https://www.youtube.com/watch?v=PtRGkBOItzs
ජීවිතයට වෙනස් මානයන් ඇති බවත් ඒ විවිධත්වය අපූර්ව බවත් පොහොසත් සංස්කෘතික සමාජයන් විසින් අතීතයේ දී වටහා ගෙන තිබුණි. එමෙන්ම එයම නවීන ආකාරයකට වර නැගෙමින් බටහිර සමාජයේ ජීවිත අලංකාර කරමින් සිටී. සමලිංගික විවාහයන් නීතියෙන් අනුමත වුවත් නැතත් තුන්වැනි ලිංගිකත්වය හා සමලිංගික ක්‍රියාකාරකම් නීතියෙන්ම බටහිර සමාජය විසින් පිළිගෙන තිබේ.
ඒ කාරණයේදී මෙන්ම නවීනත්වයට හා පුද්ගලික ජීවිතයට අදාළ බොහෝ කාරණා ලංකාවේ දී නම් තවමත් වික්ටෝරියානු ප්‍රමිතීන්ට යටත්ය. නාමිකව මිස යාවත්කාලීන වන ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාව තුල ක්‍රියාත්මක නොවේ. එහෙයින් ම මිනිස් ජීවිතවලට වෙනස්ව බලපාන බොහෝ කාරණා ආගමික හා ඊනියා සදාචාරමය කෝවක් තුළ ඇඹරී විනාෂ වී යයි.
සංක්‍රාන්ති ලිංගිකත්වයක් හිමි තුන්වැනි ලිංගිකත්වයක් ලෙස හඳුනාගත යුතු පිරිස් හා සමලිංගිකයන් අවමානයේද ඇතැම්විට නීතියේ ද ගොදුරු බවට පත්වේ.
මෙවැනි සංදර්භයක් යටතේ විශාකේෂ චන්ද්‍රසේකරන් වැනි පුරෝගාමී කලාකරුවෙක් මෙම ප්‍රශ්නය ගැන සිය කලාත්මක භාවිතය තුල විමසීමක් කරයි.ප්‍රැන්ජිපානි වැනි චිත්‍රපටයක් ඒ සඳහා මනා උදාහරණයකි. ටෙනසි විලියම්ස්ගේ නාට්‍යයක අනුවර්තනයක් ලෙස හෙන්රි ජයසේන නිශ්පාදනය කළ 'අහස් මාළිගා' ද යම් පමණකට සමලිංගිකත්වය තේමා කරගත් නාට්‍යයක් ලෙස මා අසා ඇත.
හැත්තෑව දශකයේ අගභාගයේ චන්ද්‍රරත්න මාපිටිගම හා ෂෙල්ටන් පයාගල එක්ව අධ්‍යක්ෂණය කළ 'මලට නොඑන බඹරු" චිත්‍රපටය මෙම විෂයම තේමා කරගෙන නිපදවූවකි. එහෙත් එම චිත්‍රපටය තුළ සමකාමිත්වය යම් රෝගයක් ලෙස හඳුන්වා තිබූ බව මතකය. වඩාත් පුළුල් ලෙස පළමු වරට එම විෂය සාකච්ඡා වූ 'මලට නොඑන බඹරු' ඒ අරුතින් ගත් කළ ඉතාම නිශේධනාත්මක කලා කෘතියකි.
ලෝකයේ සමකාමිත්වය පිළිබඳ කතිකාව සමාජ දේශපාලන වර්ධනයට සමගාමීව වර්ධනය වූවකි. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් වහල් ක්‍රමය තහනම් කිරීමත් සමග ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට එරෙහිව තිබුණු ප්‍රධාන කඩ ඇණයක් ගලවා ඉවත් කෙරිණි. එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුද්ධයට සෘජුව මුහුණ දුන් බටහිර සමාජය ඒ ලැබූ අමිහිරි අත්දැකීම් ඇසුරෙන් ලෝකය හා ජීවිතයට අයත් සියළු අනුශාංගික අංග නැවත තේ්රුම් ගන්නට පටන් ගත්තේය. මිනිස් නිදහස යනු කවරේද යන කාරණයේ දී ආගමික හා සදාචාරමය වශයෙන් එතෙක් තිබූ සීමාවන් යළි ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ආර්ථක ප්‍රවේශයක් පමණක් ලෙස එතෙක් තිබූ ධනවාදය මානව නිදහස පිළිබඳ කාරණය ද සිය විෂය පථය තුලට ගෙන එය නිදහසේ පුළුල් වෙන්නට ඉඩ හැරියේය. සමකාමිත්වය අපචාරයක් නොව එය මනුෂ්‍ය ජීවිතයේ එක්තරා මානව ගුණාංගයක් ලෙස ඉනික්බිති අර්ථ දැක්වෙන්නට පටන් ගත්තේය.
1901 ස්පාඤ්ඤ පරිසරය තේමා කරගත් Elisa and Marcela වැනි චිත්‍රපටයක් තුලින් අපට වැඩවසම් යුගයක සමකාමීන් හා ඔවුන්ගේ ජීවිත අර්බුදයට ලක් වූ අයුරු වටහා ගත හැකිය. එහෙත් මෑත යුගයේ නිර්මාණය වූ සමකාමී විෂය ධනාත්මකව නිරූපණය වූ Brock Back Mountain චිත්‍රපටය 2007 වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තේය. එමෙන්ම මෑතකදී නිර්මාණය වූ Blue is Warmest colour චිත්‍රපටය අතිෂය සුන්දර සමකාමී ස්ත්‍රී ආදරයක් තේමා වූ අතර එය කෙතරම් ආනුභාවයක් පෑ කලාකෘතියක් වූවා ද යත් ඇතැමුන්ගේ ඒ විෂය පිළිබඳ තිබූ පිළිකුළ තුනී කිරීමට පවා සමත් වූ බව පුද්ගලිකව මම දනිමි.
සමකාමිත්ව විෂය පිළිබඳ සාකච්ඡාවේ එක් අවධියක් පරිපාකයට පත් කරමින් 2003 වසරේ දී බෙල්ජියම සමාන ලිංගිකයන් අතර විවාහයන් නීත්‍යානුකූල බවට පත් කළේ ය. එතැන් සිට මේ වනවිට රටවල් තිහකට ආසන්න සංඛ්‍යාවක් සමකාමී විවාහ නීත්‍යානුකූල බවට පත් කර ඇත. මින් බහුතරයක් ආර්ථික හා සමාජයීය වශයෙන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ඉහළින් සලකන බටහිර රටවල්ය. අප්‍රිකානු රටවල් අතරින් දකුණු අප්‍රිකාවත්, ආසියාතික රටවල් අතරින් තායිවානයත් සමකාමී විවාහයන් නීත්‍යානුකූල කළ රාජ්‍යයන් අතරට ගැනේ.
සමකාමී ප්‍රේමය මහත් වූ අනුවේදනීය ගතිකයන්ගෙන් සමන්විත වූවකි. එය තවත් ස්වභාවික ප්‍රේමයක් ලෙස සමාජය විසින් අනුමත නොකිරීම ඔවුන් මුහුණ දෙන ගැටළුවල මුලය.
ශුද්ධ වූ බයිබලයේ 'නික්මයාම' කොටසේ මෙවැනි සබඳතාවන් දෙවියන් වහන්සේ විසින් අනුමත නොකරන්නේය යන ඇඟවීමක් දක්නට ලැබේ. බුද්ධ දේශනාව තුළ නම් එවැනි අගතිගාමී ඇඟවීමක්වත් නැති තරම්ය. ඉස්ලාම් දහම තුල සමකාමිත්වයට දක්වන විරෝධය විශාලය.
ලිබරල් ක්‍රමය ආර්ථික දර්ශනයකින් ඔබ්බට ගොස් මිනිස් නිදහස අර්ථ ගන්වන්නක් බවට පත්වුනූ විට සමකාමිත්වය ද ඒ නිදහසේම කොටසක් බවට පත් විය.
හිරු සැඟව ගිය බැවිනි
මේ පසුබිම අප විස්තර කළේ අද අප සාකච්ඡාවට බඳුන් කෙරෙන විජය නන්දන පෙරේරා විසින් විරචිත, අමල් පෙරේරා ගායකයාණන් විසින් ගායනා කරන ලද 'හිරු සැඟව ගිය බැවිනි' ගීතය පිළිබඳ රසවින්දනාත්මක ඇගයීමක් කරන අටියෙනි. මෙම ගීතයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ දිවයිනේ ප්‍රකට සංගීතඥයකු වන නවරත්න ගමගේ විසිනි. එය සමකාමී ප්‍රේමය පිළිබඳ යම් ප්‍රබල අනුවේදනීයත්වයක් ගැබ්වුනු ගීතයකි. සමකාමී ප්‍රේමයේ ගති ස්වභාවයන් පිළිබඳ ලියවුනු ප්‍රථම සරල ගීතය වූ නිසාදෝ එහි අපූරු සංයමයක් ගැබ්ව පවතී. භාෂාමය රම්‍ය බව රැක ගැනීමට දරා ඇති වෙහෙස හා ව්‍යංගය කලාත්මක භාවිතයක් ලෙස යොදාගැනීම මඟින් මෙම ගීතය විශේෂතාවයක් දක්වයි. මෙහි පද පෙල මෙසේය.
'හිරු සැඟව ගිය බැවිනි
ඉඟි බිඟි ද තරු ඇසිනි
නල නුරා ගී සරිනී
සඳ සරාගී මතිනී..
බඹර ගුමු ගුමු නදිනී
තඹුරු පුබුදුවනු බැරී
රොනට ඇදුනද රැයෙහී
නැගෙනු නැති ගී මිහිරී...
ලවන් මී රස ගිහිණී
යහන් සදනුව පෙමිනී
ලෙවන් ඇස මග හැරෙන
පැයේ හමුවනු මැනවී..
විජය නන්දන පෙරේරාගේ කතෘත්වයෙන් එළි දකින සමකාමී ප්‍රේමයේ ගති සොබාවයන් හි ප්‍රධාන අනුවේදනීය පැතිකඩක් දැක්වෙන මෙම ගීතය තේමාත්මකව ගත් කළ ඒ වර්ගයේ ලංකාවේ බිහි වූ පළමු සරල ගීතය බව කියවේ. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ලයාන්විත මිහිරි පියවරයන් විඳීමට නොහැකි සමකාමියෙකුගේ සිය ලසොව හා බලාපොරොත්තුව මෙමගින් විදහා දැක්වේ.
මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ සමීප මිතුරෙකු ද, ආශ්‍රේය ශිෂ්‍යයෙකු ද වන නන්දන මෙම පුරෝගාමී ගීතය සම්භාව්‍ය භාෂා රටාවෙන් සහ උපමා රූපක බහුල කාව්‍යාංග වලින් ද අලංකාර කර ඇත. එය ඔහු තෝරාගත් සුවිශේෂී වස්තු විෂයයට කරන බුහුමනක් ලෙස සැලකිය හැකිය. සමාජයේ ගර්හාවට ලක්වන විෂයයීය තේමාවක් භාෂාවේ හා කාව්‍යමය හැඩ රටා මඟින් එම තේමාව ගෞරවයකට පත් කිරීමකැයි මට හැඟේ.
මෙම ගීතය අමල් පෙරේරාගේ වස්තු විෂයයන් තෝරා ගැනීමේ නිර්භීත භාවය පිළිබඳ උදාහරණයකි. විශේෂයෙන් 'තරුවක්' සේ ගැනෙන ගායකයෙක් සිය ප්‍රතිරූපයට මෙය බලපාන්නේ කෙසේද යන අවිනිශ්චිතය නොතකා සමකාමී විෂය ගැන ගීතයක් තෝරා ගැනීම අමල්ගේ පුද්ගල පෞරුෂයට සාක්ෂියක් ලෙස ද සැලකිය හැකිය.
මෙම ගීතයේ රචක නන්දන මෙන්ම තනු නිර්මාපක හා සංගීත නිර්මාපක වන නවරත්න ගමගේ ද සම්භාව්‍ය මාක්ස්වාදය සමානව ඇසුරු කළ සහෘදයින් නිසා ඔවුන්ගේ මැදිහත් වීම අපට තේරුම් ගත හැකිය.
මනුෂ්‍යයාගේ අනුවේදනීය අවකාෂයන් ග්‍රහණය කර ගැනීම කලා නිර්මාණයන්හි එක් පරමාර්ථයකි. සමාජ සම්ප්‍රදායන් කවර තරම් හැඩි දැඩි වුවද කලාකරුවා ඒ බව නොතකා සිය හෘද සංවේදී බව ඒ ඒ විෂයයන් කරා යෙදවයි. ඉතිහාසය මුළුල්ලේ සමකාමී සබඳතා පිළිබඳ බොහෝ කලා නිර්මාණ බිහිව ඇත්තේ (ලංකාවේ නොවේ) ඒ අරුතිනි.
'හිරු සැඟව ගිය බැවිනි' ගීතය ගැනෙන්නේ ඒ ගනයටය. එම වෑයමම නිර්භීතය. කලාත්මකය. නිර්මාණශීලීය .
- චන්ද්‍රරත්න බණ්ඩාර