'සිතුමිණක් යයි සිතා සිටියෙමි' නැමති නිර්මලා රනතුංග ගයන මවිසින් පද රචනය කළ එතරම් ජනප්‍රියත්වයට පත් නොවුනු ගීතයේ සංගීත නිර්මාපකයා ලක්ෂ්මන් විජේසේකරය.
කිසිවක් වෙනුවෙන් හඹා නොයා උපේක්ෂාවෙන් බලා සිටීම ඔහුගේ පෞරුෂයේ වැදගත් ගුණාංගයක් විය. 1980 මැද භාගයෙන් ඇරඹෙන ඔහු සමග වන පයුරු පාසානය සරල හිත් අමාරුවක්වත් ඇති නොවන ආකාරයෙන් ගලා ගියේය. එකළ බෝඩිං කාරයෙකු වූ මට 1991 හෝ 1992 දොරට වැඩි මගේ මෙරු නවකතාවේ රාත්‍රි සාදයට සිය නිවසේ ඔහු විසින් පහසුකම් ලබා දුන් බවක් මතකය.
1994 ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන ආරම්භ කෙරුණු නිදහස් කලා සංධානය රට පුරා යද්දී එකම බසයක විහිළු තහළු කරමින් අපි එකට රට පුරා ඇවිද්දෙමු. ජයග්‍රහණයෙන් කෙළවර වූ සටන අවසානයේ තනතුරු බෙදා ගැනීමේ අප්‍රසන්න පොරයේ දී 'අනේ මචං' කියමින් කලකිරීමෙනුත් උපේක්ෂාවෙනුත් ඒ පොරය දෙස බලා සිටියා මට තවමත් මතකය. ලක්ෂ්මන්ගේ කලා ජීවිතය පොලා පැනීම් හා පසුකර යෑම් නොමැති එකකි. එහෙත් ලක්ෂ සංඛ්‍යාත රසික සමූහයක් ලකීගේ සෙමෙන් ගමන අනුමත කරමින් ඔහු සමග රැඳී සිටියේය. එකළ කලාභූමිය ඇරී ගෙදර යන ගමන් ඔහු, ආනන්ද වීරසිරි ආදීන් සමග එක්වන අප සමහර දිනෙක එකළ නුගේගොඩ හන්දියේ 'පුබුදු ' එකෙන් යමක් සප්පායම් වෙමින් බොහෝ රෑ වෙන තුරු බොහෝ දෑ කතා කෙළෙමු. එකළ නම් බයිට්, සැන්ඩි හා දුම්බීමෙන් තොරව මත්පැනෙහි සත්‍ය රසය විඳින අයුරු අපට නම් පුදුමය උපදවයි. ඇතැම් විට මේ 'සත්‍ය ප්‍රිය' මිතුරාගේ ඒ සත්‍යකාමී බව විදහා දැක්වෙන සංකේතයක් ලෙස ගිනිය හැකිය.
ලකීගේ මනුස්සකම් ගැන ලියන්නට බොහෝ දේ ඇතැත් ඒවා නොලියා සිටිමි. ඇතැම් විට ඒවා ගැන කවදාවත් ලියන්නටත් බැරි වෙනු ඇත.
ඉපදුනු රටින් බැහැර වූ කළ තමාගේ සමීප නෑදෑයිනට අමතරව සිහිපත් වන්නේ තමන්ට ප්‍රිය මනාප වූ දෙවියන් වැනි මිනිසුන් හා තමන්ට වද දුන් යක්ෂයන් වැනි මිනිසුන් පමණකි. ලක්ෂ්මන් විජේසේකර වනාහි එසේ නිතර දෙවේලේ මතක් වන දෙවියෙක් වැනි මිනිසෙකි. මිට වසර හතළිහකට පමණ පෙරාතුව ඔහුගේ මිත්‍ර වළල්ලට මා ඇතුළු කළ අනෙකුත් මිතුරන්ට හා සිදුවීම් වලට ස්තුති වේවා.
No comments:
Post a Comment