Tuesday 25 May 2021

වෙසක් පොහෝ දින සුන්දරම මතක රැඳි පින්බිම සිහිකරමි.



 මගේ සංස්කෘතික දැක්මේ සමාරම්භය මෙතනය. ඉතිහාසයට ඇළුම් කරන්නට අදහසක් ඇති වූයේ මෙතැනිනි. බුදු දහමේ ශාන්ති දායක සුවය පළමුවරට හඳුනා ගත්තේ මෙතැනිනි. ධනය හා බලය හමුවේ පුදබිමක් වැනසෙන්නේ කෙලෙසදැයි හඳුනා ගත්තේත් මෙතැනිනි. ඒ සියල්ල අතරේත් ලංකාවේ ලස්සණම බෝ මැඩෙහි රන්වන් පත් සෙලවෙන සිලිලාරය මට තවම මතකය. වෙල් යාය මැද පිහිටි වෙහෙර වහන්සේ අබියස ගල් පඩි පෙළෙහි වාඩි වී රත්න ශ්‍රී විජේසිංහ වැනි කලාකරුවන් වෙනත් සමාජ හා දේශපාලන ක්‍රියාධරයන් සමග කලාව දේශපාලනය වැනි අපමණ දේ කතාබහ කළ අයුරු මතකය. ලංකාවේ කුඩාම මකර තොරණ සහිත විහාරය අපේ ගමේ විහාරයයි. අනාගත බුදු වෙන අනු පිළිවෙලට පාරිලෙයිය ඇත් රජුත්, නාලාගිරි ඇත් රජුත් මතු බුදු වෙන බව දක්වා ඇත්තේ තලාව රජමහා විහාරයේ සිතුවම් වලය.එම විහාර ගෙයි ඇඳ ඇති තේමිය ජාතකයේ පනේලයෙන් පනේලයට වර්ණ රටා හා විස්තර රචනාව පවා තවමත් මට මතකය. අපේ නිවස පිහිටියේ විහාරය පෙනෙන දුරෙහි නිසා එහි ඝන්ඨා නාදය අපටත් අප අවට ගම් මණ්ඩියටත් වේලාව පැවසීය. මෙම විහාරයේ දසවස් ගණනාවක් පුරා භේරී වාදනය කළ වාදකයා ඇසුරින් නවකතාවක් ද (හැන්දෑ දුරය) ලිවීමි. මහා පුරුෂයෙකු වූ ඔහුගේ ගාම්භීර කටහඞින් බුද්ධ ගජ්ජයේ හා වෙනත් ශතක පොත්වල ශ්ලෝක ගායනා කරන අයුරු මතක මාත්‍ර වශයෙන් මගේ දෙසවන් අසළ රැව්දේ. වස් තුන්මාසයේ පාන්දර යාමයේ කුකුලන් හඬලන්නටත් පෙර වාදනය වන භේරී වාදනය අපගේ සංස්කෘතික ලැදියාවන්ට පාරක් සොයා දුන්නේය. ඔහු විශේෂයෙන් සිය වාදන අනන්‍යතා දැක් වූ පෝය හේවිසි, දානමය පිංකමක් අවසානයේ වැයෙන පූජා පද , පිරිත් පිරීම්, අපේ මතකාලෝකය පුරා රැව් දෙන්නේය. මේ උතුම් වෙසක් දිනයේ මේ ගුරුන්නාන්සේ ඇතුළු බොහෝ අප්‍රකට කලාකරුවන්,යතිවරුන්, අපගේ සම්ප්‍රදායේ අනගි දෑ අපවෙත දායාද කළ මිනිසුන් සිහිපත් කරමි.  අපගේ සංස්කෘතික දැක්මේ බෞද්ධ මුහුණුවර සොයා පාදා දුන් ඔවුන් අපගේ සංස්කෘතික ක්‍රියාකාරිත්වයේ පදනම් ගල්ය.


මගේ අතීත සැමරුම් අතරට මෙවන් සමීප පින් බිමක් ලබාදීම ගැන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ටත් , විහාර කර්මාන්තය මනාව මෙහෙය වූ ගලගොඩ දිසාවටත් කාල මානයකින් අතීතයට ගොස් ගරු බුහුමන් දක්වමි.

-චන්ද්‍රරත්න බණ්ඩාර

පහත දැක්වෙන්නේ අපේ ගමේ විහාරය ගැන www.srilankaclassicart.com වෙබ් අඩවියේ පළවූ කෙටි ලිපියකි.

තලාව රජමහා විහාරය , මාරස්සන

No comments:

Post a Comment