපොරොත්තුවෙන් තුලනය කෙරෙන, ළඟ ළඟ එන විනාශයන් හා අහිමිවීම් පිළිබඳ දැනවුමක් දරන්නේය. සිමෝන් ද බුවාගේ ලේඛන කාර්යය , අනුප්‍රාණය උදෙසා පරමාදර්ශයක් යැයි ප්‍රංශයේ හා සැබැවින්ම බටහිර ලෝකයේ කාන්තාවන් විසින් සැලකුණ යුගයක, ඉහළින් ඇගයුණ ස්ත්‍රීත්වය හා ස්ත්‍රීත්වයේ සාරය පිළිබඳ රිදවනසුලු විවේචනයක් විය. ස්ත්‍රීවාදිනියක ලෙස, ද බුවා , සිය දැඩි විවේචනයේ තර්කය ගෙනෙන්නට නැබකෝව්ගේ ලොලිටා නවකතාව සූර ලෙස උපයෝගි කරගත්තාය. චන්ද්‍රරතනගේ කෘතියේ නාමය , එකී ප්‍රකට ස්ත්‍රීවාදී අතීත ක්‍රියාකාරකම සිහිගන්වනවා වුවද එය අහම්බයක් වනවා සේම , ඔහුගේ කතා එකතුව වියපත්වීම, තාරුණ්‍යය , මරණය, ලිංගිකත්වය , සමාජයීය ධර්මතා, යුද්ධයේ ආචාර ධර්මතා බඳු පුළුල් සංකල්ප, පංතිය හා ස්ත්‍රී පුරුෂ සමාජ ධර්මතා අනුව අදාළ වන සැටිත්, ජාතිකත්වය පිළිබඳ අපේ මතයන් පිටුපස ඇති කුරිරු සත්‍යයත් ආදිය ස්පර්ශ කරන්නේය. ඔහු සමඟ කෙරෙන සංවාදයේදි , කෘතිනාමය තෝරාගැනීමේ හේතුව හෙළි වන්නේය.
චන්ද්‍රරතන බණ්ඩාරගේ ආසන්නතම නවකතාව වූ "පියාසර සමය" නොබෝ දා 'ස්වර්ණ පුස්තක ' සම්මානයත්, රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් හිමි කරගත් අතර, විද්‍යෝදය හා ගොඩගේ යන සාහිත්‍ය සම්මාන උළෙලවලදී සම්මානයට නිර්දේශිත කෘති ලැයිස්තුවට ඇතුළත් විණි. ඔහු අද්විතීය හා නිපුණ ලේඛනබසකින් සන්නද්ධ සහ ආසන්න හා සමකාලීන තේමාවන් මත ලියන්නට උනන්දුවන ලේඛකයකු ලෙස පිළිගැනේ.
" සීලවතී සින්ඩ්‍රෝමය" මිනිස් අත්දැකීම්වල යම් වැදගත් අංශයන් ආශ්‍රය කරන, සිතුවිලි අවුළුවනසුලු කෙටිකතා හතක් දරන්නේය. රචකයා, මනුෂ්‍ය සබඳතාවල සංකීර්ණ හා සියුම් වෙනස්කම්, අප ඒවා හා ගනුදෙනු කරන අවසරැති, පිළිගැනෙන නෛතික හා සදාචාරාත්මක ව්‍යුහයන් මෙන්ම, පුද්ගල නිදහස හා සමාජ සම්මතයන් විකාරයන් බවට පෙරළන අයුරු විග්‍රහ කරයි. මෙහි ඇතැම් කතා ස්ත්‍රී පුරුෂභාවයේ දේශපාලනය, ලිංගික නිදහස හා ප්‍රකාශනය එල්ලේ කෙරෙන ගවේෂණය නිසා අපේක්ෂා දනවන අතර , තවත් ඒවා අහිමිවීම් පිළිබඳව හිස් හැඟුම හා බලාපොරොත්තු රහිතබවේ දුක්මුසු හැඟුම ගෙනෙමින් , සාධාරණය හා යුක්තිය ලෙස අප පිළිගන්නා සම්මතයන් තිත්ත ලෙස ප්‍රශ්න කිරීම හා ඒවාට අභියෝග එල්ල කිරීම සිදු කරයි.
යම් නිර්මාණ වියපත්වීම , තාරුණ්‍යය, මරණයට පත්වීම යන තේමාවන් සහ ස්ත්‍රී- පුරුෂ සබඳතාවලදී පැන නඟින ගොදුරුබවට පත්වීම් හා සංකීර්ණතාවන් ගවේෂණය කරයි. වෛද්‍යවේදය,ඖෂධවේදය යන ක්ෂේත්‍රවල දියුණුව සමඟ අපගේ ආයු අපේක්ෂා කාලය ඉහළ නැඟ ඇති නමුත්, වියපත්වීම නිසාම කයෙන් හා රූපයෙන් අවරට යන අයකුට ඉන් සපුරා වැළකිය හැකි සහනයක් නම් නැත්තේය. මේ ප්‍රස්තුතය යලි යලි තෝරාගැනෙන තේමාවක් සේ මෙම සංග්‍රහයේ එන අතර, පළමු නිර්මාණයේදී එය වඩාත් කැපී පෙනේ.
දෙවැනි කතාව ආදරයෙන් බැඳෙන යුවතියන් දෙදෙනෙකු මත පබැඳෙයි. ඔවුන් දෙදෙන වෙන් කරන්නට පුරුෂ මූලික බලවේග ඔස්සේ සමාජයෙන් බලපෑම් කෙරෙන අතර ආඛ්‍යානය තුළ එකරුණ සීරුවට ඉදිරිපත් කෙරේ. යුවතියන් දෙදෙන සිය බැඳීම අඛණ්ඩව ගෙන යනවාද, නැත්ද යන්න පැහැදිලි නොමැති ස්වභාවයකින් කතුවරයා කතාව හමාර කරන්නේය.
කෘතියට නමද දෙන තෙවැන්න ගෙන එන්නේ යෞවන ප්‍රේමයට පංතිය හා කුලය හරස්වන අයුරු පිළිබිඹු කරන කතාවකි. පෙම්වතිය සීලවතී, සිය ඉරණම පිළිබඳ පාලනයක් සාදාගනු වස්, සිය කන්‍යාභාවය සිඳින්නැයි පෙම්වතාට අයදින්නීය. මේ දඟකාරි ක්‍රියාව , පෙම්වතාට ඇති කැපවීම යම් පමණකට පෙන්වන්නට ළා බාල, වගකීම් රහිත දැරියක දැරූ නොවැදගත් වෑයමක් සේ පෙනුණද, එය ස්වකීය ලිංගික නිදහසේ පාලනය තමන්ම දරන තරුණියක පිළිබඳ ගැඹුරු ඇඟවීමක් දක්වයි. ලේඛකයාගේ බොහෝ නිර්මාණවල එන මන්දාරම්ගම, ඒ හැම විටම වාගේ මෙහිදීද නැවතත් ස්ථානයක් පිළිබඳ අතීතකාමී හැඟීම රැගෙන එයි. සිදුවීමට ආසන්න විනාශයන් පිළිබඳ එම ගමට අදාළව නිරතුරුව නැඟෙන හැඟීම්, මෙහි කථකයාගේ කියුබානු අත්දැකීම් හා සමපාත වෙයි.
සංග්‍රහයේ මීළඟ කතාව, යම් සමාජයීය වටිනාකමක් ලබන රූමත්බව හා පරිපූර්ණත්වයත්, සිය තරුණ වියේදී තාරකාවක ලෙස මෝහනීය සංකේතයක් වූ අයකුට , වියපත්වීම අවාසිදායක ලෙස බලපාන අයුරුත් සාකච්ඡා කරන්නකි. අයකු සතුව තිබූ වටිනාකමක් පැවතුණේ හුදෙක් කායික රූපශ්‍රීය මත වූ විට, එය අහිමිවීමේදී මිනිස් සබඳතා වෙනස් වන අයුර මෙහිදී අවධානයට ගැනේ. අවලස්සන හා රූමත්බව පිළිබඳ ශ්‍රී ලාංකේය මතවාදයන් වෙසෙසින්ම ස්ත්‍රීන්ට අදාළව නොසෙල්වෙන ස්වභාවයක් දරයි. කතාවේ එන ප්‍රධාන චරිතය හා පිරිමින් අතර සිදු වන සංසිද්ධි හා ගනුදෙනුවලදී , රූමත්බවේ භාණ්ඩමය හා සංකේතීය වටිනාකම යනු යමෙකු සිතන්නට ඉඩ ඇති දෙයකි.
"රාමායණය" නමින් එන කෙටිකතාව , පුරුෂයන්ගේ කායික පිරිහීම හා විවාහයේදී පක්ෂපාතිත්වය තේරුම්ගන්නා ආකාරය විමසා බලයි. ගැහැනියක පිරිමින් දෙදෙනෙකු අතර සිරවන්නේ- නිදසුන් ලෙස රාමා, සීතා, රාවණ සහ මනමේ කුමරු, කුමරිය , වැද්දා - කෙසේද යන්න කතාවෙන් අවධාරණය කෙරේ. කෙසේ වෙතත්, මෙය යම් පමණකට පුරුෂාධිපත්‍යය පිළිබඳ කතාවක් ලෙස සලකා, ප්‍රධාන චරිතයේ තත්ත්වය බොළඳ, අහිංසකකමක් සේ පෙනී යාම පිළිගත හැකිය. මේ බොළඳකම ඇත්තක් සේ හැඟෙන්නේ , සීමාන්තිකභාවයේ හැඟීම සහ සමරේ ප්‍රදර්ශනය කරන "පිළිගත නොහැකි" මෙන්ම "පුරුෂ නොවන" දුර්වලතාවය නිසාය.
"මකුළුදැල්" තේමා කරගනුයේ , වියපත් වෙමින් සිටින හෝ මැදිවියපත් හෝ යුවලක අතර පවතින විවාහක ප්‍රේමයේ , බැඳීමේ හා සබඳතා පිළිබඳ පිළිගත් ධර්මතාවල පැතිකඩයන්ය. සරල ජීවිතයක් ගෙවීමට උපකාරවන සන්නිවේදනය හා සමාජයීය යාන්ත්‍රණයන් යන සාධකවලට බාධා කරන තත්ත්වයන් හා අධිපතිවාදී මතවාද , ප්‍රවණතා මෙම නිර්මාණයෙන් ප්‍රශ්න කෙරේ. ආගම මැදිහත් වී යුවලක් අතර පැල්මක් ඇති කරන සැටි , ආඛ්‍යානය විටෙක ඉතා සියුම්වද, විටෙක එතරම් නොසියුම්වද විමසා බලයි. ශ්‍රී ලාංකේයයෝ , සෘජුව හෙළි නොකරද, අන් රටවල මිනිසුන් වයස්ගතවීම පහසුවෙන් දරාගන්නා අයුරු නිරීක්ෂණය කරති. එය මෙහි කථකයාගේ / ප්‍රධාන චරිතයේ සිතුවිලි අනුගමනය කිරීමකැයි කෙනෙකු හඟින්නට පිළිවන.
අවසන් කෙටිකතාව, ජාතියක් ලෙස මෑත අතීතයේ අප අත්දුටු, යුද්ධයේ එක් ගැඹුරු හා සංවේදී පැතිකඩක් සාකච්ඡා කරයි. මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරට මුල් ඇදුණු සාරධර්ම හා ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස ළමාභාවය සංජානනය කරන ආකාරයද , එම කරුණ යුද්ධයකදී නොමේරූ ජාතිකවාදය බඳු කුරිරු සංකල්ප හා ගැටෙන අයුරු පරීක්ෂාකර බලන්නට පාඨකයාට මෙහිලා බල කෙරේ.
සමස්තය සලකන කල, කතා සංග්‍රහය කදිම කියවීමක් සම්පාදනය කරන අතර, අප සමාජය සමඟ ගනුදෙනු කිරීමේදී මතු වන , අලුත් මෙන්ම පැහැදිලි පිළිතුරු නොමැති අතිශය සංකීර්ණතා පිළිබඳ විමර්ශනය කරන විට මඳ නැවතුමක්ද සදන්නේය. අසතුටුදායක අංශයන් පිළිබඳ කියැවෙන්නේ විධිමත් න්‍යායික පදනමකින් හෝ සාධක සහිතව නොවුණද, මෙය පලදායි, තෘප්තිමත් කියවීමක් පිරිනමන්නේය. මෙම සරණියේ ඇතැම් කෙටිකතා කියවීමේදී කෙනෙකුට, 2017දී ඉංග්‍රිසියට පරිවර්තනය කරනු ලැබ පළ කෙරුණු, හරුකි මුරකාමිගේ Men Without women සිහිපත් වනු ඇත. රසවත් කරුණක් වන්නේ, එම නමින්ම කෙටිකතා එකතුවක් අර්නස්ට් හෙමින්ග්වේ විසින්ද 1927දී පළ කරනු ලැබ තිබීමය.
පරිවර්තනය- දේ .වි .
ගාල්ලගේ
Wednesday, 12 November 2025
රාහුල් සාංකෘත්‍යායන- වොල්ගා සිට ගංගා තෙක්.....
පරිවර්තනය- මහින්ද සෙනරත් ගමගේ
''මේ ක්‍රි.පූ. 6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත්ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි. එම වසර 8000 තුළ ඉන්දු - යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාසනය ගැන , පරම්පරා 360ක් ආවරණය වන ලෙසින් කතා 20කින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන්ම නිර්මාණය කොටගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනෙයි.''
-කෘතියේ පසුවදන.
රාහුල් සාංකෘත්‍යායනගේ From Volga to Ganga කෘතිය මහින්ද සෙනරත් ගමගේ විසින් 'වොල්ගා සිට ගංගා තෙක් ' නමින් සිංහලට පරිවර්තනය කර ඇත. මෙය මානව වංශ විද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රබන්ධයකි. මෙම කෘතිය ප්‍රබන්ධයක් වුවත් දැවැන්ත ගවේශණයක් ඊට පිටුබලව තිබේ. මෙම කතුවරයා, මහත් දුෂ්කරතා විඳිමින් ගවේශකයෙකු ලෙස අරමුණක් සහිතව නිශ්චිත බිම් පෙදෙස්හි සංචාරය කර ඇත.
මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ 'බුද්ධ චරිතය' කෘතියෙන් බුදු දහමේ ප්‍රභවය පිළිබඳ සාරගර්භ තොරතුරු ඇතුළත් වූවා සේ, මෙම කෘතිය රචනා කර ඇත්තේ, ජාතීන්ගේ විකාශනය, දේශපාලන දෘෂ්ටියකින්- විශේෂයෙන් විමුක්ති දර්ශනයකින්- සන්නද්ධවය. ශිෂ්ඨාචාරගත නොවූ ආදි මිනිසා, ලිංගිකත්වය ඇතුළු මිනිස් අවශ්‍යතා සපයා ගත් ආකාරය මෙහි දැක්වේ. අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා තරඟය නිර්මාණය වූ ආකාරයත් එයට මුහුණදීමේදී වාර්ගිකත්වය ගොඩනැඟුණු ආකාරයත් ගැන කතුවරයාගේ මතවාදය විමසීම වටී.
සැබැවින්ම, ජාතිවාදයට, පූජක ත්‍රස්තවාදයට, ආගම ජීවන මාර්ගයක් කරගැනීමේ විකාශය අපට වටහා දෙන සාංකෘතයාන හින්දු - බ්‍රාහ්මණ පසුබිමක එහි ආතතිය විඳ දරාගෙන එහි පීඩක බලය තාර්කිකව අපට වටහා දේ.
'වොල්ගා සිට ගංගා තෙක්' කෘතිය වත්මන් සමාජ හා දේශපාලන සාකච්ඡාවට උපයෝගී කරගත හැකි කෘතියකි.
Friday, 24 October 2025
මතක මාවතක් දිගේ....
දිවයිනේ තුනෙන් දෙකක් පමණ බිම් ප්‍රදේශයක පැතිර පවත්නා මහවැලි කලාපවල ඇවිදින්නට මම හැකියාව ලැබුණේ මහවැලියට සම්බන්ධව රැකියාව කළහෙයිනි. මහවැලි සී කලාපයට යන ගමන්වලදී මහනුවර හරහා යන විට තෙල්දෙණිය පසුකර මහියංගනයට යන තෙක්ම පිරිසිදු රසවත් අහර වේලක රස බැලීමට අද මෙන් බොජුන්හල් නොතිබුණි. දහ අට වංගුවෙන් උඩ පහළ ගිය අප කොයි කාටත් කුසගින්න නිවූ සරල බොජුන්හල 'වංගු දෙකේ' රොටී කඩේය. පැය 24ම විවෘතව තිබුණු එහි නිරන්තරව පාරිභෝගිකයන්ගෙන් පිරී තිබිණ. එවේලේම පුච්චා දෙන රොටී සහ කොච්චි සම්බලය එය වැළඳූ කාටත් මතක ඇති. අප මෙවරද ඒ මතකය ඔස්සේ නකල්ස් කඳු නිම්නය නරඹමින් උදෑසන ආහාරය සඳහා නුවර සිට එහි ගියා.
දිවයිනේ තුනෙන් දෙකක් පමණ බිම් පෙදෙසක පැතිර පවත්නා මහවැලි ප්‍රදේශවල ඇවිදින්නට මට හැකියාව ලැබුණේ එහි රැකියාව කළ හෙයිනි. කඩිනම් මහවැලිය ආස්‍රිත කටයුතුවල නියළුණු පිරිස් දිවා රාත්‍රි වෙනසක් නැතිව මහියංගන නුවර පාර ඔස්සේ මහවැලි බී හා සී කලාපවලට ආවා ගියා. ඒ යන අතරතුර කුසගින්න තෘප්තිමත්ව නිවාගත් තැනක් 'වංගු දෙකේ රොටී කඩේ".
එහෙත් එම රොටී කඩයට අද ඇත්තේ එයට අයත් අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණයි. දවස් කිහිපයකට පෙරාතුව අප එහි යන විට කඩ මිදුලේ නවතා තිබුණේ අපේ වාහනය පමණයි.
අදත් මීට දශක තුනකට පෙර තිබූ රසය,කෑම බීමවල ඒ හැටියෙන්ම තිබුණා. ලුණු මිරිස ඒ හැටියටම රහයි.
මේ වන විට කඩයේ සමාරම්භකයින් සියල්ල මියගිහින්. කඩයේ සරුසාර බව වියැකී ඇත්තේ සියයකට ආසන්න කෑම කඩ තෙල්දෙණිය සිට මහියංගණය දක්වා ඉදිවී ඇති නිසා විය හැකියි.
මෙම රොටී කඩය මගේ ජීවිතයේ මතක මංසලක්.
පාලමක් ඉදිවූ විට ඔරු පාරු හා ඒවායේ පැවැත්ම හා බැඳුණු සංස්කෘතියද මිය යාම වළක්වන්න අමාරුයි.
Thursday, 23 October 2025
ආචාර්ය කුමාරි ජයවර්ධන මෙවරද මුණගැසුනෙමි.
Sunday, 29 June 2025
විශ්ණු වාසු ගැන මගේ සත දෙක...
Sunday, 1 June 2025
පමා වූ සටහනක්....
Tuesday, 27 May 2025
නිමල ගුණ සහිත පඬිවරයෙකුගේ 'ෂඩ් දශකයක' මෙහෙවර...
සිරිනිමල් ලක්දුසිංහ සර්ගෙ 'ෂඩ් දශකයක මෙහෙවර' උළෙල අද (මැයි 28) මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වෙනවා. එතුමා ප්‍රකට පුරා විද්‍යාඥයෙක්, සාහිත්‍යවේදියෙක්, ගුරුවරයෙක්, වාම දේශපාලනයේ යෙදුණු ක්‍රියාධරයෙක් සමග ඉතාම යහපත් මනුස්සයෙක්. ඔහු මගේ ගුරුවරයෙක් වගේම අකාලික මිතුරෙක්. මට එතුමා උගන්වා තිබෙන්නේ පුරාවිද්‍යාවට අදාළව කලා ඉතිහාසය විෂය ධාරාව. එතුමාටම ආවේණික ඉගැන්වීමේ ශෛලියයක් හිමි බවත් එමගින් අප විපුල පල ලද බවත් කිව යුතුයි. වරක් ශ්‍රී ලාංකික ප්‍රතිමා කලාව හා බුදුපිළිමය ගැන එතුමා අපට ඉගැන්වූ ආකාරය තවමත් මට මතකයි. 'ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන' ගීතය ආස්‍රය කර ගනිමින් අව්කන පිළිමයේ ප්‍රතිමා ලක්ෂණ විස්තර කළේ රඟපාමින්. අවුරුදු තිස්පහකට එහා ඒ සිදුවීම මම අදටත් සමහර මාධ්‍ය හා ප්‍රජා වැඩසටහන්වලදී සඳහන් කරනවා.
ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන් අතර එකී විෂයයෙන් බැහැරව අනෙකුත් ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රමාණිකයන් පමණක් නොව නියැලෙන්නන් හෝ ආස්‍රිතයන් පවා විරලය. එහෙත් ලක්දුසිංහ සර් හැඳින්විය හැක්කේ ඒ විරලයන් අතර කෙනෙකු ලෙසය. පුරාවිද්‍යාව මහජන විෂයයක් බවට පත් කිරීමට ලක්දුසිංහ සර් පුරාවිද්‍යාඥයෙකු ලෙසත්, විශේෂයෙන් කෞතුකාගාර අධ්‍යක්ෂවරයා ලෙසත් පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසත් කළ මෙහෙවර වෙසෙසිය.
ලංකාවේ අතීත යුගයේ පාසල් අධ්‍යාපනය යාපනයේ හින්දු විද්‍යාලය, ශාන්ත පැට්‍රික් විද්‍යාලය ආදියෙන් ලැබූ සිංහල සිසුන් සිටියේය. මෛත්‍රීපාල සේනානායක, කේ.බී. රත්නායක වැනි උදවිය එසේ අධ්‍යාපනය ලැබූවෝ වෙති.
ඊට පසු පරම්පරාවට අයත් ලක්දුසිංහ සර්ද කිසියම් කාලයක් යාපනයේ අධයාපනය ලබා ඇති බවක් මා අසා ඇත.
මට එතුමා මුණගැසෙන්නේ 90 දශකයේ මුල්භාගයේය. එතුමාගේ ශිෂ්‍යයෙකු වීමට පෙර මාධ්‍යවේදියෙකු ලෙස කිහිපවතාවක් මුණගැසී ඇති බව මගේ මතකයයි.
2022 වසරේ මවෙත 'සාහිත්‍ය ත්‍යාගයන්' ලැබුණු අවස්ථාවේ එතුමා වේයන්ගොඩ සිට දුම්රියෙන් පැමිණ සිටියේ සිය දියණියට රහසින් බව මවෙත පැවසීය. අසනීප තත්වයෙන් පෙළුනු ඔහුගේ එකී පැමිණීම මහත් සංවේදී සිදුවීමක් ලෙස මගේ මතකයේ නිදන්ගතව ඇත.
අපට සමීපතමයින් සිටියාට ලෙන්ගතු සමීපතමයින් විරලය. ලක්දුසිංහ සර් වනාහි මට එවැන්නකි.
මේ අගනා විද්වතාගේ මෙහෙවර ඇගයීම සඳහා පෙරමුණ ගැනීම පිළිබඳව ජනක ඉනිමංකඩයන්ටත්, විදර්ශන ප්‍රකාශන ආයතනයටත් ස්තුතිවන්ත වෙමි.
Saturday, 17 May 2025
Bunjil Place
Monday, 21 April 2025
ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල : පරමාදර්ශී බුද්ධිමතා...සහකම්පනීය මිතුරා
මගේ facebook සටහන
ගණනාත ඔබේසේකරයන් නික්ම ගියේ මානව වංශ විද්‍යාඥයෙකු ලෙස සිය ජීවිතයේ අවසන් මොහොත දක්වාම සිය යුතුකම් කොටස ඉටුකළ ඔහුගේ යුගයේ විශිෂ්ට බුද්ධිමතා ලෙසය. ඔහු පිටුපසින් මේ නික්ම යන්නේද එවැනි කැපවීම් සහගත එවන් මහා පරිමාණ බුද්ධිමය බලාපොරොත්තු තිබුණු තරුණ බුද්ධිමතෙකි.
ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ලගේ හදිසි අභාවය දරාගැනීමට සෑහෙන වෙහෙසක් දරණ අතරතුර මෙම සටහන ලියන්නේ එයද මගේ වේදනාවට සහනයක් වේ යැයි සිතමිනි.
හර්ෂණගෙන් මා ලැබූ මහඟු උපකාර එවැනි උසස් කාර්ය බහුල ජාත්‍යන්තර ගනයේ බුද්ධිමතෙකුගෙන් ලැබිය නොහැකි දේවල්ය. මගේ ප්රේමානිශංස නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරවන ලෙස උපදෙස් දුන්නේ ඔහුය. ඒ සඳහා අවශ්‍ය පරිවර්තකයා හා සංස්කාරකවරිය නිර්දේශ කළේ හා ඔවුන් සම්බන්ධීකරණය කළේ ඔහුය. ප්‍රතිපාදන සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණ කටයුතු කළේ ඔහුය. ඔහුට ශ්‍යාම් සෙල්වදොරේට තිබුණු මිත්‍රත්වය හරහා අදාළ මේ කටයුතු ආරම්භ කළ හැකිවිය.
අවසන් වරට පසුගිය සිකුරාදා මා අමතමින් තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කළේය.
දේශියව හා ජාත්‍යන්තරව බොහෝ කටයුතුවල නියළුණු, විදේශිය විශ්වවිද්‍යාලයක කාර්ය බහුල වූ ඔහු තම දරු පවුලේ හා රෝගී මවගේ කටයුතු ද ඉටුකරමින් , ඔහුගේ නොවන අන් අයෙකුගේ කෘතියක් වෙනුවෙන් හර්ෂණගේ කැපවීම ඔහුගේ හදවතේ විසල් බව කියාපාන්නකි. එය මා මගේ ජිවිත කාලයේ මා ලැබූ හිතාගන්නට බැරි තරම් පරිත්‍යාගයකි.
ඔහු පරමාදර්ශී බුද්ධිමතෙකු වීමට වරම් ලැබූ විශිෂ්ටයෙකි.
දෙරටක කාල පරතරය නිසා මට අවේලාවේ දුරකතනයෙන් අමතන ඔහුගේ සුපුරුදු ඇමතුම 'අයියේ නිදිද? කතාකරන්න පුළුවන් වෙලාවක්ද?'
අසන්නට මල්ලී කෙනෙකු දැන් මට නැත.
අද හරිම මන්දාරම් දවසක්..මේ ශෝකී පරිසරය හර්ෂණ වෙනුවෙන් විය හැකිය.
Sunday, 13 April 2025
උත්තමයෙකුගේ නික්ම යාම.....
සත්පුරුෂයෙකු පිළිබඳ සීමිත උදාහරණ අතර ඇලෝයි (ස්ටීවන්) පෙරේරා නාමය මහද තුළ සදාතනිකය. මා කැනඩාවට පැමිණි අවදියේ සිට ඔහු මියයන තෙක් වසර විස්සක් පමණ කාලයක් ඔහුගේ වෙස්සන්තර පාරමිතාව අත්වින්දෙමි. ඔහුගේ කරුණා මහිමයට පාත්‍ර වූ විසල් පිරිස අතරට මා ද අයත් වීම ජීවිත භාග්‍යයකි. ඇලෝයි යනු ලංකාවේ සිට කැනඩාවට පැමිණි මුල්ම වැසියන් අතර කෙනෙකි. එහෙත් ඔහුට සිය මව්බිම කෙරේවූ බැඳීම මියයන තෙක්ම අත්හළ නොහැකි වූ අකලංක වූ එකක් විය. ඔහු මට මෙරට මුල් අල්ලා ගැනීමට උපකාර කළේය. ඔහුද කලක් Times හා Sun පුවත්පත්වල සේවය කළ කෘතහස්ත මාධ්‍යවේදියෙකි. ඔහුගේ ඉංග්‍රිසිය අතිෂය කෘතහස්ත එකකි. සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කිරීමෙන් ලද දැනුමෙන් පෝෂිතය. ඔහුගේ පීතෘ භාවය ලැබූ මිසසාගා විහාරය දහස් ගනන් ජනයාගේ පින් කෙතක් යැයි හැඳින්විය හැකිය.
අද (13) ඇලෝයි මහත්තයාගේ රූපකාය අහෝසි වී යන නමුත් ටොරොන්ටෝ ලාංකික සමාජය ගොඩනැගූ උදාරතරයෙකු සේ තවත් පරම්පරා දෙකක්වත් එතුමාගේ ගුණ කාය මතකයේ රඳවා ගනු නිසැක.
Sunday, 2 March 2025
හැමදාම
ඔබේ එකම එක පිංතූරයකි මා ළඟ
ඔබ තරම් පිපී නැති.
එහෙත් නොගැලපෙන ප්‍රතිමාවක් සේ
එය රකිමි. ඒ ඔබම වන හෙයින්.
වත්සුණු සුවඳ නොව
ඔබේ සුසුවඳ
දුරාතීතයෙන් පාව එයි
මතකයේ කවුළු දොර අගුලු ඉබේ ඇරෙමින්.
ඔබ කොහේ හෝ හිටියා නම් මෙදියත...
සඳත් ඉරත් පායනු ඇත එදෙසින්
ඔබටම හිමි වර්ණාවලි විහිදුවමින්
ඔබ සිටියා නම්
මේ පණ නල ජීවිතය යැයි හඟිමි.
මතක රූ ගලප්පමින්
පපු තුරෙහි නිදමි
ඔබ ලබා දී ඇති අවසරයෙන්
-චන්ද්‍රරත්න බණ්ඩාර
Friday, 24 January 2025
ගේබ්රියෙල් ගාර්ෂියා මාකේස්ගේ ”One Hundred Years of Solitude'' Netflix මාලා චිත්‍රපටය කොලොම්බියානු විචාරකයෙක් දකින අයුරු (2025-01-18 අනිද්දා පුවත්පතේ පළවූවකි.)
ප්‍රකට කොලොම්බියානු ලේඛක නොබෙල් ත්‍යාගලාභී ගේබ්රියෙල් ගාර්ෂියා මාකේස් විසින් රචිත සුප්‍රසිද්ධ නවකතාව වන ”One Hundred Years of Solitude'' හි සිනමා අනුවර්තනය Netflix හි මේ දිනවල ප්‍රදර්ශනයට නිකුත්කර ඇත. මෙම Netflix මාලා චිත්‍රපටය ගැන, බොගෝටාවේ (කොලොම්බියාවේ අගනුවර) ප්‍රකාශයට පත්කෙරෙන දිනපතා පුවත්පතක් වන El Espectador හි සිනමා විචාරක ගොන්සාලෝ මල්ලරිනෝ ෆ්ලෝරෙස්ව (Gonzalo Mallarino Flores) තමා ඉන් ලැබූ ආශ්වාදය සමාලෝචනය කර තිබුණි. මෙම ලිපිය එහි ඉංග්‍රිසි පරිවර්තනය ඇසුරෙන් සකස් කරන ලද්දකි.
මැකොන්ඩෝහි ආලෝකය මා සිතූ පරිදිම විය. ගස් වැල්, සුළඟ, වැසි වනාන්තරය, වගුරු බිම සහ මුහුද, ඒ සියල්ල නවකතාව විසින් මගේ මනසෙහි මැවූ ආකාරයටම විය. මෙය ඇත්ත වශයෙන්ම, මා කියවා ඇති පරිච්ඡේදවල දෘශ්‍ය පුනරාවර්තනයක් ම ය. ඒවා සියල්ල මට ඉතා සමීපය. මෙම සිනමා නිර්මාණයේ සෑම දෙයකින්ම ඉතා සියුම් ලෙස කොලොම්බියානු බව වෑහෙන නමුත් ඒ සියල්ල විශ්වීය බවට පත්කොට තිබේ. ලෝකයේ ඕනෑම තැනක මේ සියල්ල තිබෙන්නට හා වෙන්නට පුළුවන.
එබැවින් චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා වන ලෝරා මෝරා සහ ඇලෙක්ස් ගාර්ෂියා ලෝපෙස්, නවකතාව පිළිබඳ මගේ දෘෂ්ටිය සමාන්තරව බෙදා ගනී. එය කෘතිය ජීවිත කාලය පුරාම නැවත නැවත කියවීමක් බවට පත්කර තිබේ. සමහරු මා සමග එකඟ නොවිය හැකිය. එහෙත් අවම වශයෙන් ගාර්ෂියා මාර්කේස් ඔහුගේ නවකතාවේ මෙම සිනමා අනුවර්තනය සම්බන්ධයෙන් අතෘප්තියෙන් ඔහු නැවතත් මරණය තෝරා ගැනීම හෝ ආපසු සුසානය වෙත යාමට තීරණය නොකරන බව මට ඉඳුරා පැවසිය හැකිය. මෙම සිනමා අනුවර්තනය ගැන ඔහුට සතුටු විය හැකිය. ඔහුට සහනයක් විය හැකිය. ඒත් කවුද දන්නේ?
වචනවලින් මුලින්ම ඇති වූ වර්ණවත්, ප්‍රබෝධමත් වාතාවරණය දැන් සිනමාත්මක හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය ආකාරයට හෝ නිරූපණය වේ. තවද එය මෙම ග්‍රහලෝකයේ තවත් බොහෝ ජනතාවකට, විශේෂයෙන් ළමයින්ට - පිරිමි ළමයින්ට සහ ගැහැණු ළමයින් - කරා පැතිර යනු ඇත. ඔවුන් දැන් මෙම අතිවිශිෂ්ට සුන්දරත්වයෙන් යුත් අපූරු ලෝකයට ඇතුළු වනු ඇත. ඔවුන් සියළු දෙනා නවකතාවේ සඳහන් එවැනි ලෝකයක් පවතින බව දැන සිටියේ නැත. දැන් එවන්නක් පවතින බව ඔවුන් දැන ගනු ඇත. ඔවුන්ගේ සංවේදීතාව ස්පර්ශ කිරීමට සහ ඔවුන්ගේ කුඩා හදවත් ස්පන්දනය කිරීමට මෙම සිනමා අනුවර්තනය සමත්වනු ඇත.
ආකර්ශණීය බව නැති හෝ අඩු නොකරගෙන, අනුස්මරණීය කලා කෘති ප්‍රතිනිර්මාණය කිරීම හෝ නැවත සකස් කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ. එය සෑම පරම්පරාවකටම වරක් ඒවා අපගේ ජීවිත කරා නැවත ගෙන ඒමේ ක්‍රමයක් වන අතර, අපි දිනපතා කාලය හා මරණය සමඟ පොරබදන විට අපගේ ජීවිත සමඟ සැරිසැරීමට ඒවාට ඉඩ සලසයි.
ඇත්ත වශයෙන්ම, ඒවාට මරණය, අමතකවීම සහ නැතිවීයාම සමඟ වන අපගේ අරගලයේ දී අපට උපකාර කිරීමේ හැකියාව පවතී. ඒවා එවැනි අකාලික කෘතිවල ශ්‍රේෂ්ඨත්වය සිහිගන්වයි.
”One Hundred Years of Solitude'' Netflix චිත්‍රපට මාලාව නරඹන අතරතුර, එක් කලා ආකෘතියක් ඉතාම සියුම් ලෙස තවත් කලා ආකෘතියකට පරිවර්තනය වන ආකාරයන් මට සිහිපත් විය. එයින් මා අදහස් කළේ ඉතාලි අධ්‍යක්ෂ පියර් පාවුලෝ පැසොලිනිගේ චිත්‍රපට ගැනයි. නෙට්ෆ්ලික්ස් හි ”One Hundred Years of Solitude''පැසොලිනිගේ නිර්මාණවලට වඩා තත්වයෙන් කිසිසේත්ම පහල නොවන බව මම නොබියව කියමි.
පැසොලිනිගේ The Decameron" the Gospel of Matthew" Oedipus Rex සහ ”One Hundred Years of Solitude'' හි කාව්‍යමය අනුවර්තනයන් ලෙස හොඳින් නැවත සංකල්ප ගතකර නිර්මාණය කර ඇත.
ඒ අගනා නිර්මාණ තුලින් විස්තර කළ නොහැකි තරම් ආලෝක ධාරාවන් විහිදෙන බවක් හෝ තේරුම් ගත නොහැකි අපූරු ගුණාංගයන් ඇති බව මට වැටහිණි. මා ඒවා නරඹන විට කුඩා දරුවෙකු මෙන් ඒවාට ආකර්ශණය විය. කාලය ගෙවී යාම පිළිබඳ හැඟීමක් නොවූ තරම්ය.
ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් සකස්කළේ ,
චන්ද්‍රරත්න බණ්ඩාර



















