Friday 26 November 2021

ජයන්ත අරවින්ද සංගීත වේදියාණෝ.......


 

මා මෙතුමා දැක ඇතත් කවදාවත් කතාබහවත් කර නැත. එහෙත් මේ සා විශිෂ්ඨ සංගීතඥයෙකු අප රට විසින් බිහි කිරීමම අපේ වාසනාවකි. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අරබයා ඔහු ලබාදුන් දායකත්වය සිංහල නාට්‍ය සංගීතයේ මතු නොව සමස්ත සිංහල සංගීතයේම ඉහළම ඵලයෝ වෙත්. මා ප්‍රිය කරන විශිෂ්ඨම නාට්‍ය ගීතය නිමවී ඇත්තේ අරවින්දයන් අතින් 'පේමතෝ ජායතී සෝකෝ' වෙනුවෙනි. 'ඇදුරුතුමා වෙන්න මගේ ' ඒ මනරම් ගීතයයි. ජයලත් මනෝරත්න බිරිඳ ජයන්ති මනෝරත්න මැතිනිය පළමු වරට ගයා ඇති ඒ ගීතය එදවස මා අසා නරඹා නැත. එහෙත් පසුකාලීනව කර්ණ පරම්පරාවෙන් ඇසූ ඒ ගීතය මගේ රසාත්මක ලෝකයේ  දශක හතරක් පමණ රැවි පිළිරැවි දේ. මා පේමතෝ නාට්‍යයේ පසු නිශ්පාදනයක් නරඹද්දී එහි රඟපෑවේ වෙනත් නිළියකි. පසු කලෙක මනොරත්නයන් ලවා කිහිප වතාවක් මේ ගීතය ගායනා කරවා ගෙන ඇත්තෙමි. ඇතැම් රසිකයන්ට හා විචාරකයන්ට අනුව සරච්චන්ද්‍රයන්ගේ හොඳම නාට්‍යය 'පේමතෝ ජායතී සෝකෝ ය' . එය එසේ වේ නම් එහි ගෞරවයෙන් වැඩි හරියක් හිමිවිය යුත්තේ අරවින්දයන්ටය. 


දුක් සංතාපයන් බහුල දිවි සක්මනේ දී එහි සරතැස නිවා ගැන්මට කවරාකාර ප්‍රේමයක් වුව ඉටු කරන්නේ අමිල මෙහෙයකි. ප්‍රේමයේ මිහිරිම තැන් වඩාත්ම යළි යළි වරනැගෙන්නේ සංගීතය ඇසුරෙනැයි මගේ අදහසය. අරවින්දයන් සිය නිමල සංගීතය විසින් කලේ ඒ මෙහෙවර යයි සිතමි. 


මහාචාර්ය සුචරිත ගම්ලතුන් බී.බී.සී සංදේශය සඳහා කලක් ඉදිරිපත් කළ 'ගී මිණි ආර' වැඩ සටහන සඳහා සංගීත විවරණ ඉදිරිපත් කිරීමට අරවින්දයන්  දායක කරගන්නා ලදී. සාහිත්‍ය හා දේශපාලනයට එතෙක්  නැඹුරු වූ එම වැඩ සටහන නියමාකාරයෙන් 'ගී මිණි ආරක් ' වූ යේ අරවින්දයන්  සම්බන්ධ වීමෙන් පසුවය.

අරවින්දයන්ට රටක් වශයෙන් බැතිබර වූවා මදි යයිද,  ඔහුගේ දැනුම හා ප්‍රතිභාව ලංකාවේ සංගීත ප්‍රවර්ධනය උදෙසා යොදා ගැනීම ප්‍රමාණවත් නොවීයැයි ද මම සිතමි.

අද උපන් දිනය සමරන මෙම ශ්‍රේෂ්ඨ ප්‍රවීණයාට දීර්ඝායු පතමි.

-චන්ද්‍රරත්න බණ්ඩාර

2 comments:

  1. දීර්ඝායු ලැබේවා! මෙතුමන් ඇසුරට මා ද වාසනාව ලැබ තිබිණි. මේ සටහනට චන්ද්‍රරත්න බණ්ඩාර මහතාට තුති!

    ReplyDelete
  2. වරදත්ත අරවින්ද කියල සින්දුගේ කියුවේ මෙතුමාගේ පුතෙක්ද?

    ReplyDelete