Saturday 20 April 2019

නිමල් ඒකනායක







බිතුසිතුවමක් වැනි මිතුරෙක්
ද නිමල් ඒකනායකගේ උපන්දිනය අපේ හිතවත්කම් එදා 1976 තරම් ඈත කාලයකට ඇදිලා යනවා. පොල් වික්කා (ජනාදිපති නීතිඥ විජය වික්‍රමරත්න)ගේ කාමරයේ පැවැති සමසමාජ ලෝකලයට පැමිණි කුණ්ඩසාල තරුණ පිරිස් අතර ඔහු මට මුලින්ම හමුවුණේ. උදය සේනානායක මහේන්ද්‍ර කරපුටුගල piyasiri අබේකෝන් නියංගොඩ ඒ අතර සිටියා මතකයි. එදත් නිමල් ලස්සණට ඇන්ද ප්‍රිය මනාප කෙනෙක්.  උදය සේනානායක කුණ්ඩසාල ආසනයට වාමාංශික එක්සත් පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලල පරාද වුණා. කරපුටුගල සමසමාජයෙන් කොමියුනිස්ට් පක්ෂයට ගිහින් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී කෙනෙක් වුණා. නිමල් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් සිය වෘත්තීය ජීවිතය අරඹා සැලසිනේ සභාපති, රූපවාහිනී සංස්ථාවෙ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආදි තනතුරු හෙබවූවා.
අසූ ගණන්වල මම කොළඹ එනකොට මට හිටිය ලොකුම මිත්‍රයා නිමල් . මං හිතන්නේ එදා මෙදා  මේ දීර්ඝ කාලය තුළ කිසිදු හිත් රිදවීමකින් තොරව ඒ මිත්‍රත්වය පැවතුණා. එදා සිට ජීවිතයේ බොහෝ වටිනාදේවල් සඳහා මා යොමු කළා.
නිමල් කවදාවත් තවත් කෙනෙකු අභියෝගයක් කියල හිතපු කෙනෙක් නෙවෙයි. ඒ නිසාම ඔහුගේ මිතුරු ජාලයේ සිටි බලවත් මිත්‍රයන් මට හ‍ඳුන්වා දුන්නා. මෑත කාලිනව එසේ මට හඳුන්වා දුන් මිත්‍රයෙකු වන්නේ සරසවි අධිපති එච්.ඩී.ප්‍රේමසිරි මහත්තයා.
නිමල්ගේ කුඩා සිරුරේ තිබෙන හදවත විශාල එකක්. මිත්‍රත්වය හා සහකම්පනය නොඅඩුව එහි තිබෙනවා.  ඔහු වටා ඉතා හොඳ ඉතා ප්‍රබල මිතුරන් රාශියක් සිටිනවා.ඒ ඔහු යහපත් නිර්මාණශීලී මිතුරෙකු නිසා විය හැකියි.
මගේ ඉහළ වෘත්තීය ජීවිතය ආරම්භ වන්නේ නිමල්ගේ උපකාරයෙන්. ඇත්ත වශයෙන්ම මම අද වුව විඳින සමාජභාවය පිටුපස නිමල්ගේ උදව් උපකාර තිබෙනවා.
නිමල් මාව ජනාධිපති චන්ද්‍රිකාට පවා හඳුන්වා දුන්නා. මා හෙබවූ තනතුරු බොහොමයකට මා යොමුකළේ නිමල්. එමෙන්ම මගේ කලාත්මක ජීවිතයේ අභිවෘද්ධිය උදෙසා අතිමහත් අතදීමක් කළා.
සිය ජීවිතය අර්ථවත් සතුටකින් තබා ගැනීම උදෙසා ඔහු යම් ආයෝජනයක් කරනවා.ඒක අප ඔහුගෙන් හැදෑරිය යුතු ඔහුටම ආවේණික දැනුමක්.
මිත්‍රත්වය අවංක ලෙස පුළුල් වපසරියක වැපිරූ පුද්ගලයන් දෙදෙනෙකු මා ඇසුරු කළා. එක්කෙනෙක් සෝමපාල හේවා කපුගේ. අනෙකා නිමල් ඒකනායක.
ඔහුගේ මිත්‍රත්වයේ නොවෙනස් බව තවමත් නොනැසී තිබේදැයි දැනගැනීමටදෝ සතියකට දෙකකට වරක් වත් මා නිමල් අමතනවා.
ඒ හඬ තාමත් මිත්‍රශීලියි අවංකයි.
සුභ උපන් දිනයක් මිත්‍රයා..සහෝදරයා...නෑදෑයා...

No comments:

Post a Comment